Friday, March 17, 2017

නෙත් චමත් [නව ඇරඹුමක්] #08


 රියටම උදේ 08.45 වෙද්දීම නෙත්මි ‘සූරිය පබ්ලිකේෂන්ස්’ බිල්ඩිං එක ඇතුලේ. එ් වෙද්දි එතන වැඩ කරන අයගෙන් වුනත් ඇවිත් හිටියේ භාගයයි. මෙතන දුරකථන ක‍්‍රියාකරවන්නිය වගේම පිළිගැනීමේ නිළධාරිනියත් වුනු රසිකා පවා එ් වෙද්දී වැඩට ඇවිත් වාඩිවුණා විතරයි. නෙත්මි රිෂෙප්ෂන් එක ලඟට ගියේ ටිකක් විතර බයකින්. එදා නම් ඉන්ටවිව් වලට කට්ටිය ඇවිත් හිටියා. අද කෙල්ල තනියෙන්...

‘එක්ස්කියුස් මී... මට... ම්... රණවීර සර්ව හම්බවෙන්න පුළුවන් ද...?’’

‘‘ම්ම්..ම්... ඔයා නෙත්මි නේද ?’’


රසිකාට මේ ගැන ඊයෙම රණවීර සර් කියලා තිබුණේ...

‘‘ඔව්... මං මේ...’’

‘‘චුට්ටක් වාඩිවෙලා ඉන්නකෝ නෙත්මි... රණවීර සර් මට කිව්වා ඔයා එයි කියලා... සර් තව පොඞ්ඩකින් එ්වි...’’

ඔෆීස් එක ඉස්සරහා ආලින්දය වගේ තියෙන කොටසේ වාඩිවෙන්න හදලා තිබුණේ මෙතනට එක එක වැඩවලට එන අයට ටිකක් වෙලා ගත කරන්න පුළුවන් විදියටයි. නෙත්මිත් ගිහින් එතන ආසනයකට බරවුණා...

‘චමත් අයියා ඇවිත් ද දන්නෑ... එයත් කරන වැඩ. මම මෙතන කවුරුවත් දන්නෙත් නෑ... එයාව විතරයි අඳුනන්නෙත්. දැන් තනියම තමයි ඉන්න වෙන්නේ...’ නෙත්මි හිතුවේ තරමක අපහසුවෙන්. නුපුරුදු පරිසරයත්, ඇඟට නුහුරු සාරියත් හින්දා කෙල්ල ටිකක් අවුලෙන් හිටියේ.

සූරිය පබ්ලිකේෂන්ස් හි කාර්ය මණ්ඩලය එක එක්කෙනා වැඩට එන හැටි නෙත්මි කොනකට වෙලා බලාගෙන හිටියා. එ් අයගෙන් හතර පස් දෙනෙක්ම ‘කවුද අප්පා මේ ලස්සන කෙල්ල’ කියලා හිත හිත නෙත්මි දිහාත් බලාගෙන තමයි ගියේ. එ් වුනත් නෙත්මිට එක පාරටම අමුත්තක් දැනුනේ රිෂෙප්ෂන් එකේ හිටපු රසිකා නැගිටපු හින්දයි.

‘ගුඞ් මෝනින් සර්...’’

‘‘ගුඞ් මෝනින් රසිකා...’’

එතකොට තමයි නෙත්මි චමත්ව දැක්කේ...!

ලා නිල් පාට ඉරි වැටුනු අත් දිග ෂර්ට් එකට කළු ට‍්‍රවුසර් එකක් ඇඳලා, සයිඞ් බෑග් එකක් එල්ලගෙන, ලැප්ටොප් බෑග් එකත් අරගෙන චමත් එමින් උන්නා. නෙත්මි එ් දිහා බලන් හිටියේ අමුතුම ඇස් දෙකකින්...

තමන්ගේ කෙනෙක් ලස්සනට දැක්කම  ඕනෙ කෙනෙක්ට එ් ගැන පොඩි ආඩම්බරයක් හිතට එනවා. ‘මේ එන ලස්සන කොල්ලා මං අඳුනන කෙනෙක්...’ කියලා නෙත්මිටත් එ් වගේ ආඩම්බරයක් දැනුනා...

‘දෙයියනේ... මම අයියා කියලා කථා කලාට මේ එන්නේ ලොකු කම්පැනි එකක මැනේජින් ඩිරෙක්ටර් නේද ?’ චමත්ගේ ප‍්‍රතාපවත් විලාසය දැකලා නෙත්මිට එහෙමත් හිතුනා. ඇත්තටම කොල්ලා අද හරිම හැන්ඞ්සම්... නළුවෙක් වගේ ලස්සනට ලොබි එක හරහා ඇවිදගෙන එන චමත් දිහා නෙත්මි බලාගෙනම හිටියේ හිත ඉතිරෙන තරම් ලෝබ කමකින්...

චමත් රසිකාට ‘ගුඞ්මෝනින්’ කියලා රිෂෙප්ෂන් එක ලඟින් යද්දී වටපිට බලන්නට වුනේ නිකමට වගේ. සමහර විට කොල්ලට සංසාරේ හුරු පුරුදු සුවඳක් දැනුනා වෙන්නත් පුළුවන්. නැත්නම් නෙත්මිගේ නෙත් සැරයට වෙන්නත් පුළුවන්. මොකක් වුනත් එහෙම වටේ බලනකොට තමයි චමත් දැක්කේ නෙත්මි අයිනක වාඩිවෙලා ඉන්නවා.

කෙල්ල පැත්ත ගහලා ඉඳිද්දී චමත්ටත් අප්සෙට්. ‘මගේ තැන වෙලත් මට මේ කෙල්ල එක්ක නිදහසේ කථා කරන්න විදියක් නෑනේ... මොනව කරන්නද. පැනපු ගමන් කථා කරන්න ගිහින් පටන් ගනිද්දිම නා ගන්නත් බෑනේ. කරන දෙයක් හීන් සීරුවේ තමයි...’ චමත් හිතුවේ තමන් දිහාම බලාගෙන ඉන්න නෙත්මිට ළපටි හිනාවකුත් දාන ගමන්...

චමත් තමන්ව දැකලා අඳුනගෙන වුනත් යාන්තම් හිනාවෙලා විතරක් ගිය එක ගැන නෙත්මිට දුකක් හිතුනේ නෑ. මොකද කොල්ලා එක්ක හිටිය ටිකට එයාගේ නූල් සූත්තර වැඩ ගැන නෙත්මි හොඳටම දන්න නිසා. ‘මොකක් හරි ප්ලෑනක් ගහලා ඇති... චමත් අයියා කැමති නෑ අපි දෙන්නා අඳුනන බව ඔෆීස් එකේ අයට අඟවන්න... මමත් එ් විදියටම ඉන්න  ඕනෙ... කථා නොකළත් මොකෝ, මූණ බලන්න හරි පුළුවන් නේ...’

රණවීරත් ඔෆිස් ආවේ නෙත්මි ඔහොම කල්පනාවේ ඉන්න අතරෙදියි. නෙත්මි රණවීර සර්ව දන්නේ නෑ... හැබැයි රණවීර නම් කලින් දවසේ චමත්ගේ ජංගම දුරකථනයෙන් නෙත්මිගේ රුව දැකලා තිබුණා. චමත් එ් ඡායාරූපය අරගෙන තිබුණේ එදා සුදේශ්ගේ අවන්හලට ගිය වෙලාවේ උදේ කෑම ගන්න කොටයි.

 රසිකා කවුදෝ මන්දා කෙනෙක්ට තමන්ව පෙන්නලා මොන මොනවද කියනවා නෙත්මිට පෙනුණා... ටික වෙලාවකින් මුහුණ පුරාම හිනා පුරෝගෙන රණවීර නෙත්මි ලඟට ආවා.

‘‘නෙත්මි දුව...! ගොඩාක් වෙලාද ඇවිත්...?’’

‘‘නෑ සර්, දැන් ආවේ...’’

ඊයේ කෙල්ලව දැක්ක ගමන්ම රණවීර අංකල් කෙල්ල ගැන පැහැදිලා හිටියේ... දැන් හැබැහින්ම දැක්කම එ් පැහැදීම තවත් වැඩිවුණා. තමන්ටත් මේ වගේ දුවෙක් හිටිය නම් කියලා රණවීරට හිතුණා. එයාට හිටියෙත් කොල්ලොම තුන් දෙනෙක්. චමත් ගේ තේරීම හරි කියලා නෙත්මි දැක්ක වෙලේම රණවීරට තේරුණා...

‘‘ඉතින්... ඉතින්... දැන් ලොකුයි නේ... අඳුන ගන්නත් බෑ...’’

නෙත්මි එ් පාර ලැජ්ජාවට හිනාවෙලා බිම බලාගත්තා... කොහොම වුනත් මේ වයසක මනුස්සයාව කෙල්ලගේ හිතට අල්ලලා තිබුණේ...

