ආයෙත් ඔන්න සෑහෙන
කාලෙකට පස්සේ සංගීත පාඩමක් අරගෙන ආවා... මේ වැඩේ දිගට කරගෙන යන්න කොච්චර හිතාගෙන
උන්නත් මොකක් හරි හේතුවක් උඩ ඒකට බාධා වෙනවා. කොහොම වුනත්, ඔන්න ඉතින් හිතාගෙන
හිටිය විදියට මේ කොටස ඉවරකලාට පස්සේ අපිට පුළුවන් ඊළඟ කොටසේ ඉඳන් පුරුදු විදියට
ආයෙත් බෑන්ඩ් කථා පටන් ගන්න. අද කියන්න යන්නේ ස්ටේජ් එකේ උපදින සංගීතය, විද්‍යූත්
උපාංග වලින් පාලනය වෙලා, ශබ්ද පද්ධති හරහා ඔයාලගේ කන දක්වා එන ගමන ගැනයි. පුළුවන්
තරම් සරල විදියට මේ ටික පැහැදිලි කරලා දෙන්න තමයි මේ සූදානම...
ශබ්දය කියන්නේ මොකක්ද ? ශක්තියක්... ඒ තමයි ධ්වනි
ශක්තිය. අවසාන ඵලය විදියට අසන්නාගේ දෙසවනට එන්නේ මේ සංගීතමය ශබ්දය උනත් ඒක ධ්වනි
ශක්තියක් බවට හැරවෙන්න කලින් අවස්ථා කීපයක්ම පහුකරලා තමයි එන්නේ. අපි මුලින්ම
අඳුනාගන්න ඕනේ ශබ්දයක් (Sound)
කියන්නේ
මොකක්ද කියලා. යම්කිසි ද්‍රව්‍යයක් කම්පනය වීම නිසා පදාර්ථයේ (ඝණ, ද්‍රව, වායු) ඇතිවන
තරංගමය ආකාරය ශබ්දයක් ලෙස සරලව හඳුන්වන්න පුළුවන්. අපි මුලින්ම බලමු වේදිකාවක්
මතදී විවිධ ශබ්ද උපදින්නේ කොහොමද කියලා.
හඬ උපදවන ආකාර
දෙකක් අපිට හඳුනාගන්න පුළුවන්.
- Acoustic
- Electric / Electro-Magnetic / Electronic
Acoustic (අකොස්ටික්) කියන්නේ ස්වභාවික
ආකාරයෙන්, කෘතීම යාන්ත්‍රණයකින් තොරව, සෘජුවම ධ්වනි ශක්තිය ලෙස ශබ්දය උපදවන
වස්තූන් වලටයි. හොඳම උදාහරණය තමයි මිනිස් කටහඬ... අපේ උගුරේ (ස්වරාලයේ) ස්වර තන්තු
පේශී ආධාරයෙන් කම්පනය වීමෙන් තමයි අපේ කටහඬ උපදින්නේ. එතනදී ජීව-චාලක ශක්තිය,
ධ්වනි ශක්තිය බවට පරිවර්තනය වෙනවා. දැන් මේක සංගීතය පැත්තට අදාල කර ගත්තොත්...
බටනලාව, වයලීනය, තබ්ලාව, පියානෝව, බොක්ස් ගිටාරය වගේ සංගීත භාණ්ඩ ඔය මූලධර්මයට
තමයි හඬ උපදවන්නේ. මේ වගේ සංගීත භාණ්ඩ අපි Acoustic Instruments විදියට හඳුන්වනවා.
ශබ්ද උපදවන දෙවෙනි ආකාරය කෘතීමයි. එතනදී කරන්නේ ස්වභාවික ශබ්දයේ අනුකරණයක්...
ප්‍රතිඋත්පාදනයක්... සරලව කිව්වොත්, සංගීත වේදිකාවේ දකින්නට තියෙන ඔක්ටපෑඩ්කියන උපාංගයට තබ්ලා, ඩොල්කි, බොංගෝ, ඩ්‍රම්ස් වගේ ගොඩාක් සංගීත භාණ්ඩ වල නාද
උත්පාදනය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික්
සංගීත උපකරණයකින් කෙරෙන්නේ විද්‍යුත් ශක්තිය මගින් ධ්වනි සංඛ්‍යාතයක් උත්පාදනය
කරලා, ඒ තරංගය ශබ්ද වාහිනී පද්ධතියක් මගින් නැවතත් ධ්වනි ශක්තිය බවට
පරිවර්තනය කිරීම. ඔක්ටපෑඩ්ස්, කීබෝඩ්ස් (විදුලි ඕගන), ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස්,
ඉලෙක්ට්‍රික් ගිටාර් ආදිය Electric Instruments වලට උදාහරණයි.
