“මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක්
ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු
ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම
ජීවත් වෙති...”
මේ පාඨ කිහිපය උපුටා ගත්තේ මා ලඟ තිබෙන “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් පුස්තකයේ ආරම්භයේ කුමාරතුංග මුනිදාස නම්
විද්වතානන් පිළිබඳ සඳහන් වන සංඥාපනයෙන්. කුමාරතුංග මුනිදාස මහත්මා ගැන කියන්න
කලින් මම මේ පොත මට ලැබුණු හැටි කියලා ඉන්නම්...
මම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නේ
මා කඩවත මහප්පාගේ නිවසේ සිටියදීයි. ඒ සඳහා මා අකුරු කලේ මහර කුමර කණිෂ්ඨ
විදුහලෙනි. 1994 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162 ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයේ
63 වැනියා ලෙස මා සමත්ව තිබිණි. උක්ත විභාගයෙන් සාමාර්ථය ලැබූ සිසු සිසුවියන් උදෙසා
ත්‍යාග ප්‍රදානයක් කුමර කණිෂ්ඨයේ පැවැත්විණි. විභාගයෙන් පසු මා නැවතත් ගෙදර පැමිණි
බැවින් කොළඹ සිට තාත්තා සමගම මෝටර් සයිකලයෙන් නැවත මහර යන්නට සිදුවිය. එදා මා හට
මාරි පෙට්ටියක තරමේ තෑගි පාර්සලයකුත්, සහතික පත්‍රයකුත් ලැබිණි. නැවත ගෙදර එද්දී,
සපුගස්කන්ද හරියේදී මහා වර්ෂාවට අසුව තෑගි පෙට්ටියේ බ්‍රවුන්පේපර් කොලය සේදී
ගියත්, ගෙදර ගොස් තෑගි බලනා තෙක් මා උන්නේ දැඩි නොඉවසිල්ලෙනි.
මා සිතූ ලෙසම පෙට්ටිය පුරවා වූයේ පොත් ගොඩකි. ඉන්
බහුතරයක්ම අභ්‍යාස පොත් වූ අතර ලෝවැඩ සඟරාව වැනි වටිනා කුඩා ග්‍රන්ථ දෙක තුනක්
සමගම අඟල් තුන හතරක් ඝණකම වූ දැවැන්ත පුස්තකයක් ද ඒ සමග විය. ඒ තෑගි පෙට්ටියෙන් මට
වඩා වැදගත් වූයේ ඒ මහා පුස්තකයයි. “ශික්ෂාවතාරය
හා ශික්ෂා මාර්ගය - කුමාරතුංග මුනිදාස”
ලෙස ලොකු අච්චු අකුරෙන් සටහන්ව තිබූ කොල පැහැති තුනී පිට කවරයක් සහිත ඒ පොත කියවා
ඉවර කරන්නට එවකට දස හැවිරිදි වූ මා හට මාස ගණනක්ම ගත විය. එදා බර කරමින්
කියෙවූවත්, ඒ පිටු අතර ලියැවුනු බස් අරුමය මට වැටැහුනේ තවත් කලක් ගතවූ පසුවයි.
මා අතට පත්ව සොළොස් අවුරුදු ඉක්ම ඇතත්, අදටත් ඒ
මහා පුස්තකය මගේ පොත් එකතුවේ සුරැකිව වැජඹෙයි. ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය
කියෙවූවෙක් තබා එය ගැන ඇසූවෙක් වත් නූතන පරපුරේ සිටිත් දැයි මට නම් සැකයෙකි. මා
එදා එයින් ලද භාෂා ප්‍රාඥ්‍යය සිංහල භාෂා විශාරදවරයෙකු ගෙන් ලද උගැන්මකටත් වඩා මගේ
දැනුම පුබුදන්නට ඉවහල් වූ බැව් අද මට පැහැදිලිව පෙනේ. හෙල බසේ වියරණ විධි හා පද
බෙදුම් ද, නිවැරදි අක්ෂර වින්‍යාසයන් ද මා නොදැනීම උගත්තේ ඒ පොතෙනි. ඒ පොතෙහි
පෙරවදන හා වෙනත් හඳුන්වාදීම් ඇතුළු විචාරයන් ම පමණක් පිටු සැත්තෑ දෙකකි. කුඩා කල දී හරිහැටි නොතේරුනත් ඒ පිටු සියල්ල
පටන් පොතේ අවසන වූ ටිප්පනිය දක්වාම අකුරක් නෑර මම කියෙව්වෙමි. එයින් නොනැවතී එකුන්-දස
වියේ දරුවෙකුට තරම් නොවන ගැඹුරකින් යුතු අසංක්ෂිප්ත උම්මග්ග ජාතක කථා වස්තුව ද මම
ආශාවෙන් යුතුව කියවා හමාර කලෙමි. මුළු ලෝවැඩ සඟරා කවි පන්තියම එවකට මට කටපාඩම් ව
තිබිණි.
