Tuesday, January 24, 2012

- අවුරුද්දක් පුරා චතූගේ කථා අහන බලන හැමෝටමයි... -


     ඉතින් යාළුවනේ...! හිතාගන්න පුළුවන් නේද අද කථාව ? ඔව්, අද මගේ බ්ලොග් එකේ ඇනිවසරි එක... ඒ කියන්නේ ඔයාලා චතූගේ කථා අහන්න අරගෙන අදට අවුරුද්දක් වෙනවා ! ලොකුවට පම්පෝරි ගහන්න තරම් කාරණාවක් නොවුවත්, මගේ බ්ලොග් ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වෙන අද වගේ දවසක පෝස්ට් එකක් නොදා ඉන්නේ කොහොමද ? නේද ? අඛණ්ඩව අවුරුද්දක් පුරා බ්ලොග් එකක් ලියන එකත් ඉතින් හිතන තරම්, පේන තරම් ලේසි දෙයකුත් නෙවෙයි... ඉතින්, මහ ලොකු දෙයක් නොවුනත්, බ්ලොග් ජීවිතයට අවුරුද්දක් පිරෙන මේ වෙලාවේ ඒ සතුට ඔයාලත් එක්ක විඳගන්නයි මේ උත්සාහය...


2011 අවුරුද්දේ ජනවාරි 24 වැනිදා පටන්ගත්තු මගේ බ්ලොග් රචනාව ආරම්භයේදී නම් මේ වගේ තැනකට ඒවි කියලා මට අදහසක් තිබුනේ නෑ. ඇත්තටම මම බ්ලොග් රචනය පටන් ගත්තේ අළුත් අත්දැකීමක් නිසා. 2011 වෙනකල්ම සිංහලෙන් අන්තර්ජාල කටයුතු කරන්න පුළුවන් බවක් මම දැනං උන්නේ නෑ. ඇත්තටම කිව්වොත් බ්ලොග් කියන්නේ මොනවද ? සිංහල යුනිකෝඩ් කියන්නේ මොනවද ? කියලාවත් මට අදහසක් තිබුනේ නෑ. ඔයාලට මතක නම් ගිය අවුරුද්ද ආරම්භයේදී සිදුවුනු ජල ගැලීම් තත්ත්වය... අධික වර්ෂාව නිසා සිදුවූ හානි ගැන සිංහලෙන් ලියවුනු ඊ-මේල් පණිවුඩයක් මගේ ගිණුමට ලැබී තිබුණා. එතනින් ඇතිවුනු සිංහල අකුරු ගැන කුතුහලය මත මම සිංහල යුනිකෝඩ් ගැන සෙවුමක් දැම්මා. ඒ තවත් විස්තර හොයාගන්න. ඔන්න එතනදී තමයි, ධනික සොයුරාගේ SETT ඇන්ඩ්‍රොයිඩ් සිංහල බ්‍රවුසරය ගැන තිබුණු ලිපිය මම Google සෙවුම් ලැයිස්තුවේ දැක්කේ...

ඒ සබැඳිය දිගේ මම ආවා ධනිකගේ සිතුවිලි කියන බ්ලොග් එකට. ඒ තමයි මගේ පළමු සිංහල බ්ලොග් අත්දැකීම. ඊට කලින් මම සිංහල යුනිකේතයෙන් ලියැවුනු අන්තර්ජාල සටහනක් කියවලා තිබුනේ නෑ. SETT බ්‍රවුසරය ගැන තිබුණු ලිපියට පසු ඒ බ්ලොගයේ තිබුණු ගොඩක් ලිපි මම කියෙව්වා. එතැනින් ඇතිවුනු උනන්දුව හා කුතුහලය තමයි මගේම සිංහල බ්ලොග් අඩවියක් දක්වා මාව අරගෙන ආවේ...

ධනික සොයුරාගේ බ්ලොග් අඩවිය නිසා සිංහල ගැන ඇතිවුනු ආසාව නිසාම මම ධනික සහෝ එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වුනා. ඊ-මේල් හා Google Chat හරහා ධනික සහෝ එක්ක අදහස් හුවමාරු වුනා. මම නොදන්නා, අසා නොතිබුනු, නොවැටහුනු බොහෝ දේවල් ඒ කථා බස් වලින් මම ඉගෙන ගත්තා. සිංහල යුනිකෝඩ් හා බ්ලොග්කරණය ගැන පැහැදිලි කරලා දීලා, ඒ සඳහා වන ලිපි වෙත සබැඳියන් ලබාදීලා ධනික සහෝ තමයි මෙතනට එන්න පාර පෙන්නුවේ. බ්ලොග් එකක් කරමු කියලා ඔළුවට දැම්මෙත් ධනික සහෝම තමා... ඉතින්, ඒ හැම උදව්වක්ම වෙනුවෙන් සිංහල සයිබර් අවකාශයේ හැමෝම දන්නා හඳුනන චරිතයක් වන ධනික කෞෂල‍්‍ය පෙරේරා සොහොයුරාට මගේ ආචාරය...!!!

ඒ පෙන්නපු පාර දිගේ මම සෑහෙන්න දුරක් ආවා. මුල් මාසයෙදි බ්ලොග් ටෙම්ප්ලේට්, Java Script ඉඳන් කමෙන්ට්, ඩිසයින් වෙනකල් ඔක්කොම මම ඉගෙනගත්තා. ගොඩක්ම ඉතින් trial & error ක්‍රමයට තමා ! ඒ සඳහාම අන්තර්ජාලයේ සැරිසරපු පැය ගණන නිමක් නෑ. මාසයක් වෙනකොට යම් තරමකට ස්ථාවර බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මට පුළුවන් වුනා. සින්ඩියක් විදියට මුලින්ම මගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගත්තේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට... ආරම්භ කරලා මාසයකට පස්සේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට මාව ඇතුළත් කරගෙන තිබුණා. එතන ඉඳලා වඩාත් වැඩි පිරිසක් බ්ලොග් එකට ඇදෙන්න වුනා. සිංහල බ්ලොග්කියවනය, ලාංකීය සිතුවිලි වගේම හත්මාළුව, කොත්තු ඇතුළු අනෙකුත් සියළුම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගෙන ලබාදුන් සහයෝගයට (විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම ලාභ බලාපොරොත්තුවෙන් තොරව සිදුකළ නිසා...) ඒ අඩවි පවත්වා ගෙන යන, ඒ සඳහා වෙහෙස මහන්සි වෙන සියළුම සහෝදරවරුන්ට ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා...!

