Sunday, March 26, 2017

නෙත් චමත් [චමත් නෙත්මිගේ නිවසට...] #10


04 පරිච්ඡේදය_____________________________


කාර්යාලයේ වැඩ කටයුතුයි, චමත්ගේ ආදරයයි අතරේ නෙත්මිගේ දවස් ගෙවිලා ගියා... ගෙවුණු සති දෙක තුනට රණවීර සර්ගෙන් ගන්න පුළුවන් හැමදේම වගේ නෙත්මි ඉගෙනගෙනයි තිබුණේ... චමත් බලාපොරොත්තු වෙන්නේ එයා හරි, රණවීර අංකල් හරි නැති දවසක වුනත් නෙත්මිට තනියම ඔෆීස් එක අරගෙන යන්න පුළුවන් තත්ත්වයට කෙල්ලව ගේන්න. එ් ගාණටම නැති වුනත් කාර්යාලයේ බොහෝ දේවල් කළමණාකරණය කරගන්න පුළුවන් දැනුමක් නෙත්මි මේ වෙනකොටත් අරගෙන ඉවරයි... කෙල්ල ඉක්මනටම වැඩ ටික අල්ලගත්ත නිසා රණවීරත් ගෝලයා ගැන හොඳටම තෘප්තිමත්... 


නෙත්මිගෙයි චමත්ගෙයි කතාන්දරේ දැන් ඔෆීස් එකේ හැමෝම වගේ දන්නවා... දෙන්නට දෙන්නා තාම මුකුත් නොකීවට, බලන් ඉන්න අයට පේන්නේ මේ දෙන්නගේ තදබල සම්බන්ධයක් තියෙනවා කියලයි... නෙත්මි රණවීර සර්ගේ නෑදෑ කෙනෙක් කියලා කියපු නිසා ඔෆීස් එකේ කාටවත් නෙත්මිගෙයි චමත්ගෙයි එෆෙයාර් එක අමුතුවෙන් රහ කර කර කියන්න තරම් මාතෘකාවක් වුනෙත් නෑ... එ් නිසා නෙත්මිට එ්කෙන් කරදරයක් වුනෙත් නෑ කිව්වොත් හරි...

චමත් ගැන කියනවා නම්... හ්ම්... කොල්ලා සෑහෙන්න වෙනස් වෙලා... බැලූ බැල්මට වෙනස පේන තරමට වෙනස් වෙලා... ඉස්සර වගේ නෙවේ දැන් හැමදාම උදෙන්ම ඔෆීස් එනවා... එ් එන්නෙත් පුදුම පිළිවෙලකට... ලස්සනට අඳිනවා... මැච් කරනවා... ඉස්සර වගේ බුම්මගෙන නෙවෙයි දැන් හැම දිස්සෙම හිනාවක් මූණේ... සිංදුවක්, විසිල් එකක් කටේ නැති වෙලාවක් නෑ... වෙලාවකට රණවීර අංකල්ටත් පුදුමයි... වෙනදා වගේ නෙවෙයි ඔෆීස් එකේ වැඩ වුනත් දැන් පිළිවෙලකට කෙරීගෙන යනවා. ඇයි ඉතින් මැනේජින් ඩිරෙක්ටර් මහත්තයා දැන් ඔෆිස් එකෙන් හෙල්ලෙන්නේ නෑනේ... 

ඇත්තම කිව්වොත් සූරිය පබ්ලිකේෂන්ස් දැන් කවදාටත් වැඩිය කාර්යක්ෂමයි... මොකද ඉස්සර රණවීර තනියෙන් කරපු වැඩ දැන් කරන්නේ චමතුයි, නෙත්මියි, රණවීරයි තුන්දෙනාම එකතු වෙලා... බොහෝ දුරට වැඩ කරන්නෙ නම් නෙත්මි... රණවීර කරන්නේ අඩුපාඩු බලන එක තමයි... චමත්ට තියෙන්නේ අත්සන ගහන්න විතරයි...

එදා හවසත් සුපුරුදු විදියට නෙත්මි ඇවිත් චමත්ගේ වාහනයට නැග්ගා. දැන් ඉතින් ඔෆිස් එකේ අයටත් හංගන්න දෙයක් නැති නිසා චමත් නෙත්මිව ඔෆිස් එකේ ඉඳලම අරගෙන එනවා. නෙත්මි ඉතින් රඟපාන්නේ රණවීර සර්ගේ නෑ කෙනෙක් කියලනේ. ඉතින් එ්ක නිසා නෙත්මිගෙයි, චමත්ගෙයි සම්බන්ධය කාටවත් ප‍්‍රශ්ණයක් නෙවෙයි. රණවීරගෙයි, සූරියබණ්ඩාරලගෙයි හිතවත්කම හැමෝම දන්න දෙයක්නේ...

