Sunday, October 23, 2011

Three-piece බෑන්ඩ් එකෙන් Full Band එකට... - බෑන්ඩ් කථා #5

            හුගිය කොටස් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ස්තුතියි කියන ගමන් අද කථාව පටන් ගන්නවා එහෙනම්. සංගීත ජීවිතේ ඇරඹුමෙන් සටහන් වෙලා, පොඩි බෑන්ඩ් එකක් හදාගෙන... ඒකත් එක්ක ටික ටික ඉස්සරහට ආපු හැටි, අළුතින් ලැබුණු කීබෝඩ් තෑග්ග හා ඒක නිසාම අන්තිමට ගෙදරිනුත් යන්න උනු එක අපි පහුගිය කොටස් හතරේදී කියෙව්වා නේ. ඉතින් අපි අද කියවමු කොල්ලා ගෙදරින් ගියාට පස්සේ කොහොමද මියුසික් කලේ කියලා. ඒ වගේම අපි තුන් දෙනාගෙන් පටන්ගත්තු බෑන්ඩ් එක  ප්ලේයර්ලා ඔක්කොම සම්පූර්ණ කරගෙන ෆුල් බෑන්ඩ් එකක් වුනු හැටිත් අද කියන්නම්...


ම්ම්...ම් ! ඊට කලින්, පහුගිය කොටස් බැලුවේ නැති අය ඉන්නවා නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලලා එන්න හොඳද ? පළමු කොටසේ ඉඳලා කියවලා පහලට ඇවිත්, ඊලඟ කොටසට යන්න හැම කොටසකටම ලින්ක් දාලා ඇත්තේ. මිස් වුනු අය බලාගෙන එන්නකෝ එහෙනම්... !!!


ඇත්තටම කිව්වොත් ගෙදරින් පිටවෙලා ගමෙන් ඈත්වුනාට පස්සේ බෑන්ඩ් කෙරිල්ල ටිකක් අඩුවුනා කිව්වොත් හරි. කිලෝමීටර 6-7 ක් දුරකට තමා මම ගියේ. ඉතින් හිතුන හිතුන වෙලාවට යන්න එන්න බැරි නිසා සහ වෙනදා වගේ රෑ බෝවෙන්න බැරි නිසා ප්‍රැක්ටිස් වුනේ සීමා සහිතව... මාසෙකට දවසක් දෙකක් ඔහේ ජොලියට සෙට් වෙලා ඔය මොනවා හරි කියෝ කියෝ, සින්දු ටිකකුත් ගහලා විසිරිලා යන එක තමා ඔය දවස්වල කලේ. පිළිවෙලකට ප්‍රැක්ටිස් එකක් තිබුනේ නෑ.

ඔයාලට මතකත් ඇති මම මුල්ම කොටසින් කිව්වේ අපේ මහප්පා ගැන. අර මට casio ඕගන් එක ගෙනත් දුන්නේ. ඔන්න ඒ මහප්පා තීරණය කරනවා මාව එයාලගේ ගෙදර, ඒ කිව්වේ කඩවත නවත්තගන්න. ඒ වෙනකොට මම හිටියේ අම්මත් එක්ක. ඔය කාලේ ජීවිතේ හරිම අමාරු කාලයක්. කුලී ගෙවල් ජීවිතේට පුරුදුවෙන්න වුනා. අනික මම ගෙදරින් ඇවිත් මාස දෙකකින් අපේ අයියව හොස්පිටල් නැවැත්තුවා. (ඒ හොස්පිටල් කථා පස්සේ කියන්නම් කෝ !) මමත් මේ වෙද්දී උසස් පෙල අවසාන වසරේ... 2002 අවුරුද්දේ මාර්තු 15 වෙනිදා, පිරෙන්න පැක් කරපු සයිඩ් බෑග් එකක් බරට බරේ එල්ලගෙන, තව ටියුලිප් බෑග් එකකුත් පුරෝගෙන මම තනියම කොලොම්පුරේ ආවා. අයියා කොළඹ ජෙනරල් හොස්පිටල් හිටිය නිසා යන්තන් ටවුන්හෝල් බහින්න දන්නවා. මහප්පා ටවුන්හෝල් ඇවිත් මාවත් අරගෙන කඩවත ආවා. එදා ඉඳන් මමත් කඩවත...!