එදා ලද ඒ උගැන්මෙන් සිංහල බසට ඇති ඇල්මත්, භාෂා
දැනුමත් වැඩි දියුණු වූ බව නොසඟවා කිව හැකියි. එදා මා ලද රසය සුළුවෙන් හෝ සිංහල
බ්ලොග් අවකාශය මත සටහන් කරනු රිසියෙන්, හැකි අවස්ථාවන් හිදී කුමාරතුංග මුනිදාසයන්
විසින් සම්පාදිත මේ මාහැඟි ග්‍රන්ථයෙන් කොටස් වශයෙන් මෙහි පළ කිරීමට අදහස් කර
සිටිමි. එය සිංහල භාෂාවේ උන්නතියට දශමයකින් හෝ උදව්වක් වේ නම්, කුමරතුඟුවන් එදා
ඇරඹි පුනරුදයට බිඳුවක් හෝ දායක විනි යැයි අහිංසක සතුටකින් මට සැනසිය හැකියි. ඒ අරමුණ වෙනුවෙන් කුමරතුඟුවන් ම පැවසූ පද්‍යයකින්
මේ හැඳින්වීම අවසන් කරන්නෙමි...
මා
දෙස හෙළ දෙස - වෙන කිසි දෙසක ට
මා
රැස හෙළ රැස - වෙන කිසි රැසක ට
මා
බස හෙළ බස - වෙන කිසි බසක ට
මේ
හිස නොනමමි නොනමමි කිසිවි ට
-------------------------------------------------------------------
කුමාරතුංග මුනිදාස නම් මහා පඬිවරයා මෙබිම විසුවේ
අවුරුදු 57 ක් වැනි කෙටි කාලයක් වුවත්, සිංහල භාෂාවට එතුමා කළ මහඟු සේවය නිසාම ඒ
නාමය හෙළ බිම තුල අමරණීය වී තිබේ. 1887 ජූලි මස 25 වැනි දින මාතර, දික්වැල්ලේ
ඉඳගස්ආර නම් ගම්මානයේ එතුමා උපත ලැබීය. ඔහුගේ පියා වූයේ රුහුණු දිසාවේ සුපතල වෛද්‍යවරයෙක්
වූ දොන් අබියෙස් කුමාරතුංගයි. මව වූයේ පලවින්නේගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවයි. පවුලේ
දොලොස්වැනි දරුවා වූ මුනිදාස කුමාරතුංග කුමරුවා හට සහෝදරයින් 8 දෙනෙක් ද,
සහෝදරියන් 4 දෙනෙක් ද විය.
කුමාරතුංගයන් මුලින්ම අකුරු උගත්තේ තම පියාගෙනි.
වැඩුමල් සොහොයුරන්ට ඉගැන්වූ පාඩම් ද අසා සිට මතක තබා ගන්නට මේ කුඩා ළදරුවා පුරුදුව
සිටියේය. නිසි වයසේදී ගමේ පාසලෙන් හා
පිරුවනින් ශිල්ප හදාරා සිංහල පාසැලේ හයවැනි පන්තිය සමත්ව එතුමා මාතර සාන්ත තෝමස් විද්‍යාලයට
ඇතුලත්ව ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීය. සිංහල
පාසල් පස්වන ශ්‍රේණියේ උගනිද්දී කුමාරතුංගයන්ගේ පියාණන් මෙලොව හැර ගිය මුත්
වැඩිමහලු සොහොයුරා වූ පියදාස කුමාරතුංගගේ සෙවනේ
ඔහුට සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබාගැනීමට හැකියාව ලැබිණි. අවුරුදු දහ
හතරක් වෙද්දී පාසැලේ අධ්‍යාපනය නොරිසි වූ හෙතෙමේ සිය පියාගේ පොත්ගුණට වැදී තනිවම දැනුම
වඩන්නට විය. කෙසේ වුවත් සිය සොයුරාගේ බලවත් ඉල්ලීම පරිදි නැවතත් කොළඹ ඉංග්‍රීසි
විදුහලකට ඇතුලත්ව අධ්‍යාපනය ලැබුවත්, ටික කලකින්ම නැවත ගමට පැමිණි තිබේ.
