මං ගැන

E-mail ලිපිනය - chathudscp@gmail.com
Facebook ගිණුම - https://www.facebook.com/chathudscp/
 
චතුරංග පෙරේරා වන මම...
ගැන කොහොමද දන්නැති ඔයාලට කියන්නේ. මම මං ගැනම පම්පෝරි ගහන්න කැමති නැති නිසා මං කවුද කියලා ලියන ඒවායින්ම තමයි තේරුම් ගන්න වෙන්නේ. කොහොම වුනත් මේ සිංහල බ්ලොග් අවකාශය තුළ යහපත් දෙයක්, වැදගත් දෙයක්, මතක හිටින දෙයක් කරන එක තමා මගේ බ්ලොග් කලාවේ අරමුණ... සඳහා චතූගේ කථා මට හොඳ වේදිකාවක්...!

මම වෘත්තියෙන් පරිගණක ආශ්‍රිත බහුමාධ්‍ය නිර්මාණ ශිල්පියෙක් (Senior Creative Designer) විදියට භාෂා ලංකා පුද්ගලික සමාගම සඳහා දායකත්වය ලබාදෙනවා. පරිගණක ක්ෂේත්‍රයේ දශක දෙකකට කිට්ටු  අත්දැකීම් එක්ක අද දවසේ තොරතුරු තාක්ෂණය කියන්නේ මගේ ජීවිතේටම බද්ධ වුනු දෙයක්. මගේ රාජකාරි කාලය වගේම විවේක කාලයෙනුත් වැඩි කොටසක් ගෙවෙන්නේ ලැප්ටොප් පරිගණකය ඉදිරියේ. ග්‍රැෆික් නිර්මාණ කටයුතු, creative writing වගේම,  හඬ කැවීම් හා හඬ පටිගත කිරීම් වලටත්, විවිධ වීඩියෝ නිර්මාණ වලටත් මම වෘත්තීය දායකත්වය ලබාදෙනවා. ඒ මොනවත් නැති වෙලාවට පොතක් කියවන එක හරි, නැත්නම් Age of Empires ව‍ගේ ක්‍රීඩාවක යෙදෙන එක තමයි කරන්නේ. ප්‍රධාන විනෝදාංශය පරිගණකය හා ස්මාට් දුරකථනය තමයි. පොත් කියවන්නත් ආසයි... ෂර්ලොක් හෝම්ස් මාලාව, ටාසන් කථා මාලාව, ඇලන් ක්වාටමෙන් වගේ අබිරහස්, ගවේෂණාත්මක, ඓතිහාසික ප්‍රබන්ධයන් කියවන්න ආසයි. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ නම් ඕනෙ එකක්. ෆිල්ම් වුනත් ඔය මාතෘකා වලින් නම් ඕනෙම එකක්. ගොඩාක් බලන්න කැමති ඉංග්‍රීසි චිත්‍රපට. රූපවාහිනියේ වැඩිපුරම නරඹන්නේ ක්‍රිකට් හා සංගීත වැඩසටහන් තමයි. තව ඉතින් ‍හොඳ වැඩසටහනක් ගියොත් බලනවා... (එහෙම ඒවා නම් ඇත්තේම නෑ වගේ...) මම හොඳ (අති විශිෂ්ඨ නම් නොවෙයි.. ) කලාකාරයෙක්. කාලයක් සංගීත කණ්ඩායම් කීපයකම විදුලි ඕගන් වාදකයෙක් විදියටත් කටයුතු කලා. දැනටත් මාසෙකට දවස් දෙකතුනක් විවේක වෙලාව‍ට ඕගනය හෝ ගිටාරය වාදනය කරනවා.

