නෙත්මි කාලා, අත හෝදගෙන ඇවිත් ඇඳේ පුරුදු තැනින්ම වාඩිවුනා. එ් වෙනකොට චමත් ඇඳේ හරස් අතට දිගෑදීලා හිටියේ. ඇස් දෙකත් පියාගෙන හිටියට චමත් නිදා නෑ කියලා නෙත්මි දන්නවා. එයා වාඩිවුනු ගමන්ම ඇඳේ ඇතිවුනු පුංචි වෙනස නිසා චමත් ඇස් ඇරලා නෙත්මි දිහා බැලූවා.
‘‘දැන් ඉතී...න්...’’ චමත් තාලයකට වගේ කිව්වේ නෙත්මි දිහා බලමින්මයි. ‘‘මූලික මිනිස් අවශ්‍යතා නම් සම්පූර්ණයි...’’ චමත් කීවේ අමුතු බැරෑරුම් ශෛලියකින්.
එ් අපබ‍්‍රංශ කථාවට නෙත්මි ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා දැක්කම චමත්ට හිනා යන්නත් ආවා.
‘‘නෑ... මේ මං කිව්වේ... ආහාර, ඇඳුම්, නිවාස ගැන... දැන් ඔන්න අපිට මුලින්ම කාමරයක් සපයලා දුන්නා... ඊට පස්සේ ඉතින් ඇඳුම් ප‍්‍රශ්ණයක් තිබිලා මම එ්කත් සෙට්ල් කලා. දැන් ආහාර ප‍්‍රශ්ණයත් ඉවරයිනේ...’’
චමත් ඔහොම කියාගෙන යනකොට නෙත්මිගේ මුවට ආවේ සුන්දර සිනාවක්... කෙල්ලට ඕන විදියකට හිනාවෙන්න ඉඩ ඇරලා චමත් නෙත්මිගෙන් දෑස් ඉවතට ගත්තා...
නෙත්මි කල්පනා කලේ චමත් එක්ක රැයේ ඉතිරිය ගෙවා ගන්නේ කොහොමද කියලයි. කොල්ලව නම් ෂුවර්... එ්ත්... හිත් වෙනස් වෙන්න යන්නේ පොඩි වෙලාවයි. හැට හතරෙන් එකක් පාලා, සම්‍යක් ප‍්‍රයෝගයක් දාලා හරි කොල්ලව දැන්මම ගැට ගහගන්න ඕනේ...
‘‘සර්ට ගොඩාක් පිං...!’’
එකපාරටම නෙත්මි එහෙම කිව්වම චමත් පුදුමයෙන් හැරිලා බැලූවේ කෙල්ල දිහාව.
‘‘ඇයි මට පිං දෙන්නේ... මම කෙරුවෙත් වෙන ඕනෙම කෙනෙක් කරන දේම තමයි...’’
‘‘නැහැ සර්... වෙන කෙනෙක් අද මෙතන හිටියා නම්...................!’’
නෙත්මි හිමිහිට වගේ එහෙම කිව්වාම චමත් ගැස්සිලා ගියා. තමා ඇර වෙනත් පිරිමියෙක් මේ ඇඳ මත සිටියා නම් මේ අහිංසක කෙල්ලගේ ඉරණම මොකක් වෙයි ද ?
‘පව් දෙයියනේ... එහෙනම් මුල්ලකට වෙලා හූල්ල හූල්ල අඬ අඬ ඉඳියි... අහිංසක කෙල්ල.’
ඇඳේ දිගාවෙලා හිටිය චමත් එක පාරටම කෙලින් වුනා. නෙත්මිගේ මුහුණ තිබුණේ අඩියක දුරින්... එ් දෑස් මත නලියන තුනී කඳුලූ පටලය දිහා චමත් බලන් හිටියේ ගොඩාක් දුකින්... එහෙම්මම ඉදිරියට බරවුනු චමත්ගේ දකුණු අත නෙත්මිගේ හිස මත නතර වුණා.
‘‘බය වෙන්න එපා බබා... මගෙන් ඔයාට කරදරයක් වෙන්නෑ... ප්‍රොමිස්...!’’
චමත් මෘදු විදියට එහෙම කිව්වේ හිමිහිට කෙල්ලගේ ඔළුව අතගාන ගමන්...