ඔය කියපු මොනවා තිබුනත් වැඩක් නෑනේ මම ලියන දේවල් කියවන්න කෙනෙක් හිටියේ නැත්නම් ! පටන්ගත්තු දවසේ ඉඳන්, ආධුනික බ්ලොග් රචකයෙක් කියලා වෙනසක් නැතිව මගේ ලියවිලි වලට ප්‍රතිචාර විදියට කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු ධනික සහෝ, නවම් මාවත ලියන නවම් සහෝ හා බුවාගේ සිතුවිලි ලියන බුවා සහෝවත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. වැඩ අධික වීම නිසා මගේ බ්ලොගේ විතරක් නෙවේ, අනෙක් බ්ලොග් එකකවත් කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ධනික සහෝට නොතිබුණු නිසා පස්සේ කාලෙ වෙනකොට ධනික සහෝගේ කමෙන්ට් නැතුව ගියා වුනත්, බුවා හා නවම් නම් මුල ඉඳන් අද වෙනකල්ම මගේ බ්ලොගේ එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ වගේම පන්සල් හන්දියේ කල්හාර සහෝ, සිතක සංකල්පනා මවන මධුරංග සහෝ, හිස් අහස ලියන සඳරූ සහෝ එක්ක මෝල්ඩර්, Hare :) හා පිණිබිඳු කියන සහෝදර සහෝදරියෝ හැම දෙනාම මුල ඉඳන්ම වගේ මගේ බ්ලොග් එකත් එක්ක එකතුවෙලා ඉඳපු අය.

පස්සේ කාලෙක එකතුවෙලා අද වෙනකල්ම ගොඩක් ලොකු සහෝදර කමකින් චතූගේ කථා එක්ක එකතුවෙලා ඉන්න නෙළුම් විලේ සියපත් කුමරිය - බින්දි අක්කා, දේව්ගේ අඩවිය ලියන දේවා මල්ලී, අතීතයෙන් මතකයන් අහුලන දිල් හා පහන් යායට එළිය දෙන සයුරි සහෝදරියන් දෙපලත් ඉතා ආදරයෙන් මතක් කරන්නේ ඕනේ. ඒවගේමයි අපේ පිටසක්වලමල්ලිවත්...!!! මේ හැමෝම තමන්ගේ කෙනෙක්ට වගේ තමන්ගේ අදහස් වලින් මේ බ්ලොග් එකට ලබාදෙන සහයෝගය මට ලොකු ශක්තියක්...!!! ඒ වගේම මෑතකදී බ්ලොග් ලෝකයට ආ ඔබ නොදුටු ලොවක්, ලොකුපුතා, සංජි, වර්ණා, සෙන්නා, නෙළුම්, රාජ් ඇතුළු නම් කී නොකී ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාට ගොඩාක්ම ස්තුතියි...! නම් නොකීවයි කියලා තරහ ගන්න නම් එපා හොඳේ... මතක තියෙන විදියටයි කිව්වේ...

මට ලැබුණු පළමු කමෙන්ට් එක සහෝදරයෙක් වගේ ළඟින් ඉන්න ධනුෂ්ක සහෝගෙන්... කාලයක් බ්ලොග් රචනයේ යෙදිලා නවත්වලා තිබුණත්, ආයෙත් බ්ලොග් පැත්තට ගෙන්න ගන්න පුළුවන් කමක් ලැබුණා... මේ ධනුෂ්කගේ සයිබර් සිතුවිලි... ඒ වගේම තමයි අතිජාත මිත්‍ර දිනිඳුගෙන් ලැබෙන සහයෝගයත්, පසන් සහෝදරයාගෙන් ලැබෙන සහයෝගයත්... සයිබරයේ වගේම සැබෑ ජීවිතයේත් සැබෑම මිත්‍රත්වයකින් එකතුවෙලා ඉන්න උඹලා හැමෝටම ගොඩක් ස්තුතියි...

බ්ලොග් රචනයට ඇවිත් අවුරුද්දයි...! මෙන්න පොඩි විශ්ලේශණයක්... පෝස්ට් 60 යි... ඒ කියන්නේ යාන්තම් මාසෙකට 05 යි - සතියකට 1 යි !!! හි හී... හිට්ස් 48,000 ක් පහුකරලා... එතකොට ෆලෝවර්ලා 180 යි... සම්පූර්ණ කමෙන්ට්ස් (මගේත් ඇතුළුව) 900 යි...

මේ දක්වා ලියැවුනු ලිපි අතරින් මම කැමතිම ලිපි කීපයක් ගැනයි මේ කියන්නේ. මුල්ම කාලේ ලිපි අතරින් ගොඩක්ම කැමති FB කළු ද ? සුදු ද ? කියන ලිපියට. එතැනදි තමා පළමුවරට බ්ලොග් එකක වාග් සංග්‍රාමයක් යන්නේ. ඒ බුවා එක්ක. එදා ගල් වලින් පටන් ගත්තත්, අද වෙනකල්ම කිසිම වෙනසක් නැතුව බුවාගෙත් මගෙත් සම්බන්ධය එහෙම්මම තියෙනවා. ඊට පස්සේ ලියවුනු රස කථා දෙකක් වන මහ රෑ කළුවරේ ත්‍රීරෝද ජරමරේ... හා ක්ෂණිකව පලදුන් සත්ත්ව කරුණාව කියන ලිපි දෙකෙන් ගොඩක් අය බ්ලොග් එක අඳුනගත්තා... ඊටපස්සේ විකිපීඩියාවෙන් පරිවර්තනය කරලා පල කල රාවණා රජු ගැන වූ ලිපි  දෙකත් ගොඩක් දෙනෙක් කියවලා තියෙනවා... ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන ලියැවුනු ලිපියත්, සිංහල සෙවුම් ක්‍රමයක් ගැන ලියැවුනු ලිපියත්, බට්ටාගේ හීන හා බෑන්ඩ් කථා ලේබල් යටතේ ලියැවුනු ලිපිත් මම කැමතිම ඒවායි.
 

