Monday, February 14, 2011

FB කළු ද ? සුදු ද ?


FB කියන්නේ Facebook කියලා සයිබර් අවකාශයේ සැරිසරන හැමෝම ගේ දන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි ‍Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත් එහෙනම් මොකක්ද මේ කළු ද සුදු ද කියලා අහන්නේ.



Facebook වෙබ් අඩවිය යනු අන්තර්ජාල ඉතිහ‍ාසය තුළ වැඩිම ග්‍රාහකයන් පිරිසක් ඇති, එමෙන්ම දිනකට වැඩිම පිරිසක් නිතර යන එන ලෝකයේ ඇති දැවැන්තම වෙබ් අඩවියකි. මිලියන 550 ක් ඉක්මවූ ග්‍රාහක පිරිසක් ඇති එය අන්තර්ජාලය තුළ ආධිපත්‍යය පතුරවා ඇති දැවැන්ත අධිරාජ්‍යයකි. ජනගහනය සමග සසඳා බැලුවහොත් ලොව ජනගහනය අතින් තෙවැනි විශ‍ාලතම රාජ්‍යය බවට ‍Facebook පත්වනු ඇත. ලෝක සංස්කෘතියට, සදාචාරයට දැවැන්ත බලපෑමක් කළ හැකි මෙන්ම කර ඇති, කරමින් පවතින ‍Facebook මගින් ඇති කර ඇති සමාජයීය බලපෑම පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

Facebook යන්න වෙනම සංස්කෘතියක් දක්වා අද වන විට වර්ධනය වී තිබේ. මෙම වෙබ් සේවාවේ මූලික පරමාර්ථය වූයේ මිතුරන් අතර තොරතුරු සංසරණයට වේදිකාවක් සකස් කර දීමයි. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ප්‍රචලිත වූ ‍Facebook වෙබ් අඩවිය ලෝකය පුරා පැතිරයාමට වැඩි කලක් ගතවූයේ නැත. පරමාර්ථය අතින් ගත්කළ එහි මූලික අභිප්‍රාය ‍Facebook විසින් මේ වන විට ඉටුකර ගෙන හමාරයි. ලොව පුරා වෙසෙන මිලියන 550 ක් ඉක්මවූ එහි සාමාජිකයන් ගණන ඊට ඇති හොඳම සාක්ෂියයි. පරිශීලක නාමය (username) හා මුරපදය (password) සපයා ‍Facebook වෙත ඇතුළු වූ පසු මේ මිලියන 550 දෙනා කුමක් කරන්නේද ? මෙය කියවන ඔබ දැනටමත් ‍Facebook සාමාජිකයෙක් නම් කරන්නේ කුමක් දැයි ඔබ දැනටමත් දන්නවා ඇති. ඇත්තටම බැලුවොත් ‍මේ මවා පෙන්වන තරම් දෙයක් Facebook තුල තිබේ ද ? පිළිතුර නැත යන්නයි.

මේක හරි වැඩක් නේ. ‍Facebook වගේ අහිංසක, වැදගත් වෙබ් අඩවියකට  මේ වගේ කථා කරන්නේ මොකද ? තරහ ගියාද...  තරහ ගන්න එපා. මෙහෙම කියන්නේ හේතු සාධක ඇතිවයි. අන්තර්ජාලය පිළිබඳ සමීක්ෂණ කරන පර්යේෂකයන් පිරිසක් මෑතකදී එළි දැක්වූ වාර්තාවකින් කියවුනේ ‍Facebook යන්න මේ වනවිට උන්මාදයක්, ඇබ්බැහියක් දක්නා ඔඩු දුවා ඇති බවයි. ඇත්තටම බැලුවොත් ඇයි අපි ‍Facebook යන්නේ ? සමහර අය කියයි “chat කරන්න. කියලා. තව සමහරු කියයි යාළුවෝ අඳුන ගන්න කියලා. තව සමහර අය නම් ‍Facebook පාවිච්චි කරන්නේ වෙන හොඳ හොඳ වැඩ වලට. chat කරන්න තියෙන්නේ ‍Facebook විතරමද ? එතකොට Skype, Google හා අනෙකුත් messenger සේවා හරහා chat කරන්න බැරි ඇයි ? මේ සේවාවන් වලට වඩා ‍Facebook වල තියෙන විශේෂත්වය මොකක්ද ? ඊළඟට බැ‍ලුවොත් සමාජජාල වෙබ් සේවාවකට තියෙන්නේ ‍Facebook විතරමද ? එහෙනම් ඇයි අනෙක් හැම සේවාවකටම, වෙබ් අඩවියකටම වඩා ‍Facebook ජනප්‍රිය වුනේ... මේ ප්‍රශ්ණ ටිකට පිළිතුරු හොයා ගන්නම වෙනවා.