බෑන්ඩ් වේදිකාවේ තියෙන එක් එක් සංගීත උපකරණයෙන් හඬ උපදින
හැටි දැන් බලමු.
අපි මුලින්ම බලමු ගිටාර්
ගැන. ඔයගොල්ලෝ දැකලා ඇති ගිටාර් වාදකයින් තුන්දෙනෙක් වේදිකාවේ ඉන්නවා. මේ ගිටාර් තුනෙන් උපදින්නේ එකිනෙකට වෙනස් හඬ තුනක්. අපි බලමු ඒ
මොනවද කියලා...
- බේස් ගිටාර් : පහළ ස්වර සංඛ්‍යාත වලට අයත් ගැඹුරු නාද උපදවයි. ඩ්‍රම්ස් සඳහා නාදමය ආධාරකයක් ලෙස භාවිතා වේ.
- රිදම් ගිටාර් : උච්ච සංඛ්‍යාතයට ආසන්න පරාසයක නාද උපදවයි. සංගීත නිර්මාණයක ස්වර රචනය හා සෘතිය ආකාරයට තාලයකට වාදනය වේ.
- ලීඩ් ගිටාර් : ඉහත වර්ග දෙක මෙන් සංගීත නිර්මාණය පුරා වාදනය නොවුවත්, සංගීත සමුච්චයක ඉහලින්ම නැගෙන ගිටාර් නාදය වන්නේ ලීඩ් ගිටාරයේ හඬයි. ස්වර වාදනය (Melody) මගින් ගීතයේ තනුව සමග යමින් වැයේ. බොහෝ විට මිනිස් ස්වර පරාසයට ආසන්න පරාසයක වාදනය වේ.
සංගීත උපකරණ එක එකක් ගැන කෙටියෙන් විස්තර කරලා වැඩක්
නැති නිසා එකකට එක ගානේ වෙන වෙනම පෝස්ට් වලින් අපි ඒ ගැන කථා කරමු. දැන් බලමු
කොහොමද මේ ගිටාර් වලින් හඬ උපදවන්නේ කියලා.
ගිටාරයක හඬ උපදවන යාන්ත්‍රනය වෙන්නේ එහි ඇති තත් අපේ
ඇඟිලි හෝ පික් එකක් මගින් කම්පනය කරවීමෙන්. මේ තියෙන්නේ ගිටාර් පික් (guitarpick) එකක්.
ඉලෙක්ට්‍රික් ගිටාරයක තියෙන තත් කම්පනය කලාට අපිට සෘජුවම
ගිටාරයෙන් උපදින හඬ අහන්න බෑ. තත් කම්පනය වීමෙන් උපදින්නේ ඉතාමත් කුඩා ධ්වනි
ශක්තියක් පමණයි. ඉලෙක්ට්‍රික් ගිටාරයක් විශේෂීකරණය කරලා තියෙන්නේ විද්‍යුත් ශබ්ද
පද්ධතියකට සම්බන්ධ කිරීමෙන් පමණක් හඬ ඉපදවීමටයි. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ,
ගිටාරයේ තත් කම්පනයෙන් උපදින නාද සංඛ්‍යාතය විද්‍යුත් තරංගයකට පරිවර්තනය වෙන්න ඕනේ
කියලා. මෙන්න මේ වැඩේ කරන්න තමයි ගිටාර් අහුළුවක් (පික්අප් යුනිට් - guitar
pickup unit) තියෙන්නේ.
මේ පික්අප් එකෙන් කරන්නේ තත් වල උපදින කම්පනය විද්‍යුත්
චුම්භක තරංගයක් ආකාරයට ග්‍රහණය කරගැනීමයි. ඉන්පසු එම විද්‍යුත් චුම්භක කම්පන තරංගය
ඒ ඒ ගිටාරයේ හඬ පරාසයට (ලීඩ්, රිදම්, බේස්) උචිත ලෙස අභ්‍යන්තර විද්‍යුත් උපාංග
මගින් හඬ සකස් කරනු ලබනවා. සමහර දියුණු ඉලෙක්ට්‍රික් ගිටාර් වල Pre-Amp (පෙර වර්ධක) කොටසක් වෙනම තියෙනවා.