‘‘හ්ම්... හරි හරි.... අපි යමුකෝ දුව එහෙනම්...’’

ඉතින් නෙත්මිත් රණවීර සර් පිටිපස්සෙන් ඔෆීස් සෙක්ෂන් එක පැත්තට ඇදුණා. ‘චමත් අයියා මේ මනුස්සයටත් හොඳට රඟපාන්න පුරුදු කරලා වගේ...’ කෙල්ලට තනියෙන් හිනා ගියේ චමත් ගේ වැඩ ගැන සිහිවෙලා...

‘දැන් ඉතින් මෙතනින් එහා ජීවිතේ මොනවා වේවිද...?’ නෙත්මි හිතන්නට වුනේ අළුත් රැකියාව ගැන සතුටකින් වගේම බයකින්...


*  *  *  *  *


නෙත්මිගේ අළුත් ජොබ් එකේ පළමුවැනි දවස බොහොම ප‍්‍රසන්න විදියට ගෙවිලා ගියා... රණවීර අංකල් නෙත්මිට හොඳම මාර්ගෝපදේශකයෙක් වුණා. සූරිය පබ්ලිකේෂන්ස් වල ඉතිහාසයේ ඉඳන්ම එයා නෙත්මිට කියලා දුන්නා.

ඔෆීස් එකේ හිටිය මුළු දවසටම නෙත්මිට චමත්ව මුණ ගැහුණේ දෙපාරක් විතරයි. උදේ වරුව ටිකක් ගෙවුනට පස්සේ චමත් රණවීර අංකල්ටත්, නෙත්මිටත් දෙන්නටම එන්න කියලා තිබුණා. එ් ගිය වෙලාවේ වුනත් දෙන්නට පුද්ගලික දෙයක් කථා කරන්න වුනේ නෑ. නෙත්මිගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක චමත් පැහැදිලි කලා. එ් තැනට එන්න  ඕනෙ කරන හැම දෙයක්ම රණවීර අංකල් හිමිහිට නෙත්මිට කියලා දෙයි...

චමත්ගෙන් නෙත්මිට කෝල් එකක් ආවේ දවල් කෑම වෙලාව ලං වෙද්දීයි. අභ්‍යන්තර දුරකථනය භාවිතා කරන එක එ් වෙන කොටත් රණවීර අංකල් නෙත්මිට භාර කරලයි තිබුණේ. ඉතින්, චමත්ගේ කෝල් එක ගත්තෙත් නෙත්මි...

‘‘රණවීර අංකල්...’’

නෙත්මිට එහා පැත්තෙන් ඇහුණේ චමත්ගේ හඬ.

‘‘සර්... මම නෙත්මි...’’

‘‘ආ... නෙත් ! ඔයාද දැන් අංකල්ගේ ෆෝන් එක හැන්ඞ්ල් කරන්නේ...?’’

‘‘ඔව් සර්... රණවීර සර් මට කිව්වා එතනින්ම පටන් ගමු කියලා...’’

‘‘හ්ම්..... හොඳයි හොඳයි... මං ඔයාටම ගන්න තමයි කෝල් කලේ... බබා ඔයා අද ලන්ච් ගෙනාවා නේද ?’’
‘‘ඔව් සර්... ගෙදරින් අරගෙනමයි ආවේ...’’

‘‘හරි... ඔයා එක වෙනකොට ඩයිනිං එකට එන්න රණවීර අංකල් එක්ක...  ඕකේ...?’’

‘‘හරි සර්...’’

‘‘එහෙනම් බබා අපි ලන්ච් වලට හම්බවෙමු... මේ... වැඩ අවුලක් නෑ නේද...?’’

‘‘නැහැ සර්... හොඳයි...’’

‘‘හරි පැටියෝ මං තියන්නම්. ඔයාට ඔතන කථා කරන්නත් බෑ නේද... අපි පස්සේ කථා කරමුකෝ... තරහ වෙන්න එපා හොඳේ. වැඩ ටික කරගන්න. මං තියන්නම්... බායි...’’

‘‘හොඳයි සර්...’’

චමත් දුරකථනය තිබ්බේ දිගු සුසුමක් ද සමගින්... ‘නෙතූ හිතනවද දන්නෑ මම එයාව මෙතන වැඩ කරවගන්න ගත්තා කියලා... මම එ් කෙල්ලට උදව්වක්නේ කරන්නේ... රණවීර අංකල් හිටපු හින්දා කෙල්ලට හරියකට කථා කරන්නත් බැරුව හිටියේ. කමක් නෑ... ලන්ච් එකේදී හම්බවෙලා කථා කරනවා...’


*  *  *  *  *


සූරිය එකේ කට්ටියට කෑම කන්න වෙනම තැනක් හදලා තිබුණේ. එ්ක තමයි ‘ඩයිනිං’ එක. අම්මා උදේ පාන්දර හදලා දීපු බත් එකත් අරගෙන නෙත්මිත් රණවීර අංකල් පස්සෙන් ඩයිනිං එකට ආවා. එතකොටත් චමත් ඇවිත් වාඩිවෙලා බලාගෙන ඉන්නවා.

චමත්, රණවීර, පීරිස්, චින්තක ඇතුළු ආයතනයේ ඉහළ පෙලේ කට්ටියට වෙනම මේස දෙකක් වෙන් කරලයි තිබුණේ. නෙත්මිටත් එ් මේසෙකින්ම ඉඩක් ලැබුණා. චමත් සාමාන්‍යයෙන් ඩයිනිං එකේ ඉඳන් කන මනුස්සයෙක් නෙවෙයි. එයා ගෙදරින් කෑම ගේන්නේ නෑනේ. ඇයි ඉතින්, එයාට කවුද උදේට කෑම එක බැඳලා දෙන්න ඉන්නේ... ඉතින් කොල්ලා දවල්ට කන්නේ පිටින් තමයි.

රණවීර අංකලූත් කන්නේ හැමදාම ගෙදරින් ගේන නෝනාගේ රස කෑම එක තමයි. නෙත්මියි, රණවීරයි දෙන්නම ප්ලේට් දෙකකුත් අරගෙන, තම තමන්ගේ කෑම දිග අරිද්දී චමත් තමන්ගේ කඩ කෑම එක දිහා බලන් හිටියේ දුකින්... සල්ලි වලට කෑම ගන්න පුළුවන්. එ්ත් ගෙදරින් ගේන කෑම එක ඇතුළේ හැංගිලා තියෙන ආදරේ කඩ කෑම වල නෑ. ගෙදර කෑම එක එච්චර රහ එ්කයි...

චමත් මූණත් අමුතු කරගෙන කෑම එක දිහා බලන් ඉන්නේ මොකද කියලා නෙත්මිට හිතාගන්න පුලූවන්. කෙල්ලට කොහොමත් දැන් චමත් ගැන ටික ටික තේරෙනවනේ... ‘එයාටත් ගෙදර කෑම එකක් නෑ කියලා තමයි ඔය මූණ හදාගෙන ඉන්නේ... පව් ඉතින්... උදේට කෑම එකක් හදලා දෙන්න කෙනෙක් නෑනේ... ඔහේ ලෑස්තිවෙලා එනවා ඇති...’

‘‘සර්... මගේ කෑම එක දෙන්නද ?’’

නෙත්මි ඇහුවේ හිමිහිට... හොරෙන් වගේ...

‘‘මගෙන්ද ඇහුවේ...?’’ එතකොටම රණවීර අංකල් ඇහුවා.

‘‘නෑ නෑ... සර්ට නෙවෙයි... මං චමත් සර්ගෙන් ඇහුවේ...’’

නෙත්මි කලබලෙන් කියලා දැම්මා.

‘‘දෙන්නා එක්ක රෙස්ටොරන්ට් ගිහින් එකට කෑම කන්න හොඳයි... මෙතන තමයි ඉතින් අමුතු අමුතු මෝස්තර...’’

රණවීර අංකල් කිව්වේ මේ දෙන්නට නෙවෙයි වගේ...

‘‘මම හිටියට කමක් නෑ... ඔය තියෙන එකක් කථා කරගන්න... ඩිස්ටර්බ් වගේ නම් මම අර එහා ටේබල් එකට යන්නම්...’’

‘‘නෑ නෑ... රණවීර අංකල් ඔහොම්මම ඉන්න... ඔයා මෙතනින් ගියොත් මටයි තොප්පිය...’’

එ් පාර ඔන්න චමත් කථාවට ආවා. රණවීර අංකල්ට හංගන්න දෙයක් නැති එකේ මොකටද නිකන් ඇඹරෙන්නේ... හිත හිතා ඉන්නේ නැතුව චමත් කලේ එයාගෙයි, නෙත්මිගෙයි කෑම දෙක පටස් ගාලා මාරු කරපු එක...

‘‘කමක් නැද්ද...?’’  චමත් ඇහුවේ නෙත්මි දිහා බලාගෙන.

‘‘සර්  ඕක කන්න...’’  නෙත්මි කිව්වේ හිනාවෙලා...