Facebook වෙත log වූ පසු ‍Facebook සාමාජිකයෙක් වැඩිපුරම කරන්නේ මොකක් ද ? බලා හිඳීමයි... ‍Facebook වෙත log වී පැයක් දෙකක් සමහර විට පැය පහක් හයක් ගතකරන කාලයෙන් වැඩි හරියක්ම කරන්නේ බලන් ඉඳීමයි. තේරෙන සිංහලෙන් කිව්වොත් කාලය කා දැමීමයි. ඉතින් මෙහෙම කාලෙ කන්න ‍Facebook යන්නම ඕනෙද. අන්තර්ජාලය පුරා තවත් ඕනෑ තරම් වෙබ් අඩවි ඒ සඳහා තිබේ. හොඳ වැඩක‍ට යොදා ගන්නේ නම් මේ කා දමන කාලය අධ්‍යාපනික හෝ නවතම පුවත්, තොරතුරු සොයා බැලීමට යොදා ගත හැකියි නේද ? හොඳ වැඩක්  බැරිනම් ඕපදූප ටිකක් හොයාගන්න හරි අසභ්‍ය වෙබ් අඩවියක හරි ගත කරන්න පුළුවන් (මේ කියන්නේ කරන්න කියලා නෙමෙයි.)  අඩුගානේ කරපු වැඩක් වත් තියෙනවානේ කියන්න. ‍Facebook වලට log වෙලා තිරේ දිහා බලන් ඉන්නවට වඩා එහෙමවත් වැඩක් කරන එක හොඳයි.

ඉතින් මෙහෙම කාලකන්නි වෙන්න අපේ කට්ටිය ඇයි උඩ පැන ගෙන ‍Facebook යන්නේ. මේකට හේතුව තමයි ‍Facebook කියන එක උන්මාදයක් බවට පත් වී තිබීම. එහෙම නැත්නම් උන්මාදයක් බවට පත්කර තිබීම. ලෝකයේ ඇති අනෙකුත් සමාජජාල වෙබ් සේවා එක්ක බලනකොට Facebook උන්මාදයක් වුනේ ඇයි කියන එක මට නම් ප්‍රශ්ණයක්. Facebook ජනප්‍රිය කරගන්න මාක් ෂුකර්බර්ග් හොඳ ප්‍රචාරණයක් කරලා ඇති. යන්තම් පරිගණකය අතපත ගාපු හැම කෙනෙක්ටම Facebook Account එකක් හදාගන්න උවමනා වෙන තරමට මේ උන්මාදය දුර ගිහින්. Facebook ගැන, අන්තර්ජාලය ගැන හෝ පරිගණක තාක්ෂණය ගැන පවා කිසිම දැනුමක් නැති අයෙක් වුවත් ආකර්ශණය කරගන්නට තරම්  Facebook උන්මාදය දරුණු වී තිබීම පුදුමයට කරුණක්. ඇත්තටම මෙච්චර දඟලන්නේ පරිගණක තිරය දිහා බලාගෙන යාළුවො සෙට් වෙනකල් ඉන්න නම් මේ ඇත්තටම පිස්සුවක් නෙමේ ද ?

Facebook වල මූලික සංකල්පය මිතුරන් අතර සම්බන්ධතා ගොඩ නැංවීම නම් ලංකාවේ අපිට  Facebook ඕනෙම ද ? දවල් වරුව පුරාම කථා බහ කරලා, ආශ්‍රය කරන හිත මිතුරන් රෑට Facebook එකෙනුත් හම්බවෙන්න ඕනෙ ද ?  බටහිර රටවල සමාජ ආශ්‍රයෙන් තොරව එකතැනම කොටුවී සිටින සමාජ රාමුව තුල Facebook සංකල්පය යථාර්තයක් වූවත් අපේ ලාංකික සමාජය තුළට Facebook යනු ආගන්තුක සංකල්පයකි. අපේ ජන සමාජය තවමත් ඉතාමත් හොඳින් තමන් අවට පරිසරය සමග තොරතුරු හුවමාරු කර ගනිති. Facebook හරහා අන්තර්ජාලය ඔස්සේ යාළු මිත්‍රකම් පැවැත්වීමට තරම් අපේ තරුණ තරුණියන්ට පිස්සුවක් ඇති වුනේ ඇයි. සම‍ාජ විද්‍යාඥයින් ප්‍රකාශ කරන අන්දමට මෙය මානසික ව්‍යාධියක් බවට පත්ව තිබේ. Facebook syndrome හෝ Facebook addiction ලෙස මෙය හැඳින්වේ.

දැන් ලෝකය උපන්දින සුභ පැතුම් යවන්නේ අදාළ පුද්ගලයාගේ තැපැල් ලිපිනයටවත්, ඔහුගේ ජංගම දුරකථනයටවත්, ඔහුගේ විද්‍යුත් ලිපිනයටවත් නොවේ. එය යැවෙන්නේ Facebook profile එකටයි. දැන් සමාජයේ හැම දෙයක්ම ෆේස්බුක්කරණය වෙමින් පවතියි. මේ හේතුවෙන් සැ‍බෑ ලෝකයේ පුද්ගල සම්බන්ධතා බරපතල ලෙස බිඳ වැටීමකට ලක්වන බව මේ සම්බන්ධ පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම Facebook හේතුවෙන් නිරපරාදේ වැය කරන කාලය, මිනිස් ශ්‍රමය කොතරම් ද ? Facebook හි ග්‍රාහකයන් වන මිලියන 550 ක සෙනඟින් මිලියන 350 ක් වත් දිනකට Facebook වෙත එති. එක් ග්‍රාහකයෙක්ට පැයක් බැගින් තබා බැලුවත් දිනකට ලෝකයේ මිනිස් පැය මිලියන 350 ක් Facebook නිසා විනාශ‍ වෙයි...!