මගේ හොඳ ගැන කිව්වොත් (මෙන්න ස්වයං වර්ණනා..!!!) මට ඕනෙම කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙන්න පුළුවන්...  ඒ  වගේම ඕනෙම මාතෘකාවක්, වස්තුවක් ගැන ඉක්මනටම අල්ල ගන්න පුළුවන්. ඒ වගේම මම 90% ක් විතරම සර්ව සුභවාදියෙක්. බෑ කියලා අත අරින්නේ නැතුව හැමවිටම පුළුවන් කියලා හිතන, පටන්ගත්ත වැඩේ පුළුවන් උපරිමයටත් තව ටිකක් වැඩියෙන් කරලා ඉවර කරන (බැරිවුනොත් ඉවර කරගන්න උපරිම උත්සාහය යොදන) කෙනෙක්. මම ගැන හිතනවාට වඩා අනුන් ගැන හිතන එකෙක්. (ඒ නිසාම ගොඩක් පාඩුත් කරගත්ත එකෙක්...!!!) ඒ වගේම ඕනෙම දෙයක් සතුටින් විඳගන්න පුළුවන්... ඕනෙම දුෂ්කරතාවයක් යටතේ කන්කෙඳිරි ගාන්නැතුව වැඩ කරන්න පුළුවන්. අරමුණක් වෙනුවෙන් ඕනෙම අභියෝගයකට එකෙන්ම මුහුණ දෙන, පැත්ත ගියත් ප්‍රතිපත්ති වෙනස් නොකරන, සාධාරණය වෙනුවෙන් පෙනි හිටින අහිංසක, නිහතමානී චරිතයක් (හපොයි... ගිය උඩ !!!)

නරක ගැන කියනවා නම් මගේ ලොකුම දුර්වලතාවය තමයි, මම කරන විදියටම... මම හිතන විදියටම අනෙක් අයගෙනුත් බලාපොරොත්තු වීම... මගේ ළඟම කෙනෙක් යම් කිසි දෙයක් මගේ ප්‍රතිපත්ති වලින් පිට පැනලා කරනවා නම් මට තරහා යනවා. අනෙක් එක තමයි දෙයක් කොච්චර කියලා දුන්නත් තේරුම් නොගන්න, තේරුම් ගන්න උත්සාහයක් වත් නොගන්න අයට එකම දේ ආයෙ ආයේ කියන්න වෙන එක. එතකොටත් මට තරහා එනවා අප්පා.  ආත්මාර්ථකාමී පුද්ගලයන්ට මම කැමති නෑ. ඒ වගේම තවත් දුර්වලතාවයත් තමයි ගොඩක් වෙලාවට අනුන් නිසා රැවටෙන එක. සමහර වෙලාවට ඕනෙවට වඩා සංවේදී නිසා ගොඩක් අය මාව අන්දවලා තියෙනවා. දැන් නම් පරණ හරක් විකුණලා වුනත් ඉඳ හිටලා ඔය වගේ එක්ක දෙකක් නොවෙනවාමත් නොවෙයි... ඔය මොනවා වුනත්, කොච්චර කේන්ති ආවත්... මට පාලනය කරගෙන ඉන්න පුළුවන්... හැබැයි අම්මේ... තරහ ගියොත් නම්... මගේ කටට බ්‍රේක් නෑ. කලාතුරකින් තරහ යන අයට කේන්ති ගියාම වස නපුරුයිලුනේ...!!!
 
අන්තර්ජාලය තුළ සිංහලෙන් ලියන්න පුළුවන් කියලා මම දැනගත්තේ 2011 වර්ෂයේ ආරම්භයේදී...! ඊට කලින් ඒ ගැන දැන උන්නා නම් කියලා මම කණගාටු වුන අවස්ථාත් තිබුණා. ඒත් මට දැන් සතුටුයි... මේ බ්ලොග් අඩවිය හරහා මොනවා හරි හොඳ දෙයක් පාඨකයන්ට දෙන්න පුළුවන් කම ලැබුණ එකට. 2011 ජනවාරි 24 වැනිදා ආරම්භ වුනු මගේ බ්ලොග්කරණය තුළ මගේ ප්‍රධාන අරමුණු මෙන්න මේවායි.

