Friday, March 3, 2017

නෙත් චමත් [අනපේක්ෂිත හමුව] #02


පුංචි කාමරයක්... වැඩිය බඩු මුකුත් නෑ. කාමරේ මැදම තිබුණේ ඩබල් ඇඳක්. බොරු කියන්න  ඕනෙ නෑ. එ්ක නම් ඇත්තටම ලස්සනයි - පිළිවෙලයි... කැත නැතිව නිදා ගන්න හිතෙනවා. එ් ඇරෙන්න තරමක කණ්ණාඩි මේසයක් එක්ක ඇඳුම් රැක් එකක් කාමරයේ තිබුණා. එක් කොනක කුඩා දොරක් තිබුණේ බාත්රූම් එකක් වෙන්න  ඕනෙ. කාමරයේ හැඩ බලන්න දෙයක් නැති වුනත් චමත් කලේ දොරෙන් ඇතුළු වෙනකොටම ඔය ටික ස්කෑන් කරගත්ත එක. රොෂේන් තමන්ව දොරෙන් ඇතුළට තල්ලූ කළ ගමන්ම වගේ අනෙක් පැත්තෙන් දොර වැහිලා අගුල වැටෙන හඬ ඔහුට ඇහුනා. හිටගෙන ඉඳන් කරන්න දෙයක් නෑ. එ් නිසා අවිඥානිකවම වගේ චමත් ඇදුනේ ඇඳ දිහාට. කකුලේ දාගෙන හිටිය ඩෙක්ෂූස් දෙක ගලවලා, කකුල් දෙකත් ඇඳ උඩට අරගෙන ඇලට් එකක් දාගෙන චමත් කල්පනා කලේ දැන් ඊලඟට මෙතන රඟ දැක්වෙන ජවනිකාව මොකක් වෙයිද කියලයි...


‘ඊලඟට මොනව වෙන්නද ඉතින්... එයි දැන් මේ කාමරේට ලස්සන කෙල්ලෙක්...’

‘‘..... ටකස්...’’

දොර නැවත වරක් ඇරුණා. එ් තුළින් රූපයක් කාමරයට ඇතුළුවුනා. යලිත් දොර අගුලූ වැටෙන හඬ චමත්ට ඇසුනත් ඔහුට එ් ගැන වැඩිදුර හිතන්න ඉස්පාසුවක් තිබුණේ නෑ... 

ඇත්තම කිව්වොත් චමත්ගේ හිත තිබුණේ නැවතිලා. කොතනද නැවතිලා තිබුණේ ? වෙන කොහෙවත් නෙවෙයි... ඇරුණු දොරෙන් කාමරයට ආව රූපය ලඟ තමා...

*  *  *  *  *

‘‘අනේ මැඩම්... මට මේ වැඬේ කරන්න බෑ මැඩම්... මම එහෙම කෙල්ලෙක් නෙවෙයි මැඩම්. අනේ ප්ලීස් මැඩම්...’’

කෙල්ලගේ අඳෝනාව කාමරය පුරාම පැතිරිලා ගියා වුනත් පාලිකාව නම් එ්ක කනකට වත් ගත්තේ නෑ. 

‘‘මිස්ටර් රොෂේන් කෝල් කලේ හොඳම වෙලාවට. මේ කෙල්ල අදම සෙට් වුනේ නැත්නම් මෙතන කොයින්ද පැකින් කඩපු නැති එ්වා...’’ ඇය කල්පනා කරන්නට වුනේ සැනසිලිදායක සිනාවක් ද මුහුණේ ඇඳ ගනිමින්. දැන් ඉතින් අද අහුවුනු මේ පැටික්කිය මිස්ටර් රොෂේන්ට පුද දී මොණර මිටි දෙක තුනක් ඔඩොක්කුවේ දමා ගන්නට හැකිවනු ඇත. 

අහිංසකාවිය කොතෙක් ඇවැටිලි කලත් මේ ව්‍යාපාරයට තමාගේ අහිංසක කමෙන් පලක් නොවන බව ඇයට වැටහී තිබිණි. මැඩම් විසින් ඇගේ සහායිකාවට කියා ගියේ අද ? එන විශේෂ කස්ටමර් කෙනෙකු හට තමාව රෙඩි කර තබන ලෙසයි.

අවසානයේ... ඇය අකැමැත්තෙන්, බයෙන් සිටි මොහොත එළෙඹිණි. කොරිඩෝව දිගේ ඇයව රැගෙන ගිය සහායිකාව විසින් ඇයව එක් කාමරයකට ඇතුළු කොට දොර වසා දමනු ලැබිණි.