ඒ සඳහා කුඩා බැටරියක් මගින් බලය සැපයිය යුතුයි. මේ කොයි ආකාරයකින් හරි
නියමාකාරයෙන් සැකසූ විද්‍යුත් තරංගය ගිටාරයේ ඇති Audio Out සොකට්ටුවට සම්බන්ධ වන
කේබලයක් හරහා මික්සරය වෙත යැවෙනවා.
සරල ඇටවුම ඔය ආකාරය වුනත්, බොහෝ විටදී ගිටාරයත්,
මික්සරයත් අතරට ගිටාර් මොඩියුලයක් හෝ Sound Processor එකක් යොදාගන්නවා. මේ
තියෙන්නේ ගිටාර් මොඩියුලයක්...
මෙයින් කෙරෙන්නේ ගිටාරය මගින් ලබාදෙන ශුද්ධ නාදයට (අපි
මේකට කියන්නේ අමු ටෝන් එක කියලා) විවිධ Effects (එෆෙක්ට්ස් - ශබ්ද ප්‍රයෝග) එක් කිරීමයි. එහිදී විවිධ දෝංකාරයන් (delay,
reverb)
හා සංඛ්‍යාත
සැකසුම් (EQ)
ද, Chorus,
Wah, Rotary, Flange, Drive, Distortion ආදී විවිධ ශබ්ද ප්‍රයෝගයන් යෙදිය
හැකියි. බොහෝ විට ලීඩ් ගිටාරය සඳහා නම් අනිවාර්යයෙන්ම ගිටාර් මොඩියුලයක් යොදා
විවිධාකාරයෙන් නාද සැකසීම් කරනු ලබනවා.
ඔය තියෙන්නේ ගිටාර් බට්ටෙක්, ඒ කිව්වේ Sound
Processor එකක්. මේකට
බට්ටා කියන්නෙ මේකේ හැඩය නිසා. EQ බට්ටෙක් ගෙන්
කෙරෙන්නේ නිශ්චිත ආකාරයකට සංඛ්‍යාතය සැකසීම... උදාහරණයක් විදියට, බේස් ගිටාර් එකේ
ඉහල සංඛ්‍යාත (Hi Fq)
කපා හරිමින්,
පහත සංඛ්‍යාතයන් (Lo Fq)
ඉස්මතු කරවීම EQ බට්ටෙක්ගේ කාර්යයයි. තව
Limiter,
Compressor, Noise Gate ආදී ආකාරයෙන්
ගිටාර් බට්ටන් දැකිය හැකි වුනත් මේවා හැම සංගීත පද්ධතියකම භාවිතා වෙන්නේ නෑ.
මොඩියුල් එකක් හෝ බට්ටෙක් යෙදීමෙන් පසු මික්සරය දක්වා
පද්ධතිය සැකසෙන්නේ ඔහොමයි. සාමාන්‍යයෙන් ගිටාර් තුන සඳහා වන මික්සර් චැනල්ස් සඳහා මඳ
වශයෙන් වෙනස් වූ සැකසීම් සිදුකළ හැකියි. මික්සරය මත සංඛ්‍යාත සැකසුම් කිරීමෙන් හා
අවසන් ප්‍රයෝගයන් (FX)
යෙදීමෙන් පසු
ශබ්දයේ ගමන් මග අපි අවසානයට සලකා බලමු...
හරි, දැන් Instruments තුනක් ඉවරයි ! දැන් අපි හැරෙමු මගේ
උපකරණයට.... විදුලි ඕගනය, නැත්නම් පොදු ව්‍යවහාරයේ විදියට කීබෝඩ්ස් !
කීබෝඩ් එකක් කියන්නේ ශබ්ද උත්පාදක උපකරණයක්. මෙහිදී සිද්ධ
වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. කීබෝඩ් එකක් කියන්නේ පරිගණකයක් වගේම විද්‍යුත් උපාංග
පද්ධතියක්. මෙතන තියෙන වැදගත්ම කොටස තමා PCM (Pulse-code modulation) චිප් එක. මේක තමයි
විද්‍යුත් සංගීත උපකරණයක වැදගත්ම කොටස. PCM චිප් එක සංගීත දත්ත ගොනුවක් (Database)
විදියට ක්‍රියාකරනවා.
