Thursday, March 23, 2017

නෙත් චමත් [ආදර කල්පනා] #09


න්න දැන් නෙත්මිටත් ලෙඩේ බෝ වෙලා වගේ... මෙච්චර කල්  ඕක තිබුණේ චමත්ට විතරයි. එයාට නම් ලෙඩේ ටිකක් දරුණුයි... හැබැයි නෙත්මිට නම් තාම මේ හැදුනා විතරයි...

කෙල්ල නිදියගන්න හැදුවට නින්ද යන්නේ නෑ... පුරුද්දට වගේ නිදාගන්න ඇඳට වැටුනට තාම නිදාගන්න තියා නින්ද අහලකවත් නෑ. මේ අවුරුදු විසි තුනකටම කෙල්ලට මෙහෙම දෙයක් වුනාමයි. නින්ද යන්නැති එක නෙවෙයි. කොල්ලෙක් හින්දා ඇහැරගෙන ඉන්න එක...

ආදර සංගායනාවකට කලින් නැගෙන හේවිසි නාදයක් වගේ නෙත්මිගේ හිතත් හරි සද්දෙයි. හිටපු ගමන් එක එක විදියේ අමුතු දේවල් හිතට කඩන් පනිනවා. කෙල්ල එ් පැත්තට හැරෙනවා... මේ පැත්තට හැරෙනවා... ලෙඩේ එහෙමමයි. ඔය නිදි නැතුව හිතන ලෙඩේ හැදුනම  ඕක ලෙඩක්ය කියලා ලෙඩා දන්නෙත් නෑ. හැබැයි ඉතින් ලඟ ඉන්න අයට නම් පටගාලා අහුවෙනවා...

නිර්මලා කෙල්ලගේ මේ අලුත් කෝලම නොදැක්කා නෙවෙයි. වෙනදා වගේ නෙත්මි තුරුල්ලට ඇවිත් නිදියන්නේ නැත්තේ ඇයිද කියලා නිර්මලා ලොකුවට හිතන්න ගියේ නෑ... කෙල්ලට මොකක් හරි ප‍්‍රශ්ණයක් ඔළුවේ ඇති. හැබැයි කොයි තරම් පෞද්ගලික වුනත්, කොයි තරම් බරපතල වුනත්, මොන ප‍්‍රශ්ණයක් හරි නෙත්මි තමන්ට කියනවා කියලා මේ අම්මා දන්නවා. එ්ක නිසා එ්ක කියන වෙලාවක කියපුවාවේ කියලා හිතාගෙන, කෙල්ලට එයාගේ පාඩුවේ පෙරලෙන්න දීලා නිර්මලා නින්දට වැටුනා.

නෙත්මි ඇඳේ පෙරළි පෙරළි කල්පනා කරන්නේ හිතට දැනෙන මේ අමුත්ත මොකක්ද කියලා. චමත් තමන්ට ආදරෙයි කියන එක නෙත්මි මේ වෙනකොටත් දන්නවා. ආදරේ කියන්නේ මොන වගේද කියලා රහ බලලා නැති වුනත් නෙත්මි එ්ක නොතේරෙන්න තරම් බබෙක් නෙවෙයි දැන්. චමත් වචනයෙන් නොකීවත් එයාගෙ බැල්මෙන්, හඬෙන්, ක‍්‍රියාවෙන් හැම දේකින්ම නෙත්මිට එ් ආදරේ දැනෙනවා. 

වෙන කිසිම පිරිමි ආත්මයක් ගැන නොදැනුනු විදියේ පරම පවිත‍්‍ර, වන්දනීය හැඟීමක් තමයි චමත් ගැන නෙත්මිගේ හිතේ තියෙන්නේ. එ් හැඟීම ආදරයක්ද, නැත්නම් වෙන මොකක් හරි විෂබීජයක් ද කියලා බේරුම් කරගන්න තරම් කෙල්ලට තේරුමක් නෑ. මේ රැයට කලින් නම් නෙත්මිට චමත් ගැන හිතුනේ හොඳ කොල්ලෙක්, ලෙන්ගතු සොහොයුරෙක් විදියට විතරයි... එ්ත් දැන්... දැන් කෙල්ලට එහෙම හිතලා සැනසෙන්න බෑ. දැන් චමත් ගැන හිතද්දී දැනෙන්නේ දැඩි ඇල්මක්... ලෝබකමක්... තෘෂ්ණාවක්... ‘චමත් අයියා මගේ...’ කියලා බදාගන්න තරමේ තදබල සිතුවිල්ලක් කෙල්ලගේ හිතේ දුවනවා. එ් රුව, එ් හඬ නැතුව නැතුව පාළුයි වගේ දැනෙනවා. නොදැක ඉන්න බෑ කියලා හිතෙනවා. වෙන කිසි දේකට ඉඩක් නොතියා මුළු හිතම චමත්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් කියලා නෙත්මිට දැනෙනවා...

‘චමත් අයියා ඇත්තටම මට ආදරෙයි, මම දන්නවා... එ්ත් මම කොහොමද දෙයියනේ වෙන දේ දැන දැනම එයාට ආදරේ කරන්නේ... මම දුප්පත් කෙල්ලෙක්. එයා ලොකු බිස්නස් කාරයෙක්... එයාලගෙ ගෙදරින් කවදාවත් මට කැමති වෙන්නේ නෑ. මමත් දැන් චමත් අයියට ආදරෙයි තමයි. එ්ත්, එහෙමයි කියලා මට එයාට එ්ක අඟවන්න බෑ. එයා මං ගැන හෝප්ස් තියා ගනියි. අන්තිමට අපිට වෙන්වෙන්න වෙයි. එ් අහිංසකයට බලාපොරොත්තු දීලා යන්නේ කොහොමද ? මං කොහොමද දැන දැනම වලකට පනින්නේ... ඇයි දෙයියනේ මට චමත් අයියගෙ ආදරේ පිලිගන්න බැරිවුනේ...’

කොහොම හිතුවත් නෙත්මිට එන්නේ එකම එක පිළිතුරයි. ‘නුඹට සිත ආදරේ කරයි - දෙතොල ගොලූ වී සිටී...’ එ් වුනත් ආදරයයි, කැස්සයි හංගන්නම බෑනේ. ගොලූවොත් කථා කරන දවසක් එනවා. එදාට ඔය හිතේ හංගගෙන ඉන්න ඔක්කොම එලිවේවි. අනික ඉතින් මේ දෙන්නම ඉන්නේ එකම ඔෆීස් එකේ. මුණ ගැහෙනවා, කථා කරනවා වැඩියි. මේ දවස් තුන හතරකට මෙච්චර දුර දිග ගියා නම්, තව මාස දෙකක් යද්දී කොහොම තියේවිද... 

‘චමත් අයියව මග අරින්නත් බෑ... එ්ත් එයාට ලං වෙන්නත් බෑ... මොනවද දෙයියනේ මං කරන්නේ...’ නෙත්මි කල්පනා කලේ හුඟාක් අසරණ වෙලා...

‘ලොකූ... මොකද පුතේ... නින්ද යන්නැද්ද...?’’

නෙත්මි පියවි ලෝකෙට ආවේ අම්මා කථා කලාමයි.