ඔය තියෙන්නේ මගේ බ්ලොග් අඩවියේ මේ තාක් ජනප්‍රියතම ලිපි 10... බ්ලොගේ දකුණු පස තීරයේ ඇති වැඩිම අවධානය දිනූ කථා යටතේ තියෙන්නේ ඒවා තමා... එතෙක් මෙතෙක් ලියැවුනු ලිපි අතරින් වැඩි දෙනෙක් බලලා තියෙන්නෙත්, වැඩි දෙනෙක් ප්‍රතිචාර දක්වලා තියෙන්නෙත්, අදටත් නොකඩවා වැඩි දෙනෙක් බලන්නෙත් ලොව ඇති නොවිසඳුනු අභිරහස් ගැන කියවුනු ලිපි මාලාවයි !!! ඒ වගේම කියන්න ඕනේ ලේබල අනුව ලිපි වර්ගීකරණය ඊට යටින් තියෙනවා. ඔයා කැමති වර්ගයේ ලිපි වලට පමණක්, එක් ලේබලයකට අදාල ලිපි වලට පමණක් ලියාපදිංචි වෙන්න වුවමනා නම් කරන්න තියෙන්නේ අදාල ලේබලය ඉදිරියේ ඇති තැඹිලි පැහැති RSS අයිකනය ඔබන එක විතරයි... වැඩිම ප්‍රතිචාර දුන් අයත්, වැඩිම ප්‍රතිචාර හිමි ලිපි පෙළත් බ්ලොග් අඩවිය පහලින්ම බලාගන්න පුළුවන්... ආං.. තව දෙයක් අමතක වුනානේ... පහුගිය ටිකේ අළුතෙන් Pages ටිකක් එකතු කලා. බ්ලොග් එක ඉහළින් පෙනේවි. කැමතිම ලිපි වලට ඉක්මනින් යන්න එතනින් පුළුවන්...

දැන්, ස්තුති කථාව... එක - මගේ බ්ලොග් ගුරු වගේම බ්ලොග් අවකාශයේ හමුවුනු හොඳම සහෘදයා වන ධනික සහෝ... ඊලඟට - පළමුව කමෙන්ට් කල ධනූ හා දිනී වගේම පසන්, නිලංග, සුරේෂ් ඇතුළු මිතුරු කැළ... ඊට පස්සේ සින්ඩි වල උදවියට... ඒ වගේම තම තමන්ගේ බ්ලොග් රෝල් වලට මගේ බ්ලොග් එක එකතු කරගත් බුවා, බින්දි අක්කා, දිල් ඇතුළු සියළුම සොයුරු සොයුරියන්ට... ඒ හැමෝටමත් වඩා කමෙන්ට් කලත් නැතත්, හැමදාමත් චතූගේ කථා අහන්න එකතු වුනු ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි...!!! අවසානයට... මගේ පළමු විචාරිකාව වගේම පාද පරිචාරිකාව වුනු ආදරණීය චූටි නංගියාට නොහොත් හැමෝම දන්න මගේ නෝනිට මගේ ආදරය පුද කරන්න මේක තවත් අවස්ථාවක් කරගන්නවා. කම්පියුටරය, කී බෝඩ් එකේ ඉඳන් ඩොංගලය දක්වා ඒ දුන්න හැම සහයෝගයකටම වගේම, බ්ලොග් එක කොටන්නැද්ද ? කියලා අහලා උනන්දු කරන එකටත් ඒ හැම එකටමත් එක්කම ඔන්න නෝනේ උඹටත් පිං...!!!

බ්ලොග් රචනයට අතගහපු එකෙන් හොඳ යාළුවෝ ටිකක් ඇති කරගන්න ලැබුණා... අදහස් බෙදාගන්න වේදිකාවක් ලැබුනා... ඒ වගේමයි, සිංහලෙන් ලියන්න ලැබුණු එකත් - දැනුම බෙදාගන්න ලැබුනු එකත් ලොකු දෙයක්... තව දෙයක් කියන්නම ඕනේ... ධනික සහෝ පෙන්නපු පාර දිගේ මම ආවා වගේම තවත් සහෝදර මල්ලි කෙනෙක්ට බ්ලොග් ලෝකෙට පාර පෙන්නන්න මට අවස්ථාව ලැබුණා. ඒ පාරේ ඇවිත් මගේ හද ගැස්ම ලියන දමිත් ශ්‍රියන්ත මල්ලිත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා...

කරනවා කරනවා කියපු වැඩ ගොඩක් අතපසු වුනා... ඒ නිසා මේක කරනවා, අරක කරනවා කියලා මම කියන්නේ නෑ. කරන දේ ගැන කරන වෙලාවටම කියන්නම් කෝ... මොනවා කලත් ඔයාලගේ සහයෝගය ලැබෙනවා කියලා මම දන්නවා...

එහෙම නම්, අවුරුද්දක් පුරා ඔයාලා හැමෝගෙන්ම... නම් කී නොකී, අමතක වුනු හැමෝගෙන්ම ලැබුණූ සහයෝගයට ගොඩාරියක් ස්තුතියි... ඉදිරියටත් චතූගේ කථා ඉස්සරහට අරගෙන යන්න මාත් එක්ක එකතු වෙලා ඉඳීවි කියලා විශ්වාස කරනවා. මේ බ්ලොගේ ඇතුලේ ලියැවුනු එක වාක්‍යයකින් හරි පොඩි හෝ යම් දෙයක් ඔයාලගේ දැනුමට එකතු වුනා නම්, ඒ තමයි මගේ මේ මහන්සියේ සතුට...!!!

