Wednesday, March 29, 2017

නෙත් චමත් [බාධක සලකුණු මතුවේ...] #11


නෙත්මිලගේ ගෙදරට තිබුණේ පුංචි කෑම කාමරයක්... සාලෙටම අල්ලලා හදලා තිබුණු එ් කෑල්ල යාන්තම් මේසයක් තියන්න ඇති... චමත් එක්ක නෙත්මිත්, දෙනෙතුත් කෑම මේසෙට වාඩිවෙලා හිටියා... නිර්මලා කට්ටියටම අඩුපාඩු බෙදුවා...

‘‘අම්මා... අප්පච්චි කෑම කෑවද...’’

චමත් එහෙම ඇහුවම නිර්මලා බැලූවේ නෙත්මි දිහා...


‘‘අප්පච්චිට ටිකක් සනීප මදි සර්... ඔළුව කැක්කුම වැඩි  නිසා නින්ද යන්න බේත් දීලා තියෙන්නේ... දැන් නිදි...’’

නෙත්මි කිව්වේ මූණ බිමට ඔබාගෙන... කෙල්ලගේ ඇස් වල තියෙන දුක චමත්ට හොඳටම තේරුණා.

‘පුතාලා කන්න... මං අප්පච්චි නැගිට්ටම කන්න දෙන්නම්...’’

නිර්මලා කිව්වේ නෙත්මි දිහා දුකෙන් වගේ බලාගෙන ඉන්න චමත්ට...

ඉතින්... ඔන්න මැච් එක පටන් ගත්තා... පොළොස් මාළුව, අල කිරි හොදි, වම්බටු මෝජු, කරවිල සම්බෝල එක්ක අම්මා බිස්කට් කුඩු දාලා පොඩි මාළු බැදලා හදලා තිබුණා... චමත්ට නම් මේ කෑම ටික රත්තරන් වගේ... ඇයි ඉතින්, හැමදාම වගේ කන්නේ කුකුල් අඬුයි, බැදපු බතුයි නේ...!

‘‘ගමේ කෑම  ඕනේ කිව්ව හින්දා ඔන්න අපි මස් ටිකක් වත් ඉව්වේ නෑ...’’ 

නෙත්මි කිව්වේ චමත් බත් පතෙන් දෑස් ගන්නේවත් නැතුව ආසාවෙන් කන දිහා බලාගෙන...

‘‘අපෝ... නැති එකම හොඳයි... මස් කාලාම දැන් එපා වෙලා...’’

‘‘අම්මා... ඔන්න මෙයා තමයි අම්මගෙන් බත්මුල් ඉල්ලලා කරදර කරන කෙනා... සමහර දාට මගේ බත් මුලත් එක්කම කනවා...’’

නෙත්මි අම්මට බොරුවට නෝක්කඩු කියනවා. චමත් අම්මා දිහා බලලා හිනාවෙලා බිම බලාගත්තා...

‘‘ඉතින්  ඕක කලින් කිව්ව නම් මං හැමදාම බත් මුල් දෙක ගානේ හදලා දෙනවනේ... කොහෙද ඉතින්, පුතා අද එනවා කියලා මට කිව්වෙත් ඊයේ රෑ තමයි...’’

අම්මා එ් පාර චමත්ට කියන්නේ නෙත්මිටත් පොඩි හින්ට් එකක් ගහන ගමන්... චමත් හිනාවෙලා බැලූවේ නෙත්මි දිහා... නෙත්මිත් චමත් දිහා බලලා ලාවට හිනාවුනා... කෙල්ල තමන් ගැන ගෙදරට කියන්න හිතින් සෑහෙන්න දුකක් විඳින්න ඇති කියලා චමත්ට නිකමට හිතුණා...

‘‘චූටි මල්ලි දැන් කීය වසරෙද ඉන්නේ...?’’

චමත් ඇහුවේ සද්ද නැතුව පූසා වගේ කෑම ටික කකා හිටිය දෙනෙත්වත් කථාවට අල්ල ගන්න...

‘‘මේ සැරේ  ඕලෙවල් සර්...’’

‘‘ඔන්න ඔන්න... අක්කා නම් සර් කිව්වත් කමක් නෑ... මං ඔයාගේ සර් නෙවෙයිනේ... මං මල්ලි කිව්වම ඔයා අයියා කියන්න එපෑ...’’

දෙනෙත් අක්කා දිහාත් බලන ගමන් හිනාවුනා. නිර්මලාත් එ් කථාවට හිනාවෙලා මදි පාඩු බෙදන් එන්න කුස්සියට ගියා...

‘‘ඉතින්... සොරි අයියේ කියන්නැද්ද...?’’

චමත් ඇහුවේ පොඩි එකා දිහා බලාගෙනම. එ් පාර දෙනෙත් කටපුරා හිනාවුණා...

‘‘තව මාස තුනයි නේද මල්ලි තියෙන්නේ... දැන් එක්සෑම් වලට රෙඩි වෙලාද ඉන්නේ...’’

කොල්ලා මුකුත් නොකියා හිනාවක් දැම්මා...

‘‘ම්... මියුසික් නම් පාස් වෙයි... අනෙක් එ්වා කෙසේ වෙතත්...’’

එ් නෙත්මි...

‘‘අනේ යන්ඩ...!’’

‘‘මොකද නැත්තේ... කොයි වෙලාවෙ බැලූවත් සින්දුවම තමා... අර ගිටාර් එකක් තියාගෙන හූරනවා කොයි වෙලෙත්... කන් කරච්චලේ...’’ 

නෙත්මි ඔහොම කියන්නේ චූටි මල්ලිත් එක්ක තරහට නෙවෙයි... කොල්ලව අවුස්සන්න...

‘මල්ලිට හොඳට සිංග් කරන්න පුලූවන් නම් තමා... අපි ගිටාර් එකත් එක්ක හොඳ සින්දුවක් කියමු...’’ 

චමත් එහෙම කිව්වම දෙනෙත් ලැජ්ජාවට බිම බලාගත්තා... කොල්ලට මතක් වුනේ ගෙදර එද්දී සද්දෙට කිය කිය ආපු සින්දු කෑල්ල...

