Sunday, April 2, 2017

නෙත් චමත් [ආදරයේ වේදනා...] #12


මත්ට සඳුදා උදා වුනේ හොඳටෝම අවුල් වෙලා... උදේ ලෑස්ති වෙලා ඔෆීස් එද්දී තමයි අවුල වැඩිවුනේ. කොහොමටත් ඊයේ උදේ නෙත්මි කෝල් කලාට පස්සේ ඉඳලම පොඩි අවුලක් තිබුණා තමයි. එ් ඉතින් අර අම්මා ඇහුවයි කියපු එකයි, එ්කට නෙත්මි කියපු කථාවයි නිසා. මෙච්චර කාලෙකට ඔව්වා ගැන කථා කරලා නැති වුනත් අද නෙත්මි එක්ක ලාවට හරි මේක ගැන කථා කරන්න  ඕනේ කියලා චමත් ඊයෙම හිතාගෙනයි උන්නේ.


කොහොම වෙතත් කොල්ලගේ හිත අවුල් කලේ එ්කම නෙවෙයි. උදේ වරුවම නෙත්මිව මුණ ගැහෙන්න විදියක් නැතිවුනු එක...

නෙත්මි දැන් ඔෆීස් එකේ වැඩ ඔක්කොම වගේ අල්ලගෙනයි තියෙන්නේ. තව තියෙන්නේ ඉතින් අත්දැකීමෙන් ඉගෙන ගන්න  ඕන ටික විතරයි. එ්ක තවත් ලේසි කරවන්න තමයි චමත් නෙත්මිට කිව්වේ බිස්නස් මැනේජ්මන්ට් කෝස් එකක් කරමු කියලා. චමත්ටත් ව්‍යාපාර කළමණාකරණය ගැන උපාධියක් තියෙන එකේ, නෙත්මිත් එ් පැත්තෙන්ම යන එක චමත්ට ඉස්සරහට ලොකු වාසියක් නේ. ඉතින් කෝස් එක කරන්න ඉන්ස්ටිටියුට් එකකුත් හොයා දීලා, එ්වට ගෙවන්න සල්ලිත් දීලා චමත්ම තමයි නෙත්මිව උනන්දු කලේ...

චමත් හිතාගෙන හිටියේ උදේ නෙත්මිවත් එක්ක ගිහිල්ලා එ් වැඩ ටික ඉවර කරගන්න. කොහෙද ඉතින්, උදේ නැගිට්ටෙත් හොඳටෝම පරක්කු වෙලා නේ. අනික ඉතින්, පණිවුඩයක් දෙන්නවත් නෙත්මි අතේ ෆෝන් එකක් නෑනේ. චමත් අද නම් හිතාගෙන ආවේ නෙත්මිව බලෙන් හරි එක්කගෙන ගිහින් ෆෝන් එකක් අරන් දෙනවයි කියලා...

‘නෙතූ උදෙන්ම යන්නැති. දැන් මොකද කරන්නේ... කමක් නෑ, නුගේගොඩට ගිහිල්ලම බලනවා... සමහර විට නෙතූ තාම එතනට ඇවිත් නැතුවත් ඇති...’ 

චමත් රථය පදවන්නට වුනේ අත් ඔරලෝසුව දිහාත් බලන ගමන්. කොහොම වුනත්, උදෑසන 9 ට කිට්ටු වෙලාවකදී හිතන තරම් වේගයෙන් කොළඹ රටේ වාහනයක් එලවන එක හීනයක් තමයි. ඉතින් කොල්ලට නුගේගොඩ ඉන්ස්ටිටියුට් එක ලඟට එන්න වුනේ නමයත් පහුවෙලා ටික වෙලාවකට පස්සෙයි.

*  *  *  *  *



එ්.සී. කාමරයේ ඉඳන් එළියට ඇවිත් නෙත්මි ගොඩනැගිල්ලෙන් පිටතට ආවේ අලූත් බලාපොරොත්තු පිරුණු හිතකින්... කෙල්ලට කොහොමත් ඉගෙනගන්න ආසාව තියෙනවා.  බිස්නස් මැනේජ්මන්ට් කියන්නේ ටිකක් නුහුරු විෂයයක් නම් තමයි. එ්ත් ඉතින් කොහොම හරි කෝස් එක ගොඩ දාගන්නවා කියලා නෙත්මි හිතාගෙනයි ඉන්නේ. ‘චමත් අයියා වෙනුවෙන් හරි මං මේක ගොඩ දා ගන්නවා...’ නෙත්මි එහෙමම හිතාගත්තා.

‘‘නෙතූ...!’’

නෙත්මි ගැස්සිලා නතර වුනා. කෙල්ලට එහෙම කථා කරන්නේ එකම එක්කෙනයි... හැරිලා බලනකොටයි නෙත්මිට වාහනේ ලඟ හිටිය චමත්ව දකින්න ලැබුණේ.

‘දෙයියනේ චමත් අයියා... කීයටද දන්නෑ ආවේ...’ නෙත්මි එහෙම හිතමින් ඉක්මනට චමත්ගේ වාහනය ලඟට ආවා.

‘‘ඇයි අයියේ මෙතනට ආවේ... මං ඔෆීස් එනවනේ...’’

‘‘හරි හරි ඉතින්... නගින්නකෝ...’’

‘‘මං එනකල්ම බලන් හිටියද...?’’  

නෙත්මි ඇහුවේ රථයට ගොඩවෙලා, චමත් දිහා බලන ගමන්. එ් ඇස් දෙකේ තිබුණු බැල්ම අඳුනගන්න චමත්ට අමාරු වුනේ නෑ...

‘‘හ්ම්..... මං නමයහමාරේ ඉඳලා මෙතන හලෝ...’’  චමත් කිව්වේ කටත් අමුතු විදියට හදාගෙන.

‘‘අනේ... ඉතින් මෙච්චර වෙලා මෙතනට වෙලා හිටියද ඔයා... දැන් දොලහටත් කිට්ටුයිනේ...’’

‘‘අවුලක් නෑ බබා... එ්ක නෙවේ... ඔයා ආපු වැඬේ කර ගත්තද ...?’’

‘‘එ්ක නම් හරි අයියේ... ඇඞ්මිෂන් ඉවරවෙලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තිබ්බා. එ්කයි පරක්කු වුනේ... ඒත්, ඔයා කොහොමද දන්නේ මං ඇතුලේ කියලා...? මං ගිහින් තිබ්බා නම් තමයි වැඬේ...’’

‘‘මං ආපු ගමන් රිෂෙප්ෂන් එකෙන් ඇහුවා... එතකොට තමයි කිව්වේ විස්තරේ... ඉතින් මං බලන් හිටියා කීයට හරි එයි නේ කියලා...’’

‘‘පවු ඔයා...! තාම කාලත් නෑ නේද...?’’

නෙත්මි ඇහුවේ චමත්ගේ අතකින් අල්ලන ගමන්. චමත් මුකුත් කිව්වේ නෑ. ඔළුව වැනුවා විතරයි. 

‘‘මං කවන්නද...?’’

නෙත්මි ඇහුවේ චමත් ගැන දුක හිතිලා... චමත් එ්කට කැමතියි කියලා කෙල්ල දන්නවා.

‘‘ඩ‍්‍රයිව් කරන ගමන්...?’’

‘‘නෑ නෑ පිස්සෝ... නවත්තන්නකෝ හෙවනකින්...’’

චමත් පාර අයිනේ නිස්කලංක තැනක වාහනේ අයින් කරලා නතර කලා. අද ඉඳලා නිළ වශයෙන් චමත්ටත් නෙත්මිලගේ ගෙදරින්ම දවල් කෑම ලැබෙනවා... ඉතින්, දෙන්නත් එක්ක පාර අයිනේ, මාර ගස් හෙවනේ ඉඳන් අම්මගේ රස බත් මුල් දෙකම ඉවර වෙනකල් කෑවා. චමත් නම් නොකිව්වට බඩගින්නේ තමා හිටියේ... නෙත්මිත් එක්ක මෙහෙම කාලේ ගතවෙන කොට චමත්ගේ කුසේ ගිනි විතරක් නෙවේ, හිතේ ගිනිත් මැකිලා යනවා...