නෙත්මිට එහෙමම ඇඬුණා. දුකට නෙවෙයි... සැනසීමට... මේ තමන් අභියස ඉන්නේ අප්පච්චිට පස්සේ හමුවුනු හොඳම පිරිමියා කියලා නෙත්මි දන්නවා. අද වගේ රැයක තමන්ගේ ඉරණම මේ තරමින් විසඳීම ගැන ඇය දෙවියන්ට පිං දුන්නා. දෛවයට ස්තුතිවන්ත වුණා. ඇත්තෙන්ම නෙත්මි උන්නේ කියාගන්න බැරි තරමේ සැනසීමක් අත් විඳිමින්...
* * * * *
චමත් එකවරම විමසුවේ පුදුමයට පත් වෙමින්...
‘‘ඔව් සර්... දැනගෙන හිටියා නම් මම කීයටවත් මේ ගමන එන්නේ නෑ...’’
නෙත්මි පිළිතුරු දුන්නේ දිගු සුසුමක් පිට කරනා ගමන්.
රාත‍්‍රිය ගෙවී යමින් තිබුණා. කෙමෙන් කෙමෙන් මැදියම ද එළෙඹෙමින් තිබුණත් පුංචි කාමරයේ තනිවුණු කොල්ලත්, කෙල්ලත් නිදා ගන්න නම් තාම හිතලා නෑ. චමත් කෙල්ලව කථාවට අල්ලා ගත්තේ වතගොත දැන ගන්නත් එක්ක. එ් වගේම මේ තරම් අහිංසක, ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෙක් මේ වගේ තැනක නතර වෙන්නට හේතුව දැන ගන්නත් චමත්ට වුවමනා වෙලා තිබුණා.
උදෑසන සිය නිවසෙන් පිටවූ මොහොතේ පටන් සිදු වූ සියල්ල නෙත්මි මෙනෙහි කරන්නට වූයේ පසුතැවිල්ලෙන්. සියල්ලම චමත්ට කියා දමා මෙතනින් ගැලවී යන්නට උදව් ඉල්ලන්නට ඇය සිතා ගත්තා...
* * * * *
‘ඉන්ටවීව් එකට මොනවා වෙයිද දන්නෑ... කොළඹට යනකොට කීය වෙයිද ? ෂිහ්... මෙච්චර පොල් පටවලත් මේ බස් එක අද්දන්නෑනේ...’
නෙත්මි සිතන්නට වුනේ නොසන්සුන් ආකාරයෙන් පුංචි අත් ඔරලෝසුව දිහාත් බලන ගමන්...
ගෙදර තත්ත්වේ අන්තිමයි...! අප්පච්චිගේ පෙන්ෂන් එකට අම්මාගේ මැහුම් වැඩ වලින් එකතුවෙන කීයක් හරි එක්ක හතර දෙනෙක් ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. චූටි මල්ලිත් මේ අවුරුද්දේ ඕලෙවල් කරනවා. අප්පච්චිට බෙහෙත් කරන්නත් ඕනේ... ගෙදරටම දිරාපත් වුනු අම්මාටත්, කකුල් දෙකම පණ නැතිව රෝද පුටුවකට වෙලා හූල්ලන අප්පච්චිටත් තවත් දුක් විඳින්න දෙන්න බැරි කමටමයි නෙත්මි රස්සාවක් හොයාගන්න හිතුවේ. අවුරුදු විසි තුනක්ම අප්පච්චිගෙන්, අම්මාගෙන් යැපුනා ඇති. දැන්වත් එ් දෙන්නව පොඞ්ඩක් හරි එ් බරෙන් නිදහස් කරන්න ඕනේ කියලා නෙත්මි හිතුවා.
එ්ලෙවල් විභාගෙට ලියලා ගෙදර හිටපු කාලෙදී නෙත්මි කම්පියුටර් කෝස් එකක් කලා. කෙල්ලට ඉංග‍්‍රීසිත් හොඳට පුළුවන්. ජොබ් එකක් හොයා ගන්න ඕනේ කියලා හිතට ආපු වෙලේ ඉඳන්ම ඇප්ලිකේෂන් දුසිම් ගාණක් යැව්වත් ඉන්ටවීව් එකකට කෝල් කලේ මේ අද යන එකට විතරමයි. ජොබ් එකක් හොයාගන්න එකත් කොච්චර අමාරුද කියලා නෙත්මි කල්පනා කලේ තැපැල් කරන, ඊමේල් කරන කිසිම ඇප්ලිකේෂන් එකකට පිළිතුරක් නොලැබුණු නිසා. අගනුවර පිිළිගත් මුද්‍රණ ආයතනයක පුරප්පාඩු සඳහා යවපු ඇප්ලිකේෂන් එකට තමයි යාන්තන් පිළිතුරක් ආවේ...