*  *  *  *  *

දොර වැහිලා තරමක වෙලාවත් ගත වුනත්, ආපහු සියල්ලම පෙර පරිදි සන්සුන් වුනත් චමත් නම් තාමත් ඉන්නේ ගල් ගැහිලා වගේ. දොරට පිටුපාගෙන තමන් ඉදිරියේ ඉන්නා රූපය දැක්කාම ‘‘දෙයියනේ... මේ තරම් ලස්සන කෙල්ලෙක්ව එව්වට පිං...’’ කියලා චමත්ට නොහිතුනා නොවෙයි. එ්ත් ඉතින් හිතේ ඇතිවෙලා ගිය නුහුරු තිගැස්ම අඩුවෙලා යනකොට චමත්ගේ පියවි සිහිය වගේම ඇස් දෙකත් පෑදෙන්න පටන් ගත්තා.

ලස්සනයි... ඇත්තටම ලස්සනයි... එ්ත්...! මොකක් හරි අවුලක් වගේ. ඔව්...! විවර වුනු දොරින් චමත් හිටපු කාමරයට ආපු ගැහැණු දරුවා පට්ට ලස්සනයි. එ් ලස්සන අස්සෙන් මතුවෙලා පෙනුනු කෙල්ලගේ බයත්, අහිංසක කමත් චමත්ගේ ඇහැට වැටුනේ ටිකක් පරක්කු වෙලා...

අසරණ නෙත්මි...!!! ඇය හිටියේ දියෙන් ගොඩදාපු මාලූවෙක් ගානටයි. ජීවිතේටම මේ තැනට පය ගැහුවෙත් අද. එ් වගේ නොදන්නා, නුපුරුදු තැනක - නාඳුනන පිරිමියෙක් එක්ක තනිවෙන්නට වුනාම හැදිච්ච ගෑණු ළමයෙකුට දැනෙන තිගැස්ම නෙත්මිටත් අඩු නැතිවම දැනුනා. කාමරයේ ඇඳ මත දිගාවී හිටි කෙනෙක් තමන් ඇතුලූ වුනු ගමන්ම කෙලින් වී නැගිට, ඇඳේ වාඩිවී තමා දෙස බලා සිටින ආකාරය ඇයට දෑස් කොනින් වගේ පෙනුනා. 

දැන් ඉතින් මොනවායින් මොනවා වේ දැයි කෙල්ලට හිතා ගන්නවත් බෑ. වසර 23 ක් පුරා රැකගත් සන්තකයම තව මොහොතකින් බිලි දෙන්නට සිදුවන බවක් සිතන විටත් නෙත්මිට ඇඬෙන්න ආවා. එ්ත්... නෑ... හිත අවුල් කරගන්නේ නැතිව ඉන්න  ඕනේ. අඬලා බෑ... අහිංසකකමට, කඳුලූ වලට සංවේදී අය මේ බිල්ඩිං එක ඇතුලේ නෑ කියලා නෙත්මි තේරුම් අරන් ගොඩාක් වෙලා... හිත තද කරගෙන ඉන්න ඇය අධිෂ්ඨාන කරගත්තා. 

"ලැබෙන පළවෙනි චාන්ස් එකේදීම මේ අපායෙන් ගැලවෙන්නට  ඕනේ..."

යාන්තන් ඉණෙන් පහලට වියතක් විතර වැහෙන්න තරමට තිබුණු තැඹිලි පැහැති කෙටි තුවායකින් පමණක් සැරසී සිටි මේ කෙල්ල හිටි තැනම නතරවී, බිම බලා ගත්වනම ඉන්නේ ඇයිදැයි චමත් කල්පනා කලා. 

‘‘මසාජ් කරන්න ආපු කෙනා මොන කෙං ගෙඩියක් කරනවද ? මෙයා දැන් මුළු රෑම බිම බලාගෙන භාවනා කරන්නද දන්නෑ හිතන් ඉන්නේ...’’ චමත් කුතුහලයෙන් යුතුව හිතුවා. ‘‘මට හිතෙන්නේ මෙයා මෙතන වැඩ වලට අලූත් වගේ. සමහර විට... මම වෙන්න ඇති ෆස්ට් කස්ටමර්...’’