නෙත්මි නම් මේ වගේ වැඩ වලට හරිම කැමතියි. එහෙම පොඩි දෙයකින් හරි චමත් ලඟින් දැවටිලා ඉන්නයි කෙල්ලට  ඕනේ... ‘හැමදාම බැරි වුනත් පුලූවන් හැම වෙලාවකම මම එයාව බලා ගන්නවා...’ නෙත්මි චමත් දිහා බලාගෙනම හිතුවේ ගොඩාක් ආදරයෙන්...

*  *  *  *  *



‘චමත් අයියා කීයට කෝල් කරයිද දන්නෑ...’ 

නෙත්මි හිතන්නට වුනේ පොඩි ළමයෙක් වගේ නොඉවසිල්ලෙන්... රෑට කාලා බීලා, සෝදලා, කරන්න තියෙන වැඩ ඔක්කෝම ඉවර කරගෙන කෙල්ල ඇඳට වෙලා හිටියේ අලූත් ෆෝන් එකත් අතේ තියාගෙන, චමත්ගෙන් කුළුඳුල් ඇමතුම එනකල්... 

‘එපා කියද්දිම නේ ඇදගෙන ගිහින් අරන් දුන්නේ... හරිම පිස්සෙක් තමයි... කිව්වොත් කිව්ව දේම කරන්න  ඕනේ... පව් ! මට කොච්චර ආදරේ ද...’ 

නෙත්මි දහවලේ සිදුවූ දේ සිහි කරන්නට වුනේ හීන් හිනාවකුත් දෙතොලේ ඇඳ ගනිමින්...

‘‘අනේ අයියේ... මෙච්චර ගණන් ෆෝන් මට මොකටද ? ඔයාට කථා කරන එක විතරනේ. අනේ අපි වෙන එකක් බලමුකෝ...’’

‘‘නෑ නෑ... මේක හොඳයි...! නෙතූ... ඔයාගේ පෝස්ට් එකට හරියන්නේ මේ වගේ ස්මාට් ෆෝන් එකක්... මම නේ අරන් දෙන්නේ... මේක ගන්න  ඕනේ...’’

‘‘එ්ත් අයියේ... අපරාදේ නේ... බලන්න  ඕක 25,000 ක්... අපි ටිකක් ගාණ අඩු එකක් බලලා ගමු කෝ... ප්ලීස්...’’

‘‘මෙන්න මේ ෆෝන් එක පොඞ්ඩක් අරන් දෙන්න...’’

චමත් දුරකථන අලෙවිසැලේ වෙළඳ සහායකයාට කිව්වේ නෙත්මි කියපු දේ කනකට වත් ගන්නේ නැතිවයි. බොක්ස් එක ඇතුලෙන් පිටතට ගත්තු ලස්සනම ලස්සන ස්මාට් ෆෝන් එක දැකලා නෙත්මිටත් එ්කට ආසා හිතුණා. ඒත් දෙයියනේ රුපියල් විසි පන්දාහක් නේ...!

‘‘මේක හොඳයි නේද බබා...’’

‘‘අනේ මන්දා අයියේ...’’

‘‘ඔයා කැමති නැද්ද...?’’

‘‘කැමතියි අයියේ...’’

‘‘හරි, එහෙනම් එච්චරයි... ඔය ඇඹරෙන්නේ ගණන් වැඩියි කියලනේ... නේද...’’

‘‘ම්ම්...’’

චමත් හිනාවෙලා ෆෝන් එක දාලා දීපු ලස්සන බෑග් එක නෙත්මිගේ අතට දුන්නා...

‘‘මූණ එල්ලන් ඉන්න එපා බබා... මේක ගන්න... දැන් මේ ෆෝන් එක ඔයාගේ... මම ආසාවෙන් දෙන එක නේ... කෝ ඉතින්, හිනාවෙන්නකෝ...’’

නෙත්මි ෆෝන් එකත් අතට අරන් චමත් දිහා බලලා හිනාවුනේ හරි අසරණ විදියට... කෙල්ල දැන් ඉන්නේ ටිකක් හෙල්ලිලා වගේ කියලා චමත් දන්නවා... එ්ක නිසා එයා නෙත්මිට මුකුත් කියන්න ගියේ නෑ... 

*  *  *  *  *



අළුත් ෆෝන් එක කුළුඳුලේම හඬ තලන්නට වුනා. කල්පනාවෙන් ඈත් වෙලා, නෙත්මි එ් ලස්සන සංගීත රාවයට කන් දී ගෙන හිටියේ පොඩි එකෙක් වගේ හරිම ආසාවෙන්...

කථා කරන්නේ කවුද කියලා නම් ෆෝන් එක දිහා බලන්නැතිවම කියන්න පුළුවන්. නෙත්මිගේ මේ අළුත් දුරකථන අංකය දන්නේ චමත් විතරමයි. අනෙක ඉතින්, කෙල්ල මේ බලන් ඉන්නෙම චමත්ගෙන් කෝල් එකක් එනකල් තමා...

නෙත්මි දුරකථනය අරන්, නුහුරු විදියට ඇමතුම සම්බන්ධ කරගත්තා. කෙල්ලට තාම ෆෝන් එක පුරුදු මදි.

‘‘හෙලෝ...’’

‘‘නෙතූ... සොරි බබා, පරක්කු වුණා... ඔයා නිදාගෙනද හිටියේ...?’’

‘‘නෑ අයියේ... මං මේ ඇඳට වෙලා ඇලවෙලා හිටියේ...’’

‘‘ඉතින්...’’

හැමදාමත් වගේ චමත් එහෙම අහද්දී නෙත්මිට නිකන්ම හිනා ගියා...

‘ඇයි හිනාවෙන්නේ...’’

‘‘මුකුත් නෑ අයියේ... නිකං... ඇයි කෝල් කරන්න පරක්කු වුනේ...’’

‘‘මං කථා කරයි කියලා බලන් හිටියද...?’’

‘‘ම්...’’

‘‘සොරි බබා... හදිස්සියේම අම්මලා ගමනක් දාගෙන... එහේ එන්න වුනා... ඔයා දන්නවනේ, මං කිව්වේ අර ෂානියා... එහේ ආවා...’’

නෙත්මි පොඞ්ඩක් විතර හෙල්ලිලා ගියා... ‘ෂානියා...!!!’ 

මොනවා වුනත් මේ වගේ වෙලාවට කාට වුනත් පොඩි හරි බයක්, ඉරිසියාවක් දැනෙනවා. නෙත්මිටත් උනේ එ්කම තමා.

‘‘ඇයි අයියේ... හදිසියේම...’’

‘‘හදිසියක්ම නෙවේ බබා... මේගොල්ලෝ කලින් දාගෙන තිබ්බ එකක්... මම දන්නේ අද ගෙදර ආවටත් පස්සේ තමා...’’

‘‘.........................’’

‘‘නෙතූ...!’’

චමත් කෙල්ලට කථා කලේ එහා පැත්තෙන් සද්ද නැති නිසා... ෂානියාලගේ ගෙදර ගියා කිව්වා විතරයි කෙල්ල අප්සෙට් ගිය බව චමත්ට දැනුණා.  

‘‘ම්...’’ 

නෙත්මි උත්තර දුන්නේ නොකර බැරි කමට... අළුත් ෆෝන් එකෙන් ඉස්සර වෙලාම අහන්න වුනේ හොඳ ආරංචියක් නම් නෙවෙයි. කෙල්ලට දැන් නම් ෆෝන් එකත් එපා වුණා වගේ...

‘‘බබා... ඇයි මේ...? ෂානියව මට ප‍්‍රපෝස් කරලා තියෙන එක ඇත්ත. එ්ත්, ඔයා දන්නවනේ මං එයාව කෙයා කරන්නෑ කියලා...’’

‘‘කමක් නෑ අයියේ...’’

