Wednesday, April 5, 2017

නෙත් චමත් [විසඳුමක් සොයා...] #13



‘‘ලො..කූ...!’’

නෙත්මි ගැස්සිලා ඇහැරුණා. අම්මා මූණට එබීගෙන, ඇස් දල්වා බලා ඉන්නවා.

‘‘ඇ..ඇයි අම්..මා...’’

‘‘ඇයි අහන්නේ දරුවෝ... දවල් වෙලානේ දැන්. අද වැඩට යන්නේ නැද්ද...?’’

‘‘කී..යද වෙලා..ව...’’

‘‘හතහමාරටත් කිට්ටුයි මාහිතේ... පෙරලි පෙරලි උන්නු නිසා නිදිමත ඇති කියලා මං කතා කලෙත් නෑ... දන්නෙම නෑ දවල් වෙලා...’’
‘‘අම්මා...’’

‘‘ම්ම්...’’

‘‘අද යන්නෑ අම්මා... ඔළුව රිදෙනවා...’’

‘‘හ්ම්... එහෙමද... එහෙනම් නැගිටලා, මූණ කට හෝදගෙන, කාලා මොනව හරි බේතක් ගන්න... අසනීප නම් ඇඳට වෙලා ඉඳලා හරියන්නේ නෑනේ...’’

‘‘හරි අම්මා... මං තව ටිකකින් එන්නම්... හොඳේ...’’

‘‘හ්ම්.. හ්ම්...’’

නිර්මලා එහෙමම කෙල්ලගේ ඇඳෙන් නැගිටලා කාමරයෙන් එලියට ආවා. කෙල්ල ඉන්නේ හිතේ අමාරුවකින් කියලා අම්මට තේරෙනවා. රෑ තිස්සෙම පෙරලි පෙරලි, හූල්ලගත්ත ගමන් හිටියා මිසක් නිදා ගත්තේ නම් නෑ. කෙල්ල කීයට නිදා ගත්තද කියලා වත් නිර්මලා දන්නෑ.

අම්මා ගියාට පස්සේ නෙත්මි ඇඳේම ඉඳන් කල්පනා කලේ අද ඇත්තටම වැඩට යනවද නැද්ද කියලයි. 

‘ගිහින් වැඩක් කරන්නත් බෑ... අනික, කොහොමද මං ගිහින් චමත් අයියට මූණ දෙන්නේ... කමක් නෑ, අද ගෙදර ඉන්නවා...’ කෙල්ල එහෙම හිතුවා...

ඊයේ රෑ ගැන කල්පනා වෙද්දී නෙත්මිට දැනුනේ නපුරු හීනයක් වගේ... කල්පනා කරලා, අඬලා කඳුලූ හෙලලා, සුසුම් හෙලලා දුක්වෙලා නෙත්මි ඇහැ පියෙව්වේ පාන්දර යාමෙත් මැදක් ගෙවුනට පස්සෙයි. දුක වැඩි හිතත්, නිදි නැති නෙතත් දෙකම එකතුවෙලා නෙත්මිට කරදර කරන්න අරන් තිබුනේ කෙල්ලට හිසේ කැක්කුමක් කැන්දමින්.

තෝන්තු වුනු හිසට අතකුත් තියාගෙන නෙත්මි ඇඳේ ඇලවෙලා ඉඳන්ම උඩ බලා ගෙන කල්පනා කර කර හිටියා. එහෙම කොච්චර වෙලා හිටියද කියලා කෙල්ලටම නිනව්වක් නෑ...

‘‘ළමයෝ... නැගිටලා එන්න කිව්වම... ඇඳ බදාගෙන හිටියට හරියනවායෑ...’’

අම්මා දෙවැනි පාරටත් කාමරයට එබිලා එහෙම කියද්දී නෙත්මිට තවත් ඇඳට වෙලා ඉන්න විදියක් නැතිවුණා. අම්මා ඊගාව පාර අමතන්නේ කොහොමද කියලා කෙල්ල අත්දැකීමෙන්ම දන්නවා. එ් නිසා නෙත්මි නිදිගැට කඩමින්ම ඇඳේ වාඩිවුණා. ටිකක් වෙලා එහේ මෙහේ බල බල ඉන්න කොට තමයි නෙත්මිට ෆෝන් එක ගැන මතකෙට ආවේ...

‘චමත් අයියා ? දිගටම කෝල්ස් ගත්තද දන්නෑ...’

නෙත්මි කොට්ටේ යටට අත දාලා ෆෝන් එක අරගත්තේ එහෙම හිතන ගමන්... තාමත් එ්ක  ඕෆ් කරපු ගමන්. ෆෝන් එක on කරන ගමන් කෙල්ල කල්පනා කලේ චමත් ඊයේ රෑ මොනවා හිතුවද දන්නෑ කියලයි. දුරකථන තිරය දිහා බලලා නෙත්මි සැනසුම් සුසුමක් හෙලූවා... තිබුණේ එකම එක මැසේජ් එකක් විතරයි.

‘හ්ම්... චමත් අයියට හොඳටම තරහ යන්නැති මම ෆෝන් එක  ඕෆ් කරලා තිබ්බට. මොනව කරන්නද ?  කෝ්ල් කලාම ආන්සර් කරන්නයෑ... මොනවා කියලා කියන්නද ?’ නෙත්මි චමත් එවපු කෙටි පණිවුඩය විවෘත කලේ එහෙම හිතමින්...

කෙටි පණිවුඩයක් කියලා කිව්වට, එ්ක කෙටි එකක් නම් නෙවෙයි...

පුන්සඳක් එබුනා - වළාපෙලට යටින්
සිනිඳු සඳ රැස් දහසක් ඉසිමින්

එ්ත්...
ලොකු වැහි වළාකුලක් ඇවිදින්
සඳ මුවා කරගත්තා...!
ලෝකයට නොපෙනෙන්නට
ඉතින්, මට එළිය දෙන්නට
හැකිවේද එ් සඳට...?

කුමක් කරන්නද...?
තනිව මග ගෙවනු මිස
සදාකාලික අඳුර මැද...

දිවිකතර විනිවිද
කවදාද එන්නේ හිරු...
නැගෙනහිර ක්ෂිතිජයට...


චමත් එවලා තිබුණු ඒ දිග SMS එක නෙත්මි කියෙව්වේ වදනින් වදනට දැඩි වන දුකකින්... කියවා ගෙන යද්දී පපුව හිර කරනවා වගෙයි කෙල්ලට දැනුනේ. මැසේජ් එක කියවලා නෙත්මිට මෙච්චර හිතට දුකයි නම්, එ්ක ටයිප් කරද්දී චමත් කොච්චර දුකකින් ඉන්න ඇතිද කියලා හිතා ගන්න පුළුවන් නේද...

චමත් අතේ වැරැද්දක් නෑ කියලා නෙත්මිට තේරෙනවා. එ්ත් හිතට එ්ක තේරුම් කරලා දෙන එකයි අමාරුව...! චමත් අයියා වෙන කෙනෙක්ට අයිති වෙනවා කියලා හිතන කොටත් නෙත්මිට හිතට අමාරුයි...

‘පව් දෙයියනේ චමත් අයියා... ඊයේ ? මොනවා කරගත්තද දන්නෑ... මමත් මං ගැන විතරයි හිතුවේ. චමත් අයියා පව්... හැම පැත්තෙන්ම හිරවෙලා... හ්ම්... අනේ මන්දා... මං දැන් මොකද කරන්නේ...’

නෙත්මි දුරකථන තිරය දිහාම බලාන උන්නා... චමත් මැසේජ් කරලා එවපු නිසඳැස ආයේ ආයෙත් කියෙව්වා. කෙල්ල හිටියේ කල්පනා වැලක අතරමං වෙලා... එහෙම ඉන්දැද්දි තමයි තවත් SMS එකක් දුරකථනයට ආවේ...