තනිකම් රැයක - සීත කාමරයක් මැද හුදකලාවේ - යාන්තම් ඇඟ වැසෙන්නට හැඳගත් හුරුබුහුටි කෙල්ලෙකුත් එක්ක තනිවෙන වෙනත්  ඕනෙම පිරිමි ළයකට දැනෙන උණුසුම් හැඟීම් චමත්ටත් නොදැනුනා නොවෙයි. මොකද කොල්ලා තාම රහත් වෙන්න තියා සෝවාන් වත් වෙලා නෑනේ... එ්ක එහෙම වුනත්, චමත් කියන්නේ අවස්ථාවාදියෙක් නම් නෙවෙයි. මෙතනදී කොල්ලට තේරුම් ගිය දෙයක් තමයි මසාජ් කරන්න හෝ වෙන මොන කෙංගෙඩියක් කරන්න හරි තමන්ගේ කාමරයට එවපු මේ කෙල්ල ලඟට තමාම ගියොත් මිසක් එයා නම් තමන් ලඟට එන්නේ නැති විත්තිය. 

‘‘ෂුවර් එකටම කෙල්ල බයේ ඉන්නේ... පව් මොනවා වුනත්. සල්ලි හම්බවෙන නිසා මෙතන ජොබ් එකට එන්න ඇති. කොහේ වුනත් ටිකක් හරි ලැජ්ජ බය ඇතිව හැදුන කෙල්ලෙක්...’’ 

චමත් හිතුවේ නෙත්මිගේ අහිංසක මුහුණ දෙසම බලාගෙනයි.


*  *  *  *  *

පැය කාලක් විතර ඔහේ ගෙවිලා ගියා. චමත් ඇඳේ වාඩිවෙලා ඇඳ පත්ත බදාගත්ත ගමන්. නෙත්මි දොරෙන් ඇතුළට ඇවිත් නැවතුනු තැනම හිටගෙන බිම බලාගත් ගමන්මයි. දෙන්නගෙන් කවුරුවත් ඉස්සර වෙන්න හැදුවේ නෑ. දෙන්නට දෙන්නා නුහුරු නිසා දෙන්නම බලන් උන්නේ අනෙකා මොනවද කරන්න යන්නේ කියලයි...

ඔහොම ඉතින් වෙලාව ගතවෙන කොට නෙත්මි ඇස් කොනෙන්, හොරෙන් වගේ බැලූවේ ඇඳේ ඉන්න එකාට නින්ද ගිහිල්ලද කියලා. මෙච්චර වෙලාවක් ගෙවිලා ගියත් කිසිම ප‍්‍රතිචාරයක් නැතිව නිකන්ම ගතවෙයි කියලා නම් නෙත්මි බලාපොරොත්තුවෙන් හිටියේ නෑ. මේ නොහිතපු සන්සුන් වාතාවරණය නිසා එයාගේ හිතටත් බය ටිකක් අඩුවෙලා තරමක ධෛර්යයක් ආවා.

චමත් ආයෙත් ‘පුරුදු චමත්’ වෙනකොට - ඒ කියන්නේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කාරණා තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන තරමට හිත නිස්කලංක වුනාම කොල්ලට පැහැදිලිවම පෙනුනා නෙත්මි මූණපාලා ඉන්න තත්ත්වය. අනෙක් හැම දෙයක්ම අමතක වෙලා ගිහින් චමත්ගේ හිතේ නෙත්මි වෙනුවෙන් උපන්නේ ලොකු අනුකම්පාවක්.... ‘‘පව්... කාගේ වුනත් ගෑනු දරුවෙක් නේ...’’

‘‘එක්ස්කියුස් මී...’’ 

චමත් හඬ අවදි කලේ හිමිහිට උගුර පාදා ගන්නා ගමන්...

එ් හඬට නෙත්මි ගැස්සිලා ගිහින් චමත් දිහා බැලූවා... පළමු වතාවට දෙන්නාගේ දෑස් මුණ ගැසුනා. ‘‘ඩීසන්ට් බෝයි කෙනෙක්...’’ ඒ චමත් ගැන කෙල්ලගේ හිතේ ඇඳුනු පළවෙනි සිතුවිල්ලයි. 

‘‘මුළු රෑම ඔහොම ඉන්නද කල්පනාව... ම්ම්...? මෙතනින් ඇවිත් වාඩිවෙන්න...’’

චමත් කිව්වේ අතින් ඇඳේ අනෙක් කෙළවර පෙන්වන ගමන්.

පිළිතුරක් නැහැ... හඬ වෙනුවට පිළිතුරු බැන්දේ නෙත්මිගේ දෑස. කම්මුල් දිගේ බේරී බිමට වැටෙන කඳුලූ බිංදු චමත් දැක්කේ දිලිසෙන විදුලි එළියටයි.