‘‘මට නෑවිත් ඉන්න තිබුණා බබා... එ්ත්, එහෙම වුනොත් තාත්තට තවත් තරහ යනවා. ඊට පස්සේ මට තවත් නිදහස නැති වෙන එකයි වෙන්නේ... ඊට වඩා හොඳයිනේ ෂේප් එකේ ගිහින් එන එක... එ්කයි මං ආවේ... සොරි බබා... මට ඔයාට කලින් කියන්න විදියක් තිබුනේ නෑ... ඇත්තටම මං දන්නෑ මේ ගැන...’’

‘‘ඔයාගේ දේවල් වලට මට ඇඟිලි ගහන්න අයිතියක් නෑනේ අයියේ... ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. මගෙන් සමාව ඉල්ලන්න  ඕනේ නෑ... මං... මං... ඔයාගේ -’’

කෙල්ල එතනින් නතර කලේ එතනින් එහාට කියන්න වචන නැතිවුනු නිසා...

‘‘නෙතූ... බබා... ඔයා කියන්න හැදුවේ මං ඔයාගේ කවුරුවත් නෙවෙයි කියලා නේද...?’’

‘‘එ්ක නේද ඇත්ත අයියේ...’’

‘‘කවුද එහෙම කිව්වේ ඔයාට... ආ...? ඔයා හිතාගෙන ඉන්නේ මම ඔයා ගැන එහෙම හිතනවා කියලද...? ආ බබා...?’’

‘‘ඔයා... මං ගැන... මොනවා හිතුවත්... වැඩක් නෑනේ අයියේ දැන්...’’

‘‘ප්ලීස් බබා... මට කියන්න දෙන්න...’’

‘‘නෑ අයියේ... ඔයා එ්ක හිතේම තියා ගන්න... මං තරහා නෑ...’’

‘‘නෙතූ... මොකද බබා මේ...’’

‘‘මං තියන්නම් අයියේ... මට කෝල් කර කර ඉඳලා ඔයාට අන්තිමට ප‍්‍රශ්ණයක් වෙයි... බුදු සරණයි... ගුඞ් නයිට්...’’

ඇස් දෙකේ කඳුලූ පුරෝගෙන නෙත්මි දුරකථනය අතට ගත්තා... කෙල්ල හිටියේ ගොඩාක් දුකෙන්... තමන්ට අයිති නෑ කියලා දැන දැනම වුනත් චමත්ට ආදරේ කලා තමයි. එ්ත්, එ්ක මායාවක් කියලා තේරුම් යන්නේ මේ වගේ වෙලාවටයි. එ් මායාවෙන් මිදුනාම තමයි ගොඩාක්ම දුක...

තාමත් ෆෝන් එක නුහුරු නිසා ඇමතුම විසන්ධි කරගන්න එක නෙත්මිට එක පාර කරගන්න බැරිවුණා. එ්කට ගතවුනු සුළු මොහොතෙදී චමත් ‘නෙතූ..... නෙතූ.....’ කියලා කථා කරන හඬ නෙත්මිට දුරකථනයේ ස්පීකරයෙන් ලාවට වගේ ඇහෙන්නට වුණා. කෙල්ල කෝල් එක කට් කලේ අඬ අඬාමයි...

අළුත් ෆෝන් එකෙන් චමත් එක්ක කථා කර කර ඉන්න ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ආසාවෙන් බලාගෙන හිටියේ. එ්ත්, දැන් එ් හැම දෙයක්ම හීනයක් කියලයි නෙත්මිට හිතෙන්නේ. 

‘අයියා දුන්නු පලියට ඇයි මං මේ ෆෝන් එක ගත්තේ... ෂිහ්... හෙටම ගිහින් දෙන්න  ඕනේ මේක... මට මොකටද ෆෝන්... කා එක්ක කථා කරන්නද...’ කෙල්ල දැන් ඉන්නේ ෆෝන් එක එක්කත් තරහෙන්.

කොට්ටෙට මූණ තද කරගෙන, ඇඳේ මුණින්තලා වෙලා නෙත්මි හිතේ හැටියට ඇඬුවා. කොට්ටේ තෙතබරියම් වෙන කල්ම ඇඬුවා. චමත් අයියව තමන්ට අයිති නෑ කියලා හිතෙද්දී කෙල්ලට ඉහිලූම් නෑ. ‘මෙහෙම වෙයි කියලා දැන දැනමනේ මං චමත් අයියට ලං වුනේ... දැන් ඉතින් කරන්න දෙයක් නෑ... අමාරුවෙන් හරි එයාව අමතක කරන්න හිත හදාගන්න  ඕනේ... චමත් අයියට ෂානියාව ප‍්‍රපෝස් කරලා තියෙන බව දැන දැනම ඇයි මං එයාට ලං වුනේ... කවදාවත් එ්ක වෙනස් වෙන එකක් නෑ. අකමැත්තෙන් වුනත් චමත් අයියා මැරි කරන්නේ ෂානියාවම තමා. එච්චර දෙයක් වෙනකල් දිග්ගස්සන්නේ නැතිව දැන්මම චමත් අයියගෙන් ඈත් වෙන්න  ඕනේ...’

නෙත්මි අඬ අඬාම ගොඩාක් දේවල් හිතුවා. හැබැයි මොන දේ හිතුවත් කෙල්ලට හිතා ගන්න බැරිම දේ තමයි චමත්ව අමතක කරන්නේ කොහොමද කියන එක. 

‘ආදරෙයි කියලා නොකිව්වට චමත් අයියා මට ආදරෙයි... එහෙම ආදරයක් මං අතෑරලා දාන්නේ කොහොමද ? මං එයාගෙන් ඈත් වුනොත් චමත් අයියා එ්ක කොහොම දරා ගනියිද ? අනේ මන්දා... චමත් අයියගෙන් ඈත් වෙනවා කියන්නේ මට ජොබ් එකෙනුත් අයින් වෙන්න වෙනවා...’

‘එයා මට කරලා තියෙන උදව් මේ ලෝකේ වෙන කවුරුවත් කරන එ්වා නෙවෙයි. එදා ස්පා එකේ හිටපු මුළු රෑම මාව පරිස්සම් කලා. සල්ලි වියදම් කරලා, වටේටම බොරු කියලා රවට්ටලා මාව කොහොම හරි එතනින් ගලෝගෙන ආවා. මට හොඳ පෝස්ට් එකක් එක්ක ජොබ් එකක් දුන්නා. කෝස් එකට සල්ලි ගෙවලා, දැන් මේ ෆෝන් අරන් දීලා... අනේ මන්දා, මං කොහොමද චමත් අයියට මේවයේ ණය ගෙවන්නේ... මෙච්චර කරලත් මං එයාගෙන් ඈත් වුනොත් එයා හිතයි මං අවස්ථාවාදී කෙල්ලෙක් කියලා... කමක් නෑ, මං හෙට එයාට පැහැදිලි කරලා කියනවා...’

 හිතන්න හිතන්න කෙල්ලට තවත් දුකයි... චමත්ව අත ඇරලා දානවා කියන එක කෙල්ලට හිතා ගන්නවත් බැරි තරම්. එහෙම එකේ, ඇත්තටම කොහොමද එහෙම තීරණයක් ගන්නේ. නෙත්මිත් හොඳටෝම අසරණ වෙලා හිටියේ... කරන්න තියෙන එකම දේ චමත්ව අමතක කරන එක. එ්ත් දැන් තියෙන ප‍්‍රශ්ණේ තමයි එ්ක කරන්නේ කොහොමද කියන එකයි...

*  *  *  *  *



‘ෂිහ්... මේ කෙල්ල ෆෝන් එකට ආන්සර් කරන්නෑනේ... පව්, දැන් හොඳටම අඬනවා ඇති.....’ 

චමත් නොසන්සුන් සිතින් එහෙට මෙහෙට ඇවිදින ගමන්ම නෙත්මිගේ දුරකථනයට අමතන්න උත්සාහ කළා. එ්ත් කෙල්ල එ් එක ඇමතුමක් වත් සම්බන්ධ කර ගත්තේ නෑ... 

