Sunday, January 8, 2012

- ගෙවී ගිය 2011 වසරේ මගේ මතක සටහන් (Flash-back 2011) -


ව වසර උදාවී සතියකටත් වඩා ගෙවී ඇතත්, 2012 වසරේ මා විසින් පළකරන පළමු සටහන මෙය නිසා, බ්ලොග් රචක / පාඨක ඔබ සැමටම 2012 වසර සුභ නව වසරක් පතන්නට මුලින්ම අවසර...!

ඉටු නොවූ පැතුම් සපිරෙන... 
සිතේ සතුට ඉතිරෙන... 
යහපත් හැඟුම් පීදෙන 
සුභම සුභ නව වසරක් වේවා...!!!

පහුගිය මාසෙ, දෙකේ මගේ බ්ලොග් එකේ කටයුතු බොහෝ දුරට අඩාල වුනා. ඒ ගැන සමාව ඉල්ලන්න කලින් හේතු දක්වන්න අවසර ඕං...


පහුගිය මාස තුනම මගේ සේවා ස්ථානයේ වැඩ කටයුතු වෙන කවදාටවත් වඩා වැඩි වුනා. ඇත්තම කිව්වොත් තුන්දෙනෙක්ගේ වැඩ මට තනියම කරන්න වුනා. වෙනදට කරනවට වඩා දෙගුණයකටත් වඩා මට වැඩ කරන්න වුනා. මාසේ අන්තිමට අනිවාර්යයෙන්ම පළ කළ යුතු සඟරාවක සියළු කාර්යයන්, අදාළ මාසය නිමවෙන්නට පෙර අවසන් කිරීමේ අනිවාර්යය පීඩනය සමග වැඩ කිරීමත් සෑහෙන්න අභියෝගයක්...! යතුරු කරණය, නිර්මාණ කරණය හා ලිපි සම්පාදනය වගේම එකී නොකී වැඩ දාහක් මගේ තනි ඔළුවෙන් කරන්න තිබුණා. ඒකත් නොවරදින නිවැරදිතාවයකින්...!!! මොකද බ්ලොග් පෝස්ට් එකක වගේ නෙවෙයි. සඟරාවක “නම“ තියාගන්න ඕනේ නිසා ඒක හොඳම ගුණාත්මකභාවයෙන්, වැරදීම් 0.01% කට අඩු වෙන්න, ඉස්තරම්ම විදියට දෙන්න ඕනේ. අනෙක මේ මම හම්බ කරගෙන කන රස්සාව... මොනව නැතත් ඒකට අවංක වෙන්න එපෑයෑ...!

අපේ සඟරාවට ලිපි සපයන අපේ ලේඛක මහත්වරු දෙදෙනෙක්ම විවිධ හේතු නිසා පසුගිය මාස 2-3 ම ලිපි සකසා එවා නෑ. ඉතින් ඒ අඩුවටත් එක්ක, එක් මසකට ලිපි 20 ක් විතර මම තනිවම සකසන්න වුනා. ඒ මදිවට වෙන වෙන කරදරත්...! එක පාරක් ලිපි 10 ක් විතර සකසලා ටයිප් කරලා තිබුනු Word ෆයිල් එක Delete වෙලා...!!! ඒ ටික කවර් කර ගන්න නිවාඩු දවස්වලත්, ගෙදර ඇවිල්ලත් වැඩ කරන්න සිද්ධ වුනා. එක් සතියක් පුරාවටම, උදේ 8.30 සිට රාත්‍රී 12 ත් පසුවන තුරු, පරිගණක තිරයත්, යතුරු පුවරුවත් අතර හරඹ කරන්නට සිදුවිය. හොඳම දෙය නම්, ඔළුව කොලොප්පන් මික්ස් එකක් කරගෙන නින්දට ගිය පසු හීනෙන් පෙනෙන්නෙත් දවල් හැදූ ආටිකල් ම වීමය...!!!

සෑම මසකම පළමුවැනිදාට සඟරාව පිට කිරීමට නම් නිර්මාණ කටයුතු අවම වශයෙන් 27 වැනිදාට කලින් අවසන් කල යුතු වුවත්, 01 වැනිදාත් වැඩ අවසන් නොවූ මාස ද පහුගිය කාලයේ පැමිණියේය. මේ දැඩි පීඩනය සමග ගෙදර පැමිණ මගේ බ්ලොගයට ලිපියක් කොටන්නට හිතේ ධෛර්යයක් උපදවා ගැනීම සෑහෙන්න අසීරු විය. වැඩ අධික වීම එකකි. හොඳම එක ඒක නොවේය. ඔළුවට දැනෙන බර සැහැල්ලු කර ගැනීමට මා කළ එකයි...!