‘මිස් කෝල් ඇලට් එකක්... එ්කත් චමත් අයියගෙන්... උදෙන්ම කෝල් කරලා තියෙන්නේ... මම රෑ ඉඳලා දිගටම ෆෝන් එක  ඕෆ් කරලනේ තිබුනේ... පව්, හොඳටම හිත රිදෙන්නැති... මං ගැන මොනවා හිතුවද දන්නෑ...’

නෙත්මි ෆෝන් එක තියලා එළියට යන්නයි හැදුවේ. එ්ත් ඊට කලින් තවත් missed call alerts දෙක තුනකම මැසේජ් ආවා. නෙත්මි කලින් හිතාගෙන හිටියේ ෆෝන් එක on කරලා බලලා ආයෙත් off කරලා තියන්නයි. චමත් දිගටම කෝල් ගත්තද කියලා බලන්නයි කෙල්ලට වුවමනාව තිබුනේ. එ් වුනත් චමත්ගේ දුක හිතෙන නිසඳැස නිසා නෙත්මිගේ කලින් හිත වෙනස් වුනා...

මෙහෙම්මම චමත්ට කෝල් එකක් අරන් බලන්නත් නෙත්මිට හිතුණා. එ්ත් එහෙම කරන්න තරම් කෙල්ලගේ හිත හයිය මදි. එ් හින්දා, චමත් ආයෙමත් කෝල් කලොත් ගන්නවා කියලා හිතාගෙන, නෙත්මි ජංගම දුරකථනය එහෙමම තියලා නැගිට්ටා...

‘චමත් අයියා ආයෙමත් කෝල් කරාවි... මං එතකොට එයාට හැමදේම කියන්න  ඕනේ... මෙච්චර කාලෙකට මේ ගැන කිසිම දෙයක් කථා නොකලේ අපරාදේ... කමක් නෑ, පහුවෙලා හරි වෙන්න තිබුණු දේ වුනානේ... මං චමත් අයියට පැහැදිලි කරලා කියනවා...’

නෙත්මි දිගු හුස්මක් හෙලලා කුස්සිය පැත්තට ඇදුනේ සිතුවිල්ලෙන් බරවුනු හිතකින්...

*  *  *  *  *

චමත්ට නම් පහුගිය රැය තරම් අසුන්දර රැයක් මතකයේ කොනකවත් නැති තරම්. ඊයේ මුළු රෑම වගේ ඇහැ පියවුනේ නැති තරමයි.  ඕනේ නම් එක පැයකට නින්ද යන්නැති. එ්කත් ඉතින්  ඕනෑවට නිදාගත්තා නෙවෙයි... දන්නෙත් නැතුවම නින්ද ගිහින්... එ් නින්ද ගියත් වැඩි වෙලා නොගිහින් කොල්ලට ඇහැරුණා. මුළු රෑම වගේ කල්පනා කර කර, හූල්ල හූල්ල හිටියා මිසක්, නින්දක් ගැන වුවමනාවක් චමත්ට දැනුනේ නෑ...

ඊයේ රෑ ෂානියාලගේ ගෙදරින් ආවේ කාටවත් මූණ දෙන්නැතුවයි. බුම්මගෙන ඔහේ ආවා මිසක් චමත් කා එක්කවත් කථාවට වත් ගියේ නෑ... කවුරුවත් කොල්ලා එක්ක කථා කළෙත් නෑ... හිතේ තෙරපෙන වේදනාව දන්නේ චමත් විතරයි. ගෙදර කා එක්කවත් එ් දුක කියලා වැඩක් නෑ කියලා චමත් දන්නවා... ඉතින්, මොනවා කරන්නද... තනියම කාගෙන යනවා මිසක්...

තාත්තා, අම්මා, රොෂේන් සහ ලොකු අම්මලා වගේම ෂානියාත්, එයාලගේ ගෙදර අයත් පවා මේ වෙනකොට තමන්ට හතුරු වෙලා කියලා චමත්ට තේරෙනවා. ගෙදර ඇවිත්, කාමරේට වැදිලා, එහෙමම ඇඳේ ඇලවුනා මිසක් චමත් රෑට කන්නවත් වුවමනාවක් කලේ නෑ... එ් තරම්ම දරුණු කම්පාවකින් කොල්ලා හිටියේ... නෙතූ නැතිවුණා කියන්නේ චමත්ගේ ලෝකයම අඳුරු වුණා වගේ...

‘මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ බබා... ඇයි ඔයා මට මෙහෙම කලේ... අඩුගානේ මට කථා කරන්නවත් චාන්ස් එකක් නොදුන්නේ ඇයි...?’

මුළු රෑම චමත්ගේ හිතට ආවේ ඔය වගේ සිතුවිලි තමයි...

උදෑසනත් එක්කම චමත් ඇඳෙන් නැගිට්ටා... නැගෙන හිරුත් එක්කම පහව යන රෑ  අඳුර වගේ, හිතේ දඟලපු අඳුරු සිතුවිලි ඔක්කොම පැත්තකට දාලා කොල්ලා උදෙන්ම ඔෆිස් යන්න ලෑස්ති වුනා.

‘නෙතූ ඊයේ රෑ අප්සෙට් ගියාට උදේ වුනාම  ඕවා මතක නැති වෙයි... මෙතන ඇඳට වෙලා පිස්සු කෙලින්නේ නැතුව ඔෆීස් ගිහින් කෙල්ලව හම්බවෙලා හිමිහිට කථා කරන්න  ඕනේ... මං ෂානිලගේ ගෙදර ගිය එක නෙතූගේ හිත රිදෙන කාරණයක් තමයි. එ්ත් මං දැන දැනම එ් වැරද්ද කලේ නෑනේ... නෙතූ තරහ වුනාට ආයෙමත් ෂේප් කරගන්න පුළුවන් වෙයි... එයාටත් මා එක්ක තරහ වෙලා ඉන්න බෑ කියලා මං දන්නවා...’

චමත් වැඩට යන්න ලෑස්ති වුනේ ඔය වගේ කල්පනා කරමින්...

*  *  *  *  *

නෙතූව බලන්න තිබුණු තදියමට චමත් ඔෆිස් ආවේ 8.30 වෙන්නත් කලින්... එ් වෙද්දී කවුරුවත්ම ඇවිත් නෑ. හොඳ වෙලාවට පියසිරි ඇවිත් ඔෆිස් එක ඇරලා තිබුණේ. නැත්නම් චමත්ටත් ඉන්න වෙන්නේ එළියේ තමා...

ටිකෙන් ටික වෙලාව ගත වෙද්දී සූරිය පබ්ලිකේෂන්ස් කාර්ය මණ්ඩලයේ එක්කෙනා දෙන්නා කාර්යාලය වෙත එන්නට වුනා. එ්ත් චමත් දෙනෙත් දල්වාගෙන බලපොරොත්තුවෙන් හිටි රුව නම් එ් අතර තිබුණේ නෑ... 

වෙලාව 9.00 ත් පහුවේගෙන එනකොට නම් චමත්ට දැනුනේ පුටුවේ ඉන්න බැරි ගතියක්. කොල්ලා නැගිටලා ඔෆිස් රූම් එකේ එහෙට මෙහෙට ඇවිදින්නට වුනේ සිතේ වූ නොසන්සුන් කම නිසාවෙන්මයි.

‘ෂිට්...! නෙතූ එන්නැති වේවි ද ?’ 

චමත් කල්පනා කරන්නට වුනේ පුදුම තරමේ හිතේ අමාරුවකින්... ‘නෙතූ පරක්කු වෙලා හරි එ්වි හැබැයි... කවදාවත් නෑවිත් ඉඳලා නම් නෑ. අනික අද එන්නැතුව ඉන්න තරම් ලොකු දෙයක් වුනේ නෑනේ... අනේ මන්දා... මේ කෙල්ල හොඳටම අප්සෙට් ගිහින් වගේ. ෆෝන් එක ලඟ තියෙන එකේ මට කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න තිබුණනේ... හ්ම්... අසනීපයක් ද දන්නෙත් නෑ...’

