Wednesday, February 9, 2011

අවුරුදු 27 ක් වයසට යෑමේ සැමරුම් උත්සවය


මාතෘකාව දැක්කම පිස්සු වගේ නේද ? ඇත්තටම පිස්සුව මේක නෙමෙයි. ටිකක් කියවගෙන යන්නකෝ. වැඩේ මොකක්ද කියලා...

අද පෙබරවාරි 10 වෙනිදා. පෙබරවාරි මාසේ සෑහෙන්න වැදගත් කමක් තියෙනවා. එක, කැලැන්ඩර් මාස වලින් කොටම මාසෙ පෙබරවාරි. දවස් 28 යි නොවැ. අධික අවුරුද්දක නම් ඒක තවත් විශේෂ වෙලා 29 ක් වෙනවා.
දෙක, ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සමරන්නේ මේ මාසේ. කවුරුත් දන්නවා නොවැ... පහුගිය 04 වැනිදා නොවැ නිදහස් සැමරුම. තුන, මමයි මගේ නෝනියි මුලින්ම මුලිච්චි වුනෙත් පෙබරවාරි නොවැ. වැදගත්ම දේ ඒක නෙවෙයි. මගේ උපන්දිනයත් පෙබරවාරි වලටමයි වැටිලා තියෙන්නේ. අද වගේ දවසක තමයි කොලුවා ලොව දැකලා තියෙන්නේ. ඉතින් අදට ඒ සංසිද්ධිය වෙලා ඕං අවුරුදුම 27 ක් ගෙවිලා ගිහින්. ඕක තමයි පෙබරවාරි මාසේ වැදගත්කම.

විහිළු නෙමෙයි... උපන් දිනය කියන්නේ ඉතින් අවුරුද්දටම එක පාරක් එන දවසක් නේ. ඉතින් ඕක මහ ලොකුවට සමරන්න ඕනෙ ද ?පාටි දාන්න ඕනෙ ද? ඇත්තටම අවුරුද්දකින් වයසට යනවා කියන්නේ කාලා, බීලා, ජොලි කරන්න ඕනෙ දවසක් ද? ඇයි අපි ජීවිතේ දිහා මේ තරම් සරල-බොළඳ විදියට බලන්නේ... ඒ මිනිස්සුන්ගේ හැටි වෙන්නැති නේද ?

සාමාන්‍යයෙන් උපන්දිනයක් කියන්නේ හැමෝටම සතුටු දවසක්. කිරිබත් ටිකක් හදලා, නැත්නම් කේක් එකක් කපලා, එහෙමත් නැත්තම් මේ දෙකම කරලා උපන්දිනයට විශේෂයක් කරන්නේ ඒකනේ. ෆෝන් එකට, mail එකට සුභපැතුම් ගලාගෙන එනවා. සමහරුන්ට නම් උපන්දින තෑගි එහෙමත් ලැබෙනවා නොවැ. මේ වගේ සොඳුරු සැමරුම් නම් ප්‍රශ්ණයක් නෑ කියමුකො. ඒත් සමහරු නම් උපන්දිනය සමරන්නේ අති වි‍ශේෂ තාලෙට. grand party එහෙම දාලා, මොණරු ටිකක් විසිකරලා, වටේටම ඇහෙන්න සද්දයක් එහෙම දාලා, තව සමහරු නම් "අති විශේෂ" එහෙමත් පාවිච්චි කරනවා...!!! ඇත්තටම මොකටද මේ ජොලි කරන්නේ? අවුරුද්දකින් වයසට යන එක සමරන්න නේද ? ඕක ඉතින් ඔය තරම් සතුටින් සමරන්න ඕනෙ එකක්ද? ටිකෙන් ටික, අවුරුද්දෙන් අවුරුද්ද අපි මීනීවලට කිට්ටු වෙනවා. ඇත්තටම හිතලා බැලුවොත් අපි මේ කරන්නේ අපේ මරණය ඉක්මන් වෙන එක සමරන එක නේද?

