ලියන්න තව දේවල් ගොඩක් තිබුණත් මේ පෝස්ට් එක දාන්නම
කියලා හිතුනා. මොකද තවත් පරක්කු වුනොත් අමතක වෙලා යනවා... අනික කෑමක් වුනත් උණු
උණුවෙන් කන කොටනේ ගති ! පහුගිය සෙනසුරාදා / ඉරිදා දෙකේ වෙච්චි දේවල් ගැන පොඩි සති
අන්ත විමර්ශණයක් තමා මේ ලියවෙන්නේ. හුඟ කාලෙකට පස්සේ ෆුල් ෆන් එකේ ගෙවුනු weekend එකක්. ඒ නිසා ඉතින් මගේ පුද්ගලික දේවල් ගැන මේ
බ්ලොග් එකේ ඒ තරම් ලියැවිලා නැති නිසාත් මට හිතුනා වෙනසකටත් එක්ක පොඩි වල්පල්
පෝස්ට් එකක් දාන්න...
19, සෙනසුරාදා උදේ පටන් ගත්තේ එතරම් හොඳින්
නෙවෙයි. නෝනිත් එක්ක කොක්කක් දාගෙන උදේටත් නොකා ගෙදරින් පිටවුනේ. මගින් මුකුත්
කෑවෙත් නෑ... හැබැයි දෙයියනේ කියලා ඉවසන්න බැරි තරමේ බඩගින්නකුත් ආවේ නෑ. ඒවා ඉවසන්න
ඉස්සර කාලේ ග්‍රෑන්ඩ් ට්‍රේනින් දීලනේ තියෙන්නේ. ඔෆීසියට ගිහිල්ලා, වැඩ කටයුතු
කරලා, 1.00 ට ඕෆ් වුනා. සාමාන්‍යයෙන් නොයන තරම් වේගෙකින් යන්න පිටත් වුනා - මොකද
වැස්සක් පස්සෙන් එන නිසා. කොහොම වුනත්, වෙනදා වගේ, පාරේ යන කකුල් දෙකේ බූරුවන්ට
හිතෙන් බැන බැන මම පිළියන්දලට ආවා. මගේ යාළුවෙක්ගේ ෂොප් එක ලඟ බයික් එක පාක් කරලා,
ෂොප් එකට ගිහින් යාළුවා එක්කත් ටික වේලාවක් කයියක් දාලා, මම පටන් ගත්තා චාරිකාව...
මොකටද මේ ??? අද (19) මගේ one & only නංගිගේ උපන්දිනය... මට ලේ නෑයෙක්ට කියලා ඉන්නේ
ඒකි විතරයි. අදට එයාට 25 යි ! අයියා කලින්ම බැන්දා වුනාට නංගා තාම සිංගල්... මම
ඇවිද්දේ මොකටවත් නෙවෙයි. ඒකිගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහින්, මාස දෙක-තුනක්ම ෆුල්
අසරණ වෙලා හිටියේ... ඉතින් මම හිතන් උන්නේ උපන්දිනේට අළුතෙන් ෆෝන් එකක් අරගෙන දෙන්න. ඒකට තමා මේ සාප්පු සවාරිය. ෆෝන් එකක් කිව්වට මහ ලොකු ගාණක් මගේ අතේ තිබුණේ
නෑ. තිබුණ ගාණත් පරිපූරක ඇස්තමේන්තුවක් දාලා හදාගත්ත එකක්. පොඩ්ඩ මිස් වුනොත් ලබන
මාසේ අයවැය පරාදයි...! මොනවා වුනත් ඉතින් වතුරට වඩා ලේ ඝණකමයි නේ ! මගේ අවශ්‍යතා
පස්සට දාලා මම සල්ලි ටික හදාගත්තා අපේ එකීට ෆෝන් එකක් අරන් දෙන්න...