අක්කයි, අක්කගේ සර්යි දෙන්නා එක්කම තමන්ව බයිට් එකට අරගෙන කියලා හිතිලාද කොහෙද දෙනෙත් ඉක්මනටම කාලා නැගිටලා කුස්සියට ගියා... කෑම මේසේ ඉතිරි වුනේ නෙත්මියි, චමතුයි විතරයි...

‘‘චමත් අයියේ...’’

‘‘ඇයි බබා’’

‘‘කෑම හොඳ ද දන්නෑ...’’

‘‘මේ... මේ... මීට පස්සේ කාගෙන්වත් ඔහොම අහන්නෙපා... හොඳද... ඉස්සෙල්ලා බලන්න කාපු පිඟාන දිහා... මේ, පේනවනේ... ඔක්කොම සුද්දයි කියලා කියන්නේ ඉතින් කෑම හොඳයි කියන එක තමයි...’’

නෙත්මි තමන් දිහා බලාගෙන හිනාවීගෙන ඉන්නවා චමත් දැක්කේ කෑම පිඟානම ඉවර කරලා ඔළුව උස්සන කොටයි...

‘‘ඔහොම බලන් ඉන්න එපා හලෝ... මට ලැජ්ජ හිතෙනවනේ...’’

‘‘ලැජ්ජයි කියලා කියන කැත... ඔක්කොම කාලා කාලා කියනවා දැන් ලැජ්ජයිලූ... මං කෑවද කියලවත් බැලූවේ නෑ නේද...’’

නෙත්මි කිව්වේ හරිම හුරතල් විදියට.

‘‘ඉතින් මමනේ ඔයාගේ විසිටර්... මං කෑවද කියලා ඔයා එපෑ බලන්න...’’

නෙත්මි එ්කට මුකුත් කියන්න කලින් නිර්මලා කුස්සියේ ඉඳන් ආවා...

‘‘ඉතින් ඔය කාලා ඉවරද... මං මේ හොදිත් බෙදන් ආවා...’’

‘‘දවල්ට නම් ඇති අම්මේ... ආපහු රෑට කමු...’’

චමත් හිනාවෙලා කිව්වා...

‘‘හිතේ ඇති රෑටත් කාලා යන්න... නේද අම්මේ...’’

නිර්මලා දෙන්නා දිහාම බලලා හිනාවුනා...

‘‘පුතාට අපේ කෑම රහද මන්දා...’’

‘‘මං එ්ක නෙත්මිට කිව්වා අම්මා...’’  

චමත් එහෙම කිව්වම අම්මා නෙත්මි දිහා බැලූවේ කුතුහලයෙන්...

‘‘මොකක්ද ලොකූ...?’’

‘‘පිඟාන දිහා බලන්න කිව්වා අම්මේ...’’

නෙත්මි කිව්වේ කිචිබිචි ගාමින් හිනාවෙන ගමන්... චමත්ගේ පිඟානේ ඉතුරුවෙලා තිබුණේ සුන්බුන් ටික විතරයි... ඉතින්, කොල්ලගේ බැටිං ගැන හිතාගන්න පුලූවන් නේ...

චමත් කෑම මේසෙන් නැගිට්ටේ චොකලට් අයිස්ක‍්‍රීම් කප් එකකුත් හිස් කරලම තමයි... නෙත්මිලට ෆි‍්‍රජ් එකක් නැති නිසා අයිස්ක‍්‍රීම් එක ගේන්න දෙනෙත්ට තුසිතා අක්කලගේ ගෙදරට දුවන්න වුනා... 

චමත් ආසාවෙන් කෑම ටික කාපු නිසා නෙත්මිත් හිටියේ සතුටින්... අම්මයි, චූටි මල්ලියි දෙන්නම චමත් ගැන වැරැුද්දක් කිව්වෙත් නෑ. අනෙක අම්මත් වෙනසක් නැතුව චමත් එක්ක කථාබහ කරපු නිසා නෙත්මිට චමත්ව ගෙදරට එක්කගෙන එද්දි තිබුණු බය නම් දැන් නෑ... එ්ත් ඉතින් තාම අප්පච්චිව මුණ ගැස්සුවේ නෑනේ...

*  *  *  *  *

‘‘අප්පච්චී...’’

නෙත්මි කාමරයට ඇතුළුවුනේ කථා කරගෙනමයි... ඇඳට වෙලා ඇලවෙලා හිටිය අප්පච්චී එ් හඬට ඔළුව උස්සලා බැලූවා...

‘‘අප්පච්චී... මේ... මේ... මගේ ඔෆිස් එකේ සර්...’’

නෙත්මි කිව්වේ එයාට පිටිපස්සෙන් කාමරේට ආපු චමත් දිහා බලමින්.

‘‘ආ... එන්න මහත්තයා... මට...අද...ටිකක් සනීප මදි... එ්කයි...එලියට වත්...ආවේ නැත්තේ...’’

‘‘ඒකට කමක් නෑ අප්පච්චි... මං ආවනේ බලන්න...’’  චමත් කිව්වේ අප්පච්චී දිහා බලලා හිනාවක් පානා ගමන්...

‘‘වාඩි වෙන්න සර්...’’ 

නෙත්මි චමත්ට පුටුවක් ඇදලා දුන්නා... චමත් වාඩිවුනේ ඇඳ පැත්තකින් තිබුණු වීල් චෙයාර් එක දිහාත්, ඔළුවට අතක් තියාගෙන ඉන්න අප්පච්චී දිහාත් මාරුවෙන් මාරුවට බලමින්. ජීවිත ගමනේ අතරමග නවතින්නට සිදුවුනු නෙත්මිගේ අප්පච්චි වෙනුවෙන් සියුම් දුකක් චමත්ගේ හිතේ පුපුරු ගහන්නට වුණා.

‘‘ඔළුව කැක්කුම එන්නේ ඇක්සිඩන්ට් එකේදි වුනු ෂොක් එක නිසා වෙන්නැති නේද...’’ 

චමත් ඇහුවේ අප්පච්චී ආයෙමත් වේදනාවෙන් වගේ ඇස් පියාගත්ත හින්දයි...

