බෑන්ඩ් කථා එක්ක එකතුවෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම දැන්
බැන බැන බලන් ඉන්නවා ඇති නේද ඊළඟ කොටස එනකල්...? ඉක්මනට ඉවර කරලා දාන්න හිතේ තියන්
හිටියත්, මොකක් හරි වැඩක් සෙට් වෙලා බ්ලොග් එකේ වැඩ මිස් වෙනවා... මොනවා කරන්නද ?
වැඩ කරන්න තියෙන්නේ සීමිත කාලයක් නොවැ. ඉතින් පහුගිය කොටස් තුනෙන්ම මම
කිව්වේ අපි තුන් දෙනාගේ පුංචි බෑන්ඩ් එක ගැනනේ... ඉතින් ඔය බෑන්ඩ් කෙරුවාව නිසා
මගේ ජීවිතේ සිදුවුනු අමතක නොවෙන සිදුවීම තමයි අද කියන්න යන්නේ. එහෙනම් එන්නකෝ යන්න
ආයෙත් බෑන්ඩ් කථා පැත්තේ...
බන්දු මාමගේ බෙලි ගහ යට සාජ්ජය ගැන පහුගිය කොටස්
වලදී කිව්වා නොවැ. මතක ඇතිනේ... මට අළුතෙන් ලැබුණු keyboard එක ඔය සාජ්ජයට ගෙනිච්ච එකටයි,
අවසර නැතුව කරන්ට් ගත්ත එකටයි අපේ තාත්තා උදහස් වෙලා කීබෝඩ් එක අත්අඩංගුවට ගත්තා
කියලා මම කිව්වනේ. ඉතින්, OL කරන කල් ඉවසලා... ඊට පස්සේ result එනකල් ඉවසලා... ඊට පස්සේ තවත්
ඉවසලා අතට ලැබුණු මගේ කීබෝඩ් එක මට පාවිච්චි කරන්න වුනේ අවුරුද්දයි. 2000 වසරේ අප්‍රේල්
වගේ කීබෝඩ් එක හම්බවුනා. 2001 අප්‍රේල් වලදී නැතිවුනා...! ඉතින් දෙයියනේ, වාවන්නේ
කොහොමද ? හදවත හඬා වැටේ...!
කීබෝඩ් එක අත්අඩංගුවට අරන් අපේ තාත්තා ඕක තැන්පත්
කලේ එයාගේ කාමරේ. තාත්තා වැඩට යනකොට ඒ කාමරේ ලොක් කරලා තමා යන්නේ. ඉතින් ආයෙත්
ඕගන් එක උස්සනව නම් තිබුනේ එකම ක්‍රමයයි. ඒ තමයි සිවිලිම උඩින් ගොහින් තාත්තගේ
කාමරේට පනින එක. අපේ ගෙදර සාලෙට සිවිලින් ගහලා තිබුණේ. කාමර වලට නෑ. කාමරේකින්
සිවිලිමට නැගලා සිවිලිම උඩින් අනෙක් කාමරේකට පනින්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ
තියෙන්නේ, අපේ වහලේ පාතයි. සිවිලිමයි වහලෙයි අතර පරතරේ අඩු නිසා කොන්ද නවන් තමයි
යන්ඩ වෙන්නේ. අනික ඔය සිවිලිමේ මීයොයි... උගුඩුවොයි... නැති සතෙක් නෑ. ඉතින්
සිවිලිම උඩින් යනවා කියන්නේ පොඩි පහේ ඇඩ්වෙන්චර් මෙහෙයුමක් වගේ තමයි. ඒක නිසා සහ
තාත්තාට පොඩ්ඩක් (පොඩ්ඩක් ඈ...!) බය හින්දා කාමරේට පැනලා කීබෝඩ් එක නිදහස් කරගන්න එකෙන්ම හිත හදාගන්න අමාරු
වුනා.
අපි බෑ කියලා හිතන දේවල් කාලයත් එක්ක පුළුවන්
වෙනවා... සමහර වෙලාවට කොච්චර බය වුනත් කනත්ත ළඟින් නොගිහින්ම බැරි අවස්ථාත්
එනවා... ඉතින් කාමරේ හිර කරලා තිබුණු කීබෝඩ් එක එළියට ගන්න ලොකු වුවමනාවක්
තිබුණත්, අන්තිම අවස්ථාව එනකල් මම ඉවසගෙන හිටියා. කාමරේට පැනලා ඒක ගත්තා කියලා
කියන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒත් එහෙම කිව්වට සිද්ධිය පැහැදිලි නැති නිසා මම
කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්...