අරක්කු ද ??? නැත... අපේ රංග අයියාත් නිතර කියන පරිදි stress එකට ඉතින් බේත අයිස් තේය. මම ඒවා පාවිච්චියක් නැති නිසා වෙන පිළියමක් සොයාගත යුතු විය. මට හමුවුනේ ගේම් ගැහිල්ලය...!!!

ආපු දවස්වල හරියකට ගහන්නට බැරිවුනු Most Wanted ගේම මේ දවස්වල මගේ විනෝදාශයයි. ඕක නිසා නෝනිගෙන් බැනුම් අහන්නටත් සිදුවුනු නමුත් සුහද වලි වට දෙක තුනකට පසු උන්දෑ විසින් අදාල නිර්නායකයන් තේරුම් ගැනීම නිසා හෝ අන්කිසි හේතුවක් මත දැන් නම් ඒ ගැන කථා නැත. ඒ කෙසේ වෙතත්, නිවාඩු වෙලාවට උන්දෑගේ ඕනැ එපාකම් වලට තැන දීමට ද මම අමතක නොකලෙමි. නැත්නම් ඉතින්... දන්නෝ දනිති...!!!

ටික කාලයක සිට ඔළුවේ වැඩ කල තවත් පිස්සුවක් මේ අස්සේ ඇදී ආවේය. ඒක නම් වැඩක් ඇති දෙයක් නිසා නෝනිගෙන් ෆුල් සප්ය. ඒ Digital Music සබ්ජෙක්ට් එකයි. සොෆ්ට්වෙයා එකකුත් දින තුනක් දිස්සේ බාගෙන බොහොම අමාරුවෙන් ඉන්ස්ටෝල් කරගෙන වැඩේ පටන් ගත්තෙමි. දැන් ඉතින් පවුල් වෙලා නිසා බෑන්ඩ් කෙරුවාවට ගෙදරින් පිට නොයන මුත්, තවමත් මියුසික් උණ ඇඟෙන් බැහැලා නැති නිසා මේක හොඳම බේත බව මගේ ටිකිරි මොලයට ආවේය. නමුත් පුරස්නයකට තිබුනේ, අවශ්‍ය කොරන බඩු භාණ්ඩ ලබාගන්නට ප්‍රතිපාදන හිඟ එකය. ඉදිරි වසර සඳහා අයවැය වෙන්කර අවසන් බැවින් හා හදිසි ධනලාභයක් ලැබුනොත් මිස Digital Music දිගට කරන්නට ඒ තරම්ම චාන්ස් එකක් ලැබේ යැයි සැක සහිත බැවින් දැනට අමාරුවෙන් හෝ ඒ උණ බස්සවාගෙන සිටිමි... අඳෝමැයි !!!

මේ කරුණු කාරණා සියල්ලත් එක්ක බ්ලොගය නම් යම් තරමකට පාළු වුනේය. කුමක් නිසා ද කිවහොත් එකී මෙකී නොකී සියල්ලම නිසා නැති වූයේ මං බ්ලොග් කරණයට වෙන් කරගෙන තිබූ කාලය නිසාවෙනි. පහුගිය දෙසැම්බරයට පළකරන්නට ලැබුනේ යන්තම් පෝස්ට් 3 කි. ඒවාද සඟරාවට සකසන ලද ලිපි එකතුවෙන් කලබලයේ සකසා ගත් ඒවාය. ඒවාට වඩා මගේ බ්ලොගයේ දිවෙන, හැමෝම ආසාවෙන් බලාපොරොත්තුවෙන් සිටි ලිපි පෙළ දෙකක් ලිවීමට මග හැරිණි. ඒ මගේ බෑන්ඩ් කථා සීරීස් එකත්, කුමාරතුංග මුණිදාස ශූරීන් ගැන ලියන්නට සිටි ලිපි එකතුවත් ය. ඒ දෙකම නැවැත්තුවා යැයි කිසිසේත්ම සිතිය යුතු නොවේ. වෙන මොනවා නැවැත්තුවත් ඒ කටයුත්ත නම් ඇදි ඇදී හෝ දිගටම කරගෙන යන්නෙමි. ඉදිරි කාලය ඒ සඳහා කැප කරන්නට සිතා සිටින්නෙමි.