වැඩ ටික ඉවර කරලා නෙත්මි එනකල් චමත් වාහනයට වෙලා බලා ඉන්නා අතරෙදි කල්පනා කලේ නෙත්මිට ෆෝන් එකක් තිබුණා නම් කොච්චර හොඳ ද කියලයි. නෙත්මිට හදිස්සියකට කථා කරන්න විදියක් නැති එක චමත්ට නම් හරි පාඩුවක්. වුනු දෙයක් දැනගන්න ඔෆිස් එනකල්ම ඉන්න  ඕනේ. නෙත්මි හවසට චමත් එක්කම ගියාට, උදේට වැඩට එන්නේ බස් එකෙන්. දන්නවනේ බස් ගමන් වල හැටි... සමහරදාට ටිකක් පරක්කු වෙනවා. එහෙම දවස් වලට ඉතින් චමත් මග බලා ඉන්නවා නෙත්මි පරක්කු මොකද කියලා...

‘‘ෆෝන් එකක් තිබුණ නම් හොඳයි නේද බබා... මට ඔයාව කන්ටැක් කරගන්න ලේසියි එහෙම වුනා නම්...’’

චමත් නෙත්මි දිහා බලලා කිව්වේ සවස් කාලයේ තදබදය අතරින් වාහනය ගෙන යන ගමන්...

‘‘තිබුණ නම් හොඳයි අයියේ... එ්ත්, මං තාම ජොබ් එකක් කරන්න ගත්තා විතරනේ... ෆෝන් එකකට කලින් තව කොච්චර වැඩ තියෙනවද කරගන්න...’’

‘‘ඔය චූටි ෆෝන් එකක් ගන්න පුළුවන් නේ බබා... ලොකු ගාණක් වෙන්නෑනේ... හරි, ඔයාට මං එකක් අරන් දෙන්නම්... එතකොට ඔයාට ඒක කොහොමත් අවුලක් වෙන්නෑනේ...’’

‘‘අම්මෝ... එතකොට ගෙදරින් බලයි මේ කොහෙන්ද කියලා...! ’’

‘‘ඔෆිස් එකෙන් දුන්නා කියන්න...’’

‘‘එතකොට මට ඔයා එක්ක කථා කරන්න වෙන්නේ සර් කියලා තමයි...’’

‘‘එ්කනේ මං මෙච්චර කියන්නේ, මං ගැන ගෙදරට කියන්න කියලා... මං ගෙදර ඇවිත් අම්මලා එක්ක කථා කරලා ඔක්කොම අවුල් ටික සෙට්ල් කරන්නම්...’’

‘‘මං කොහොමද අනේ ගෙදරට කියන්නේ...? මොකක් කියලා කියන්නද...?’’

‘‘ඔයා කියන්න ඔෆිස් එකේ යාලූවෙක් ගෙදර එන්න ඇහුවා කියලා...’’

‘‘අනේ මන්දා අයියේ... අම්මා දැන් දවස් දෙක තුනක්ම මගෙන් අමුතු දේවල් ඇහුවා... එයාට මොනව හරි තේරිලත් ඇති...’’

‘‘එ් මොකද බබා...’’

‘‘හ්ම්... දුවලා ගැන දන්නේ අම්මලනේ ඉතින්... අනික ඉතින් මං පහුගිය සතියේ යාලූවෙක්ට කියලා කෑම දෙකක් ඉල්ලන් ආවනේ...’’

‘‘ඔන්න ඔහේ එකපාරම කියලා දාන්න ‘අම්මේ මට ඔෆිස් එකේ යාලූ අයිය කෙනෙක් ඉන්නවා’ කියලා...’’

චමත් කිව්වේ හිනාවෙලා නෙත්මි දිහා ඇස් කොනකින් බලන ගමන්...

‘‘ම්ම්... ඔයා කියන තරම් ලේසි නෑ එ්ක...’’

‘‘අම්මා සැරද බබා...? නෑ නේද...’’

‘‘අනේ නෑ අයියේ... අම්මයි මායි යාලූවෝ වගේ... මට අම්මට කියන්න බැරි දෙයක් නෑ...’’

‘‘එහෙනම් ඉතින් මේකත් කියලා දාන්න...’’

‘‘ම්... බලමුකෝ...’’

ටික දුරක් නිහඬව ගෙවුණා...

‘‘නෙතූ...’’

‘‘ම්...’’

‘‘ඔයා මට ගෙදරට එන්න පර්මිෂන් අරන් දෙන්නකෝ බබා... ඉතුරු ටික මම ගානට ඇරේන්ජ් කර ගන්නම්...’’

‘‘ඔයාගේ ඇරේන්ජ්මන්ට් හින්දා මට ගෙදරිනුත් යන්න වෙයිද දන්නෑ...’’

නෙත්මි කිව්වේ විහිලූවට...

‘‘ඔයාව එක්කන් යන්න මමත් ආසයි අයියේ... අනේ හැබැයි ඇවිත් අර සුදේශ් අයියා වගේ  ඕන්නැති කථා නම් කියන්න එපා හොඳ ද... මං අම්මලට කියන්නේ ඔයා මගේ යාලූවෙක් කියලා...’’

‘‘ම්... මමත් ඉතින් වෙන මොනවා කියන්නද...’’