සියල්ලම මුදල හා ලාභය මත තීරණය වන වර්තමාන සමාජ‍ෙය් Facebook යනු තවත් එක් ව්‍යාපාරයකි. Facebook හි වත්මන් හිමිකරු හා එහි සභාපති වන මාක් ෂුකර්බර්ග් ලෝකයේ ලාබාලතම කෝටිපතියා බවට පත්ව තිබෙන්නේ මේ හේතුවෙනි. දැන් Facebook විසින් අළුතෙන්ම ඊ-මේල් සේවාවක් ද හඳුන්වාදීමට යන්නේ ඒ වෙළඳපොල තුළ තම ආධිපත්‍යය තව දුරටත් ව්‍යාප්ත කිරීමටයි. දැනට අන්තර්ජාලය තුළ කිරුළ හිමි Google සමාගමට ඉදිරියේදී Facebook දැවැන්ත අභියෝගයක් වනු ඇත. ලෝක ජනගහනයෙන් ¼ ක් තරම් වූ ග්‍රාහක පිරිසකට උරුමකම් කියන Facebook අඩවිය ඒ අතින් ගත්විට අනෙකුත් සියළුම සමාගම් පරදා සිටී.

Facebook යන්න සංකල්පීය වශයෙන් හොඳ දෙයක් වූවත් වර්තමානය වන විට ඇතිවී ඇති මේ Facebook මේනියාව නම් කිසිසේත් ම යහපත් නොවේ. මෙමගින් අන්තර් පුද්ගල සබඳතා දරුණු ලෙස බිඳ වැටීමට ලක් වන අතර මේ ඇබ්බැහිය මානසික රෝගී තත්ත්වයක් දක්වා දුරදිග යා හැකියි. මුහුණට මුහුණ හමුනොවී ඇතිවන Facebook සම්බන්ධතා නිසා බෙ‍ාහෝ විට ‍තරුණ පරපුර විවිධ අපචාර ක්‍රියාවන් ට ගොදුරු වේ. මිතුරු සංසදයක් වශයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට Facebook හොඳ මෙවලමකී. දිනකට පැය භාගයකට වඩා මේ සඳහා වැය කළ යුතු නොවේ. ඔබත් කළයුතු අනෙකුත් සියළු වැඩ කටයුතු පසෙක ලා  පැය ගණනක් Facebook වෙත ඇලී සිටින්නෙක් නම්, දිනකට එක් වරක් හෝ Facebook වෙත log නොවී සිටීමට නොහැකි තරම් ඇබ්බැහියකට ලක්ව ඇත්නම් ඔබටත් Facebook syndrome ‍ෙරා්ගය වැළඳී ඇති බවට එය  හොඳ සාක්ෂියකි.

බටහිරින් එන සියළු දේ හිස් මුදුනින් පිළිගත යුතු නොවේ. 90 දශකයේ Coca Cola සංස්කෘතියට ගොදුරු වූ අපි වර්තමානයේ Facebook සංස්කෘතියට ‍ ගොදුරු වෙමින් සිටින්නෙමු. අවශ්‍ය දෙය අවශ්‍ය පමණට වඩා භාවිත කිරීම අහිතකර ප්‍රතිඵල ඇති කරවයි. Facebook යනු පමණ දැන පාවිච්චි කළ යුතු මෙවලමකි. රටවටේ නොදන්නා යහළුවන් සමග ඕපදූප chat කරමින් කාලය කා දමනවාට වඩා අන්තර්ජාලයෙන් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි.

ඉතින් කල්පනා කර බලන්න. Facebook අවශ්‍ය දෙයට පමණක් භාවිතා කරන්න. උන්මාදයේ ගොදුරක් නොවන්න. ඇබ්බැහි වීම සෑම විටකම නරකයි. සිතා බලන්න... ඔබත් Facebook කාලකන්නියෙක් ද ...?

- සංවාදයට විවෘතයි -

(මාක් ෂුකර්බර්ග් සමග හෝ Facebook සමග මගේ කිසිදු පුද්ගලික තරහක් හෝ ඊර්ෂ්‍යාවක් නොමැති බවත්, වර්ණ අන්ධතාවය නැමැති රෝගයෙන් පීඩා විඳිමින් වුවත් ලෝකයට අළුත් දෙයක් තිළිණ කරන්නට වෙහෙස නොබලා වැඩ කරන්නෙක් වශයෙන් මාක් ෂුකර්බර්ග් හට මාගේ ගෞරවය හිමි වන බවත් මෙහිදී දන්වනු කැමැත්තෙමි.)