කුමාරතුංගයන් සංස්කෘත හැදෑරීමට ගන්නේ මේ
කාලයේදීයි. ඒ සඳහා ගමේ පන්සලෙන් සහයෝගයක් නොලැබුනු හෙයින් ඔහු ඒ සඳහා වැවුරුකන්නල
පන්සලේ වූ පිරිවෙනට ගොස් ඉගෙන ගත්තේය. මේ සමයේදී පැවිදි වීමේ ආසාවක් ද
කුමාරතුංගයන්ට තිබුණු මුත්, වැඩිමල් සොයුරාගේ නොකැමැත්ත නිසා ඒ අදහස යටපත්ව තිබේ. කුමාරතුංගයන්ගේ
මේ හැසිරීම් රටාව අධ්‍යයන කල ඔහුගේ සොයුරා ගමේ සිටියහොත් කුමාරතුංගයන්ගේ ඉදිරි
ජීවිතයට යම් බලපෑමක් වේ යැයි බියෙන් ඔහුව නැවත කොළඹ ගෙන ගියේය. 1907 වසරේදී
සොයුරාගේ මග පෙන්වීම මත කුමාරතුංගයන් ගුරු විදුහලට බැඳීමට තීරණය කරයි. මේ කාලයේදී ගුරු
විදුහලට ඇතුලත් වීමට නම් ප්‍රවේශ විභාගයකට මුහුණ දිය විය යුතු වුවත්,
කුමාරතුංගයන්ගේ දැනුම වටහා ගත් පරීක්ෂණ මණ්ඩලය විභාගයක් නොපවත්වාම ඔහු ඇතුලත්
කරගෙන තිබේ. ගුරු අභ්‍යාස විද්‍යාලයේ දෙවසරක පුහුණුව අවසන්ව ඉතා ඉහලින් සමත් වූ
මුනිදාස කුමාරතුංගයන් 1909 දී ඉන් පිටවන්නේ කඩුගන්නාව ද්වි-භාෂා විදුහලේ ප්‍රධානාචාර්යවරයා වශයෙනි. නමුත් එහි ඇතිවූ අසතුටුදායක තත්ත්වය
හේතුවෙන් බෝම්රිය ප්‍රදේශයේ උප ගුරුවරයෙක් ලෙස ටික කාලයක් සේවය ඇරඹීය. 1910 දී
නැවතත් කඩුගන්නාවේ පාසලේ ප්‍රධානාචාර්ය පත් කුමාරතුංගයන් ගේ සිත මේ කාලයේදී සිංහල
ව්‍යාකරණය වෙත යොමුවී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එළි දැක්වුනු “ව්‍යකරණ විවරණය” නම් ග්‍රන්ථය අද ද විද්වතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර
වූ කෘතියකි. ඊට අමතරව ගුත්තිල කාව්‍යය
වර්ණනාව ගැන පාසැලේදී කල ප්‍රසිද්ධ දේශණයත්, ප්‍රශ්ණ සියයක් ඇතුළත් කර සාමාන්‍ය
දැනුම නමින් පළ කර මාහැඟි ග්‍රන්ථයත් මේ කාලයේදී ඔහු විසින් සිදුකල කැපී පෙනෙන
සේවාවන් වේ.
ඉහත සඳහන් කල ආකාරයට කඩුගන්නාවේ පාසැලේ අවුරුදු 8
ක් සේවය කල කුමාරතුංගයන් එයින් ඉවත් වූයේ පාසැල් පරීක්ෂකවරයෙක් ලෙස උසස් වීමක්
ලැබීම නිසායි. කුමාරතුංග මුනිදාසයන් විවාහ දිවියට ඇතුලත් වූයේ 1921 දීයි. ඒ
පල්ලියමුල්ල ප්‍රදේශයේ විසූ තිඹිරිපොලගේ හෙන්ද්‍රික් පීරිස් මුදලාලි මහතාගේ හා එම මහත්මියගේ
දෙටු දියණිය වූ ලිලී පීරිස් නම් මෙනෙවිය සමගයි. මේ විවාහය සමග කුමාරතුංගයන් ලැබූ
දරුවන් සදෙනෙකී. ඒ මාලතී, නීතා නම් දූවරු දෙදෙනෙක් ද, ගෝමින්, රුවන්, ප්‍රඥා,
බින්දු ලෙස පුතුන් සතර දෙනෙක් ද වශයෙනි. විවාහ වී වසරකට පසු එනම්, 1922 දී පාසැල්
පරීක්ෂක තනතුරෙන් ඉවත් වූ එතුමා ඉන් පසු සිය ජීවිතය කැප කලේ සිංහල භාෂාවේ උන්නතිය
වෙනුවෙනි.