‘අනේ දෙයියනේ.....! තවත් නම් ඉතින් බේරිලා ඉන්න බැරි පාටයි...’ නෙත්මිට එහෙම හිතුනේ චමත් වාඩිවෙන්න කියලා කථා කරද්දියි. 

කෙල්ලගේ තෙත්වුනු මුහුණ දැක්කම චමත්ගේ හිතත් උණුවුනා. කොහොමත් ඉතින් චමත් සංවේදී කොල්ලෙක්. මේ වගේ වෙලාවට පට් ගාලා බුරුල් වෙනවා. නෙත්මි අඬන්නේ ඇයි කියන එක චමත්ට හොඳටම තේරුණා.

‘වාඩිවෙන්න කිව්වම බය වෙන්නැති ඊගාවට මං නිදාගන්නත් කියයි කියලා... හ්ම්... කෙල්ල බයවෙලා ඉන්නේ දැන් මගෙන් කරදරයක් වෙයි කියලා...’

සුවපහසු සයනය සෙලවෙන විට හඬක් නොනැගුවත්, චමත් ඇඳෙන් නැගිටින කොට නැගුණු පුංචි සද්දෙට නෙත්මි ආයෙත් කලබලෙන් ඔළුව උස්සලා බැලූවා.

‘අනේ... එ් බෝයි ළඟටම එනවා...’

චමත් ඉදිරියට ඇදෙන කොට නෙත්මිත් පස්සට වෙන්නට වුනා. ඇය නතරවුනේ වසා තිබුණු දොරේ හැපුනු පසුයි. එකම එක උත්සාහයකින් පස්සේ දොර ඇරගන්න බැහැයි කියන එක කෙල්ලට තේරුම් ගියා. මේ කාමරයේ ඉන්න ඩබලම ආධුනික නිසා රොෂේන් කියලා තිබුණේ දොර පිටින් ලොක් කරන්න කියලා. මොකද තමන්ගේ මිෂන් එක සාර්ථක වෙන්නේ දෙන්නම රැයක් පුරා එකට හිටියොත් කියලා රොෂේන් හිතුවා.

‘‘අනේ සර්... මට කරදර කරන්න එපා සර්... ප්ලී...ස්.....’’

නෙත්මි අඬමින්ම චමත්ගේ මූණ දිහා බලාගෙන කිව්වේ දෑතම එක්කොට වඳිනා ගමන්...

චමත් මුකුත් කිව්වේ නෑ. එයා කලේ ඇඳගෙන හිටපු රතු කොටු වැටුනු අත් දිග කොට්න් ෂර්ට් එක ගලවලා අරන් නෙත්මිගේ නිරාවරණ උරිස් වැහෙන්නට දාපු එකයි...

‘‘අර කෙළවරේ බාත්රූම් එක... යන්න, ගිහින්  ඕක ඇඳගෙන එන්න...’’ 

චමත්ගේ මෘදු වදන් නෙත්මිට අදහා ගන්නටත් බැරි තරම්...!


*  *  *  *  *

රැුයේ ඉතිරිය ගෙවා ගන්නට දැන් නම් නෙත්මිට බයක් නෑ. බාත්රූම් එකෙන් කෙල්ල එළියට ආවේ සෑහෙන්න ෆිට් එකකින්. ඇඳගෙන ඉන්න චමත්ගේ ෂර්ට් එකෙන් දැනෙන මෘදු පිරිමි සුවඳ ඇගේ සිත නොදන්නා ඉසව්වකට ගෙනියනවා වාගෙයි. චමත්ගෙන් තමාට කරදරයක් නොවන බව නෙත්මිට විශ්වාසයි. දැකලා, මුණ ගැහිලා පැයක් යන්නටත් කලින් නාඳුනන පිරිමියෙක්ට චරිත සහතික දෙන්න තරම් නෙත්මි කොල්ලෝ ගැන දන්නෑ තමයි. ඒත් කෙල්ලගේ හිත කියන්නේ මේ ඉන්නේ නරක කොල්ලෙක් නෙවෙයි කියලයි. 

තමන්ගේ ෂර්ට් එකත් ඇඳගෙන බාත්රූම් එකේ ඉඳලා එන නෙත්මිව දැක්කම චමත්ගේ හිතේ ඇතිවුනේ අමුතුම හැඟීමක්. කෙල්ල උඩට චමත්ගේ ෂර්ට් එක ඇඳලා, යටට දණහිස් තරම් පහළට තුවායත් ඇඳගෙන. එ් වගේ නොගැලපෙන, නුහුරු ඇඳුම් කට්ටලයකින් සැරසිලා හිටියා වුනත් කෙල්ලගේ ලස්සන නම් හංගන්න පුලූවන් වුනේ නෑ. තමන් දිහාව බලලා, මූණත් බිමට හරවගෙන, ලාවට වගේ හිනාවීගෙන නෙත්මි එන විදිය දැක්කම කෙල්ලගේ හිතේ දැන් ඉස්සර තිබුණු බය නැති වග චමත්ට තේරුම් ගියා...