‘‘ඔව් සර්... සැරෙන් සැරේ ඔළුව කැක්කුමක් එයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා... දීලා දීලා දැන් පේන් කිලර්ස් වුනත් අහන්නේ නෑ... නින්ද යන්න බේත් දෙන්නේ එ්කයි...’’

නෙත්මි කිව්වේ හෙමිහිට...

‘‘ලොකූ... මේ සර්ට කෑම දුන්නා නේද...’’

‘‘ඔව් අප්පච්චි... අප්පච්චිටත් බත් ගේන්නද...?’’

‘‘දැන්ම කන්න බෑ පුතේ... තව ටිකක් ඉන්නම්...’’ 

අප්පච්චී ආයෙමත් කොට්ටෙට ඔළුව ඔබා ගත්තේ වේදනාවෙන්...

‘‘මං එහෙනම් එලියෙන් ඉන්නම්... අප්පච්චි නිදාගන්න...’’ 

චමත් කිව්වේ අප්පච්චිගේ මුහුණ ලඟටම පාත්වෙලා ඔළුවත් අතගාන ගමන්... 

‘‘හොඳයි පුතා...’’

නෙත්මිගේ අප්පච්චි ගැන ලොකු දුකක් චමත්ට දැනුනා. අසනීපයේ වද වේදනා එක්ක පවුලේ බරත් කල්පනා වෙනකොට ඔළුව කැක්කුම එන එක අහන්නත් දෙයක් නෙවෙයි. 

‘‘යං...’’ චමත් කිව්වේ කඳුලූ බිංදුවක් දෑසේ පුරවාගෙන බලා හිටිය නෙත්මිට... කෙල්ලත් මේ හැඟීම්බර වෙලා ඉන්නේ චමත්ගේ දයාබරකමට. තමන්ගේ අප්පච්චිට චමත් මේ තරම් කරුණාවෙන් කථා කරන්නේ, ඔළුව අතගාන්නේ ලකුණු දාගන්න නෙවෙයි කියලා නෙත්මි දන්නවා... එ් චමත්ගේ හැටි. පොඞ්ඩක් ඇත්නම් හිත උණු වෙනවා.

‘‘දැන්ම යන්නෑ නේද...’’

නෙත්මි හිමිහිට ඇහුවේ කාමරයෙන් සාලයට ඇවිත්...

‘‘යන්නත්  ඕනේ... වැඩ වගයකු...ත්... තියෙනවා.....’’

චමත් කිව්වේ ඇදලා පැදලා...

‘‘අනේ යන්න බොරු නොකියා...’’

‘‘මාව තියාගන්න හදන්නේ, රෑටත් කන්න දෙනවද...’’

‘‘ම්... හිටියොත් දෙන්නම්...’’

‘‘මේ මේ... මට ලකුණු කපාගන්න පොටක් තමයි...’’

‘‘කැපුණත් මොකෝ... කොලේ පිරෙන්නම ෆුල් මාර්ක්ස් හම්බවෙලානේ තියෙන්නේ...’’

‘‘ඇත්ත..ද...!’’

‘‘ම්... ඔහොම ටිකක් ඉන්න අයියේ...’’

නෙත්මි චමත්ව සාලයේ පුටුවක වාඩි කරවලා එයාගේ කාමරයට පැන්නා... ටිකකින් කෙල්ල ආවේ ෆොටෝ ඇල්බම් දෙක තුනකුත් අරගෙන.

‘‘මේ අම්මයි, අප්පච්චියි මැරි කරපු අලූත...  ම්ම්... ආ... මේ මමයි, චූටි මල්ලියි පොඩි කාලෙදි ගත්ත එකක්... මේ අපි මෙහේ ගෙදරට ගෙවැදුනු දා... මේ අප්පච්චි ඇක්සිඩන්ට් වුන දවස්වල...’’

නෙත්මි චමත්ට මුළු ඉතිහාසම කියලා දුන්නා... චමතුත් කන් දීගෙන හිටියේ කතාන්දරයක් අහගෙන ඉන්න පොඩි එකෙක් වගේ... ඇල්බම් දෙක තුනම ඉවර වෙනකල් චමත්ට නෙත්මිගේ කචබචයෙන් නම් ගැලවෙන්න වුනේ නෑ.

‘‘අක්කා...! මං යනවා...’’

දෙනෙත් දඩිබිඩියේ දුවගෙන ඇවිත් නෙත්මිට වැන්දා... කොල්ලා ක්ලාස් යන්න ලෑස්තිවෙලා ඇවිත් තියෙන්නේ...

‘‘බුදු සරණයි පැටියෝ...!’’  නෙත්මි එහෙම කියලා චූටි මල්ලිගේ ඔළුව අතගාලා උම්මා එකක් දුන්නා.

‘‘ගිහින් එන්නම් අයියේ...’’ 

චූටි මල්ලියා පාත්වෙලා චමත්ට වඳින කොට කොල්ලගේ හිතට ආවේ අමුතුම හැඟීමක්. පවුලක් ඇතුලේ තියෙන මේ සාමූහික බැඳීම චමත්ට නුහුරුම අත්දැකීමක්. දෙනෙත් ගෙදරින් එළියට බහිනකල්ම චමත් හිටියේ දැන් විඳින මේ ‘ෆැමිලි එක්ස්පීරියන්ස්’ එකෙන් හිරිවැටුනු මනසකින්.

දෙනෙත් අක්කටයි, චමත්ටයි දෙන්නටම අත වනාගෙන ගේට්ටුවෙන් පියමං කලා...

‘‘පරිස්සමින් චූටි මල්ලී...’’  නෙත්මි කිව්වේ ටිකක් හයියෙන්... එහෙම කියලා චමත් දිහා බලද්දී කෙල්ල දැක්කේ එයා තමන් දිහාම බලන් ඉන්න හැටි.

‘‘ඇයි අයියේ...!’’

‘‘මමත් පාත්වෙලා වැන්දොත්, මටත් අර වගේ උම්මා එකක් දෙනවද...?’’

චමත් ඇහුවේ මනමාල හිනාවක් එක්ක.

