Wednesday, October 12, 2011

සංගීත ජීවිතේ පළමු පරිච්ඡේදය අවසානයි... - බෑන්ඩ් කථා #3

පි බෑන්ඩ් පටන් ගත්තු හැටිත්... බෑන්ඩ් එක කරගෙන ආපු හැටිත් පහුගිය කොටස් දෙකෙන් කියෙව්වා නේද ? අද කියන්න යන්නේ ඔය ආරම්භක පරිච්ඡේදයේ අවසන් කොටස කිව්වොත් හරි... O/L exam එක හොඳින් ගොඩ දාගත්ත නිසා මට ලැබුණු තෑග්ග, A/L කාලයේ සංගීත ජීවිතේ ගෙවුනු හැටි වගේම සංගීත ජීවිතෙත්, පුද්ගලික ජීවිතෙත් පිටුවක් පෙරලපු විප්ලවකාරී බෙලි ගහ යට සාජ්ජය ගැනත් අද අපි කියවමු... 


ඕගන් එක ලැබුනු හැටි කියනවා නම්..., මේ කියන දවස්වල මම A/L වලට ක්ලාස් යනවා. තාම ඉස්කෝලෙ නම් පටන් අරන් නෑ. ටියුෂන් ඉතින් කලින් පටන් ගන්නවා නොවැ. පිළියන්දලින් එහාට නොගිය මට මේ කාලේ තමා රට වටේ ඇවිදින්න හම්බවෙන්නේ. ඉතින් ඔය වගේ ක්ලාස් එකකට ගිහින් ඇවිත් ගෙදර ඉන්දැද්දි ඔන්න අපේ තාත්තා පොරොන්දු වුනු විදියට මගේ O/L තෑග්ග අරගෙන ආවා...! ඒකත් ඉතින් ලේසියට ගන්න හම්බවුනේ නෑ. දෙතුන් පාරක් යට ගිහින්, මගේ පුස් මූණ දක්වලාම ලබාගත් දෙයක් ඕං. ඕකට මං කන්කෙඳිරි ගාන්න නම් ගියේ නෑ. මොකද පොඩි කාලේ ඉඳන්ම අපිට ඉල්ලපු දේවල් ලැබුනේ නැති නිසා යමක් කමක් තේරෙන වයසට එද්දි අත්‍යාවශ්‍යම දේවල් ඇර වෙන කිසි දෙයක් අපි තාත්තගෙන් ඉල්ලුවේ නෑ.

ඔන්න ඉතින් ඕගන් එක ගෙනල්ලා පෙට්ටිය පිටින්ම තියෙනවා දෙයියනේ. ඕක ඇරලා බලලා, plug කරලා ගහලා බලලා, manual පෙරලලා වැඩ කෑලි හොයාගෙන... ඔහොම ඔහොම යද්දී දවසම ගිහින් ඉවරයි...! මේක ඉතින් අර casio කොටේ වගේ නොවෙයි. වෘත්තිය මට්ටමේ ඕගන් එකකම සයිස් තමා. ඒ තරම් වැඩ කෑලි නම් නෑ ඕං... මට ගොඩක් ආසාව තිබ්බේ tone ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එකකට. මොනව වුනත් ඉතින් ලැබුනු දෙයින් සෑහෙන්න එපෑ. මේකෙ keys එහෙම නියම ගාන. මොඩල් එක YAMAHA PSR-130. කෑම මේසෙ තරමටම පළලයි. හෙ හේ... පයින් ගාටපු මට මොටෝ සයිකලයක් ඇදුනා වගේ තමා...!!! ඒ දවස් වල ඉතින් වෙන වැඩ නෑ. PSR එකේම තමා...