එක් එක් නාදයන්ට අදාලව ශබ්ද උත්පාදනය කෙරෙන ප්‍රධානියා මෙයා තමයි.
විශේෂ පර්යේෂණාගාර තත්ත්ව යටතේදී එක් එක් සංගීත
භාණ්ඩවල හඬ ඩිජිටල් සුත්‍රයක් ආකාරයට උකහාගනු ලබනවා. මෙහිදී සිදුවන්නේ ඇනලොග් සංඥා
ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීමක්. එක් එක් නාදය සඳහා වන ඩිජිටල් සූත්‍රය PCM චිප් එකේ ගබඩා වෙලා
තියෙන්නේ. අපි යම් නාදයක් තෝරා යතුරු පුවරුව මගින් වාදනය කිරීමේදී අදාල කී
එකෙන් නියෝජනය වන සංඛ්‍යාතයට අනුව PCM චිප් එකෙන්
අවශ්‍ය නාදය උපදවනු ලබනවා. අපි හිතමු අපි කීබෝඩ් එකේ තිරය මගින් බටනලා (Flute)
හඬ තෝරා ගෙන
වාදනය කරනවා කියලා. එතකොට PCM චිප් එක Flute එකට අදාල ඩිජිටල්
සූත්‍රයේ ඇති ආකාරයට අදාල හඬ ප්‍රති උත්පාදනය කර දෙනවා. පැහැදිලියි නේද ? හැබැයි
එකක් කියන්න ඕනේ. ස්වභාවික සංගීත නාදයන්ට සර්වසම වෙන්න නම් මේ වැඩේ කරන්න තාමත්
100% ක් හැකියාව ලැබිලා නෑ. ඒක නිසා කෘතීම හැඟීමක් දැනෙන එක වලක්වන්න බෑ.
හරි, දැන්... PCM චිප් එකෙන් දෙන මූලික නාද තරංගය ඩිජිටල්
සවුන්ඩ් ප්‍රොසෙසරය වෙත ලබා දෙනවා. එහිදී ශබ්ද තරංගය නියමාකාරයෙන් හැඩගසනු
ලබනවා. මෙසේ ශබ්දය සැකසීමෙන් පසු මෙම විද්‍යුත් තරංගය පෙර වර්ධකය (Pre Amp)
වෙත ලබාදෙනවා.
සමහර කීබෝඩ්ස් සඳහා වෙනම ස්පීකර් පද්ධතියක් ඇති අතර ශබ්ද තරංගය බල වර්ධකය හරහා
තවත් වර්ධනය කරවා, ස්පීකර් වෙතට ලබාදීමෙන් ශබ්දය උපදවනු ලබනවා. නමුත් බෑන්ඩ් වේදිකාවක්
සඳහා මෙසේ වෙනම ස්පීකර් පද්ධතියක් මගින් ශබ්දය බෙදා හැරීම කළ නොහැකි නිසා කීබෝඩ්
එකේ ශබ්දයත් මික්සර් එකට ලබාදිය යුතු වෙනවා. එහිදී පෙර වර්ධකයෙන් (Pre Amp) එන ශබ්ද සංඥාව Audio Out සොකට්ටුවට ලබාගෙන, කේබලයක්
මගින් මික්සරය වෙත යවනු ලබනවා.
දැන් ඩ්‍රම්ස් සහ ඔක්ටපෑඩ් ! මේ දෙකේ අභ්‍යන්තර හඬ
උත්පාදනයත් විදුලි ඕගනයේ විස්තර කළ ආකාරයම තමයි. ඩ්‍රම්ස්, පෑඩ් දෙකේ තියෙන Tone චිප් වල Percussion
(බෙර ?) නාද සිය ගණනක් අඩංගු
කර තියෙනවා. ඩ්‍රම්ස්, පෑඩ් දෙකේදීම භාවිතා වෙන්නේ කෝටු (Sticks)
මගින් පහරදීම මගින්
අදාල නාදය වාදනය කිරීමක්. මේ ක්‍රියාව Trigger කියලා තමයි හඳුන්වන්නේ. ඒ ගැන Percussion instrument ගැන කියද්දීම පැහැදිලි
කරගමු.