‘‘න්..නෑ අම්මා... මේ ඔළුව ටිකක් රිදෙනවා වගේ...’’

‘‘ඇයි දරුවෝ... ඔෆීස් එකේ මුකුත් ප‍්‍රශ්ණයක් ද...?’’

‘‘අනේ නෑ අම්මා... වැස්සට ටිකක් තෙමුණා, එ්ක නිසා වෙන්නැති...’’

‘‘හ්ම්... එන්නකෝ මං ඔළුව ටිකක් අතගාන්න...’’

අම්මගේ අතැඟිලි හිස පුරා ලතාවකට යද්දී නෙත්මිගේ කල්පනා ලෝකේ බොඳවෙලා ගියා... ටික වෙලාවක් යද්දී කෙල්ල හිටියේ හීන ලෝකේ...




*  *  *  *  *


ඊයේ නම් හා හාපුරා කියලා නෙත්මි වැඩට යන්න ගත්තේ සෑහෙන්න ප‍්‍රබෝධයෙන්. එ්ත් අද නම් කෙල්ල ටිකක් මැලවිලා වගේ.  නෙත්මි ඔෆිස් යන්න ආසයි. එ්ත් ඊයේ රැයෙන් පස්සේ චමත්ට මූණ දෙන එක තමා අමාරුම වැඩේ... පපුව චමත්ව හොයනවා. ඔළුව එයාව මග අරිනවා.  මේ දෙක මැද්දේ ඉඳගෙන අසරණ නෙත්මි දුක් විඳිනවා...

ඔෆිස් එද්දී නමයට ඔන්න මෙන්න. නෙත්මි අකැමතිම වැඩක් තමා පරක්කු වෙන එක. එ්ත් අද වැඩට එන දෙවැනි දවසෙම පරක්කුයි. කෙල්ලට දැන් එ්කටත් හිතට හරි නෑ වගේ. ‘චමත් අයියයි, රණවීර සර්යි මොනවා හිතයිද දන්නෑ...’

ඊයේ වගේම නෙත්මි වැඩ රාජකාරි ටික කරගෙන ගියා... එ්ත් හිත නම් හරි කලබලයි. තාම චමත්ව දැක්කෙවත් නෑනේ. ‘චමත් අයියා ඊයේ ? පරිස්සමට ගියාද දන්නෙත් නෑ. වැස්සේ, කලූවරේ කොච්චර දුරක් ඩ‍්‍රයිව් කරන්න  ඕනෙද... කියන දෙයක් අහන්නේ නෑනේ දෙයියනේ. තාම කිසිම ආරංචියක් නෑ. වැඩට ආවද කියලවත් දන්නෙ නෑ. කෝල් එකක් වත් දෙන්න තිබුණා නම්... රූම් එකට ගිහින් බලලා දෙන්න  ඕනේ ටොක්කක්, මාව මෙහේ පුච්චනවට...’

‘‘මොකද දරුවෝ තනියම හිනාවෙන්නේ...’’

රණවීර ඇහුවේ නෙත්මි හිනාවෙන දිහා බලාගෙන. කෙල්ල දැන් ටික වෙලාවක ඉඳලම වීදුරුවෙන් ඈත බලාගෙන, මූඞ් ගහගෙන... හිටපු ගමන් තනියම හිනාවෙනවා. මොකද කියලා රණවීර නම් දන්නවා. ඒත් ඉතින් නිකමට වගේ අහන්නත් එපෑ...

‘න්..නෑ... සර්. මේ නිකං...’’

‘‘නිකං හිනාවෙන්නෙ නං පිස්සෝ තමා...’’

එ්කටත් කෙල්ල හිනාවෙනවා...

‘‘මොකද...? අද තාම මීට් වුනේ නැද්ද...?’’

‘‘කවුද සර්...?’’

‘‘කවුද අහන්නේ... ඔයාගේ චමත් සර්ව...’’

එ්කටත් උත්තර නෑ. කෙල්ල බිම බලාගෙන තොල්පට තද කරගෙන මේසෙට හිනාවෙනවා රණවීරට පේනවා...

‘‘හා... හා.... ගිහිල්ලා එන්න ඉතින්... රූම් එකේ ඇති...’’

රණවීර එහෙම කිව්වේ කෙල්ලට යන්න විදියක් නැතුව ඉන්නේ කියලා දන්න හින්දා...

‘‘ගියාට කමක් නැද්ද සර්...?’’

‘‘අර ඉබ්බත් දියට දාන්න හැදුවම ඔහොම මොකක්ද මන්දා එකක් ඇහුවලූ...’’

රණවීර සර් කියපු එකට හිනාවකුත් ඇඳගෙන නෙත්මි ගියේ චමත්ගේ ඔෆීස් රූම් එක ලඟට...

‘‘මේ අයි කමිං සර්...’’  නෙත්මි ඇහුවේ දොරට අතින් තට්ටුවක් දාලා...’’

‘‘කමිං...’’

ඇතුලෙන් චමත් උත්තර දුන්නා. කෙල්ල කාමරය ඇතුලට ගියා. චමත් කම්පියුටරයේ බර වැඩක්... නෙත්මිගේ සුවඳ ආවම තමයි ආවේ කවුද කියලා චමත් ඔළුව උස්සලා බැලූවේ...

‘‘නෙත්...! අනේ බබා මං කෝල් කරන්නමයි හිටියේ... මාව මේ රිපෝට් එකකට හිරවුණා බබා, සොරි... 
ඉතින්... හිටගෙන ඉන්නේ, වාඩිවෙන්නකෝ දරුවෝ...’’

චමත් එහෙම කිව්වත් නෙත්මි වාඩි වුනේ නෑ. එයා චමත් දිහා බලන් හිටියේ අමුතු විදියට. කෙල්ලට මොනව හරි වෙනසක් තේරෙනවා වගේ...

‘‘ඇයි නෙතූ... තරහින්ද ඉන්නේ...? වාඩිවෙන්නකෝ බබා...’’

‘‘අයියේ... ඔයාට සනීප නෑ නේ..ද...?’’

‘‘නෑ බබා... මට අවුලක් නෑ...’’

‘‘නැත්තේ මොකද...! ඊයේ හිතුවක්කාරකමට තෙමිලා තමා ඔය... හෙම්බිරිස්සාව නේද දැන්...?’’

‘‘න්..නෑ... මේ... නහය ටිකක් බරවෙලා...’’

චමත් කොහොමින් හරි ෂේප් වෙන්න හැදුවට කෙල්ලගෙන් බේරෙන්න නම් බෑ...

‘‘කියන එකක් කණකට ගන්නේ නෑ. හෙම්බිරිස්සාව හදාගෙන තව බොරුත් කියනවා...’’

‘‘ගාණක් නෑ බබා... පොඞ්ඩයි...’’

‘‘පොඞ්ඩ තමා... කෝ බලන්න...’’