‘‘දෙනවා මං දැන් හොඳ ටො..ක්කක්...!’’  

කෙල්ල එහෙම කියලා ටිකක් වෙලා බිම බලාගෙන හිටියේ ලැජ්ජාවට...

*  *  *  *  *

ලස්සනම හැන්දෑ වරුවක් ගෙවා දමලා චමත් ගෙදර එන්න ආවේ තරමක දුකින්. හිරණ පන්සල පාරේ නෙත්මිලගේ පුංචි ගෙදරින් චමත් එළියට බැස්සේ කළුවරත් වැටී ගෙන එනකොටයි. පැය තුන හතරක් නෙත්මිත් එක්කයි, ගෙදර අය එක්කයි ඉඳලා චමත් පුදුම සතුටක් වින්දා. ඇත්තටම එ් ගෙදරින් එළියට එද්දී චමත්ට හිතුනේ තමන්ගේ ගෙදර දාලා යනවා වගේ ලෝබකමක්...

එ් හැන්දෑවේ චමත් නෙත්මිත් එක්ක කථා නොකරපු දෙයක් නැති ගානයි. ඉස්කෝලේ කාලේ වෙච්චි එ්වයි, අප්පච්චිගේ අසනීපේ ගැනයි, චූටි මල්ලිගේ විකාර වැඩයි හැම දෙයක්ම නෙත්මි ඔහේ කියෝගෙන යනවා චමත් අහගෙන උන්නා. හවස තේ බීලා, චමත් අප්පච්චී එක්කත් පැය භාගයක් විතර විස්තර කථාබහ කලා. මේ ගෙදරට ඇවිත් ගෙවුණු කෙටි කාලයට තමනුත් මේ ගෙදර කෙනෙක්ම කියලා හිතෙන තරමටම චමත්ට නෙත්මිගේ ගෙදර හිතට අල්ලලා ගියා. ඇත්තටම මේ පිටස්තර තැනක් කියලා චමත්ට දැනුනේම නැති තරම්. අම්මා, අප්පච්චී වුනත් චමත්ට තමන්ගේම දරුවෙක්ට වගේ කථා කරද්දී, සලකද්දී නෙත්මිටත් ලොකු සැනසිල්ලක් දැනුනා. තමන්ගේ ‘යාලූවා’ ගැන ගෙදර කවුරුත් කිසිම දෙයක් කියන්නැති වග දැන් නෙත්මිට විශ්වාසයි... 

චමත් යන්න පිටත් වුනේ අම්මටත්, අප්පච්චිටත් වැඳලා... දෙනෙත් නම් තාමත් පන්ති ගිහින් ඇවිත් හිටියේ නෑ.

‘‘යන්නම් අම්මා... මං ආයෙත් ඇවිත් යන්න එන්නම්...’’

‘‘හොඳයි පුතා... පරිස්සමින් ගිහින් එන්න...’’

නිර්මලා ගේ දොරකඩ නතර වෙද්දී, නෙත්මි චමත් එක්ක වාහනය ලඟට ගියා. චමත් වාහනයට නැගලා ගේට්ටුවෙන් එලියට ගන්න කල්ම නෙත්මිත් එ් පස්සේ. ප‍්‍රාඩෝ එක පාරට අරගෙන චමත් ගේට්ටුවට මෙපිටින් හිටපු නෙත්මි ලඟටම ආවා. 

‘‘නෙතූ අක්කේ... මං යන්නම්...’’

චමත් කිව්වේ දෙනෙත් කරපු විදියටමයි. කොල්ලා සීට් එකේ ඉඳගෙනම වීදුරුවෙන් ඔළුව පාත් කලා... නෙත්මි හිනාව තද කරගෙන චමත්ට හීනියට ටොක්කක් ඇන්නා.

‘‘පරිස්සමෙන් යන්න අයියේ... හෙමින් ඩ‍්‍රයිව් කරන්න හොඳේ... දැන් රෑ වෙලානේ...’’

නෙත්මි කිව්වේ පැතිදොර මත තිබුණු චමත්ගේ සුරතින් අල්ලාගෙනමයි. කෙල්ලගේ ඇස් වල තෙත පාටට නලියන්නේ තමන් නිසා උපන්න ආදරය කියලා චමත් දන්නවා. 

‘‘ම්ම්... හරි. මම පරිස්සමට යන්නම්කෝ... කෝ ඉතින්...’’

‘‘මොනවද...’’

‘‘උම්මා...!’’

‘‘එ්වා දෙන්න බෑ පිස්සෝ... අම්මත් බලන් ඉන්නවා...’’

‘‘තරහයි එහෙනම්...’’

චමත් ඉස්සරහ බලා ගත්තේ බොරුවට තරහ වෙලා...

‘‘අනේ අයියේ...’’ නෙත්මි කිව්වේ චමත්ගේ අත දෝතින්ම බදාගෙන... චමත් නෙත්මි දිහා හැරිලා හිනාවුනා.

‘‘තරහ නෑ නේද...’’

‘‘ම්හ්... මං යන්නද බබා...’’ චමත් ඇහැව්වේ නෙත්මිගේ ඇස් දෙක දිහාම බලාගෙන...

‘‘ම්... පරිස්සමෙන්... මං හෙට කෝල් කරන්නම්...’’

‘‘හරි පැටියෝ... අම්මත් බලාගෙන ඉන්නවා, ඔයා යන්න ගෙට. මං යනවා... බුදු සරණයි...!’’

‘‘බුදු සරණයි අයියේ...!’’

චමත්ගේ වාහනය හිමිහිට පල්ලමේ පහලට ඇදෙන හැටි නෙත්මි එතනම ඉඳගෙන බලා හිටියා. නෙත්මිලගේ ගෙවල් තිබුණු අතුරු පාරෙන් හරවලා පන්සල පාරට දානකොට චමත් හෝන් එකත් ගහලා, නෙත්මිට අතක් වැනුවා... නෙත්මිත් අත වනලා, හුස්මක් හෙලලා කළුවර මැදින් ගෙදරට ඇවිදගෙන ආවේ දහසක් කල්පනාවන්ගෙන් බරවුනු හිතකින්...

