ඉතින්, කොහොමැයි. තාමත් බ්ලොග් බලන - කියවන හැමෝටම බොහොම ස්තුතියි කියන ගමන් මේ අරුමැක්කේ ආපු කාරණාවට බහින්නම්. නැත්නම් කට්ටිය මෙතන කැති පොලු ගනී ඉඳලා ඉඳලා ඇවිත් වටේ තලන්න ගත්තා කියලා...!
මේකයි ඉතින්. අද කවදද ? ජනවාරි 24 නේහ් ! ඒ කියන්නේ ළමායි... අද තමයි මගේ බ්ලොගේ ඇනිවසරි එක. එ් කිව්වේ ??? අදට "චතූගේ කථා" බ්ලොග් එක පටන් අරන් හරියටම අවුරුදු 07 යි !!! හතයි කිව්වට ඉතින්, ඔය හතෙන් 3 ක් වත් ලිව්වේ නෑ මේක හරියකට... බනින්න කාරි නෑ ඕං ! මං විතරක් නෙවේ, ඔය සයිබරේ කවුරු කවුරුත් පහු පහු වෙද්දී බ්ලොග් කොටන එක මග ඇරිය එකේ - මං විතරක් මොකැයි වෙනසක් !!!
ඇනිවසරි පෝස්ට් එකක් හරි දාන්න කියලා මතක් වුනු එකත් ලොකු දෙයක් නේ - නේද ? මොනවා වුනත් මේක ලියන්න හිතන් හිටියත්, ලියන්නම වෙන්නෑ. ඇත්තම කිව්වොත් බ්ලොගර් ඕපන් කරගන්න හැටිවත් දැන් මතක නෑ කියහල්ලකෝ... අනේ මන්දා අපිට ගිය කලක්.
කියන්නය කියලා මහ ලොකු දෙයක් නෑ. ඇනිවසරි එකට හරි පෝස්ට් එකක් දාන්න හිතුනා. ඉතින් දැම්මා. මේ පෝස්ට් එක බලන කවුරු හරි හෝ වේවා - 2011 ඉඳන් හිටපු අය හරි, අලුතෙන් එකතු වුනු අය හරි - කවුරු වුනත් කියන්න තියෙන්නේ බොහෝම ස්තුතියි කියලා... මොකද දැන් බ්ලොග් බලන අය හරිම අඩු නිසා...!
මං බ්ලොග් එක පටන් ගත්තේ 2011 ජනවාරි 11 වැනිදා. ඒ සුන්දර අතීතය මගේ වචන වලින්ම කොපි කරලා මෙතන දාන්නම්. මොකද, ආයෙත් ටයිප් කරන්න කම්මැලියි වගේ... !
2011 අවුරුද්දේ ජනවාරි 24 වැනිදා පටන්ගත්තු මගේ බ්ලොග් රචනාව ආරම්භයේදී නම් මේ වගේ තැනකට ඒවි කියලා මට අදහසක් තිබුනේ නෑ. ඇත්තටම මම බ්ලොග් රචනය පටන් ගත්තේ අළුත් අත්දැකීමක් නිසා. 2011 වෙනකල්ම සිංහලෙන් අන්තර්ජාල කටයුතු කරන්න පුළුවන් බවක් මම දැනං උන්නේ නෑ. ඇත්තටම කිව්වොත් බ්ලොග් කියන්නේ මොනවද ? සිංහල යුනිකෝඩ් කියන්නේ මොනවද ? කියලාවත් මට අදහසක් තිබුනේ නෑ. ඔයාලට මතක නම් ගිය අවුරුද්ද (2011) ආරම්භයේදී සිදුවුනු ජල ගැලීම් තත්ත්වය... අධික වර්ෂාව නිසා සිදුවූ හානි ගැන සිංහලෙන් ලියවුනු ඊ-මේල් පණිවුඩයක් මගේ ගිණුමට ලැබී තිබුණා. එතනින් ඇතිවුනු සිංහල අකුරු ගැන කුතුහලය මත මම සිංහල යුනිකෝඩ් ගැන සෙවුමක් දැම්මා. ඒ තවත් විස්තර හොයාගන්න. ඔන්න එතනදී තමයි, ධනික සොයුරාගේ SETT ඇන්ඩ්‍රොයිඩ් සිංහල බ්‍රවුසරය ගැන තිබුණු ලිපිය මම Google සෙවුම් ලැයිස්තුවේ දැක්කේ...