ඔය YAMAHA ලොකු ඕගන් එක නිසා මගේ සංගීත ජීවිතේ එක අඩියක් උඩට ගියා කියලා කියන්න ඕනෙ. මොකද ඒක නිසා තමයි අළුත් ටෙක්නික් ටිකක් අල්ලගත්තේ. මෙච්චර කල් ඕගන් කියපු එක කීබෝඩ් එක කියලා පරිවර්තනය වෙන්නෙත් මේ කාලෙදි තමයි. දැන් අපි Advance නොවැ :D... මම ඕගන් වාදනය ගැන වගේම music ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගත්තේ YAMAHA කීබෝඩ් එකේ user manual එකෙන් තමා. අමාරුවෙන් හරි ඉංගිරිසි ඇහිඳ ඇහිඳ ඒක කියෝගෙන මම තනියම ඉගෙනගත්තා. Chords කියන ජාතිය මොනවද කියලා මුලින්ම දැනගත්තේ user manual එකෙන්. ඊට පස්සේ කීබෝඩ් එකේම තිබුනු Demo Songs ටික Play කර කර Chords මාරුවෙන හැටිත් යන්තම් මීටර් කරගත්තා. Chords හැදෙන හැටිත් අල්ලගත්තා. ලොකු ලොකු සිද්ධාන්ත දැනගෙන නොඋන්නත්, 2001 අවුරුද්ද අවසාන වෙද්දී ලේසි පාසු සිංදු දෙක තුනකට යන්තම් basic කෝඩ්ස් ටිකක් දාගන්න මට පුළුවන්කම තිබුනා.

මේ මගේ මැනුවල් එකේ වර්තමාන ආකාරය...
ඉතින් ඔන්න මම දැන් උසස් පෙල කොරනවා. දන්නවනේ ඉතින්... A/L බයෝ සයන්ස් කරනවා කියන්නේ සෙල්ලම් කාලයක් නෙවීනේ... ඒ එසේ වුනත් අපි නම් බොහෝ විට පිස්සුම තමා කලේ. ඉගෙන නොගත්තාමත් නොවේ. ඒත් ඉතින් කොරපු තරමක් පිස්සුම තමා. ඒකටම හරියන සෙට් එකක් අපේ පංතියේ හිටියා. A/L වලදී මට ගොඩක් ෆිට් වුනු ගිහාන්, නොම්මර එකේ මියුසික් පිස්සෙක්. මිනිහට හොඳට සිංදු කියන්න පුළුවන් වගේම හොඳ bass guitarist කෙනෙක්. අපි දෙන්නගේ ෆ්‍රී පීරියඩ් විනෝදාංශය තමා ඩෙස් වලට තට්ටු දැමිල්ල. ඩෙස් වලට ලී පටි දෙක තුනක් දාලා නොවැ හදන්නේ. අපේ පන්තියේ තිබුණා ඩෙස් එකක් ලෑලි පටි තුනේ සද්ද තුනක්...! ඒක තමා අපේ ඩොල්කිය. ආයෙත් නෑ දෙනවා පැලෙන්න. මම තලනවා... ගිහාන් ගයනවා... ක්ලාස් එකේ එකටම හිටපු, අපිත් එක්ක ෆිට් කෙල්ලෝ තුන් දෙනෙකුත් හිටියා... මනුජා, තනුජා සහ නුවන්ති... අපි තප්පු දාන වෙලාවට උන් තුන්දෙනත් ඇවිත් ඩෙස් එකට වට වෙනවා. ඊට පස්සේ ඉතින් පාටි ටයිම්...!!! අපරාදේ කියන්න බෑ ඔව්වට නම් කනේ ඇඟිලි ගහගන්න අනන්ත බැනුම් අහලා තියෙනවා. අපි සම්බන්ධ වුනේ ඔය ඩෙස් පාටි වලට විතරක් වුනත්, තව තව අහිංසක කේස් දෙක තුනක් එක්ක අපිට හොඳම certificate එක දුන්නේ අපේ section head වුනු පළිහවඩන මැඩම් තමා... “section එකේම එපා කරපු ක්ලාස් එක...!!!හිතාගත්තෑකිනේ...!!!

ගිහාන් ඒ දවස්වල ඉස්කෝලෙම සෙට් එකක් එක්ක බෑන්ඩ් එකක් කලා. උන්ගේ ගෙදර තමා ප්‍රැක්ටිස් කලේ. මමත් බෑන්ඩ් ගහනවා කියලා (???) ඌ දන්නේ ටික කාලයක් ගියාම. මම ඉතින් ඒකටත් ගිහින් ටිකක් එබුනා. ඔය කාලේ අපේ ටින් බෙලෙක්ක සංගීතේ තාවකාලිකව නැවතිලා තිබුනේ... ගිහාන්ලගේ බෑන්ඩ් එකට ඔළුව දාන්න ගිහින් තමයි කනෙන් අහලා play කරන එකට කියන්නේ “ear ප්ලේ කරනවා කියලා දැනගත්තේ. එතකල් වැඩේ දන්නවා වුනාට වචනේ දැනං උන්නේ නෑ... ඒ කථාවත් රසවත් නිසා කියන්නම්කෝ...