ජීවිතේ පෙරලි ලඟ අභියෝග කරන්න අපිට හයියක් හත්තියක් නෑ. ඉතින් පෙරලෙන පෙරලෙන පැත්තට ගහගෙන යන ඔරුවක් වගේ මමත් තීරණවලින් ගහගෙන ගහගෙන ගියා. තාත්තගේ රැකවරණය තවදුරටත් නොලැබෙන හින්දා මගේ අනාගතය ගැන තීරණයක් ගන්න වැඩිහිටි අය විදියට මහප්පා හිතන්නැති. උඹ මෙහේ හිටපන්... කියලා අයියා කිව්වේ මට වියදම් කරන්න තරම් හයියක එයා හිටපු නිසා වුනත්, මේ වෙද්දී පිළිකා රෝගය නිසා එයා මහරගම පිළිකා රෝහලේ...! ඒ නිසා මගේ වගකීම ගන්න මහප්පා මාව එහෙට ගන්න ඇති. කොහොම වුනත් මම කඩවත ගියේ නම් ඒ තරම් කැමැත්තකින් නෙවෙයි. මම පොඩි කාලෙත් අවුරුදු එකහමාරක් විතර මහප්පලගේ ගෙදර හිටියා. ශිෂ්‍යත්ව විභාගය ලිව්වෙත් කඩවත ඉස්කෝලෙක. ඒ නිසා නුපුරුදු තැනක් නොවුනත් මගේ ඒ හැටි කැමැත්තක් තිබුනේ නෑ.

සමාවෙන්න ඕනේ ! මේ බෑන්ඩ් කථා නෙවෙයිනේ නේද ? පසුබිම පහදා දෙන්නයි ඔය ටික කිව්වේ. කොහොමටත් 2002 අවුරුද්දේ මුල ඉඳන් මම කඩවත යනකල්ම මාස තුනම අපේ බෑන්ඩ් එකේ ප්‍රැක්ටිස් එකක් තිබුනේ නෑ. මේ වෙද්දී බෑන්ඩ් එක තිබුනේ නිද්‍රාගත තත්ත්වයක. කොහොමටත් 2002 අප්‍රේල් මගේ AL විභාගේ නිසා අනම්මනම් වැඩ නවත්තලා තිබුනේ. මහප්පා මාව එහෙට ගත්තෙත් වැඩියෙන්ම විභාගේ හින්දා තමා. ඉතින් මේ කාලේ පුරාවටම කිසිදු බෑන්ඩ් කටයුත්තක් සිද්ධ වුනේ නෑ...



අප්‍රේල් 22 AL විභාගේ පටන් ගත්තා. ඔය වෙද්දී මම ආයෙත් ගෙදර ඇවිත්. ඔය කාලේ අවුරුදු ප්‍රසංග හැම තැනම. ඇහෙනකොට නලියනවා වගේ. Flashback බෑන්ඩ් එක ප්ලේ කරන ෂෝ එකක් තිබුණා අහල පහලම.... විභාගේ අස්සේ වුනත් සංජයලා එක්ක මම ගියා ඕක බලන්න. ඉතින් කොහොමද අපිව හදන්නේ ඈ...!!! ඔය දවස්වල ඉතින් ලොකු බෑන්ඩ් එකක් ප්ලේ කරන මියුසිකල් එකකට ගියාම අපේ සෙට් එකම ඉන්නේ ස්ටේජ් එක ලඟම තමා. මොකක් හරි වැඩ කෑල්ලක් අල්ල ගන්නමයි බලන්නේ. ආ...! තව එකක් කියන්නම ඕනේ. අපේ ගමේ පිට්ටනියේ  1996 දී විතර Flashback බෑන්ඩ් එක ප්ලේ කරපු ෂෝ එකක් බලලා තමා අපිටත් බෑන්ඩ් උණ ආවේ. දැන් නොවැ ඒකත් මතක් වුනේ...!