හපොයි... ඔය කිව්වේ ඉතින් වර්තමාන තත්ත්වය... බලන අයට නම් මෙලෝ වැඩක් නොවෙතත්, ගිය අවුරුද්ද (2011) තුල කරගත්ත වැඩ කටයුතු ගැන පසු විපරමකට මේක අවස්ථාව කර ගන්නවා. මොකද මාරයා අයියා වගේ, මමත් මේක යම් තරමකට e-දිනපොතක් කරගෙන තියෙන නිසා.

අවුරුද්ද පටන්ගත්තේ මගේ වැඩපොලේ රාජකාරී කටයුතු හොඳ අතට හැරෙන ගමන්... මොකද 2011 ජනවාරි වෙද්දී මම අළුත් සේවා ස්ථානයට ගිහින් මාස තුනයි. ඉතින් මේ වෙද්දී මම අළුත් ජොබ් එකේ ස්ථිර වෙලා... පඩියත් පොඩ්ඩක් වැඩිවෙලා... අවුරුද්දට හොඳ ආරම්භයක් එක්ක වැඩ පටන්ගත්තේ. සඟරාවේ වැඩ නිසා රාජකාරි පැය 8-9 ම අන්තර්ජාලේ. මීට කලින් ඒ හැටි ඇබ්බැහියක් නොතිබුනත් මේ වෙද්දී නිතර දෙවේලේ පාවිච්චි කරන නිසා මටත් ජංජාල උණ හැදිලා තිබුනේ. ඉතින් ජනවාරි මාසෙදිම මම මේ බ්ලොග් එක පටන්ගන්නවා. ඒ වගේම මෙච්චර කල් නොතිබුණු FaceBook ගිණුමක් හදාගන්නත් ඒක හේතුවක් වෙනවා. අන්තිමට උණ වැඩිවෙලාම ගිහින් මාර්තු මාසෙදි ඩොංගලයකුත් ගන්නවා. එයින් පස්සේ තමා උණ ටිකක් අඩුවුනේ.

පෙබරවාරි මාසේ මගේ උපන්දිනේ... ළඟම යාළුවො 3-4 දෙනාට විතරක් කියලා, ගෙදර කට්ටිය එකතුවෙලා ගෙදර දීම ඉඳියාප්ප ටිකකුත් හදලා පොඩි පාටියකුත් දුන්නා. ඒ තමයි මගේ අන්තිම උපන්දිනසාදය ! දැන් ඉතින් සාද තියන වයසක නෙවෙයි නොවැ අපි ඉන්නේ. දැන් ඉතින් අපි වයසට යන උදවිය. ඒ ගැනත් හිතන්න එපෑයෑ...!

අප්‍රේල් මාසේ බලාපොරොත්තු ගොඩක් ඔළුවේ තියාගෙන මෙච්චර කල් ඉඳපු නෝනිලගේ ගෙදරින් පිටවෙලා මගේ පවුලේ ඔක්කොම එක්ක අළුත් ගෙදරකට ආවා. හැබැයි ඒ අවසාන උත්සාහයත් අසාර්ථක වෙලා ආයෙත් මාස තුනකින් හිටි තැනටම එන්න වුනා. ඒ ගැන වැඩි දුර කථා කරන්න මම කැමතිම නෑ. හැබැයි මේ අවුරුද්දේ වුනු ලොකුම පරාජය ඒක තමා...! ඒ වගේම කියන්න ඕනේ ගිය අවුරුද්දට ජුනි 30 වැනිදා අපේ දෙවැනි විවාහ සංවත්සරයත්යෙදුනා...!!!

මෙච්චර කලක් මීයන්ට, දූවිල්ලට ගොදුරු වෙවී තැන් තැන් වල දාලා තිබුනු මගේ මතක ගබඩා ටික, ඒ කිව්වේ මං එකතු කරපු පොත්පත් ටික දාන්න අළුතෙන් කබඩ් එකක් ගත්තු එකත් මේ අවුරුද්දේ කරගත්තු හොඳ වැඩක්. ඒ වගේම කියන්නම ඕනේ... අවුරුදු ගාණක් දිස්සේ හිතේ තිබුණු ආසාවක් වෙච්චි කොම්පියුටර් සිහිනයත් මං මේ අවුරුද්දේ ඉෂ්ඨ කරගත්තා. ඒ ඔක්තෝම්බර් වලදී. අවුරුද්දේ අන්තිම හරියෙදී පරණ කොම්පීතරයේ තිබුණු කෑලි ටික අටවලා, අළුතෙනුත් කෑලි දාලා අපේ මස්සිනා මලයට මගේ පරණ කම්පියුටරේ අටවලා දුන්නා. නෙට්වර්ක් එකකුත් දත කාලා ගහගත්තා.  ඒ වගේම කියන්න ඕනේ ජීවිතේ පළමු වතාවට මම සිරිපාදේ වන්දනා කලේත් ගිය අවුරුද්දේ දියි.