වටේම ඇවිද්දත් මගේ අතේ තිබුණු ගානට, හිතේ තිබුණු
ෆෝන් එක තිබුනේ නෑ. බඩු ඉවරයි ! එකෙක් කිව්වා සඳුදා එනවා කියලා... තව එකෙක් කියනවා
සතියකින් එනවා, දාහක් අඩු වෙලා කියලා... මේක ඉතින් අදම හදිස්සි හින්දා මම එක තැනම
දෙතුන් පාර ඇවිද ඇවිද ෆෝන් ෂොප් හෙව්වා. 19 දවල් 1 – 2 අතර පිළියන්දල ස්ටෑන්ඩ් එක
පැත්තේ උන්න එකෙක්ට පිස්සෙක් වගේ ටවුමේ කැරකුන මාව දකින්න තිබුණා. කොහොමින් හරි
වැඩේ අත් අරින්න ඔන්න මෙන්න තියෙද්දී තවත් ෂොප් එකක් දැකලා ඒකටත් ගියා. හරි !!!
එතනින් ෆෝන් එක ගත්තා. ආයෙත් යාළුවගේ ෂොප් එකට ගිහින් බෑග් එකයි, හෙල්මට් එකයි
අරගෙන, බයික් එකේ මම එන්න ආවා. මගදී නංගිට කෝල් කරලා කිව්වා මං එනවා කියලා. නංගා
ඉන්නේ ආච්චිලගේ ගෙදර නොවැ. එහෙට ගිහින් කෙල්ලගේ අතටම දුන්නා...
තෑග්ග දුන්නත් දැන් ගෑණිට වැඩේ මීටර් නෑ... පස්සේ
මම කිව්වා “සිම් එක දාලා බලපන්...“ කියලා. ඔන්න එතකොට තමයි බෑග් එකට අතදාලා බොක්ස්
එක අතට අරන් “ආ...නේ..... ෆෝන් එකක්....!!!“ කියලා උදාන වාක්‍ය කියන්න ගත්තේ. තෑග්ගක්
අරන් දුන්නම - ඒක ලබන කෙනා ඒ තෑග්ග ගැන සතුටු වෙන කොට - ඒක දීපු කෙනාට කොච්චර
සතුටු ද ? ඒ සතුට මමත් වින්දා... ඒ වගේම නංගිගේ ඇස් දෙකෙනුත් ඒ සතුට ගලාගෙන යනවා
මට පෙනුනා... ඉතින්, සතුටු නැද්ද අප්පා !
ෆෝන් එක එයත් එක්ක ඔබ ඔබ ඉඳලා මම ගෙදර එන්න එනකොට
3 ත් පහුවෙලා. මෙහෙන් කෙහෙල් ගෙඩියක් කෑවා විතරයි, තාම උදේ ඉඳන් කෑමක් කාලා නෑ.
ආපහු ගෙදර ආවත් නෝනි අවුල් නිසා කෑම කෑවේ නෑ. කොහොමින් හරි හවස වැස්ස පායනකල් ඉඳලා
නෝනිවත් ඇදගෙන ආයෙත් ආච්චිලගේ ගෙදර ආවා. වෙලාවටම ගියේ... අපේ නගා කේක් කපනවා.
එයාගේ අහල පහල යාළුවෝ ටිකත් එක්කම. කට්ටිය එක්ක කේක් කාලා උයන්න ගත්තා. 7 ට උයන්න
ගත්තේ කෙල්ලෝ 5-6 ක් උන්නත් උයලා ඉවරවෙද්දී 9 ත් පහුවෙලා. සෝයා ඩෙවල් හදලා,
පරිප්පු හොද්දක් හදලා, පපඩම් බැදලා, කතුරුමුරුංගා කොල බැදලා, එළවළු බතක් ඉව්වා...!
මම පපඩම් බැදලා දුන්නා. කට්ටිය එක්ක රටේ නැති බයිලා කිය කිය හිටියා... අන්තිමේදී
උයලා කනකොට 9.30 යි...! දවසටම කෑවේ නැති නිසා අපි දෙන්නා හොඳට කෑවා. නෝනිටත් සනීප
නැති නිසා අපි දෙන්නා කාපු ගමන් ආවා... මොනවා වුනත් අද අපේ එකීට නම් හෙන සතුටුයි.
ඒකම මදැයි...!!!