මේ සිද්ධිය වුනේ මම ගිහාන්ලගේ ගෙදර උන්ගේ ප්‍රැක්ටිස් එකකට ගිය දවසක. ඒ දවස් ටිකේ උන්ගේ කීබෝඩා (Keyboardist යන්නේ කෙටි යෙදුම බව සලකන්න...!!!) හිටියේ නෑ. කොහොමින් හරි එදා මට සිංදුවක් ප්ලේ කරන්න ලැබුනා. සිංදුව තමයි චන්දන ලියනාරච්චි මහත්මයගේ සුවඳ තියා කියන ගීතය. ඒ දවස් වල ඔය සිංදුව ආපු අළුතම වගේ.. සෑහෙන්න ජනප්‍රියයි... හැමෝගෙම කටේ තියෙන්නේ ඔය සිංදුව තමා. ඉතින් මටත් ප්ලේ කරන්න වුනේ ඔය සිංදුව. කනේ තියෙන එක නිසා මමත් නෝට්ස් ටික අල්ලගෙන ගැහුවා. ගිහාන් මගෙන් අහනවා උඹට Ear ප්ලේ කරන්න පුළුවන්ද ? කියලා... මම ඔය විච්චූරන දැනගෙන උන්නු එකක් යෑ. මම හිතුවේ western music වල මොකක් හරි බර දෙයක් කියලා. ඉතින් මම ගිහානයට කිව්වා නෑ කියලා. පස්සේ ඉතින් මම සිංදුව අල්ලගෙන ගහනකොට ගිහානයා කියනවා... ඈ යකෝ... උඹට Ear ගහන්න බෑ කිව්වා නේද ? කියලා... lol !!!

ඒ එක්කම කියන්න ඕනෙ, ගිහාන්ලගේ බෑන්ඩ් සෙට් එකෙන් තමා western music වල මූලික කාරණා සහ music වල ටෙක්නිකල් සිද්ධාන්ත ගැන දළ අවබෝධයක් ගත්තේ. මම මෙච්චර කල් කරගෙන ආපු සංගීතෙට වඩා ගොඩක් දේවල් මට ඉගෙන ගන්න තියෙන බව මට මේ වෙද්දී තේරුම් ගිහින් තිබුණා. මේ අළුත් සංගීතේ ගැන දැනගන්න, ඒ ගැන හොයන්න, ඒවා තනියම ඉගෙනගන්න මට ඕනෙවුනා. පන්ති යන්න හැකියාවක් තිබුනේ නැති නිසා මම පුළුවන් විදියට තනියෙන්ම ඉගෙනගත්තා. බටහිර සංගීතය ගැන තියෙන පොතක් අරගෙන පුරුදු වුනා. කොහොමින් හරි ඇත්තම කිව්වොත් 2001 අවුරුද්ද ඉවරවෙද්දී western music වල බේසික්ම බේසික් ටික මම දැනගෙන උන්නා කිව්වොත් හරි...