ඒ සබැඳිය දිගේ මම ආවා “ධනිකගේ සිතුවිලි” කියන බ්ලොග් එකට. ඒ තමයි මගේ පළමු සිංහල බ්ලොග් අත්දැකීම. ඊට කලින් මම සිංහල යුනිකේතයෙන් ලියැවුනු අන්තර්ජාල සටහනක් කියවලා තිබුනේ නෑ. SETT බ්‍රවුසරය ගැන තිබුණු ලිපියට පසු ඒ බ්ලොගයේ තිබුණු ගොඩක් ලිපි මම කියෙව්වා. එතැනින් ඇතිවුනු උනන්දුව හා කුතුහලය තමයි මගේම සිංහල බ්ලොග් අඩවියක් දක්වා මාව අරගෙන ආවේ...
ධනික සොයුරාගේ බ්ලොග් අඩවිය නිසා සිංහල ගැන ඇතිවුනු ආසාව නිසාම මම ධනික සහෝ එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වුනා. ඊ-මේල් හා Google Chat හරහා ධනික සහෝ එක්ක අදහස් හුවමාරු වුනා. මම නොදන්නා, අසා නොතිබුනු, නොවැටහුනු බොහෝ දේවල් ඒ කථා බස් වලින් මම ඉගෙන ගත්තා. සිංහල යුනිකෝඩ් හා බ්ලොග්කරණය ගැන පැහැදිලි කරලා දීලා, ඒ සඳහා වන ලිපි වෙත සබැඳියන් ලබාදීලා ධනික සහෝ තමයි මෙතනට එන්න පාර පෙන්නුවේ. බ්ලොග් එකක් කරමු කියලා ඔළුවට දැම්මෙත් ධනික සහෝම තමා... ඉතින්, ඒ හැම උදව්වක්ම වෙනුවෙන් සිංහල සයිබර් අවකාශයේ හැමෝම දන්නා හඳුනන චරිතයක් වන ධනික කෞෂල‍්‍ය පෙරේරා සොහොයුරාට මගේ ආචාරය...!!!
ඒ පෙන්නපු පාර දිගේ මම සෑහෙන්න දුරක් ආවා. මුල් මාසයෙදි බ්ලොග් ටෙම්ප්ලේට්, Java Script ඉඳන් කමෙන්ට්, ඩිසයින් වෙනකල් ඔක්කොම මම ඉගෙනගත්තා. ගොඩක්ම ඉතින් trial & error ක්‍රමයට තමා ! ඒ සඳහාම අන්තර්ජාලයේ සැරිසරපු පැය ගණන නිමක් නෑ. මාසයක් වෙනකොට යම් තරමකට ස්ථාවර බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මට පුළුවන් වුනා. සින්ඩියක් විදියට මුලින්ම මගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගත්තේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට... ආරම්භ කරලා මාසයකට පස්සේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට මාව ඇතුළත් කරගෙන තිබුණා. එතන ඉඳලා වඩාත් වැඩි පිරිසක් බ්ලොග් එකට ඇදෙන්න වුනා. සිංහල බ්ලොග්කියවනය, ලාංකීය සිතුවිලි වගේම හත්මාළුව, කොත්තු ඇතුළු අනෙකුත් සියළුම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගෙන ලබාදුන් සහයෝගයට (විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම ලාභ බලාපොරොත්තුවෙන් තොරව සිදුකළ නිසා...) ඒ අඩවි පවත්වා ගෙන යන, ඒ සඳහා වෙහෙස මහන්සි වෙන සියළුම සහෝදරවරුන්ට ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා...!