-----------------------------------------------------
ඉරිදා (20) උදේ වරුවම වහිනවා. නිවාඩු දවස නිසා
පොඩි නින්දක් දැම්මා. සයිබරේට පනින්න විදියක් නෑ අකුණු ගහන නිසා... ගිටාර් එක තල
තල උන්නා. කොහොමින් හරි වැස්ස ඩිංගක් අඩු කලාම මමයි නෝනියි ආයෙත් බයික් සවාරියක්
ඇරඹුවා. මුලින්ම ගියේ නෝනිගේ පොඩි පුංචිගේ ගෙදර. එයාට අළුතෙන් චූටි දුවෙක්
ලැබුනනේ... දූ පැටියා බලන්න ගියා. ඊට පස්සේ ඉතින් නෝනි ටකේ ගහන්න ගත්තා අධිවේගෙ
(highway) බලන්න
යං කියලා ! හ්ම්... මහ දුරකුත් නෑනේ... කිලෝමීටර් 4 ක් ඇති වැඩිම වුනොත්... 20
වැනිදා වෙනකල් මහජනයාට විවෘතයි කියපු නිසා අපිටත් ඔළුව දාලා බලන්න හිතුනා. ඉතින්
අපි ගියේ ගුවන් පාලමක් ලඟට... එතන ඉඳන් බලද්දී පාර පුරා සෙනඟ... වාහන...
මොකද කරන්නේ ? වටපිට බලනකොට මෙන්න හයිවේ එකේ
සීමාවේ ගහලා තියෙන දැල් වැටේ තියෙන පොඩි කුරුබිලි දොරක් ඇරල - සෙනඟ එතනින් යනවා.
මමයි නෝනියි බයික් එකත් පැත්තක පාක් කොරලා ගියා ඇතුලට... පස්සේ හිතුනා ගෙදර අයත්
එක්ක එන්න ඕනේ කියලා... කෝල් එකකුත් දීලා, කට්ටියට පෙන්නන්නම ඕනේ කියලා නෝනි කියපු
නිසා අපි දෙන්නා කට්ටියව ඇදන් එන්න ආයෙත් ගෙදර ආවා. ගෙදර ත්‍රීවිල් එකට
කට්ටිය දාගෙන බාප්පා ඒක අරන් ආවා. මමයි නෝනියි බයික් එකේ ආවා. දැන් මාර ප්‍රශ්නේ.
හයිවේ එකට දාන්න කහතුඩුව හරි, ගැලනිගම හරි එන්ට්‍රන්ස් වලින් දාන්න එපායෑ... අපිට
ලඟ කහතුඩුව ! බාප්පට ලයිසන් නැති නිසා ඔහේ ගිහින් චාටර් කන්න වෙයි කියලා අපිත් හිත
හදාගෙන - අර කලින් කියපු ගුවන් පාලම උඩ ඉඳන් වත් බලලා සැනහෙන්න හිතාගෙන ආපහු එතනටම
ගියා. වාහන දෙකම පාක් කරලා අර කුරුබිලියෙන් ඇතුලට පැනලා ප්‍රපාතේ මායිමෙන් තිබුණු
වතුර කානුවක් දිගේ බැහැගෙන අපි පහල තියෙන හයිවේ එකට සේන්දු වුනා...
අනේ අප්පේ... අපේ මහජනයාටත් හරිම හැපි !!! තැනක
කෙල්ලෝ සෙට් එකක් කනුවක් කනුවක් ගානේ බදාගෙන ෆොටෝ ගහනවා. පොඩි උන් නම් කොහෙන් හරි
බයිසිකල් කටුවක් හොයාගෙන දෙන්නා දෙන්නා ඩබල් දාලා පාගනවා. මොකෝ කඳු තියෙනවා
කියලැයි !!! රටේ නැති තරම් වාහන ඔක්කොම මේකෙ නොවැ. නාකි ආතලත් පුෂ් සයිකලේ පාග පාග
හයිවේ අරුමය විඳිනවා. පයින්ම යන උදවියත් නොසෑහෙන්න. ඇත්තටම මුළු හයිවේ එකම
සැනකෙලියක් වෙලා !!!