ඔය කිව්වේ මගේ පුද්ගලික ජීවිතේ පැත්තෙන් නේ... අපි බලමු දැන් අපේ බෑන්ඩ් වැඩ ගැනත්... දැන් ඉතින් ලොකු කීබෝඩ් එකක් තියෙන නිසා මම ඕකත් අරන් සංජයලගේ ගෙදර ප්‍රැක්ටිස් යනවා. පන්සල පාරේ ඇත්තන්ට නම් කොල්ලෝ දෙතුන් දෙනෙක් මොනවා හරි සංගීත භාණ්ඩෙකුත් එක්ක පාර දිගේ යන එක ඒ තරම් අමුත්තක් නොවෙන්න ඇති. ඔය දවස්වල මගේ පොඩි ඕගන් එකයි, අළුත් කීබෝඩ් එකයි දෙකම තියාගෙන ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නිසා මම පොඩි ඉංජිනේරු වැඩක් කළා. තාත්තගේ නාට්‍ය සෙට් වල කෑලි මඩුවක් පුරවලා දාල තිබුණා. ඔව්වයෙන් ලෑලි කෑලි, කකුල් අරන් මම කීබෝඩ් දෙකම තියන්න ස්ටෑන්ඩ් එකක් හදාගත්තා. අපරාදේ කියන්න බෑ... අම්බානෙක බරයි...! ඉතින් ප්‍රැක්ටිස් කටයුතු හෙමින් සැරේ කෙරීගෙන ගියා. පහුගිය කොටසින් මම කිව්වේ අර අවුරුදු පාටියට ප්ලේ කරපු එක. ඉතින් ඔය සාජ්ජෙට පස්සේ අපේ “Abhiman” බෑන්ඩ් එක ගැන ගොඩ දෙනෙක් දැන ගත්තා... (නම දැම්මේ මම තමා) සංගීත කාරයෝ කියලා කාඩ් එකකුත් වැදුනා... ඔය ප්‍රසංග දෙකේදීම බෑන්ඩ් එක ඇතුලේ සංවිධාන කටයුතු සිද්ධ වුනේ මගේ අතින් තමා. ප්‍රැක්ටිස් කරන්න ඕනේ සිංදු මොනවද , ඒ සිංදු ටික Order වෙන්න ඕනෙ කොහොමද ,  ඒ ඒ සිංදු වලට එක එක මෝස්තර (arrangements) දාන්න ඕනේ කොහොමද කියලා තීරණය වෙන්නේ මං අතින්. අපේ බෑන්ඩ් එකේ නායකයා හැටියට නිතරඟයෙන්ම පත්වෙලා හිටියේ සංජය... ඒත් ඔය කියපු ඔක්කොම වගකීම නිළ නොවන ආකාරයට පැටවිලා තිබුනේ මගේ කර පිට තමා. මමත් ඔය වැඩ ටික බැහැලම කලා. ඒවා කවුරුත් පටවපු ඒවා නෙවේ. මම ම හිතලා කරපු ඒවා.

මේ අපේ බෑන්ඩ් එකේ (2001) මම හදපු ලිස්ට් එකක්...
දැන් එන්නේ පොයින්ට් එකට... තුන්වෙනි වතාවටත් අපේ බෑන්ඩ් එක බන්දු මාමගේ අවුරුදු සාජ්ජයට සැරසුනා. සංජයගේ අළුත් ඩ්‍රම්සෙට් එක, මගේ අළුත් කීබෝඩ් එක සමග ස්ටෑන්ඩ් එක, සොභාත් අයියගෙන් ලැබුණු පෑඩ් එක එක්ක ඩ්‍රැගා අළුතින් හදපු x-ray පෑඩ් එක... ඔය ඔක්කොමත් එක්ක අළුත් බඩු... අළුත් අත්දැකීම්... අළුත් සින්දු එක්ක හොඳ හොඳ වැඩ කෑලිත් අරගෙන අපි සාජ්ජෙට ලෑස්ති වුනා. මීට කලින් සාජ්ජෙට කරන්ට් එක ගත්තේ කොහෙන්ද කියලා නම් මට මතක නෑ. මේ පාර කරන්ට් එක ගත්තේ අපේ මීටර් බෝඩ් එකෙන්මයි. මම කිව්වනේ අපේ වත්තට අල්ලපු වත්ත බන්දු මාමලට අයිති එකක් කියලා. ඉතින් ලඟින්ම තිබුනු ගෙදරින් කරන්ට් එක ගන්න එකේ වැරැද්දක් නෑ නොවැ. හැබැයි ඉතින් අපේ තාත්තට නම් ඕක වැරැද්දක් වුනා... ඒක පසුවට කියන්නම්කෝ... මම කලිනුත් කිව්වා වගේ සෑහෙන වැඩ කෑලි සහිතව වගේම හොඳ සද්දෙකුත් එක්ක අපේ සංගීතේ නැගලම ගියා... ටිකක් රෑත් වුනා...