ඉතින්... හමුවෙමු හැමදාමත්, පුරුදු සෙනෙහසින්... 
ජයෙන් ජය !!!





35 comments:

  1. සංවස්තරයට මගෙන් සුබපතුම් සහෝ !!! ඇත්තෙන්ම උඹ ලියන විදිහ හරිම රසවත්, එක දිගට කියවගන යන්ඩ පුළුවන්, සජීවියි.. සඳරුගෙ වගේ...

    ඉදිරියටත් හොඳ හොඳ ලිපිවලින් අපිට දැනුම ලබා දෙන්ඩ යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන්ම නෝනිත් එක්ක ගෙවන යුග දිවියත් වසනාවන්ත එකක්ම වේවායි පතන අතරේ, අව් රුද්ද මුල ප්‍රාර්තනා කරපු බලාපොරොත්තුවත් එලෙසින්ම ඉටුවේවායි පතනවා..!!

    ඇත්තෙන්ම මම හරියට පුදුම උනා මේ ලඟදී උඹේ බ්ලොග් එක කියවන්ඩ අරන් කමෙන්ට් දෙක තුනක් දාපු මගේ නමත් දාලා තියනවා දැක්කම.

    ජයෙන් ජය !!!!

    ReplyDelete
  2. ඔන්න මගෙනුත් චතුරංග ට හද පිරි සුබ පැතුම්....ඔයාගේ ලිපි වලින් මම ගොඩක් ආසාවෙන් කියෙව්වා "බෑන්ඩ් කතා" සීරිස් එක...සිංහල ලිපි පෙළත් ඉදිරියට එයි කියලා බලාපොරොත්තු වෙනවා..සෙන්නා කිව්වා වගේ මගේ නම දැක්කම මාත් පුදුම උනා. මොකද ඔයාලා මේ අළුත් මට සහයෝගය දුන්නා මිසක් මගෙන් ඔයාලට වැඩක් උනා කියලා මට හිතුනේවත් නැහැ..:)) බොහොම ස්තුතියි චතු...ඉදිරියටත් ජය වේවා !!

    ReplyDelete
  3. එල ඈ... හද පිරි සුභ පැතුම්. බ්ලොග් ගමනේ තව තවත් දුර යන්න ලැබේවා, නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ වේවා...!!!

    ReplyDelete
  4. සුභ පැතුම් යාළුවා දිගටම ලියමු..

    ReplyDelete
  5. මාවත් මතක් කල එක ගැන බොහොම ස්තුතියි ! ඉදිරියටත් සාර්ථක ලියනමනකට අවශ්ය ශක්තිය ධෛර්යය ඔබසතු වේවා !

    ReplyDelete
  6. කෝඩුකාරය ඔයාගෙ බ්ලොගය පැත්තට ආවෙ අදමයි.හැබැයි මම පරණ කතා ටිකකුත් කියෙවුවා.තවත් දිගු කාලයක් අපේ බ්ලොග් පවුලත් එක්ක රැඳෙන්න කෝඩුකාරයත් ඔයාට සුභ පතනවා...!

    ReplyDelete
  7. අම්මෝ අවුරුද්දකුත් ගියා එහෙනං... මට නං අද ඊයෙ වගේ... ගොඩක් සන්තෝසයි සහෝ, අවුරුද්දක් ඇතුළත් ඔයා මේ ඇවිත් තියෙන ගමන ගැන මට සෑහෙන්න සන්තෝසයි.

    ලිපියෙ සඳහන් කරලා තිබ්බත් ‍වගේ, මුල් කාලේ මං මේ බ්ලොග් එක අනිවාර්යෙන් කියෙව්වත් පස්සෙ පස්සෙ බ්ලොග් කියවීමෙන් ටිකක් ඈත් වෙන්න සිද්ධ වුනා. දන්නවනෙ ඉතිං ඇයි කියලා? හැබැයි මං එක දෙයක් කියන්න ඕනෙ සහෝ. මට මතකයි ඔයා මේ බ්ලොග් එක හදලා මට පෙන්නපු මුල්ම දවස. එදා තිබුණු බ්ලොග් එකත් එක්ක ගත්තම අද මේ තියෙන බ්ලොග් එකේ සෑහෙන සාර්ථකත්වයක් පේනවා. තාක්ෂණික වශයෙන් වගේම අන්තර්ගතමය වශයෙනුත්. ඒකෙන් පේන්නෙ ඔයා මේ පුංචි කාලෙට කොච්චරනං දේවල් මේ සයිබර් අවකා‍ශෙන් ඉගෙනගෙන තියනවද කියලා. :)

    ඉදිරියටම යන්න සහෝ... නවතින්න එපා... මතකනෙ මං ඒ දවස් වල කිව්වා. අපි හැමෝන්ටම අපි නිරත වෙලා ඉන්න මොකක් හරි ‍ක්‍ෂේත්‍රෙකින් අපේ රට වෙනුවෙන් කරන්න පුළුවන් මොකක් හරි දෙයක් තියෙනවා. අන්න ඒ හැමදාම හිතේ තියාගන්න.

    ඔයට ජයෙන් ජය! සුභපැතුම්!!

    ReplyDelete
  8. Godaak Sathutui saho.. Pathanawa hadawathinma wanshawath anagathayakata suba pathum..!

    Desh.

    ReplyDelete
  9. මම බ්ලොග් අවකාශයට අලුත් නිසා වැඩිය කියන්න දෙයක් නෑ.
    සංවත්සරයට.... මගෙන් සුබපැතුම්....!!

    ඔබ ලියන්න.... අපි කියවන්නම්....