ඔය කියපු මොනවා තිබුනත් වැඩක් නෑනේ මම ලියන දේවල් කියවන්න කෙනෙක් හිටියේ නැත්නම් ! පටන්ගත්තු දවසේ ඉඳන්, ආධුනික බ්ලොග් රචකයෙක් කියලා වෙනසක් නැතිව මගේ ලියවිලි වලට ප්‍රතිචාර විදියට කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු ධනික සහෝ, නවම් මාවත ලියන නවම් සහෝ හා බුවාගේ සිතුවිලි ලියන බුවා සහෝවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. වැඩ අධික වීම නිසා මගේ බ්ලොගේ විතරක් නෙවේ, අනෙක් බ්ලොග් එකකවත් කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ධනික සහෝට නොතිබුණු නිසා පස්සේ කාලෙ වෙනකොට ධනික සහෝගේ කමෙන්ට් නැතුව ගියා වුනත්, බුවා හා නවම් නම් මුල ඉඳන් අද වෙනකල්ම මගේ බ්ලොගේ එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ වගේම පන්සල් හන්දියේ කල්හාර සහෝ, සිතක සංකල්පනා මවන මධුරංග සහෝ, හිස් අහස ලියන සඳරූ සහෝ එක්ක මෝල්ඩර්, Hare :) හා පිණිබිඳු කියන සහෝදර සහෝදරියෝ හැම දෙනාම මුල ඉඳන්ම වගේ මගේ බ්ලොග් එකත් එක්ක එකතුවෙලා ඉඳපු අය.
පස්සේ කාලෙක එකතුවෙලා අද වෙනකල්ම ගොඩක් ලොකු සහෝදර කමකින් චතූගේ කථා එක්ක එකතුවෙලා ඉන්න නෙළුම් විලේ සියපත් කුමරිය - බින්දි අක්කා, දේව්ගේ අඩවිය ලියන දේවා මල්ලී, අතීතයෙන් මතකයන් අහුලන දිල් හා පහන් යායට එළිය දෙන සයුරි සහෝදරියන් දෙපලත් ඉතා ආදරයෙන් මතක් කරන්නේ ඕනේ. ඒවගේමයි අපේ පිටසක්වලමල්ලිවත්...!!! මේ හැමෝම තමන්ගේ කෙනෙක්ට වගේ තමන්ගේ අදහස් වලින් මේ බ්ලොග් එකට ලබාදෙන සහයෝගය මට ලොකු ශක්තියක්...!!! ඒ වගේම මෑතකදී බ්ලොග් ලෝකයට ආ ඔබ නොදුටු ලොවක්, ලොකුපුතා, සංජි, වර්ණා, සෙන්නා, නෙළුම්, රාජ් ඇතුළු නම් කී නොකී ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාට ගොඩාක්ම ස්තුතියි...! නම් නොකීවයි කියලා තරහ ගන්න නම් එපා හොඳේ... මතක තියෙන විදියටයි කිව්වේ...
මට ලැබුණු පළමු කමෙන්ට් එක සහෝදරයෙක් වගේ ළඟින් ඉන්න ධනුෂ්ක සහෝගෙන්... කාලයක් බ්ලොග් රචනයේ යෙදිලා නවත්වලා තිබුණත්, ආයෙත් බ්ලොග් පැත්තට ගෙන්න ගන්න පුළුවන් කමක් ලැබුණා... මේ ධනුෂ්කගේ සයිබර් සිතුවිලි... ඒ වගේම තමයි අතිජාත මිත්‍ර දිනිඳුගෙන් ලැබෙන සහයෝගයත්, පසන් සහෝදරයාගෙන් ලැබෙන සහයෝගයත්... සයිබරයේ වගේම සැබෑ ජීවිතයේත් සැබෑම මිත්‍රත්වයකින් එකතුවෙලා ඉන්න උඹලා හැමෝටම ගොඩක් ස්තුතියි...
උපුටා ගැනීම අවසන් ඔන්න. ඔය උඩින් දැම්මේ මගේ පළමු බ්ලොග් සංවත්සර ලිපියේ කොටසක්...! ඒ ටිකම තමයි ඉතින් අදත් කියන්න තියෙන්නේ. හැබැයි එක විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි මගේ බ්ලොග් ගුරු වන ධනික සහෝගේ සමාගමේ, එනම් භාෂා පවුලේ සාමාජිකයෙක් හැටියට අද මේ බ්ලොග් සංවත්සර ලිපිය පළ කරන එක. අවුරුදු 07 කට කලින් බ්ලොග් එකක් පටන් ගන්න ධනික සහෝගෙන් උදව් ඉල්ලනකොට කවුද හිතුවේ පස්සේ කාලෙක ධනික සහෝගේ ආයතනයේම සේවය කරන්න ලැබෙයි කියලා... දෛවය තමා !!!