චමත් නෙත්මි දිහා බලලා හිනාවුනා... නෙත්මිත් හිනාවුනා... දෙන්නම දන්නවා දෙන්නට දෙන්නා බොරුව කරන්නේ කියලා...

පානදුරට ඇවිත් බහිද්දිත් චමත් අර කාරණව ආයෙමත් නෙත්මිට මතක් කලා...

‘‘නෙත්... ඔන්න අද නම් ෂුවර් කියන්න  ඕනේ හරිද ? හෙට හාෆ් ඩේ එක මං අනිවා ඔයාලගේ ගෙදර එන්න දාගෙන තියෙන්නේ...’’

චමත් කිව්වේ නෙත්මි බහින්න ලෑස්ති වෙනකොට... හෙට සෙනසුරාවක් නිසා ඔෆිස් වැඩ වරුවයි. චමත් හදන්නේ හෙට නෙත්මිලගේ ගෙදර ගිහින් අම්මලත් එක්ක කථා කරන්න... එතකොට ඉස්සරහට හැමදාම අම්මගේ කෑම එකක් චමත්ටත් ඉල්ල ගන්න පුලූවන්... නෙත්මිට ෆෝන් එකක් අරගෙන දෙන්නත් පුළුවන්...
පහුවුනු සෙනසුරාදා දවස් දෙකකම වගේ චමත් ඔය ගැන නෙත්මිට කියලයි තිබුණේ... එ්ත් ඉතින් කෙල්ලට බයයි  ඕවා කථා කරන්න... හැබැයි අද නම් කෙල්ලට චමත්ගෙන් බේරුමක් නෑ වගේ... 

‘චමත් අයියා හෙට නම් මම කිව්වත්, නොකිව්වත් එයි... අම්මෝ... එකපාරටම ආවොත් එහෙම... කොයිකටත් අම්මට කියලා තියෙන එක හොඳයි...’

නෙත්මි හිතුවේ හිරණ බස් එකේ ගෙදර යන ගමන්...

*  *  *  *  *



මුල්ම දවස්වල පොඩි අවුලක් තිබුණත්, පහු වෙනකොට නම් නෙත්මිට ගානට නින්ද ගියා... නිකම්ම නෙවෙයි, චමත් එක්ක ආදරයෙන් ගතවුනු සිහින ලෝක මතකත් එක්කම තමයි...  එ්ත් හවස චමත් කියපු දේවල් නිසා නෙත්මිට අද නම් නින්ද හොරයි. පැය භාගයක් විතරම පෙරළි පෙරළි හිතුවත් අම්මට කියන්නේ කොහොමද කියලා කෙල්ලට පොටක් පාදගන්න බැරිවුනා...

නෙත්මි ඇඳේ පෙරලෙද්දි නිර්මලාටත් නින්දක් නෑ... වැඩට යන්න ගත්තට පස්සේ කෙල්ලගේ නින්දටත් අසුභ කාලයක් ඇවිත් කියලා හොඳටම දන්නේ නිර්මලා තමයි. ජොබ් එක හම්බුනාට පස්සේ කෙල්ලත් වෙනස් දැන්... කොයි වෙලාවෙත් කල්පනාව... ඔෆිස් එකේ ප‍්‍රශ්ණයක් නම් වෙන්න බෑ. එහෙම නම් ඔච්චර උනන්දුවෙන් වැඩට යන්නෑනේ... අසනීප වුනත් නෙත්මි දිගටම වැඩට ගියා. කොහොම වුනත් පේන්න තියෙන රෝග ලක්ෂණ අනුව නිර්මලාට හිතෙන්නේ කෙල්ලට තියෙන්නේ හිතේ ලෙඩක් කියලයි...

‘‘ලොකූ...’’

‘‘අ..අම්මා...’’

‘‘මොකද දරුවෝ...!’’

‘‘ඇයි අම්මේ....’’

‘‘මමනේ දැන් ප‍්‍රශ්නේ ඇහුවේ... ඔයාට මොකද වෙලා තියෙන්නේ...!’’

‘‘මුකුත් නෑ අම්මා... මේ...’’

‘‘ඔයාට මොනා හරි දෙයක් කියන්න තියෙනවද...?’’

නිර්මලා ඇහුවේ ඉවෙන් වගේ... එ් වගේ දේවල් අම්මලට දැනෙනවනේ.

‘‘ඔ..ඔව් අ..ම්..මා... මං...’’

‘‘ ඕක ඔච්චර තටමන්න දෙයක් නෙවේ ලොකූ... මෙච්චර කාලෙකට ඔයා කියපු දේකට මං මුකුත් වචනයක් කියලා නෑ නේද...?’’

‘‘අනේ නෑ අම්මා... හැංගුවා නෙවෙයි... මං කියන්නමයි හිටියේ...’’

‘‘ඉතින්...!’’

‘‘නෑ අම්මා... මේ... මගේ යාලූවෙක් ඉන්නවා ඔෆිස් එකේ...’’