ඔක්ටපෑඩ් එකේ නමින්ම කියවෙන පරිදි කොටු 8 ක් තියෙනවා. මේ
අටෙන් වෙන වෙනම බෙර නාද 8 ක් වාදනය කල හැකියි. මේ නාද අටෙහිම ශබ්දය ඔක්ටපෑඩ් එකේ Audio Out සොකට්ටුවෙන් මික්සරයට
ලබාගන්න පුළුවන්. හැබැයි... ඩ්‍රම්ස් වල කථාන්දරේ පොඩ්ඩක් වෙනස්. ඔක්ටපෑඩ් කියන්නේ
තනි උපාංගයක් වුනත් ඩ්‍රම්ස් කියන්නේ පද්ධතියක් ! ඩ්‍රම් සෙට් කියලනේ කථාවට
කියන්නෙත් ! මේ ඩ්‍රම් සෙට් එකේ එක් එක් පෑඩ් එකෙන් උපදවන තරංගය ඩ්‍රම් මොඩියුලට
ලැබෙන අතර එක් එක් පෑඩ් එකට අදාල නාදය මොඩියුලය මගින් උපදවා පෙර පරිදිම Audio Out හරහා මික්සරයට
යැවෙනවා.
ඔන්න අපේ සංගීත භාණ්ඩ ඔක්කොගේම ශබ්දය මික්සරයට ආවා. මං
කලින් ලිපිවලිනුත් කිව්වානේ මේ මික්සරය කියන්නේ වේදකාවේ මධ්‍ය ලක්ෂය කියලා. ම්ම්...
තව දෙයක් තියෙනවා කියන්න. මේ විද්‍යුත් සංගීත උපකරණ හැම එකකම වගේ Stereo ආකාරයට, ඒ කියන්නේ Left, Right
කියලා චැනල්
දෙකකින් ශබ්ද තරංගය මික්සරයට යවන්න පුළුවන්. ඔකෙස්ට්‍රා (orchestra)
එකක් වගේ
විශේෂ අවස්ථාවකදී ඇරෙන්න සජීවී වේදිකාවක ඒ විදියට චැනල් දෙකම භාවිතා
වෙන්නේ නෑ. ගොඩාක් වෙලාවට Left (mono) මගින් තමයි Out එක ගන්නේ.
දැන් ඉතින් තියෙන්නේ ගායකයාගේ හෝ කීපදෙනෙකුගේ හඬ
මික්සරයට ලබාදීම... ඒ වැඩේ නම් කරන්නේ කොහොමද කියලා හැමෝම වගේ දන්නවනේ. අපි ඒ සඳහා
පාවිච්චි කරන්නේ මයික්‍රොෆෝනය තමයි. කටහඬ සඳහා විශේෂිත වූ වොයිස් මයික් (Voice Mic)
ගායනය සඳහා
භාවිතා කරනවා.
වොයිස් මයික් නම් අමුවෙන් තියන්නෑ කීයටවත්. අනිවාර්යයෙන්
Effect
එකක් දානවාම
තමා. අඩුම ගානේ පොඩි Reverb (දෝංකාර) එෆෙක්ට් එකක් වත්...! ඒ වගේම තමයි, අර මම
මුලින්ම කියපු Acoustic Instruments වල හඬ මික්සරයට ලබාගන්නෙත් මයික් හරහා තමයි.
මෙතනදී කියන්න ඕනේ. තබ්ලා, බොංගෝ වගේ Percussion වලට දාන්න වෙනම මයික් වර්ග තියෙනවා. සිම්බල්,
හයිහැට්ස් වලට දාන්නේ විශේෂ මයික් වර්ගයක්... බටනලා වලටත් වොයිස් මයික්ම දාන්න
පුළුවන්.