නෙත්මි එහෙමම චමත් වාඩිවෙලා හිටිය පුටුව ලඟටම ආවා. ඇවිත් චමත්ගේ නළලටයි, බෙල්ලටයි අත තියලා රස්නේ බැලූවා... ඇත්තටම කොල්ලා ටිකක් අමාරුවෙන් තමා හිටියේ. ඊයේ රෑ නෙත්මිව ඇරලවන්න ගිහින් ටිකක් තෙමුණනේ. දැන් සෙම ඇවිස්සිලා... හෙම්බිරිස්සාව පොඞ්ඩකුත් එක්ක හිසරදයකුත් අල්ලලා. නෙත්මිගේ අත වැදුනා විතරයි ඔළුවම සීතල වෙලා ගියා... 

‘‘උණ නම් නෑ බබා...’’  චමත් දෑස් පියාගෙනම කිව්වේ නෙත්මිගේ සුරතේ උණුසුම විඳින ගමන්...

‘‘උණ විතරයි ඔයාට අඩු... බලන්න අයියේ ඔයාගේ වැඩ... ඔළුවත් රිදෙනවද... ම්...?’’

‘‘ටිකක්...’’

‘‘ඔයා බේත් මුකුත් ගත්තෙ නැද්ද ඉතින්...’’

‘‘පැනඩෝල් දෙකක් බොන්න හිටියේ බබා... මේ.....’’

චමත් නෙත්මි දිහා බැලූවේ හොරෙන් වගේ... කෙල්ල රවාගෙන ඉන්නවා චමත් දැක්කා...

‘‘කොහෙවත් යන්නේ එහෙම නෑ කාමරෙන් එළියට...! හොඳද අයියේ... මං පැනඩෝල් දෙකක් එවන්නම්...’’

නෙත්මි එහෙමම චමත්ගේ ඔළුව ටිකක් අතගෑවා. ‘පව්... කාට කියලා ඔළුව අතගා ගන්නද...’

‘‘බේත්  ඕනේ නෑ බබා... ඔහොම ටිකක් ඔළුව අත ගෑවම අඩුවෙයි...’’

චමත් ඇස් පියාගෙන, පුටුවට ඔළුව හේත්තු කරගෙන හිටියේ... චමත් මේ වගේ පුංචි හරි සැලකිල්ලක් ලබන්නේ සෑහෙන කලාතුරකින් තමයි. නෙත්මිගේ ඇඟිලි තුඩු වලින් ගලන එ් දයාබර ස්පර්ශයට කොල්ලා මෙච්චර පෙරේත එ්කයි... නෙත්මි ඉන්නේ ඇඟේ වදින තරම් ලඟින්. මෙහෙමම කෙල්ලගේ පපුවට හේත්තු වෙන්න තරම් චමත්ට හිතුනා... එ්ත් එහෙම කරන්න බෑනේ...

‘‘ම්... මෙහෙම ඉන්න බෑනේ අයියේ... කවුරු හරි ආවොත් හොඳ නෑනේ... නේද...’’

‘‘හ්ම්..ම්..ම්.....’’

‘‘ඔන්න දැන් මූඞ් ගහන්න බෑ හොඳද... මං දවසම හරි ඔළුව අතගාන්නම්... මෙතන නම් බෑ...’’

‘‘එහෙනම් කොතනදිද...?’’

‘‘කියන එක තේරෙන්නෑනේ මේ පිස්සට...’’

නෙත්මි එහෙම කිව්වේ කොල්ලගේ ඔළුවට හිමී..හිට තට්ටුවක් දාන ගමන්...

‘‘යනවද...?’’

‘‘ම්... මං ගිහින් චූටි බබාට බෙයියන් ටිකක් අරන් එන්නම්...’’

නෙත්මි ගියේ චමත්ට හුරතල් හිනාවකුත් දාලා...




*  *  *  *  *


නෙත්මි චමත්ගේ කාමරයෙන් පිටවුනේ බර කරගත් හිසින්. චමත්ට ලං නොවී ඉන්නවා කියලා හිතාගෙන ආවට මොකද, තව තවත් කිට්ටු වෙන්නම තමයි වැඩ සිද්ධවෙන්නේ... ‘එයා අසනීප වුනේ මං නිසා... ඉතින් කොහොමද මං මග ඇරලා ඉන්නේ...’

නෙත්මි ගියාට පස්සේ චමත්ට කර කර හිටපු වැඩෙත් අමතක වුණා. පුටුවට ඔළුව ඔබාගෙන එයා කල්පනා කලේ නෙත්මි ගැනමයි. ‘එයාගේ හිතෙත් මං ගැන කැක්කුමක් තියෙනවා. එ්කනේ මගෙ අම්මා වගේ බනින්නේ... හැමදාම මාව බලාගන්න නෙතූ මගෙ ලඟ ඉන්නවා නම්...’

චමත්ට පැය කාලකට වඩා කල්පනාවේ ඉන්න හම්බවුනේ නෑ. දොර ඇරගෙන කාමරේට ආවේ පියසිරි... කාර්යාල කාර්ය සහායක...

‘‘ඇයි පියසිරි...’’

‘‘සර් මේ... සනීප නෑ කියලා පැනඩෝල් දෙකක් එවන්න කියලා කිව්වා...’’

‘‘කවුද කිව්වේ පියසිරි...?’’

‘‘අර අලූත් මිස් තමයි සර් කිව්වේ... මේ බේත් එකත් දෙන්න කිව්වා...’’

‘‘මොනවද මේ...’’

චමත් ඇහුවේ පියසිරි මේසය උඩ තිබ්බ දුම් දමන කෝප්පය දිහාත් බලන ගමන්...

‘‘පේයාව එකක් සර්... මිස් මට කියලමයි ගෙන්න ගත්තේ...’’

පියසිරි කිව්වේ ටිකක් බයෙන් වගේ... අලූත් මිස් මේක ගිහින් දෙන්න කිව්වට ලොකු සර් මේ වගේ බෙහෙත් බොයිද කියලා පියසිරිටත් ෂුවර් නෑ... අන්තිමට බැනුම් අහන්න වුනොත්...

‘‘හරි හරි පියසිරි.... මම තමයි ගේන්න කිව්වේ... දැන් යන්න....’’

‘‘හොඳයි සර්...’’

චමත් පැනඩෝල් දෙක බොන්න ඇසුරුම කඩන කොටම දුරකථනය නාද වුනා... 

‘‘පියසිරි මාමා ආවා නේද සර්...?’’

‘‘පියසිරිට මාමාලූ... මට සර්ලූ... මොකක්ද බබා...?’’

‘‘බේත් බිව්වද කියන්න...’’

‘‘නෑ...!’’

‘‘ඇයි එ්...?’’

‘‘නර්ස් නෝනා එනකල් බේත් බොන්නෑ...’’

‘‘අනේ අයියේ... හැම තිස්සෙම එන්න බෑනේ මට... හොඳ නෑනේ... හොඳ ළමයා වගේ පැනඩෝල් දෙකක් බීලා, පේයාව එකත් එක උගුරට බොන්න... හොඳද ?’’

‘‘හ්ම්... බොන්නම් කෝ... හැබැයි ඉතින් ඔළුව අත ගෑවොත් තමයි සනීප වෙන්නේ...’’

‘‘කවුද කිව්වේ...’’

‘‘ලෙඩා තමයි කියන්නේ...’’

‘‘හොර ලෙඩ...’’

‘‘නෙතූ...’’