    ReplyDelete
  10. අහම්බෙන් හරි මට කියවන්න ලැබුන පළමු වැනි බ්ලොග් එක 'චතුගේ කතා' යි! :) මමත් වැඩියෙන්ම කැමති, 'අබිරහස් කතා' පෙළටයි! එක නම් නියමයි! පොඩියට හරි මොළේට දෙයක් දාගන්න ලැබුන,මට නම් ඔයාගේ බ්ලොග් එකෙන් සහෝ! ඉතින් වැඩි වැඩියෙන් ඉදිරියටත් ලියන්න ලැබෙන්න කියලත්, හිතන පතන හොද දේවල්, ඉහලින්ම සාර්ථක වෙන්න කියලත්, මම පතනවා ! ජයවේවා! :)

    ReplyDelete
  11. සුබ පැතුම් සහෝ... මමත් ඔයාගේ බ්ලොග් එක කියවන්න ආවේ ළඟදි. කොහොම උනත් ලස්සනට ලියනවා. දිගටම ලියන්න.. !

    ReplyDelete
  12. එළ එළ! දිගටමමමමමමමමම ලියමු! අපි හැමදාම බලනවා! සුභපැතුම්!

    ReplyDelete
  13. තව කල් ඔය විදිහටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  14. @ සෙන්නා :
    ගොඩාක් ස්තුතියි සහෝ වචන ටිකට...! සදරු ලියන්නා වගේ රසවත් ??? ඒක නම් මට කරපු උපහාරයකට වඩා සඳරුවට කරපු අපහාසයක් වගේ... හෙ හේ... (විහිළු හොඳේ)

    ප්‍රාර්ථනා වලටයි, සුභ පැතුම් වලටයි ගොඩක් ස්තුතියි සහෝ...! ඒ වගේම කියන්න ඕනේ මගේ බ්ලොගේ කියවන්න ඇවිත් වැඩි කාලයක් නොවුවත් උඹ දීපු ප්‍රතිචාර සෑහෙන්න බරයි. අනෙක එක ජාතියේ කුරුල්ලෝ එකට සෙට් වෙනවලුනේ...! ඉස්සරහටත් එකතුවෙලා ඉමු... ජයවේවා !!!

    @ සයුරි :
    ඔයාටත් ගොඩාක් ස්තුතියි සයුරි... ඒ වගේම ඔයාටත් කියන්න තියෙන්නේ පුදුම වෙන්න දෙයක් නෑ. සෙන්නාට කිව්ව එකම තමයි කියන්න තියෙන්නේ. මගේ පෝස්ට් එකක් කියවලා, "ගොඩක් හොඳයි" කියනවට වඩා හිතේ තියෙන වචන ටික අකුරු කරලා අවංකව අදහසක් කියලා යන මගේ පාඨකයෝ හැම දෙනාටම මම ගොඩක් ගෞරව කරනවා... බිස්නස් වලදී customer first වගේ, බ්ලොග් වලදී Reader First නේ...!

    බෑන්ඩ් කථා සීරීස් එක නම් දෙවැනි ඇනිවසරියත් පහුවෙන කල් ලියන්න ඇහැකි තරම් තියෙනවා... ඔෆීසියේ ට්‍රැෆික් ජෑම් !!! ඒකයි කථා පරක්කු... සිංහල ලිපි කිව්වේ කුමාරතුංග මුණිදාස මහත්මයාගේ ලිපිපෙල වෙන්නැති. ඒකත් නවත්තලා නම් නෑ. ඉවසගෙන ඉන්නකෝ... ඔන්න ආයෙත්, ගොඩක් ස්තුතියි එකතුවෙලා ඉන්නවට...! ජයවේවා !!!

    @ මණ්ඩි :
    ගොඩක් ස්තුතියි සහෝ... ඔයාගේ කථාව කියවන්නත් එන්න ඕනේ... සුභ පැතුමට බොහොම තුති...! ජය !!!

    @ දිනේෂ් :
    ගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...

    @ බුවා :
    උඹව මතක් නොකර කොහොමද ? විරුද්ධ මත ඉවසන්න මම පුරුදු වුනේ උඹ නිසා නොවැ... :P මුල ඉඳන්ම අද වෙනකලුත් මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න එකෙක් උඹ. සුභ පැතුම් වලට ගොඩාක් ස්තුතියි. කලිනුත් කිව්වා වගේ, පොඩි වැඩකුත් තියේ... පටන්ගත්තාම අනිවා කියන්නම්... ආලකමන්දාවට තාමත් නොලීවාට අමනාප වෙන්න එපා. තාම ලිපිය ලියාගෙන යනවා... එනම්, ජයවේවා සහෝ...!!! දෙවැනි සංවත්සරේටත් මෙහෙමම වරෙන්...!

    @ කෝඩුකාරයා :
    ම්ම්... අදමයි තමා දැක්කේ... ස්තුතියි මගේ බ්ලොගේට ගොඩවැදුනට... බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  15. ඔන්න මගෙනුත් සුබ පැතුමක් !
    දිගටම ලිපි ලියන්න වරම් ලැබෙන්න කියලා පතනවා !!!

    ReplyDelete
  16. අනේ මගේ නමත් තියෙනවා.. සතුටුයි..

    හ්ම්ම් චතුගේ බ්ලොග් එකට අලුතින් ආවේ මම. ගොඩාක් හිත ගිය බ්ලොගයක් නිසා හැම පොස්ට් එකකටම ආවා කමෙන්ට් කළා.
    ඉස්සරහටත් දිගු ගමනකට සුභපැතුම් වර්ණා ගෙන්

    ReplyDelete
  17. @ ධනික :
    සහෝගේ කමෙන්ට් එක දැක්කාම පුදුම සතුටක් ආවේ. ඇත්තටම... ගෝලයගේ වැඩ බලන්න ගුරා නැතුව හරියනවායෑ... ගොඩක් ස්තුතියි සහෝ වැඩ රාජකාරි අතරේ වුනත් ඇවිත් ප්‍රතිචාරයක් තියපු එකට...!!!

    අවුරුද්දක් එන්න හයිය දුන්නේ උඹයි සහෝ. ඒක නිසා මේක උඹට පෙන්නන්ම ඕනෙ වුනා. ඒ කමෙන්ට් එක නැතුව මේ පෝස්ට් එක අසම්පූර්ණයි. එදා පටන්ගනිද්දි කියපු දේවල් කිසි දෙයක් අමතක වෙලා නෑ. ඔයා තරම් මම වැඩ්ඩෙක් නොවුවත් මට පුළුවන් උපරිමයෙන් අපේ භාෂාවට වැඩක් කරන්න තමයි මගේ උත්සාහය. පාර පෙන්නුවට උඹට පිං සහෝ... සහෝටත් තව අළුත් අළුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ජය !!!