විභාගේ ඉවරවෙලත් දවස් ගාණක් ගෙදර හිටියේ. ඔය අස්සේ අහම්බෙන් ඩ්‍රැගා හම්බවෙලා දවසක් ඌත් එක්කම ගිහින් කට්ටිය එක්ක සින්දු දෙක තුනක් ගහලා ආවා. ඔය වගේ පොඩි පොඩි හුදකලා සිදුවීම් මිසක් බෑන්ඩ් කෙරුවාවක් වුනේ නෑ. ම්...ම්... තව එකක්. ඔය කාලේම මට සෙට් වුනා පොල්ගස්ඕවිට දහම් පාසලේ උත්සවේකට ඕගන් ප්ලේ කරන්න. මම තනියෙන් ඔක්කොම ප්ලේ කරන්න ඕනේ. එක සින්දුවයි...! ඒත් ඉතින් තනියම ඕක කරනවා කියන්නේ. ඒ දවස්වල... අම්මේ.... කොහොම හරි ඒක ෂේප් එකට ඉවරකලා.

අප්‍රේල් වලදී අපේ බෑන්ඩ් සෙට් එකම එකතුවුනු නිසා අපේ අයට ආයෙත් බෑන්ඩ් උණ ගහලා දැන්... මැයි-ජුනි වගේ කාලෙදී ඔන්න ආයෙත් හිමිහිට බෑන්ඩ් එක පටන් ගන්නවා. මෙච්චර කල් අපේ බෑන්ඩ් එකට ගිටාර් ප්ලේ කරන්න කවුරුත් හිටියේ නෑ කියලා මම කිව්වනේ. ඔන්න මේ කාලේ වෙද්දී සංජය ආයෙත් බෑන්ඩ් එකට බැහැලා වැඩ කරනවා. ඌ කොහෙන්ද මන්දා අඳුනන එකෙක් හොයාගෙන ඇවිත් ලීඩ් ගිටාර් වලට. නම ගීත්. අපිට වඩා ටිකක් වැඩිමල්. මිනිහත් එක්ක අපි පොඩි ප්‍රැක්ටිස් එකක් දැම්මා. හොඳටම හොඳ නොවුනත් ෂේප්. මේ කාලෙදි අපිට තේරුම් ගිය එකක් තමා ෆුල් බෑන්ඩ් එකක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඩ්‍රම්ස්, ඔක්ටපෑඩ්, කීබෝඩ්ස්, ලීඩ් ගිටාර්, රිදම් ගිටාර් සහ බේස් ගිටාර්... ඉතින් බෑන්ඩ් එක ඉස්සරහට ගෙනියන්න නම් මේ හය දෙනා එක්ක හොඳ සිංගර්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙකුත් සෙට් කරගන්න ඕන. සංජය මේ වෙන කොට මෙහෙයුමට බැහැලා හිටියේ. ඉතින් මම කඩවත ඉදිද්දී අපේ අය මෙහේ වැඩ සෙට් කරගෙන යනවා...

මේ කාලෙදි තමා දෙවැනි පාර AL කරන එක අතඇරලා මහප්පගේ අනුමැතියත් ඇතිව මම IDM එකේ කම්පියුටර් කෝස් එකට යන්නේ. සතියේ දවස් පහේම කඩවත ඉඳන් කොලඹ එනවා. IT ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න තමා ඔය කාලේ ඉලක්කය තිබුනේ. කොහොම හරි කෝස් එකේ මාස 4 ක්ම වගේ මම හොඳටම උනන්දුවෙන් කරා. ඔය අස්සේ නිවාඩුවකට ගෙදර ආපු වෙලාවක මම සංජයලගේ ගෙවල් පැත්තේ ගියා. දැන් බේස්, රිදම් වලටත් දෙන්නෙක් සෙට් කරගෙන. ලීඩ් ගහපු ගීත් වත් සෙට් කරගෙන අපි ඔක්කොමල්ලා එක්ක ප්‍රැක්ටිස් එකක් දැම්මා. මේකට මම සහභාගි වුනේ IDM ක්ලාස් දවසක් කට් කරලා. උදෙන්ම ක්ලාස් යනවා වගේ කඩවතින් එනවා. කෙලින්ම කොලඹ ඇවිත් පොල්ගස්ඕවිට එනවා. ආයෙත් 4 ට විතර කොළඹ ඇවිත් කඩවත එනවා. නරක වැඩක් තමා...! ඒ දවස්වල ඕවා තේරුනේ නෑ නොවැ...!