චමත් ඔෆීස් එකට වෙලා මොලේ නහර ගැට ගැහෙනකල් හතර අතේ කල්පනා කර කර ඉදිද්දී, අද ඔෆීස් එන්නෑ කියන්න නෙත්මි කෝල් එකක් ගත්තා. හැබැයි චමත්ට නම් නෙවෙයි. සූරිය පබ්ලිකේෂන්ස් එකේ පිළිගැනීමේ නිළධාරිනිය වුනු රසිකාට...

රිසෙප්ෂන් එකේ ෆෝන් එක දවසේ පලමු වතාවට හඬ තලන්නට වුනා.

‘‘හෙලෝ, ගුඞ් මෝනිං... සූරිය පබ්ලිකේෂන්ස්...’’

රසිකා සුපුරුදු හෑල්ල කියවාගෙන යනවා නෙත්මිට ඇහෙනවා...

‘‘ගුඞ් මෝනිං රසී... මම නෙත්මි...’’

‘‘හා..නේ... නෙත්මි මි..ස්...!  ඇයි, අද ඔෆීස් එන්නේ නැද්ද... ?’’

‘‘ඔව් රසී... එ්ක කියන්න තමයි මං ගත්තේ... මේ..... කෝ, සර් ඇවිල්ලා නැද්ද...?’’

‘‘රණවීර සර් නම් ආ..වා... චමත් සර් නම්.....ඉන්නවද දන්නෑ...’’

‘‘ම්ම්... රසී... ඔයා රණවීර සර්ටයි, චමත් සර්ටයි දෙන්නටම කියන්න එහෙනම් මම අද ලීව් කියලා...  ඕකේ...’’

‘‘හරි මිස්... මං කියන්නම්...’’

‘‘අයියෝ... ඔය මිස් කෑල්ල කපාගන්න කියලා කොච්චර කිව්වත් තේරෙන්නෑනේ...’’

‘‘හරි හරි... මං එ්ක හිමිහිට ‘මිස්’ කරගන්නම්කෝ... ඉතින් කියන්නකෝ අද මොකෝ නිවාඩු කියලා... සනීප නැද්ද...?’’

‘‘ම්ම්... අද ඇඟට හරි නෑ රසී... ඊයේ පොඩි වැඩකට නිදි වැරුවා... ඔළුව කැක්කුමයි වගේ... මේ, ඔයා එහෙනම් සර්ලා දෙන්නටම කියන්න... මං තියන්නම්...’’

‘‘හරි... මං පණිවිඬේ කියන්නම්...’’

‘‘තියන්නම් රසී... බායි...’’

‘‘බායි...’’

රසිකාට රිසීවරය තියලා අත ගන්නවත් වෙලාවක් වුනේ නෑ. ඔන්න ආයෙමත් දුරකථනය නාද දෙන්න ගත්තා. හැබැයි එ් පාර ඇමතුම ආවේ එළියෙන් නෙවෙයි. කාර්යාලීය අභ්‍යන්තර දුරකථන පද්ධතියෙන්...

‘‘රසිකා... නෙත්මි මිස් ආවද...?’’

‘‘ආ... නෑ සර්... මිස් දැන් මේ මට කෝල් කලා විතරයි -’’

‘‘කෝල් කලාද ? මොකද කිව්වේ...?’’

චමත් ඇහුවේ කලබලෙන්...

‘‘සර්... මේ... නෙත්මි මිස්ට අද එන්න වෙන්නෑ කිව්වා... මට කිව්වා සර්ටයි, රණවීර සර්ටයි කියන්න කියලා...’’

‘‘එච්චරද කිව්වේ...?’’

‘‘ඔව් සර්... ඊයේ මොකක්ද මන්දා වැඩක් තිබිලා නිදි වැරුවා කිව්වා... ඔළුව කැක්කුමයි, ඇඟට අමාරුයි කියලා තමයි සර් කිව්වේ...’’

‘‘ම්..ම්.. හරි... රසිකා, ඔයා එහෙනම් මිස්ටර් රණවීරට ඉන්ෆෝම් කරන්න. මම නෙත්මි මිස්ට අරන් බලන්නම්...’’

‘‘ඕකේ සර්...’’

චමත් දුරකථනය තියලා ආයෙමත් ඇවිදින්නට ගත්තා...

‘ඇත්තටම නෙතූට අසනීපද එ් කියන්නේ... නැත්නම් මා එක්ක තරහටම ආවේ නැද්ද දන්නෑ... බලමුකෝ කෝල් එකක් දීලා... සමහර විට දැන් ආන්සර් කරාවි...’

චමත් ජංගම දුරකථනය අතට අරගෙන නෙත්මිගේ අංකයට ඇමතුවේ නොඉවසිල්ලෙන්...

‘රිංග්ස් යනවා විතරයි... ආන්සර් කරන්නෑනේ...’

චමත් ආයෙමත් සැරයක් උත්සාහ කලා... ආයෙ ආයෙත් උත්සාහ කලා... එ්ත් නෙත්මිගේ දුරකථනයෙන් ඇමතුම සම්බන්ධ කරගන්නේ නෑ...

*  *  *  *  *

නෙත්මි ඔෆිස් එකට කෝල් කරලා, මූණකට හෝදගෙන ඇවිත් ආයෙත් ෆෝන් එකට එබිලා බැලූවා... එ් එළියට ගිය ටිකට ආයෙත් මිස් කෝ්ල් 4 ක් ඇවිත්...!

‘චමත් අයියා කෝල් කරන වෙලාවටම මිස් වුනානේ... අනිත් සැරේ නම් ෆෝන් එක ලඟින්ම තියා ගන්න  ඕනේ...’

චමත්ට කෝල් එක්ක ගන්නවද නැද්ද කියලා කෙල්ල ෆෝන් එකත් අතේ තියාගෙනම කල්පනා කලා. ගන්නත් හිතෙනවා... ගත්තොත් බනියි ද, තරහා ගිහිල්ලා ඇති ද කියලා බයකුත් හිතෙනවා...
අන්තිමේදී  ඕනේ දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන නෙත්මි කෝල් එකක් ගන්න තීරණය කළා...

‘කථා කලාම මොනාද දෙයියනේ මං කියන්නේ... අයියා අහයි ඇයි ඊයේ ෆෝන් එකට ආන්සර් කලේ නැත්තේ කියලා... ෆෝන් එකක් අරගෙන දීලත්, කෝල් එකක් දුන්නහම කථා කරන්නැති වුනාම තරහ යනවනේ... අනේ මන්දා... බනියිද දන්නෙත් නෑ... හිතයි මං මහා නපුරු කෙල්ලෙක් කියලා... ආයෙත් කොහොමද මං චමත් අයියගේ මූණ බලන්නේ... හ්ම්..... බලමු...’

‘ඔබ ඇමතූ අංකය මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක.....’

දුරකථනයෙන් ඇහුනේ එහෙම පණිවුඩයක්... නෙත්මි දෙතුන් පාරක් චමත්ට ගන්න ට‍්‍රයි කලා. එ්ත් හරිගියේ නෑ...

චමත්ගේ ෆෝන් එක  ඕෆ් වෙලා කියලා චමත්වත් තාම දන්නේ නෑ... ඉතින් දෙන්නගේම නරක වෙලාවට එ් අවස්ථාවත් මිස් වෙලා ගියා...

එ් උදේ වරුවේ චමත් හිටියේ රාජකාරී වැඩ ගොඩක හිරවෙලා... නෙත්මිගේ අවුල හිතේ වද දෙන අතරේ කොල්ලා හිත එක තැනක තියාගෙන වැඩ කලේ සෑහෙන අමාරුවකින්.