‘‘මෙයාට කඬේ කෑම කාලා එපා වෙලා... එයාට ගෙදර කෑම කාලා එපා වෙලා... එහෙමද ?’’

රණවීර අංකල් ඇහුවේ දෙන්නගේ කොමලේ බලමින්.

‘‘මට නම් අම්මගේ කෑම එක එපා වෙලා නෑ සර්... එ්ත්... චමත් සර් ආස ඇතිනේ...’’

‘‘ඔව් ඔව්... මට තේරෙනවා... වෙනසකටත් එක්ක එහෙමත් හොඳයි, නේද පුතා...’’

‘‘ඔව් අංකල්... හැමදාම කඩෙන් කන්නත් බෑනේ...’’

‘‘එ්කනේ පුතා කථාවට කියන්නේ රහට කන්න වලලූ දාපු අතක් හොයා ගන්නෙයි කියලා...’’

‘‘අතක් නම් හොයාගත්තා අංකල්... එ්කට වලලූ තමා නැත්තේ...’’

චමත් ඇඟට නොදැනී කියලා දැම්මා.  ඕක අහලා කෙල්ලගේ මූණත් එක්ක රතුවෙනවා චමත් හොරෙන් බලාගෙන...

එතනින් එහාට කවුරුවත් කථා කලේ නෑ. මොකද කටවල් වැඩ කලේ කෑම ටික බඩට යවා ගන්න විතරයි. හැමෝම තමන්ගේ පාඩුවේ කන්න ගත්තා. චමත් නම් හරිම ආසාවෙන් තමන්ගේ බත් එක කන හැටි නෙත්මි දැක්කා. අම්මා අද හදලා තිබුණේ පරිප්පු හොදි, කොළ මැල්ලූම් එක්ක සැමන්... 

‘චමත් අයියා කාගෙන ගියාට කෑම රසද දන්නෙත් නෑ. කන විදියට නම් බත් එක මදිත් වෙන පාටයි... පවු... හැමදාම එයාටත් එක්ක කෑම එකක් හදාගෙන එන්න තිබ්බ නම්...’ කෙල්ල කල්පනා කරන්නේ එයාගේ බත් එක ඔහේ අත ගාන ගමන්...

‘‘නෙත්... කවුද මේ උයන්නේ...?’’

චමත් නෙත්මිගෙන් ඇහුවේ ඇටයක් වත් ඉතුරු නොකර හූරපු බත්කොලේ පෙන්නලා... එ්ක දැක්කම මැවෙන්නේ ආමි එකෙන් මල්ටිබැරල් ගහලා බිමටම සමතලා කරපු බිල්ඩිං එකක්...!

‘‘අම්මා සර් උයන්නේ... ඇයි, රස නැද්ද...?’’

‘‘රස හින්දනේ ළමයෝ ඇහුවේ... හැමදාම අම්මගෙන් කන්න හිතෙනවා...’’

අම්මගේ කෑම රසයි කියලා නෙත්මි දන්නවා. කෙල්ල බයේ හිටියේ එ් රස චමත්ට අල්ලන එකක් නැතිවෙයිද කියලා...

‘‘ඉතින් ඔයා කාලා නෑනේ... ඇයි නෙත්, කන්න බැරිද...?’’

චමත් ඇහුවේ ෆ‍්‍රයිඞ් රයිස් එක අත ගගා ඉන්න නෙත්මි දිහා දුකින් බලාගෙන. ‘මං කෙල්ලගේ බත් එකම කෑවා පෙරේතයා වගේ... එ් කෙල්ල කෑවද කියලවත් බලන්නැතුව. මට බත් එක දීලා එයා කන්නැතුව බඩගින්නේ...’

‘‘මං හිමිහිට කන්නම් සර්...’’

නෙත්මි එහෙම කියලා කන්න ගත්තා...

‘‘සර්ට කෑම මදි නේද...?’’

නෙත්මි එහෙම ඇහුවම චමත් හිනාවුණා විතරයි. නෙත්මි දන්නවා කොල්ලට එ් බත් එක මදි කියලා. කෙල්ල වැඩිය කන්නැති නිසා අම්මා බත් එකට බෙදන්නේ පොඞ්ඩයි. එ් පොඞ්ඩ කාලා කොල්ලෙක්ට මදි...

‘‘ආ... කන්න...’’

චමත් බැලූවා... නෙත්මි එයා කකා හිටපු කෑම එකෙන් භාගයක් දාලා... චමත්ගේ ප්ලේට් එකටම  ඕක දාන්න බැරි හින්දා කෙල්ල එ්ක දාලා තියෙන්නේ ෆ‍්‍රයිඞ් රයිස් එකත් එක්ක එන කාඞ්බෝඞ් පියනට... එ්ක දැක්කම චමත්ට ‘ස්පා’ එකේ ගතකරපු සුන්දර රාත‍්‍රිය සිහියට ආවා. චමත් එ් පියන දිහා බලාගෙන හිනාවෙන හැටි දැක්කම කෙල්ලටත්  ඕකම මතක් වෙලා හිනා ආවා...

‘‘මේකත් පුරුද්දකට යයි වගේ... නේද...?’’

චමත් ඇහුවේ හිනාව අතරින්...

‘‘මොකක්ද පුතා...?’’ වෙන කල්පනාවක හිටපු රණවීර අංකල් හිතුවේ එයාට කිව්වා කියලා...

‘‘නෑ නෑ අංකල්.... මං මේ නෙත්මිට කිව්වේ...’’

හිනාව පිටවෙන්නට නොදී නවත්වාගෙන නෙත්මි තනියම හිනාවෙන හැටි චමත් බලාගෙන හිටියේ කම්මුලකට අතකුත් තියාගෙන... උරහිස් හෙලවෙන විදියට එයා හොඳටම හිනා වෙනවා කියලා චමත්ට තේරෙනවා. 

‘අනේ දෙයියනේ... මේ හුරතල් කෙල්ල මගේම වෙනවා නම්... එයා හිනාවෙන කොට කොයිතරම් ලස්සනද... නෙතූ එක්ක විනාඩි දහයක් ලඟ හිටියත් කොච්චර සුන්දරද...’ චමත් හිතුවේ හරිම සතුටින්...


*  *  *  *  *


දවසක වැඩ හමාර කරලා නෙත්මි පාරට බැස්සේ සැහැල්ලූවෙන්. උදේ ගෙදරින් එද්දි තිබුණු බර දැන් හිතේ නෑ... ජීවිතේ පළමු වතාවට කරන්නට ගත්ත කුළුඳුල්ම රැුකියාවේ පළවෙනි දවස හරිම සුන්දර විදියට ගෙවිලා ගියා. කෙල්ලට පොඩි හරි හිත් අමාරුවකට තිබුණේ චමත්ට යනවා කියලා එන්න බැරිවුන එකයි.

‘යන ගමන් පන්සල් හන්දියේ කමියුනිකේෂන් එකෙන් කෝල් එකක් දාන්න  ඕනෙ. චමත් අයියට අනිවාර්යයෙන් තෑන්ක්ස් කරන්නම එපෑ. එයා නැත්නම් මට මේ වගේ ජොබ් එකක් කීයටවත් හම්බවෙන්නේ නෑ...’

ජනාකීර්ණ කොළඹ වීදියේ පේව්මන්ට් එක දිගේ නෙත්මි හිමිහිට අඩි තිය තිය ගියේ දහසක් දේ හිතමින්. කෙල්ලට තාමත් සාරිය හුරු මදි. ඉතින් අඩිය උස්සලා කඩිමුඩියේ ඇවිදින්න බයයි. ලතාවකට නලවමින් යන නෙත්මිගේ හැඩ ගමන දිහා චමත් බලාගෙන හිටියේ වාහනයේ පසුපස වීදුරුවෙන්. කොල්ලා මෙහෙම හැංගිලා බලන් ඉන්නවා කියලා නෙත්මි දන්නේ නෑ... මේකත් මේ චමත්ගේ පොඩි හොර වැඩක්... සර්ප‍්‍රයිස් එකක්...!

නෙත්මිගේ කල්පනාවත්, ලාලිත ගමනත් දෙකම හිටිඅඩියේ නතරවුනේ පාර අයිනේ තිබුණු වාහනයකින් එක පාරටම ඇරුණු දොරක් නිසා...! නෙත්මිව සීතල වෙලා ගියා. බය වෙච්චි පාර කෙල්ලගේ අතක් පපුවේ... විසල් වුනු ඇස් වලින් බැලූවාම වාහනේ ඇතුළේ ඉඳන් එබීගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි, චමත්...!

නෙත්මිට ඔන්න එතකොට නම් ඇත්තටම තරහක් ආවා... ‘මේ පිස්සගේ වැඩ නිසා දවසක මට හාට් ඇටෑක් හැදෙනවා ෂුවර්...’

‘‘නෙතූ, නගින්න බබා...’’

‘‘එපා...! මං බස් එකේ එන්නම්...’’