ගෙවල් දෙක තුනේම කට්ටිය රැස්වෙලා ඇතුලේ කථා බහ කරද්දී චමත් හිමිහිට ෂානිලගේ ගාර්ඞ්න් එකට ආවේ නෙතූ එක්ක කතාවක් දාන්න. ෂානියාලගේ ගෙදර ආවා කිව්වම කෙල්ල මෙච්චර අප්සෙට් යයි කියලා චමත්ට හිතුනේ නෑ. එහෙම හිතුණා නම් එ් කථාවක් නොකියාම ඉන්න තිබුණා. 

‘මම නෙතූට ඇත්තම කිව්වේ එයා මේක එච්චර සීරියස් ගන්නැති වෙයි කියලා හිතලා... අනේ මන්දා, කෙල්ල දැන් හොඳටම මූඞ් ගහලා ඇති. සමහර විට මා එක්ක තරහින් ද දන්නෑ ඉන්නේ... එ්කනේ ෆෝන් එකවත් ආන්සර් කරන්නැත්තේ, මම ඩබල් ගේම් කාරයෙක් කියලා හිතුනද දන්නෙත් නෑ....’

චමත් තණකොල පලස මත ඇවිදිමින් කල්පනා කරන්නට වුනේ දැන් මොකද කරන්නේ කියලයි... එයා ඔහොම බිඳුනු හිතින්, කල්පනාවේ ඉද්දී, තවත් දෑසක් චමත් දිහාට එල්ලවෙලා තිබුණා...

චමත් නැගිටලා ගේ ඇතුලේ ඉඳන් එළියට එනකොටම චමත්ගේ අම්මයි, ලොකු අම්මයි දෙන්නම රොෂේන්ට ඉඟි කරපු හැටි චමත් දැක්කේ නෑ... කොහොම වුනත් රොෂේනුත් හිටි තැනින් නැගිටලා හිමිහිට චමත් පස්සෙම ආවා. චමත් ෆෝන් එක එළියට අරගෙන එ්කත් ඔබමින් ගාර්ඞ්න් එක පැත්තට යන විදියත් රොෂේන් දැක්කා... 

‘මේකා දැන් අර ගර්ල්ට කෝල් කරන්න තමයි ඔය යනවා ඇත්තේ... බලමුකෝ...’

එළියේ ගාර්ඞ්න් එකේ, චමත් හිටපු තැන පේන දුරකින් තිබුණු බංකුවක වාඩිවෙලා රොෂේන් දුම්වැටියක් දල්වා ගත්තා. ඇහුවොත් නිදහසට හේතුවකුත් තියෙනවනේ... සිගරට් එකක් බොන්න ආවා කියනවා...

චමත් කා එක්ක හරි දුරකථනයෙන් අමතන හඬ රොෂේන්ට ඇහුණා. එ්ත් එ් කථා කරන දේවල් පැහැදිලිව ඇහෙන තරම් දුරකින් නෙවෙයි එයා හිටියේ. හැබැයි, ටික වෙලාවකට පස්සේ චමත් ෆෝන් එක අතට අරන් එහෙට මෙහෙට ඇවිදින විදියෙන් නම් එතන මොකක් හරි ප‍්‍රශ්ණයක් කියලා රොෂේන් හිතා ගත්තා.

චමත් නෙත්මිට විසි පාරකට වඩා කෝල් කලත්, එ් එකකින් වත් වැඩක් වුනේ නෑ. බැරිම තැන චමත් SMS එකක් ටයිප් කරලා නෙත්මිට යැව්වා. ‘ෂිහ්... නෙතූ ආපහු මාත් එක්ක කථා කරන්නැති වේවිද... හ්ම්..ම්...’

‘‘මොකද බං... ෆෝන් එකේ අවුලක් ද...?’’

එක පාරටම අඳුර මැදින් රොෂේන් ගේ හඬ ඇහෙද්දී චමත් අන්දුන් කුන්දුන් වෙලා ගියා. කොල්ලා හිටියේ වෙන සිහියක නේ. ගාර්ඞ්න් බෙන්ච් එක උඩ හිටපු අඳුරු රූපයත්, රතු පාටින් දිලිසෙන ගිණි පුළිඟුවත් චමත්ගේ ඇහැට වැටුනේ පස්සේ...

‘‘නෑ බං රෝස්.... මේ... වෙන අවුලක්...’’

‘‘කලූවරේ කැරකි කැරකි ඉන්න තරම් මොකක්ද බං උඹට තියෙන අවුල...? උඹ ඇත්තටම ෂානියාට කැමති නැද්ද චම්මා...’’

චමත් එ්කට මුකුත් කියන්න ගියේ නෑ... හිමිහිට ඇවිත් රොෂේන් ලඟින්ම වාඩිවුණා...

‘‘යකෝ... මට හම්බවෙන්නේ නෑනේ උඹට වගේ චාන්ස්...’’

රොෂේන් ආපහු කිව්වේ දුම්වැටිය ඉහළට ඇදලා, දුම් වලාවක් පිට කරනා ගමන්...

‘‘ෂානියාට අකැමැත්තක් නෙවේ රෝස්... උඹයි, මමයි දෙන්නම පොඩි කාලේ ඉඳන්ම එ්කිගේ හැටි දන්නවනේ... ෆැමිලි ෆ්‍රෙන්ඞ් කෙනෙක් හැටියට මිසක් මගේ වයිෆ් විදියට මට ෂානියා ගැන හිතන්න බෑ මචං...’’

‘‘එ් කියන්නේ උඹට ෂානියා ගැන ෆීලිං එකක් නෑ...!’’

‘‘ඔව්... මගේ ගර්ල් විදියට, මගේ වයිෆ් විදියට මට ෂානියාව ෆීල් වෙන්නේ නෑ... එ්ක තමයි මචං ඇත්ත...’’

‘‘හා හා හා.....! එ් කොහොම වුනත් චම්මා, උඹගෙයි ෂානියාගෙයි මැරේජ් එක නම් කන්ෆර්ම්... වෙඩින් එකත් ලඟදීම ගනී... උඹ දන්නවද, අද ඔය සෙට් වෙලා ඉන්නෙත් වෙඩින් එකට ඬේට් ෆික්ස් කරගන්න...’’

රොෂේන් කිව්වේ දුම්වැටිය රැඳි අතින් ෂානියාලගේ මන්දිරය පෙන්වන ගමන්...

‘‘මොකක්...? වෙඩින් එක...! යකෝ මම එ්කිව මැරි කරන්න කැමතිද කියලවත් මගෙන් ඇහුවේ නෑනේ...!’’

‘‘උඹේ කැමැත්තෙන් වැඩක් නෑ චම්මා... ඉට්ස්  ඕල්රෙඩි ඩිසයිඩඞ්...’’

‘‘පිස්සුද බං...! එහෙම කරන්න පුළුවන් ද... මං දැන්මම කියනවා බෑ කියලා...’’

චමත් කලබලයෙන් එහෙම කියාගෙන නැගිටින්නයි හැදුවේ. එ්ත් රොෂේන් චමත්ගේ අතින් අල්ලලා නැවැත්තුවා...

‘‘මෝඩයෙක් වෙන්න එපා...! උඹ දැන් ඔතන ගිහින් ෂානියාව මැරි කරන්න බෑ කිව්වොත් දන්නවද මොකද වෙන්නේ කියලා... ආ...!’’

චමත්ට ආපහු වාඩිවෙන්න වුණා... කොල්ලා බංකුවේ ඇන්දට හිස තියාගෙන කල්පනා කරමින් හිටියේ ලොකු හිත් තැවුලකින්...

‘‘උඹ ගිහින් පිස්සු නැටුවොත් උඹේ හොර ඔක්කොම එළියට එනවා... උඹ දන්නවද, උඹේ එෆෙයාර් එකක් තියෙනවා කියලා දැනටමත් ඔය හැමෝම දන්නවා...’’