මේ කාලයේදී එතුමා ප්‍රසිද්ධ දේශකයෙක්,
ලේඛකයෙක්, ග්‍රන්ථ සංස්කාරකයෙක් ලෙස කීර්තියට පත්ව සිට යුගයයි. 1927 සැප්තැම්බර්
සිට නිට්ටඹුවේ බෞද්ධ අභ්‍යාස විද්‍යාලයේ අධිපති ධූරයට පත්වූ එතුමා එහි අවුරුදු
දෙකක් කටයුතු කලේය. ඉන්පසු බලපිටියේ රොබට් ද සොයිසා නම් මහත්මා සමග එක්වූ ඔහු
බලපිටියේ සිදුහත් අභ්‍යාස විද්‍යාලය පටන්ගන්නා ලදී. සිංහල, සංස්කෘත, පාලි හා ඉංග්‍රීසි
යන භාෂා සියල්ලම මැනවින් දැන සිටි නිසා කුමාරතුංගයන්ට මේ සේවාව හොඳින් ඉටු කරන්නට
එය මැනැවින් උපකාරී වන්නට ඇත. ටික කාලයක් මේ අභ්‍යාස විද්‍යාලයන්හි සේවය කල
කුමාරතුංග මුනිදාසයන් ජාතික හැඟීම් පුබුදු කරලීමේ උදාර අභිලාෂයන්ට මුල්තැන දෙමින්
ලක්මිණි පහණ පුවත්පත ආරම්භ කර එහි අභිවෘද්ධියට කැපවිය. සිංහලකම ගැන කැක්කුමකින් කටයුතු
කල මෙතුමා 1940 දී හෙළ හවුල ආරම්භ කිරීමට පුරෝගාමී විය. සිය කෙටි ජීවිත කාලයෙන්
වැඩි හරියක්ම සිංහල ජාතියේ, සිංහල භාෂාවේ උන්නතියටම කැප කල මේ මහා පඬිවරයා වසර
පනස් හතක් ආයු වළඳා 1944 මාර්තු 02 වැනිදා පරලෝ සැපත් වූයේ දේශ මාමක - ජාති මාමක
හදවත් තුල සදා කඳුලක් ඉතිරි කරමිනි.
කුමාරතුංග මුනිදාස ශූරින්ගේ “ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය” නම් ග්‍රන්ථයේ
සංඥාපනය ඇසුරෙන් සකසන ලදී.
-------------------------------------------------------------------
මේ
ලියැවෙන්නේ මගේ බ්ලොග් අඩවියේ පළවෙන 50 වැනි බ්ලොග් සටහන... මාස 9 කට ආසන්න කාලයක්
පුරා මගේ බ්ලොග් අඩවිය සමග එක්ව අඩු-පාඩු, ගුණදොස් වගේම මඟ පෙන්වීම්, දිරි ගැන්වීම් ද සමගින් මේ
බ්ලොග් අඩවිය හා එක්ව සිටි සියල්ලන්ටම මගේ අවංකාදර ස්තුතිය !!! බ්ලොග් අහසේ පුංචි
තරුවක් වී දිලෙන්නට ඔබෙන් ලැබුණු සහයෝගයට බොහොමත්ම ස්තුතියි... ජයවේවා !!!
ඔබගේ මෙම උත්සහය අතිශයින්ම අගය කරන්නෙමි. කුමරතුගුවන් තරම මෙබසට උන්නතියක් කල තවෙකෙක් මටනම් සිතාගත නොහේ. කුමරතුගුවන්ගේ දරු නැලවිල්ල මා පසුගිය දිනක මගේ පුතුට ගෙනවිත් දුනිමි. එහි අරුත් බර වදන් දැක මා හට මා පසලේ උගත් සින්හල ගෑන සෑබෑ දුකක් ඈති විය.එනම් ඈත්තටම විශ්ව සාහිත නිර්මානයක්මය. කරුණාකර මෙම ලිපි පෙල පලකර ඔබේ යුතුකම ඉටුකරන්න. අපි නොමද ආසවෙන් කියවන්නෙමු. ඔබට පින්.