ඔබත් මේ ලිපියට කැමති ද ?
කැමතියි
කැමති නෑ





23 comments:

  1. සහෝ මුලින්ම කියන්න ඕනි ඔය අද මගේ බ්ලොග් එකේ (සංහිඳ පාමුළ) දාපු comment එකට ගොඩක් ස්තූතී. ඒ වගේම ඔයාගෙ අදහස හරිම වටිනවා, සම්පූර්න ඇත්ත, යමක් නිකන් ලැබුන කියල අපි ඒක ජීවිතේ කොටසක් කරගන්න ගියොත් වෙන්නෙ විනාසයක්, එකත් එක්තරා මාධ්‍යක් විදියට අවශ්‍යනම් භාවිතාකලාම ඇති. ඕක ගොඩක් ආසියානුවන් ලඟ තියෙන අඩුපාඩුවක්, මොකද බටහිරින් එන ඕනිම කුනු ගොඩක් සාදු කියල අරගෙන ඔලුවෙ තියාගෙන පස්සෙ කනවෝ කනවෝ කියල කෑ ගහනව. දිගටම ලියන්න, නියමයි. ඔන්න එකකුත් දැම්ම

    http://www.sanhindapamula.info

    ReplyDelete
  2. @ සංහිඳ පාමුළ :

    ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි සහෝ... බ්ලොග් අවකාශයේ ඉන්න එක එක ජාතියේ බ්ලොග්කරුවන් අතර ඔබ වැනි හැඟීමකින් කටයුතු කරන බ්ලොග් කරුවන් හඳුනාගැනීමට ලැබීම ගැන සතුටුයි. අපි අපේ දේ ගැන අගය නොකරන තාක් කල් අපේ කියන හැඟීම හිතට නොගන්නා තාක් කල් අපිට ජාතියක් විදියට නැගිටින්න හම්බවෙන එකක් නම් නෑ. අපිට තමයි මේ ආකල්ප වෙනස කරන්න වෙන්නේ. පුතිචාරවලට ස්තුතියි සහෝ... නැවත හමුවෙමු... ජය වේවා.

    ReplyDelete
  3. කියන්න දෙයක් නෑ චතූ. කතාවට 100 % මම එකඟයි. ෆේස්බුක් හොඳට මිනිස්සුන්ව අධ්‍යයනය කර තියෙනව. මාකටින් නියෙමට ඇප්ලයි කරල තියෙනව. ව්‍යාපාරයක් අතින් අති සාර්ථකයි. ඒක වටා අනවශ්‍ය විදියට රොද බැඳගෙන කාලය නාස්ති කිරීමනම් අපරාදයක්. ඒක දැන ගත්තත් මාක් ඒ වෙනුවෙන් මුකුත් කරන්නෙ නැ. ඒ ආදායම දිහා බලල. මම ෆේස් බුක් පටන්ගත්තනම් මමත් කරන්නෙ මාක් කරන දේම තමයි. මිනිස්සු දැනුවත් වෙන්න ඕනෙ තමන් මොනවද කරන්නෙ කියල.

    ReplyDelete
  4. @ nawammawatha :

    ඇත්ත සහෝ. ඔක්කොම මාකටින් තමයි. අපි බුද්ධිමමත් වෙන්න ඕනේ. ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  5. ෆේස්බූක් අනික් සමාජ ජාල පරද්දන්න මූලිකම හේතුව අනික් සමාජ ජාල වලට සාපේක්ශව සරල, වේගවත්,සිත්ගන්නා සුලු වගේම ලෝකයේ බහුතරයක් දෙනාට අවබෝධ වෙන විදිහට නිර්මානය වෙලා තියන එක , ඒ වගේම ෆේස්බුක් ජනප්‍රිය වෙන කාලයේදී තිබුන Myspace .Hi5 ට වඩා ආරක්ෂාකාරි බවකුත් ෆේස්බුක් වල තිබුනාය කියලයි කියන්නේ . කොහොම උනත් ඕනිම දෙයක් හරියට භාවිතා කරන්න තමන් දැනගන්න ඕනි . අනික කාලය කාදමනවාය කියන එක සාපේක්ෂයි . උදා - පිටරට ඉන්න කෙනෙකුට තමන්ගේ පාසල් යාලු මිත්‍රයො බහුතරයක් එක්ක එකවර සම්බන්ඳ වෙන්න .ෆේස්බුක් යොදාගන්න පුලුවන් ඒක සමහර වඩා පලදායි කාලය ඉතිරි කරන වැඩක් වෙන්නත් පුලුවන් .ඔය බටහිර මුව හමට තැලිල්ල නම් දැන් හැමෝම ගන්න මෝඩ චුන් එකක් වෙලයි තියෙන්නෙ

    ReplyDelete
  6. @ buwa :

    නොදන්නා දේ ගැන දැනුවත් කළාට බොහොම ස්තුතියි බුවා. මට වුවමනා වෙලා තිබුනේ ෆේස්බුක් මේනියාව ගැන කථා කරන්න. අපේ ලංකාවට ෆේස්බුක් ඔච්චරටම වුවමනාද කියන එක ප්‍රශ්ණ කරන්න. අපේ සමහරුන්ට ෆේස්බුක් නැතුව ටොයිලට් යන්නත් බෑ නොවැ. අර අන්තිමට කියලා තියෙන එකට නම් මට කියන්න තියෙන්නේ මෝඩ චූන් එකක් වුනත්, නැතත් මම නම් ඔය බටහිර මුව හමට හම යන්නම තලනවා. ඒ මට සුද්දගේ කෝට් එකට වඩා අපේ අමුඩ ලේනසුව වටින නිසා. අපේ හැමෝම සුද්දන්ට වැඳ වැඳ පස්සෙන් ගියා මිසක් රට ගැන හිතුවේ නෑ. දැන්වත් අපි අපේ දේ ගැන මීට වඩා හැඟීමකින් හිතනවා නම්...! ඉතින් බුවා, තරහ වෙන්න නම් එපා. මම නම් ඔය මුව හමට තලනවා. ඒ මම හදවතින්ම ශ්‍රී ලාංකික නිසා... ප්‍රතිචාරයට ස්තුතියි...