මමයි, බාප්පයි - නෝනියි, ලොකු නංගියි පහලට බැස්සට
අම්මා නම් කානුව දිගේ බහින්න අදිමදි කලා. ඒ අස්සේ බාප්පා ගුවන් පාලම වටේ කැරකෙනවා
වීල් එක රිංගවා ගන්න තැනක් තියේද කියලා බලන්න. කොහේද ඉඩ ? වටේටම දැල් ගහලා කවර්
කරලා තියෙන්නේ. කොහොම වුනත් අපේ වාසනාවට පාරක් තිබුණා. එතනත් දැල් ගේට්ටුවක්
තිබුණත් ඒක ඇරලා දාලා තිබුණේ. අපි වහාම උඩට ගොඩවෙලා, රථවලට ගොඩවෙලා තව කිලෝ මීටර්
2 ක විතර වටෙන් රවුමක් ගහලා හයිවේ එකට වාහන දෙක දාගත්තා. ඒ අපි ගිය තැන සාමාන්‍ය
පාර ගුවන් පාලම උඩින්... ඊට යටින් හයිවේ එක... ඊට ටිකක් එහායින් හයිවේ එකටත් යටින්
බිංගෙයක් දාලා තමයි අපි ආපු පාර තිබුනේ... මාරයි නේද ? ලෙවල් තුනක පාරවල්
තුනක්...!
ඉතින් වෙනිවැල්කොල කියන ඉසව්වෙන් හයිවේ එකට
පිවිසුනු අපේ නඩේ දැන් හිනා කටවල් පුරෝගෙන ආතල් එකේ ගැලනිගම දිහාට පදෝනවා... අද
ඉතින් ෆ්‍රීවේ නේ ! එකපැත්තට තියෙන ලේන් දෙකේ අද දෙපැත්තටම වාහන යනවා ! කොහොම
වුවත් දැනෙන්නේ නැති වේගෙන් 40-50 ට විතර අපි ඇරලා තියලා ගියා. තදියම් කාරයෝ... පඩ
ෂෝ කාරයෝ එමටයි. අම්මපා මුන්ට නම් තියෙන උණ හයිවේ දහයක් හැදුවත් ඇරෙන එකක් නම්
නෑ...
හයිවේ එක හදන කාලේ, මීට අවුරුදු දෙකකට විතර කලින්
හයිවේ එක දිහා බලාගෙන ඒක පැත්තකින් පාරේ ගිය හැටි මට මතක් වුනා. සමහර තැන් වල
ජීවිතේ මතක සටහන් තිබුණු තැනුත් තිබුණා. නෝනියි මායි ෆුල් ආතල් එකේ නිදහසේ රයිඩ්
එක දාගෙන ගැලනිගම පිවිසුම ලඟටම ආවා. එතනින් එහාට ගාල්ල පැත්තට යන්න දෙන්නෑලු. මාර
සෙනඟක් එතන හිටියේ. අපිත් එතන නවත්තලා පොඩ්ඩක් ඇවිදලා ආවා. මම ඒ ඉසව්වේ දී ෆොටෝ
හතර පහකුත් ගත්තා... ලඟ තිබුනු ෆෝන් කටුවෙන්...
ත්‍රීවිලර් යන්නේ හිමින් නෙවෙයි... |
ඔය අපේ වීල් එක... පේනවා නේද සැනකෙලි සිරි !!! |
දන්න විදියට තේරුම කියන්නම්... L = වම් තීරුව, E01 මාර්ගයේ නම, කොට්ටාවේ සිට 14 වැනි කිලෝමීටරය |
ඈ...තින් පේන්නේ ගැලනිගම පිවිසුම... |
මේක ගත්තේ පාර මැද්දේ ඉඳලා... යන-එක ලේන්ස් වෙන්වෙන්නේ මේ යකඩ වැටෙන්... |
ගැලනිගම exit එක දකුණෙන්... ඈතින් යන්නේ අපේ සෙට් එක... |
මගේ වටෙන්ම වාහන... ලස්සනයි නේ !!! |
කොල්ලෝ බයික් වල විදලා ඇවිත් එක තැන බ්‍රේක් කරලා
වීල් කරනවා. එක විකාරයයි. උන් ඔය කෝලම් සෙනඟ නැති හරියක කලා නම් කමක් නෑ. මෙතන
සෙනඟ ගොඩයි. නිකං හරි මිස් එකක් වුනොත් අනිවා දෙතුන් දෙනෙක් යට වෙනවා... ආරංචි
වුනු හැටියට මෝටර් සයිකල් කාරයෙක් නම් වලටම ගිහින‍් ලු...! බෙල්ල තිබුනේ වැටේ ලු...!
මම දැක්කේ නම් නෑ, කටකථා තමයි. කොහොම
වුනත් ඒ මහජන දින වලදී නම් හොඳ හොඳ අනතුරු ටිකක් වෙලා තිබුණා....