නෙත්මි ඇස් උස්සලා බලන කොටම අහුවුනේ තමන් දිහාම බලන් ඉන්න චමත්ගේ ඇස් දෙක. කොල්ලා තමන් දිහා ඇසිපිය නොහෙලා බලන් හිටියත් එ් කෑදර බැල්මකින් නම් නොවන බව නෙත්මිට තේරුණ නිසා එයා එ්ක එච්චර ගණන් ගත්තේ නෑ. චමත්ගේ දෙනෙත් වල තිබුණු පැහැදිලි බව නිසා නෙත්මිට බයක් දැනුනෙත් නෑ. මේ නාඳුනන තරුණයා අභියස තමන් සහෝදරයෙක් එක්ක ඉන්නවා මෙන්ම සුරක්ෂිත බවක් නෙත්මිට දැනුනා. ඇඳගෙන හිටි ඇඳුම තමන් දැකලාවත් නැති කෙල්ලෙක්ගේ විලි වහගන්න දීලා, බොක්සිං බැනියම පිටින් චමත් ඉන්නා හැටි දැක්කම නෙත්මිට කොල්ලා ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්...

‘‘ඉතින්..... දැන් ඔක්කොම හරිනේ...?’’ 

චමත් ඇහුවේ නෙත්මි ඇඳ ලඟටම ඇවිත් පැත්තකින් අල්ලගෙන හිටගෙන ඉඳිද්දීයි. 

කෙල්ල වචනෙන් නම් මුකුත්ම කිව්වේ නෑ. එ්ත් එ් මූණේ මතුවුනු අහිංසක සිනාවෙන් වචනයෙන් කිව්වාට වඩා දේවල් චමත් තේරුම් ගත්තා.

‘‘මෙතනින් වාඩිවෙන්න දරුවෝ...’’ 

චමත් ඇඳේ ඈත කෙළවරට ගියේ නෙත්මිට තමා වුන් තැන පෙන්වමින්...

අර කලින් සැරේ වගේ නෙවෙයි. මේ පාර නම් කෙල්ල ඇඳෙන් වාඩිවුනා. එ්ත් ඔළුව උස්සලා නම් බැලූවේ නෑ. 

නෙත්මිගේ මේ අහිංසක ගති වලට චමත් වශී වුනා කිව්වොත් හරි. කෙල්ලෙක්ගේ ලස්සන මතුවෙන්නේ හැදිච්චකමත් එක්කමයි. පිරිමියෙක් වුනාම දැඩි වෙන්න  ඕනේ වගේ තමයි, ගැහැණියක් වුනාම මෘදු වෙන්න  ඕනේ. එතකොට තමයි අගේ. චමත් එයා ජීවත් වෙන සමාජයත් එක්ක කෙල්ලෝ  ඕනෙ තරම් දැකලා, ආශ‍්‍රය කරලා තියෙනවා. එ්ත් එ් එක්කෙනෙක් ලඟවත් නෙත්මි ලඟ තියෙන අමුතුම ආකර්ශණය චමත්ට දැනිලා නෑ...


*  *  *  *  *

ඉදිරිපස බිත්තියේ ඇති ඔරලෝසුව දිහාට දෑස් පාවෙලා ගිය මොහොතක අහම්බෙන් වගේ තමයි චමත්ට දැන් වෙලාව මීටරේට ආවේ. 

‘‘මයිගෝඞ්... අටත් පහුවෙලා...!’’ 

චමත් කිව්වා නෙවෙයි ඉබේටම කියවුනා. එ් කියන්නේ මේ ප්ලේස් එකට ඇවිත් පැය දෙකකට කිට්ටු කාලයක් නොදැනීම ගෙවිලා කියන එක. එ් වගේම මේ වෙනකොටත් චමත්ගේ උදරයෙන් ඉල්ලීම් ගලා එමින් තිබුණා. එ්වායින් කියවුනේ ආමාශයට කෑම අවශ්‍යව ඇති බවයි.