    ReplyDelete
  7. 200% true machan...there are many more things that people should read and learn rather than eating their valuable time on FB. My suggestion is use You Tube.It's a trully amazing site and there are lot of valuable stuff uploaded there which we can watch and learn....

    and awsome post..thankz for posting...

    ReplyDelete
  8. @ Anonymous :

    Thanks a lot machan. but anyway why didn't you mention a name ? at least a pet name ? Ok, bro, you are right' You tube has vast collection of videos which consist of various topics. And there are lot of that kind of places on the net to surf. i tried to point that we can use internet other than wasting time om FB. again, thank you for the comment. keep in touch.

    ReplyDelete
  9. මේක බලනකොටත් ටැබ් එකක ෆේස්බුක් ලොග් වෙලා තියෙන්නේ.. හික්ස්
    කතාව ඇත්ත.. මේක මහ නස්පැත්තියක්‍ වෙලා තියෙන්නේ..
    යකඩේ රත් කරල තලල නවා ගන්නවා වගේ අපේ උවමනාවකට මිසක් ෆේස්බුක් අපිට උඩින් යන්න දෙන්න හොඳ නෑ..
    මෙතන තියෙන ප්‍රධාන කාරණ‍යක් තමයි ලංකාවේ බහුතරයක් ෆේස්බුක් හා තවත් සුලු වෙබ්පිටු කීපයක් හැරෙන්න අන්තර්ජාලයේ ඇති වැදගත් පිටු නොදැනීමයි..

    ReplyDelete
  10. @ අරුණ වීරසිංහ :

    ආහ්... නියමයි...
    ඇත්ත අරුණ සහෝ. මේක නස්පැත්තියක් වෙලා ඉවරයි වෙන රටවල නම්. අපිත් මේක නස්පැත්තියක් කර ගන්න කලින් මට මේක ලියන්න හිතුනා.

    “ලංකාවේ බහුතරයක් ෆේස්බුක් හා තවත් සුලු වෙබ්පිටු කීපයක් හැරෙන්න අන්තර්ජාලයේ ඇති වැදගත් පිටු නොදැනීම“

    කාරණය ඇත්ත සහෝ. ඒකට එක හේතුවක් අපේ කට්ටියට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නිපුනතාවය මද කම. ඒකට තමයි මේ පුළුවන් විදියට සිංහලෙන් බ්ලොග් එකක් ලියන්නේ. මම වගේම මටත් කලින් ඒ වැඩේ පටන් ගත්ත හැම සිංහල බ්ලොග් කරුවෙක්ටම අපේ ප්‍රණාමය පුද දිය යුතුයි. ඒ නිසා අපේ සිංහල පාඨකයන්ටත් අන්තර්ජාලයේ කියවන්න දෙයක් තියෙනවා. ඒ වගේම ඔයා වගේ ඒ බ්ලොග් බලන, බලලා මේ වගේ ප්‍රතිචාර තියලා දිරිමත් කරන අය මත තමයි මේ බ්ලොග් කරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ.

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට. ආයෙත් එන්න. ජයවේවා...

    ReplyDelete
  11. @චතු ....... සුද්දාගේ කෝට් එක යොදා ගන්න වැඩේට අපේ අමුඩය යොදා ගත නොහැක , අමුඩය ඕනි වැඩයට ඕනි නම් කොට කලිසමක් ගැසිය හැකි මුත් අවශ්‍යම නැත නමුත් කෝට් එකක් වැඩක් නැත එනිසා සංසන්දන්යද වැරදිය.

    ශ්‍රි ලාංකික කම කියන්නේ සුද්දට බනින එකද? එහෙම නම් සහෝ ඇයි මේ සුද්ද හොයා ගත්ත සුද්ද විසින්ම නඩත්තු කරන බ්ලොග් ෆ්ලැට්ෆොර්ම් එකක , බ්ලොග් ලියන්නේ දේශීය විදිහට සෙල් ලිපියක් ලියන්න තිබුනනේ , නැත්නම් හූවක් කියල හරි අඬබෙරයක් අරින්න හරිත් තිබුන , සුද්දව ඔය තරමට අප්‍රිය නම් සුද්ද හොයා ගත්ත දෙ භාවිතා නොකර ඉන්න ඕනි .ලෝකයේ මිනිසුන් දියුණු වෙන්නේ සුද්දව ප්‍රතික්ෂේප කිරීමෙන් නොවේ , උන්ගේ දේ වඩා හොඳට හෝ වඩා ලාබ දායීව ඉටු කිරීමෙනි . චීනුන් සුද්දගේ තාක්ෂනයෙන් බඩු හදා ලාබෙට උන්ටම විකුනන්නෙත් , ඉන්දියානුවන් ඒ බඩුවලට පාරිභෝගික සේවා සපයන්නෙත් ඒ අනුවය චීනයත් ඉන්දියාවත් ක්‍රමයෙන් දියුණුවේ