‘‘අනේ නෙත්... එන්න බබා... වැඩිවෙලා නවත්තන් ඉන්න බෑ මෙතන...’’

‘‘සර් යන්න... මට බස් එකක යන්න පුළුවන්...’’

‘‘ප්ලීස් බබා, නගින්නකෝ... ප්ලීස්... මිනිස්සුත් බලන් ඉන්නවා...’’

ඔන්න එ් පාර කෙල්ල ඇවිත් වාහනේට ගොඩවුණා.

නෙත්මි වාහනයට නැග්ගට ඉන්නේ හිතේ තරහින් කියලා චමත් දන්නවා... වාහනේ හරවාගෙන, කලබල වී ඇවිස්සුනු කොලඹ වීදි අතරින් ඩුප්ලිකේෂන් පාරට දාගන්න කල් චමත් කෙල්ල එක්ක කථා කරන්නවත් හිතුවේ නෑ. කථා කරන්න තරම් ඉස්පාසුවක් තිබුනෙත් නෑ... එ්ත් චමත් එ් ටික ගියෙත් සැරින් සැරේ නෙත්මි දිහා බල බලා මූඞ් එක කොහොමද කියලා බලන ගමන් තමයි...

‘‘නෙතූ... තරහද බබා...’’

‘‘ඔව්...!’’

‘‘අනේ සොරි පැටියෝ... මම විහිළුවක් නේ කලේ...’’

‘‘මම හොඳටෝම බය වුනා... ඔයාට විහිළු...’’

‘‘ඇත්තටම තරහ වෙලාද ඔය...’’

‘‘ඔව්...’’

‘හ්ම්...’ චමත්ට හොඳටම දුක හිතුණා. රොබෝ කෙනෙක් වගේ හැමදාම එක විදියටම දුවන ජීවිතේට පොඩි වෙනසක් වෙනවට චමත් කැමතියි. කෙල්ල ඉස්සරහ ඔය පොඩි පොඩි පිස්සු වැඩ කරන්නේ එ්කයි. හිටපු ගමන් මොන්ටිසෝරි වැඩ කරනවා කියලා චමත් ඉස්සර ඉඳලම අයියගෙන් බැනුම් අහනවා. මිනිහා දැන් බැඳලා පැත්තකට වෙලා නිසා චමත්ගේ මොන්ටිසෝරි වැඩ වලට බනින්න කවුරුවත් දැන් නෑ... එ්ත්, ඉස්සර අයියා බැන්නටත් වඩා චමත්ට දැන් හිතට අප්සෙට්...

තමන්ගේ පුංචි විහිළුවට නෙත්මි තරහවෙලා ඉන්දැද්දි චමත්ට ගොඩක් දුකයි. මුළු හිතේම ජීවත් වෙන්නේ එයා... අනෙක් වැඩ ඔක්කොම පැත්තක දාලා  ඕෆ් වෙන වෙලාවට ඇවිත් නෙත්මි එනකල් බලන් හිටියේ ගොඩක් ආසාවෙන්. දවසටම කෙල්ලත් එක්ක නිදහසේ වචනයක් කථා කරන්න වුනේ නෑනේ. නෙතූව ගෙදරට දාන ගමන් දෙන්නත් එක්ක හිමිහිට කයියක් දාගෙන යන්නයි චමත් හිතන් හිටියේ. දැන් ඉතින් ඔක්කොම සුන්... නෙතූ තරහ වෙලානේ...!

ඔෆීස් ටයිම් එක නිසා පාරේ තදබදය උපරිමයි. රථ පෙල ඉස්සරහට ඇදෙන්නේ හරිම හෙමින්... නෙත්මි තාමත් එහෙමමයි. චමත්ට දැන් ඇඬෙන්න තරමට දුකයි. මොනව කරන්නද ? ඉවසපන් පපුව...! චමත්ට තමන් ගැනම ඇතිවුනේ ලොකු ආත්මානුකම්පාවක්...

‘මං කැමති හැමෝම මගෙන් ඈත් වෙනවා. ලඟින් ආශ‍්‍රය කරන්න තරම් මගේ මුකුත් විශේෂයක් නැතිව ඇති. කවුරුවත් මාව ගණන් ගන්නේ නැත්තේ එ්කනේ... තාත්තා මට උපාසකයලූ, අම්ම කියන්නේ නපුංසකයා, අයියට මාව ළදරුවෙක්... අනෙක් උන් හිතන් ඉන්නේ මං පිස්සු කේස් එකක් කියලා. නෙතූ උනත් එහෙම හිතනවද දන්නෑ... මං එයාට ආදරේ වුනාට, මට එයාව වටිනවා වුනාට එයාට එහෙම නැතුවත් ඇති... පොඩි විහිළුවකට තරහ වෙලා ඉන්නේ එ්කනේ...’

සෑහෙන තරම් දුරක් දෙන්නා කථා නැතුව ආවා. ලස්සනට කතාවක් දාගෙන එන්න තිබුණු හැන්දෑවක් නැති කරගත්ත එකට චමත් හිටියේ තමන් ගැනම තරහෙන්...

‘මම නෙත්මිව මෙහෙම වෙහිකල් එකේ දාගෙන එන එක එයාට කරදරයක් ද දන්නෑ... මමත් අයිතිකාරයා වගේ බලෙන් නග්ගගෙන එනවා. කවුද දන්නේ බෝයි ෆ්‍රෙන්ඞ් වත් හම්බවෙලා දෙන්නා එක්ක බස් එකේ යන්න හිතාගෙන හිටියද කියලා. මම එයාගේ බොස් හින්දා සද්ද නැතුව ඉන්නවා ඇත්තේ. පව්...! එයාට ජොබ් එක කරගෙන එයාගේ පාඩුවේ ඉන්න දෙන්න  ඕනේ. මම එයාගේ හැම එකටම ඇඟිලි ගහන්න ගිහින් එයාට මාව දැන් මල වදයක් වෙලා ඇති...’

චමත්ගේ පපුවම හිස් කරගෙන ලොකු සුසුමක් පිටවුණා...

‘මම දේවාලේ කුණුගොඩට දාපු පූජා වට්ටියක් වගේ... කවුරුවත් අත ගහන්න කැමති නෑ...!’

චමත් සැරෙන් සැරේ හූල්ලන හඬ නෙත්මි දැන් ටික වෙලාවක ඉඳන් අහගෙන ඉන්නේ පුදුම කැක්කුමකින්... කොල්ලා හූල්ලන කොට රිදෙන්නේ, ඇකිලෙන්නේ නෙත්මිගේ පපුව. චමත් දිහා හොරෙන් බලනකොට කෙල්ලට ඊට වඩා රිදෙනවා. කොල්ලගේ මූණ බලන්න බෑ... දුක බේරෙනවා...

‘ඔය තරම් දුකෙන් හූල්ලන්න දෙයක් වුනේ නෑනේ දෙයියනේ... ඇයි එයා එච්චර දුකෙන් ඉන්නේ...?’ නෙත්මි උන්නේ චමත්ගේ මේ ශෝක මූඞ් එක උහුලගන්න බැරුව. ‘මම තරහ වුණා කියලා ඔය තරම් දුක් වෙන්න  ඕනෙද... මම සදහටම තරහ වුණේ නෑනේ...’

එ්ත් චමත් වගේ සංවේදී කොල්ලෙක්ට පොඩි දේකුත් ඇති හිත රිදවගන්න. නෙත්මි ඉතින් තාම එ් ගැන දන්නෙ නෑනේ...

‘‘අයියේ...!’’  නෙත්මි කථාකලේ මෘදුව... හිමීහිට...

‘‘ආ...’’

චමත් නෙත්මි දිහා බැලූවා. බලලා අමාරුවෙන් හිනාවක් මවාගත්තා.

‘එහෙම හිනාවුනාට වඩා හොඳයි ඇඬුව නම්...’ නෙත්මි එහෙම හිතුවේ එ් දුක්බර හිනාව දරාගන්න බැරුව...

‘‘මට සමාවෙන්න..... මම ඔයාගේ ජීවිතේට බලපෑම් කරනවා වැඩියි..... සොරි නංගී...... මං.. ඔයාට.. වදයක්.. නොවී ඉන්නම්...’’

චමත්ගේ හඬ හොඳටම බිඳිලා තිබුණේ. නෙත්මිට චමත් මේ විදියට දුක්වෙන හැටි තවත් දරාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නෑ...

‘‘මොනවද දෙයියනේ මේ කියවන්නේ... මට චුට්ටක් තරහ ගියා කියලා ඇයි මේ පිස්සු කථා කියන්නේ... ඔයා මට වදයක් වෙලා නෑ අයියේ... අනේ ප්ලීස් ඔහොම ඉන්නෙපා...!’’

එ්ත් චමත්ගේ වෙනසක් නෑ... කොහොමත් කොල්ලට හිත රිදුනම හදා ගන්න ටිකක් වෙලා යනවා...