ඔව්වා තමා කලේ... අවුරුද්ද මුලදී හිතන් හිටපු ඒවගෙන් ගොඩක් කරගන්න ලැබුණා. හැබැයි කෙටිකාලීන බලාපොරොත්තු විතරයි. දීර්ඝකාලීන බලාපොරොත්තු වලින් දෙකක් තාමත් එහෙමමයි. එයින් එකක් නම් 2012 දී සැබෑ වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒක තමා මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුව. ඒ කියන්නේ දෙක තුන කරගෙන මගේ පවුල සම්පූර්ණ කරගන්න එක...!!!

බ්ලොග්කරණය ගත්තොත් අවුරුද්ද අන්තිමේදී අපේක්ෂිත ඉලක්ක කිට්ටුවටම එන්න පුළුවන් වුනා. හොඳ යාළුවෝ පිරිසක්, පාඨක පිරිසක්  අඳුනගන්න ලැබුනා. අත්දැකීම් බෙදා ගන්න ලැබුනා. ඒ අතින් 2011 වසර විශේෂයි. ඒ හැම දේම තවත් වැඩි දියුණු කරගෙන 2012 දී තවත් වැඩියෙන් වැඩ කරන්න තමයි හිතේ තියාගෙන ඉන්නේ. 2012 අවුරුද්ද අපේ බ්ලොග් අවකාශයට නම් සුභ අවුරුද්දක් වෙයි කියලා හිතෙනවා. මොකද ගොඩක් හොඳ බ්ලොග් රචකයින් සමූහයක්ම පහුගිය කාලේ මේ ක්ෂේත්‍රයට එකතු වුනු නිසා. මේ අවුරුද්දෙදි ඒ ප්‍රමාණය තවත් වැඩි වෙයි. 7 වැනිදා ගාලු හමුවට මට එන්න බැරිවුනත්, 2012 අප්‍රේල් හමුවත් මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුවක්...!!!

මගේ බ්ලොග් එක ඇතුලේ වැඩ ගොඩක් කරන්න හිතේ තියාගෙන ඉන්නවා. ලිපි පමාවෙන එකට නම් සමාවක් ලැබේවි කියා හිතනවා...! පුළුවන් පුළුවන් විදියට බ්ලොග් කියවන්න නම් කාලය හොයා ගත්තා... ආවේ නෑ කියලා හිත අමනාප කරගන්න නම් එපා. නාවේ තරහවකට වත්, වෙන හේතුවක් නිසාවත් නෙවේ. කාලයක් නැති නිසාමයි... මේ අවුරුද්දේ දි ආයෙත් සතුටින් මුණ ගැහෙමු...!

බෑන්ඩ් කථා පෙලේ අපේ පළමු ප්‍රසංගයෙන් තමා මම නතර කලේ. බෑන්ඩ් වේදිකාවක තාක්ෂණික පසුබිම ගැන තමයි කථා කරන්න හිටියේ. මේ මාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ ගැන පළකරන්න පොරොන්දුවක් දෙන්නම්. ඒ වගේම කුමාරතුංග මුණිදාස ශූරින් ගැන ලියවෙන ලිපිත් ඉක්මනින්ම දැකගන්න ලැබේවි. ම්ම්...ම්... තවත් ආරංචියක් දෙන්න තියෙනවා... ඒක සුදුසු මොහොතේ දි දෙන්නම්.

මේ ජනවාරිය මට සුවිශේෂී මාසයක්...! ඒකත් දන්නෝ දනිති !!! අළුත් විස්තරත් එක්ක, අළුත් ලිපිත් එක්ක, 2012 ස්පෙෂල් එක්ක ඉදිරියේදී හමුවෙමු. බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් හැමෝටම... නෑ, බ්ලොග් අවකාශේ හැමෝටම අළුතෙන් වැඩ පෙන්නන්න / බලන්න ලැබෙන හොඳ අවුරුද්දක් බවට 2012 පත්වේවා...!!! ජයවේවා !!! 