මම මේ බෑන්ඩ් කථා පටන් ගනිද්දිම කිව්වනේ අපේ
තාත්තා නාට්‍යකාරයෙක් කියලා. පස්සේ කාලෙක, ඒ කියන්නේ මම OL කරන කාලෙදි වගේ තාත්තා සුනෙර
පදනමට සම්බන්ධ වෙලා කටයුතු කලා. එතනදි ප්‍රධාන වශයෙන් සිදුකලේ ආබාධිත හා මන්ද
මානසික අයට (හරි වචනේ මේක නම් නෙවේ... විශේෂ හැකියාවන්ගෙන් යුත් පුද්ගලයන් කියන
එක...) වැඩමුළු පවත්වන එක. සුනෙර පදනම ගැන දන්නවා නම් අපේ ලොක්කවත් දන්නවා ඇති. මම
ඒ ගැන වැඩිය කියලා මාකට් කරන්න යන්නේ නෑ. කියන්න ඕනේ වුනේ මේකයි. ඔය විදියට රටපුරා
වර්ක්ෂොප් වලට යනකොට තාත්තා සති ගණන් පිට ඉන්නේ. අයියගේ වීසා කැන්සල් කරලා නිසා
අයියා ගෙදර නෙවෙයි හිටියේ. ආච්චිලගේ ගෙදර... තාත්තා වර්ක්ෂොප් වලට දුර ගියාම ගෙදර
ඉතුරුවෙන්නේ නංගියි, මමයි විතරයි. අපි ටිකක් පොඩි දවස් වල නම් අපේ ආච්චි අම්මා
(තාත්තගේ අම්මා) අපිව බලාගෙන හිටියා. ඒත් අපි ලොකු වෙන කොට ආච්චි අම්මත් වයසට
ගියා... ඒ නිසා ලොකු නැන්දලා, මහප්පලා කැමති වුනේ නෑ ආච්චි අම්මව තනියෙන් තියන්න.
ඉතින් අපි ටිකක් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට ආච්චි අම්මා අපි ලඟ හිටියේ නෑ.
තාත්තා කෙහොමත් ගෙදර එන්නේ රෑ වෙලා නිසා නංගියි, මමයි දෙන්නා විතරයි ගෙදර හිටියේ
කිව්වොත් වැරදි නෑ. ඔය හින්දා මං AL කරන කාලෙදි තාත්තා වර්ක්ෂොප් එකකට ගියාම නංගියි,
මායි සති ගාණක්.. සමහර විට මාසයක් විතරම ගෙදර තනියෙන්. තාත්තා දවස් ගානට ෂේප්
වෙන්න (ගොඩක් වෙලාවට Off-budget) සල්ලි දීලා යන්නේ. මේ දවස්වලට
ඉතින් ගෙදර පාලනේ මගේ අතේ තමා...!
අපි මැයි මාසේ මැද ඉඳලා වගේ ප්‍රැක්ටිස් කලා. බොහෝ
දුරට සංජයලගේ ගෙදර තමා. ඉතින් ඔන්න කොහොමින් හරි පාටි එකත් ලඟටම ආවා. අපේ තාත්තා
මේ ටිකේ පිට...! ඉතින් මට ප්‍රැක්ටිස් වලට බාධාවක් නෑ. තාත්තා එනවා කියලා ගියේ 04
වැනිදා. ඉතින් පාටි එකට ගිහින් ප්ලේ කරන එක ගැනත් අවුලක් නෑ. ඔක්කොම වැඩ ටික
පිළිවෙලට කෙරීගෙන යනවා. 01 වැනදාටත් ආවා. උදේ වරුව අපි සංජයලගේ ගෙදර ප්‍රැක්ටිස්
කලා. අනේ මන්දා... මතකය නිවැරදි නම් සංජය කේස් එකක් දාගෙන ප්‍රැක්ටිස් ආවේ නෑ. අපේ
ගෙදරට බඩු කබල් ටික ඔක්කොම ඇද්දා. වාහනයක නෙවේ හොඳද ! කෑල්ල කෑල්ල අතේ... අපේ බඩු
භාණ්ඩ ඔක්කොම පෝටබල් පාවිච්චියට උචිත ලෙස තමා සකසා තිබුනේ. අනික ඉතින් කෑල්ලට
දෙන්නා ගානේ කොලු සෙට් එකකුත් ඉන්නවනේ. ඉතින් ට්‍රාන්ස්පෝට් සිම්පල්...