ReplyDelete@ නිශ් :
ReplyDeleteඔබේ ප්‍රතිචාරය දැක මටත් ලොකු සතුටක් ඇති වුනා. මේ ලිපිය පළ කරේ යුතුකමක් විදියට හිතලා වුනත් ඒ ගැන කොහොම ප්‍රතිචාරයක් ඒවිද කියලා හිතාගන්න බැරිවයි හිටියේ. මොකද මේ වගේ මාතෘකාවක් ගැන උනන්දුව තියෙන අය හරි අඩු නිසා. ඔබත් ඒ දුර්ලභ කුලකයේ එකෙක් වීම ගැන සතුටුයි. මමත් ආසාම කවි පන්තියක් තමා දරු නැළවිල්ල. ඒ වගේ තවත් කථා ගොඩක් මේ පොත් පෙලේ තියෙනවා... ඒ තමයි නියම සිංහල !!! වෙලාව ඇති විදියට පළ කරන්නම්... ගොඩාක් ස්තුතියි දිරිගැන්වීමටත්, ප්‍රතිචාරයටත් !!!
ඇත්තෙන්ම චතූ මේ උත්සාහය අගය කල යුතුයි..කුමාරතුංග මුණිදාසයන් තරම් මෙරට හෙළ බසට සේවයක් කල අයෙක් තව නැතුව ඇති...ඔය ශික්ෂාවතාරය හා ශික්ෂා මාර්ගය පොත මටත් තෑග්ගක් විදියට ලැබුනේ මමත් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් උන වෙලාවේදී මගෙ මාමා කෙනෙකුගෙන්..තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවනෙ..මම ඒක තව මගේ නෑදෑ නංගි කෙනෙකුට තෑගි කලා....
ReplyDeleteලංකාවේ තියෙන රේඩියෝ අහගෙන ඉද්දී වෙලාවකට මට හිතෙනවා මේ වගේ කාලෙක මුණිදාසයන් උන්න නම් කියලා....මොකද රේඩියෝ වලින් බස නසනවනෙ..
බින්දි අක්කාගේ සේද මාවත වගේම මේ ලිපි පෙළත් කියවන්න ආසාවේන් බලාගෙන ඉන්නවා චතූ....
මගුල් කෑම , හත් පණ , හීන් සැරය මා කුඩා කල පොත් කියැවීමට යොමු කල මා පොත් ගුල්ලකු කල පොත් විය . එතෙක් මා කියවා තිබූ සියලුම පොත් වලට වඩා මා සිත් ගත් මේ භාශා විලාශය නිසා සිංහල භාශාව ගැන තිබූ ඇල්මත් දැනුමත් වැඩි විය .
ReplyDeleteඑමෙන්ම ඔබගේ 50 වන සන්වත්සරයට සුභ පතමි..............
බොහොම ස්තූතියි ලිපියට. මෙවන් ලිපියක් ලිවීමට මනා අධ්‍යනයක් හා කාලය කැපකිරීමක් සිදුකරන්න වෙනවා, ඒ දෙකම නිසියාකාරව සිදු වී ඇති බවට මේ ලිපිය ම සාක්ශි වෙනවා.
ReplyDeleteඑදිනෙදා කථා ගැන ලියැවෙන ජනප්‍රිය මාතෘකා යටතේ ලියැවෙන ලිපි මෙන්ම, මෙවන් විශායනුබද්ධ හෝ ගවේශණාත්මක ලිපි ද බ්ලොග් අවකාශයට සම්පතක්
කෙසේ නමුත් මේවන් ගවේශනදීලී ලිපි වලට ලැබෙන කමෙන්‍ටු සංඛ්‍යාව ඒතරම් විශාල වන්නේ නෑ.
ඒ නිසා වැටෙන කමෙන්‍ටු සංඛ්‍යාව ගැන නොසිතා, ඔබගේ සිත් ගත් මේ විශය පතය ගැන දිගටම ලියා වි යයි මයියා බලාපොරොත්තු වෙනවා
ඒ සදහා ඕබට සුබ පැතුම්...............