18 comments:

  1. //ඒ කියන්නේ දෙක තුන කරගෙන මගේ පවුල සම්පූර්ණ කරගන්න එක...!!!//




    මෙන්න මේ වැඩේ සාර්ථක වේවා කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනව , අනෙක් බලාපොරොත්තුත් ඉෂ්ට වේවි . කලින් එක ජීවිතයේ අතිශයින්ම වැදගත් කාරණයක් නිසයි විශේෂ සුභ පැතුම

    ReplyDelete
  2. මගේ සුබ පැතුම් අයියා.. පහුගිය වසර අපිට වගේම දුක සැප මැද්දෙන් ගෙවිල ගිහින් තියෙනවා.. මෙ අවුරුද්ද සියලු බලාපොරොත්තු ඉ‍ටුවෙන සුබම සුන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.. ගෙට් එකට ආපු නැති එකට නම් අමනාපයි.. අඩුනගන්න ආසාවෙන් හිටියෙ..

    ReplyDelete
  3. දෙක තුන වේවායි මුළු හදින්ම පතනවා !!!

    සියළු පැතුම් ඉටුවී, වැඩි වැඩියෙන් ලිපි පල කිරීමට ලැබේවා !!!

    ReplyDelete
  4. ආව් ආව්...ඔය තියෙන්නේ...... අන්න ඔහොමනෙ ඉන්න ඕනේ...දැන් කවදද දෙන්න තුන්දෙනා වෙන්නේ ??

    ReplyDelete
  5. සභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. ජය වේවා...සියළු ප්‍රාර්ථනා ඉ‍ටු වෙන්න කියලා පතනවා....

    ReplyDelete
  7. ඉක්මනින්ම දෙක තුන වේවා....සුබ පැතුම්...නැවත බ්ලොගය පැත්තේ ආපු එක ගැන සතුටුයි :)

    ReplyDelete
  8. @ බුවා :
    ස්තුතියි මචං... පරණ පුරුදු විදියට 2012 දී පළමු ප්‍රතිචාරයත් උඹෙන්... ප්‍රාර්ථනාව ඉෂ්ඨ වුනු දවසට ඒකත් මේ වගේම පළ වේවි... උඹටත් සුභ 2012 ක් වේවා !!! ජය!!!

    @ යසේ මලයා :
    මල්ලිටක් බොහොම ස්තුතියි... ඒ වගේම සුභ 2012 ක් වේවා... ගෙට් එකට එන්න බැරි වුනේ ළඟම කෙනෙක්ගේ සාදයකට සහභාගි වුනු නිසා. අපි අනිවා අප්‍රේල් හමුවෙමු... ජයවේවා !!!

    @ සෙන්නා :
    පළමු පැතුමට ස්තුතියි... මම වඩාත් කැමති දෙවැනි පැතුමට ! මොකද පළමු පැතුම ඉටුවුනාම දෙවැනි එක අහෝසි වෙයිද මන්දා ? එහෙම නොවෙන්න වරයක් ඉල්ලගන්න පුළුවන් ද ? කොහොම වෙතත් සහෝටත් ගොඩක් ස්තුතියි... සුභ 2012 ක්... ජයවේවා !!!

    @ දිල් :
    ආව් ආව් ගාන්නේ මොකැයි බොල ! තාම 3 වුනේ නෑ දිලෝ... නිව්ස් එක අවුට් කරපු ගමන් පබ්ලිෂ් කරන්නම්... අපොයි මේ ගෑනු නම්.. ඊඊඊඊඊඊඊඊඊ !!!

    ඒක නෙවෙයි, දිලාටත්, වෙන්න මහත්තයටත් සුභ 2012 ක් ! ජයම වේවා !!! වෙඩිම වේවා !!!

    @ තරූ :
    අළුතෙන් නොවැද ? හොඳයි හොඳයි. ගොඩක් ස්තුතියි සුභ පැතුමට. ඒ වගේම ඔයාටත් සුභ 2012 ක්... ජයවේවා !!!

    @ ඔබ නොදු‍ටු ලොවක් :
    සහෝටත් එසේම වේවා... ජයෙන් ජයම වෙන 2012 ක් වේවා...!!!

    @ සයුරි :
    කියන හදිස්සියට දෙක තුන වෙන්නේ නෑනේ සයුරි... මාස 09 ක් ඉන්නත් එපෑ.. හි හී !!!

    ඇයි මට විතරද දෙක තුන කරගන්න තියෙන්නේ ??? සයුරිටත්, මහත්තයටත් පවුලේ සැමටත් සුභ 2012 ක් වේවා !!! ජය !!!