ඔන්න 11-12 වගේ වෙනකොට බඩු ටික අපේ ගෙදරට ඇදලා
සෙට් කරගත්තා. මම කවදාවත් නොකරපු වැඩක් මේ කරන්නේ. අපේ තාත්තට තියෙන බය නිසා අපේ
සෙට් එක කවුරුත් තාත්තා ඉන්න වෙලාවට ගෙටවත් එන්නේ නෑ. තාත්තා මරුමුස් කියලා තමා
කට්ටිය හිතන් ඉන්නේ. ඉතින් කරන්න දෙයක් නැතිම නිසා තමා මම බඩු ටික අපේ ගෙදරට ඇදගෙන
ප්‍රැක්ටිස් කරමු කිව්වේ. වැඩේට මුල් තැන...! ඔහොම බඩු ටිකත් හදාගෙන අපි ප්‍රැක්ටිස්
කරා. ආ...! කියන්න බැරිවුනානේ. තාත්තා ගෙදරින් පිටවෙනකොටම වගේ මම සිවිලිම උඩින් mission impossible
කරලා,
තාත්තගේ කාමරේට පැනලා මගේ කීබෝඩ් එක පන්නගත්තා. තාත්තා 04 වැනිදා වෙනකල් එන්නැති
බව ෂුවර් නේ...
ඔන්න ඉතින් 3-4 ට වගේ වෙලාව. ප්‍රැක්ටිස් එක ජයටම
යනවා. ගේ සාලේ එක විකාරයයි...! කොල්ලෝ හැම තැනම. පුටු සෙටිය උඩයි අරහෙ මෙහේ නට නට
උන් ගේ හැඩි කරනකොට මටත් ඉතින් මල ඕවර් තමා... මොනවා කරන්නද ? අතිජාත මිත්‍රයෝ
ටිකනේ. මගේ කීබෝඩ් එකත් දාගෙන... සින්දු ටිකත් ඔක්කොම වගේ ප්‍රැක්ටිස් කලා. මොකද
සංජය නෙවෙයි ඩ්‍රම්ස් ගැහුවේ, වෙන එකෙක්...!
ලෝකේ කොයි කොන ගියත් මගේ කනට නොවරදින සද්ද දෙක
තුනක් තිබුනා. ඒ එකක් තමා අපේ තාත්තගේ CD50 බයික් එක කන්ද නැගලා, වංගුවේ ස්ලෝ කරලා, ගියර්
එකේ මන්දනය වීගෙන ගේට්ටුව ලඟට ඇදෙන සද්දේ. තාත්තගේ බයික් එක බන්දු මාමලගේ ගේ හරියේ
එනකොටම මට කිව්වෑකි සද්දෙන්. හපොයි දෙයියනේ... මගේ කනට මේ ඇහෙන්නේ ඇත්තටම ඒ සද්දෙ
ද ? තාත්තා එනවා වද්ද ? අද පළවෙනිදා නේ. හතර වෙනිදනේ එනවා කිව්වේ...! නෑ... වෙන
එකක්. . . ... හපෝයි !!! ඔන්න වසවර්තියා එනවෝ !!! මම ඉවරයි...!...!...!!!
කොච්චර තදබල වෙලාවක වුනත් මොනවගේ තීරණයක්ද ගන්න
ඕනේ කියලා මගේ මොළේට එනවා. ඇහුන සද්දේ කොන්ෆර්ම් වෙච්චි ගමන් ම මම කලේ කී බෝඩ්
එක ගලවලා අරන් මගේ කාමරේ ඇඳ උඩ තියලා රෙද්දෙන් වහපු එක. ඊට වඩා දෙයක් කරන්න කාලයක්
තිබුනේ නෑ. තාත්තා ගේට්ටුව අරින සද්දෙත් ඇහෙනවා දැන්. විනාඩි දෙකකට කලින් ගාල
ගෝට්ටියක් වෙලා තිබුණු ගේ දැන් පුදුම විදියට නිශ්ශබ්දයි ! එකෙක් වත් කථා නෑ... බිම
බලාගෙන හොර පූසෝ වගේ. තාත්තා ගෙට ආවත් මම ඔළුව උස්සලා වත් බැලුවේ නෑ. දන්නවනේ
සබ්බුව කොහොමද කියලා. අනිවා මූණේ පැත්තක් ට්‍රාන්ස්ෆෝර්ම් කරගන්න පුළුවන් අද නම්
!!!