ඉතින් - මේ ලියන අකුරක් ගානේ නිසි ගෞරවය සුදුස්සාට ලැබෙන්නම ඕනේ. මුලින්ම මෙතනට එන්න පාර පෙන්නපු, දිරිමත් කරපු ධනික සහෝට - අපේ භාෂා පවුලේ ලොකු සහෝදරයාට පළමු ස්තුතිය. බ්ලොග් ලියන්න නොවුනත්, අදටත් ඔහුගෙන් ලැබෙන මග පෙන්වීම හා දිරි ගැන්වීමට හදවතින්ම ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා...!
දෙක, මගේ පළමු හා හොඳම බ්ලොග් පාඨකයා වගේම විචාරකයාත් වුනු, දයාබර නෝනිට... බ්ලොග් එක අප්ඩේට් කරන්න පරක්කු වුනොත් බැනලා බැනලා හරි මට වදයක් වෙලා කොහොම හරි බ්ලොග් පෝස්ට් එකක් දම්මවන්න එයා වග බලා ගත්තා. ඒ කිව්වේ ඉස්සර හොඳේ. දැන් උන්දැට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. !!! :P ඉතින් නෝනේ. උඹටත් ස්තුතියි !!!
තුන්වැනි ස්තුතිය, පොදුවේ හැමෝටම. අර උඩ උපුටනයේ කිව්වා වගේ බ්ලොග් කියවන, කමෙන්ට් කරන, සජීවී විචාර කරන සහෘද ඔබ සැමටත්, ලියන ලියන ලිපිය පළ කරන බ්ලොග් සින්ඩි වලටත් බොහෝම ස්තුතියි.
තරහ වෙන්න එපා හොඳේ. එච්චර තමා කියන්න තියෙන්නේ. කම්මැලියි වගේම නම්, මේකේ වටේ පිටේ බලලා, මං කලින් ලියපු එකක් දෙකක් කියවලා යන්නකෝ. හැබැයි, යනකොට බැන බැන යන්න නම් ඔට්ටු නෑ හරිය !!!
එහෙනම් යාලුවනේ... ලබන අවුරුදේදේත් මෙවැනිම සංවත්සර ලිපියකින්ම හමුවන බලාපොරොත්තුවෙන් මා නවතින්නම්. ඔබට සුභ දවසක් !!!
හ්ම්ම්ම්....දැන්නම් බ්ලොග් තියනවද කියලවත් ගානක් නෑ අප්පා... මමත් ඔය ඉඳලා හිටලා මොනා හරි දානවා එච්චරයි...
ReplyDeleteඅර කතාව ඉවර කරනනැද්ද?
ජය !!
හා ළමයට අනිවසරි එකනම් මතක් වෙලා වගේ වෙන මොනවා නැතත් :p
ReplyDeleteඅර එක සැරයක් ආදර අන්දරයක් ලියන්න පටන් අරගෙන පාඨකයෝ ටික අතරමන් කරලා දැම්මේ මෙ තුමා නේද :)
මොනා උනත් කමක් නෑ අවුරුදු හතකට පස්සෙත් බ්ලොග් එකක් තිබුනා කියලවත් මතක තියන එක ලොකු දෙයක් :) ජය වේවා එහෙනම්
This comment has been removed by the author.
ReplyDeleteමමනම් බ්ලොග් එකේ මාසයකට සැරයක් මොනවා හරි ලියනවා :)
ReplyDeleteසිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com
කොහොමද බොක්ක....
Deleteහැපි ඇනිවසරි සහො
ReplyDeleteකාලෙකින් කතා කරන්න බැරි උනත් තාම අපිව අමතක වෙලා නැ කියන එක ගැන ගොඩාක් සතුටුයි
පෙබරවාරි වලට මටත් අවුරැදු 8ක් ද කොහෙද
සුබ පැතුම් ! සතුටක් ඒ දවස් වල දුටු බ්ලොග් ආයෙත් ක්‍රියාත්මක වනු දැකීමම.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteMama nam aluth,eth digatama liyanna kyna illeema thma karanne,
ReplyDeleteMama nam aluth,eth digatama liyanna kyna illeema thma karanne,
ReplyDeleteඅම්මේ මමත් මේ කාලෙකට පස්සේ අවේ බ්ලොග් කියවන්න හිතිලා එක පාරටම :D ඔන්න චතුට හත් අවුරුද්දකට සුභ පැතුම්!
ReplyDelete