ගෙදර ආවට පස්සේ ගෙදරින් කේස්...! බලධරයාට නොදන්වා කරන්ට් එක ලබාදීම, අළුත් කීබෝඩ් එක සාජ්ජයට ගෙනයෑම, රෑ වන තුරු කන්කරච්චලේ පැවැත්වීම ආදී දහසක් චෝදනා එල්ල විය. මංතුමා චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු ලෙස උපරිමාධිකරණයෙන්ම තීරණය කෙරිණි. දඬුවම් වශයෙන්, නඩු භාණ්ඩ වූ අළුත් කීබෝඩ් රාජයා රාජසන්තක විය. (හප්පෝයි !!! ඉහි... ඉහි...!!!) බෑන්ඩ් ගැසීම ද තහනම් කළ මුත් මංතුමාගේ කීකරු කම නිසාම ඒ තීරණය බීරි බල්ලන්ට රතිඥ්ඥා ගැසුවාක් මෙන් වූ බව දන්නෝ දන්නාහ. මංතුමා හට සෑහෙන අපල කාලයක් උදාවූ බැව් නම් පැවසිය යුතුමය... අඳෝමැයි...!!!

අනේ ඉතින් හත්දෙයියනේ කාට කියන්නද ? තාත්තම ගෙනාපු කීබෝඩ් එක එයාම කාමරේට දාලා ලොක් කරලා...! අපේ ගෙදර සිවිලිං ගහලා නිසා කාමරේට පනින්නත් බෑ. අනික මට ඒ තරම් ගටක් තිබුනෙත් නෑ... මං බයකට එහෙම නෙවෙයි ඕං ඈ... (:P) හපෝයි... ඉතින් ප්‍රැක්ටිස් තහනම් කලත් ඒවා කෙරීගෙන ගියා. ආයෙත් ඉතින් අර පරණ ඕගන් කොටයෙන්ම තමා.

මේ දවස්වල, ඒ කියන්නේ 2001 අවුරුද්දේ මැයි විතර වෙද්දී තමා මංතුමාගේ විප්ලවකාරී අදහස් එළියට එන්නේ... නරක වයස නොවැ... 18 ලැබුවා විතරනේ. ඔය වෙද්දී අයිය එක්කත් කොක්කක් දාගෙන තාත්තා විසින් අයියගෙත් වීසා කැන්සල් කරලා තිබුනේ. අයියා ගෙදර ආවේ නෑ ඒ වෙනකොටත්... අයියා මගේ බෑන්ඩ් වැඩ වලට ෆුල් සප් එක දුන්නා. ඒත් තාත්තගේ තීරණ වලට උඩින් යන්න එයාට බෑ නොවැ...

ඒ 2001 වර්ෂයේ පොසොන් මස අවසන් කාලයයි. එළඹ තිබුනේ අතිශය තීරණාත්මක කාලයකි. තවත් එක් කොළු ගැටයෙක්ගේ අනාගත හෝරාව තීරණය කරන දෛවයේ හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය වෙමින් තිබිණි... කිසිත් නොදැන අසරණයා ඒ කරාම යමින් උන්නේය. පුපුරු ගසමින් තිබුණු කළකිරීම මුසු වුනු ඉළන්දාරි ජවය, ජීවිත ගමනේ තවත් එක් පරිච්ඡේදයක් වෙත ජීවිතය පෙරළෙන බව නොදැනම, සිය මුරණ්ඩු  තීරණ ක්‍රියාත්මක කරන්නට යෙදිණි...

සංගීතය නිසා ජීවිතයට කෙලවා ගත් කොල්ලෙකුගේ කථාව...




16 comments:

  1. 2006-2008 අතර කාලෙදි මමත් බෑන්ඩ් එකක ඇසුරට වැටුණා. අතුරුගිරියෙ හිටපු මගෙ යාළුවෙක්ගෙ සෙට් එකක් තමයි කළේ. යාළුවයි මමයි යන්නෙ බලන් ඉන්න. උන් ඔය සින්දු 3-4ක් පැලෙන්න සෙල්ලම් කරලා අභ්‍යවකාශගත වෙනවා. ඊට පස්සෙ කට්ටිය කියන්නෙ ජැමෙයිකාවෙ සින්දු. කිසිම දේකට සම්බන්ධ නොවුණත් ඒ බෑන්ඩ් එකත් එක්ක ගත කරපු කාලෙ ඇත්තටම මාර සුන්දරයි. දැන් නම් උන් සේරම වෙන වෙන රස්සා වල.

    තාත්තගෙ නාට්‍ය සෙට් කියල කිව්වෙ මොනවද? තාත්ත අපි දන්න නාට්‍ය කරන කෙනෙක්වත්ද?