හිතුමතේ මේ බ්ලොග් අඩවියට ගොඩ නැගපු පලවෙනි අවස්ථාව විදිහට මම හිතනවා.... අය්යා පොස්ට් 50 ලියලා කියලත් ඒ වගේ මොහොතක පලවෙනි කමෙන්ට් එක දාන්න ලැබුන එකත් මට සතුටක්...
ReplyDeleteඇත්තටම මේ වගේ ලිපි බ්ලොග් අවකාශේ දකින්න ලැබෙනවා ගොඩාක් අඩුයි... ඉතින් ඒ අඩුව පුරවන්න අය්යා ගත්තු උත්සහය ගොඩාක් අගය කරනවා හිතුමතේ..
කුමරතුඟුන් තරම් විශිෂ්ඨ හෙළ ගත් කතුවරයෙකු මම කිසිම කලෙක දැක නැත්තෙමි. එතුමාගේ බස මෙන්ම එතුමාගේ සංකල්පනා ද අද්විතීයයි. මේ සටහන වෙනුවෙන් ඔබටද මගේ ගෞරවය හිමිවේ.ඔබ මට වඩා වසර දෙකකට හෝ තුනකට වඩා වැඩුමල් නැති හෙයින්, කුමරතුඟුන් ගැන ලියන්නට සිතා සිට කියවන්නට කෙනෙකු නැති වේ යැයි ඒ අදහස අත්හල මට ඔබගේ ලිපිය කියාදුන්නේ හොඳ පාඩමකි.
ReplyDeleteවිස්තර ටිකනම් බොහොම වටිනවා
ReplyDeleteමම තාම මේ පොත කියවල නැහැ. පුළුවන් වෙලාවක හොයාගෙන කියවන්න ඕනේ.
සින්දර මතකයන් එක්ක වටිනා විස්තර ටිකක් ......
ReplyDeleteඉතාම වටිනා උත්සාහයක් චතුරංග...සිංහල භාෂාව කියන්නේ මම ටිකක් දුර්වල විෂයක්..ඉස්සර ඒක ගනන් ගත්තේ නැති වුනාට දැන් නම් ඒ ගැන දුකයි...ලිපියක් ලියන්න ගත්තත් හිතෙනවා මම මේ ලියන වාක්‍ය හරිද දන්නේ නෑ කියලා...ඔයාගේ මේ ලිපි පෙළ නම් ඒකට ලොකු උදව්වක් වේවි...
ReplyDeleteමමත් හරිම ගෞරවකරන සහ කැමතිම පුද්ගලයෙක්....ඔබට ජය
ReplyDeleteඔන්න මචං පනහ ලිව්වට මගෙන් කේක් එකක් .......
ReplyDeleteහොඳ මාතෘකාක් අරං තියෙන්නෙ ලියපංකෝ බලන්න .....
ආ...එකක් අමතක උනා චතුවො... 50 වෙනි පෝස්ටුවට මගෙන් සුබ පැතුම් !
ReplyDeleteබ්ලොග් එකේ පනස්වෙනි ලිපියට සුබ පැතුම් !!!
ReplyDeleteමම් ආස කරන ගත් කතුවරයෙක් තමා මුනිදාස ශූරීන් කියලා කියන්නේ.
මේ ලිපිය දැක්කම මට හිතුනෙ අද කාලෙ මේ වගේ රටට භාෂාවට සේවය කරපු අපේ රටේ හිටපු පඬිවරු ගැන කතා කරන අය තවම ඉන්නවනේ කියලා. හරිම හොඳයි මල්ලි. ඔයාට ගොඩක් ස්තුතියි. ගොඩක් නොදන්න දේවල් දැනගත්තා.
ReplyDeleteඔයාගෙ පණස්වෙනි පෝස්ට් එකට සුභ පතනවා මමත්. අපි ඉතින් අළුත්නෙ. මේ ආව පළමු වතාව. දිගටම එන්නම්කො මේ පැත්තෙත්. පරණ ලිපි ටිකත් ඉඩ තියෙන වෙලාවලට කියවන්න ඕන.