    . නමුත් අගනා සම්පත් ඇති මේ භූමිය යුද්ධයෙන් වසර 11/2 කට පසුවත් තමවමත් එකතැනය . කර්න වැඩක වත් හරියට කරගන්නට ඉඩ නොදෙන "දේශප්‍රේමී " ඇමතිලා නම් ඇත , උන් කරන්නෙත් නිතර දෙවේලේ සුද්දාට බනින එකය හැබැයි උන්ගේ ලමයින් සුද්දා ලඟ ඉගෙන ගන්නවාය , උන් අතේ සුද්දා හැදූ පෝන්ය

    ReplyDelete
  12. සහතික ඇත්ත..ඕනම දෙයක් ඕනවට වඩ ඕන නෑනේ :)

    ReplyDelete
  13. @ buwa :

    1. ඕහ්... බුවා. ඔයා වරද්දගෙන වගේ මට නම් පේන්නෙ. මම කෝට් එක සහ අමුඩයෙන් අදහස් කලේ විදේශීය හා දේශීය කියන එක. කෝට් ඇඳලා තමන්ගේ බොරුව වහගෙන ඉන්න මහත්වරුන්ට වඩා අමුඩෙ ඇඳන් පස්ස එලියෙ දාගෙන ඉන්න ගොයියා හොඳයි. මෙතනදී ඇඳුම අඳින අවස්ථාව ගැන මම සටහනක් කර නොමැත්තෙමි. මෙහි ව්‍යංගාර්ථයෙන් සඳහන් කර තිබූ දෙය ඔබ තේරුම් ගෙන නැත.

    2. ශ්‍රීලාංකික කම යනු ශ්‍රී ලංකාවට ඇති ලැදි කමයි. තමන්ගේ මව්බිම පහත් කොට පිරරටවල හොඳ නරක දෙකම හිස් මුදුනින් පිළිගැනීම නිසා අපිට අපේ බොහෝ දේ අහිමි වෙලා. මට සුද්දව අප්‍රිය නෑ. මට අප්‍රිය සුද්දට බනින කොට උගේ පැත්ත ගන්න එවුන්වයි. දැන් බලන් ගියාම ලෝකේ හොඳක් කරලා තියෙන්නේ සුද්දෝ විතරද ? සුද්දෝ ඇඳුම් නැතුව කොළ අතු අඳින කාලේ අපි රෙදි වියාගෙන ඇඳපු දියුණු ජාතියක් කියන එක අමතක කරන්න එපා. ඔබ බටහිර ඇත්තෝ දියුණු වුනේ ආසියාවේ සම්පත් හූරා කාලා. ඔවුන්ගේ දැනුම කොල්ල කාලා.

    සහෝ, මම මේ බ්ලොග් එක ලියන්නේ සුද්දගේ පස්ස ලෙවකන්න වත්, adsense හරි වෙන උප්පරවැට්ටියකින් හරි සල්ලි ගරන්නවත් නෙවෙයි. මම මේක සිංහලෙන් ලියන්නේ මට ඉංග්‍රීසි බැරිකමකට නෙමෙයි. ලංකාවේ බහුතරයකට ඉංග්‍රීසි බෑ. අනෙක අපි සිංහලෙන් නොලිව්වොත් කවුද අපේ භාෂාව දියුණූ කරන්නේ. බිල් ගේට්ස් ද ? blogger site එක කරන්නේ සුද්දා තමා. මම කරන්නේ ඒක ප්‍රයෝජනයට අරන් සුද්දට කඩේ යන එක නෙවෙයි. අපේ අයට වැඩක් කරන එක. ඒක නිසා සෙල් ලිපි කොටන්න කියන ඔයාගේ යෝජනාව බොළඳ තර්කයක්...

    අපිට සුද්දගේ හොඳ දේ හොඳයි කියන ගමන් නරක දේ නරකයි කියලා බනින්නත් ‍ෙකාන්ද පණ තියෙන්න ඕනෙ. මම කියන්න හැදුවේ facebook සුද්දන්ගේ පාලුව මකාගන්න හොඳ වුනාට අපේ සංස්කෘතියට අත්‍යාවශ්‍ය දෙයක් නොවන බවයි. චීනයත් ඉන්දියාවත් ඈත අතීතයේ සිටම දියුණු රාජ්‍යයන්. සුද්දාගේ මර්ධනයෙන් එම රටවල් වල දියුණුව පමා වුවත් එය යටපත් කිරීම කිසිසේත් සිදු කළ හැක්කක් නොවේ. අපිත් ආකල්ප අතින් මීට වඩා ඉදිරිගාමී වුවහොත් ලංකාවටත් එම ගමන යා හැකියි. සුද්දා හදපු දේ හැදුවේ අපේ රටවලින් කොල්ලකාපු ධනයෙන් බව අමතක කරන්න එපා.

    3. ඇමතිලා පිස්සු කරන්නේ අපේ උදවිය ඒවා නොදැක්කා සේ සිටින නිසාවෙනි. ඊජිප්තුවට ඔවුන්ගේ ඒකාධිපති පාලකයා එලවා දැමීමට හැකිවූයේ එහි ජනතාව එක මතයකට එළඹීම නිසාවෙනි. (ඒ සඳහා Facebook හි සහායත් ලැබී ඇති බව මෙහි සතුටින් දන්වා තබමි) ලාංකික අපට එතරම් ප්‍රබල ආකල්ප රටාවක් නැත. දැන් කළ යුත්තේ තවත් සුද්දාට කත් නොඇද ජාතියක් ලෙස ඉදිරියට යෑමයි.