‘ෂිට්... බඩගිනියි අප්පා... එළියට යන්නත් බෑ. කන්නේ කොහොමද...?’ චමත් ඔළුවේ අත ගහගෙන කල්පනා කරන්න ගත්තා. නෙත්මි බලන් හිටියේ මේකා හිටිහැටියේ ඇඹරෙන්න ගත්තේ මොකද කියලා.

‘රා...යිට්..... අපි දීලා බලමු රෝස්ට කෝල් එකක්...’

චමත් හිතුවේ සිය ජංගම දුරකථනය සාක්කුවෙන් ගන්නා ගමන්...

චමත්ගේ ඇමතුම එනකොට රොෂේන් හිටියේත් ‘ඇක්වටික් ස්පා’ එකේමයි. රොෂේන් වගේ VVIP කස්ටමර්ලට හොඳම ‘බඩු’ සපයන්න පාලිකාව නිතරම වග බලා ගන්නවා. එ් වෙද්දිත් රොෂේන් අර හොඳම එකක් එක්ක වෙනම ලෝකෙක හිටියේ. දුරකථනය නාද වෙද්දී මඳ නොරිස්සුමක් දැනුනත්, තිරයේ සටහන් වුනු අංකය දකිද්දීම රොෂේන් ඉක්මනට ඇමතුම සම්බන්ධ කර ගත්තා.

‘‘මචං රෝස්... දැන් නම් බඩගිනියි බං... මොනා හරි කන්න එවපන්කෝ...’’

‘‘හහ්...හා... කොල්ලට බඩගිනිද එහෙනම්... රයිටෝ, මම එහෙනම් ඩිනර් එකත් රූම් එකටම ඇරේන්ජ් කරන්නම් බොස්...’’

රොෂේන් චමත්ට පිළිතුරු දුන්නේ අමුතුම තාලයේ හිනාවකින් මුව සරසා ගනිමින්. එ් වන විට චමත්ව කාමරයට යවා පැයක් විතර ගතවෙලා තිබුණා. ‘‘කරගන්න  ඕනේ වැඩ ටික ඔක්කොම කර ගත්තට පස්සේ වෙන්න ඇති මූට බඩගිනි එන්න ඇත්තේ...’’ රොෂේන් සිතන්නට වූයේ ‘වැඩේ ගොඩ’ ආකාරයේ සිනාවක් පාමින්...


*  *  *  *  *

තවත් පැය භාගයක් ඇතුළත චමත් හා නෙත්මි හිටපු කාමරයටම රෑ කෑම ලැබුණා. රොෂේන්ගේ  ඕඩර් එකකට කොල්ලූපිටියේ සුපිරි අවන්හලකින් අරගෙන ආපු ආහාර ඇසුරුම කාමරයට ගෙනත් දුන්නේ පාලිකාවගේ ප‍්‍රධාන සහායිකාව විසින්මයි. හැබැයි පුතේ... එතන තිබුණේ නම් එක බොක්ස් එකයි...

‘යකෝ මූ එවලා තියෙන්නේ එක කෑම එකයි නේ...! කාමරේට දෙන්නෙක් පැටෙව්වා කියලා ඌට අමතක වෙලාද ?’ 

චමත් හිතින් බනින්නට වුනේ ඇසුරුම දිග අරින ගමන්. හිතේ තිබුණු නොරිස්සුම නැතිවුනේ දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න තියෙනවා කියලා දැක්කට පස්සෙයි. 

කෑම එකෙන් එන මිහිරි ෆ‍්‍රයිඞ් රයිස් සුවඳ නෙත්මිගෙත් බඩගින්න අවුලූවන්නට සමත් වුනා. ඇත්තටම කිව්වොත් කෙල්ල ඉන්නේ දවල්ටවත් කාලා නැතිව. එ්ත් උදේ වරුවේ ඉඳලා වෙච්චි දේවල් වල හැටියට කෑම ගැන හිතන්න තියා බඩගින්න කියලා දෙයක් තියෙනවාය කියලත් කෙල්ලට මතක් වුනේ දැන් තමයි. 

චමත් දැන් දැන් තමන්ටත් කථා කරයි කියලා චූටි බලාපොරොත්තුවක් නෙත්මිගේ හිතේ කොනක නොතිබුණා නෙවෙයි. ඒත් එයා කෑම දිහා නම් බැල්මක් වත් දාන්න ගියේ නෑ. එ් ‘පෙරේත කෙල්ලෙක්’ කියලා හිතයි කියන බයට. අනික ඉතින් එ් බෝයි කෝල් කරලම කෑම ගෙන්න ගත්තේ බඩගිනි නිසානේ. එක කෑම එකයි එවලා තියෙන්නෙත්. බඩගිනි කොල්ලෙකුත් ලඟ ඉන්දැද්දී ආයෙත් ඉතින්  ඕක දෙකට බෙදනවා කියලා හිතන එකත් බොරු වැඩක්. නොලැබෙන කෑම ගැන නොහිතා ඉන්න එක තමයි හොඳ... නෙත්මි බඩගින්න අමතක කරන්න ට‍්‍රයි කරමින් එහෙම හිතුවා. 