‘මේ වැඩ ටික ඉවර කරලා දාපු ගමන්ම නෙතූ ගැන බලන්න  ඕනේ... එ්ක සෙට්ල් කර ගන්නැතුව නම් කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. කෙල්ල කථා කලේ නැත්නම් මම යනවා පානදුර...  මේ අවුල ලිහාගන්න  ඕන කොහොම හරි...!’

චමත් එහෙම හිතාගත්තා.

*  *  *  *  *

දහවල් 12 පහුවෙලා ටික වෙලාවක් යනකොට චමත්ට යාන්තම් ඔෆීස් එකේ වැඩ වලින් ගැලවෙන්න පුළුවන් වුනා. කොල්ලා එවෙලේම රණවීර අංකල් බලන්න ගියේ නෙත්මිව හම්බවෙන්න පානදුර යනවා කියන්න... ෆෝන් එකට අරන් කියන්නේ නැතුව, චමත් රණවීර අංකල්ගේ රූම් එකටම ගියා...

‘‘ආ... පුතා... මොකද මේ අවේලාවේ...?’’

‘‘අං..කල්... ලොකු අවුලක් වෙලා අංකල්...’’

චමත් එහෙම කියන ගමන් රණවීර ලඟ තිබුණු පුටුවක වාඩි වුණා... රණවීර කරමින් හිටිය වැඩෙත් නතර කරලා, උපැස් යුවලත් ගලවලා පැත්තකින් තියලා, හරිබරි ගැහිලා පුටුවේ ඇලවුනේ චමත්ගේ කථාව අහන්නයි...

‘‘මොකක්ද ප‍්‍රශ්ණේ... නෙත්මි දුව සම්බන්ධ එකක් ද...?’’

රණවීර ඇහුවේ ඔළුවත් ටිකක් බිමට ඇල කරගෙන, යටැසින් වගේ චමත් දිහා බලන ගමන්... රෑ පුරා නිදි නැතුව නෙත විඳි දුකත්, ඊයේ දවාලෙන් පසුව කෑමක් නැතුව කුස විඳි දුකත් කොල්ලා දිහා බැලූ පමණින්ම කියන්න පුළුවන්...

‘‘අංකල් එහෙනම් දැනටමත් දන්නවා...’’

‘‘ප‍්‍රශ්ණයක් කියලා නම් ඔයාගේ මූණ දැක්කම කියන්න පුළුවන් පුතා... එ්ත් මට කියන්නකෝ හරියටම අවුල මොකද කියලා...’’

‘‘අංකල් මම මුල ඉඳලම සීන් එක කියන්නද... කෙටියෙන් කියන්නද...’’

‘‘ම්ම්... මුල ඉඳලම කෙටියෙන් කියන්න... එහෙම හොඳයි නේද...?’’

රණවීර ඇහුවේ ලාවට හිනාවකුත් මුවේ රඳවාගෙනයි...

‘‘ඊයේ මං නෙත්මිට අළුතෙන් ස්මාට් ෆෝන් එකක් අරගෙන දුන්නා අංකල්... දන්නවනේ නැත්නම් එයාව කන්ටැක් කරගන්න තියෙන අමාරුව... එ්කයි.’’

‘‘හ්ම්...ම්... ඉතින්...’’

‘‘ඊයේ ටිකක් රෑ වෙනකල්ම මට කෝල් එකක් ගන්න බැරිවුණා... කොහොම හරි මම දන්නෙත් නෑ අම්මලා මටත් නොකියම ඊයේ රෑ ෂානියාලගේ ගෙදර යන්න දාගෙන... මම බෑ කියන්නත් හදලා, ගෙදර මූඞ් එක හොඳින් තියාගන්න  ඕනේ නිසා ඔන්න ඔහේ යනවා කියලා හිතාගත්තා...’’

‘‘හරි... ඉතින්...’’

‘‘ඉතින් අංකල් මම ෂානියාලගේ ගෙදර ගිහින් තමා නෙතූට කෝල් එක ගත්තේ... මං ෂානියාලගේ ගෙදර ඉන්නේ කිව්වම කෙල්ල අප්සෙට් වුනා... පස්සේ, මං තියන්නම් කියලා එයා ෆෝන් එක තිබ්බා... මං කෝල් විස්සකට වඩා ගත්තා - එකක් වත් ආන්සර් කලේ නෑ...’’

‘‘මට දැන් හිතාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා...’’

‘‘අනේ මන්දා අංකල්... මං නෙතූට නොකියා ෂානියාලගේ ගෙදර ගියා නෙවේනේ... මං දන්නෙත් නෑ යන්න ලෑස්ති වෙනකල්ම... මට  ඕනෙ නම් නෙතූට නොකියා ඉන්නත් තිබුණා ෂානියාලගේ ගෙදර ඉන්නේ කියලා...’’

‘‘හරි දරුවෝ... ඔයාගේ වැරැද්දක් නෑ කියලා මං දන්නවා... ඉතින්, ඊට පස්සේ මොකද වුනේ... ඔයා ආයෙත් කෝල් කරලා බැලූවේ නැද්ද...?’’

‘‘කෝල් විස්සකට වඩා ගත්තා අංකල්... පස්සේ මම මෙසේජ් කලා ‘ප්ලීස්, ෆෝන් එකට ආන්සර් කරන්න...’ කියලා... ඊට පස්සෙත් දෙතුන් පාරක් ගත්තට ආන්සර් කලේ නෑ... මං ආයෙමත් ට‍්‍රයි කලා... එතකොට... ෆෝන් එක  ඕෆ් කරලා...’’

‘‘එ් කියන්නේ මේ කෙල්ලට හොඳටම දුක හිතිලා වැඬේට...’’

‘‘ඔව් අංකල්... කෙල්ල හොඳටම අප්සෙට්... එ්ත්, අද උදේ වුනාම හරි මට කෝල් කරන්න එපෑයෑ... අඩුගානේ මං කෝල් කලාම ආන්සර් කරන්න එපෑයෑ... එ්ත් නෑ... අඩුගානේ මිස් කෝල් දැක්කට පස්සේවත්...’’

‘‘හ්ම්... අද නෙත්මි ඔෆීස් ආවේ නැත්තෙත් එ්ක තමා...’’

‘‘ඔව් අංකල්... මට දැන් පිස්සු හැදිලා තියෙන්නේ... නෙතූ අවුල් ගිය එක නම් සෙට්ල් කරගන්න පුළුවන් කියලා හිතමුකෝ... එ්ත් ඊයේ රෑ හදිසියේ අපේ සෙට් එක ෂානියාලගේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ මොකටද කියලා අංකල් දන්නවද...?’’

‘‘මොකටද...?’’

රණවීර ඇහුවේ නළලත් රැලි කරගෙන...

‘‘වෙඩින් එකට ඬේට් ෆික්ස් කරගන්න... ලබන මාසේ වෙඩින් එක...!’’

චමත් කිව්වේ පුටුවට හේත්තු වෙලා උඩ සිවිලිම දිහා බලාගෙන...

රණවීර ටිකක් වෙලා චමත් දිහා බලාගෙන හිටියා... කොල්ලා ඉන්නේ ලොකු අවුලක කියලා රණවීරට තේරෙනවා... එ්ත් කරන්න දෙයක් නෑ... මේ දේවල් මෙහෙම වෙයි කියලා රණවීරට මුලදීම හිතිලා තිබුණේ... 

චමත් වෙඩින් එක ලබන මාසේ කිව්වම රණවීර ඇහුවේ නෑ කාගෙද කියලා... මොකද මේවා මෙහෙම වෙන දේවල් බව කාලාන්තරයක ඉඳලම සූරියබණ්ඩාරලා එක්ක වැඩ කරන රණවීර දැනගෙන උන්න නිසා...

‘‘දැන් පුතා මොකද කරන්න හිතාගෙන ඉන්නේ...?’’