‘‘ඇයි අයියේ...?’’

‘‘මට අද වැඩ කරන්න බෑ වගේ... මං එළියට යනවා...’’

‘‘ගොඩාක් අමා..රුද...?’’

‘‘අද කම්මැලියි වගේ බබා...’’

‘‘එහෙනම් යන්න... ගිහින් ටිකක් නිදාගන්න...’’

කෙල්ල එහෙම කිව්වේ ටිකක් විතර දුකෙන්... චමත් ගියාම නෙත්මිටයි පාලූ... ඔෆීස් එකේ ඉන්නවා නම් ගිහින් බලන්නවත් පුලූවන් නේ...

‘‘නිදාගන්න මම ගෙදර නෙවෙයි යන්නේ...’’

‘‘එහෙනම්...?’’

‘‘එ්කනේ දරුවෝ කිව්වේ එළියට යනවා කියලා... එනවද යන්න...’’

‘‘ම..ම.....!’’

‘‘ම්ම්... අපි දෙන්නම යං... හා ද ?’’

‘‘එ්ත් අයියේ...’’

‘‘කමක් නෑ බබා... මං එහෙනම් ගෙදර යන්නම්...’’

‘‘අනේ අයියේ... ඔය තරහ ගිහින් නේද... හරි, කියන්නකෝ කොහෙද ඔයා යන්න හදන්නේ කියලා...’’

‘‘බබා, අපි සුදේශ්ලගේ රෙස්ටුරන්ට් එක පැත්තේ ගිහින්, ලන්ච් අරන්, ටිකක් කථා කර කර ඉඳලා එමු... ම්... යමු ද ?’’

‘‘ඒත් අය්යේ..... මං කොහොමද එන්නේ... රණවීර සර්-’’

‘‘හරි බබා... මම රණවීර අංකල්ට කියන්නම්... ඔයා එනවා නේද...?’’

‘‘ම්...’’

චමත්ව අයින් කරලා තමන්ගේ ජීවිතේ තීරණ ගන්න අයිතියක් දැන් නෑ කියලා නෙත්මි තේරුම් ගනිමින් උන්නේ...

‘දුරස් වෙන්නට හිතන හැම විට තවත් ලං වෙනවා...
මතක නැති කර ගන්න හිතු විට සිතේ රජ වෙනවා...’




*  *  *  *  *


හුරුපුරුදු ගාලූ පාරේ දෙන්නා එක්ක මොරටුව පැත්තට ඇදෙනවා. මේ ආවට නෙත්මිගේ හිත නම් හරිම කලබලයි. ‘ඔෆිස් යනවයි කියලා ගෙදරින් ඇවිත් පිරිමි ලමයෙක් එක්ක ඇවිදිනවා අම්මලා දැක්කොත්, මං ගැන මොනවා හිතයිද... අනේ මන්දා... චමත් අයියට මුකුත් කියන්නත් බෑ. මට එයාව මග අරින්න බෑ දැන්... හ්ම්...ම්...’

දැන් සෑහෙන වෙලාවක ඉඳන් නෙත්මි කථාවක් නැතුව කල්පනාවේ ඉන්න හැටි චමත් බලාගෙන... 

‘‘ඇයි බබා කල්පනා කරන්නේ... මං හින්දා ඔයාට හරි කරදරයි නේද...?’’

‘‘කරදරයක් නෙවෙයි අයියේ... එ්ත්...’’

‘‘මොකක්ද බබා...?’’

‘‘අපි මෙහෙම යන එක හොඳ නෑ නේද...’’

‘‘මං කරන්නේ වැරැද්දක් ද බබා...?’’  චමත් එහෙම ඇහුවේ ටිකක් වෙලා ගිහිල්ලා...

‘‘ඔය වැරදි නම් මමත් වැරදියිනේ...’’

‘‘හ්ම්...ම්... අනේ මන්දා... මට හිතෙනවා මං ඔයාට වද දෙනවා වැඩියි කියලා... ඊයේ හවස පාර මැද්දේ බය කරලා බලෙන්ම වාහනේ දාගෙන ගියා... එපා කියද්දී බස් එකේ පස්සෙන් ආවා... දැන් අද ඔෆීස් එකේ වැඩක් කරගන්න දෙන්නේ නැතුව ඇදගෙන යනවා... මං මහ වදයක් නේද...?’’

‘‘වදයක් නම් තමා ඉතින්... මොනා කරන්නද... දැන් ගැලවෙන්නම බෑනේ...’’

කෙල්ල කිව්වේ කටත් අමුතු කරගෙන...

‘‘ගැලවෙන්න දෙන්නෙත් නෑ මං...’’

චමත් කිව්වේ කෙල්ලගේ සුන්දර මුහුණ දිහා බලලා හිනාවෙන ගමන්...

බොල්ගොඩ ගඟ අසබඩ ඉදිවුනු සුදේශ්ගේ අවන්හලට යනකොට ඉර මුදුන් වෙලා. ඉරු රැස් දැඩි මේ මහ දවාලේ වුනත් ගං දිය පිස ගෙන එන සුළඟේ සීතලක් දැවටිලා තිබුණා. චමත් මෙතනට ගොඩක් කැමති එ්කයි. ඇත්තම කිව්වොත් නෙත්මිත් දැන් මෙතනට කැමතියි. චමත්ගෙන් යන්නේ කොහෙද කියලා ඇහුවට පස්සේ කෙල්ලත් කැමති වුනේ එ්කනේ...

චමත් වාහනය අරගෙන ගිහින් නැවැත්තුවේ ගඟ අයිනේමයි. එතන හෙවනයි... ටිකක් අඳුරුයි... එ් වගේම හොඳට ගඟ පේන, හුළං වදින තැනක්... හිරු කිරණ වැදී දිලිසෙන ජල තලාව දිහා බලාගෙන චමත් ටිකක් වෙලා එහෙමම හිටියා... එහෙමම හැරිලා බලද්දී නෙත්මිත් ඈත දිය දිහා බලාගෙන ඉන්නවා චමත් දැක්කා...

‘‘මෙතන හොඳයි නේද බබා...’’

‘‘ම්...’’

‘‘මං ගිහින් සුද්දට කියලා එන්නම්... ඔයා ඔහොමම ඉන්න බබා... මම ඉක්මනට එනවා...’’

චමත් එහෙම කියලා ප‍්‍රාඩෝ එකෙන් බැහැලා අවන්හල දිහාට ඇවිදගෙන ගියා... ඔළුවත් සීට් එකට තද කරගෙන නෙත්මි චමත් යන දිහාව බලා හිටියේ අමුතුම හැඟීමකින්... ජීවිතේ පළමුවැනි වතාවට කොල්ලෙක් එක්ක ඇවිදින්න ආපු කෙල්ලෙක්ට එහෙම හිතෙන එක පුදුමයක් නෙවෙයි...




*  *  *  *  *


‘‘නෙතූ...’’

‘‘ම්...’’

‘‘ඇයි බබා කථා නැත්තේ...?’’

‘‘මුකුත් නෑ අයියේ...’’

‘‘හ්ම්... ඔයා මේ හිටියට එච්චර කැමැත්තෙන් නෙවේ නේද ඉන්නේ...’’