දැන් කෙල්ල කථාව කියන්නේ හරි හුරතල් විදියට.

‘‘ඔව්, ඉතින්...’’

‘‘එ..එයා අම්මා.....මගෙන් අහනවා අපේ ගෙදර එන්නද කියලා...’’

‘‘ඉතින් පුතේ  ඕක ඔච්චර දෙයක්යෑ... එ් ළමයට එන්න කියලා කෑම ටිකක් දෙමු...’’

‘‘අම්මා...’’

‘‘ම්...’’

‘‘එයා හෙට එනවා කිව්වේ...’’

‘‘හෙට එන එක අද ද ළමයෝ කියන්නේ... ඇයි දැන් හෙටම එන්නේ...?’’

‘‘කියන්න හිටියේ අම්මා... සොරි... මේ... හෙට වරුවනේ වැඩ... එ්කයි...’’

‘‘හරි හරි... එන්න කියන්නකෝ... දැන් ඔය යාලූවා කොහොම කෙනෙක්ද...?’’

‘‘අම්මා... එයා... මගේ... සර්...’’

‘‘හ්ම්... එ්කත් එහෙමද...’’

‘‘අනේ අම්මා... එ් අයියා ගොඩාක් හොඳයි... අම්මගේ කෑම කන්න ආසයි, මෙහේ එන්න ආසයි කිව්වා... මතක ඇති කාලෙක එයා ෆැමිලි එකත් එක්ක කෑම කාලා නෑ කිව්වා... ඉතින් මං කිව්වා අපේ ගෙදර ඇවිත් කට්ටියත් එක්ක කෑම ටිකක් කාලා යන්න එන්න කියලා...’’

‘‘හරි පුතේ... අපි කෑම ටිකක් හොඳට හදමුකෝ... ඔයා එ් දරුවව එක්කගෙන එන්න...’’

‘‘ම්මා... හොඳ..අම්මා.....’’

නෙත්මි අම්මගේ තුරුල්ලට වුනේ නිර්මලාගේ මූණත් ඉඹින ගමන්... අම්මා තමන්ව වැරදියට තේරුම් ගන්නැති බව නෙත්මි දන්නවා. කෙල්ල නිදා ගන්නට සැරසුනේ හරිම සැනසීමකින්... 

‘ඇති යාන්තම් ඔහොම හරි අම්මට කියා ගත්තා... නැත්නම් මට හෙට චමත් අයියගෙන් බේරෙන්න වෙන්නෑ...’

*  *  *  *  *



පහුවදා උදේ නෙත්මිව හම්බවෙලා විස්තරේ දැන ගත්තම චමත්ට මාර සතුටුයි... ‘අද හවසට මං නෙත්මිත් එක්ක එයාලගේ ගෙදර යනවා... නියමයි...!’

සෙනසුරාදා දවස ටිකෙන් ටික ගෙවෙමින් දහවල් වරුවත් උදාවුණා. දවස ගෙවෙද්දී නෙත්මිත් ටික ටික නොසන්සුන් වෙන්න වුනා... 

‘කොල්ලෙක් එක්කන් ගෙදර යන කොට අම්මලා මොනවා හිතයිද මන්දා...’ නෙත්මිට හිතාගන්නවත් බෑ. 

හිතේ එක පැත්තක ඔය වගේ බය තිබ්බට අනෙත් පැත්තෙන් පොඩි සතුටකුත් නොතිබ්බා නෙවෙයි. චමත් වගේ කොල්ලෙක්ව ගෙදර අයට අඳුන්වලා දෙන්න ලැබෙන එකත් ලොකු දෙයක් නේ... ‘මේ ඉන්නේ මගේ කොල්ලා...’ කියලා ගෙදර අයට පෙන්නන්න තිබුණා නම් නෙත්මි තවත් සතුටු වෙයි. එ්ත්, මේ බැඳීමට තාමත් නමක් නෑ... ඉතින්, යාලූවෙක් විදියට හැර චමත්ව ගෙදරට අඳුන්වලා දෙන්න වෙන විදියක් කෙල්ලට නෑ...

‘‘නෙතූ... අපි මොනව හරි අරගෙන යමු නේද...?’’

නෙත්මි කල්පනා සාගරේ කිමිදිලා ඉන්දැද්දි චමත් එක පාරටම ඇහුවේ කටුබැද්ද හරියෙදි සුපර් මාර්කට් එකක් පේන දුරින් වාහනය නතර කරන ගමන්... 

‘‘අනේ මන්දා අයියේ...’’

නෙත්මි හිටියේ අවුලෙන්. මේ වෙන්න යන දේ තාමත් කෙල්ලට හිතා ගන්න බෑ... චමත් එක්ක ඔෆීස් එකේ ඉඳලා වාහනයේ එන පුරාවටම නෙත්මි හිටියේ මේ ලෝකේ නෙවේ...

‘‘ඇයි බබා... ඔයා මා එක්ක ගහගන්න වගේනේ කථා කරන්නේ...’’