නෙත්මි කැම්පස් යන්න ගොඩාක් ආසාවෙන් උන්නේ. ඇය කලා විශය ධාරාවෙන් උසස් පෙළ කලේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්නමයි. නෙත්මිගේ බලාපොරොත්තු සඵල කරමින් ඇයට විශ්ව විද්‍යාල වරම් ලැබී තිබුණත්, හදිස්සියේම අප්පච්චී මුහුණ පෑ මාරාන්තික රිය අනතුර නිසා ඇගේ සරසවි සිහිනය බොඳවුනා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රියැදුරෙක් ලෙස සේවය කරපු අප්පච්චි එ් අනතුරෙන් පස්සේ කවදාවත් දෙපයින් නම් හිටගත්තේ නෑ. බාගෙට මැරිලා උන්නු අප්පච්චිව ගොඩ ගන්න අම්මාත්, තමාත් දුක් වින්ද හැටි නෙත්මිට මතකයි. එ් කරදර අස්සේ ගෙදර අගහිඟත් වැඩි වෙන්න ගත්තා... කැම්පස් එකට අඩිය තියන්නවත් කලින් සරසවි හීනේ බොඳවෙලාම ගියා... එ්ත්, කොහොම හරි අප්පච්චිව ගොඩ ගන්න පුුළුවන් වුනු එකට නම් නෙත්මිට ගොඩාක් සතුටුයි. රෝද පුටුවකට වෙලා හරි අප්පච්චි අද අපි ලඟින් ඉන්න එක කොච්චර ලොකු දෙයක් ද...
‘බහින තැන පහුවුනාද දන්නෑ...’
නෙත්මි වටපිට බැලූවේ කලබලෙන්... කල්පනාවෙන් මිදෙන කොට කොළඹටත් ඇවිත්. නිතර දෙවේලේ කොළඹ එන්නැති නිසා බැහැගන්න තැන හොයාගන්න බැරිවෙයි කියලා නෙත්මි බයෙන් උන්නේ. බහින්න ඕනේ කොළඹ මහ වීදියෙන් වුනත් කෙල්ල බස් එකෙන් බැස්සේ කොටුව ස්ටේෂන් එක ලඟින්... ඉතින් ආපස්සට බොහෝ දුරක් පයින්ම එන්න ඇයට සිදුවුනා...
නියමිත ස්ථානයට යන විටත් ඉන්ටවීව් එක පටන් අරගෙන තිබුණේ නෑ. නෙත්මිත් එතන හිටිය අනෙක් අයට එකතුවෙලා තව පැයක් විතර බලාගෙන හිටියා. ඇගේ වාරයේදී විශේෂයෙන් ඇහුවේ කම්පියුටර් ඩිග්රි එකක් තියාගෙන මොකද ටයිප්සෙටින්, ග‍්‍රැෆික් ඩිසයින් ජොබ් එකකට ඇප්ලයි කලේ කියලයි...
කොහොම වුනත් කෙල්ල ප‍්‍රැක්ටිකල් ටෙස්ට් එකෙන් නම් අසමත් වුනා. එ් එතන හිටපු අනෙක් අයත් එක්ක හරි හරියට ටයිප් කරන්න ඇයට බැරිවුනු නිසා... ටයිපිං පුරුදු වෙන්න නෙත්මිට ගෙදර කම්පියුටරයක් තිබුණේ නෑ...
* * * * *
වීදුරු දොරෙන් එළියට එනකොටම නෙත්මිගෙන් එහෙම ඇහුවේ කාංචනා... ඉන්ටවීව් ආපු සෙට් එකෙන් නෙත්මි එක්ක ෆිට් වුනු කෙල්ලෙක්... නෙත්මි උගුර කට වේලිලා බලාගෙන ඉද්දි වතුර බෝතලේ දෙන්න තරම් කරුණාවන්ත වුනේ එයා විතරයි...
‘‘නෑ අනේ... මගේ ටයිපිං මදි...’’
‘‘අයියෝ... ඉතින්, මොකෝ කරන්නේ දැන්...? ඔයා ගෙදර යනවද...?’’
කාංචනා ඇහුවේ දෙන්නා එක්ක බස් හෝල්ට් එකට පයින් යන ගමන්...
‘‘වෙන මොනවා කරන්නද ?’’ නෙත්මි කිව්වේ දිග හුස්මකුත් එක්ක.
‘‘මේ... කැමති නම් යමු තව වේකන්සියක් තියෙනවා බලන්න...’’
එ් පාර කාංචනා කිව්වේ උනන්දුවෙන්.
‘‘එ් කොහෙද...?’’