මේ මොන මඟුලක් ද ? උපන්දිනේටවත් කාලා, බීලා, ජොලියක් දාන්න බැරිද... පුළුවන්. පුළුවන්... අහිංසක විදියට තමන්ගේ නෑදෑයෝ, යාළු මිත්‍රයෝ එකතුකරගෙන පොඩි ජොලියක් ගන්න එකේ වරදක් නෑ ඉතින්. කට්ටිය සෙට් වෙන්නෙත් ඉතින් ඔය වගේ විශේෂ අවස්ථාවකනේ. හැබැයි ඉතින් හිතේ තියාගත්තොත් හොඳයි තමන් මේ ජීවිත කාලයෙන් තවත් අවුරුද්දක් ඉවර කළා කියන එක. ආපහු හැරිලා නිකමට වගේ ඒ ගෙවුනු අවුරුද්ද ගැන සිහි කලොත් ඒ අවුරුද්දේ ජීවිතයට එකතු වුනු දෙයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. පුළුවන් නම් පන්සලට, පල්ලියට ගිහින් වැඳලා පුදලා ටිකක් හිත සැහැල්ලු කරගෙන හිතලා බලන්න. ගෙවුනු අවුරුද්දට වඩා ලබන අවුරුද්ද හොඳ කරගන්න කල්පනා කරලා බලන්න. එතකොට ජීවත් වෙන්න ලේසියි. ඇත්තටම අපේ තරුණ පරපුර ජීවත් වෙන හීන ලෝකවල හැටියට මේවා බලන කෙනෙකුත් නැතිවෙයි. ඒත් ඉතින් හිතට එන ඒවා නොකියා බෑ නොවැ...

හ්...ම්...ම්ම්. ඉතින්, මේ අයියටත් දැන් 27 යි. තවත් අවුරුද්දකින් වයසට ගිහින්. හිතල බලනකොට මේ මමමද කියලත් හිතෙනවා. මම නම් ඉතින් ඔය පාර්ටි සංස්කෘතියට නෑ තමයි. ඒත් ඉතින් අපේ නෝනි නම් මොනවා හරි විකාරයක් arrange කරනවා. උදේට කිරිබත් ටිකක් උයලා, කේක් කාලා කට්ටියටම කේක් බෙදනවා. යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා කයියක් එහෙම දාලා, මොනවා හරි බඩටත් දාගෙන (අනේ, මේ කිව්වේ බොන ඒවා නෙවේ. කන ඒවා හොඳේ.) සින්දුවක් එහෙම කියලා සතුටින් විසිර යනවා. හවසට පන්සල් යනවා. මට නම් උපන් දිනය කියලා විශේෂයක් නෑ. ඉස්සර වගේ නෙවෙයි. දැන් උපන් දිනේ එනකොට හිතට ලොකු බරපතල ගතියක් එනවා. දැන් ඉතින් කොලු වයසත් ඉවර වීගෙන එනවා නොවැ. අනේ මන්දා... හිතට දුකයි තමයි, ඒත් ඕවා ඔහොම තමයි.

බුදු හාමුදුරුවෝ කිව්වා වගේ "සබ්බේ සංඛෘරා අනිච්චා" - සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි. තේරෙන සිංහලෙන් කිව්වොත් වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණි. වයසට යන එක, මැරෙන එක නවත්තන්න නම් ඉතින් ඉපදෙන්නැතුව ඉන්න ඕනෙ. මොකද කරන්නේ ඉතින්. අපිට පුළුවන් හැටියට හොඳින් ජීවත් වෙන එක තමයි කරන්න ඕනෙ. 

"මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා...
 අපි හෙට මැරෙයිද කියලා දන්නෙ නෑ..."


ඔන්න ඔහොමයි උනේ... උපන්දිනේ ගැන කියනකොට හොඳ හොඳ රස කථා එහෙම තියෙනවා කියන්න. හිමින් සැරේ කියන්නම්කො...


එහෙනම්... චතුරංග සහෝ... සුභ උපන් දිනයක්...!!!





1 comment:

  1. නදී නංගියාFebruary 9, 2011 at 10:12 PM

    සුබ උපන් දිනයාක් මගේ අයියා.හැමදාම සතුටින් ඉන්ඩ ලැබේවා!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...