හයිවේ එකේ තත්ත්වේ නම් හොඳයි... ඇමරිකාව හා බටහිර
රටවල් වල අධිවේගී මාර්ග එක්ක අපේ දක්ෂිණ අධිවේගී මාර්ගය සමකරන්න බෑ තමයි. ඒ
වුනාට මේක අපේ පළමු අධිවේගී අත්දැකීම නිසා මට නම් ඒ මතකය ගොඩක් වටිනවා. මේක
කෙරෙන්න තිබුනේ මීට අවුරුදු 15 කටත් කලින්. කොහෙද ඉතින් ? මට මතකයි ඉස්සර ඕකට ඉඩම්
ගන්නවට කහතුඩුව පැත්තේ තිබුණු උද්ඝෝෂණ ! පරක්කු වෙලා හරි අපේ රටටත් හයිවේ එකක්
තියෙන එක ගැන නම් සතුටුයි. ඒ වගේම කවුරු කලත් සාමාන්‍ය ජනතාවටත් පාරට බැහැලා මේ
අධිවේගී අත්දැකීම විඳගන්න දුන්න එකත් ගොඩක් හොඳ දෙයක්. නැත්නම් ඉතින් ඔය වට
පිටේ ඇත්තෝ හයිවේ එකේ ඉගිල්ලෙන වාහන දිහා බල බලා හූල්ල හූල්ල ඉඳීවි. දැන් ඉතින්
පාරට බැහැලා, කාපට් එක පාගලා ආවා කියලාවත් කියන්න පුළුවන් නොවැ... මිනිස්සුන්ගේ
මූණුවල තියෙන සතුට දැක්කම ඒක පේනවා... ඒකම ලොකු දෙයක් නේ !
අපි පැයක් විතර ඉඳලා ආපහු ආපු විදියටම ගෙදර ආවා. ඒ
එන ගමන් මම ආසාවටත් එක්ක බයික් එක ටිකක් රේස් කරන් ආවා. නෝනිවත් දාගෙන ආපු නිසා 60
ට වඩා ස්පීඩ් කරන්න බැරි වුනා. බයික් එක දෙදරන්න ගත්තා. 100cc නොවැ... ඒ තමයි බයික් එක ගත්තු අවුරුදු දෙකටම මම
ගිය උපරිම වේගේ. ඒත් මදෑ... කිලෝමීටර් දෙකක් විතරම ඒ වේගෙන් ඇදලා ආවා. අපි
කිලෝමීටර 6 ක් විතර හයිවේ එකේ ඈතට ගිහින් තිබුණා. තව ටිකක් ඇවිදින්න ආසාව තිබුණත්
රෑ වුනාම අනතුර වැඩි නිසා අපි ගෙදර ආවා. එන ගමන් නෝනියි මායි වැල්මිල්ලට ආවා.
නෝනිට ඕනෙමයි කිව් නිසා හන්දියේ කඩේකින් ආප්පත් කාලා අපි ආයෙත් හරෝගෙන ගෙදර ආවා.
ඔන්න ඔහොමයි වුනේ...
ඉතින් 19 / 20 සතිඅන්තය ඔය විදියට හොඳ මතකයන්
ඉතිරි කරලා ගෙවිලා ගියා... දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ කොටලා තියන්නේ තව
අවුරුදු 10 කින් පස්සේ වුනත් ඒ මතකය අළුත් කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් මේ
පෝස්ට් එක මෙලෝ රහක් නැති, ගන්න හරයක් නැති එකක් වුනා නම් සමාවෙන්න. හැමදාමත් හර-බර
කථා පළ කරන එකේ වෙනසකුත් ඕනෙ නිසායි පොඩි වෙනසක් කලේ. ඉතින් ඊලඟ පෝස්ට් එකේ ඉඳන්
සුපුරුදු කථා සමග එකතුවෙමු... ජයවේවා...!!!
ප/ලි - පහුගිය පෝස්ට් එකෙන් කියපු වේදිකා නාට්‍යය
ගැනත් මෙතනින් නරඹලාම යන්න. ස්තුතියි.
හිහී පොඩිපහේ වලියකුත් දාගෙන වගේ...
ReplyDeleteඕපන් කළාම ගාල්ලටම ගිහින් ඇවිත් තව පොස්ට් එකක් දාමු.
ආ.. තව නංගිටත් හැපී බර්ත්ඩේ වේවා!