රොෂේන් හිමින් සැරේ වුනත් තදින් එ් ටික කියද්දී නම් චමත්ට ඉබේම රොෂේන් දිහා බැලූනා. එ් විතරක්ද... පපුව ගැස්සිලා, සී..තල වෙලා ගියා... ‘නෙත්මි ගැන මේගොල්ලෝ දැනගෙනද...?’

‘‘එ..එෆෙයා...ර් එකක්...! පිස්සුද බං...!!!’’

‘‘හ්... මට කොලේ වහන්න එපා මස්සිනා... මම ඔය ඔක්කොම දන්නවා... උඹලා දෙන්නව මම ඇස් දෙකටම දැක්කා කටුබැද්දේ ෆුඞ් සිටි එකේදී...’’

රොෂේන් කිව්වේ චමත් දිහාම බලාගෙන... චමත්ට අහක බලාගන්න සිද්ධවුනා... 

‘මලා... එ්කත් හරි වගේ... මගේ කරුමෙට මේකත් ඇදුනනේ මේ අස්සෙම...’

‘‘චම්මා... උඹ තාමත් කියන්නේ එහෙම එෆෙයාර් එකක් නෑ කියලද...? සුදු පුංචිලා උඹ කියන එ්වා විශ්වාස කරයි කියලා උඹ හිතනවද... අනික, උඹ ෂානියාට බෑ කියන්නේ උඹේ අර හිඟන කුමාරිව ඔළුවේ තියාගෙන කියන එක අම්මලා හිතන්නැතුව ඉඳීවි ද...? මතක තියාගනින් මචං... උඹ ෂානියාට බෑ කියනවා කියන්නේ උඹ තවත් හිරවෙන එක විතරයි... සූරි අංකල් උඹට  ඕනේ විදියට නටන්න දෙන්නෑ කියලා උඹ දන්නවනේ මටත් වඩා...’’

රොෂේන් ‘සූරි අංකල්’ කිව්වේ චමත්ගේ තාත්තා - සූරියබණ්ඩාරට. 

රෝස් කියන මේ හැමදේම ඇත්ත නම් ඊගාවට මොනවා වෙයිද...? දැන් මොනවා කරන්නද කියලා චමත්ට නම් හිතා ගන්නවත් බෑ. රොෂේන් කියාගෙන ගිය දේවල් අහලා කොල්ලා හිටියේ තෝන්තු වෙලා වගේ...

රොෂේන් නෙත්මිට කථා කරපු විදියට නම් චමත්ට හොඳටම දුක හිතුණා... ‘මගේ කෙල්ලට හිඟන කුමාරි ලූ.... පව් මගේ නෙතූ...! එයා දුප්පත් තමයි... හැබැයි, හිඟන්නියෙක් නම් නෙවෙයි.....!’

‘‘උඹ ඔය කෙල්ලත් එක්ක මොන සෙල්ලමක් දැම්මත් අවුලක් නෑ මචං... එ්ත් මතක තියාගනින් චම්මා... උඹට මැරි කරන්න වෙන්නේ ෂානියාම තමයි... මයින්ඞ් ඉට්...!’’

රොෂේන් එහෙම කියලා, චමත්ගේ උරිස්සට අතින් දෙපාරක් තට්ටු කරලා ආයෙමත් ඇතුළට යන්න ගියා... එ් කියපු එව්වා දිරවගන්න බැරුව වගේ චමත් මූණ එල්ලගෙන ඔහේ බලා හිටියා...

*  *  *  *  *



කම්මුල් තෙමාගෙන වැටෙන උණු කඳුලූ වැල් වලින් නෙත්මිගේ මුළු මුහුණම වැහිලා... ඇස් වලින් කඳුලූ ගලන්නේ ටැප් එක ඇරියා වගේ... වැටෙන වැටෙන කඳුලූ බිංදු පිටි අල්ලෙන් පිහි දමමින්, නහයත් උඩට ඇද ඇද, දුක්බර සිතින් ඇඳටම වෙලා නෙත්මි ගත කලේ හරිම අමිහිරි, කටුක හෝරාවක්... 

කෙල්ලගේ වෙලාවට හිතු හැටියේ වැලපෙන්න බාධාවක් වුනේ නෑ. මොකද තාම අම්මා කාමරයට ආවේ නෑ... නිර්මලා නිදාගන්න විතරයි නෙත්මිගේ කාමරයට එන්නේ... එ් එන්නේ තාමත් කෙල්ල තනියෙන් නිදාගන්න බය නිසා... එහා කාමරයට වෙලා අම්මා අප්පච්චිත් එක්ක කථා කරන හඬ නෙත්මිට ඇහෙනවා. නිර්මලා දවස අවසන් කරන්නේ නෙත්මිලගේ අප්පච්චිත් එක්ක කථාබහ කරලා, සාත්තු සප්පායම් ඔක්කොම අහවර කලාට පස්සේ තමා.  ඉතින්, එ් එනකල් කෙල්ල ඇඳට වෙලා පෙරලි පෙරලි ඉන්නවා, අම්මා ආපු ගමන් තුරුළු වෙලා නිදාගන්න...!

කකුල් දෙක උඩට අරගෙන අත් දෙකට මැදි කරගෙන, දනහිස් දෙක උඩින් නිකට තියාගෙන, බරවුනු හිතින් දස අතේ කල්පනා කර කර හිටිය කෙල්ල එකපාර ඔළුව උස්සලා බැලූවා. එ් ජංගම දුරකථනයෙන් හිටි හැටියේ නැගුණු අමුතුම හඬක් නිසා. මෙච්චර වෙලා චමත් කෝල් පිට කෝල් ගනිද්දිත් හිත ගලක් කරගෙන නෑහුණා වගේ හිටපු නෙත්මිට මේ පාර ආපු අමුතු සද්දේ මොකක්ද කියලා නොබලා ඉන්න බැරිවුණා...

‘ෆෝන් එකේ බැටරි බැහැලද දන්නෙත් නෑ...’ 

නෙත්මි කොට්ටෙ යටට දාලා තිබුණු ෆෝන් එක අතට ගත්තේ එහෙමත් හිතමින්...

දුරකථනයේ තිරය දැක්කම කෙල්ලට හීල්ලූනා... හිත කීරි ගැහීගෙන ගියා... 

23 Missed Calls

තිරයේ එ් විදියට සටහන් වෙලා තිබුණා. එ් ඔක්කොම චමත්ගේ කියලා නෙත්මි දන්නවා... මොකද තාම කෙල්ලගේ නම්බර් එක දන්නේ චමත් විතරනේ...

එ් එක්කම ඊට යටින් තවත් පණිවුඩයක් සටහන් වෙලා තියෙනවා නෙත්මි දැක්කා...

01 Unread Message(s)

‘මැසේජ් එකක් ආපු එක තමයි එහෙනම් ඇහෙන්නැත්තේ... චමත් අයියා එවලා තියෙන්නේ... කෝල් කරලා කරලා, මම ආන්සර් කරන්නැති නිසා මැසේජ් එකක් දාන්නැති...!’ නෙත්මි හිතන්නට වුනේ SMS පණිවුඩය විවෘත කරනා ගමන්...

‘ප්ලීස් බබා, ෆෝන් එක ආන්සර් කරන්න.’ මැසේජ් එකේ තිබුනේ එහෙම... එ්ක කියෙව්වට පස්සේ නම් නෙත්මිට චමත් ගැන පව් කියලා හිතුනා...

‘එයා ෂානියාගේ ගෙදර ගියා කිව්වම මට දුක හිතුණා තමයි... එ්ත් එ්ක මෙච්චර දුර ගෙනියන්න  ඕනෙත් නෑ... අයියා ආයෙමත් කෝල් කලොත් ඔන්න ඔහේ ෆෝන් එක උස්සනවා...’