මයික් ගැන කියද්දී තවත් පැත්තක් තියෙනවා. වයලීන් වලටත්
ඉස්සර මයික් යෙදුවත් ඒක එච්චර සාර්ථක වුනේ නෑ. ඒත් දැන් නම් ඉලෙක්ට්‍රික් වයලින්
තියෙනවා. ඔය ස්ටාර් තරඟ බැලුවා නම් මතක ඇති නේ. තව උපක්‍රමයක් තියෙනවා... වයලීන්
එකට අලවන මයික් එකක්. ඒවට කියන්නේ කන්ටැක් මයික් කියලා. බොක්ස් ගිටාර් (Acoustic
Guitars)
වලටත් සමහර
වෙලාවට කන්ටැක් මයික් පාවිච්චි වෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් ගිටාර් වල වගේ Pickup unit
එකක් බොක්ස්
ගිටාර් වලටත් පාවිච්චි කරන්න පුළුවන්.
ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් වගේම අකොස්ටික් ඩ්‍රම් සෙට්
වර්ගත් තියෙනවා. ඒවායේ හඬ උපදින්නේ සාමාන්‍ය බෙරයක් ආකාරයටම නිසා ඒ ධ්වනි තරංග ග්‍රහණය
කරගෙන මික්සරයකට දෙන්න නම් මයික් එක්ක පාවිච්චි කරන්න වෙනවා. වෘත්තිය මට්ටමේ අකොස්ටික්
ඩ්‍රම් සෙට් එකක් සඳහා එක් එක් බෙරය සඳහා එක බැගින්, වෙන වෙනම විශේෂිතව සැකසූ
මයික් පද්ධතියක් භාවිතා කරනවා. එමගින් වඩාත් ස්වභාවික නාදයන් ලබාගැනීමට පුළුවන්.
ඔන්න අන්තිම
ටික... දැන් හති වගේ නේද ? තව ටිකයි...!
එක එක සංගීත උපකරණ වලින්, එක් එක් විදියට උපදවන සංගීත
නාදයන් අවසානයේ විද්‍යුත් තරංගයක් බවට පත්වෙලා කේබල් මගින් මික්සරය වෙත එනවා. මික්සරය
මත එක් එක් ශබ්දයක් සඳහා එක් ශබ්ද පථයක් (චැනල් - channel) භාවිතා වෙනවා. මේ එක් එක් චැනල් එකේ සංඛ්‍යාත
සැකසුම්, ඒ කියන්නේ ට්‍රෙබල්, බේස් වගේ EQ සැකසුම් කරන්න පුළුවන්. ඒ වගේම වෙන වෙනම Effects එකතු කරන්නත් පුළුවන්.
මික්සරය මගින් එක මට්ටමකට සකසන ලද චැනල් සියල්ලේම නාදයක් එක් පොදු ශබ්දයක් ලෙස Mixer Out එක ලෙස ලබාගන්න
පුළුවන්. සමහර විටදී මේ Mixer Out එක නැවතත් Master EQ මොඩියුලයක් හරහා යවනවා. කෙසේ හෝ අවසානයට මේ
ශබ්දය ලඟාවෙන්නේ බල වර්ධක පද්ධතිය වෙත. එතනදී Amp දෙක තුනක් භාවිතා වෙන්නත් පුළුවන්. ඈම්ප්
එකෙන් ශබ්දය පිටකරන්නේ ස්පීකර් වෙතයි. ස්පීකරයේ ප්‍රාචීරය (Diaphragm)
කම්පනය වීම
මගින් විද්‍යුත්-චුම්භක ශක්තිය ධ්වනි ශක්තිය බවට හරවා අපේ කනට සංගීතය අරගෙන
එනවා...!
හරිම දිග ගමනක් නේද ? පෝස්ට් එක නම් දැවැන්ත වුනා. මොනවා
කරන්නද ? එක් එක් Instrument එක ගැන සම්පූර්ණ විස්තරයක් වෙන වෙනම පසුවට පළ කරන්නම්. මීලඟට
බෑන්ඩ් කථා සීරීස් එකේ ඊගාව පරිච්ඡේදය පටන් ගනිමු. මාස දෙක තුනක්ම හිර වුනා නේද ? බය
වෙන්න එපා... අවුරුද්දෙන් පස්සේ චතූගේ කථා නියම විදියට හැඩ ගැහේවි...!!!
එහෙනම්, මම නවතිනවා... නොතේරුණු දෙයක් තියේ නම්
අහන්න...! දන්න විදියට කියලා දෙන්නම් ! හැමදාමත් වගේ... හැමදෙනාටම... ජය !!!