‘‘අනේ නෑ...අයියේ... සොරි...! මං මේ බයේ ඉන්නේ...’’

‘‘ඇයි නෙතූ... මේ යන එක ඔයාට අවුලක් ද ? ගෙදරින් මොනව හරි කිව්වද...’’

‘‘මුකුත් කිව්වේ නෑ අයියේ... එ්ත් අවුලක් වෙයිද දන්නෙත් නෑ... මම අප්පච්චිට කිව්වේ වත් නෑ. අම්මට කිව්වා කියන්න කියලා... අප්පච්චි මොනවා කියයිද දන්නෑ... හ්..ම්..ම්...’’

නෙත්මි එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා...

‘‘හරි... ප‍්‍රශ්ණයක් වුනොත් මං එ්ක ෂේප් කරන්නම්කෝ... ඔයාට හිතෙනව නම් මං එන එක කරදරයක් වගේ කියලා -’’

‘‘ඔය ඉතින්...! දැන් ඔයා නෑවිත් හිටියොත් මට ගියාට වඩා ප‍්‍රශ්ණයක් වෙනවා ඇයි ආවේ නැත්තේ කියලා...  ඕන දෙයක් වෙද්දෙන්... අපි යමු අයියේ...’’

කෙල්ලගේ කථාවට චමත්ට මාර ෆිට් එකක් ආවා...

‘‘අන්න එහෙමනේ හලෝ ඉන්න  ඕනේ... ‘එඩිතර වී මම පපුව දෙමී’ කියලා කෙලින් ඉමු...’’

නෙත්මි එවෙලේ නම් ඔක්කොම අමතක කරලා චමත් එක්කම හිනාවුනා...

‘‘මේ... කථා ඇති... බඩු ටිකක් අරගෙන එමුද... මට දැන් බඩගින්නකුත් එනවා... පව් අම්මත් උයාගෙන බලන් ඇති...’’ 

චමත් කිව්වේ කටත් හදාගෙන...

‘‘වැඬේමයි මෙයාට කන්න දෙන්න...’’

‘‘යමුකෝ බබා ඉතින්...’’

‘‘කොහෙද අයියේ...’’

‘‘ඔය තියෙන්නේ...’’  චමත් කිව්වේ සුපර් මාර්කට් එකත් පෙන්නන ගමන්...

‘‘අනේ ඔය අනම්මනම් වලට සල්ලි නාස්ති කරන්න එපා අයියේ...’’

‘‘හරි හරි බබා... මේවා ඔයාගේ අර පරණ ණය ගිණුමට බැර වෙන්නේ නෑ... බය වෙන්නෙපා...’’

‘‘යනවා යන්න...! මාව බයිට් කරන්න ගත්තා මෙතන...’’

කෙල්ල ඔරවා ගත්තේ බොරුවට.

‘‘එන්නකෝ නෙතූ... මට තනියම යන්නද කියන්නේ...’’

‘‘ම්... යං...’’

ප‍්‍රාඩෝ එක සුපර් මාර්කට් එකේ පාක් කරලා දෙන්නත් එක්ක සුපිරි වෙළඳසැලට ඇතුළුවුනේ අත් අල්ලාගෙනමයි... එ්ක ඉතින් දැන් චමත්ට පුරුද්දට ගිහිල්ලනේ... පිරිමි ළමයෙක්, ගෑණු දරුවෙක්ගේ අතින් අල්ලන් යන එක අසාමාන්‍ය දෙයක් නම් නෙවෙයි... එ්ත් මේ දෙන්නා දිහා අසාමාන්‍ය දෙනෙතකින් බලා උන්න කෙනෙකුත් මෙතන හිටියා... කවුද එ්...?

වෙන කවුරුවත් නෙවෙයි... එ්, රොෂේන්...!!!

*  *  *  *  *



රොෂේන් මේ වගේ තැනකදී දකින්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි.... අහම්බයෙන් ආවා මිසක්... රොෂේන් එයාගේ කෙටි කාලීන පෙම්වතියක් එක්ක සවාරියක් යන ගමන්. එ් ගර්ල් ගේ වුවමනාවකට තමයි රොෂේන්ට මේ සුපිරි වෙළඳසැල ලඟම නතර කරන්න සිද්ධ වුනේ... රොෂේන්ගේ ගර්ල් සුපර් මාර්කට් එකට ගියාට පස්සේ තමයි චමත්ගේ වාහනේ ආවේ... හුරුපුරුදු වාහනේ නිසා රොෂේනුත් එ් දිහා හොඳින් බලාගෙන හිටියා. එතකොට තමා එයා දැක්කේ චමත් කෙල්ලෙක්ගේ අතිනුත් අල්ලගෙන ඇතුළට යනවා...

‘චම්මා...! යකෝ මූ මාර පොරක් වෙලානේ... වයිෆ් එක්ක ෂොපිං යනවා වගේනේ මේකා සුපර් මාර්කට් ගියේ... එතකොට කවුද මේ ගර්ල්... හොඳයි බලමුකෝ...’ 