හැමදාම කියවලා ගියාට කොමෙන්ට් එකක් නම් දාන්න බැරිවුනා
ReplyDeleteගොඩක් දවසකට පස්සෙ මෙතන කොමෙන්ට් එකක් දාන්නෙ මේක ඔය කියන විදියෙ මෙලෝ රහක් නැති පොස්ට් එකක් නම් නෙවෙයි කියන්නයි.ලස්සන මතක සටහනක් වෙයි.
@ පැණි(නුවන්):
ReplyDeleteඔව් සහෝ... සුහද වලි... හි හී !!!
ගාල්ලට යන්න බයික් එකේ බෑනේ බං. රෝද හතරක් ගන්න වෙනවා. බලමුකෝ... නංගී වෙනුවෙන් සුභ පැතුමට මං තැන්කූ කියන්නම්කෝ... ආයෙත් හමුවෙමු... ජයවේවා !
@ ලකී :
අනේ, මම කොමෙන්ට් නොකලා කියලා මුකුත් කියන්නෑ නොවැ. ඒක ඔබතුමාලගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොවැ. බැලුවත් ඉතින් ඇති නොවැ. ඒ බව නොකිව්වට !
මම මෙලෝ රහක් නැහැයි කිව්වේ ඉතින් සමහර අය මේ ජාතියේ පෝස්ට් වලට කැමති නැති නිසා. අනික ඉතින් ගොඩක් අය හිතන් ඉන්නේ මේ බ්ලොගේ ටෙක්නිකල් බ්ලොගයක් කියලනේ. ඒකයි එහෙම දැම්මේ... අනිවා... හොඳ මතක සටහනක් තමයි... ස්තුතියි ප්‍රතිචාරයට...
නෝනිත් එක්ක ගෝරි දා ගත්තනම් බඩගින්නෙ හිටියට කමක් නෑ...අපේ මොකෝ...හික්ස්....
ReplyDeleteනංගිට ඉතින් දවසක් දෙකක් පරක්කුවෙලානේ සුන පතන්න උනේ....එයාගේ ජීවිතය වාසනාවන්ත වේවා ! අයිය කෙනෙක් තෑග්ගක් අරන් දුන්නම ඒක හුඟාක් වටිනවා...මොකද බැඳිම්ම් එක්ක මිශ්‍ර උන ආදරය එක්කනෙ දෙන්නේ....එහෙම නේද චතුවො.....
@ දිල් :
ReplyDeleteබොලාටත් ගෝරිය විතරමයි පේන්නේ නේද ? සික් විතරක් !!!
ආහ්... දවස් දෙකක් පරක්කු වුනාට මොකෝ එයා සුභ පැතුම් නම් භාරගනියි දිලෝ... අර අන්තිම ටික නම් එහෙමම තමා. ස්තුතියි ප්‍රතිචාරයට දිලෝ !!!
හප්පේ වලි දාගත්තම තමයි වැඩියෙන්ම කන්න ඕනේ...ලබන පාර එහෙම කරන්ට...පාරේ විස්තරේනං අගෙයි...ආයිත් අප්‍රේල් වල තමා ලංකාවට ගොඩ බහින්නේ ..යන්න ඕනේ බලන්න....
ReplyDeleteඋඹේ නංගිට උපන්දින සුභ පැතුම් ! ...... හයිවේ ??? අනේ මන්ද , කොහොම උනත් මම නම් මනාපයි හයිවේ වලට . නුවර කොලඹත් හයිවේ එකකින් යාවෙනව නම් හොඳයි , රටේ සංවර්ධන ප්‍රමුඛතාවයන් අනුව හයිවේ වලට වඩා වටින්නෙ අනික් මාර්ග වැඩි දියුණු කිරීමය කියල කියන අයත් ඉන්නව , කොහොම උනත් ඔය මිනිස්සුන්ට බලන්න දෙන්නෙ නම් ශෝ එකට , හම්බන්තොට ස්විමින් පූල් එක බලන්න්ත ලක්ෂ ගානක් ගියානේ
ReplyDeleteඅනේ මේක කියෙව්වම පුදුම සතුටක් දැනුනේ...මගේ රට නේද කියලා හිතුනා...මිනිස්සුන්ගේ මූණු වල තිබුනා කිව්ව සතුට මැවිලා පෙනුණා මට...