රණවීර අන්තිමේදී ඇහුවේ චමත්ගේ මූණ පුරා පැතිරුණු ශෝක වලාකුළු දිහා බලා ඉන්න බැරිම තැනයි...

‘‘අනේ මන්දා අංකල්, මට තේරෙන්නෙත් නෑ... මේ කෙල්ලව කොහොම හරි කන්ටැක් කරගන්න තිබුණා නම්... ෂිහ්... මට නෙතූ එක්ක කථා කරන්න පුළුවන් වුනා නම් කෙල්ලව සෙට්ල් කරගන්න පුළුවන් කියලා මම දන්නවා... එ්ත් මේ කෙල්ල මා එක්ක කථා කරන්නෑනේ...’’

චමත් මොහොතකට නිහඬ වුණා... රණවීර කල්පනා කරන්නට වුණා...

‘‘මං මොකද අංකල් කරන්නේ... මට මේක කථා කරන්නවත් ඉන්නේ අංකල් විතරයි... මං හොඳටම හිරවෙලා අංකල් ඉන්නේ.....’’

‘‘පුතා, මේ වෙලාවේ මටත් කරන්න පුළුවන් දෙයක් නෑ... ඔයාට ෂානියාව මැරි කරන්න වෙනවා නම්, නෙත්මි දුවට බලාපොරොත්තු දෙන එක පව් නේද...?’’

‘‘මට ෂානියාව මැරි කරන්න බෑ... අංකල්...!’’

‘‘ඔයා හිතනවද ෂානියාව අත ඇරලා නෙත්මිව මැරි කරන්න තාත්තා ඉඩදෙයි කියලා... ම්.....’’

රණවීර අහපු එ් ප‍්‍රශ්ණයට චමත්ට කියන්න දෙයක් නැතිවුණා... ඇත්තටම මේක උත්තර නැති ප‍්‍රශ්ණයක්...

‘‘ඔයා නෙත්මිට එයාගේ පාඩුවේ ඉන්න ඉඩ අරින්න... ඔය හිතේ අමාරුව මග ඇරුනම එයා සමහර විට ආයෙමත් ඔෆීස් එ්වි... කියන්න බෑ හැබැයි... කැක්කුම සෑහෙන වැඩියි නම්, කෙල්ල ආයෙත් වැඩට නෑවිත්ම ඉන්නත් ඉඩ තියෙනවා... ඔයා දන්නවනේ නෙත්මි දුවත් ඔයා ගැන සෑහෙන්න සැලකිල්ලකින් හිටියා කියලා...’’

‘‘ඔව් අංකල්... අන්න එ්ක නිසාම තමයි මට නෙත්මිව අමතක කරන්න බැරි... මැණික් ගලක් අතේ තියෙද්දී, මං කොහොමද අංකල් එ්ක විසි කරලා තිරිවානා ගලක් අතට ගන්නේ...’’

රණවීර බලන් හිටියේ චමත්ගේ මූණ දිහාමයි... චමත් වගේ අහිංසක කොල්ලෙක්ට මේ ප‍්‍රශ්ණ බර වැඩියි කියලා රණවීරට තේරෙනවා... එ්ත් ඉතින්, සියල්ල සිද්ධවෙන්නේ එ් පරිද්දෙන් නම්...?

කොල්ලට ටිකක් කූල් ඩවුන් වෙන්න දීලා, රණවීර වැදගත්ම ප‍්‍රශ්ණය ඇහුවා...

‘‘පුතා... ඔයා නෙත්මිට ආදරේද...’’

‘‘ඔව්...! අංකල්ට ඒක කියන්න  ඕනේ නෑනේ... මං ආදරෙයි අංකල්... එ් කෙල්ල නැතුව මට ඉන්න බෑ... පහුගිය එක රෑට මට එ්ක තේරිලා තියෙන්නේ... ප්ලීස්, මට උදව් කරන්න අංකල්... ඇත්තමයි, නෙතූ නැතිවුනොත් මට පිස්සු හැදෙයි...’’

‘‘හරි හරි... කලබල නොවී ඉන්නකෝ... ඔයා නෙත්මිට ආදරෙයි... එ්ක හරි... ප‍්‍රශ්ණයක් නෑ... දැන් ඔය කාරණාව නෙත්මි දුවත් දන්නවද...?’’

‘‘හ්ම්..ම්... මං කෙලින්ම නම් තාම කියලා නෑ අංකල්... එ්ත් මං හිතන්නේ කෙල්ල දන්නවා... මට තේරෙන විදියට නෙතූත් මට කැමතියි...’’

‘‘එ් කැමැත්ත වෙන විදියකටද කියලා අපි දන්නෑනේ...’’

‘‘ඔව් අංකල්... එ්කයි මමත් තාම මුකුත් කියන්න බයේ ඉන්නේ... එයා මාව මිස් අන්ඩස්ටෑන්ඞ් කරයිද දන්නෑනේ... එ්ත් දැන් හිතෙනවා මං නොකියා හිටියේ අපරාදේ කියලා...’’

‘‘දැන් එ් කියන්නේ, දෙන්නා ලඟින් ආශ‍්‍රය කරපු මේ මුළු කාලෙටම දෙන්නාගෙන් කවුරුවත් එෆෙයාර් එකක් ගැන කථා කරලා නෑ... එහෙමද...?’’

‘‘හ්ම්...’’

‘‘පුතා... නෙත්මි දුව දැන් ඉන්නේ සෑහෙන දුකකින්... එයා නොකිව්වත් ඔයාට හිතින් හරි ආදරේ කරන්නැතිනේ... හිතන්නකෝ ඔයා ෂානියාලගේ ගෙදර ඉඳන් කෝල් කරද්දී එ් කෙල්ලට දැනෙන දුක කොහොමද කියලා... එයා ඔයා එක්ක තරහක් නැතුව ඇති... කෙල්ල ඔයා එක්ක කථා නොකර ඉන්නේ දුකට... සමහර..විට... කෙල්ල වෙන දේ තේරිලා හිත හදාගන්න ට‍්‍රයි කරනවා වෙන්නත් ඇති...’’

රණවීර කියපු දේ අහගෙන චමත් හිටියේ ලොකු කල්පනාවක... රණවීර අංකල් කියපු විදියට නෙත්මිගේ පැත්තෙන් කල්පනා කරලා බලද්දී කෙල්ලට කොහොම දුකක් දැනෙනවා ඇතිද කියලා චමත් කල්පනා කරන්නට වුනා...

‘ඇත්තටම රණවීර අංකල් කිව්වා වගේ තමා වෙලා ඇත්තේ... පව් දෙයියනේ... මං මෙහේ කෙල්ලට බැන බැන ඉන්නවා කෝල් එකකට ආන්සර් කරන්නෑ කියලා... එ්ත් එ් කෙල්ල ආන්සර් කරලා මං එක්ක මොනවා කථා කරන්නද ? ඔව් ! වෙන කරන්න දෙයක් නෑ... මං දැන්මම යනවා නෙතූව හම්බවෙන්න... වෙන කරන්න දෙයක් නෑ...’

හිත හිතා හිටපු දේවල් වල සැරටමද මන්දා, චමත් එකපාරටම පුටුවෙන් නැගිට්ටුනා... රණවීර ඇස් ලොකු කරගෙන කොල්ලා දිහා බැලූවේ මොකද මේ එක පාරටම වුනේ කියලා...

‘‘ඇයි පුතා...!’’

‘‘නෑ අංකල්... මං යනවා පානදුර... ගිහින් නෙතූව හම්බවෙනවා... දෙන්නා දෙපැත්තට වෙලා දුක්වෙන එකේ තේරුමක් නෑනේ... ගිහිල්ලා කථාබහ කරලා මේක බේරුමක් කරගන්න පුළුවන්නේ...’’

‘‘පුතා හිතනවද එහෙම කලොත් ප‍්‍රශ්ණේ විසඳෙයි කියලා...?’’