රොෂේන් එහෙම හිතමින් එයාගේ වාහනෙන් බැස්සා... බැහැලා හෙමින් සීරුවේ චමත්ලා පස්සෙන්ම ගියා...

සුපිරි වෙළඳසැල තුල රාක්ක අතරින් විවිධ දේ තෝරමින් නෙත්මිත්, චමතුත් යන හැටි රොෂේන් හොරෙන් බලා හිටියා. දෙන්නත් එක්ක හිනාවෙවී, බොරුවට රණ්ඩු කර කර රාක්කෙන් රාක්කෙට යන හැටි රොෂේන් බලාගෙන උන්නේ හිතේ කැවෙන කුතුහලයකින්.

‘මුන් දෙන්නා මාර ලව් එකෙන් නේ ඉන්නේ... හැබැයි ගර්ල් නම් හයි ක්ලාස් ෆැමිලි එකක වෙන්න බෑ... කවුද ඇත්තටම චම්මට මේ හදිසියේ සෙට් වුනු ගර්ල්...?’

නෙත්මි ගැන හුරුපුරුදු මතකයක් රොෂේන්ගේ හිත පුරා දිව්වත්, එ් මොකක්ද කියලා තෝරා බේරා ගන්න තරම් පැහැදිලි බවක් රොෂේන්ට තිබුණේ නෑ. මේ හාදයා දවස ගානේ දකින, කථා කරන, ආශ‍්‍රය කරන ගෑණු ලමයින්ගේ හැටියට එක කෙල්ලෙක්ව කොහොම මතක තියා ගන්න ද...

සෙනසුරාදා වරුව නිසා නෙත්මි අද වැඩට ඇඳගෙන ආවේ වෙනදා වගේ සාරිය නෙවේ. සෙනසුරාදා අඳින්නේ කැෂුවල් නේ... එ් කියන්නේ සාමාන්‍ය - සරල විදියට. නෙත්මි ඇඳලා හිටියේ සල්වාර් ටොප් එකකුයි, ලේඞීස් ට‍්‍රවුසර් එකකුයි... එ් ඇඳුමයි, කෙල්ලගේ සරල පෙනුමයි හින්දා තමයි රොෂේන් හිතාගත්තේ නෙත්මි හයි-ෆයි කෙල්ලෙක් නෙවෙයි කියලා... හැබැයි ඉතින්, නෙත්මි ස්කර්ට් - බ්ලවුස් ඇඳගෙන හිටියා නම් රොෂේන්ට කෙල්ල කවුද කියලා මතක් වෙන්නත් තිබුණා...

චමත්, නෙත්මි දෙන්නත් එක්කම බඩු මලූ දෙකක් අරගෙන සුපිරි වෙළඳසැලෙන් පිටවෙලා, වාහනයට නැගලා යන හැටි රොෂේන් හොරෙන්ම ඇහැ ගහගෙන හිටියේ. චමත් කොහෙද යන්නේ කියලා පස්සෙන් ගිහින් බලන්න වුවමනාවක් තිබුණත් රොෂේන්ගේ ගර්ල් එ් වෙනකොටත් පරක්කුයි කිය කියා නාහෙන් අඬ අඬ හිටියේ... ඉතින් එ් කරදරෙන් බේරෙන්න බැරි නිසා රොෂේන්ට ආපු ගමන යන්න සිද්ධ වුනා...

‘මේ සීන් එක මොකක්ද කියලා හොයන්න වෙනවා... චම්මා මෙච්චර සීරියස් එෆෙයාර් එකක ඉන්නවා නම්, ගර්ල් කවුද කියලා හොයන්නම එපෑයෑ... අනික මූ සෙට් කරන් ඉන්නේ තර්ඩ් ක්ලාස් ගර්ල් කෙනෙක්නේ... සුදු පුංචිලා තාම මේ ගැන දන්නේ නැතුව ඇති... චම්මා ගෙන් අහලා වැඩක් නෑ. මේක හොයලා බලලා, සුදු පුංචිලටත් කියන්නම වෙනවා... මූ මොන පිස්සුවක් නටන්න ඉන්නවද දන්නෑ... ළදරු වැඩනේ කරන්නේ...’

රොෂේන් හිතුවේ තමන්ගේ වාහනය කොළඹ පැත්තට ධාවනය කරන ගමන්...

*  *  *  *  *



‘‘අයියේ, මෙන්න මෙතනින් හරවන්න...’’

නෙත්මි කිව්වේ ගෙදරට හැරෙන අතුරු පාර ලඟදී... වාහනය තිබුණේ හිරණ පන්සල පාරේ, නෙත්මිලගේ ගෙවල් ලඟමයි.

‘‘හරි හරි... මං දන්නවා...’’

‘‘එ් කොහොමද....?’’

‘‘මං දවස් දෙක තුනක් මේ පැත්තේ ආවනේ...’’

‘‘එ් මොකටද... ආ...!’’

නෙත්මි ඇහුවේ අමුතුම හිනාවක් මුවට නගා ගෙන, දෑසත් පුංචි කරමින් චමත් දිහා බලන ගමන්...