@ දිල්
ReplyDeleteබොහොම ස්තුතියි දිල් අගය කිරීමට... ඔයත් මේ පොත් කට්ටලය කියෝපු කෙනෙක් වීම ඇත්තටම සතුටක්. ඒකෙන් ලැබෙන දැනුම කියලා නිම කරන්න බැරි තරම්. ඔක්කොම බැරිවුනත් එයින් කොටසක් හරි මේ බ්ලොග් ඉඩ තුල සටහන් කරන්න තමයි මගේ උත්සාහය !!!
රේඩියෝ ගැන නම් කියලා වැඩක් නෑ... ඉස්සර යන්තන් හරි හොඳට තිබුණු ලක්හඬ, වෙලඳ සේවයත් දැන් බල්ලටම ගිහින්... නෙත්, දෙරණ ටිකක් විතර හොඳයි. සත් හා රන්ගිරි සේවා දෙක විතරයි අහන් ඉන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. අපිට මේක නවත්තන්න බෑ දිල්. කරන්න පුළුවන් හරි දේ දැනගන්න කැමති කෙනෙක්ව දැනුවත් කරන එකයි. දැන් යන විදියට ලිඛිත සිංහලය කෙසේ වෙතත්, ව්‍යවහාර සිංහලය නම් වලපල්ලටම යාවි. දැන් ප්‍රවෘත්ති කියන්නෙත් කියවන භාෂාවෙන් වෙන් නොවැ... අඳෝමැයි !!!
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහස් වලට... බින්දි අක්කගේ අහලකින් තියන්න බැරි වුනත් හැකි හොඳින් මේ ලිපි පෙල පළ කරන්නම්... ඒ වගේම ඔයාගේ සුභපැතුමත් සතුටින් භාරගන්නවා... ජය !!!
@ මයියා
ගොඩක් ස්තුතියි සහෝ... ඇත්තෙන්ම මේ ලිපියට පාදක වුනේ ඉහත දැක්වූ පොත්පෙලේ පෙරවදන හා ආශ්‍රිත තොරතුරු තමයි. අනිවාර්යයෙන්ම මේ ලිපියට ප්‍රතිචාර අඩුයි තමා... ඒක ඉතින් මේක පළ කරන්න කලින්ම මම දැනන් උන්නා. මොකද මේ වගේ මාතෘකාවක් ගැන උනන්දු කට්ටිය අඩුයි. මේ ලැබිලා තියෙන ප්‍රතිචාර ටිකත් මට ඉහට උඩින්... මොකද තාමත් සිංහල භාෂාවට ආදරේ කරන අල්පයක් හරි ඉන්නවා කියලා පේන නිසා. අපේ ඕපදුප වගේම හරවත් දෙයකුත් බලන අයට දෙන්න ඕනෙ. නැත්නම් කියවලා බලලා අහක දාන පත්තර කොළයකයි, මේ බ්ලොග් එකකයි වෙනසක් නෑ. දිරිගැන්වීම් වලට ගොඩක් ස්තුතියි සහෝ... ඉක්මනින්ම තවත් ලිපියක් පළ කරන්නම්... ජයවේවා !!!
@ හිතුමතේ
පළමු පැමිණීමට සාදරයෙන් පිළිගන්නවා සහෝ...! ඒ වගේම දිරි ගැන්වීමට හා සුභපැතුමටත් ස්තුතියි !!! ඉදිරියේදීත් අපි හමුවේවි !
@ ලකී වික්‍රමසිංහ
ඇත්තෙන්ම කුමාරතුංගයන් නොඋන්නා නම් මේ වන විටත් සිංහලය මියෑදී බොහෝ කල් වනු ඇති. එතුමාට අප හැම දෙනාගේම ප්‍රණාමය හිමිවිය යුතුයි.
//ඔබ මට වඩා වසර දෙකකට හෝ තුනකට වඩා වැඩුමල් නැති හෙයින්...//
මට නම් දැන් වයස 27 කි. ඔබ මට වඩා වයසින් අඩු යැයි මට නම් නොසිතේ. හැකිනම් නිවැරදි කරන්න.
//කුමරතුඟුන් ගැන ලියන්නට සිතා සිට කියවන්නට කෙනෙකු නැති වේ යැයි ඒ අදහස අත්හල මට ඔබගේ ලිපිය කියාදුන්නේ හොඳ පාඩමකි.//
මටත් වඩා උනන්දුවකින් මේ ගැන සිතන ඔබ මට නම් ආඩම්බරයකි... තරුණයන් වශයෙන් අපේ මව් භාෂාවට දැන් සිටම යම් සේවයක් කළ හැකි නම් වඩා වැදගත් වන්නේ එයයි. අද නැති වුනත් හෙට හෝ එයින් ප්‍රයෝජනයක් අත්වෙනු ඇති. ඒ කැක්කුම ඔබටත් ඇති බැව් පෙනේ... බොහොම සන්තෝෂයි අඳුනා ගැනීම... ස්තුතියි සහෝ...