  • කියවන්නාට රස වින්දනය සඳහා හරවත් දෙයක් කියවන්නට ලබාදීම.
      මට මේ බ්ලොග් අඩවියේ තේරුමක් නැති, හරයක් නැති වල්පල් පළ කරලා හිට්ස් වැඩි කරගන්නවත්, වැඩිපුර කමෙන්ට්ස් ගන්නවත්, ජනප්‍රියතම බ්ලොගයක් වීමටවත් තරඟයක් නෑ. අපි මහන්සි වෙලා ලියන ඒවා කවුරු හරි කියවලා දෙයක් ගත්තේ නැත්නම් ලිව්ව කාලෙයි, කියවපු කාලෙයි දෙකම වැඩක් නෑ. මම මේ බ්ලොග් අඩවිය සම්පූර්ණ ශාස්ත්‍රීය අඩවියක් කරනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. බ්ලොග් අඩවියක් වුනාම විවිධත්වයක් තියෙන්න ඕනේ. හොඳ දෙයක් කළා කියලා තෘප්තිමත් වෙන්න පුලුවන් නම් අන්න ඒ ආත්ම තෘප්තිය අනෙක් හැමදේටම වඩා මට වටිනවා. Quantity එකට වඩා Quality එක ගැනයි සැලකිලිමත් වෙන්න ඕනේ...

  • සෑම විටම සිංහල භාෂාවේ අනන්‍යතාවය රැක ගනිමින්, නිවැරදි සිංහල බස භාවිතා කිරීම හා සංරක්ෂණයට දායක වීම.
      සිංහල භාෂාව රැක ගැනීමට හා අනාගත ඩිජිටල් ලෝකය තුල බසක් ලෙස ‍රැඳෙන්නට මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය මම කරනවා. සිංහල කියන්නේ අපි දන්න, අපිට තේරෙන, අපේම භාෂාව. පුළුවන් හැම වෙලාවකම නිවැරදිව සිංහල භාෂාව පාවිච්චි කරන්න වගේම, භාෂාවක් විදියට සිංහල බසේ තියෙන ලේඛණ රීති හැකි තාක් දුරට අනුගමනය කරමින් - කියවන්නාට අපහසුවක් නොදැනෙන විදියට භාෂාව සාර්ථකව හැසිරවීමට මම උපරිමයෙන් සැලකිලිමත් වෙනවා... අනාගතේ දවසක... සමහරවිට අපේ ජීවිත කාලය ඇතුලතම ලිඛිත සාහිත්‍යයක් නැති වේවි. එදාට ඇති වෙන්නේ ඩිජිටල් සාහිත්‍යය... මේ ගෙවෙන්නේ ඒ යුගයේ ආරම්භය... අපි බාල කාලේ හරවත් පොත් හොයාගෙන කියෙව්වා වගේ අනාගතයේදී අපේ දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් කියවන්න හරවත් දෙයක් ඩිජිටල් අවකාශයේ ඉතිරි කරන එන බ්ලොග් රචකයන් වන අපේ යුතුකම...