‘‘අනේ නෑ අයියේ... එහෙම නෑ...’’

චමත් හිටියේ නෙත්මිගේ ඔඩොක්කුවේ... කෙල්ලත් චමත්ව උකුලේ තියාගෙන පොඩි බබෙක් වගේ ඔලූව අත ගාමින් උන්නේ... ගඟ අයිනේ, හෙවනේ, වාහනේ පිටිපස්සේ සීට් එකට වෙලා දෙන්නා එක්ක දැන් පැය භාගයක් විතර වෙනවා... නෙත්මිගේ හීන් ඇඟිලි තුඩු හෙමිහිට, ලතාවකට චමත්ගේ හිස පුරා ඇදුනේ ආදරයෙන්. චමත් දෑසම පියාගෙන එ් උණුහුම රස විඳිමින් හිටියේ... දැන් නම් චමත්ගේ ලෙඩ හොඳටම වගේ හොඳයි... ඇයි ඉතින් නෙත්මිගේ අත්ගුණේ හොඳයිනේ...

‘‘මං ඔයාගේ බොස් කියලා හිතලා සද්ද නැතුව ඉන්න එපා බබා... කියන්න තියෙන දෙයක් තියේ නම් මූණටම කියන්න... ඔයාව බලහත්කාරෙන් ලඟ තියාගෙන ඉන්න මං කැමති නෑ...’’

චමත් හිතුවේ නෙත්මි සද්ද නැතුව ඉන්නේ එයා එක්ක තරහෙන් කියලා...

‘‘අනේ ඇයි අයියේ ඔහොම කියන්නේ... මං ඔයා ලඟ ඉන්න කැමති නෑ කියලා ඇයි හිතන්නේ... මං..මං...’’

කෙල්ලට එහෙමම ඇඬුණා. උණු උණුවේම එ් කඳුලූ වැටුනේ පහතින් වුන් චමත්ගේ මුහුණටමයි...

කෙල්ලගේ හිතත් චමත් ගැන ආදරයෙන් පැලෙන්න යනවා... මේ උකුලේ තියාගෙන ඔලූව අත ගගා ඉන්නේ එ්කනේ. එ් වුනත් නෙත්මිට කියාගන්න බැරි ගොඩක් දේ තියෙනවා... ඉතින්, කථා කරනවට වඩා එ් හැම දෙයක්ම හිතේ හිරකර ගෙන නෙත්මි චමත්ව උකුලේම තියා ගෙන උන්නා... කෙල්ලට ඇඬුනේ හිතේ තියෙන ආදරේ චමත්ට කියා ගන්න බැරි කමටයි...

‘‘අනේ නෙතූ... ඇයි බබා මේ අඬන්නේ...’’

‘‘ම්... හ්...’’

‘‘අනේ පැටියෝ ඇයි මේ...?’’

කෙල්ල කඳුලූ පුරෝගෙන ඔළුව දෙපැත්තට වැනුවේ මුකුත් නැහැ කියන්න වගේ... චමත් තමන්ගේ පපුව මත තිබුණු නෙත්මිගේ අනෙක් අත දෑතින්ම අල්ලාගෙන පපුවට තද කරගත්තා...

‘‘ඔයාට ප‍්‍රශ්ණයක්ද නෙතූ... ආ බබා.. ඇයි හිතේ තියෙන දෙයක් මට කියන්නැත්තේ...’’

‘අනේ දෙයියනේ... හිතේ තියෙන දේවල් කියාගන්න පුළුවන් වුනා නම්...!’ නෙත්මි හිතුවේ කඳුලූ මැදින්ම සිනහවක් ගන්නා ගමන්...

‘‘ඔයා... මගේ... බොස් හින්දා.... මං මේ... බයට ආ..වා.. කියලද හිතන්නේ අයියේ...?’’

‘‘අනේ මං එහෙම හිතලා කිව්වා නෙවෙයි බබා... ඔයා කල්පනා කර කර ඉන්දැද්දී මට දුකයි, මං ඔයාට වදයක් ද කියලා...’’

‘‘මං කවදාවත්... කා එක්කවත් මෙහෙම ඇවිත් නෑ අයියේ... එ් වුනත්... මං... අද මේ ආවේ මගේ කැමැත්තෙන්මයි... ඔයා මගේ බොස් වෙන්නේ සූරිය පබ්ලිකේෂන්ස් එක ඇතුලේ විතරයි... තේරුණාද ඔයාට...’’

‘‘ම්ම්... තේරුණා බබා... එ්ත්... නොතේරුණු දේකුත් තියෙනවා...’’

‘‘මොකක්ද අයියේ...’’  කෙල්ල ඇහුවේ හිනාවකින්...

‘‘මේ වෙලාවේ මං ඔයාගේ කවුද...?’’

කෙල්ල බයෙන්ම හිටියේ ඔය වගේ ප‍්‍රශ්ණ වලට තමයි...

‘‘කියන්න බබා...’’  චමත් ආයෙත් ඇහුවේ නෙත්මි සද්ද නැතුව හිටපු නිසයි...

‘‘අනේ මං දන්නෑ රත්තරන් අයියේ... මගෙන් අහන්න එපා දෙයියනේ...! මං... මං... පුළුවන් තරම් කාලයක් ඔයා ලඟට වෙලා ඉන්නම්... මට ඊට වඩා දෙයක් කරන්න බෑ අයියේ... අනේ...’’

නෙත්මි එ් ටික කියා ගත්තේ හරිම අමාරුවෙන්... කෙල්ල එහෙම කියලා එයාගේ උකුලේ තිබුණු චමත්ගේ ඔළුව හයියෙන් ඇඟට තද කරගත්තා... නෙත්මි කොච්චර දුකෙන් අඬනවද කියලා එයාගේ ඇඟ හෙල්ලෙන විදියෙන් චමත්ට තේරෙනවා...

කෙල්ල ඇඬුවේ පුදුම ඇඬිල්ලක්... ඇත්තටම නෙත්මිට දුකයි. එකක් චමත් ගැන තියෙන ලෝබකම... මේ වගේ කොල්ලෙක් කොහෙන් හොයන්නද... අනික චමත් ගැන නෙත්මිට හිතේ තියෙන දේ අවංකව කොල්ලගේ මූණට කියාගන්න බැරි එක... එහෙම කිව්වත්, චමත්ට බලාපොරොත්තු ගොඩාක් දීලා පස්සේ දාලා යන්න වෙන එක... එ් අස්සේ චමත් එ් කිසි දෙයක් තේරුම් නොගෙන නෙත්මි ගැන වෙන විදියකට හිතන කොට කෙල්ලට තවත් දුකයි... ඉතින්, අඬන්නැතුව මොනවා කරන්නද...!

චමත්ට ඉන්න බෑ... නෙත්මි මේ විදියට අඬද්දි කොල්ලට කොහොමවත් ඉන්න බෑ. එයා ඉක්මනටම නෙත්මිගේ ඔඩොක්කුවෙන් නැගිටලා වාඩිවුණා...

‘‘ඔහොම අඬන්න එපා බබා... මං කොහොමද ඉන්නේ...’’