‘‘කොල්ලූපිටියේ... බියුටි සැලෝන් එකකට කෙල්ලෝ ගන්නවා කියලා දාලා තිබුණා...’’
‘‘මම බියුටි කල්චරර් කරලා නෑනේ කාංචනා...’’
නෙත්මි එහෙම කිව්වේ එතැනටත් තමා නොගැලපෙන බව දුකින් සිතමින්...
‘‘මමත් කරලා නෑ කෙල්ලේ... මහ දුරකුත් නෙවෙයිනේ... එ්කත් බලාගෙනම යන් ද...?’’
‘‘මොනවද දන්නෑ කරන්න තියෙන්නේ...?’’
‘‘හෙල්පර්ස් ලා තමයි ඉල්ලලා තිබුණේ... වැඩි වැඩක් නම් කරන්න නැතුව ඇති බං... ඔව්වයේ කොහොමත් බර වැඩ නෑනේ...’’
කාංචනා කිව්වේ තම අලූත් මිතුරියගේ ප‍්‍රතිචාරය කෙබඳු වේදැයි සිතනා ගමන්.
‘‘කොළඹ ආපු එකේ ඉතින් එ්කටත් ගිහින්ම යන්කෝ... එතනින්ම මට පානදුර බස් එක ගන්න පුලූවන් නේ...’’
නෙත්මි කිව්වේ මිතුරියගේ යෝජනාවට එකඟ වෙමින්...
* * * * *
චමත් එහෙම ඇහුවේ තම ස්වරයේ තිබුණු කෝපය නොසඟවමින්...
‘‘අනේ එ් කෙල්ල මේ කිසි දෙයක් දන්නේ නෑ සර්...’’
‘‘ඇයි එහෙනම් එ්කි ඔයාව මෙතන්ට මාට්ටු කරලා මාරුවෙලා ගියේ...?’’
‘‘කාංචනා පොත්ත සුදු කෙල්ලෙක් නෙවෙයි... සර් දන්නවනේ... එ් වගේ අය මෙතනට මැච් වෙන්නේ නෑ කියලා...’’
‘‘හරි..... එ් කියන්නේ ඔයා දෙන්නා බියුටි සැලෝන් එකක වේකන්සීස් තියෙනවා කියලා ආවේ මෙතනට. ඔයාගේ ෆීචර්ස් හොඳ නිසා නවත්ත ගත්තා... කාංචනාව හැලූවා... එහෙමද ?’’
චමත් ඇහුවේ සියල්ල නිරවුල්ව දැන ගැනීමේ වුවමනාවෙන්...
‘‘එ් වෙලාවේ නම් මට එහෙම හිතුනේ නෑ සර්... එ්ත් දැන් තමයි තේරෙන්නේ...’’
‘‘කවුද ඔයාව ඉන්ටවීව් කලේ...?’’
‘‘මැඩම්...’’
‘‘එ් කියන්නේ අර සුදු, මහත ලේඩි නේද ?’’
‘‘ඔව් සර්... එයා තමයි... ස..ර්.. එයාව දන්නව ද...?’’
කෙල්ල එ්ක ඇහුවේ නම් ටිකක් නුහුරට වගේ කියලා චමත්ට දැනුණා.
‘‘මෙහෙට එනකල් නම් දැනන් හිටියේ නෑ. ආවට පස්සේ තමයි මටත් මීටර් වුනේ...’’
චමත් එහෙම කිව්වත් කෙල්ලට එ් උත්තරේ එච්චර වැදුනේ නෑ වගේ...
‘‘ඇත්තටම නංගී... මම මෙතනට එනකල්ම දන්නෑ මේක මේ ජාතියේ තැනක් කියලා... මම මෙතෙන්ට මීට කලින් ඇවිත් නෑ. කවුද දන්නේ ‘ස්පා’ කිව්වම මේ වගේ පොට් එකක් කියලා...’’
‘‘නම දැක්කම නම් මටත් හිතුනේ නෑ සර්... පිටින් බැලූවට මෙතන කරන බිස්නස් එක පේන්නේ නෑ...’’
‘‘ඉතින්... ඉතින්..... ඊට පස්සේ.....’’ චමත් හිටියේ ඉතුරු ටික අහගන්න නොඉවසිල්ලෙන්...
‘‘මාව සිලෙක්ට් කර ගත්තා කිව්වා... මගෙන් ඇහුවා වැඩ කරන්න කැමති කොහෙද කියලා...’’
නෙත්මි කිව්වේ එවේලේ මැඩම් ඇයට කී වදන් ද යලි සිහිපත් කරමින්.