චමත් ඇඳ මත තියාගෙනම කෑම ඇසුරුම දිග හැරියා. මේකේ සුවඳට තිබුණු බඩගින්නත් ඩබල් වුනා වගේ... 

අසුරනයේ උඩු පියන්පත අරගෙන චමත් එ්කට ෆ‍්‍රයිඞ් රයිස් එකෙන් කොටසක් දා ගත්තා...

‘‘ඔන්න මැඩම් කෑම එක. මට නම් බඩගිනියි... තරහ වෙන්න එපා මෙන්න මං කෑවා...’’

කාඞ්බෝඞ් පියනට කෑම දාගෙන චමත් කන දිහාව බලමින් නෙත්මි පුදුමයෙන් වගේ හිස ඔසවලා බැලූවා. ඇඳ උඩ තියලා තිබුණු ඉතුරු භාගේ ඇය දැක්කේ ඊටත් පස්සේ...

‘අනේ... මටත් කෑම තියල ද... පව්...!’  ඇයට චමත් ගැන දුකත් හිතුනා. ‘එයා බඩගින්නේ ඉඳගෙන මට කෑම තිබ්බේ මොකටද...’

නෙත්මි කෑම එක දිහා බලාන ඉන්නවා චමත් දැක්කේ සවල් පාරවල් හත අටක් ගැහුවට පස්සෙයි...

‘‘ක..න්..න...’’

නෙත්මි දිහා බලලා චමත් හිමිහිට කිව්වේ පොඞ්ඩකට කෑම නවත්තන ගමන්.

 නෙත්මි චමත් දිහා බලන් හිටියේ පුදුම හැඟීමකින්. මේ අපූරු තරුණයා ගැන තේරුම් ගන්නට තරම් ඇය මුහුකුරා ගිය චරිතයක් නෙවෙයි. කොල්ලෙක්ට මේ තරම් ඞීසන්ට් විදියට හැසිරෙන්න පුලූවන් කියලා නෙත්මි කීයටවත් හිතාගෙන හිටියේ නෑ. අප්පච්චියි, චූටි මල්ලියි ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක් කෙල්ලගේ ලෝකේ හිටියෙත් නෑ. කොහොම වුනත් මේ තමන් ඉදිරිපිට ඉන්නේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා කියලා කිව්වොත් එ්ක විශ්වාස කරන තරමටම නෙත්මි චමත් ගැන පැහැදිලා හිටියේ.

කන්න කියලා කියපුවාම කෙල්ල ඇඳෙන් නැගිටලා ගියේ මොකද කියලා චමත් කන ගමන්ම කල්පනා කලා. කාරණේ වැටහුනේ බාත්රූම් එකෙන් වතුර ගලන සද්දයක් එනකොට. 

‘අත හෝදන්නෙවත් නැතුව නේද යකෝ මං කන්න ගත්තේ...! කමක් නෑ... දැන් ඉතින් මොකට දුක් වෙනවද... කාල ඉවරවෙලාම අත හෝදගන්න බැරියෑ...’

නෙත්මි අත හෝදගෙන එහෙම ඇවිත් කන්න වාඩි වුනා. චමත් එතකොට හිටියේ වටේටම නෙළලා නෙළලා අන්තිම හරියෙදි ආරක්ෂාකාරීව පහර දෙමින්...

‘‘මට මෙච්චර කෑම වැඩියි සර්...’’

නෙත්මි පොඩි ළමයෙක් වගේ එහෙම කියනකොට චමත්ට ආයෙම වතාවක් මොනවද වගේ වුනා. වේල් දෙකක් එකපාර කන්න යන එකේ තියෙන ඔක්කොම ගිලලා දාන එන අමාරු දෙයක් නෙවෙයි. එ්ත් නෙත්මි කල්පනා කලේ චමත්ට කෑම මදිවෙයි ද කියලයි...