චමත් එහෙම කිව්වේ නෙත්මිගේ මුව අසලටම ලං වෙලා... එ්ත් කෙල්ල තාමත් ඉකි ගගහා අඬනවා... නෙත්මි අඬන්නේ හිතේ මොනවා හරි හිර කරගෙන බව චමත්ට ඉවෙන් වගේ තේරෙනවා... එ්ත් කොහොමද එ් ගැන කථා කරන්නේ... මේ කෙල්ල හොඳටම අඬනවනේ...

‘‘නෙතූ... නංගී...’’

‘‘ම්...’’

‘‘කෝ මේ බලන්න...’’

චමත් නෙත්මිව තමන්ගේ පැත්තට හරවා ගත්තේ තෙත කම්මුලකින් අත තියලා මුහුණම බලමින්...

‘‘ඇයි අයියේ...’’

නෙත්මි ඇස් ඇරියේ චමත්ගේ මූණ බලන්න. එ් මුව තිබුණේ ගෑවෙන නොගෑවෙන දුරකින්... තෙත් කඳුලූ වලින් ඇලූණු ඇසිපිය අතරින් නෙත්මිට අහුවුණේ චමත්ගේ දිලිසෙන දෙනෙත. එ් ඇස් දෙකත් ලාවට බොඳවෙලා තිබුණේ...

‘‘ඇයි බබා...’’

‘‘නෑ... අයියේ...’’

‘‘මට කියන්න... ප්ලීස්...’’

‘‘මුකුත් නෑ සුදු අයියේ...’’

‘‘බබාට බයයි ද...?’’

‘‘ම්...’’

‘‘මං දාලා යන්නෑ රත්තරන්... ප්‍රොමිස්...! ඔයාව මෙහෙම ලඟින් තියන් ඉන්නේ ඈත් කරන්න නෙවෙයි බබා... මං... ඔයා..ට -’’

නෙත්මි බලන් හිටියේ ඉතුරු ටිකත් කියවෙන කල්... එ්ත් චමත් නැවතුණා. දෙන්නම බලන් හිටියේ ඇස් දිහා... චමත් එහෙමම පාත්වෙලා කෙල්ලගේ කඳුලූ උතුරන තෙත ඇහිපිය සිපගත්තා... ඊට පස්සේ එ් සුදු මූණ උරහිසට හේත්තු කරගෙන කෙල්ලව තුරුළු කරගත්තා... 

නෙත්මි චමත්ගේ වතට බරවුනේ දෑතින්ම එ් පපුව අල්ලගෙන. චමත් අත් දෙකම කෙල්ලගේ පිට උඩින් යවලා නෙත්මිව තුරුළු කරගත්තා... කෙල්ලගේ හිසින් එන මෘදු ගැහැණු සුවඳ විඳිමින් චමත් හිමිහිට නෙත්මිගේ හිස මත ඇඟිලි ගෙන ගියා. නෙත්මි උණුහුමට ගුලි ගැහිලා හිටියේ චූටි කෙල්ලෙක් වගේ...

‘හැමදාටම ඔයාව මෙහෙම ලඟින් තියාගෙන, තුරුළු කරගෙන ඉන්න තිබුණා නම් කොච්චර ෂෝක් ද බබා... ඒත්, මං කොහොමද ඔයාට ආදරෙයි කියලා කියන්නේ... ඔයා මං ගැන වැරදියට හිතාවි කියලා මට බයයි. ඔයා ඊට පස්සේ වෙනස් වුනොත්...? මගේ චූටි නෙතූ පැටියා මට නැතිවෙයි කියලා මං බයෙන් ඉන්නේ... මං ඔයාට ගොඩාක් ආදරෙයි නෙතූ... ගොඩා...ක්...! මං කොහොමද එ්ක ඔයාට කියන්නේ පැටියෝ... හ්ම්..ම්...!!!’

නෙත්මිගේ හිස පිරිමදිමින් චමත් මේවා හිතන්නේ ආදරයෙන් මුළු පපුවම පුරෝගෙන. එහෙම කොච්චර වෙලාවත් හිටියද කියලා දෙන්නම දන්නෑ... චමත් ඇස් ඇරියේ ජංගම දුරකථනය නාද වෙන හඬටයි...

‘‘අයියේ...’’

‘‘ම්...’’

‘‘ෆෝන් එක නේ..ද...’’

‘‘ඔව් බබා...’’

‘‘ඉතින්... බලන්නැද්ද...’’ 

‘‘කොහොමද බලන්නේ...’’

‘‘ඇ..යි...!’’

‘‘කවුද මන්දා කෙල්ලෙක් මාව බදාගෙන නේ...’’

නෙත්මි චමත්ගේ උණුහුමෙන් මිදුනේ ලැජ්ජාවෙන් මූණ බර කරගෙන... එ් නෙතු අග තිබුණු තෙත පිහිදාන ගමන් චමත් නෙත්මිගේ මුහුණ දිහා බලන් හිටියේ ගොඩක් ආදරෙන්... එ්ත් ඉතින් ෆෝන් එක කෑ ගහන්නේ හිතක් පපුවක් නැතුව වගේ...

චමත් ෆෝන් එක අරන් බැලූවේ කවුද කියලා. නාඳුනන අංකයක්... චමත් එහෙමම ඇමතුම සම්බන්ධ කරගත්තා...

‘‘හෙලෝ...’’

‘‘චම්මා... මචං මම සුද්දා...’’

‘‘සුදේශ්...! ඇයි මචං...’’

‘‘උඹල දෙන්නට ඩිස්ටර්බ් කලා නම් සොරි බං... මං කෝල් කලේ ලන්ච් දාන්නද අහන්න...’’

‘‘දැන්මම...?’’

‘‘යකෝ දැන් දෙකත් පහුවෙලා වෙලාව... කොහෙද ඉතින්... උඹ කසින් සිස්ටර්ට පාඩම් කියල දෙන්නැතිනේ නේද...’’

‘‘පලයන් යන්න... ගොන් වස්සා...’’

‘‘උඹල දෙන්නා දැන්මම එනවද...?’’

‘‘එන්නම් මචං එන්නම්... තිබ්බා...’’

‘‘ ඕකේ...’’

චමත් දුරකථනය විසන්ධි කලේ සුදේශ්ගේ බයිට් එකට හිනාවෙන ගමන්... ‘දැන් ඉතින්  ඕකාගෙන් බේරෙන්න වෙන්නෑ...’

‘‘ඇයි අයියේ...’’ නෙත්මි ඇහුවේ චමත්ගේ හිනාව දිහා බලාගෙන...

‘‘අපි අද දවල්ට කන්නත්  ඕනේ නේද බබා...’’

චමත් අහනකල් නෙත්මිට එ් ගැන වගක් වත් තිබ්බේ නෑ... අද පොඞ්ඩක් වත් බඩගිනි දැනුනේ නෑනේ... හිත තිබුණේ වෙන කොහෙද දිහාක නේ...

‘‘යං...’’  

චමත් කිව්වේ දොර අරින ගමන්... දෙන්නා එක්කම රථයෙන් බැස්සේ නුහුරු හිනාවකින්...