@ ලොකු පුතා
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ඇත්තෙන්ම මා ලඟ ස්කෑනර යන්ත්‍රයක් නෑ. නැත්නම් හිමින් සීරුවේ හෝ මේ පොත විද්‍යුත් මාදිලියට (e-book) හරවා දෙන්නට තිබුණා. ඒ තරම් වටිනා පොතක්. දැන් නම් සොයා ගන්නට තියෙනවාද දන්නෑ. මහන්සිවෙලා හොයාගෙන කියෙව්වත් පාඩුවක් නම් නෑ.
@ ඔබ නොදුටු ලොවක්
බොහොමත්ම ස්තුතියි ප්‍රතිචාරයට.
@ සයුරි
ගොඩක් ස්තුතියි සයුරි. ඇත්තටම ගත්තොත් අපි අපේ මව් භාෂාව හොඳටම දැනගන්න ඕනේ නේද ? ඒක නිසා නොදන්නා දේ දැන ගන්න එක හොඳයි නේ. අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන්න සුබස අඩිවිය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නිතර යෙදෙන වචන වල නිවැරදි අක්ෂර වින්‍යාසය සමගින් අපේ ස්වප්නා සහෝදරීත් හොඳ සේවයක් කරනවා. ඒ තැන් ඇසුරු කරලා බලන්න. මේ ලිපි පෙළ ද ඒ සඳහා උදව්වක් වේවි. ජයවේවා !!!
@ රාජ්
බොහොමත්ම ස්තුතියි සහෝ... ඔබටත් ජය !
@ කල්
සුභපැතුමට ස්තුතියි සහෝ... ඇත්තටම නොදැනුවත්වම හරි පනස් වැනි පෝස්ට් එකට මේ වගේ ලිපියක් පළ වුනු එක ගැන ඇත්තටම මට සතුටුයි. කේක් එක රසයි ඈ... බොහොම ස්තුතියි !!!
@ මධූ
ස්තුතියි, ස්තුතියි...! ආවට, කියෙව්වට,ප්‍රතිචාරයට සහ සුභපැතුමට හැම දේටම ස්තුතියි සහෝ !!!
@ Music Girl
පළමු පැමිණීම නේද ? සාදරයෙන් පිළිගන්නවා සහෝදරී. ඒ වගේම ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට. මේ වගේ මාතෘකා ගැන කථා කරනවා වගේම, ඒවා බලලා... ගුණදොස් කියන ඔයාලා වගේ හොඳ පාඨකයොත් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔන්න ඔයාගේ සුභ පැතුමත් සතුටින් භාරගත්තා. අපිත් තාම නවකයෝ තමා. ඔයාගේ බ්ලොග් එකේ පනස් වැනි ලිපියටත් මේ වගේම සුභපතන්න අපි එන්නම්... ජයවේවා !!!
පළමුවෙන්ම ඔයාගේ පනස්වෙනි පෝස්ටි එකට මගෙන් සුබපැතුමි. ඔයාගෙ මේ පෝස්ටි එක කියෙවිවාම ඇත්තෙන්ම මට දැනුනේ ලොකු සතුටක්. ඔය කියන ග්‍රන්ථය කොටස් වශයෙන් පළ කිරීමට හිතුවටත් ගොඩක් පින්. ඔයාගෙ අරමුණ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සමිබන්ධ ඊලග පෝස්ටි කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔබට ජය!
ReplyDeleteසිංහල භාෂාවට කුමරතුඟුවන් කළ මෙහෙය අති විශිෂ්ඨයි. ඒ වගේම ඒ ගැන තොරතුරු අපිට කිව්ව ඔයත් විශිෂ්ඨයි :)
ReplyDeleteඔහ් අද නොවැ ආයෙත් මේක දැක්කෙ. මගේ වයස අවුරුදු විසි හයයි. (මුල් කමෙන්ටුව කරන විට විසි පහකි. :) )
ReplyDeleteලිපිය නියමයි මචන්..
ReplyDelete