‘‘ප‍්‍රශ්ණේ නම්..... තවත් අවුල් වෙනවා අංකල්... එ්ත්, කෙල්ල මං ගැන වැරදියට හිතාගෙන තනියම දුක්වෙනවා ඇති... මං නෙත්මිට පහදලා දෙන්න  ඕනේ මං ෂානියාට ආදරේ නෑ කියලා... මං ආදරේ කලේ එයාට කියලා මං කියන්නම  ඕනේ... මං යන්නම  ඕනේ අංකල්... මේක මගේ ඔළුවට හරිම බරක්... මං ගිහින් එන්නම්... අංකල් ඔෆීස් එක ටිකක් බලන්න...’’

‘‘හ්ම්... පරිස්සමෙන් පුතා... එ් දරුවගේ හිත නරක් කරන්නෙත් නැතුව හොඳ විදියකට  ඕක විසඳගන්න...’’

‘‘හරි අංකල්... ගෙදරින් කෝල් කලොත් මම පානදුර කියලා කියන්න එපා...’’

‘‘ඩෝන්ට් වොරි... අයි විල් හැන්ඞ්ල් දැට්...’’

‘‘ ඕකේ අංකල්... බායි...’’

‘‘බායි...’’

තමන්ගේ මේසෙට වැළමිටි දෙකෙන් බරදීලා, එක් කරගත් දෙඅත් මිටි මත මුහුණ හොවාගෙන රණවීර බලාගෙන හිටියේ චමත් යන දිහාවයි... මේ කථාව මොන විදියක් වෙයිද කියලා රණවීරටත් හිතාගන්න බෑ... එ්ත් මේ කෙල්ලයි, කොල්ලයි දෙන්නටම රණවීර හරිම ආදරෙයි... එ්ක නිසා හොඳ විදියකට කථාව විසඳේවා කියලා රණවීර හිතින් ප‍්‍රාර්ථනා කළා...

*  *  *  *  *

නෙත්මි බත් පිඟාන අතේ තියාගෙන කනවට වඩා කලේ කල්පනා කරන එක... අම්මගෙන් බේරෙන්න බැරි කමට කනවා මිසක්, කෙල්ල මේ  ඕනෙකමකට කනවා නෙවෙයි. චමත් ගැන හිතලම හිරි වැටුනු හිතට, කුසට වැටෙන්නේ බත් ඇට ද, ගල් කැට ද කියලා නිනව්වක් නෑ... පිඟාන අත ගානවා, අත කටට යනවා විතරයි...

කෙල්ල හිටියේ ගෙදර ඉස්සරහ වැරැන්ඩා එකට වෙලා. ඔහේ බත් එක අත ගගා, එළිය බලාගෙන නෙත්මි කල්පනා කලේ පහුගිය මාසෙක විතර කාලෙක දී චමත් එක්ක ගෙවුණු ලස්සනම හෝරාවන් ගැනයි... මොන සිහියෙන් හිටියත්, කෙල්ල හිටියේ චමත් ආයෙත් කථා කරයි කියලා බලාපොරොත්තුවෙන්. එ්ක හින්දා ෆෝන් එකත් ඉස්සරහ ටීපෝ එක උඩ තියාගෙනම තමයි නෙත්මි කන්න ගත්තේ...

‘චමත් අයියා ආයෙත් කථා කරන්නැති වේවිද...? හ්ම්..ම්... එක අතකට කථා නොකලත් පුදුම වෙන්න දෙයක් නෑ. මං නිකන්වත් එයා එක්ක කථා කලේ නෑනේ. කොහේවත් යන කෙල්ලෙක්ගේ ගණන් බලන්නේ මොකටද කියලා එයා මං ගැන අමතක කරලත් ඇති...’

‘‘ලොකූ... ඔය බත් ටික කන්න අත ගගා ඉන්නැතුව... අන්න මං කොත්තමල්ලි ටික ආයේ රත්කලා... කාලා බොන්න... හොඳට දුම් ටිකක් අල්ලගන්න ඔය ඔළුව කැක්කුම යන්න...’’

‘‘හරි අම්මා...’’

අම්මා ඉස්සරහා දොරෙන් එබිලා එහෙම කියලා ආයෙත් කුස්සිය පැත්තට ගියා... නෙත්මි ආයෙමත් බත් කටක් දාගෙන ඔහේ හපන ගමන් කල්පනාවට වැටුනා...

‘මං මෝඩි වගේ චමත් අයියා ගැන හිත හිතා හූල්ල හූල්ල හිටියට, චමත් අයියා මං ගැන මොනවා හිතේ තියාගෙන හිටියද කියලා කවුද දන්නේ... එයා කොහොමටත් ෂානියාව මැරි කරන්න ඉන්නැත්තේ... නංගි කෙනෙක් වගේ මා එක්ක ආශ‍්‍රය කරන්න ඇත්තේ... මං මෙහේ චමත් අයියා නැතිවුනා කියලා දුක්වුනාට එයාට මං ගැන එහෙම හිතුනේ නැද්ද කියලා දන්නේ කොහොමද ? අනේ මන්දා...’

නෙත්මි දුරකථනය අතටත් අරගෙන බැලූවේ වැරදිලා වත් චමත් ආයෙමත් කෝල් කරලා ඇද්ද කියලා බලන්න...

‘හ්ම්..ම්... චමත් අයියා මට ආදරේ නෑ කියලා කොහොම හිතන්නද... නැත්නම් මට මේ තරම් උදව් කරයි ද ? ආදරේ නම් තමයි... එ්ත්, නංගියෙක් විදියට, යාලූවෙක් විදියට විතරක්ද දන්නෑනේ... කොච්චර තනියෙන් ලඟ හිටියත් මාව කිස් කරලාවත් නෑනේ... එ් අතින් චමත් අයියා කොච්චර හොඳයි ද... මාව කොච්චර පරිස්සම් කලා ද... එයාට කොහොමවත් වැරැද්දක් කියන්න බෑ... එ් වගේ රත්තරන් කොල්ලෙක් මට නොලැබුනේ මගේ අවාසනාව වෙන්නැති... කමක් නෑ දෙයියනේ... චමත් අයියා එක්ක ෂානියා සතුටින් හිටපුවාවේ... මං පැත්තකට වෙලා ඉන්නම්...’

කම්මුල් දෙපැත්තෙන් බේරෙන කඳුලූ කැටි දෙකක් බත් පිඟානටම වැටුණා. නෙත්මි ඉක්මටම ගවුම් අතින් මූණ පිහිදාගත්තේ අම්මා දකියි කියලයි. ලෙඩ ගානේ බත් ටික අත ගගා තව වැලපෙන්නත් ගත්තොත් එහෙම අම්මා ජාතිය අමතන්නේ ස්ටේජ්, මයික් නැතුව කියලා කෙල්ල හොඳාකාරවම දන්නවා...

නහයත් උඩට ඇදලා, කඳුලූත් පිහිදාගෙන නෙත්මි නැගිට්ටේ කුස්සියට යන්න. බත් ටික කන එකත් කෙල්ලට දස වධයක් වෙලා තිබුණේ...

එ්ත්... නෙත්මිට කුස්සියට යන්න වුනේ නෑ... දුරකථනය හඬ දෙන්නට වුනා...

ෆෝන් එක නාද වෙන හඬ නෙත්මිට ඇහුනේ පුදුම තරම් ලස්සනට... හරියට දිව්‍ය ලෝකයෙන් ආපු සුරංගනා සිහිනයක් වගේ... පිඟානත් අරන් කුස්සියට යන්න කියලා ඉස්සරහා දොර ගාවටම ගිහින් හිටපු කෙල්ල ආපහු ටීපෝ එක ලඟට ආවේ දුවගෙන වගේ...

‘අනේ දෙයියනේ චමත් අයියා නෙවෙයිද දන්නෙත් නෑ...’