*  *  *  *  *


අද නම් නෙත්මිගේ දවල් කෑම එක ටිකක් ලොකුයි. කෙල්ල දන්නවා දැන් ඉතින් ඉස්සරහට චමත්ගෙන් කෑම එක බේරගන්න බැරි බව. අම්මගේ කෑම කාපු  ඕන කෙනෙක් එහෙම තමයි. ඉතින් කෙල්ල උදේම අම්මට කියලා තිබුණේ ටිකක් වැඩිපුර බෙදන්න කියලා... අම්මත් ඉතින් එහෙම බෙදුවා. ඇයි ඉතින්, කෙල්ල අම්මට කිව්වේ කට්ටිය එක්ක බෙදාගෙන කනවා කියලනේ...!

නෙත්මියි, චමතුයි හිටියේ සුදේශ්ගේ අවන්හලේ කෙළවරක තිබුණු මේසෙක, ලඟ ලඟ වාඩිවෙලා... නෙත්මි ගෙදර කෑම එක දිග ඇරගෙන, පිඟානක තියාගෙන කොල්ලට කවනවා... දෙන්නෙක්ට කෑම මදිනේ... ඉතින් චමත් සුදේශ්ගෙන් මදි පාඩු ටික අරගත්තා... සුදේශ්ගේ අවන්හලේ චෙෆ්ලා කොච්චර රසට හදලා තිබුණත්, කෙල්ලයි කොල්ලයි කෑවේ නිර්මලාගේ මාලූ පිණි එක්කම තමයි... 

ඇත්තෙන්ම නෙත්මිට තමන් ගැනම පුදුමයි. ඉස්කෝලේ කාලෙදි වත් නිකන්වත් ආදරයක් ගැන, පිරිමි ලමයෙක් ගැන හිතන්න බය වුනු හිත... කිසිම පිරිමියෙක්ව වැද්ද ගත්ත නැති හිත... දැන් හරි පුරුදුකාරයෙක් වගේ ආදරේ කරනවා... කවදාවත්, කාටවත් කවපු නැති අතින්, දැන් හරි ආදරයෙන් කොල්ලෙක්ට බත් කවනවා... උකුලේ තියාගෙන ඔළුව අතගානවා... මේ හුරුබුහුටි පෙම්වන්තිය කොහේ හැංගිලා හිටියද කියලා නෙත්මි කල්පනා කලේ චමත් දිහා බලාගෙනම... 

‘චමත් අයිය නම් පුදුම සතුටකින් ඉන්නේ... එයා ලඟට වෙලා ආදරේ කරන්න කවුරු හරි ඉන්නව නම් එයා හරි ආසයි... සල්ලි තිබුණට කවදාවත් ආදරයක් ලැබිලා නෑනේ... පව් දෙයියනේ... එ්ත්, එයාට මාව නැතිවුනොත්...! එයාට දරාගන්න බැරිවෙයි... පොඩි දේටත් ගොඩක් සෙන්සිටිව්. එ් වගේ දෙයක් කොහොම දරා ගනියිද මන්දා... ලැබෙන්නැති බව දැන දැනත් මං කොහොමද එයාට ලං වෙන්නේ... එයාට බලාපොරොත්තු ඇති කරවන්නේ... එ්ත් එහෙමයි කියලා මේ අහිංසකයගෙ මූණ බලාගෙන කොහොමද එයාගෙන් ඈත්වෙන්නේ.... මේ තරම් හොඳ කොල්ලෙක්ව මං අමතක කරන්නේ කොහොමද ?’

නෙත්මි බත් කටක් ගානේ හිතනවා... කොච්චර හිතුවත් එන්නේ එකම උත්තරයයි නම්, බොරුවට හිතලා මහන්සි වෙන එක තේරුමක් නෑ.... ඔව්... එක උත්තරයයි... ‘වෙන් වෙන්න වෙනකල් මම ඔයා ලඟින් ඉන්නවා...’

‘‘තව  ඕනේද... ම්...?’’

නෙත්මි ඇහුවේ ඔක්කොම කවලා ඉවර වෙලා...

‘‘හ්ම්... ඇති නේද... ඩෙසර්ට් කප් එකකටත් ඉඩ තියාගන්න  ඕනේ නේ...’’

‘‘තව ඔබන්න ඉඩ තියෙනවද...?’’ නෙත්මි ඇහුවේ තොල්පට තද කරගෙන හිනාවෙන ගමන්...

‘‘ඉඩ නැතත් හදා ගන්න එපෑ බබා... නැත්නම් සුද්දා තරහ වෙයි, ගෙදරින් ගෙනත් කෑම කාලා ගියා කියලා... අනික මුගේ ඩෙසර්ට් එක නොකා කොහොමද...?’’

එ් ගැන ඉතින් හොඳටම දන්නේ චමත් තමයි... මොකද ඉල්ලන  ඕන ජාතියකින් අතුරුපසක් සුදේශගේ අවන්හලේ තියෙන නිසා...

‘‘නෙතූ... මොනවද ගේන්නේ බබා...’’

‘‘කැමති දෙයක් අයියේ... මං දන්නේ නෑනේ...’’

‘‘ම්... අයිස්ක‍්‍රීම්... වටලප්පන්... කස්ටඞ්... ෆෲට් සැලඞ්... කිරිපැණි... ජෙලි... ආ..තව...’’

‘‘අම්මෝ ඇති ඇති... ඔච්චර කන්න පුලූවන්ද...’’

‘‘කියන්නකෝ මොනවද ආස කියලා...’’

‘‘කියන්න බලන්න එහෙනම් මම මොනවටද ආස කියලා...’’

කෙල්ල ඇහුවේ හුරතලේට...

‘‘ම්ම්...ම්... චොක්ලට් අයිස්ක‍්‍රීම් නේ...’’

‘‘හා...නේ... කොහොමද දන්නේ...?’’

කෙල්ලට දැන් පුදුමයි... 

‘‘මට හිතුනා බබා... දන්නවනේ ඉතින්... අපි දෙන්නම එකම චොයිස් නේ...’’

නෙත්මිට ගොඩාක් පුදුම චමත්ගේ මේ වගේ වැඩ වලට... හරියට උපන් දවසේ ඉඳන් දන්නවා වගේ... හැමදේම තේරුම් ගන්නවා... පුදුමයි...




*  *  *  *  *


කෑම කාලා ඉවරවෙලත් තව පැය දෙකක් විතරම දෙන්නා එක්ක සුදේශ්ගේ අවන්හලේම හිටියා... එළිමහන් ශාලාවේ කොනකට වෙලා නෙත්මියි, චමතුයි ඔහේ කයියක් දාගෙන උන්නා. එ් කථාබහට මාතෘකාවක් තිබුණේ නෑ... හිතට එන දෙයක්... කැමති දෙයක් ගැන කථා කර කර දෙන්නා එක්ක හැන්දෑව ගෙවා දැම්මා... 

අවන්හලේ කාර්යාල කාමරය ලඟ ඉඳන් ඈත කෙලවරේ ඉන්න කොල්ලවයි, කෙල්ලවයි දිහා බලාගෙන හිටපු සුදේශ් හිනාවකුත් මුහුණේ ඇඳගෙන හිමින් සැරේ චමත්ලගේ කිට්ටුවට ආවා...