ReplyDeleteමචො පොඩි වලියක් ඉඳහිට තියෙන කොට තමා ජිවිතේ රසවත් බං...පොඩියට උනත් හොඳ සංචාරයක් ලොක්කා...අර නංග ගැන ලියල තිබ්බ එකනම් මගෙත් හිත් පොඩ්ඩ සෙලෙවුවා..මොකැ මටත් ඉතින් නංගෙක් නොවැ ඉන්නේ..
ReplyDeleteචතුඅයියෙ අරක සිරා වාක්‍යය බං "වතුරට වඩා ලේ ඝණකමයි නේ ! "
ReplyDeleteනියම පොස්ට් එකක් . බලාගෙන ගියහම පිරිමි හැමෝටම ගැනුන්ගේ කටවල් ටක වගේද පෙන්නේ . හොඳ වැඩේ තව වේලක් බඩගින්නේ තියන්න වටින්නේ . D ...නංගිට සුබ උපන් දිනක් කිව්වා කියන්න . හයි වේ එක ලස්සනයි . යන්න ඕන බලන්න දෙසැම්බරේ. අපි ඔය අහල පහල තමයි. හයි වේ එක හොඳයි . ඕකේ එලවන්න විනය තියෙනවා නම් වඩා හොඳයි .
ReplyDeleteමේ දවස්වල ටීවි එක පිරෙන්නම හයිවේ එකෙන් යන්න කියලා දෙන එක එක ඇඩ් ගොඩක් !!!
ReplyDeleteඅම්මෝ මට නම් එවුවා කට පාඩම්.
@ ඔබ නොදුටු ලොවක් :
ReplyDeleteවලි දාගත්තම වෙනදට නම් තනියෙන් කනවා. ඒත් ඉතින් එකෙක් නොකා ඉද්දි කන්නේ කෝමැයි ? බලමු, ලබන පාර වත් !!!
ලංකාවේ නෙවේද ඉන්නේ. දන්නේ අද නොවැ. කොහොම වුනත් ඉතින් රට රටවල් වල හයිවේ තරම් අපේ එක සුපර් නෑ. නැතිවම ඉන්නවට වඩා එකක් හරි තියෙනවා නොවැ. හැබැයි ඉතින් කිසි වදයක් නෑ, බබා වගේ ගියෑකි. ස්තුතියි ප්‍රතිචාරයට !
@ බුවා :
ආහ්... සෑහෙන කාලෙකින්... සුභ පැතුමට ස්තුතියි !
බුවාගේ කථාවේ මුල් ටික හරි, හයිවේ වලට වඩා අනෙක් පාරවල් වැදගත් කියන අයත් ඉන්නවා. ඔය අහ කොහොමදැයි දන්නෑ. මෙහේ කොළඹ නම් අඩි 8 පාරත් කාපට් කරලා / කරගෙන යනවා. අපේ ගෙවල් අහල පහල 120 ප්‍රධාන පාර විතරයි තාම හදලා නැත්තේ. ඒක ලොකු කරලා හදයි හයිලෙවල් ප්‍රොජෙක්ට් එකෙන් පස්සේ. මම නම් කියන්නේ හයිවේ හා නිකන් වේ දෙකම හැදෙන්න ඕනේ. ලංකාවේ පාරවල් අන්තිම සවුත්තුයි නොවැ !!!
හයිවේ එක බලන්න දුන්න එක පඩ ෂෝ එකක් වෙන්නත් ඇති. හැබැයි රෝද හතරක් නැති කාර්/වෑන් නැති බහුතරයක් දෙනාට එකපාරක් හරි පාරට බැහැලා කාපට් එක පාගන්න හරි අවස්ථාවක් ලැබුනු එක ගැන මං සතුටු වෙනවා. ඒ සතුට මිනිස්සුන්ගේ ඇස් වලින්, මූණු වලින් මම දැක්කා. ඔය වගේ අවස්ථාවක් ලැබුනේ නැත්නම් හයිවේ එක දෙපැත්තේ මිනිස්සු පහල පාරේ පිඹගෙන යන කාර් / වෑන් / සැප වාහන දිහා බල බල හූල්ල හූල්ල ඉඳියි.