*  *  *  *  *

‘‘ලොකූ...!’’

නිර්මලා හඬ අවදි කලේ නෙත්මිත් එක්ක කෙරුණු කථාබහ මැද ටික වෙලාවක් නිහඬව ගෙවුනාට පස්සේ... එ් හඬට කැරට් කපමින් හිටිය නෙත්මි ඔළුව උස්සලා නිර්මලා දිහා බැලූවා... අම්මා ඉන්නේ ලොකු කල්පනාවක කියලා කෙල්ලට පේනවා...

‘‘ඇයි අම්මා...’’

‘‘දැන් අර ළමයා ඔයා ගැන මොනවා හරි හිතේ තියාගෙනද මෙහේ එන්නේ...’’

නිර්මලා ඇහුවේ දවල් උයලා ඉතිරි වුනු හොදි මාලූ ටික රත් කරන ගමන්... අම්මයි, දුවයි දෙන්නම කුස්සියට වෙලා රෑට කන්න ලෑස්ති කරනවා.

‘‘අනේ මන්දා අම්මා...’’

‘‘ඇයි දරුවෝ... ඔයා හිතන්නේ කොල්ලෙක් ගෑණු ළමෙක්ගේ ගෙදරට එන්නේ බත් කාලා යන්න විතරක් කියලද ?’’

‘‘න්..නෑ... අම්මා... එ් වුනත්...’’

‘‘මං දන්නෑ පුතේ... ඔයාලත් දැන් දැනුම් තේරුම් තියෙන අය නේ... කරන්නේ මොනවද කියලා සිහි කල්පනාවෙන් වැඩ කරන්න...’’

‘‘මං... මං... වැරැද්දක් කරනවා නෙවෙයි අම්මා... එ් අයියා මගේ යාලූවෙක් විතරයි... ඇත්තටම අම්මේ චමත් අයියා මගේම අයියා කෙනෙක් වගේ තමයි...’’

නෙත්මි කිව්වේ හෙමිහිට, බිම බලාගත් ගමන්මයි.

‘‘ඔය දෙන්නා... එතකොට ඊට එහා දෙයක් ගැන කථා කරලා නැද්ද...’’ 

නිර්මලා ඇහුවේ මේ ගැන සහ-සුද්දෙන්ම දැන ගන්න  ඕනේ නිසා.

‘‘නෑ අම්මා... ඊට එහා දෙයක් කොහොමත් වෙන්නත් බෑ...! අම්මා...‘සූරිය පබ්ලිකේෂන්ස්’ එකේ  ඕනර් තමයි චමත් අයියා... එ් ගොල්ලෝ ලොකු බිස්නස් ෆැමිලි එකක්. අනික එයාට දැනටමත් ප‍්‍රපෝස් කරපු ගර්ල් කෙනෙක් ඉන්නවා...’’

‘‘එතකොට... මේ...’’

‘‘අනේ, වෙන මුකුත් කියන්න එපා අම්මා... ප්ලීස්...!’’

නෙත්මි ඉන්නේ අඬන්න ඔන්න මෙන්න කියලා නිර්මලාට තේරුණ නිසා එ් කථාව එතනින් ඉවර වුණා. කටින් නොකිව්වට තමන්ගේ දුව චමත් සූරියබණ්ඩාරට ආදරේ කරනවා කියලා නිර්මලාට අමුතුවෙන් පහදන්න  ඕනේ නෑ. කෙල්ලගේ හිත රිදෙන නිසා නිර්මලා එ් ගැන හාරා අවුස්සන්න ගියෙත් නෑ... 

ඇත්තටම නිර්මලාත් චමත්ට හොඳටම කැමැත්තෙන් හිටියේ. බෑණා කරගන්නවා නම් එ් වගේ කොල්ලෙක් තමා කෙල්ලට හරියන්නේ... චමත් වගේ කොල්ලෙක් එක්ක තමන්ගේ දුව සම්බන්ධයක් හදා ගත්තට නිර්මලා දුක් වුනේ නෑ. එයාට දුක එ් සම්බන්ධය නිසා තමන්ගේ කෙල්ලට කවදා හරි විඳවන්න වෙන බව දැනෙන නිසයි. කෙල්ලට එපා කියන්නත් බෑ...  ඕක නතර කරපන් කියන්නත් බෑ... ඉස් ඉස්සෙල්ලාම ඔය පිරිමි දරුවෙක්ට ලං වුනාමනේ. අනෙක නෙත්මිත් චමත්ට ලංවෙලා තියෙන්නේ වෙන දේ දැන දැනමයි. එහෙම තියෙද්දිත් කෙල්ල චමත් එක්ක පැටලූනේ හිතේ මොනවා හරි කැක්කුමක් තියෙන නිසා නේ...

නිර්මලා ලොකු හුස්මක් හෙලලා, පපුව සැහැල්ලූ කරගෙන එ් ප‍්‍රශ්ණේ කාලයට බාරකලා... නෙත්මි එ් වෙනකොටත් ඔළුව ඔබාගෙන එළවලූ සලාදේ හදනවා. චමත්ව ගෙදර එක්කන් ආපු නිසා කෙල්ල අද හරිම සතුටින් හිටියේ. දැන් මූණ එල්ලගෙන ඉන්න කොට නිර්මලාටත් හිතට හරි නෑ...

‘‘චමත් පුතායි, ඔයයි දෙන්නම ගැන මං දන්නවා. මං ඔයාට වැරැද්දක් කියන්නෑ ලොකූ... එ්ත් මතක තියාගන්න පුතේ, මොකක් හරි ප‍්‍රශ්ණයක් ආපු ගමන්ම ඔයාට චමත්ව අත අරින්න වෙනවා...’’

‘‘මං දන්නවා අම්මා... එ්ක චමත් අයියත් දන්නවා... එ්ත් අම්මා... මට චමත් අයියව අමතක කරන්න බෑ අම්මා...’’

‘‘හරි හරි... දැන් අපි කාලා ඉමුකෝ...’’

නිර්මලා කිව්වේ නෙත්මිගේ ඔළුවත් අතගාලා... කෙල්ලත් ඔළුව වනලා අම්මත් එක්ක හිනාවුනා.