‘‘නෑ... මේ... නිකං...’’

කළුපාට පුංචි ගේට්ටුවක් ලඟ ප‍්‍රාඩෝ එක නතර වුණා... නෙත්මි වාහනෙන් බැහැලා ගිහින් ගේට්ටුව තල්ලූ කරලා ඇරියා. චමත් වාහනේ වත්ත ඇතුලට දැම්මේ නෙත්මිලගේ පුංචි ගෙදර, වත්ත පිටිය දිහා නෙත් පුරා බලන ගමන්...

‘‘එන්න...’’

නෙත්මි වීදුරුව ලඟට ඇවිත් චමත්ට හිමිහිට කිව්වා... කෙල්ලගේ පපුව දැන් ගිඩි ගිඩි ගාලා ගැහෙනවා...! අම්මා දොරකඩට ඇවිත් ඉන්නවා නෙත්මි ඇස් කොනින් දැක්කා.

චමත් බැස්සේ පස්සේ සීට් එකේ තිබුණු ප්ලාස්ටික් බෑග් එකත් අරගෙනමයි... එ්කේ තිබුණේ පුංචි තෑග්ගක්. ගෙදරට මුලින්ම එන දවසේ අත වන වන, හිස් අතින් යන්න බෑනේ...

‘‘අම්මා... මේ මගේ සර්...’’

නෙත්මි කිව්වේ චමත් එක්ක ගෙදර දොරකඩට එන ගමන්...

‘‘එන්න මහත්තයා... ගේ ඇතුලෙන් වාඩි වෙමු...’’

නිර්මලා කිව්වේ දොරකඩින් මෑත් වෙන ගමන්...

‘‘හොඳයි අම්මා...’’

චමත් අම්මට එහෙම කියලා නෙත්මි එක්කම ගෙට ඇතුලූ වුණා. ‘පුංචි ගේ පොඞ්ඩක්... එ්ත් හරි නිස්කලංක පාටයි...’ චමත්ට එහෙම හිතුණා.

‘‘සර්, වාඩිවෙන්න...’’

චමත් නෙත්මි දිහා බලලා සෙටියේ වාඩි වුනේ අතේ තිබුණු තෑගි පාර්සලය ටීපෝව මතින් තියන ගමන්. 

‘‘අම්මගෙන් කෑම ටිකක් කාලා යන්නමයි ආවේ...’’ 

චමත් නිර්මලා දිහා බලලා කිව්වේ ටිකක් විතර කෝල ගතියකින්...

‘‘අම්මට අද උයන්න අමතක වෙලා සර්... අපිට කඩෙන් තමයි කන්න වෙන්නේ...’’  නෙත්මි කිව්වේ විහිලූවට.

‘‘එහෙම කොහොමද... එහෙනම් මම අද උයාගෙන කාලම තමයි යන්නේ...’’

‘‘කුස්සියට ඇවිත් වලඳටම බහින්න බලාගෙනමයි අම්මේ ඔන්න ඇවිත් ඉන්නේ...’’ 

නෙත්මි කිව්වේ අම්මා දිහා බලලා හිනාවෙමින්...

‘‘ලොකූ... මේ දරුවට දැන් බඩගිනිත් ඇති... දැන් දෙකයි වෙලාව...’’ 

මේ ආපු විනාඩි පහට දහයට නිර්මලා චමත් ගැන පැහැදිලා ඉවරයි... නෙත්මියි චමතුයි විහිලූවෙන් කථාබහ කරද්දී නිර්මලා හිනාවීගෙන අහගෙන හිටියේ හිතේ ආසාවෙන්. ‘ලොකු පෝස්ට් එකක් තිබ්බට, ලොකු වාහන තිබ්බට ආඩම්බරකමක් තියෙන දරුවෙක් නම් නෙවෙයි... කෙල්ලත් ඉඳලා ඉඳලා හොයාගෙන තියෙන්නේ හරියන යාලූවෙක් තමයි...’

‘‘අනේ අම්මා... තාම ආවා විතරනේ... සර්, අපි මොනව හරි බීලම කමු නේද...’’

‘‘ම්.... කැමැත්තක්... මං හින්දා අමුතුවෙන් මහන්සි වෙන්න එපා... තේ එකක් තිබ්බත් ඇති...’’

‘‘මං කූල් එකක් හදන්නම්... ම්...’’

‘‘පුතේ ඔයා එහෙනම් බොන්න මොනා හරි හදන්න... මං කෑම ටික ලෑස්ති කරන්නම්...’’

‘‘හරි අම්මා...’’  නෙත්මි අම්මට කිව්වා...

‘‘ මං විනාඩියෙන් එන්නම්.....’’  