‘එක්කෝ  ඕනෙ නෑ... චමත් අයියටත් මේ අවුල තේරෙන්න  ඕන... මමත් හිත හදාගන්න  ඕනේ කියලා එයා දැනගන්න  ඕනේ... හෙට මේ ෆෝන් එකත් ගෙනිහින් දෙනවා... දීලා එයාට කියන්න  ඕනේ මාව අමතක කරලා ෂානියාව මැරි කරන්න කියලා... මට නම් චමත් අයියව කවදාවත් අමතක කරන්න බැරි වෙයි. එ්ත්... එයාට මාව අමතක කරලා ෂානියාව මැරි කරන්න පුළුවන් වෙයි...’

නෙත්මිට එතනින් එහාට හිතන්න තරම් හයියක් තිබුණේ නෑ... පපුවම හාරගෙන ආපු දරුණුම දුකකින් කෙල්ලට ඉකි ගැහුණා. හඬ නොනැගෙන්නට කොට්ටයට මූණ ඔබාගෙන නෙත්මි ආයෙමත් අඬන්නට වුනේ පුදුම තරමේ දුකකින්...!

එ්ක නම් බලන්නත් දුක හිතෙන තරමේ ඇඬිල්ලක්... චමත් ෂානියාගේ ගෙදර ගියා කියලා කෙල්ල මෙහෙම අඬනවා, වැලපෙනවා නම් - කවදා හරි කසාද බැඳලා ෂානියා චමත්ගේ ගෙදරට නතර වෙන්නම ආපු දවසට කොහොම අඬන්න වෙයිද...? හිතා ගන්නවත් බෑ...!!!

*  *  *  *  *



රෑ සීතලෙන් වැහිලා, පින්නෙන් පෙඟුණු කළුවර උයන් කොනේ, පාලූ බංකුවක් උඩට වෙලා චමත් හිටියේ දෙපැත්තකින් ඇවිලෙන ගින්දරකට මැදිවෙලා... එක පැත්තකින් නෙත්මිගේ හිත හදන්නේ කොහොමද කියන ප‍්‍රශ්ණේ. කෙල්ල ෆෝන් එකටවත් ආන්සර් කරන්නෑ... රෑ කියලා බලන්නැතුව පානදුර යන්නත් චමත්ට නොහිතුනා නෙවෙයි. එ්ත්, අද මේ තියෙන තත්ත්වයත් එක්ක දැන් කොහේවත් යනවා තියා හිතන්නවත් බෑ...
දැන් මේ පැත්තේ තව අළුත් ප‍්‍රශ්ණයකුත් ඇදිලා ඇවිත්... එ්ක ප‍්‍රශ්ණයක් නෙවෙයි, ප‍්‍රශ්ණ වැලක්... එකකට එකක් ගැට ගැහිලා... එකක් ඇදුනොත් වැලම පැටලෙනවා... මොනවා කරන්නද කියලා චමත්ට හිතා ගන්න බැරුව ඉන්නේ එ්කයි...

‘ෂිහ්...! අද නම් පුදුම කරුම දවසක්... ඔක්කොම අවුල් වුනා... තාත්තලට බම්බු ගහගන්න කියලා දැන්ම නෙතූලගේ ගෙදර යන්න තිබ්බ නම්... එ්කත් කරන්න විදියක් නෑනේ. රෝස් කිව්ව එ්වා ඇත්ත නම් එහෙම ගිිහිල්ලා වැඬේ නාගන්නයි වෙන්නේ... රෝස් අපි දෙන්නව කටුබැද්දෙදී දැක්කා කියන්නේ ඇත්ත වෙන්නැති... ෂුවර් එකටම ඌම තමයි ඇවිත් අපේ ගෙදරත් ගිනි තියන්නැත්තේ... පරයා...! තාත්තිත් මේ සීන් දන්නවද දන්නෑ... එහෙම වුනොත් නම් සොරි තමයි... මට කොලම්බෝ වලින් පිට යනවා බොරු...’

තාත්තා සීන් එකට එන්ටර් වුනොත් ෆිල්ම් එකම ඉවරයි කියලා චමත් දන්නවා...

‘අර යකා අපිව දැකලා ගින්න දුන්න නිසා තමයි එහෙනම් මේගොල්ලෝ මේ මටත් නොකියා කලබලේම වෙඩින් එක ගැන කථා කරගන්න ඇවිත් තියෙන්නේ. නෙත්මි අවුල් ගියේ නැත්නම් මට තාත්තිත් එක්ක කථා කරලා මොකක් හරි ෂේප් එකක් දාගන්න තිබුණා... මෙහේ වලියක් ඇද ගත්තත් මට නෙතූ හරි ඉන්නවා කියලා ෂුවර් නේ... මමත් මෙච්චර කල් එ් කෙල්ලගෙන් මුකුත් අහන්නැතුව හිටියා... ෂිහ්, අපරාදේ... නෙත්මිගෙන් වචනයක් නැතුව මං කොහොමද ඩිසිෂන් එකක් ගන්නේ...’

‘මොනවා හරි දෙයක් කරන්න, කල්පනා කරන්නවත් ටික කාලයක් තිබුණා නම්... මාස දෙක තුනක් තිබ්බ නම් මොනවා හරි ගේමක් ප්ලෑන් කරන්න තිබුණා... ෂිට්...! මාව හොඳටම හිරවුණා අද මේ මඟුලක ඇවිත්... අපරාදේ, ෂානියාලගේ ගෙදර යං කිව්වම මට තිබුණේ බෑ කියලා නෑවිත් ඉන්න... එනම් මේ කිසිම ප‍්‍රශ්ණයක් නෑ... නෙතූ එක්ක කෝල් කර කර ගෙදරට වෙලා ෆන් එකේ ඉන්න තිබුණා...’

කල්පනා කරලා කරලා, දැන් නම් චමත්ගේ මොලෙත් එක්ක රිදෙනවා වගේ. කොල්ලා ඉතින් වැඩිය තැලිලා, පොඩිවෙලා හැදිච්ච එකෙක් නෙවෙයි නේ. ඉතින් මේ වගේ ප්‍රෙෂර් එකක් ඔළුවට වැදුනම අවුල් වෙන එක අහන්නත් දෙයක් ද...!

‘මොකද දෙයියනේ මං දැන් කරන්නේ...?’ 

චමත් කල්පනා කරන්නට වුනේ දෑතින්ම හිස බදා ගනිමින්...

‘නෙතූට ආයෙමත් අරගෙන බලමු. මේ පාර වත් ආන්සර් කලොත් හොඳයි... අඩුගානේ මට එයා එක්ක කථා කරලා, එ් පැත්ත වත් සෙට්ල් කරගන්න පුළුවන් එහෙම වුනොත්... එක පැත්තක් හරි ෂේප් එතකොට...’

චමත් එහෙම හිතමින් නෙත්මිගේ අංකයට ආයෙත් ඇමතුමක් ගත්තා...

ටික වෙලාවකින් ඇමතුම සම්බන්ධ වෙන හඬ ඇහෙන්නට වුනා. එ්ත් දිගින් දිගට රිංග්ස් යනවා විතරයි... දුරකථනයේ ස්පීකරයෙන් නැගෙන දීර්ඝ ‘බීප්... බීප්...’ හඬත් එක්කම චමත්ගේ බලාපොරොත්තුවත් ටික ටික හේදෙන්නට වුනා.

‘නෙතූ ෆෝන් එකට ආන්සර් කරන්නෑ වගේ... සයිලන්ස් දාලා ද දන්නෑ...’

කලින් දවසක තරහවෙලා ඉඳලා, ආයෙත් යන්තම් යාළු කරගත්තට පස්සේ නෙත්මි කියපු කථාවක් චමත්ට මතක් වුනා.

‘‘මං තරහ වෙනවට ඔච්චරටම බයද... ම්...?’’

‘‘ඔව් බබා... මට පාළුයිනේ...’’

‘‘මං තරහ නොවී ඉන්නම්කෝ... හොඳේ...’’

ලස්සනට හිනාවෙලා නෙත්මි එහෙම කියපු හැටි චමත්ට මැවිලා පේනවා වගේ...