එ්ත් ප‍්‍රශ්ණය මෙතනින් නතර වෙන්නේ නැති බව නෙත්මි කල්පනා කරන්නට වුනේ රෑ කෑම ටික අතගාන ගමන්...

*  *  *  *  *

නෙත්මි මුණ ගැහුණාට පස්සේ ගෙවුණු හැම සති අන්තයකම වගේ මේ සති අන්තයත් චමත්ට හරිම කම්මැලි දවස් දෙකක්... ඊයේ නම් රෑ වෙනකල්ම වගේ නෙත්මිලගේ ගෙදර හිටපු නිසා එච්චරම අවුලක් නෑ. එ්ත් ඉරිදා දවසම නෙත්මි නැතුව ගෙවන එක චමත්ට දැන් හරිම අමාරු වැඩක්... සෙනසුරාදා හවස් වරුවයි, ඉරිදා දවසයි දෙකම ඔෆිස් යන්න තිබුණා නම් චමත් එ්ත් කැමතියි. ඇයි ඉතින්, නෙත්මිව හම්බවෙන්න පුලූවන්නේ...

කෙල්ලව දකින්න වත්, කථා කරන්නවත් විදියක් නැතුව චමත් ඉරිදා දවස ගෙව්වේ පුදුම කම්මැලි කමකින්. හැබැයි, චමත්ට එ්ක එහෙම වුනාට තව කෙනෙක්ට නම් එහෙම වුනේ නෑ. මිනිහා ඉරිදා උදෙන්ම වැඩ පටන් අරගෙන තිබුණා...

කවුද කියලද අහන්නේ... වෙන කවුද ඉතින්. රොෂේන් තමයි...!

සෙනසුරාදා දවල් කටුබැද්ද හරියේ සුපර් මාර්කට් එකේදී දැකපු සීන් එක රොෂේන් අමතක කලේම නෑ. චමත් එක්ක හිටිය එ් කෙල්ල කවුද කියන එක රොෂේන්ගේ ඔළුවට සෑහෙන්න වද දෙනවා. ඊයේ අර කවුද මන්දා ගර්ල් කෙනෙක් එක්ක රවුම් ගහලා ගෙදර එද්දී රෑ වෙලා නිසා මේ කේස් එක ගැන මුුුකුත් කරන්න බැරි  වුනත්, ඉරිදාට එළි වෙච්චි වෙලේ ඉඳලා රොෂේන් වැඩ පටන් අරගෙනයි තිබුණේ...

එයා ඉස්සෙල්ලාම ගින්න පත්තු කලේ අම්මට. එ් කියන්නේ ඉතින් චමත්ගේ ලොකු අම්මා. මේ සීන් එක අහපු ගමන් එයා කලේ නංගිට කෝල් කරපු එක... එ් කිව්වේ චමත්ගේ අම්මට. එයාට ඇවිලූණා කියන්නේ ඉතින් යායක්ම සුන් තමයි. එ්ත් ඉතින් චමත්ගේ අම්මා, ස්වර්ණා මේක අහලා කලබල වුනෙත් නෑ...

මේ වගේ හයි ක්ලාස් ෆැමිලි එකක කොල්ලෙක් ගර්ල් කෙනෙක් එක්ක එෆෙයාර් එකක පැටලෙන එක කොහොමටවත් ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි. ගෑණියෙක් එක්ක එක රූම් එකක නිදියගෙන අහුවුනත් එ්වා මෙහෙට සාමාන්‍ය දේවල්... එ්ත් චමත්ගේ මේ පලහිලව්වට කට්ටිය මෙච්චර කලබල වෙලා ඉන්නේ මේක පවුලේ ගෞරවය පිළිබඳ ප‍්‍රශ්ණයක් වී ගෙන එන නිසායි. විශේෂයෙන්ම වලවු පැලැන්තියක පුරුක් වෙච්චි චමත්ලගේ, රොෂේන්ලගේ අම්මලට මේ වගේ කාරණා හරිම වැදගත්...

‘අක්කට රොෂේන් කියලා තියෙන්නේ චමත් තර්ඩ් ක්ලාස් ගර්ල් කෙනෙක් එක්ක සුපර් මාර්කට් එකක බඩු තෝරනවා දැක්කයි කියලනේ...’ 

පුතා පොෂ් කෙල්ලෙක් එක්ක හොටෙල් රූම් එකක ඉඳලා එනවා දැක්ක නම් ස්වර්ණාට මෙච්චර අවුලක් නෑ. එ්ත් රොෂේන් කියන විදියට එ් දැක්ක කෙල්ල කොහොමටවත් ගැලපෙන්නෙ නෑ වගේ...

මිසිස් ස්වර්ණා සූරියබණ්ඩාර උදෑසනම ගෙදරින් පිටවෙලා ගියේ අක්කවයි, රොෂේන්වයි හම්බවෙන්න. එ් වැඩිදුර විස්තර කථාබහ කරගන්න. අම්මා ඉතින් නිවාඩු දවස් කියලා නැතුව කොයි වෙලේත් රට වටේ ඇවිදින කෙනා නිසා චමත්ට එ් ගමනේ එච්චර විශේෂයක් තිබුණේ නෑ. කොල්ලා උදේ වරුවම ගත කලේ ඉන්ටර්නෙට් එකේ... මොනවද දන්නවද කලේ... නෙත්මිට අරගෙන දෙන්න හොඳ ෆෝන් එකක් හොයනවා...

චමත්ගේ ෆෝන් එක රිං වෙන්න ගත්තේ චමත් ෆෝන් ගැන හොය හොයා ඉන්දැද්දියි. 038 පානදුර කෝඞ් නම්බර් එක දකිද්දිම මේ කෝල් එක නෙතූගෙන් කියලා චමත්ට හිතුණා. 

‘‘හෙලෝ... ගුඞ් මෝනිං සර්...’’

‘‘ගුඞ් මෝනිං... කවුද මේ...’’  

චමත් ඇහුවේ බොරුවට. කටහඬ ඇහෙන්නත් කලින් කොල්ලා දන්නවා කවුද කථා කරන්නේ කියලා...