‘‘මං ආවට කරදරයක් නෑනේ...’’

සුදේශ් එහෙම ඇහුවේ පුටුුුවක් ඇදගෙන චමත්ලා හිටපු මේසෙන්ම වාඩිවෙන ගමන්...

‘‘උඹේ රෙස්ටොරන්ට් එකේ කැමති තැනක වාඩිවෙන්න උඹ මොකටද අපෙන් අහන්නේ... නේද බබා...’’

චමත් එහෙම ඇහුවා... නෙත්මි හිනාවෙලා සුදේශ් දිහා බැලූවා...

‘‘ඉතින්... චම්මා... නංගී... මොකද දැන් වෙන්නේ...’’

‘‘ඇයි බං... උඹට මොකක් වෙනවා වගේද පේන්නේ... මං මේ නෙත්මි එක්ක කයියක් දාගෙන ඉන්නවා...’’

‘‘හරි හරි බං... මං ඇහුවේ දැන් උඹලා දෙන්නට මොනවද වෙන්නේ කියලා...’’

‘‘ම්ම්... අපි දෙන්නා නේද...? අපි දෙන්නත් ඉතින් ඔය වෙන එවුන් වගේ වයසට යයි... නැද්ද බබා...?’’

චමත් එහෙම කියන කොට නම් නෙත්මිට හොඳටම හිනා...

‘‘නෑ බං සුද්දා... අපි මේ... නිකං ඔහේ කතා කර කර හිටියා...’’

චමත් පස්සේ කිව්වේ සුදේශ්ගේ මූණ ටිකක් අප්සෙට් වුනු නිසා...

‘‘හරි හරි... හොඳයි හොඳයි... හොරෙන් ලව් කලාට කමක් නෑ සුදු මහත්තයෝ... උඹ මට නොකියා මැරි කරලා අහුවෙන්න නම් එපා...!’’

‘‘මොනවද බං උඹ මේ පිස්සු කියවන්නේ... බලපං මේ ලමයගේ මූණත් එක්ක අප්සෙට් වුනා...’’

චමත් කිව්වේ නෙත්මිව පෙන්නලා... ඇත්තම කිව්වොත් ඉතින් මේ ජෝඩුව කසාද බැඳිල්ල ගැන කෙසේ වෙතත් ආදරේ  ගැනවත් තවම කථා කරලා නෑ නොවැ... 

සුදේශ්ගේ කථාවට නෙත්මිගේ මූණ නිකන්ම බිමට බරවුණා... ලැජ්ජාවට කියලා හිතුවට එහෙමමත් නෙවෙයි. සුදේශ් කියන තරම් දුර හීනෙකට චමත් එක්ක යන්න බෑ කියලා හිතෙද්දී කෙල්ලට දුකයි... 

‘‘සොරි නංගි... මං මේ නිකං විහිළුවට වගේ කිව්වේ... අයෑම් රියලි සොරි...!’’

‘‘ඉට්ස්  ඕකේ...’’  

නෙත්මි සුදේශ්ට උත්තර දුන්නේ ඇහෙන නෑහෙන ගානට, බිම බලාගෙනමයි...

සුදේශ් ඉක්මනටම ගියා... චමත් ආයෙමත් නැවතුන තැනින් කථාව පටන් ගත්තෙත් නෑ... සුදේශ් කියපු කතාව දිගේ යන්නත් කොල්ලට බයයි. චමත් තාමත් නෙත්මි එක්ක එ් දෙන්නගේ මේ සම්බන්ධය ගැන කිසි දෙයක් කථා කරලා නෑ... මේ හදිසියේ එහෙම කරන්න කොල්ලට බයයි... ස්ටිල් අර්ලි ඩේස්... තාම මුලික අවධියනේ...

‘‘නෙත්... අපි යමුද බබා... හවස් වෙලා...’’

‘‘ම්ම්... යමු...’’

චමත් නෙත්මිව ඊයේ වගේම හිරණ බස් එකටම ගිහින් දැම්මා... හැබැයි බස් එකේ ගියේ නෑ... නෙත්මිගේ බස් එක යනකල් බලන් ඉඳලා, ඊට පස්සේ එයත් ආපහු ආවා... කෙල්ලව එක්කන් යන්න අම්මා එන බව දන්න නිසා චමත්ට බයක් නෑ...

සුදේශ් ගේ අවන්හලේ ඉඳලා එන ගමනේදී දෙන්නා කතා කර කර ආවා තමයි. එ්ත් වැදගත්ම දේවල් ගැන දෙන්නම කථා කලේ නෑ... එ්වා කථා නොකරන තරමට හොඳයි කියලයි නෙත්මි හිතා ඉන්නේ... හැබැයි කවදා හරි දවසක දත කාගෙන කල්පනා කරන්න තරමට මේ ගැන කථා කරන්න වෙන බව චමත් නම් දැනගෙන උන්නා. කොල්ලා ගෙදර යනකල්ම කල්පනා කරන්නේ එ් ගැනයි... නෙත් චමත් ආදර අන්දරයේ අවසානය කුමක් වේද කියලයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~


                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                




6 comments:

  1. අපි ලව් කරද්දී නම් සැකයක් උනොත් මුලින්ම ඒ ගැන කතාකරල බේරුමක් කරගන්නවා. හැබැය් කථාවක් ලියද්දි ඒ තරම් ඉක්මන් වෙන්න බැහැ නේද? හැබැය් කන්තෝරුවෙන් පනින විදියට දැන් එතන ඔක්කොමල වැඩේ දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. දෙන්නට දෙන්නා ලව් වුනාට කියාගන්න විදියක් නෑනේ ඇනෝ...

      //හැබැය් කථාවක් ලියද්දි ඒ තරම් ඉක්මන් වෙන්න බැහැ නේද? //
      ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ...???

      //හැබැය් කන්තෝරුවෙන් පනින විදියට දැන් එතන ඔක්කොමල වැඩේ දන්නවා ඇති.//
      අවුලක් නෑ බං ! චමත්නේ බොස් !!!

      ස්තුතියි ප්‍රතිචාරයට මචං (මචී ???)

      Delete
  2. අද නම් කොටු කොටු

    ආදරේ ගැනවත් කතා නොකරද දෙය්යනේ උකුලේ තියාගෙන නලවන්නේ? අන්තිම භයානක තත්වයක්! හි හි හි

    ReplyDelete
    Replies
    1. //අද නම් කොටු කොටු //
      කොටු කොටු කිව්වම මාවත් වයර් වුනා ! මං නොදන්න කොටු !!! මේක බෝම අහිංසක ආදර ස්ටෝරියක්නේ සිස්... :)

      ආදරයෙන් තොරව උකුලේ නැලවිල්ලක් තිබිය නොහැකිද උත්තමාවිය ???

      Delete
  3. මුන් දෙන්නා කොහාට ද මේ යන්නේ ? වැඩේ දැන් ඉතින් හැමෝටම මාට්‍ටු නේද ?

    ReplyDelete
    Replies
    1. - යන්නේ නම් පෙම් මල් උයනට තමයි...
      - මාට්ටු වුනත් ලාවට වගේ විතරයි !

      තැන්කූ වේවා කිව්වා සෙන්නා සහෝ !!!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...