    @ Desh :
    ගොඩක් ස්තුතියි සහෝ... ජයවේවා !!!

    @ නිරිඇල්ල :
    අඳුනගන්න ආසාවෙන් හිටියේ. ගෙට් එකේ විස්තර වලින් දැනගෙන හිටියේ... ස්තුතියි මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් තිබ්බට... බ්ලොග් නොලිව්වට කමක් නෑ. ඔයා වගේ මධ්‍යස්ථ අයගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා සහෝ... ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න... හඳුනාගන්න ලැබීම සතුටක්... ජයවේවා !!!

    @ නෙළුම් :
    //අහම්බෙන් හරි මට කියවන්න ලැබුන පළමු වැනි බ්ලොග් එක 'චතුගේ කතා' යි!//
    ඒකත් ජය සිරි මංගලම් කිව්වලු. ඉඳලා ඉඳලා බලලා තියෙන්නේ මරු බ්ලොග් එකක්නේ එහෙනම්... :P

    අභීරහස් ගැන මමත් උනන්දුයි... ඒකනේ ඔයාගේ ‘මායා‘ බලන්න එන්නෙත්. ඉස්සරහටත් බලමු ඒ වගේ දෙයක් ලැබුනොත් පළ කරන්න බලන්නම්. ස්තුතියි යාවජීව සාමාජිකාවක් විදියට චතූගේ කථා එක්ක එකතුවෙලා ඉන්නවට... ජයවේවා...!!!

    @ ලහිරු :
    ගොඩාක් ස්තුතියි ලහිරු... ජයවේවා !!!

    @ මාධව :
    එළ ! දිගටම ඉන්න... ඔයාලා කියවන කල් මමත් ලියනවා... ජය !!!

    @ තරූ :
    බොහොම ස්තුතිය සහෝදරී... සුභ පැතුම් ආදරයෙන් භාරගන්නම්... දිගටම එකතු වෙලා ඉන්න... ජයවේවා !!!

    ReplyDelete
  18. සුභ පැතුම් සහෝ.......

    ReplyDelete
  19. මගෙනුත් සුභ පැතුම් ඔයාට.

    ReplyDelete
  20. මගේ උණුසුම් සුබ පැතුම් චතුරංග අයියා! වයසක සීයා කෙනෙක් උන කාලෙකත් මේ බ්ලොග් එක මේ විදියටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. :)

    ReplyDelete
  21. එළ එළ ඔය තියෙන්නේ ගින්දර වගේ... ඇදගෙන යං දිගටෝම...

    ReplyDelete
  22. සුභපැතුම් මචං, මේ දවස්වල ඩිංගක් වැඩ වැඩියි, ඒකයි පරක්කු උනේ, ඔන්න ඔය ඉතුරුවෙච්ච කේක් එහෙම තියනවනං ගනිං බලන්න. හෙහ් හෙහ් ... !

    හෙමින් සැරේ කලබලයක් නැතුව ඇදගෙන යං. ජයෙන් ජය වේවා සහෝදාරයා

    ReplyDelete
  23. බ්ලොග් ඇනිවසරියට සම්මානිගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  24. අනේ මචං දහස් වාරයක් සමා වෙන්න ඕන පරක්කු උනාට දැනුයි දැක්කෙ, මේ දවස්වල මට එහෙමට කියලා බ්ලොග් බලන්න වෙලාවක් උනේ නැහැ, උඩින් පල්ලෙන් තමා ජංජාලේ කැරකුනේ, අද මේක දැක්කෙත් උඹගේ චැට් ස්ටේටස් එකෙන් ....

    මගේ උණුසුම් සුබ පැතුම් මචං, මම අඳුර ගත්ත වර්චුවල් යාලුවෝ අතර කතා කරපු අල්ප දෙනාගෙන් එක් කෙනෙක් තමා උඹ, අවංකවම හදවතින්ම සතුටුයි උඹ වගේ යාලුවෙක් අඳුර ගන්න ආශ්‍රය කරන්න ලැබුන එක ගැන ........

    ReplyDelete
  25. කොයි තරම් වැඩේ අස්සේ උනත් මේකට ඇවිත් යන පුරුද්දක් මට ඉබේම ඇතිවෙලා.. සමහර ලිපිවලට නම් මම ගොඩාක් ලේට්.. ඒත් බ්ලොග් වලින් මම අදුන ගත්තු පුද්ගලිකව හැම ප්‍රශ්නයකටම අය්යා කෙනෙක් නැති මට අය්යලා කෙනෙක් වගේ (තවත් කිප දෙනෙක් ඒ අතර ඉන්නවා) ශක්තියක් වෙන ඔයගේ මේ බ්ලොග් ජිවිතේ තව චිරාත් කාලයක් කියවන්න අපිට ලැබේවා කියලා අයියාට හදවතින්ම සුභ පතනවා මම

    ReplyDelete
  26. @ මධූ :
    බොහොමත්ම ස්තුතියි සහෝ... එදා ඉඳලා අද ඉඳලා සහෝ මේ බ්ලොග් එකත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඒ එක්කම මං ආපු කාලේ වගේම අද වෙනකල්ම අළුත් බ්ලොග් වලට ගිහින් කමෙන්ට් කරලා ඒ බ්ලොග් රචකයන්ට මධුරංග සහෝ ලොකු සහයෝගයක් දෙනවා... ඒ හැම දේටම ගොඩක් ස්තුතියි සහෝ... ජයවේවා...!!!

    @ වර්ණා :
    ඔයාගේ නමත් තියෙනවා නේද ? මොකද දන්නවද ? ඒ ඔයත් මේකේ යාවජීව සාමාජිකාවක් නිසා... හැමදාම යනවා එනවා කියලා දන්නවා සහෝදරී... ඒ නිසානේ ස්තුති කලේ. ආයෙමත් සුභ පැතුම් වලටත් එක්කම ගොඩාක් ස්තුතියි...ජය !!!