‘‘මේ... චමත් සර් නේද...’’

‘‘ඔව්... මොකක්ද වෙන්න  ඕනේ...’’

‘‘අනේ අයියේ... පිස්සු කරන්න එපා හලෝ... මට ටික වෙලාවයි නේ කථා කරන්න සල්ලි තියෙන්නේ...’’

‘‘ම්... සොරි සොරි... ඉතින්...’’

‘‘කිතුල්...! මොකද කලේ ෆෝන් එක රිංග්ස් යනකල්...?’’

කෙල්ල එහෙම ඇහුවේ චමත් කෝල් එක ආන්සර් කරන්න ටිකක් වෙලා ගිය හින්දා.

‘‘මම ද... මං මේ පොඩි වැඩක බබා හිටියේ... මේ, ඊයේ මොකද කිව්වේ අම්මලා...’’

‘‘අම්මා... කිව්වා...’’  කෙල්ල කියන්නේ පොඩි එකෙක් වගේ ඇදලා...  ‘‘කවුද එ් ආව මෝඩ කොල්ලා කියලා ඇහුවා...’’

නෙත්මි එහෙම කියලා කිංකිනි තාලෙට හිනාවෙන සද්දේ චමත්ට දුරකථනයෙන් ඇහුණා. 

‘‘හරි හරි... මං මෝඩයා නේ... තියන්නම්...’’

‘‘අනේ එපා එපා... මං විහිළුවට කිව්වේ...’’

‘‘අයියේ...!’’ කෙල්ල ආයෙමත් කථා කලේ චමත්ගෙන් සද්දයක් නැති නිසා...

‘‘අනේ තරහ නෑ නේද...? කථා කරන්නකෝ...’’

‘‘මං අහන එකට උත්තර දුන්නෑනේ ඉතින්...’’

‘‘හරි අයියෝ... කියන්නම්. අම්මා නම් උඩින්ම කැමතියි... හරිම හොඳ දරුවෙක් කිව්වා... තව, චූටි මල්ලි කිව්වා නළුවෙක් වගේ හැන්ඞ්සම් කියලා... ම්-’’

‘‘මේ මේ... මාව අන්දවන්න නේද ඔය හදන්නේ...’’

‘‘අනේ නෑ අයියේ... ඇත්තටම. ගෙදර ඔක්කොම ඔයාට කැමතියි... ඔන්න අම්මා කිව්වා හෙට ඉඳලා ඔයාටත් එක්ක බත් එකක් දෙනවා කියලා...’’

‘‘රියලි...! නියමයි නේ...’’

‘‘ම්... තව දේවල් කිව්වා අයියේ...’’

‘‘ඇයි බබා...!’’  

චමත් කලබලෙන් ඇහුවේ කෙල්ලගේ කටහඬ වෙනස් වුනු නිසා...

‘‘නැහැ... අම්මා මගෙන් ඇහුවා ඔයා මගේ යාලූවෙක් විතරමද කියලා...’’

‘‘ඉතින්...?’’  

චමත් දැන් ඉන්නේ කෙල්ල ඊලඟට මොනවද කියන්නේ කියලා නොඉවසිල්ලෙන්...

‘‘මං කිව්වා නෑ කියලා...’’

‘‘ඔයා... ඔයා එහෙනම් මොකක්ද බබා කිව්වේ...?’’

‘‘මං කිව්වා චමත් අයියා මට මගේම අයියා වගේ කියලා... ඊට වඩා දෙයක් නෑ, වෙන්නෙත් නෑ කියලා...’’

‘‘හ්ම්... එහෙමද ?’’

චමත් එ්ක කියපු තාලෙට නෙත්මිටත් ටිකක් අප්සෙට් වගේ. එ්ත් ඉතින් මොනවා කරන්නද... 

‘‘නෙතූ... අම්මා එ් අහපු ප‍්‍රශ්නේ ගැන අපි කථා කරලා නෑනේ බබා...’’

‘‘එ්ක ගැන... කථා කරන්න  ඕනෙද අයියේ...?’’

‘‘එ් කියන්නේ... ඔයා...’’

‘‘ම්ම්... කියන්නකෝ ඉතින්... ඊයේ පරිස්සමට ගියා නේද...?’’

කෙල්ල එක පාරටම ට‍්‍රැක් එක මාරු කලා කියලා චමත්ට තේරුණා.

‘‘හ්ම්... අවුලක් නෑ. බබා මේ, ඔයාට සල්ලි ඇතිද කථා කරන්න...’’

‘‘මං තියන්නද එහෙනම්...’’

‘‘තියන්න කියලා නෙවෙයිනේ ලමයෝ කිව්වේ...’’

‘‘හරි හරි අයියේ... මං විහිලූවට කිව්වේ... තව චුට්ටක් කථා කලාට කමක් නෑනේ නේද...?’’

‘‘කමක් නැද්ද අහන්නේ... මං වෙන කා එක්ක කථා කරන්නද... ආ...’’

‘‘ම්... අනේ මන්දා. අයියේ, හෙට ඔෆීස් එනවා නේද...?’’

‘‘නෑවිත් කොහොමද... මං මේ අද ගෙදර ඉන්නෙත් හරිම අවුලෙන්...’’

‘‘ඇයි එ්... බිස්නස් ප්‍රොබ්ලම් එකක් ද...?’’

‘‘දන්නෑ වගේ අහන හැටි... චූ..ටි බබා...!’’

‘‘ම්ම්... හැබැයි ඔයා ආවට මං හෙට නෑ...’’

‘‘අනේ බබා... හෙට එන්නැද්ද එ් කියන්නේ...’’

‘‘එනවා එනවා පිස්සෝ... ඇයි අයියේ මං කිව්වේ මං හෙට උදේ අර කෝස් එකට ඇඞ්මිෂන් දෙන්න යනවා කියලා...’’

‘‘එ්ක මිසක්... සොරි බබා... මට එ්ක මතකම නැති වුණා... ඔයාට සල්ලි ඇති වෙයි නේද...?’’