නෙත්මි දුරකථනය අතට ගත්තේ එහෙමත් හිතමින්... ඇයි ඉතින් සමහර වෙලාවට දුරකථන සේවා සමාගම් වල ‘අක්කලා’ කථා කරනවනේ... බලාපොරොත්තු පොදි බැඳගෙන දුවගෙන ගියාට එහෙමත් වෙනවනේ...

දුරකථන තිරයේ චමත්ගේ ලස්සනම ඡායාරූපයක් සටහන් වෙලා තිබුණා... 'Chamath Ayya Calling...' ලෙසින් එ් රූපයට යටින් සටහන් වෙලා තිබුණා... ඉතින්, ඇමතුම චමත් ගෙන් කියලා දැන් නම් කෙල්ලට ෂුවර්...

නෙත්මි ඇමතුම සම්බන්ධ කරගත්තේ පුදුම තරමේ හදිස්සියකින්...

‘‘හෙ..හෙලෝ...’’

කෙල්ල උත්තර දුන්නේ හෙමිහිට... බනියිද දන්නෙත් නෑනේ...

‘‘නෙතූ... බබා...’’

චමත් කථා කලේ ගොඩාක් මෘදු විදියට. එහෙම කථා කරයි කියලා නෙත්මි කොහොමටවත් බලාපොරොත්තුවෙන් හිටියේ නෑ... එයා ලෑස්ති වෙලා හිටියේ බැනුම් අහන්න...

‘‘අයියේ...’’

‘‘බබා ඔයා ගෙදර නේද ඉන්නේ...?’’

‘‘ම්...’’

‘‘මං... මං... චුට්ටක් කථා කරන්න ගත්තේ... ෆෝන් එක කට් කරන්නෑ නේද...?’’

චමත් ගොඩාක් අසරණ විදියට එහෙම අහද්දී නෙත්මිගේ පපුව හෑරිලා ගියා... ‘ඇයි දෙයියනේ ඔයා එහෙම අහන්නේ....’

‘‘නෑ...’’

නෙත්මි තාමත් තනි වචනයෙන් උත්තර දෙන්නේ හිතේ ගැස්ම අඩු නොවුනු හින්දයි...

‘‘මං කථා කළාට කමක් නෑනේ... ප්ලීස් බබා... මං කරදර කරන්නෑ...’’

‘‘කරදරයක් නෑ අයියේ... අනේ... කියන්න...’’

නෙත්මිට ඇඬෙන්න ආවා... කෙල්ල අනෙක් අතේ තිබුණු පිඟාන ටීපෝ එක උඩ තියලා, ෆෝන් එකත් කනේ තියාගෙනම පුටුවකට වැටුණා...

චමත් අනෙක් පැත්තේ ඉඳන් දිග හුස්මක් හෙලන හඬ නෙත්මිට ඇහෙනවා.

‘‘නෙතූ... මට... මට ඔයාව පොඞ්ඩක් හම්බවෙන්න  ඕනේ... හම්බවෙලා කථා කරන්න  ඕනේ... ප්ලීස් බබා... මං ඔයාලගේ ගෙදරට එන්නද...?’’

නෙත්මිට උත්තරයක් ගොනු කරගන්න ටිකක් වෙලා ගියා...

‘‘නෙතූ... ප්ලීස්... ප්ලීස්... එක පාරක් මට කථා කරන්න දෙන්න බබා... ප්ලීස්... කියන්න... මං එන්නද...?’’

‘‘හා... මං... ලෑස්ති වෙලා ඉන්නම්...’’

නෙත්මි කිව්වේ තීරණයක් අරගෙන.

‘‘හරි... මම තව චුට්ටකින් ගෙදරට එනවා...’’

‘‘හ්ම්...’’

‘‘මං තියන්නම් බබා...’’

‘‘හොඳයි අයියේ...’’

දිග හුස්මකුත් එක්ක චමත් ඇමතුම විසන්ධි කළා...

නෙත්මි ලෑස්තිවෙලා ඉන්නම් කිව්වට, කොහේ යන්නද කියලා දෙන්නගෙන් එක් කෙනෙක් වත් කිව්වේ නෑ... කවුරුවත් ඇහුවෙත් නෑ...

නෙත්මි ෆෝන් එක තියලා කුස්සියට ඇදුනේ බරවුනු හිතකින් වුනත්, තරමක සැනසිල්ලකින්... හිතේ තියෙන ඔක්කොම චමත්ට කියලා නිදහස් වෙන්න නෙත්මිට  ඕනේ කරලා තිබුණා. කොහේ හරි නිදහස් තැනකට ගිහින්, මේ ගැන කථාබහ කරලා, චමත්ගෙන් සදහටම වෙන් වෙන්න නෙත්මි හිතාගෙන හිටියේ. එ් තමන්ගෙත්, චමත්ගෙත් දෙන්නාගේම හොඳටයි...

චමත් නෙත්මිට ගත්තු ඇමතුම අවසන් කරලා දුරකථන තිරය දිහා ටිකක් වෙලා බලාගෙනම හිටියා. එයාගේ ෆෝන් එකේ තිරය සැරසිලා තිබුණේ නෙත්මිගේ අහිංසක, හුරතල් සිනා මූණකින්... එ් සුදු මුහුණේ හැඩකාර හිනාව දිහා බලාගෙන හිටිය චමත්ගේ දෙතොල දුක්බර හිනාවකින් ඇද වෙලා ගියා.

‘මගේ පුංචි සුරංගනාවි මට නැති වෙන්නයි යන්නේ...’

සුක්කානමේ ඔළුව හප්පගෙන, කෑ ගගහා අඬන්න තරම් දුකක් තමයි චමත්ට දැනුනේ... එ්ත් කොල්ලා යටිතොල තදින් හපා ගෙන හිතේ දුක දරා ගත්තා. එ් වුනත් පපුව මැදින් ඇවිලෙනවා වගේ දැනෙන හැඟීම නම් නැති කරගන්න බැරි තරම්...

‘මට ෂානියාව බඳින්න වෙයි... නෙතූව අත අරින්න වෙයි... එ්ත් මං කොහොමද මේ කෙල්ලව අමතක කරන්නේ... මං ගැනම හිතපු කෙල්ලව, මට ආදරේ කරපු කෙල්ලව මං කොහොමද අමතක කරන්නේ... මේ සුදු මූණ දිහා බලාගෙන මං කොහොමද දෙයියනේ මේ දුක විඳින්නේ.....’

‘මොන දේ වුනත් එ් කෙල්ලට දුකක් දෙන්න මට බෑ... සමහර විට නෙතූ දැනටමත් මාව එයාගේ ජීවිතෙන් අයින් කරලා ඇති... වෙන කෙල්ලෙක් බඳින්න ඉන්න කොල්ලෙක්ට ලව් කරන්නේ ඉතින් හොඳටම විසේ තියෙන කෙල්ලෙක් තමයි. නෙතූ කවදාවත් මම මේ ඉන්න තත්ත්වේ උඩ මා එක්ක එෆෙයාර් එකකට ඉන්වෝල් වෙන්නෑ... එයා එච්චර මෝඩ කෙල්ලෙක් නෙවෙයි... එයා එහෙම තීරණයක් අරන් තියෙනවා නම්, අමාරුවෙන් වුනත් මට එ්ක පිළිගන්න වෙනවා... මම නෙතූට ආදරේ තමයි... එ්ත් එ් පිටින් දාලා මට එ් කෙල්ලගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න බෑ... එයාගේ හිතට ආදරයක් දීලා මං කොහොමද ෂානියාව මැරි කරලා යන්නේ...? මේ අහිංසක කෙල්ල දුකටම මැරෙයි... නෑ... නෑ... කොහොමටවත් එහෙම කරන්න බෑ...’