    @ ඔබ නොදු‍ටු ලොවක් :
    හැමදාම ඇවිත් ප්‍රතිචාරයක් තියලා යනවාට උඹටත් ගොඩක් ස්තුතියි සහෝ... ජයවේවා !!!

    @ නදුන් : ගොඩාක් ස්තුතියි සහෝ...!

    @ පිටසක්වලයා : ගොඩක් ස්තුතියි යසේ මලයා... මං නාකි වෙන කාලෙය බ්ලොගර් කියලා සර්විස් එකක් තිබුනොත් බ්ලොග් එක කොටන්නම්... නැත්නම් ඉතින් නාකි වුනු කාලෙක කොටන්න වෙන්නේ බුලත්විට තමා... හෙ හේ...! උඹටත් ගොඩාක් ස්තුතියි මල්ලියේ...!!! ජය !!!

    @ පැණි : දියටම යනවා සහෝ... ඔයාලගේ උදව්වත් එක්ක... ස්තුතියි... ජය !

    @ නවම් :
    හම්මේ... දැකීමත් සතුටක්. උඹෙනුත් කමෙන්ට් එකක් නැතිවුනොත් ඒක මෙතෙනට අඩුවක් ! මුල පෝස්ට් වල ඉඳන්ම මේ පැත්තේ ඇවිත් අදහස් කියලා ලියන්න ශක්තිය දෙන උඹලා ඔක්කොටම ගොඩක් පිං...! හපොයි... කේක් නම් නැ බං... කැවුං දෙඥ්ඥං !!!

    හදිස්සියක් නම් නෑ බං, පරක්කුව මිසක්... දිගටම යන්න තමා කල්පනාව... උඹලා වගේ යාළුවෝ අඳුනාගත්ත මේ බ්ලොග් කෙරුවාව දාලා යන්නේ කොහොමැයි... නොවෙනස්ව ලඟ ඉන්න එකට සතුටුයි සහෝ... ජය !!!

    @ සම්මානි :
    අප්පට බොල ! බ්ලොග් ඇනිවසරියට සම්මානයකුත් හම්බුවෙලා නොවැ... :D
    ගොඩාක් ස්තුතියි සුභ පැතුම් හා ප්‍රතිචාරයට... ජයවේවා සහෝදරී !!!

    @ කල් :
    වැඩ කියලා මම දන්නවා බං... මොනවා කරන්නද ? බ්ලොග් බලන්න කලින් ජීවත් වෙලා ඉන්න එපෑ... නේද ?

    //මම අඳුර ගත්ත වර්චුවල් යාලුවෝ අතර කතා කරපු අල්ප දෙනාගෙන් එක් කෙනෙක් තමා උඹ, අවංකවම හදවතින්ම සතුටුයි උඹ වගේ යාලුවෙක් අඳුර ගන්න ආශ්‍රය කරන්න ලැබුන එක ගැන//

    මටත් කියන්න ඕනේ ඔය ටික තමා කල්... කලිනුත් කමෙන්ට් එකක කිව්වා වගේ එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ නොවැ වහන්නේ... කවදාවත් දැකලා නැති වුනත් සහෝදරයෝ සහෝදරියෝ වගේ කිට්ටු හොඳ යාළුවෝ ටිකක් මේ බ්ලොග් කෙරුවාවෙන් හම්බ කරගත්තා. හිට්ස්, කමෙන්ට් වලට වැඩිය ඒ බැඳීම් ටික වටිනවා බං... ගොඩක් ස්තුතියි උඹටත්... හැමදාමත් එකතුවෙලා ඉමු... ජය !!!

    ReplyDelete
  27. --------------------------------------------
    දේවා : කොයි තරම් වැඩේ අස්සේ උනත් මේකට ඇවිත් යන පුරුද්දක් මට ඉබේම ඇතිවෙලා.. සමහර ලිපිවලට නම් මම ගොඩාක් ලේට්.. ඒත් බ්ලොග් වලින් මම අදුන ගත්තු පුද්ගලිකව හැම ප්‍රශ්නයකටම අය්යා කෙනෙක් නැති මට අය්යලා කෙනෙක් වගේ (තවත් කිප දෙනෙක් ඒ අතර ඉන්නවා) ශක්තියක් වෙන ඔයගේ මේ බ්ලොග් ජිවිතේ තව චිරාත් කාලයක් කියවන්න අපිට ලැබේවා කියලා අයියාට හදවතින්ම සුභ පතනවා මම
    --------------------------------------------

    දේවා මලයගේ මේ කමෙන්ට් එක මේල් එකට ඇවිත් තිබුණට මෙතන පළ වෙලා නෑ. ඉතින් ඒක පේස්ට් කරලා දැම්මා ඔන්න. ඇත්තම කියනවා නම් ඉස්සර මලයගේ බ්ලොග් එකට මම කැමත්තකින් හිටියේ නෑ. ඒත් දැන් මමත් මලයගේ බ්ලොග් එකේ යාවජීව සාමාජිකයෙක්. හැමදාම කියවන බ්ලොග් කීපයෙන් එකක් මල්ලිගේ බ්ලොග් එක. කල් කිව්වා වගේ උඹ වගේ සහෝදරයෙක් අඳුනාගන්න ලැබුණූ එකට ගොඩාක් සතුටුයි දේවා මල්ලි...! ගොඩාක් ස්තුතියි... ජයෙන් ජය !!!

    ReplyDelete
  28. යාලු........
    මුලින්ම සමාව ඉල්ලනව මේක කොටන්න මෙච්චර පරක්කු උනාට. මේ දවස් වල case කියල උඔ දන්නවනෙ. කොහොම උනත් මට උඹ ගැන සෑහෙන සන්තෝසයි. උඹව අදුන ගත්ත කාලෙත් එක්ක බලන කොට සෑහෙන හොද ගමනක් උඔ ඇවිල්ල තියනව. බ්ලොග් එකත් එහෙමම තමයි.
    උඹේ post එකේ මගෙ නමත් දැම්මට බොහොම ස්තූතියි. දිගු ගමනක් යන්න මගෙන් සුභපැතුම්. "බෑන්ඩ් කතා" දිගටම ලියන්න. ජය වේවා මචෝ......!!!!!!