  • අන්තර්ජාලය තුළ සිංහල භාවිතය තවදුරටත් පුළුල් කිරීමට දායක වීම, සෑම විටෙකම නවක බ්ලොග් රචකයන් ක්ෂේත්‍රයට නැඹුරු කිරීම හා බ්ලොග්කරණය ගැන අන්තර්ජාල පරිශීලකයන් දැනුවත් කිරීම.
      අන්තර්ජාලය තුල සිංහලයෙන් වැඩ කරන්න පුලුවන් කියන පණිවුඩය සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන් බහුතරයක් අතරට තවමත් ගිහින් නෑ. ඒ ගැන දැනුවත් කරන එකත් අපේ යුතුකමක්. සිංහල ඩිජිටල් අවකාශය තුල පරිශීලකයන් ගණන වැඩි වෙනවා කියන්නේ එක් අතකින් අපේ බ්ලොග් කියන්න එක ප්‍රමාණය වැඩි වෙනවා... අපේ තොරතුරු පැති‍රෙන වපසරිය වැඩි වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගැන හා තවත් බොහෝ තොරතුරු ගැන දැනුමක් ලබන පිරිස වැඩි වෙනවා. ඒ කියන්නේ ලංකාව තුල අන්තර්ජාල භාවිතා කරන්නන් අතර සිංහල භාවිතය පුළුල් වෙනවා කියන එක. හැම වෙලාවකම අළුතින් මේ අවකාශයට එන නවකයන්ට දැනුම ලබා දෙන එක හා ඔවුන් සිංහල අවකාශය තුල දිගටම රඳවා ගන්නට කටයුතු කරන්න ඕනේ... ඔවුන්ට උදව් ලබාදෙන්න ඕනේ. සිංහල යුනිකෝඩ් ගැන නොදන්නා අය දැනුවත් කරන්න ඕනේ. බ්ලොග් රචකයන් විදියට අපිට ඒ කාරණයේදී ලොකු වැඩ කොටසක් කළ හැකියි...

  • අන්තර්ජාලයේ අඩංගු වැදගත් තොරතුරු සිංහල භාෂාවෙන් ලබාදීම මගින් දැනුම බෙදා දීමට දායකත්වයක් සැපයීම.
      දැනුම තියෙන්නේ බෙදාගන්න. ලංකාව ඇතුලේ අන්තර්ජාල භාවිතාවය ‍ගොඩක් ඉහළ මට්ටමකට දියුණූ වෙලා / දියුණු වෙමින් තිබුණත් අන්තර්ජාල සාක්ෂරතාවය නම් පහළ මට්ටමක තියෙන්නේ. එතනදී ගොඩක් දෙනෙක් අධෛර්යයට පත් කරවන සාධකය තමා භාෂා බාධකය. ඉංග්‍රීසි ගැන සාමාන්‍ය මට්ටමේ සාක්ෂරතාවයක් තිබුණත් ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි ලේඛණයක් කියවන්න කම්මැලියි. අන්තර්ජාලයේ තියෙන තොරතුරු කන්දරාවෙන් අපිට අවශ්‍ය ඕනෙම දෙයක් ගැන ඉගෙන ගන්න පුළුවන්. කේක් එකක් හදන හැටි වගේම බෝම්බයක් හදන හැටිත් මෙතන තියෙනවා. ඔය තොරතුරු සමූහයෙන් බිංදුවක් හරි සිංහල පාඨකයන්ට ලබා දෙන්න පුලුවන් නම් ඒක ගොඩක් වැදගත්. අපි දන්න දෙයක් තව කා එක්ක හරි බෙදා ගන්නවා කියන්නේ අපේ දැනුමත් තවත් දියුණු වෙනවායි කියන එක. මම දන්න සොච්චමෙන් මොනවා හරි දෙයක් තවත් නොදන්නා කෙනෙක්ට කියලා දෙන්න ලැබුණු මේ අවස්ථාව මම උපරිමෙන් පාචිච්චි කරනවා. අපි ඉපදුණු රටට, පාවිච්චි කරන භාෂාවට සේවයක් වුනා කියලා මට ඒකෙන් සතුටු වෙන්න පුළුවන්...