    ReplyDelete
  2. @ හරේ :
    හ්ම්... එනම් සහෝටත් බෑන්ඩ් අත්දැකීම් තියෙනවනේ... අපේ සෙට් එක ෆන්ක්ෂන් එකකට ගියොත් අයිස් තේ ටිකක් බිව්වොත් ඇරෙන්න වෙන චාටර් නම් නෑ...

    තාත්තගේ නට්‍ය සෙට් කිව්වේ නාට්‍ය වලට පාවිච්චි කරපු පසුතල එහෙම... තාත්තා ගැන දැන්ම කියන එක පාඩුයි... අනිවා පසුව දැනගන්න ලැබෙයි... ස්තුතියි සහෝ...

    ReplyDelete
  3. අය්යා අන්තිම ටික කියවනකොටනම් ටිකක් බය හිතුනා.. අනේ කල් ගන්නේ නැතුව ඉක්මනටම දාන්නකෝ... අයියේ අබිමන් කියන්නේ ලස්සන නමක්නේ...පලවෙනි කොටස් ටික වගේම මේකෙත් අවසානෙට යනකොට මොනවා වෙයිද කියලා දැනුන බය හැරුනම මාත් කතාවේ ජිවත් වෙනවා වගේ දැනුනා... ජයවේවා.

    ReplyDelete
  4. ජිවිත කතාව තරම් සුන්දර කතාවක් තව නැහැ කියල ආයෙම කියනවා . මන් මල්ලිගේ ආසම ලිපි පෙළ මේක තමයි. කියන්න දේ ගොඩක් තියෙනවා . ආයෙම එන්නම්කෝ

    ReplyDelete
  5. @ දේවා :
    හැමදාම ඇවිත් කියවලා ප්‍රතිචාරයක් තියලා මේක ලියන්නම කියලා කරදර කරනවට ගොඩක් ස්තුතියි මලේ... ලියන්න පරක්කු කරන්නේ කම්මැලි නිසාම නෙවෙයි. මට පෝස්ට් එකක් කොටන්න ලැබෙන්නේ දවසකට පැයක් වගේ නිසායි. බය වෙන්න දෙයක් නෑ. කාගේ කාගේත් ජීවිත වල turning points තියෙනවානේ. මේකත් ඒ වගේ... විශේෂත්වය තමයි ඒ සිද්ධියත් එක්ක බෑන්ඩ් මියුසික් ගෑවිලා තියෙන එක. බෑන්ඩ් කථා අවසන් වෙන්න නම් තව මාසයක් වත් ලියන්න වෙයි. ඊළඟ කොටසත් එක්කත් ඉන්නකෝ... ස්තුතියි...!!!

    @ බින්දි අක්කා :
    මම ඒත් බැලුවා අක්කා හුඟ දවසකින් මේ අහ නාවේ අමනාප වෙලාද කියලා...:D අක්කට මේ ටිකේ අවිවේකියි නොවැ නේද ? මෙහෙම හරි බලලා යන්න ආවට ස්තුතියි. ජීවිත කථාවෙන් භාගයක්ම මියුසික් හා සම්බන්ධ නිසා බෑන්ඩ් කථා ඉවරවෙන කොට ජීවිත කථාව කියෙව්වා වගේ තියේවි...! බොහොම ස්තුතියි අක්කගේ ප්‍රතිචාරයටත්...! ජය!!!

    ReplyDelete
  6. මාත් කියෝනවා.... :)

    ReplyDelete
  7. හ්ම්ම්ම් !

    තමන් පහු කලේ මේ වගේ කාලයක් කියකා මතක් කරගෙන ඒක සටහන් කරනකොට හිතට අමුතු ගැම්මක් එනවා නේද චතුවො.....

    ReplyDelete
  8. කම්මැලි කමක් නැතිව කියෙව්වා මචන්// ඉක්මනට අනික් එකත් දාන්න

    ජය..

    ReplyDelete
  9. @ තාරක :
    බොහොම ස්තුතියි සහෝ...

    @ දිල් :
    හ්ම්... ෆීනික්ස් කුරුල්ලත් නැගිට්ටේ අළු වලින් ලු ...! අතීතය අමතක කරපු එකාට අනාගතයකුත් නෑ...! දිගටම එකතු වෙලා ඉන්නවට බොහොම ස්තුතියි සහෝදරී... ජය !!!