    ප.ලි. - මින් ඉදිරියට ලිපි සඳහා ප්‍රතිචාර දැක්වීමේදී මාතෘකාවට අදාලව කරුණු දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ ප්‍රතිචාරය පළකලේ ඔබ කෙරේ පුද්ගලික ද්වේශයකින් නො‍වන බවත් දන්වා සිටිමි. ස්තුතියි.

    ReplyDelete
  14. තාක්ෂනික දෝශයක් නිසා ඉතා දීර්ඝව ටයිප් කල අදහස් පල උනේ නැ . සරලව මම මෙහෙම කිය්න්නම්

    01) කෝට් එකට ගැලපෙන දේශීය ඇඳුම අමුඩය නොවන නිසා ඔබේ උපමාව වැරදියි

    02) ෆේස්බුක් තියෙන්නේ අලුත් මිතුරන් හඳුගන්න නෙවෙයි , සැබැ ජීවිතයේ මිතුරන් සමඟ එකවර ආකාර කිහිපයකින් සම්බන්ද වීමට

    03) බටහිරයින්ගේ සමාජ ජීවිතය ගැන ඔබේ ආකල්පය වැරදියි . සමාජශීලි බව අතින් ඔවුන් සැහෙන්න ඉදිරියෙන් ඉන්නේ ,

    04)බටහිරයන් සතු සියලුදේ කොල්ල කාපුව කියල ඔබ හිතනව නම් ඔබට කියන්න තියෙන්නේ සොරි කියල තමයි

    05) Blogger නොතිබුනා නම් හෝ අනතර්ජාල /පරිඝ්නක භාවිතය නොතිබුනා නම් ඔබගෙ අදහ්ස් ප්‍රකාශ කරන්නෙ කොහොමද? සුද්ද කරපුව හොඳ නැත්නම් මේ දේවල් විතරක් හොඳ වෙන්න බැනේ එහෙම නැත්නම් අන්තර්ජාලය කියන සංකල්පය සුද්ද හොරා ගත්තෙ ආසියාවෙ මොන රටෙන්ද කියල කියන්න පුලුවන් නම් හොඳයි

    06)සංවාදයකදි ඔබට ඔනී අදහස් විතරක් කියවෙන්නේ නැ කියල "සංවාදයට විවෘත්ත කරන්න කලින් දැනගන්න ඕනි , ඔය සංවාද විවෘත්ත කියන කතාව නිසයි මම අදහස් පල කලේ බය වෙන්න එපා මීට පස්සේ ඔයාගෙ පෝස්ට් වලට කමෙන්ට් දාන්න තියා බලන්නවත් එන්නේ නැ. හැබැයි මේ පටන් ගත්ත සංවාදය මගේ පැත්තේන් නම් අවසන් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ

    08) නවීන ලෝකයට ගැලපෙන ආකල්ප කියන්නෙ ඔය බටහිර/නැගෙනහිර සුදු /කලු බේද අයින් කරන එක මොකද අද ලෝකයේ ගොඩක් දේවල් එහෙම වෙන් කරන්න අමාරුයි . ඔයා ඔය කමෙන්ටුවක් ටයිප් කරල පල කරන මොහොත වෙන කොට අදල තාක්ෂණයන් සොයා ගනිපු අය නිර්මානය කරන අය සේවා සපයන අය ඇතුලු කීදෙනෙක් සම්බන්ද වෙලාද ? ශ්‍රිලාංකික ඔබගෙත් මගෙත් සංවාදය පවතින්න බටහිරයන් / ආසියාතිකයින් රාශියක් දායක වෙලයි කියල ඔබට තේරෙන්න නැතිද "බොරු දේශීය" කතන්දරය අන්තර්ජාලයට වලංගු එකක් නෙවෙයි කිඅයල තේරුම් ගන්න

    ReplyDelete
  15. @ panhida :

    මටත් කියන්න ඕනෙ වෙලා තිබුණේ ඔය ටික තමයි.Facebook වුවමනා තරමට භාවිතා කළාම ඇති. ඔන්න මේ දැන් ලැබුණු නිව්ස් එකක්. ලංකාවේ දැනට ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි 400 ක් ලැබී ඇතැයි පරිගණක පැමිණිලි පිළිබඳ සංසදය සඳහන් කරයි.

    අපේ අයට මේක තේරෙන්නැති එකයි වැඩේ. ප්‍රතිචාරයට ස්තුතියි... ජයවේවා...


    @ Buwa :

    බුවා, ඔයාගේ ප්‍රතිචාරය ගැන බලලා මම කල්පනා කලා ඒ මාතෘකාව ගැන වෙනම Post එකක් කරන්න. ළඟදීම ඒක දාන්නම්. අපි එතකොට මේ ගැන තව දුරටත් කථා කරමු. මමත් කැමතියි මේ සංවාදය ඉදිරියට ගෙනයන්න. මම මේ ලිපියෙන් කථා කලේ Facebook භාවිතයේ පළවිපාක ගැනයි. ඒ නිසා ඔයාගෙයි මගෙයි සංවාදය මෙතනට අදාළ නෑ. අපි ඉදිරියේදී මේ ගැන කථා කරමු. මගේ Post නොබලා ඉන්න එපා. විවේචන වලට මම ආසයි. අපි පුද්ගලිකව මේ ගැන කථා කරනවාට වඩා පොදුවේ හැමෝම එකතු කරගෙන සංවාදයක් ගෙනයමු. මගේ බ්ලොග් එකට නිතර යන එන එකට බොහොම ස්තුතිය... ජයවේවා...