‘‘අපි මෙහේ කරන්නේ මසාජින් සෙන්ටර් එකක්... මෙතනත් වේකන්සීස් තියෙනවා... අපේ බියුටි සැලෝන් එක නම් තියෙන්නේ කිරිබත්ගොඩ. ඔයාට ඔය ප්ලේස් දෙකෙන් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුලූවන්...’’
පාලිකාව පැවසුවේ මෙය නෙත්මි සඳහාම විශේෂයෙන් පිළියෙල කරන ලද රැකියා අවස්ථාවක් ලෙසින් හැඟවෙන ආකාරයෙන්...
‘‘මැඩම්... එ්ත් මම වැඩ නම් දන්නේ නෑ...’’ නෙත්මි අවංකවම එහෙම කිව්වා.
‘‘ඉට්ස් ඕකේ ඩියර්... නෝ ප්‍රොබ්ලම්... අපි කොහොමත් ඔයාට ස්පෙෂල් ටේ‍්‍රනිං එකක් දෙනවා... නේද ෂෙරිල්...?’’
ඇය විමසුවේ දකුණුපසින් හිටගෙන වුන් කාන්තාවගෙන්. ඊට ඇගෙන් ලැබුණු අපූරු සිනාවේ අරුත නෙත්මි තේරුම් ගත්තේ පස්සේ...
* * * * *
‘‘හරි... ඉතින්...’’
‘‘මැඩම් මට කිව්වා තව ඉන්ටවීව් එකක් තියෙනවා ටිකක් ඉන්නවෙයි කියලා. බියුටි සැලෝන් එකෙනුත් කෙනෙක් එනවා කිව්වා මාව බලන්න...’’
‘‘ඉතින් ඔයා හිටියා...’’
‘‘ඔව් සර්... මං හිතුවා ඉඳලා බලනවා කියලා... ටික ටික හවස් වෙනකොට තමයි බය හිතුනේ... මම උදේ ගෙදරින් ආපු ගමන්... අම්මලා බය වෙලා ඇති කියලා හිතෙද්දී මම ආපහු යන්න කියලා හැදුවේ... එ්ත්...’’
නෙත්මි එතැනින් නතර කළ නිසා ඇය යලිත් කථාව පටන් ගන්නා තුරු චමත් ඉවසිල්ලේ බලා සිටියා...
‘‘මට යන්න දුන්නෑ සර්... මට සැක හිතුණා. මම බලෙන්ම වගේ එළියට යන්න හැදුවේ... එ් වුනාට එතන හිටපු ගෑනු දෙන්නෙක් මාව අල්ලගත්තා...’’
‘‘දෙකක් ඇනලා පනින්නනේ තිබුණේ...’’
චමත් කිව්වේ මඳ සිනාවකින්.
‘‘මට එච්චර හයියක් තිබුණේ නෑ සර්... දවසටම බඩට වැටිලා තිබුණේ උදේ එද්දී ගෙදරින් බීපු තේ එක විතරයි. මම දඟලලා ගැලවෙන්න හැදුවට බැරිවුනා... ඇඟට පණක් තිබුණෙත් නෑ. අනික මං හොඳටම බය වුනා...’’
නෙත්මි ආයෙත් ටික වෙලාවක් නතරවුනා...
‘‘අන්තිමේදී එ් ගොල්ලෝ මාව කාමරයකට දැම්මා... කලූවර වැටුනට පස්සේ අර ෂෙරිල් කියන කෙනා ඇවිත් මේ ටවල් එක ඇඳගන්න දුන්නා. ඊට පස්සේ තමයි මාව මේ කාමරේට අරගෙන ආවේ...’’
Kathawa nam hodai...issaahadi sujeewage wage bolada wena ekk na kiyla hithnwa. good luck
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට ඇනෝ... දිගටම කථාව එක්ක ඉන්නකෝ... ජයවේවා !!!
Deleteහ්ම්ම් එහෙනම් එහෙමයි වුනේ... ගෑණුම තමා ගෑණුන්ව අමාරුවේ දාන්නෙ...
ReplyDeleteදැන් කෙල්ලව මෙතනින් එළියට ගන්නෙ කොහොමද ?
//ගෑණුම තමා ගෑණුන්ව අමාරුවේ දාන්නෙ//
Deleteකථාව අස්සෙන් කියපු කථාව සෙන්නාට නම් තේරිලා වගේ...
//දැන් කෙල්ලව මෙතනින් එළියට ගන්නෙ කොහොමද ?//
ඒ ටික හෙට බලමු හොඳේ !!! :P