ගීත් ගේ ලීඩ් ගැහිල්ල එදා බේස් ගහන්න සෙට් වුනු කුමාර අයියට ඇල්ලුවේ නෑ. කුමාර අයියා කියන්නේ කොට්ටාව සෙනිත් සංගීත කණ්ඩායම පටන් ගන්න කලින් සෙට් එකේ ප්ලේ කරපු කෙනෙක්. ඒ වෙන කොට සිව්දරු පියෙක් වුනත් බෑන්ඩ් උණ නම් අඩුවෙලා තිබුනේ නෑ. ඉතින් කුමාර අයියා කිව්වා එයා ලීඩ් ගහන්නම් කියලා. දැන් බේසෙක් හොයාගන්න ඕනේ... ඔක්තෝම්බර් මාසෙ ඔන්න මොරගහහේන පැත්තේ තවත් ටිකක් වයසක පහේ (තිස් පහක විතර !) බේස් අයියා කෙනෙක් සෙට් වුනා. ඔය ප්‍රැක්ටිස් එකටත් මම ගියේ ක්ලාස් කට් කරලා. ඔය බේස් අයියත් සති දෙකයි ආවේ. දුර වැඩි නිසාත්, පවුල් කාරයෝ නිසාත් ඉතින් එයා එක්ක වැඩේ දිගට කරන්න බැරිවුනා. ඔහොම එක සතියක ක්ලාසුත් කට් කරගෙන ප්‍රැක්ටිස් යනකොට බේස් නෑ. ඉතින් ප්‍රැක්ටිස් හබක් වුනා. ඒ වෙලාවට තමා මියුසික් එපා වෙන්නේ. මම ඊට පස්සේ සිකුරාදා ප්‍රැක්ටිස් ගියේ නෑ ඒ කාපු චාටරේ නිසාම.

ඔක්තෝම්බර්  අන්තිම කාලේ, නොවැම්බර් මුල කාලේ වගේ මගේ ක්ලාස් කට් කෙරිල්ල වැඩි වුනා. මම මහප්පට එක එක ඒවා කියලා ගෙදර එන්න ගත්තා. ඔය කාලේදී මගේ කාලේ ගොඩක් ගතවුනේ සංජයලගේ ගෙදර තමා. නොවැම්බර් වල අපේ සෙට් එකේ ප්‍රැක්ටිස් වැඩි වුනා. ගොඩක් දවස් වලට රෑ වෙනකල්ම අපි ප්‍රැක්ටිස් කලා. සෙට් වෙන වෙලාව වැඩි වුනා. කට්ටිය කොයි වෙලේත් එකටමයි... පිස්සුමයි... ඔය ගැන විස්තර ඇතුව ඊලඟ කොටසින් කියන්නම්කෝ.  

ඉතින් ඔහොම යද්දී මට කඩවත ඉන්න එක එපාවුනා. බෑන්ඩ් උණ නිසාමත් නෙවෙයි. මහම්මා මාත් එක්ක ටිකක් අප්සෙට් හින්දා. ඉතින් මම තීරණය කලා ආපහු ගෙදර එනවා කියලා. ඒ කියන්නේ අම්මා ලඟට... සංජයත් එක්ක කඩවත ගිහින් මගේ බඩු භාණ්ඩ ටිකත් අරගෙන මම ආපහු ගෙදර ආවා. ඒකත් මම ගත්ත තවත් එක් මෝඩ තීරණයක් තමා. ඒත් ඉතින් වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ.