ගියර් එක උඩ තිබුණු චමත්ගේ වමත නෙත්මි අල්ලගත්තේ චමත්ගේ මේ විඳවීම බලා ඉඳලා ඇතිවෙලා. කෙල්ල චමත්ගේ අත එහෙමම තද කර ගත්තේ එ් මූණ දිහා බලන ගමන්...

නෙත්මිගේ අතින් එන තෙත රස්නය චමත්ගේ පපුවටම වැදුනා. එ්ක පුදුමම හැඟීමක්... එක ස්පර්ශයකට එච්චර දෙයක් කරන්න පුළුවන්ද ? චමත්ටම එ් ගැන පුදුම හිතුනා...

‘‘චමත් අයි..යේ...’’

‘‘ම්...’’

කෙල්ලගේ හඬ  ඕනාවටත් වඩා දයාබරයි... චූටි බබෙක්ට ආදරෙන් කථා කරන විදියටයි නෙත්මි චමත්ට කථා කලේ... එ් තරම් ආදරෙන් කථා කරන කොට මළ මිනී වුනත් නැගිටිලා එ්වි...!

චමත් බැලූවේ තමාගේ පිටි අත්ල මතට වැටුනු නෙත්මිගේ සුදු අත දිහා...

‘‘චුට්ටක් නතර කරන්න අයියේ...’’

‘‘ඇයි බබා...’’ චමත් ඇහුවේ උගුරෙන් වගේ...

‘නෙත්මි බැහැලා යන්නද දන්නෑ හදන්නේ...’ චමත් හිතුවේ පපුවම බර කරගෙන...

‘‘නතර කරන්නකෝ...’’

ඔය වෙද්දී වාහනය තිබුණේ දෙහිවල හරියේ... එ් ටික එන්නම පැය භාගෙකට වඩා ගිහිල්ලා තිබුණා. චමත් හිමින් සැරේ අයිනක් අල්ලලා ප‍්‍රාඩෝ එක නතර කලේ බිම බලාගෙනමයි. කෙල්ල බැහැලා යන හැටි බලාගෙන, දරාගෙන ඉන්න චමත්ට බෑ.

වාහනේ නවත්වන්න ගියර් මාරු වෙද්දී චමත්ට නෙත්මිගේ අත මග හැරුණා. එ්ත් වාහනේ නැවැත්තුවට පස්සේ චමත් පැත්තකින් තියාගෙන හිටපු වම් අත උඩින් ආයෙමත් නෙත්මිගේ අත දැවටුණා...

‘‘මං ගැන නපුරු විදියට හිතන්නෙපා... මං නපුරු කෙල්ලෙක් නෙවෙයි. මං තරහ වුනාම ඔච්චරටම දුක නම් මං ආයේ කවදාවත්ම තරහ නොවී ඉන්නම්... ප්ලීස්... අනේ දැන්වත් ටිකක් හිනා වෙන්නකෝ අයියේ...’’

චමත් බිම බලාගෙන යන්තම් හිනා වුනා විතරයි.

‘‘අනේ... ඔහොම දුකෙන් ඉන්න එපා අයියේ... මං කොහොමද ගෙදර යන්නේ ඔයා ඔහොම වුනාම...’’

කෙල්ල එ් ටික කිව්වේ චමත්ගේ මූණට එබෙන ගමන්...

‘‘කියන්න, මං මොනවද කරන්න  ඕනේ කියලා... ඔයා කියන  ඕනෙ දෙයක් මං කරන්නම්...’’

‘‘අපි මොනව හරි බීලා යමුද එහෙනම්.....’’

චමත් ඇහුවේ නෙත්මිගේ මුහුණ දිහා බලාගෙන කට කොනකට සිනහවකුත් ගන්නා ගමන්. නෙත්මිත් සිහින් දෙතොල් සඟල විහිදා එ් හිනාවට එකතු වුනේ ලොකු සතුටකින්...


*  *  *  *  *


‘‘මං හිතුවා හිටිය විදියට ආයෙත් මගේ මූණවත් බලන එකක් නෑ කියලා...’’

චමත් කිව්වේ දුම් දමන නෙස්කැෆේ එක දෑතින්ම මුව අසලට ලං කරගනිමින්...

‘‘ම්..ම්... එ්ක තමයි වහින්න වගේ හොඳටම කළු කරලා තිබුණේ...’’

නෙත්මි කිව්වේ තොල්පට තද කරගෙන හිනාවෙමින්... චමත් හිනාවුනේ කෝප්පෙට...

‘‘සොරි අයියේ... ඔයාට එච්චර දුක හිතෙනවා කියලා දන්නව නම් මං තරහ වෙන්නෙත් නෑ... ඇයි එච්චරම දුකෙන් හිටියේ...? ම්.....?’’

‘‘දුක හිතුණා බබා... මං කොහොමත් ටිකක් සෙන්සිටිව් නේ, එ්කයි... ඔයා දන්නවනේ හැමෝම වගේ මාව අයින් කරලා දාලා තියෙන්නේ කියලා... ඔයාටත් මාව එපාවෙලා වගේ හිටියම -’’

‘‘අම්මෝ හිතාගෙන තියෙන දේවල්... මට හොඳටම බැන බැන එන්නැත්තේ හිතින්...’’

එහෙම කියලා නෙත්මි යටැසින් චමත් දිහා බැලූවා...

‘‘අනේ නෑ... ඔයා තරහ වුනාට මම තරහ වුනේ නෑනේ...’’

‘පව්... චමත් අයියත් අපේ චූටි මල්ලි වගේම තමයි... ලොකුවට පෙන්නුවට හිත පොඩි එකෙක් වගේ...’ නෙත්මි කල්පනා කරන්නේ හිමිහිට එයාගේ නෙස්කැෆේ කෝප්පය තොල ගානා ගමන්...

‘‘බබා දැන් හයත් පහුවෙලා... පරක්කු වුනොත් හොඳ නෑ නේද...?’’

‘‘අනේ ඔව් අයියේ... අපි එහෙනම් යමුද ? කමක් නෑ නේද...?’’

‘‘ඔන්න ඉතින් මාව බබා කරනවා... ඔය පොඩි පොඩි සීන් වලට මම මූඞ් ගහන්නෑ හලෝ...’’

‘‘කියන්න බෑනෙ ඉතින්... මං කොච්චර අමාරුවෙන්ද යාළු කරගත්තේ...’’

‘‘ඔන්න ඉතින් පටන්ගත්තා... බයිට් කරන්න ආවොත් නම් මං ඇත්තටම තරහ වෙනවා...!’’

‘‘අනේ අම්මේ... එපා එපා... කියන  ඕන දෙයක් කරන්නම්, ආයෙත් මූඞ් ගහන්න නම් එපා...’’

‘‘ඔයාට බලන් ඉඳලා ඔහොම දුක නම්, දුක විඳින මට කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද...?’’

‘‘ඔයා දුකින් ඉන්නවා බලන්න මං කැමති නෑ අයියේ... ඔයා දුකෙන් ඉන්න  ඕනෙ කෙනෙක් නෙවෙයි...’’

‘‘එ් වුණාට මං හැමදා දුකේ බබා...’’

‘‘ඔය ඉතින්...!’’

‘‘ ඕකේ මැඩම්... සොරි...සොරි...’’

චමත් කිව්වේ පොඩි එකෙක් වගේ ඇඟිලි වලින් කන්පෙති අල්ලාගෙන සමාව ඉල්ලන ඉරියව්වකින්...

‘‘යමුද එහෙනම්...?’’

‘‘හ්ම්... යමු...’’

චමත් එක්ක තව ටිකක් වෙලා නිදහසේ මොනවා හරි කියෝ කියෝ ඉන්න නෙත්මිටත් ආස නැතුවා නෙවෙයි. එ්ත්, මොනවා කලත් ගෙදරට හොඳ දුවෙක් වෙන්න  ඕනෙ නේ... ඉතින් අකැමැත්තෙන් වුනත් කෙල්ලට යන්න වෙනවා...

ගෙදර යන ගමන් ඉතුරු හරියෙදී නෙත්මි චමත් එක්ක කිය කිය ආවේ දවල් ඔෆීස් එකේදී වෙච්චි දේවල් තමයි...

‘‘අර චරිත් කියල එක්කෙනෙක් ඉන්නේ අයියේ... මාර්කටිං එකේ...’’

‘‘ඉතින්...?’’

‘‘එයාගේ වැඬේම රණවීර සර් පස්සේ කැරකෙනවා...’’

‘‘එ් මොකටද...?’’

‘‘මං කාගේ කවුද... නම මොකක්ද කියලා දැනගන්න...’’

‘‘අංකල්ගෙන් හොඳට අහගන්නැති එහෙනම්...’’

‘‘අපේ අප්පච්චිටත් වඩා හොඳට රණවීර සර් බැන්නා...’’

නෙත්මි කිව්වේ හයියෙන් හිනාවෙන ගමන්...