චමත් පාරේ යන වාහන දිහා බලා හිටියේ හිස් බැල්මෙන්... නෙත්මිට ආදරේ කරලා එ් කෙල්ලට දුකක් දෙන්නෑ කියලා හිතා ගත්තට මොකද, නෙත්මි නැතුව හුස්ම ගන්නවා කියන එකත් චමත්ට දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තම කිව්වොත් නෙත්මි දැන් චමත්ගේ ලේ වලටම ඇවිත් ඉවරයි... ඉතින්, එහෙම ආදරයක් පපුවෙන් උදුරලා දාන්න පුළුවන් ද...

මොනවා කරන්නත් දැන් ගිහින් නෙත්මිට හම්බවෙන්නම වෙනවා... කෙල්ලට කෝල් කරද්දිත් චමත් පානදුරට මඟක් දුර ඇවිත් හිටියේ. නෙත්මිලගේ ගෙවල් වලට තව මහ දුරක් තිබුනෙත් නෑ... චමත් හොඳ හුස්මක් අරන් ප‍්‍රාඩෝ එක ස්ටාට් කරලා පාරට දැම්මේ මොනවා කරන්නද කියලා තීරණයකට එන්නේ නැතුවයි. කරන දෙයක් නෙත්මි මුණ ගැහිලම තීරණය කරනවා කියලා අන්තිමේදී කොල්ලා හිතාගත්තා...

*  *  *  *  *

නිර්මලා ගේ පොඞ්ඩක් අස්පස් කරලා, අතු ගාන්න ගත්තේ චමත් එනවා කියලා නෙත්මි කියපු හින්දයි... ගේ ඉස්සරහ පෝටිකෝව අතුගාන ගමන් නිර්මලා කල්පනා කළේ කෙල්ලගේ මේ සම්බන්දෙට මොකද කරන්නේ කියලයි...

‘මේ ළමයා මොනවා කරන්න හිතේ තියන් ඉන්නවද කියලා දෙයියෝ තමයි දන්නේ... දවසම බලා ගත් අතේ බලාගෙන ඉන්නවා... හූල්ලනවා... පැත්තක් අල්ලගෙන කල්පනා කරනවා... අනේ මන්දා... ඇහුවට දෙයක් කියන්නෙත් නෑ... දැන් අහනවා ලඟට ගිහින් එන්නද කියලා... මොකටද ඇහුවට කියන්නේ නෑ, ඇවිත් ඔක්කොම කියන්නම් ලූ... හ්..ම්... හොඳ විදියකට මේවා විසඳුනොත් හොඳයි... නැත්තම් ලොකූ නාස්ති වෙලා යයි... පව්, දැනුම් තේරුම් තියෙන දවසේ ඉඳලා දුකම තමයි...’

නිර්මලා ඉස්සරහ කෑල්ල අතුගාලා, කොස්සත් බිත්තියට හේත්තු කරලා ගේට්ටුව ලඟට ගියා. කෙල්ල නා ගන්න ගියේ ගේට්ටුව ඇරලා තියන්න කියලා... ගේට්ටුව ඇරලා නිර්මලා පාර පැත්තත් එබිලා බැලූවේ නිකමට වගේ. ආපහු ඇවිත් කොස්සත් අරන් ඉස්සරහ දොරෙන් ගෙට යන්න හදනකොටම වගේ කන්ද නැගගෙන, සැර දාගෙන එන වාහනයක හඬ නිර්මලාට ඇහුණා.

චමත් ප‍්‍රාඩෝ එක නෙත්මිලගේ ගේට්ටුවෙන් ඇතුළට දැම්මෙත්, නිර්මලා දොරෙන් ඔළුව දාල බැලූවෙත් එකම වෙලාවේ...

කොස්ස අතේ තිබුණා වුනත්, දැක දැකම ඇතුළට යන්න බැරි නිසා නිර්මලා දොරකඩම නැවතුණා. චමත් වාහනයෙන් බැහැලා, දොරත් වහගෙන ගෙදරට ආවේ නිර්මලා දිහා බලාගෙන යාන්තම් හිනාවෙන ගමන්... එ් හිනාවේ එච්චර පණක් තිබුණේ නෑ කියලා නම් නිර්මලාට තේරුණා.

‘‘අම්මා... නෙත්මි ඉන්නවා නේද ?’’

‘‘ඔව් පුතා, එන්න ඇතුළට... ලොකූ මට කියලා ගියේ පුතා එයි කියලා...’’

‘‘ඇ..ඇයි අම්මා ? නෙතූ කොහෙද ගියේ...?’’

චමත් එහෙම ඇහුවේ කලබල වෙලා වගේ.

‘‘කොහෙවත් ගිහින් නෑ පුතේ.... ලොකූ ලෑස්ති වෙලා එයි... වාඩිවෙන්නකෝ... මං තේ එකක් ගේන්නම්...’’

‘‘හොඳයි අම්මා...’’

චමත් ගේ ඇතුළට ආවේ නෑ. පෝටිකෝවේ තිබුණු පුටුවකට බර වෙලා ඔහේ බලාගෙන හිටියා.

නිර්මලා ආයෙත් ගේ ඇතුළට පිය මැන්නේ චමත්ගේ මූණ පුරා පැතිරුණු මළානික පාට දැකලා ඇතිවුණු කම්පාවත් එක්කමයි...

'එ් දරුවත් එහෙන් දුක් විඳිනවා... අනේ මන්දා, මොනවා වෙන්න යනවද කියලා...'

නිර්මලා එහෙම හිතමින් චමත්ට තේ එකක් හදා දෙන්න කුස්සිය පැත්තට ඇදුනා.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~~ ~ ~ ~ ~ ~ ~ ~

~ ~ ~ මීලඟ කොටස බලාපොරොත්තු වන්න... ~ ~ ~ 


                     | පැරණි කොටස් වලට මෙතනින් යන්න... |                




16 comments:

  1. දෙන්නවම කොහොමහරි පිටරටකට යවන්න. නැත්නම් අමාරුවේ.

    ReplyDelete
    Replies
    1. Looks like they have already gone. No information for long time.

      Delete
  2. හ්ම්ම්.. හ්ම්ම්ම්...

    ReplyDelete
  3. රෝගයේ තරම මැනවින් පෙන්වනවා...

    ReplyDelete
    Replies
    1. මොකක් ගැනද බං රෝගයක් ගැන කිව්වේ ‍???

      Delete
    2. ඇයි බන් ඔය ඩබලට හැදිලා තියන ලව් මාන්දම...උඹ ඒක මැනවින් විග්‍රහ කරලා තියනවා...:D

      Delete
  4. ආදර ලෙඩේ වෙන්ඩ ඇති..

    ReplyDelete
  5. කෝ මේකා ?විසඳුමක් ද විසදුමක්ද හොයන් ගිහින් තියෙන්නේ ???

    ReplyDelete
  6. මොකද වෙලාතියෙන්නේ? චතුට සනීප නැතිවද? අවුරුදු කාලා බීලා වැඩිවෙලාද? අපි බලාන ඉන්නවා!!!!!!!!!!!!

    ReplyDelete
  7. සමාවෙන්න !!! සමාවෙන්න !!! සමාවෙන්න !!! කථාව නැවතිලා නෑ... අලුත් ජොබ් එක නිසා මේ ටිකේ ටිකක් බිසී වුනා... කථාව ලියාගෙන යනවා... ලඟදීම දෙන්නම්... :)

    ReplyDelete
    Replies
    1. OK, මට කලන්තේ වගේ කෙල්ලට මොනවා වෙය්ද කියල.

      Delete
  8. කෝ.................................???????

    ReplyDelete
  9. අපි තවත් blogs වල කතා කියවන්නේ නැහැ අවසාන කොටස එනකම්. දැන් කීප සැරයක් මේ දේ උනා.

    ReplyDelete
  10. ඉතිරි කොටස ඉක්මනට ලියන්න. ලස්සනයි

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...