  • මා බ්ලොග් රචනය සඳහා නොමිලේ භාවිතා කරන සම්පත් සඳහා උපරිම සාධාරණත්වය ඉෂ්ඨ කිරීම.
      මම මේ භාවිතා කරන සම්පත් මගේ නොවෙන, වෙනත් සමාගමකට අයිති දේවල් තමයි. ඒත් මේ ලියන අකුරක් අකුරක් ගානේ මතක තියාගන්න ඒ සමාගමේ සර්වර් පරිගණකවල දෘඩ තැටි සදාකාලිකවම කැරකෙනවා. මේ අකුරු හැමෝටම පෙන්නන්න ඒ සර්වර් පරිගණක හැමදාම එක දිගට දුවනවා. ඒ කටයුතු වලට ලොකු බලශක්තියක් වැයවෙනවා. ලොකු මිනිස් ශ්‍රමයක් වැයවෙනවා. නොමිලේ ලබාදෙන මේ සේවාව නිරපරාදේ නිරර්ථකව භාවිතා කලොත් ඒ සේවාවේ අර්ථවත් භාවය නැතිවෙනවා නේද ? ඒ වැය කරන බලශක්තියට / මිනිස් ශ්‍රමයට අපි ණය වෙනවා නේද ? අපි ලෝකෙට ණය කාරයෙක් වෙනවා නේද ? ඒක නිසා බ්ලොග්කරණය යහපත් අරමුණක්, අර්ථවත් අරමුණක් වෙනුවෙන් හසුරුවන එක ඔබ අප හැම දෙනාගේම යුතුකමක්. තව පැත්තකින් ඒක අපේ මිහිතලයට, පරිසරයට කරන සේවයක්...



ජනප්‍රිය බ්ලොග් රචකයෙක් වීමට වඩා හොඳ බ්ලොග් රචකයෙක් වීම මගේ අරමුණයි. ජනප්‍රියතාවය හඹා යා නොහැකියි. ඒ වගේම ඒක තාවකාලිකයි. හොඳ දෙයක් එක දිගට කරන අසීරු ඉලක්කය ජය ගන්න පුළුවන් නම් මේ බ්ලොග් කලාවේ හැමදාම වුනත් රැඳී ඉන්න පුළුවන් වේවි...! මගෙන් ලෝකයට වෙන්න ඕනේ යුතුකම ඉටුකරන්න මම මගේ මේ පුංචි බ්ලොග් අවකාශය වෙන් කරගෙන ඉවරයි. මම මොනවා කිව්වත් - කෙරුවත් ඒක විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ කියවන ඔයාලටයි... ඒ නිසා හොඳ කියනවා වගේම වැරදි, අඩුපාඩු පෙන්වා දෙන්නත් පැකිලෙන්න එපා. ධන, සෘණ විවේචන දෙකටම මේ අඩවිය විවෘතයි. ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න පුලුවන් (සදාචාරාත්මක ගැටළුවක් ඇති නොවන තාක් කල්...)

    මාව සම්බන්ධ කරගන්න වුවමනා නම් මෙන්න පාරවල්... 
පාඨක ඔයාලගේ අදහස් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා.... 
බොහොමත්ම ස්තුතියි !!!

E-mail ලිපිනය - chathudscp@gmail.com
Facebook ගිණුම - http://www.facebook.com/chathudscp


17 comments:

  1. මම මේක කියෙව්වේ දැන් යාලු.... මෙක හොද වටිනාකමක් තියෙන දෙයක්.... මම පොඩි වැරැද්දක් කලා මම එක උපුටා ගත්තා... වරදවා හිතන්න එපා මම මේක www.o3wall.com කියන සයිට් එකට දැම්මා හැබැයි එ ඔයාගේ නමින්මයි... අවුලක් තියෙනවානම් කියන්න මම එක මකන්නම්... සමහර විට එ සයිට් එකේ අය එක කියවලා මේක බලන්න එයි... පුලුවන්නම් ඔයාත් එන්න.. ඔයාට අවුලක්නම් කියන්න මම එක එ සයිට් එකෙන් මකන්නම්....

    හැබැයි එකක් ඔයා ආවොත් එ යාලුවන්ට ආස හිතෙයි.....

    වරදක් වුනානම් සමාවෙන්න... මේක ආස හිතුන හින්දා අනිත් අයට කියවන්න දැම්මා

    ReplyDelete
  2. ඔයාගෙ අදහස් ගොඩක් වටිනව...ඔයා වගෙ අය හරි අඩුයි.. මෙ ලිපිය කියෙවිවම...ලංකාවෙ තවමත් මිනිසත් කමින් පිරැණු මිනිසුන් සිටීම ගැන ලාංකිකයෙක් විදියට අැත්තටම මම සතුටු වෙමි..