‘‘නෙතූ... බබා... මට ඔයාට දෙයක් කියන්නම හිටියා, බැරිවුණා නේ...’’

‘‘එ් මොකක්ද අයියේ...’’

‘‘ඔයාට සාරිය ඇන්දම ලස්සනයි...’’

චමත් කිව්වේ නෙත්මි දිහා බලලා මනමාල හිනාවකුත් එක්කමයි.

‘‘අනේ යන්න බොරු නොකියා... මට සාරි ඇඳලා පුරුදුත් නෑ අයියේ... හරි අමාරුවෙන් ඇඳගෙන හිටියේ...’’

‘‘බොරු නෙවෙයි, ඇත්තටම ලස්සනයි... ඔන්න හැමදාම එද්දී සාරි ඇඳගෙනම එන්න  ඕනේ... ඔයා අපර් ස්ටාෆ් පෝස්ට් එකක ඉන්නේ... පිළිවෙලකට ඉන්න  ඕනේ, හරිද...?’’

කෙල්ල පොඩි එකෙක් වගේ ඔළුව වැනුවා. ‘කොච්චර අවුල් වුනත් චමත් අයියා කියනව නම් අඳින්නම එපෑ... ලස්සනයි කියලනේ කිව්වේ...’

‘‘චමත් අයියේ...’’

‘‘ඇයි පැටියෝ...’’

‘‘මට මෙහෙම ජොබ් එකක් දුන්න එකට ඔයාට ගොඩාක් පිං... කොහොම තෑන්ක්ස් කරන්නද කියලා මට තේරෙන්නෑ... එ්ත් මං පොරොන්දු වෙන්නම් ඔයා මාව එලවන කල්ම මං ඔයා ලඟ වැඩ කරනවා කියලා...’’

‘‘ඔයාව ලඟට ගත්තේ ගහලා එලවන්න නෙවෙයි...’’

චමත් එ් කිව්වේ ජොබ් එක ගැනම නෙවෙයි කියලා කෙල්ලට අමුතුවෙන් කියල දෙන්න  ඕනේ නෑ... නෙත්මි චමත් දිහා බලලා හිනාවෙලා බිම බලාගත්තා...

‘‘අයියේ... මාව පානදුරෙන් දාන්න... මම එතනින් හිරණ බස් එකක යන්නම්...’’

‘‘දැන් ආයෙත් බස් වල බඩගාන්නේ ඇයි බබා...? මම ඔයාව ගෙදරටම දාන්නම්...’’

‘‘ම්... ෂෝක් එකට තියෙයි... අප්පච්චි මාව එළවයි...’’

‘‘ඉතින් එළ නේ... මං එතකොට ඔයාව එක්කගෙන අපේ ගෙදර යනවා...’’

‘‘අනේ විහිළු නෙවෙයි අයියේ... මාව මෙහෙන් දාන්නකෝ...’’

‘‘හරි ඉතින්... මං ඔයාව ගෙදරටම නෙවෙයි, ගෙවල් ලඟින් දාන්නම්කො...’’

‘‘අනේ මන්දා... කියන එකක් තේරෙන්නෑනේ...’’

‘‘අනේ බබා... මං කොහොමද ඔයාව බස් එකේ තනියම යවන්නේ...’’

‘‘එ්ක ගාණක් නෑ අයියේ... මට පුරුදුයි... අනික ටික දුරයිනේ...’’

‘‘හ්ම්... හරි හරි... පානදුරෙන් දාන්නම්... නැත්නම් තව ටිකකින් එ්කටත් මා එක්ක තරහවෙයි...’’

‘‘අයියෝ නෑ අනේ... මං තරහ වෙනවට ඔච්චරටම බයද... ම්...?’’

‘‘ඔව් බබා... එතකොට මට පාළුයිනේ...’’

‘‘ම්... මං තරහ නොවී ඉන්නම්කෝ... හොඳේ...’’

නෙත්මි කිව්වේ ලස්සනට හිනාවෙලා...

චමත් වාහනය නතර කලේ පානදුර බස් ස්ටෑන්ඞ් එක ලඟින්... කෙල්ලව තනියෙන් යවන්න චමත්ට මොකක්ද වගේ... කළුවරත් වැටිලා... ඒ මදිවට එළියේ පොඩි පොදයකුත් පටන් අරන්...

‘‘වහිනවනේ බබා... යන්නේ කොහොමද...?’’

‘‘කුඬේ තියෙනවා අයියේ... මං පරිස්සමෙන් යන්නම්කෝ...’’

‘‘බස් එකක් තියෙයිද ඔයාට...’’

‘‘බස් තියෙනවා අනේ... තාම හයහමාරයි නේ...’’

‘‘හ්ම්... යංකෝ එහෙනම්... මං එන්නම්...’’

‘‘අනේ... මට තනියම යන්න පුළුවන් දෙයියනේ...!’’

‘‘එ් වුනාට මට ඔයාව එහෙම යවන්න බෑනේ...’’

‘‘අඳුනන අයත් ඇති අයියේ... දැක්කොත් හොඳ නෑනේ... ඒකයි කියන්නේ... ප්ලීස්...’’

‘‘හ්ම්..ම්..ම්.... ඔයා යන්න බබා එහෙනම්... බුදු සරණයි...! ගුඞ් නයිට්...!’’

‘‘බුදු සරණයි අයියේ... ගුඞ් නයිට්...!’’

නෙත්මි කුඩෙත් ඉහලාගෙන ලා අඳුරට මුසුවෙලා ගියා...

චමත් වාහනේට වෙලා බලා හිටියද...? අපෝ නෑ... ටිකක් වෙලා බලා ඉඳලා, වාහනේ දොර වහලා, චමත් හිමිහිට නෙත්මි පිටිපස්සෙන්ම ආවා. නිකමට වගේ පිටිපස්ස හැරිලා බලපු නෙත්මි දැක්කේ පොද වැස්සේ තෙමි තෙමී පස්සෙන් එන චමත්ව... කෙල්ල එහෙමම අයිනක නතර වුණා...

‘‘කියන දෙයක් අහන්නෙම නෑ... හරි නරකයි...!’’

නෙත්මි නෝක්කාඩු කියන්න ගත්තේ චමත් ලඟටම එනකල් ඉඳලා...

චමත් නතරවුණා... හැබැයි නෙත්මිව නොදැක්ක ගානට... නොදන්නා ගානට...

‘‘ඔයා ඉස්සර වෙලා යන්න... මම අඳුනන්නෑ වගේ පස්සෙන් එන්නම්...’’

චමත් ඔය ටික කිව්වේ නෙත්මිට නැතුව වෙන කාට හරි කියනවා වගේ වටපිට බල බලා...

‘‘ඉතින් ඔයා තෙමෙනවනේ අයියේ...’’

‘‘මෙතන කථා කරන්න බෑ ළමයෝ... ඔයාම නේද කිව්වේ කවුරු හරි දැක්කොත් හොඳ නෑ කියලා...’’

‘‘හරි... හරි... මං යන්නම්... ඔයා නම් හරිම හිතුවක්කාරයෙක්...’’

නෙත්මි හිරණ බස් පෝලිම දිහාට ඇදුණා. කෙල්ල කියපුවට හිනාවෙවී චමත් එයාව අඳුනන්නේ නැති ගාණට පස්සෙන් ගියා. දැන් දෙන්නම බස් පෝලිමේ... නෙත්මි ඉස්සරහ... එයාට පිටිපස්සේ චමත්...

‘‘දැන් බස් එකටත් නගින්නද ඔයා හදන්නේ...?’’

නෙත්මි ඇහුවේ තොල් සෙලවෙන්නේ නැති විදියට, චමත්ට විතරක් ඇහෙන ගාණට හඬ අඩු කරලා, හිමිහිට පැත්තට හැරෙන ගමන්...

චමත් උත්තර දුන්නෙත් අහක බලාගෙන, නෙත්මි වගේම හඬ අඩු කරලා...

‘‘මටත් එක්ක ටිකට් ගන්න... මගෙ ලඟ මාරු සල්ලි නෑ...’’

‘මේ වගේ පිස්සු කොල්ලෙක් නම් ජීවිතේටම දැක්කේ නෑ...’ නෙත්මි තනියම හිනාවෙමින් හිතන්නට වුණා...

‘ඔය පෝලිමේ හිටියට බස් එකට නගින එකකුත් නෑ... බස් වල ගිහින් පුරුදුත් නැතුව ඇති... සමහරවිට මං නගින කල් ඉඳලා ආපහු යයි... එ්ත් කියන්නත් බෑ මෙයාගේ වැඩ. මාත් එක්ක ගෙවල් ලඟටම එයිද දන්නෙත් නෑ...’

පෝලිම ඉස්සරහට ඇදෙන්නට වුණා. හිරණ බස් රථය ටික ටික සෙනඟින් පිරුණා... නෙත්මිගේ පස්සෙන් චමතුත් බස් එකට ගොඩවුණා... හැබැයි දෙන්නටම යන්න වුනේ හිටගෙන. සීට් ඔක්කොම පිරිලා...