    ReplyDelete
  9. ඉතා ඉක්මනටම දෙක තුන වී තුන හතර වී හතර පහ වේවායි මුලු හදවතින්ම පතමි.. කෝකටත් ඉතින් මේ සැරෙත් උපන්දිනේ සමරමු. අර සුදු පාට ඒවත් එක්ක.......

    ReplyDelete
  10. @ ධනූ :
    හතර පහ වෙනකොට කන්න දෙන්නේ බොලා ද ??? එච්චර වුවමනා වුනත් ඇති තත්ත්වේ හැටියට කොරන්නට බැරිය. තනන්නට නම් හැකිය. වඩන්නට අමාරුය. ඒ නිසා දැනට 2 ක් ඇතිය. ඉතිරිවා පසුවටය...

    උපන්දින සැමරුම් නම් නැතිය. උඹට සුදු පාට එව්වා ඕනේ නම් අයිස් පෙට්ටියේ ඇතිය. එදා දුන්න ජාතියේ අයිස් කැට ඕනෑම අයිස් පෙට්ටියක ඇත.

    වැඩිය සුදුවා බොන්න එපාය. ළඟදීම සුදු කොඩි පෙනේය. බොන දෙයක් නෝනිට හොරෙන්ය. නැත්නම් මඟුලත් හුටස් ය. ඉතින් බොටත් 2012 ජයෙන් ජයම වේවාය. මේ අවුරුද්දේ දී පෝරුවට නගින්නට ලැබේවාය !!! ජය යැ !!!

    ReplyDelete
  11. ජය වේවා ය. ගිය අවුරුද්දේ කොරගත්තු දේවල් ඉහටත් උඩින් ය. මේ අවුරුද්දේ ඊටත් වඩා කොරගන්නට ලැබෙවා ය

    ReplyDelete
  12. සිතන දේවල් ඒ ලෙසම ඉටු වෙන නව වසරක් වේවා ...

    ReplyDelete
  13. ජයවේවා.. හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා අයියාගේ

    ReplyDelete
  14. @ නවම් :
    නවම් සහෝටත්, චූටි මැණිකෙටත්, කොලු පොඩ්ඩාටත් පවුලේ හැමෝටමත සුභ 2012 ක් වේවා... ! ඉහටත් උඩින්ය කිව්වා ??? අනේ මන්දා !!! බලමු මේ අවුරුද්දේ නේද ??? ජයවේවා කිව්වා !!!

    @ බින්දි අක්කා :
    අක්කා සෑහෙන කාලෙකින් නේද ? අක්කටත්, අයියටත්, බනියටත්, බනියගේ අක්කටත් සුභ 2012 ක් වේවා... ! අක්කා මොකෝ විලේ මල් පරක්කු ? පෑවිල්ල ද ? ජයවේවා !!!

    @ වර්ණා :
    ආහ් ! බුල්ටෝ නගා !!! (විහිළු හොඳෙයි)
    නගාගෙත් සියළු පැතුම් ඉටුවන සුභ 2012 ක් වේවා. හොඳින් බ්ලොගේ ලියන්න ලැබේවා !!! ජය !!!

    ReplyDelete
  15. පසුගිය වසරට වඩා වැටුප වැඩිවී වැඩ අඩුවී ප්‍රශ්න නැතිවී සන්තොසමත් ජිවිතයක් උදාවේවා.

    ReplyDelete
  16. අහ්හ්හ්හ්.... තැන්කූ කිව්ව....

    ReplyDelete
  17. මම නම් සෑහෙන්න පරක්කුයි වගේ.. අය්යටත් වාසනාවන්ත අවුරුද්දක්ම වේවා..!!!

    ReplyDelete
  18. පරක්කුද කියලත් අහනවා......
    මම නම් අම්බානෙකට පරක්කුයි....
    එකට සමාවෙයන් අයියෙ.....
    මම බ්ලොග්කරණයට ආවෙ ඔයාගෙන් ලැබුණු සප් එක නිසයි...
    ඒක ඉතින් අමතක කොරන්ඩම බෑ....

    ඔන්න ඉතින් මේ අව්රුද්දෙ අයියගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම,සිතු පැතූ අයුරින්ම ඉටු වේවා කියල ඉතාමත් ආදරයෙන් පාර්ථනා කොරනවා....

    හැමදාමත් ජයම වේවා!!!!!!!!!!!!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...