    ReplyDelete
  3. ඔයාග් අදහස් නියමයි දිගටම ලියන්න අපි බලනවා

    ReplyDelete
  4. අන්තර්ජාලය ගැන නරක විතරක් කතා කරන කාලයක මේ වගේ බ්ලොග් එකක් කියවන්න ලැබීම ගැන සතුටු වෙනවා අවංකවම,මෙය තව දුරටත් හොදින් කරගෙන යන්න ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක් ආයෙත් නිදහසේ කියවන්න ඕනේ..ස්තුතියි ඔයාට මට මේක ගැන කිව්වාට.....

    ReplyDelete
  6. නියමයි යාලුවා... තව ලියන්න.ගොඩක් වැදගත් කමක් තියෙනවා ඔයගේ ලිපි වල. ජය වේවා..

    ReplyDelete
  7. හම්මේ.......ඔයා මාලයිනෙ හලේ......o.O

    ඔන්න මංනම් අඩ ටමයි මේ පැට්ටට ආවේ....පරිඝණක සම්බන්ඩයෙන්නම් මං මෙලෝ හසලක් ඩන්නෙ නෑ....ඒත් ඔයාගෙන් මොනවමහලි ඩැනගන්න පුළුවන් වෙයිනේ.....:)

    ඩිගටම එන්නම්....ජයවේවා අයියෝ.....!!

    ReplyDelete
  8. මචන් මම අලුතෙන් බ්ලොග් සයිට් එකක් පටන් ගත්ත. ඒකෙ HOME පේජ් එකේ පොස්ට් වලට යටින් Read More... Add කරන හෑටි පුලුවන්නම් කියන්න. plz

    ReplyDelete
  9. මම ඔයාට හදවතින්ම සුබ පතනවා අය්යේ..ජය වේවා.....

    ReplyDelete
  10. wab ekka hada ganna videya kiyala denn puluwanda?

    ReplyDelete
  11. ගොඩක් ආසාවෙන් කියවන්න පුළුවන් බ්ලොග් එකක් ඇත්තමයි, දිගටම අපි ඔයත් එක්ක ඉන්නවා.

    ReplyDelete
  12. patta...........pata..pata...........

    ReplyDelete
  13. meka aththatama superb wedak......good luck yaluuu...........................

    ReplyDelete
  14. රසික ද සිල්වාSeptember 17, 2013 at 6:18 AM

    වටින අදහස් ටිකක්..... බ්ලොග් එකට සුභ පැතුම්.....

    ReplyDelete
  15. mage gana kiuwa wagene ban. ela ela

    ReplyDelete
  16. හලෝ මචන්, ගොඩාක් කාලෙකින්. O/L වලින් පස්සෙ මගෙ හිතේ.

    ටික දවසකට කලින් දැක්ක උඹ FB ඵකේ දාල තියෙන කතාවක්. කියවන්න නම් වෙලාවක් තිබ්බෙ නැහැ. අද තමයි බොලොග් එකට අැවිත් බැලුවෙ. බොලොග් කීපයක් කියෙව්ව. ලස්සනට ලියලා තියෙනවා මචන්. නියමයි. (අලුත් විදියට කියනවනම් පට්ට තද තද😀) හැමෝටම හිතේ තියන දේවල් මෙහෙම ලියන්න බැහැ. එ්ක ලොකු දක්ෂතාවක්. ඡීවිතේ ස්ක්‍රිප්ට් එකක් කියල දාල තිබ්බ පෝස්ටි එක නියමයි. මටත් එහෙම හිතිල තියෙනව. අවුරුදු 30 පැන්නම ඡීවිතේ වෙනස් වෙන විදිය ගැන ලියල තිබ්බ එකත් නියමයි.

    පස්සෙ වෙලාවක් හම්බුනාම අනිත් එ්ව කියවන්නම්. දිගටම කරගෙන යන්න සුභ පතනවා. ඡය වෙිවා.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...