නෙත්මි බල බල හිටියේ චමත් බස් එක අද්දන කොටවත් බැහැලා යයි කියලා... එ්ත් එහෙම වුනේ නෑ... කෙල්ල චමත් එනවට අකැමැත්තක් නම් නෑ... එ්ත් බයයි...

බස් එකේ සෙනඟ වැඩි වෙලාව නිසා ඇතුලේ කට්ටිය තෙරපිලා හිටියේ... චමත් හිටියේ නෙත්මි ගාවමයි... කෙල්ලට අල්ලගන්නවත් තැනක් තිබුණේ නෑ... එක අතකින් සීට් එකක් අල්ලගෙන, අනෙක් අතින් බෑග් එක අල්ලගෙන නෙත්මි හිටියේ හරිම අමාරුවෙන්... බස් එක ගැස්සෙන ගැස්සෙන පාරට නෙත්මි ගිහින් චමත්ගේ පපුවේ වදිනවා... එක පාරක් බස් එක හයියෙන් බ්‍රේක් කරපු වෙලාවක නෙත්මිව ඉස්සරහට විසිවෙන්න ගියා. චමත් ඉස්සරහට අත දාලා කෙල්ලව නවත්තගත්තා.

චමත් මේ බස් එකක යන්නේ ඉස්කෝලේ කාලේ කොල්ලො සෙට් එකත් එක්ක ජොලියට ෆුට්බෝඞ් ගිය කාලෙට පස්සේ අදමයි... බස් එකක හිරවෙවී යන්න තරම් අහේනියක් චමත්ලට නෑනේ... ඉතින් කොල්ලා ඉස්කෝලෙන් ගෙදරටත්, ගෙදරින් ඉස්කෝලෙටත් ගියේ පවුලේ වාහනෙන්... එ්ක නිසා කොල්ලෝ සෙට් එකත් එක්ක පිස්සු කෙලින එකට චමත්ට සෙට් වෙන්න බැරිවුනා...

බස් එක ඇතුළේ මොන මොන නාටක වුනත්, දෙන්නා ඇෙඟ් ගෑවි ගෑවී හිටියත්, දෙන්නම මූණ බලලා කථා කලේ නම් නෑ... නෙත්මි බයයි අඳුනන කෙනෙක් දකියි කියලා... චමත් බයයි කථා කලොත් නෙත්මි තරහවෙයි කියලා...

චමත්ගේ හිතුවක්කාර වැඩ ගැන හිත යටින් පොඩියට වගේ අමනාපයක් තිබුණත්, කොල්ලා ලඟින් ඉන්නකොට නෙත්මිට බයක් නෑ... වෙනදට බස් එකක යන්න ගියාම එපා වෙනවා... හැමෝම එන්නේ ඇඟට... අද නම් එ් කරදරේ නැති තරම්... එ් තමන්ගේ පිටිපස්සෙන් හරහට වැටිලා තිබුණු චමත්ගේ අත නිසා කියලා කෙල්ල දන්නවා... හිතුවක්කාර විදියට වුනත් චමත් ලඟින්ම ඉන්න එකට නෙත්මි කැමතියි. තමන්ගේ පිටිපස්සෙන් රැකවරණයට පිරිමි අතක් තියෙනවාට මොන කෙල්ලද අකැමති...

‘මෙච්චරම මාව පරිස්සම් කරන්නේ හිතේ මොනවා හරි කැක්කුමක් ඇති නිසානේ...’ නෙත්මි හිතුවා...

පන්සල් හන්දිය ලං වෙද්දි නම් නෙත්මි ටිකක් විතර නොසන්සුන් වුණා... ‘මාව එක්කන් යන්න අම්මා ඇවිල්ලත් ඇති සමහරවිට... චමත් අයියා බස් එකෙන් බැහැලා මොන පිස්සුවක් නටයිද දන්නෑ... මුකුත් කියන්නත් බෑ...’

හෝල්ට් එක ලඟ එද්දී නෙත්මි චමත් දිහා බලලා, බෙල් එකත් ගහලා, දොර ලඟට ගියා... නෙත්මිට යන්න දීලා චමතුත් එයා පස්සෙන්ම ගියා.

පන්සල ලඟින් බැහැලා නෙත්මි බැලූවේ ගෙදරින් කවුරුත් ඇවිත්ද කියලයි. ‘නැත්නම් මේ පිස්සු කොල්ලා මගේ පස්සෙන් ගෙදරටම එයි...’

අම්මා කඬේ අයිනේ ඉඳන් කුඩෙත් ඉහලගෙන පාරට එන හැටි නෙත්මි දැක්කේ ටිකක් වෙලා ගිහින්...

‘‘අම්මා ගොඩාක් වෙලාද ඇවිත්...?’’

‘‘ටිකක් වෙලා පුතේ... මං හිතුවා හයාමාර හත වෙද්දී එ්වි කියලා...’’

‘‘පැය දෙකක් විතර යනවා අම්මේ එන්න ගියාම...’’

නෙත්මි කිව්වේ අම්මත් එක්ක පන්සල පාරට පය ඔසවන ගමන්... චමත් බස් එකෙන් බැහැලා, තෙමි තෙමි වටේ කැරකෙනවා නෙත්මි හොරැහින් දැක්කා. අම්මා ඉන්න නිසා එ් දිහා බලන්නත් බෑ...

‘‘වැඩ හොඳයි ද ලොකූ...?’’

‘‘හිතුව තරම් නම් අවුලක් නෑ අම්මා... අල්ලගන්න පුළුවන්...’’

අම්මා පොඞ්ඩකට කථාව නතර කළ නිසා නෙත්මි ඉක්මනට පිටිපස්ස හැරිලා බැලූවා. චමත් පාර අයිනේ හිටගෙන මේ පැත්ත බලාගෙනම ඉන්නවා... නෙත්මි බලනකොටම කොල්ලා හොරෙන් වගේ අතක් වැනුවා...

නෙත්මිත් අම්මට හොරෙන් අත පිටිපස්සට කරලා අත වැනුවේ යන්න කියලා... ‘පව්, එයා බොරුවට පස්සෙන් ඇවිත් රස්තියාදු වෙනවා... තෙමිලා ලෙඩ වෙනවා දැන්...’

පන්සල් වත්ත කෙළවර වංගුවෙන් පාර හැරෙනකොටම නෙත්මි ආපහු හැරිලා හිරණ පාර දිහා බැලූවේ චමත් ඉන්නවද කියලා... කොල්ලා පේන්න හිටියේ නෑ... නෙත්මි සුසුමක් හෙලලා පපුව සැහැල්ලූ කරගත්තා...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

~ ~ ~ මීලඟ කොටස බලාපොරොත්තු වන්න... Stay Tuned ~ ~ ~ 


                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                





18 comments:

  1. අද නම් හොඳට කියෙව්වා.... නියමයි.

    මමත් ඔහොම කාර් එක පැත්තක තියෙද්දී බස් එකේ ආපු කෙනෙක් ගැන නම් දන්නවා.. අපොයි අපොයි ඒ මතක නම්

    ReplyDelete
    Replies
    1. //අද නම් හොඳට කියෙව්වා.... නියමයි.//
      පැය ගානක් කට්ට කාලා මේක පබ්ලිෂ් කොලාට දුකක් නෑ ඔය වචන ටික දැක්කම...

      හැබෑටම කවුද ඒ දන්නවා කිව්ව හාදයා... බලන් ගියාම චමත්ට විතරක් නෙවේ වගේ පිස්සු තියෙන්නේ...!!!

      ප්‍රතිචාරයට ස්තුතියි සහෝදරී...!

      Delete
    2. [හැබෑටම කවුද ඒ දන්නවා කිව්ව හාදයා... ]
      හැබෑටම කියන්න විදියක් නැහැනේ.... ඒක පුදුම කතාවක්. ප්‍රබන්ධ වලට වඩා සත්‍යයෙන් ඈතයි

      ඒ පිස්සු වැඩ ඇහුවොත් චමත් පරාදයි... ඔහොම බස් එකේ යනකොට වෙච්ච වැඩත් , පාරේ ඈතින් හරි, එහාපැත්තෙ සමාන්තරව හරි යන්න ගිහින් වෙච්ච ඇබැද්දි නම් එමටයි... හ්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම් ලියන්න බෑ ඒවා ඔහුව රිද්දයි කවදා හරි දැක්කොත්

      Delete
    3. ලිඛිතා ටත් වෙලා තියෙන දේවල් අම්මපා !!!

      Delete
  2. I have done the same on the same road up to Kulathunga road ! Didnt have the heart to let her walk ! Wow.. You brought back memories. anyway she is my wife now

    ReplyDelete
    Replies
    1. //anyway she is my wife now//
      අනේ වාසනාවන්... ගෙදර උන්දැත් මේක කියවනවද ඇනෝ...?