‘‘ඇති නෙවෙයි වැඩිත් වෙයි... එපා කියද්දී දුන්නනේ වෙස්සන්තර රජතුමා වගේ...’’

‘‘එ්කට කමක් නෑ... මෙන්න ඉතුරු සල්ලි කියාගෙන උස්සගෙන එහෙම එන්නෙ නෑ හෙට... හොඳ ද...!’’

‘‘හොඳමයි සර්... එහෙනම්... මං තියන්නද...’’

‘‘හ්ම්...ම්... තියනවද... හරි බබා... මේ මේ... මතක ඇතුව හෙට අප්පච්චිගේ මෙඩිකල් රිපෝට් ටික අරගෙන එන්න  ඕනේ, හරි ද...’’

‘‘හරි අයියේ... එහෙනම් මං තියන්නම්... පරිස්සමින් ඉන්න... බුදු සරණයි...!’’

‘‘බුදු සරණයි පැටියෝ...’’

චමත් හිමිහිට එහෙම කියලා දුරකථනයට පුංචි කිස් එකක් දුන්නා... නෙත්මිත් තියන්නම් කිව්වට කට් කලේ නෑ... දුරකථන තරංග දිගේ ආවත් එ් පුංචි හාදුව කෙල්ලගේ පපුවටම වැදුනා.

කෝල් එකට සල්ලි ගෙවලා නෙත්මි පන්සල් හන්දියේ කොමියුනිකේෂන් එකෙන් පාරට බැස්සේ චමත් ගැන අලූතෙන් උපන් සෙනෙහසින් පපුවම පුරෝගෙන. මේ තරම් ආදරයක් හිතේ දරාගෙන කවදා හරි දවසක සදහටම වෙන් වෙන්නේ කොහොමද ?

‘උපන්නොත් මැරෙනවා කියලා දැන දැනම මිනිස්සු ඔය යස අගේට කිසි ගානක් නැතුව ජීවත් වෙන්නේ... ඉතින්, මේක මොකක්ද...’ 

නෙත්මි හිත හදාගත්තේ එහෙම හිතලයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                




16 comments:

  1. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකද බස්සියේ හ්ම් හ්ම් ගාන්නේ?

      Delete
    2. නැතුව ඉතින් බක බක ගාන්නද මේවා දැක්කහම

      Delete
    3. ඉතින් නොබලා හිටියා නම් අහවර නොවැ මෙතන රට්ටු හිනස්සන්නැතුව !!! :P

      Delete
    4. රට්ටු හිනාවෙන එක නම් කවදා ඉඳලද....
      එහෙම කොහොමද.. ලියපු කතාවක් මේ විදියට පරක්කු කර කර දානවට අපි දැන් වෘතිය මට්ටමෙන් ක්‍රියාමාර්ගයක් ගන්න තරමට ඇවිල්ල!

      Delete
    5. මේ උඹ මෙයා කියන අහලා පිස්සු කෙලින්න එහෙම එපා... ඔය අර ටීවී වල දිනපතා යන බඩවැල් බලලා පුරුද්ද.. ඒකයි ඔය..

      අපිට ටිකක් වෙලාව ඕනා මේවා කියවන්න.. සතියට එක කොටසක් පෙන්නුවම හොඳටම ඇති...

      Delete
    6. ඔන්න ඇවිත් අපේ විපක්ෂේ කැබිනට් ප්‍රකාශක!
      මේ.. සෙන්නා..... මම මෙගා බලන්නේ නැහැ. නවකතාවක් උනහම කියෝගෙන යන්න නැති උනොත් රසය බිඳෙනවා. අනිත් එක ටයිප් සෙටින් කරලා කිව්වා නිසා ඉවසන්නේ කොහොමද?
      හුහ්.. එහෙනම් මමත් දාන්න ඕනේ සතියකට එකක් මීට පස්සේ...
      මම මේ අහිංසක විදියට ඉල්ලුවේ... මට නම් පරක්කු උනොත් කෙලින්ම එන්නේ හෙන.

      Delete
    7. හෙහ් හෙහ්...කූල් ඩවුන් කූල් ඩවුන්... ලිඛිතා...

      මෙගා බලන්නැති එක විශාල අඩු පාඩුවක්.. ජීවිතේ අවුරුදු ගානකින් පස්සට යනවා ඔය වැඩෙන්...

      කවුද යකෝ හෙන යැව්වේ... ! එහෙම කරණ උන්ව කන්න එපැයි... :D

      Delete
    8. බොලා දෙන්නා මරා ගන්න කාරි නෑ මෙතන... හෙට හැන්දෑ කොරේ අනෙක් කොටස දානවා... හරිය !!!

      Delete
    9. තවමත් හෙට උනේ නැහැනේ.

      Delete
  2. ‘උපන්නොත් මැරෙනවා කියලා දැන දැනම මිනිස්සු ඔය යස අගේට කිසි ගානක් නැතුව ජීවත් වෙන්නේ... ඉතින්, මේක මොකක්ද...’

    ලස්සන කියමනක්. හුඟක් හිතන්න දේවල් තියෙනවා.

    ReplyDelete
  3. හපොඉ, මේ ටිකට කොටස් ගානක්ම දාලනේ. ඒ අස්සේ ඇක්සිඩන්ට් එකකුත් වෙලාද? අනිත් ටිකත් බලල එන්නම්. ටටා

    ReplyDelete
    Replies
    1. දහ අතේ කල්පනා කලා සයුරි කියන්නේ මොන ඇක්සිඩන්ට් ද කියලා ? දැන්නේ කම්පනාවට ආවේ...! නෙත්මිගේ අප්පච්චිගේ ඇක්සිඩන්ට් එක ගැනයි කියන්නේ කියලා...

      මම ඔය සමහර ලියන්නියෝ වගේ දවස ගානේ කථාංග දාන්නේ නෑ නොවැ... සයුරිට සතියක් විතර මිස් වෙන්නැති මා හිතේ්‍... බලලා එන්ඩකෝ හිමීට...

      Delete
    2. හෑ ! මටද කිව්වේ? හුහ්...
      දාන්නේ නැහැ ආයේ සතියක් යනකල්!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...