නොවැම්බර් 20... අපි කට්ටිය කථා කර කර ඉන්න ගමන් සංජය යෝජනාවක් ගෙනාවා. සංජය ඒ වෙන කොට ගොඩගම ටෙක්නිකල් එකේ ඉගෙන ගත්තේ. මේකේ අවුරුද්ද අන්තිමට තියන get-together එකට ප්ලේ කරන්න අපේ බෑන්ඩ් එකට චාන්ස් එකක් ගන්න. ඉතින් යෝජනාව ස්ථිර වුනා. මේක ස්ථිර වුනේ 20... ෂෝ එක තියෙන්නේ 29... දවස් 9 ට ප්‍රැක්ටිස් කරලා ප්ලේ කරන්න ඕනේ. ඉතින් අපි මේ අභියෝගයට ලෑස්ති වුනා...

ඉතින් අදත් අනංමනං වලට කථාව දිග වැඩි වුනා. කථාව දිග වැඩි වෙන එකට සමාවෙන්න ඕනේ... කල්හාර සහෝත් කිව්වා පුළුවන් නම් පෝස්ට් කොට කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි ඉතුරු ටික ලබන කොටසින් කියවමු. ලබන කොටසෙන් අපේ ප්‍රැක්ටිස් ගැනත්, සංගීත කරලියට පය ගහපු මංගල සංගීත ප්‍රසංගයේ තොරතුරු එක්කත් හමුවෙමු... එහෙනම් මං ගියා... ජයවේවා !!!







11 comments:

  1. කථාව කෙටි කරලා ලියන එක හොදයි කියලා කල් සහෝගේ කමෙන්ට් එකක් මාත් දැක්කා.. මාත් ඒකට එකගයි.. ඒත් ඉතින් අය්යා කරන දේ අනුමත කරන්නත් බැ.. පොස්ට් එකක් දාන්න සැහෙන්න දවස් ගන්නවානේ..

    මෙහෙමත් උනක් අෆ්ෆා.. කථාව ඉවර වෙනකන්ම හිතාගන්න බැරිවෙයි වගේ අය්යාට මේ තරම් උනක් තිබිලා දැන් කරන ‍ෆිල්ඩ් එකට ආවේ කොහොමද කියලා

    ReplyDelete
  2. අර අයියා ගැන කියලා තියන සිද්ධිය කැමති නං පෝස්ට් එකකට දැම්මොත් මොකද, ජීවිතේ මාරයි නේද බං ......

    මේ උඹ තාමත් බෑන්ඩ් ගහනවද ....

    ReplyDelete
  3. මටත් ඹයවගේ අත් දැකිමි තියනවා

    ReplyDelete
  4. දේවා මලයා හා කල්හාර සහෝගේ කමෙන්ටු දෙක මගේ මේල් එකවුන්ට් එකට ලැබී ඇත. බ්ලොගර් වලට පබ්ලිෂ් වී නැත.!!!

    --------------------------------------------------------------
    //කථාව කෙටි කරලා ලියන එක හොදයි කියලා කල් සහෝගේ කමෙන්ට් එකක් මාත් දැක්කා.. මාත් ඒකට එකගයි.. ඒත් ඉතින් අය්යා කරන දේ අනුමත කරන්නත් බැ.. පොස්ට් එකක් දාන්න සැහෙන්න දවස් ගන්නවානේ..

    මෙහෙමත් උනක් අෆ්ෆා.. කථාව ඉවර වෙනකන්ම හිතාගන්න බැරිවෙයි වගේ අය්යාට මේ තරම් උනක් තිබිලා දැන් කරන ‍ෆිල්ඩ් එකට ආවේ කොහොමද කියලා //
    --------------------------------------------------------------