‘තරහා වෙන්නෑ කිව්වට ඔයා දැන් හොඳටම තරහා වෙලා නෙතූ... මං මෙහේ කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා ඔයා දන්නවා නම්...! ප්ලිස් බබා... මට එක පාරක් කථා කරන්න දෙන්න... එක පාරක්...!’

අසරණ වුනු සිතුවිලිත් එක්කම චමත් තවත් දෙතුන් පාරක්ම නෙත්මිට ගත්තා. එ්ත් කෙල්ල ෆෝන් එකට ආන්සර් කරන්නේ නම් නෑ...

‘ෆෝන් එක සයිලන්ස් දාගෙනද මන්දා... නෙතූ නිදි ද දන්නෙත් නෑ... ඇහැරිලා ඉන්නවා නම් අනිවා මැසේජ් එක හරි දකින්න  ඕන... ඇයි දෙයියනේ මේ කෙල්ල ආන්සර් කරන්නැත්තේ... මං එක්ක අවුලක් නම් ෆෝන් එක  ඕෆ් කරනවා මිසක් මැසේජ් එක දැකලත් එයා කීයටවත් ආන්සර් නොකර නම් ඉන්නේ නෑ...’

චමත් හිතුවා හරියටම හරි...! දෙතුන් පාරක්ම දුරකථනය නාද වෙන හඬ නෙත්මිට දැනුනේ කරදරයක් වගේ... අන්තිම ඇමතුම ඉබේම විසන්ධි වෙනකල් ඉඳලා කෙල්ල දුරකථනය අක‍්‍රිය කරලා කොට්ටෙ යටට දැම්මා...
චමත් ආපහු සැරයක් නෙත්මිට කෝල් කලා... එ්ත්...!

‘එ් ගමන ෆෝන් එක  ඕෆ්...! බැටරි ඩෙඞ් වෙලා ද, නැත්නම් එයා  ඕෆ් කලාද දන්නෑ... අනේ මන්දා.....’

දිගු හුස්මක් අරන් ඔළුව දෙපැත්තට වැනුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව හොඳටම අසරණ වෙලා...

තවත් ටික වෙලාවක් පපුව පිපිරෙන තරම් දුකින් කල්පනා කරලා, චමත් යාන්තම් හිත හදාගත්තා... නෙත්මිට දිගම දිග SMS එකක් යවලා චමත් ඉඳගෙන හිටපු බංකුවෙන් නැගිට්ටේ ආපහු ගේ ඇතුළට යනවා කියලා හිතාගෙනයි.

‘දැන් එළියට ඇවිත් පැයකටත් වැඩියි... ගියේ නැත්නම් කට්ටිය බලයි මොකද කියලා...’

චමත් යන්න හැදුවට යන්න වුනේ නම් නෑ... අඳුර මැදින් මේ පැත්තට එන රුවක් දැකලා චමත් නැවතුණා.

‘එ් ගමන මොකාද මේ...! ?’

*  *  *  *  *



‘‘ඉන්න ඉන්න... ඔයා යන්නද හැදුවේ...?’’

ෂානියා ආවේ එහෙම අහගෙන.

‘ඉවරයි... මේ මළ සමයමත් ඇවිත්...’  ෂානියා ලඟට එන හැටි බලාගෙන චමත් කල්පනා කරන්නට වුනේ දැන් මෙයත් එක්ක මොනවා කථා කරන්නද කියලයි...

‘‘අයියෝ චමී... වාඩිවෙන්න අනේ... පැනලා යන්නමයි හදන්නේ...’’

ෂානියා ඇවිත් චමත්ගේ අතින් ඇදලා ආයෙමත් වාඩි කෙරෙව්වා... 

‘පොඞ්ඩක් නිදහසේ ඉන්න නෑනේ මේකිත් එක්ක...’ චමත් හිතන්නට වුනේ ෂානියා දිහා ඔරවලා බලන ගමන්. හොඳ වෙලාවට කලූවර නිසා ෂානියාට චමත්ගේ මූණ හරියට පෙනුනේ නැත්තේ...

‘‘මොකද සයිලන්ස්... ආ...? තරහ ගිහින් වගේ...’’

‘‘න්..නෑ... ෂානි.... මට මේ... පො..ඞ්ඩක් හෙඬේක් වගේ, එ්කයි...’’

‘‘බොරු බොරු... රෝස් මට කිව්වනේ ඔයා හොඳට හිනාවෙවී යාළුවෙක්ට ෆෝන් කර කර හිටියා කියලා...’’

චමත් මුකුත් කියන්න ගියේ නෑ... කොල්ලව දැන් හොඳටම හිරවෙලා. හැම පැත්තෙන්ම වගේ හිරවෙලා...
ගැලවෙන්න විදියක් ඇත්තෙම නෑ වගේ... මොන පාරෙන් පනින්න හැදුවත් රෝඞ් බ්ලොක්...!

‘‘චමී...! ඔයා නම් හොඳටම නෝටි... මේ ලඟකදී ඉඳන් හරි වෙනස්...’’

චමත් එ්කට නම් ෂානියා දිහා බැලූවා... එ් බැල්මේ සැරටමද මන්දා ෂානියා ලාවට වගේ හිනාවක් දාලා අහක බලා ගත්තා.

‘‘හරි හරි... එ්වායෙන් වැඩක් නෑ... දැන් කියන්නකෝ බලන්න, ඇයි ඔයා එදා මගේ බර්ත්ඬේ පාටි එකට ආවේ නැත්තේ...?’’

 ‘‘සොරි ෂානි... මට එන්න විදියක් තිබුනේ නෑ... ඇයි රෝස් කිව්වේ නැද්ද ඔයාට... අපි දෙන්නට හදිසි වැඩකට යන්න වුනා එදා...’’

චමත් කිව්වේ එදා රෑ ස්පා එකේ සිද්ධිය මතක් වෙලා මුවට නැගුනු සිනාවෙන්ම ෂානියා දිහා බලන ගමන්මයි...

‘‘ඔන්න ආයෙමත් බොරු කියනවා... එනිවේ... හැබැයි චමී, අපි මැරි කරනවා නම් මීට වඩා ක්ලෝස් වෙන්න  ඕනේ... එහෙම නේද...?’’

‘‘එ්ක නම් එහෙම තමයි... එ්ත් -’’

‘‘ඇයි...?’’

‘‘එ් ඉතින් අපි මැරි කරනවා නම් විතරනේ...’’

‘‘ව..ට්...! ඇයි ඔයා මැරි කරන්නේ මාව නෙවේද...?’’

චමත් එ්කට උත්තර බඳින්න ගියේ නෑ. ඇත්තම කිව්වොත් එ්කට උත්තර දෙන්න බෑ... උත්තර දීලා, කට අවුස්සගෙන වැඩ ඔක්කොම අවුල් කරගන්න බෑ. දැනටමත් වෙලා තියෙන හරිය හොඳටම ඇති...

‘‘මොකක්ද බබා... ඔයා හරිම බෝරිං නේ... බෝයි කෙනෙක් වුනාම ටිකක් ෆෝවඞ් ඉන්න එපෑයෑ...’’

ෂානියා එහෙම කියන ගමන් චමත්ගේ වමතේ එල්ලූනා. එයාගේ මුළු ශරීරයම අතට තද වෙද්දී චමත්ට අත ගලවලා දාන්න තරම් හිතුනා. කෙල්ලෙක් ඇඟට එනවට ආස කොල්ලොත් ඇති. එ්ත් තමන්ගේ කියලා කියන්න බැරි කෙල්ලෙක් ඇෙඟ් ඇලෙන්න එනවට චමත් නම් ආසම නෑ... කොහොමටත් ෂානියා වගේ පැනලා දෙන කේස් චමත්ට අප්පිරියයි...

‘‘කියපු එක තේරුණාද ළමයට... ම්...?’’

ෂානියා චමත්ගේ උරහිසකට බරවෙලා එහෙම අහද්දී චමත්ට සැර විලවුන් සුවඳක් දැනුනා... නෙත්මි ලඟින් එන මෘදු ජැස්මින් සුවඳ මතක් වෙලා චමත්ගේ පපුවම හිස් කරගෙන වගේ දිග හුස්මක් පිටවුනා. ‘මගේ නෙතූ... හ්ම්..ම්...’