කෙල්ල චමත්ට එහෙම කියලා ලස්සනට හිනාවක් දාලා අම්මත් එක්ක ගේ ඇතුලට ගියා... චමත් සාලේ තනිවුනා. නෙත්මි යනකල්ම එ් පස්සෙන් දුවපු චමත්ගේ ඇහැ, පස්සේ සාලේ හතර කොනේම දුවන්නට වුනා. අන්තිමටම චමත්ගේ දෑස නතරවුනේ කැබිනට් එක උඩ තිබුණු නෙත්මිගේ පාසැල් ඡායාරූපය ලඟ... එ්ක ගත්තේ ඉස්කෝලේ ඉංග‍්‍රීසි දිනය තිබුණු දවසේ... නෙත්මි හිටියේ සුදු යුනිෆෝම් එකට මෙරූන් පාට  ඕවර් කෝට් එකක් දාලා. කෙල්ලගේ ලස්සන හිනාව දිහා චමත් බලාගෙනම හිටියා...

‘‘දිගු දෑ..ස දුටුවා..ම.....   ඇඬෙනවා... තනි ඇහැට....’’

නෙත්මිගේ මල්ලි, දෙනෙත් ඉස්සරහ දොරෙන් සාලෙට ආවේ සිංදුවකුත් කියාගෙනමයි... චමත් ඉන්නවා කියලා පොඩි එකා දන්නේ නෑ.

චමත් චූටි මල්ලි දිහා බැල්මක් දාලා හිනාවුනේ කොල්ලගේ සිංදු කෑල්ලටත් එක්කමයි. දෙනෙතුත් ළපටි හිනාවක් දාලා පට් ගාලා ගේ ඇතුලට රිංග ගත්තා... කොල්ලට වුනේ වස ලැජ්ජාව නේ...

‘‘කවුද හලෝ අර ඇවිත් ඉන්න හැන්ඩියා... ෆිල්ම් ස්ටාර් කෙනෙක් ද...? සුපර් මොඞ්ල් කෙනෙක් ද...?’’

දෙනෙත් කුස්සියට ඇතුලූ වුනේ එහෙම අහගෙන...

‘‘කට කට... ලොකූගේ ඔෆීස් එකේ සර් ඇවිත් ඉන්නේ...’’

අම්මා සැර කලාම දෙනෙත් ඇස් ලොකු කරලා, කට උල් කලේ අම්මා තසිම් වලට මාලූපිණි බෙදන හැටි බලමින්...

‘‘පණ්ඩිතයා වගේ කියවන්න ගියේ නෑ නේද...?’’

නිර්මලා එ් පාර දෙනෙත්ගෙන් ඇහුවේ කොල්ලගේ කටේ හැටි දන්න නිසාමයි... 

‘‘මම මොනව කියන්නද අම්මා... මං මේ කල්පනා කලේ අම්මේ, අපේ ලොකූ දැන් හරි දියුණුයි නේද...’’

එ් පාර නම් නාරං බීම එක හද හදා හිටිය නෙත්මි දෙනෙත් දිහාට හැරිලා රවලා බැලූවා...

‘‘මෙයා ඔෆීස් ගිය ගමන් කොල්ලෙක්වත් අල්ලගෙන-’’

‘‘අම්මා...! බලන්නකෝ කියන එ්වා...’’

‘‘චූටි පුතා...! කට වහ ගන්නවා... අර ඇවිත් ඉන්න දරුවටත් ඇහෙයි... මෙතන පිස්සු නටනවා...’’

දෙනෙත් කුස්සියෙන් මාරු වුනේ අක්කා දිහාත් බලන ගමන්... නෙත්මි මල්ලිට දිව දික් කරලා ඇද කලා...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~
                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                





7 comments:

  1. Replies
    1. ඇයි දෙය්යනේ මේක ටයිප් සෙටින් කරලය තියෙන්නේ කියලත්, දවසකට එක කොටසක් දැම්මොත් හෙනගහනවද?

      Delete
    2. විජේසේකරයි, යුනිකෝඩයි පෑහෙන්නෑ නෑ කියලා බොලාට තේරෙන්නේ නැති හැටි අම්මපා !!!

      මේක මෙහෙම හරි කියවන්න දෙන මට බොලා කියන කතන්දර වලට නම් හෙන තියන්න වටිනවා :P

      11 කොටස හෙට බලමු... ජයවේවා !!!

      Delete
    3. තේරෙන්නේ නැහැනේ... තෙරියුම් ඉල්ල !
      එව්වායෙන් අපිට කමක් නැත. කියවන්නන්ගේ සංගමයේ සම-සබාපති හැටියට ( අනිත් සබාපති කවුද කියලා මමත් හරියටම දන්නේ නැහැ) මේක පිළිබඳව වෘතිමය ක්‍රියාමාර්ගයක් ගන්නට වෙනවා

      11>>???

      Delete
  2. Roshen karaya anchiyak adeevi wage. paw ape kella.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් ! එහෙම වෙයි වගේ නේද ???

      Delete
  3. හම්ම්ම් උඹ පොඩි අතු කෑල්ලක් අමුනලා අද කතාවට.. මම හිතුවා ඔය හෝහපුටුවා හොට දායි කියලා කවදා හරි...

    බලමු බලමු බුවා මොකාටද එන්නේ කියලා....

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...