    @ ගයාන් :
    ගොඩක් ස්තුතියි සහෝ ප්‍රතිචාරයට... ඔබටත් ජය !!!

    ReplyDelete
  10. ඔය තියෙන්නේ තාත්තා තෑග්ගක් අරන් දීලා. දැන් ඉතින් ඕක ගහන්න පුරුදු වෙන්න තමා තියෙන්නේ.

    ReplyDelete
  11. අය්යේ අනිවා කොහොමත් අපි ඉන්නවානේ ඔයාගේ කථා එක්ක... ගොඩාක් ඉක්මනට දානවානම් ඇත්තටම ගොඩාක් කැමතියි.. ඒත් අය්යාගේ ජිවිතේ ගොඩාක් තැන් කියලා තියන නිසා එහෙම කියන එකත් වැරදියි කියලා මම දන්නවා.. ලැබෙන වෙලාවේ අපිත් එක්ක ඉන්නකෝ...

    ආහ් අය්යේ පොඩි උදව්වක් ඕන බ්ලොග් එකේ ගැජමැටික්ස් එකක් ගැන.. කොහොමද ඔයාව සම්බන්ද කරගන්නේ,, මගේ මේල් එක sadaru.world@gmail.com

    ReplyDelete
  12. අපෙත් එකෙක් ඉස්සර බෑන්ඩ් ගැහුවා...තබ්ලා කාඩ් කිය කිය මොකක්දෝ එකක් පෙන්නුවා අපිට ඉස්සර PCMCIA කාඩ් එකක් වගෙ එකක්....

    ReplyDelete
  13. @ මධුරංග :
    මධුරංග සහෝ නම් කථාව කියවලා නෑ වගේ... හා හා කමක් නෑ... ප්‍රතිචාරයක් කොටලා ගිය එකම මදෑ... ඔන්න ඊලඟ පාර ආවම කියවලම යන්න හොඳද ! ස්තුතියි සහෝ...!!!

    @ දේවා :
    බොහොම ස්තුතියි මලේ ‘චතූගේ කථා‘ එක්ක ඉන්නවට. ඔන්න මං ඊයක් දාලා ඇති... බැලුවානම් !!!

    @ ඔබ නොදු‍ටු ලොවක් :
    බෑන්ඩ් ගහන්න ආපු අළුතම ඔය තබ්ලා කාඩ් අපිටත් මැජික් වගේ තිබුණා. අපිට වඩා සීනියර් ප්ලේයර්ස්ලා අපිට ඕවා කියන්නේ වැඩ දාලා...! නොදන්න අපිටත් හරි මැජික් ඉතින් ඒ දවස්වල...

    පස්සේ කාලේ නම් බෑන්ඩ් එකේ කාඩ්ස් ඔක්කොම ප්‍රෝග්‍රෑම් කලේ මං තමා...

    ස්තුතිය සහෝ ප්‍රතිචාරයට... ඉදිරි කථා එක්කත් එකතුවෙලා ඉමු... ජයවේවා !!!

    ReplyDelete
  14. අම්මෝ...ඉක්මනට දාපන් ඉතුරු ටිකත්......

    ReplyDelete
  15. අම්මෝ මගෙත් ප්‍රියතම විෂයක්නේ ඕක. හැබැයි ඊස්ටර්න්. ඔය සුවඳ තියා සින්දුව ආපු කාලේ මටත් මතකයි. අපි 11 වසරෙදි. හැමෝගෙම කටේ තිබුනේ ඕකනේ.

    ReplyDelete
  16. මගෙත් ජිවිතේ සුන්දරම කාලයක් මතක් උනා මේක කියවද්දි ......
    ඉස්කෝලෙ කොල්ලොත් එක්ක පිස්සු කෙලපු කාලෙ කොරපුව .......
    free period එකක් කියන්නෙ අපිට නම් බජව්වකට වෙලාව තමා.....
    අනිත් පන්ති වලට අපේ සද්දේ ඇහිලා මිස්ල,සර්ල අපිට තලන්න එයි කියල හිමිට පටන් ගන්න බජව්ව අන්තිමට ඉවර වෙන්නෙ principal ගෙන් බැනුම් අහල ගුටි කාල තමයි...

    ආයිත් ඒවගේ සෙට් වෙන්න තිබුනානම්.......

    පොස්ට් එක එලම තමා සහෝ...........

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...