@ සයුරි :
ස්තුතියි සයුරි. මට දේශානුරාගයක් නම් ආවේ නෑ. හැබැයි සතුටක් නම් දැනුනා. ඒ අවුරුදු ගානක් ඇදලා ඇදලා පස්ස ගහලා රටට වුවමනාම එක ප්‍රොජෙක්ට් එකක් ඉවර වුනු නිසා. මිනිස්සුන්ගේ සතුට දිහා බලලා නම් ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන්. ඒකත් මදෑ නේද ?
@ රාජ් :
වලි ගැන කථාවට මමත් +1. හ්ම්... ඕක නොගියනම් මං තාම දුක් වෙයි. ඒ නිසා ඒ ට්‍රිප් එක ගැන නම් ගොඩක් සතුටුයි. නංගි කෙනෙක් ඉන්න අයිය කෙනෙක්ටම තමා ඔය කියපුවා හොඳට වදින්නේ. ඒ බැඳීම අමුතුම එකක් සහෝ... කට කෑවත් මං වෙනුවෙන් කථා කරන, අනෙක් අයගෙන් බැනුම් අහගෙන හරි මගේ පැත්ත ගන්න එළකිරි නංගියෙක් තමා මට ඉන්නේ... ! ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !
@ පසන් :
හ්ම්.. හ්ම්... ඕක පරණ කියමනක් නේ බං !!!
@ බින්දි අක්කා:
අක්කා මාසෙකට විතර පස්සේ නේද ? ඔන්න දැන් ඉතින් මට කියන්න වෙනවා අක්කගේ කටත් ටකේ කියලා හොඳේ... !!! :P :P :P
උපන්දින සුභ පැතුමට ස්තුතියි අක්කෙ ! දෙසැම්බරේ ආවොත් අපිවත් බලන්න එන්ටකෝ... අහල පහල කිව්වේ අක්කලත් හයිවේ එක කිට්ටුව ද ?
අක්කා අන්තිමට කියපු එක මං මෙහෙම කියන්නම්.
[හයිවේ එක හොඳයි... විනය තියේ නම් හොඳාාාායි...!!!]
ස්තුතියි අක්කේ ප්‍රතිචාරය !
@ මධූ :
අපිටත් එහෙම තමා... අපේ බූරු හරක්ට ඕක කොටලා පෙව්වත් වැඩක් නෑ බං. හැබැයි ඔහොම හරි කොරන එක හොඳා... නැත්නම් මුකුත්ම නෑ නොවැ. ඕපන් කරලා සතියෙන් වහන්න වෙයි පාරේ මස් කෑලියි, ලේ පැල්ලනුයි හෝදන්න !!!
හපොයි ඇයි බං වලි දාගෙන නොකා ඉන්නෙ. මං නං ගෙදරිං නොකෑවත් කඩෙං හරි පැලෙන්න කනව. ආයෙම ගෙදර ඇවිල්ල නොකෑව ගානට ඉන්නව. ඉතිං අපේ උන්දැට මගෙ පුරුස සත්තිය ගැන පුදුමයි. හෙහ් හෙහ් .....
ReplyDeleteහයිවේ එකේ ගමන නම් හොඳ අද්දැකීමක් වෙන්න ඇති. තව කාලයක් ගිහිල්ල මතක් කරනකොට නියමෙට තියෙයි
අපේ ගෙදර නම් මොන වලි ගියත් ඉතින් ගෙදර බත තමයි. කන්න මේසෙට වාඩිවෙලා බුකවගෙන ඉන්නකොට මොකාටද බලන් ඉන්න පුළුවන්. ඕන්නොහේ බෙදල දෙනවා.
ReplyDeleteනංගිට "හැපී බර්ත් ඩෙ"
ReplyDeleteආශ්චර්ය ආශ්චර්ය ආසියාවේ ආශ්චර්ය :))
ReplyDeleteහ්ම්ම් මරු මරු.. නංගිට සුභ උපන්දිනයක් ,..
ReplyDeleteඔන්න බ්ලොග් අවකාශයේදී අසල්වැසියෙක් හම්බුනා.. කොහෙද අයියා ගෙවල්. මමත් කහතුඩුව ආසන්නයේ තමා.
ReplyDelete@ ලහිරු : සහෝ, මම ඉන්නේ පාලගම... කහතුඩුවේ කොහෙද ? දියකඩ පැත්තෙද ?
ReplyDelete