    ReplyDelete
  16. ඔබේ කැමැත්තක් ඔබේ බ්ලොග් අඩවිය ගැන තීරණය කරන්නේ ඔබ. කොහොම උනත් මේ අතිරේක සංවාදයට එන්න උනේ ෆේස්බූක් භාවිතය ට විරුද්ධ වීම සඳහා එක් කාරනයක් ලෙස එය බටහිරින් හා ආ අපට නොගැලපෙන දෙයක් යැයි කල සඳහනට , විරුද්ධව මම අදහස් දැක්වීම කියන එක සඳහන් කරල තියන්න කැමතියි , ඒ හැර ෆේස්බුක් පිස්සන් ගේ පිස්සුව මා අනුමත කරන නිසා නොවේ..සුභ දවසක්

    ReplyDelete
  17. වැදගත් ලිපියක්, මමත් එකඟයි, තවත් දෙයක් එකතු කරනවා නම් Facebook පමණක් නොව සියල්ල පමණ දැන කටයුතු කලටුතු බවයි. (එයට බ්ලොග් කරණය හා අන්තර්ජාල භාවිතයත් ඇතුලත්)
    ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනේ.
    ස්තුතියි, හිරණ්‍ය

    ReplyDelete
  18. @ හිරණ්‍ය :
    ඇත්ත මචං, මෙතනටත් සුප්‍රසිද්ධ O3 න්‍යායය අදාලයි.

    ඕනෙම දෙයක්... ඕනෑවට වඩා... ඕනෙම නෑ...

    බොහොම ස්තුතියි. ජයවේවා...!

    ReplyDelete
  19. Chathura WijekoonMay 26, 2011 at 6:54 PM

    ෆේස්බුක් උන්මාදයක් විතරක් නෙවෙයි ෆේස්බුක් භීතිකාවකුත් තියෙනවා... භාවිත කරන්නා මත තමයි සියල්ල තීරණය වෙන්නේ... වැඩිම හිතවතුන් පිරිසක් සමඟ සම්බන්ධතාවය පවත්වගෙන යන්න හොඳම අඩවිය ෆේස්බුක් ම තමයි. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි. හැමෝම එන්නේ එතැනට හින්දා... Wayn, HI5 වගේ වෙබ් අඩවි වලට සම්බන්ධ වෙන පිරිස අඩුයි.
    ගාස්තු සැසඳීමේ දී ඩයලොග් වලට වඩා එටිසලාට් ලාබ වුණත් වැඩි දෙනෙක් ඩයලොග් ම පාවිච්චි කරන්නේ ඇයි? ඩයලොග් වැඩි දෙනෙක් පාවිච්චි කරන නිසා D to D ඇමතුම් වලින් වැඩි පහසුවක් හා ලාබයක් ලැබෙන නිසා.

    ෆේස්බුක් තුළින් වැරදි කරගන්නේ තමන්ටමනේ... ඒ අයට ඒවයේ ප්‍රතිපල ලැබෙයි....

    ReplyDelete
  20. Hari Hari Yalu mokatada happene...
    Kiribathkala Suba wada arabanne...

    (Facebook wagema mewage TOPIC ekkak aragena ARGUE karana eke therumak nehe. Mewa ema pudgalyata sapeckshie. Hamoma molen jeewathwenta. Thanks Bye..)

    ReplyDelete
  21. ඔය බටහිර මුව හමට තැලිල්ල නම් දැන් හැමෝම ගන්න මෝඩ චුන් එකක් වෙලයි තියෙන්නෙ

    ReplyDelete
  22. 1.මුහුණු පොත පමණක් නොව කොයි දේ උනත් , (බටහිර හෝ නැගෙනහිර ) ඕනවට වඩා ඕනෑම නැහැ තමයි. මිනිසාගේ නොනිමෙන කුතුහලය නිසාවෙන්ම කොටින්ම මේ අන්තර් ජාලය තුල දවසකට පැය කීයක් නිකරුනේ නහස්ති වෙනවද. ඔය කොයි දේත් 50:50 හොඳ සහ නරක තියෙනවා.

    2.අපි අපේ දෙදාස් පන්සීයට වැඩි ඉතිහාසය ගැන උජාරුවෙන් කියමින් සුද්දන්ගේ අවුරුදු දෙතුන් සීයක ඉතිහාසයට ඔච්චම් කලත්, අද ඇත්තටම අපි ඉන්නේ සුද්දන්ට දෙදාස් පන්සීයක් පිටිපස්සෙන් නොවේද? ඉන්කා වරුන් , මායා වරුන්, අද කොතනද?බටහිර ගැති,බටහිර විරෝධී වශයෙන් එක එක පිල් වලට කොටු නොවී යමක සරු නිසරු බව තේරුම් ගැනීමයි වැදගත්.

    ReplyDelete
  23. සහතික ඇත්ත අය්යේ..FACE BOOK නම් ඕනෙම නෑ..O3 න්‍යය මේකට අදාළයි තමා..පට්ට..

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...