ඇත්තටම ගොඩාක් වටින පාඩමක්.... බැන්ඩ් කතා එනකන් බලාගෙන ඉන්නේ අයියේ අපි.... අය්යා මේ දවස් වල ටිකක් නම් බිසි කියලා දන්නවා මම.. මේ වගේ ගොඩාක් විස්තරත් එක්ක පොස්ට් දානවට අයියාට ගොඩාක් පින්
ReplyDeleteඑළ එළ....අර පරන බෑන්ඩ් එකට මොකද උනේ...ඒ විස්තරේ එහෙම්ම නැවතුනානේ.....
ReplyDelete@ දේවා :
ReplyDeleteටිකක් වැඩ නම් තමයි මලයෝ... මේ පෝස්ට් එක දාන්න විදියක් නැතුව ඔළුව කැක්කුමේ හිටියේ. ඊයේ නිවාඩු දවසම මහන්සි වෙලා ගොඩ දාගත්තා ! බෑන්ඩ් කථා ඊළඟ පෝස්ට් එකේ ඒවි ! ප්‍රතිචාරයට ගොඩාක් ස්තුතියි මලේ !!! ජය !!!
@ නොදුටු :
බෑන්ඩ් කථා නැවතුනේ නෑ සහෝ ! ඇණ හිටියා නම් තමා, ආයෙත් ඉක්මනටම පටන් ගන්නම්... ස්තුතියි එකතුවෙලා ඉන්නවට... ජයවේවා !!!
නියම ලිපියක්. වැදගත් විස්තර ටිකක්.
ReplyDeleteදිගටම ලියන්න.
KeyBoard
ReplyDeleteAda kalaye pawichchi wena Digital sampling technology eka nisa yam thak durakata me accoustic saha Syntha athara thibena wenasa adu kara ganimata hakiyawa labila tiyenawa.
me kramaya Athi sarthaka nathi unath yam yam sangith bhanda salakiya yuthu mattamakata sample kirime hakiyawa ada tiyena CPU power eka saha RAM capacity eka nisa labila tibenawa.
බොහොම වටිනා පාඩමක්. මගේ නම් ප්‍රියතම භාණ්ඩය තමා වයලීනේ...ගිටාර් ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. බේස් ගිටාර් එකෙන් ලීඩ් ගහන්න නම් පුළුවන්...:))
ReplyDeleteමට පුලුවන් හොඳට ගිටාර් ගහන්ඩ..... පොළේ.. :-)
ReplyDelete@ ප්‍රසන්න අයියා :
ReplyDeleteස්තුතිය මාළු අයියේ...
@ පසන් :
Sampling ගැන වැඩි විස්තරයක් දැම්මේ නෑ සහෝ... අපි ඒ ටික දාමු කීබෝඩ්ස් ගැන කථා කරද්දී... ස්තුතියි විස්තරයට !!!
@ සයුරි :
පාඩමක් ය කිව්වා !!! අගේය !!! ඔය බේස් එකෙන් ලීඩ් ගහන එක ගිටාර් ගැන මෙලෝ හසරක් නොදන්න කාලේ මමත් කල දෙයක්...
සයුරිටත් වයලීන පුළුවන් එහෙනම් ! මම අහන්නත් හිටියේ ඊස්ටර්න් මියුසික් කලාය කිව්වට මොනවද කලේ කියලා... වයලින් ඇහැකි නම් ගිටාර් ගේමක් නෑ හලෝ...
හැමදාම වගේ ඇවිත් යකවට ස්තුතියි... ජයවේවා !!!
@ සෙන්නා :
//මට පුලුවන් හොඳට ගිටාර් ගහන්ඩ..... පොළේ.. :-)//
හරිම අපරාධයක් නොවැ... කීයක් පොලේ ගැහුවද ?
මට නම් සංගිතය ගැන මෙලෝ දෙයක් බැහැ ඒත් සංගිතය අහන්න නම් ඉහලින්ම පුළුවන්.
ReplyDeleteමේ වගේ ලිපියකින් නාදය නිපදවෙන හැටි ඉගනගත්තා විෂේශයෙන්ම එකොස්ටික් කියන්නෙ මොකක්ද කියලා හරියටම දැනගත්තේ අදයි.
මේවායින් වැඩ කෙරෙන හැටි ඔය සංදු පටිගත කරන දැවැන්ත රෙකොඩින් ස්ටූඩියෝ වල දැකල තියෙනවා.