‘‘චමී...! ඔයාට මොකක් වෙලාද අද...’’

‘‘මුකුත් නෑ ෂානි... මට අද ටිකක් සනීප මදි... ලීව් මී අලෝන්... ප්ලීස්...’’

‘‘මොකක්ද චමී... අරහේ මමීලා අපේ වෙඩින් එක ගැන ඩිස්කස් කරනවා... ඔයා මෙතන කලූවරේ ඉඳගෙන හූල්ල හූල්ලා ඉන්නවා... මොකක්ද මේකේ තේරුම...?’’

‘‘මං දන්නෑ... මං දන්නෑ... මට පොඞ්ඩක් පාඩුවේ ඉන්න දීලා යනවද මෙතනින්...!’’

‘‘ආ...! ඔයා එහෙමද කථා කරන්නේ... මගේ ගෙදරට ඇවිත් මටම සද්දේ දානවද...?  ඕකේ මිස්ටර් චමත් සූරියබණ්ඩාර... මං බලා ගන්නන්කෝ...’’

‘‘මොනවා බලන්නද...?’’

‘‘බලමුකෝ... ඔයා මට ටී‍්‍රට් කරන්නේ ඔය විදියට නම් මටත් එ්කට ඇක්ෂන් එකක් ගන්න වෙනවා...’’

‘‘ඇයි තමුසේ මට මොනවා කරන්නද...?’’

චමත් ඇහුවේ හොඳටම මල පැනලා...

‘‘හ්..හ්.. බලමුකෝ ඔය පානදුර සෙල්ලම කොච්චර කල් තියෙයිද කියලා... විල් සී...!!!’’

ෂානියා එහෙම කියලා කලබලේම නැගිටලා ගේ පැත්තට ගියා... චමත් එ් දිහා බලාගෙන හිටියේ හිස් බැල්මෙන්. 

ජරමර පිට බර කරත්ත කියන්නේ මෙව්වට තමයි... එහෙන් නෙතූ අවුල් ගිහින්... මෙහේ රෝස් ඉඳන් ගමම ගිනි තියනවා... එ් අස්සේ ගෙවල් වල කට්ටිය එකතු වෙලා ෂානියාව චමත්ට බන්දලා දෙන්න යනවා... රැවුල ගිනි අරන් නිවා ගන්න බැරිව දඟලන එක නම් තව කමක් නෑ කිව්වහැකි. චමත්ට කාලා ඉන්නම බැරිවුනේ ඒ  වෙලාවේ ෂානියාත් ඇවිත් සුරුට්ටු පත්තු කරන්න ට‍්‍රයි කරන එකයි...

‘ඉක්මනටම මොනා හරි කරන්න වෙනවා කොල්ලෝ... පමා වුනොත් මල පරවෙයි කියලා කියන්නේ නිකම්ම නෙවෙයිනේ... බලමුකෝ, හෙටත් ඉර පායනවනේ... කලබල වෙලා තීරණ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක... ජීවිතේ පිලිබඳ ප‍්‍රශ්ණයක්... හොඳට හිතපන් චමත්, මෙතන වැරදුනොත් උඹ ඉවරයි...’

ගාර්ඞ්න් එකේ බංකුව උඩට වෙලා කලූවර අහස දිහා බලාගෙන චමත් කල්පනා කරන්නට වුනේ දැන් මොකද කරන්නේ කියලයි... එ්ත් ඉතින් තියෙන තත්ත්වේ හැටියට කල්පනා කලා කියලා විසඳුමක් ලැබෙයි කියලා කියන්නත් අමාරුයි... ඔක්කොම තියෙන්නේ නෙත්මිගේ අතේ තමයි...

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                




15 comments:

  1. අනේ පව්.

    ReplyDelete
    Replies
    1. කවුද අනේ පවු ???

      Delete
    2. දෙන්නම අනේ!!!

      Delete
  2. Replies
    1. එ් පාර මේන් තවත් පූ...චෙක් !!!

      Delete
  3. just another love story... Mahesh rathsara maddumarachchilage paramparaawata yanna epaa.. baalayi..

    ReplyDelete
    Replies
    1. ලියන කෙනෙක්ට දිරියක් වෙන්න දෙයක් කියන්න බැරිනම්, කට පියාගෙන ඉන්න. මොකද රාජ්‍ය සම්මානයක් බලාගෙන ලියනවා නෙවෙයිනේ

      Delete
    2. @ Ano:
      //just another love story.//
      Don't judge it just yet. I am not finished here... :-p

      මම මහේෂ් රත්සරට ආස නෑ ඇනෝ... පොත් බලලත් නෑ... නිසා ඒ influence එක මට නෑ.

      //baalayi..// විදග්ධ ආරට ලියන්නත් ඇහැකියි. මේක පොඩි අත්හදා බැලීමක්... මුට්ටිය දමා බැලීමක්...

      කොහොම වෙතත් ස්තුතියි අවංක ප්‍රතිචාරයට... ඉදිරි කොටස් බලන්න ඇවිත් අවසාන නිගමනය කියනවා නම් හොඳයි... ජයවේවා !!!

      @ ලිඛිතා...
      Thumbs up Sis !!!

      Delete
    3. රාජ්ජ සම්මාන ගන්නෙත් මෙයා වගෙ ලියන්න ඇහකි අය තමා. ලියන්නට දිරිය දෙන්න පුළුවන් ඔක්කොම ලියන එව්ව මරු මරු කියල කැලේ යන්න ඇරියාම නෙවෙයි නංගි.. අපි ඇත්ත කිව්වාම කොල්ලා හදාගනී. එහෙම නැතුව ඌව මරන්න නෙවෙයි මං ලිව්වෙ.

      Delete
    4. Anonymous April 5,

      Constructive criticism is NOT what you are doing now..

      Delete
    5. in a blog everyone has the freedom to express his or her views so long as the views are expressed in an acceptable way. Look at the choice of your language. You say "කට පියාගෙන ඉන්න".

      Is that constructive of destructive ? Pot calling the kettle black Likitha..

      The writer is more tolerant than you as he suggests that I should wait and read the whole story.

      Delete
    6. Ok guys, let's move forward...!!! it's Over !!!

      තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමයි අපි අපේ බ්ලොග් වල කමෙන්ට් සෙක්ෂන් Open කරලා තියෙන්නේ... බලන්නාට අපුල දනවන කිසිවක් හැරෙන්නට ඕනෑම දෙයක් ප්‍රකාශ කළ හැකියි... ඇනෝ කියලා තියෙන දේ ලිඛිතාට වැදිලා තියෙන නිසා තමා එයා එහෙම කියලා තියෙන්නේ. මොකද එයත් මං වගේම writer කෙනෙක් නිසා... මට පාඨක අදහස් මැදහත් සිතින් ඉවසන්න පුලුවන්. ඒ වුනත් ඒ මාතෘකාවටම අදාලව මගේ හොඳම පාඨකයෝ දෙන්නෙක් මට නැති කරගන්න බෑ... දෙදෙනාම කරුණාවෙන් වටහා ගනු ඇතැයි සිතනවා... ජය !!!

      Delete
    7. Don't worry ... its the debates that add value..

      Delete
  4. "තාම නෙත්මිගෙ අංකෙ දන්නෙ චමත් විතරමයි.." මේ තවත් අත්තක් ද ?

    එළ ...කතාව හොඳට යනවා...

    ReplyDelete
    Replies
    1. අත්තක් කියලා හිතලා තිබුණේ නෑ. දැන් උඹ කිව්ව නිසා ඒක රිකිල්ලක් වෙලා තියෙන්නේ... යථා කාලයේ තථා අයුරින් ඒක අත්තක් වේවි...!!!

      //එළ ...කතාව හොඳට යනවා...//
      ඇති යාන්තම් උඹෙන් එහෙමවත් අහගන්න ලැබු්‍නා ! :P

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...