    ReplyDelete
  29. මටත් සමාව දීපන් උඹට comment එකක් දාන්න පරක්කු වුණාට. මම අද තමයි මචං සීන් එක දැක්කෙ. පහුගිය දවස්වල full occupied හින්දා මේ පැත්තෙ එන්න ලැබුණෙ නෑ. සිරාවටම මචං කොච්චර බ්ලොග් තිබුණත් මටනං උඹේ බ්ලොග් එක තරං එකක්වත් Hit වෙලා නෑ. මේ බටර් පාරක් එහෙම නෙමෙයි ආ.......... මං හිතන්නෙ මචං උඹ බොක්කෙන්ම ලියන හින්දා වෙන්න ඇති. ඒ වගේම උඹේ Posts නං මචං පට්ටම professional. උඹ ඉස්කෝලෙ යන කාලෙ වගේමයි. ඒකනෙ ඒ කාලෙ උඹට ප්ලොයිඩ් කිව්වෙ. මතකද...???

    ඔන්න එහෙනම් මචෝ....පරක්කු වෙලා හරි උඹට උණුම උණු සුභ පැතුම්!!! මේ විදියටම දිගටම දිගම දිග ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!! බ්ලොග් එකට විතරක් නෙමෙයි.... තේරුණා නේ......?

    ReplyDelete
  30. @ ධනූ :
    පරක්කු වුනාට කමක් නෑ බං...! මොන පෝස්ට් එකට නැතත් මේ පෝස්ට් එකට උඹලගේ කමෙන්ට් අත්‍යාවශයයි. කවදා හරි වයසට ගිය දවසක බලලා සතුටු වෙන්න පුළුවන් මේ දිහා... බ්ලොග් එක ඇතුලෙදි වගේම සැබෑ ජීවිතේදිත් උඹගේ අදහස් හැම එකකටම ස්තුතියි මචං...

    සයිබර් සිතුවිලි පණ ගහලා ගමු... බෑන්ඩ් කථා නවත්තන්නේ නෑ, බය වෙන්න එපා. එදා වගේම අදත් සහෝදරයෙක් වගේ උඹ ළඟින් ඉන්නවා කියලා මම දන්නවා... එනම්, ජයවේවා මචං...!

    @ දිනී :
    උඹයි, ධනුෂ්කයි තමයි මුලින්ම මට කමෙන්ට් එකක් දැම්මේ. ඇනවසරි පෝස්ට් එකට අන්තිමට කමෙන්ට් කරලා තියෙන්නෙත් උඹලා දෙන්නමයි... දෛවෝපගතයි...!!!

    උඹ ඉතින් ෆුල් බිසීනේ ! කොච්චර ලඟ එකෙක්ට වුනත් බ්ලොග් එක බලලා කමෙන්ට් කරපන් කියලා මම බල කරන්නෑ කියලා උඹ දන්නවනේ. ඒ නිසා තමයි කෝල් කලත් නොකීවේ. පරක්කු වුනාට අවුලක් නෑ බං... වචනේ ඇති...!

    //කොච්චර බ්ලොග් තිබුණත් මටනං උඹේ බ්ලොග් එක තරං එකක්වත් Hit වෙලා නෑ// මේක නම් කොල්ලෝ වැරදියි. උඹ යාළුවා නිසා එහෙම පේනවා ඇති තමා. ඒත් මගේ බ්ලොග් එක සාමාන්‍ය බ්ලොග් එකක් විතරයි. මට වඩා හොඳ බ්ලොග් ගාණක්ම තියෙනවා. බලපං...!

    ඉස්කෝලෙ කාලේ මතක් කලාම ඒවා මතක් වෙලා හිනාත් ගියා... හිතුනොත් ඉස්කෝලේ කථා ටිකකුත් ලියලා දාන්නම්. සුභ පැතුම් වලට ගොඩාක් ස්තුතියි මචෝ... ජයෙන් ජය !!!

    ReplyDelete
  31. සුභ පැතුම් අය්යේ.

    ReplyDelete
  32. පළමු සංවත්සරයට මගෙන් සුබපැතුම්! ජය වේවා!

    ReplyDelete
  33. @ හිම හංසි :
    ගොඩාක් ස්තුතියි නංගා !!!

    @ සංජි :
    සහෝදරීටත් ගොඩාක්ම ස්තුතියි සුභ පැතුවාට !!! ජයවේවා !!!

    ReplyDelete
  34. නොපෙනෙන ඉසව්වකට අපිව අරන් ගියා ඔයා.මේව පිං අතේ වැඩ. මමත් බැරි බැරි ගානෙ බ්ලොගයක් හැදුවා යාලුවන්ගෙන් අහගෙන් ඇවිත් බලල අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න. තවත් පිං.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  35. ශ්‍රීනාත් දයානන්දAugust 29, 2012 at 11:42 AM

    මම පුද්ගලිකවම "චතුරංග පෙරෙරාට" කැමති, ඹහගේ ලිපි ආසාවෙන් කියවා රස විදින පාඨකයෙක්මි. මා මෙම කමෙන්ටුව දැමීමට සිත්වූයේත් ඹහුගේ ලිපි වල ඇති රසාස් වාදය නිසායි.මා ඔහුට තවම "උඔ"යැයි ඇමතීමට තරම්, සමීපතමයෙකු නොවෙන නිසා මා ඔහුට, එසේ නොඅමතමි.මා කිසිදු කමෙන්ටුවක් නොදමා යන්නට හැදුවද, මා ඔහුගේ සංවත්සර සැමරැම මගහැර යාමට තරම්, කුහකයෙකු නොවේමි. මා ඔහුගේ සාර්ථකත්වයට හදවතින්ම සුභ පතන අතර, ඔහුගේ පුද්ගලික දිවියේ සාර්ථකත්වයටද සුභ පතමි.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...