    @ දේවා :
    මුල් ඡේදෙන් මලයා අදහස් කලේ මොකක්ද කියන එක පැටලිලි සහගතයි. ඒක ගැන පස්සේ කථා කරමුකෝ...ඇත්තටම අර කථාවක් තියෙනවනේ වලේ වැටුනු මිනිහා වල කටින්ම ගොඩ එන්න ඕනේ කියලා. බෑන්ඩ් නිසා වලේ වැටුනු මම බෑන්ඩ් වලින්ම ගොඩ එන්න ඕනේ කියලා හිතලා වැඩේට බැස්සා වුනාට තවත් වලට වැටුනා විතරයි... බෑන්ඩ් එක්කම IT Field එකේ තමා ජොබ් කලෙත්. ඒත් බෑන්ඩ් නිසා ඒවා ස්ථීර වුනේ නෑ. ම් ම් මෙතන කියන්න ගියොත් පෝස්ට් එකක්ම කොටන්න වෙනවා... හිමිහිට කියන්නම් මලේ... ජයවේවා...!

    ______________________________________________________________

    //අර අයියා ගැන කියලා තියන සිද්ධිය කැමති නං පෝස්ට් එකකට දැම්මොත් මොකද, ජීවිතේ මාරයි නේද බං ......

    මේ උඹ තාමත් බෑන්ඩ් ගහනවද ....//
    --------------------------------------------------------------

    @ කල්හාර :
    අයියා ගැන පෝස්ට් එකකින් ඉවර කරන්න බෑ සහෝ... බෑන්ඩ් ගැන ඉවර කරලා හොස්පිටල් සීරීස් එකක් පටන්ගන්නම්...! කථා ඔක්කොම ඇහුවම ජීවිතේ මාරයිද ? නැත්නම් වෙන මොකක් හරිද කියලා උඹම තීරණය කරපන්...

    දැන්නම් බෑන්ඩ් ගහන්නෑ සහෝ... නෝනි ජීවිතේට confirm වුනු දවස්වලම බෑන්ඩ් ජීවිතේට සමුදීලා මගේ ජීවිතේ හදාගත්තා. නැත්නම් තාම වලේ...! ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  5. අර අයියා ගැන කියලා තියන සිද්ධිය කැමති නං පෝස්ට් එකකට දැම්මොත් මොකද, ජීවිතේ මාරයි නේද බං ......

    මේ උඹ තාමත් බෑන්ඩ් ගහනවද ....

    ReplyDelete
  6. කොහොමින් කොහොම හරි ඔය වැඩෙන් ගොඩ ආවනං ඇති..හෙනම කට්ටක් කාලනේ....

    ReplyDelete
  7. නියමයි මේ අත්දැකීම්... උඹ වගේ උන් සෑහෙන්න ගාණක් මම ඇසුරු කරල තියෙනවා. හැමෝගෙම කතාව මීට දෙවෙනි නෑ.

    ReplyDelete
  8. මට හිතෙන්නේ බෑන්ඩ් වලට සෙට් වෙන අය එක්කෝ හොඳටම ගොඩ යනවා, නැත්නම් බෑන්ඩ් ඒක අත අරිනකන් ම වලේ...එහෙම නෙමෙයිද? :) මොනවා උනත් මාත් A/L අස්සෙත් ඉස්කෝලේ music වැඩ කරා. හොඳ වෙලාවට අවුලක් උනේ නම් නැහැ...

    ReplyDelete
  9. පස්සේ කමෙන්ට් එකක් දානකම් දැනට කියෙව්වා කියල විතරක් කියන්නම්

    ReplyDelete
  10. ප්‍රතිචාර තියපු හැමෝටම ස්තුතියි... ඉදිරි කථා එක්කත් එකතුවෙලා ඉන්න...! ස්තුතියි...

    ReplyDelete
  11. අනේ අප්පේ මට එහෙම මෙහෙම උනානම් එහෙම ඉන්න හිටින්ඩ තැනක් නැතිව මහා පාරෙ තමා ඉන්න වෙන්නෙ.....
    අපෙ අප්පොච්ච නෑදෑ ගෙදරකවත් මට ඉන්න දෙන එකක් නෑ......

    කතාව නම් එල එල එල එලකිරීම තමා......
    ජයම වේවා!!!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...