      මගේ කථාව නිසා දෙන්නාදෙමාල්ලන්ට ආදරණීය අතීතය මතක් වෙලා හිත් වල තියෙන ආදර කැක්කුම් අලුත් වුනානම් ඒක මටත් පිනක් නොවැ...!

      ඇනෝ ඇවිත් හරි හිතේ තිබුන දේ වචන කරලා ගියාට ගොඩාක් ස්තුතියි... රචකයෙක්ට ගොඩක්ම වටින්නේ පාඨකයන්ගේ මේ වගේ අවංක අදහස්... ස්තුතියි ඇවිත් ගියාට... දිගටම කථාව එක්ක ඉන්න... ජයවේවා !

      Delete
    2. දැන් මේ ඇනෝ වෙලා හිටියාට මං බ්ලොග්කාරයෙක්.මේ දවස්වල බ්ලොග් එක වහලා ඉන්නෙ නිදහස අඩු නිසා.
      මං ඔන්න අපෙ වෙන්ඩ මායියා කෙල්ල කාලෙ කාරෙකෙන් අරන් ආවා . එනකොට ඔය වගෙ මට කිව්වා මැලිබන් හන්දියෙන් බස්සන්න බස් එකේ යන්නම් කියලා. ඉතින් මං බස්සලා පාර අනිත් පැත්තෙ ඉන්නකොට මට කොහොමටත් හිත හදා ගන්න බෑබස් එක එනකල් බලන් ඉන්න එයා දකිනකොට. ආපහු ගිහින් බලෙන්ම දාගත්තා (එතන හිටි අය්යලා මොනව හිතුවද මන්දා) පානදුරේ හන්දියෙන් බස්සන්න කිව්වා. ඒත් බස්සලා ආපහු යන්න හිත නෑ. අන්තිමට කුලතුංග පාර හන්දියට යනකල් පස්සෙන් ගියානෙ මීටර් පනහක් විතර ඈතින්. වැස්සෙ නම් නෑ. අපොයි අපෙ එක්කෙනා බ්ලොග් කියවන්නෙ නෑ. ඔව්ව විකාර වැඩ කියලත් කියනවා.

      Delete
    3. බ්ලොග් කාරයෙක් කිව්වා ??? බ්ලොගේ කිව්වා නම් බලන්න... (ඇහැකි නම්)

      real world චමත්ලා ඉන්නවා එහෙනම් නේද ? කලින් ලිඛිතා සහෝදරීත් කියලා තියෙන්නේ...

      Delete
  3. ජනාකීර්ණ කොළඹ වීදියේ පේව්මන්ට් එක දිගේ නෙත්මි හිමිහිට අඩි තිය තිය ගියේ දහසක් දේ හිතමින්. කෙල්ලට තාමත් සාරිය හුරු මදි. ඉතින් අඩිය උස්සලා කඩිමුඩියේ ඇවිදින්න බයයි. නෙත්මිගේ කල්පනාවත්, ලාලිත ගමනත් දෙකම හිටිඅඩියේ නතරවුනේ පාර අයිනේ තිබුණු වාහනයකින් එක පාරටම ඇරුණු දොරක් නිසා...! නෙත්මිව සීතල වෙලා ගියා. බය වෙච්චි පාර කෙල්ලගේ අතක් පපුවේ... විසල් වුනු ඇස් වලින් බැලූවාම වාහනේ ඇතුළේ ඉඳන් එබීගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි, චමත්...!

    ඔය විදිහට දැම්මනම් කොහොමද ? පාඨකයන්ට නිකන් ඉන්න දෙන්න එපා.. උන්ටත් බිත්තරයක් දෙකක් තම්බ ගන්න දියන්...

    ගෙදර බත් රහ ද බන්..? මටනම් නිමිලා කනකොට ඕනැම නෑ... ඒක හින්දා මම කඩෙන් කන්නේ...

    චමත් ට දැන් පිස්සු වගේ නේද ? ඔය කාලෙට ඔහොම තමා...

    ReplyDelete
    Replies
    1. //පාඨකයන්ට නිකන් ඉන්න දෙන්න එපා.. උන්ටත් බිත්තරයක් දෙකක් තම්බ ගන්න දියන්..//

      මෙතනදී නම් මං වැරැද්ද පිලිගන්නවා සෙන්නා සහෝ... උඹ පෙන්නපු තැන එහෙම දාන්න තිබුනා තමා... final edit එකේදී අනිවා ඒක හදනවා...

      //ගෙදර බත් රහ ද බන්..? මටනම් නිමිලා කනකොට ඕනැම නෑ... ඒක හින්දා මම කඩෙන් කන්නේ...//

      ගෙදර බත රහ මොකද කියලා මම එතෙනදීම කියලා ඇති... මතක නැත්නම් මේං ඒක--------//සල්ලි වලට කෑම ගන්න පුළුවන්. එ්ත් ගෙදරින් ගේන කෑම එක ඇතුළේ හැංගිලා තියෙන ආදරේ කඩ කෑම වල නෑ. ගෙදර කෑම එක එච්චර රහ එ්කයි...//

      මමත් කඩ කෑම කන්න පෙරේතයි තමා... ජීවිතෙන් භාගයක් විතරම කෑවේ කඩෙන් තමා... ඒත් දැන් නෝනිගේ බත් එක කන්න ආසයි... ඒක නෝනට දෙන ගෞරවයක් කියලයි මට හිතෙන්නේ...

      //චමත් ට දැන් පිස්සු වගේ නේද ? ඔය කාලෙට ඔහොම තමා...//
      පව් බං අහිංසක කොල්ලා... තමන්ගේ කියන්න කෙනෙක් ලැබුනමනේ ඔය...

      මේ... බං... කියන්නමයි හිටියේ... මේ කථාව මීට වඩා හොඳ වෙන්න ඕන කරන තැන් මට පොඩ්ඩක් පෙන්නා දෙන්න සෝදුපත් බැලීමේ වැඩේ භාර ගන්න බැරිද ??? විහිලු නෙමේ සීරියස් කියන්නේ...

      Delete
    2. පාඨකයින්ට මේ තම්බන බිත්තර මදිවද දෙය්යනේ... හරි දැන් ඉතින් ජාඩියට මූඩිය සෙට් උනා වගේ තියෙයි. අපි අනාතයි

      Delete
    3. හෙහ් හෙහ්..සෝදුපත් !.. ඕවා බෙල්ල ගහලා යන වැඩ බන්...

      ඔන්න ඔහෙ උඹ ලියාගෙන යමන්.. මොනවා හරි තිබ්බොත් පිහියෙන් අනිනවා වගේ පෙන්නනවා අනිවා !

      Delete
    4. @ලිඛිතා:
      //පාඨකයින්ට මේ තම්බන බිත්තර මදිවද දෙය්යනේ//
      පාඨක කුතුහලය ඇති කිරීම යන විශයය සම්බන්ධයෙන් මම තාම ආධුනිකයෙක්මි !

      //ජාඩියට මූඩිය සෙට් උනා වගේ තියෙයි// මේ ජාඩියට ඔය මූඩිය සෙට් වෙලා ගොඩක් කල් හලෝ...:P

      @සෙන්නා:
      බෙල්ල ගහලා යන්නේ නෑ බං... පොත් පබ්ලිෂ් (print) කරපු දාකට උඹටත් මෙන්ෂන් එකක් තියන්නම් !!!:P

      //පිහියෙන් අනිනවා වගේ පෙන්නනවා //
      අන්න ඒකට තමා මං කැමතිම... ජයවේවා !!!

      Delete
    5. ඒකත් එහෙමද?

      සෙන්නා:
      අනේද කියන්නේ.. වෙච්ච අලකලන්චියේ හැටියට අම්මෝ සෝදුපත් බලනවා කියන්නේ 'මාරාන්තික' වැඩක්.

      Delete
  4. Mita kalekata kalin math chamath wagema thmai.. dn meka kiyawaddi ewa mathk wela papuwata pihiyen aninawa wage wedanawak danenne, adare sundarai qwata eka athule godakma thinne duka witharai kiyla hithenne

    ReplyDelete
    Replies
    1. පරණ මතක අවුස්සලා දුකක් දුන්නා නම් සමාවෙන්න සහෝ... හ්ම්...! ආදරය ගොඩාක් දෙනෙක්ට දුකක් තමයි. හැබැයි ආදරය හැම වෙලේම දුකක් නෙවෙයි. ඔයාට හිමි ආදරේ කවදා හරි ලැබෙයි. ඒක ඉක්මනටම ලැබෙන්න කියලා මම පතන්නම්...!!!

      Delete
    2. ඇනෝ මිත්‍රයා
      ආදරේ කියන දේ අපිව ජිවත් කරනවා වගේම ජිවත් වෙන මළමිනී කරනවා. තීරණේ තමන්ගේ අතේ. ගිලිහිච්ච දේවල් කියන්නේ හැරිලාවත් නොබැලිය යුතු කාරණා. විඳවන්න එපා සහෝදරයා. කියෝලා පැත්තකින් තියන්න

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...