නෙත්මිගේ සුමුදු මුදු කථාව චමත්ට නම් නුහුරුම අත්දැකීමක්. චමත් දන්න කියන හැම කෙල්ලම හරිම සෝෂල්. කවදාවත් දැකලා නැති පිරිමියෙක්ට වුනත් තමන්ගේ ගෙදර සුරතල් බල්ලට වගේ කථා කරන එක එ් අයට අමුතු දෙයක් නෙවෙයි. එ්ත් නෙත්මි ගොඩක් වෙනස්... ලස්සන රූපය, අහිංසක හැසිරීම වගේම හුරතල් කථාබහත් එක්ක පළමු වතාවට ලලනා රුවක් අභියස චමත් ගේ හිත වෙව්ලූම් කන්න පටන් ගෙන තිබුණා.

ප‍්‍රබල ගැහැණු ආත්මයක් ඉදිරිපිට දී පිරිමියෙක්ට එ් වගේ සුවිශේෂී තිගැස්මක් දැනෙනවා. එ්ක හරියට හදවතේ ඇරපු නැති දොරක් බලෙන්ම ඇරෙන්න ට‍්‍රයි කරනවා වගේ අමුතුම ෆීලිං එකක්...

නෙත්මි කෑම වැඩියි කිව්වේ මොකද කියලා චමත් නිකමට වගේ අනුමාන කලා. කටින් නොකිව්වට කෙල්ලත් ඉන්නේ බඩගින්නේ කියලා චමත් දන්නවා...

‘‘ම්ම්... මට නම්... දැන් බැට් කලා ඇති වගේ... ඉනිම අත් හිටුවන්නත් ලෝභයි. මොකද මේ වගේ පිච් වල මම පුළුවන් තරම් ස්කෝර් කරන්න තමයි ආස...’’ 

චමත් අමුතු ලතාවකට කියාගෙන ගියේ අතේ තිබුණු කාඞ්බෝඞ් පියනත් උස්සා පෙන්වන ගමන්. 

‘‘මේ..... ඔක්කොම කන්න...’’

එ් පාර නම් චමත් සීරියස් පිට කිව්වේ ලාවට හිනාවක් දාගෙන තමන් දිහා බලන් ඉන්න නෙත්මි දිහා බලමින්. කෙල්ල පොඩි එකෙක් වගේ ඔළුව හොල්ලලා හෙමින් සැරේ කෑම කන හැටි චමත් බලන් හිටියේ පොඩි දරුවෙක්ට කන්න දීලා බලාගෙන ඉන්න තාත්තා කෙනෙක්ගේ හැඟීමෙන්...





  පසු සටහන  

මේ මගේ පළමු නවකථාව නම් නෙවෙයි. හැබැයි මේ පළමු ආදර කථාව... දැනට නම් මධ්‍යස්ථ ප්‍රතිචාර තමයි තියෙන්නේ. සෑහෙන තරම් දුරට ලියලා (ටයිප් කරලා) නම් ඉවරයි.  ඉතුරු ටික ලියලා ඉවර කරගන්න පොඩි කික් එකක් ගන්න තමයි ඒ ටික මේ විදියට බ්ලොග් එකේ පළ කරන්නේ... ඉතින් හොඳයි කියලා නෙවෙයි - හදාගන්න තියෙන අඩුපාඩු මොනවා හරි තියේ නම් අවංකව පෙන්වා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා හිටින්න කැමතියි..... හැමදාමත් වගේ තාමත් 'චතූගේ කථා' එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි... ජයවේවා !!!






2 comments:

  1. කතාව ලස්සනයි. හොඳ නරක කියන්න තරම් මම ලව් ස්ටෝරීස් කියවලා නෑ...

    හැබැයි නොයිදුල් කෙල්ලෙක් ඔය වගේ තැනක ඉන්නවා කියන එක ටිකක් විතර අභව්‍යයි වගේ... ඒත් නොවෙන්නත් බැරිම දේකුත් නෙමේ....

    ReplyDelete
  2. //හොඳ නරක කියන්න තරම් මම ලව් ස්ටෝරීස් කියවලා නෑ//
    එහෙම නම් මං හින්දා උඹට ජීවිතේ පළමු වතාවට ලවු ස්ටෝරියකට කමෙන්ට් කරන්න වෙනවා... හික්ස් !!!

    //නොයිදුල් කෙල්ලෙක් ඔය වගේ තැනක ඉන්නවා කියන එක ටිකක් විතර අභව්‍යයි වගේ//
    නැතුව නැතුව... අපි බලමුකෝ ඊලඟ කොටස් ටික...

    කමෙන්ට් "එකට" තැන්කූ වේවා... ජය සෙන්නා සහෝ !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...