තාත්තා ගෙට ආවත් සද්දයක් දැම්මේ නෑ. කාමරේ දොර
ඇරලා ටිකකින් ආයෙත් සාලෙට ආවා. කීබෝඩ් එක නැති බව මීටර් වෙන්නැති. “ටාස්...” කම්මුල් පාරක් සනීපෙට... තව දෙකක්
විතර එහෙන් මෙහෙන් ඇඟට වැදුනා මතකයි... මම පැන්නා ගෙයින් එළියට දොරෙන් පනිනකොටම
තාත්තා ටේප් එක ඔන් කරලා. පුදුම සනීපයි... ගහන එක සනීපයි, එයා කියන ඒවා තමා අහන්
ඉන්න බැරි...!
“පලයන් තෝ... පලයන් යන්න **ගේ පුතා... එන්න එපා
පැත්ත පලාතේ...”
ඔය ටික ඉතින් වෙනදාටත් අහලා පුරුදු නිසා ගොඩක්ම
සීරියස් ගත්තෙත් නෑ මං. ඒත් අදනම් එන පොට හොඳ නෑ වගේ. නාලාගිරියා එනවා ඉස්සරහටම...
දැන් පසුබැස්සොත් ගේට්ටුව... ඊට පස්සේ මහපාර... එතනින් කොහෙට ද ? මේ මොහොතේ
ගේට්ටුවෙන් එළියට ගියා කියන්නේ ආයෙත් ගෙදර බත් කන්න බැරිවෙනවා කියලා මගේ ටිකිරි
මොලේට ආවා. ඒ නිසා ගහනවා නම් ගහපන් කියලා මම පහු නොබැහැ හිටියා. තාත්තට වුනත්
ළමයෙක් ඉස්සරහ රාස්සයෙක් වෙන්න බෑ නොවැ...
නෑ... ඒ වෙන තාත්තලා... අපේ එක්කෙනාට යකා වැහුනම
මහසෝනා වුනත් එයා ළඟට එන්නැතුව දුවනවා. ඔන්න ඊලඟ ජවනිකාව. මුලින්ම සෙරෙප්පු ප්‍රහාරයක්...
ඔන්න කිට්ටුවටම ඇවිත්... මම කොයිකටත් පසුපසට අඩියක් විතර තිබ්......බා...! කොන්ද
මැදටම වැදුනේ හොඳ පයින් පාරක්... මාව ගේට්ටුව පහු කරන් පාරට දාලා තියෙන බෝක්කුව
උඩට විසිවෙලා වැටුනා...!!!
දඩබඩ ගාලා නැගිටගෙන පාරට පැන්නා. දැන් ආපසු
හැරීමක් නෑ. මම අඩි දහයක් පහලොවක් ඈතට දුවලා සූදානම් ශරීරෙන් හිටියා, එන්ජිමත්
ස්ටාට් එකේ තියාගෙන... තාත්තා තාමත් කෑගහනවා ගම දෙවනත් වෙන්න. අද ඉතින් මගේ කාඩ්
ඉරෙනවා නොම්මර නැති වෙන්නම !!! හම්මෝ... ඔන්න ඒ පාර ආයෙත් එනවා... පාරටම පැන්නා
යකෝ... දුවපා........න්........!!!
තවත් අඩි විසිපහක් තිහක් දුවලා මම නතර වුනා.
නාලාගිරියා නතර වෙලා. පාර දිගේ කොල්ලෙක් එක්ක මැරතන් දුවන්න බැරි බව අපේ පියතුමා
වටහාගන්නැති....
“තෝ ආයෙත් එන්නෙ එහෙම නෑ මේ පැත්ත පලාතේ... උඹලට
කලා වැඩියි මං... වරෙන්කෝ බලන්න, මරනවා ආවොත්...***ගේ පුතා...!”
දුවලා නතර වුන තැන ඉඳලා හිමිහිට පාර දිගේ පහු
බහින ගමන් මට ඔය ටික පාවෙලා යද්දි වගේ ඇහුනා... අයියට වුනා වගේ මටත් ගෙදරින් යන්න
වෙන බව මම දැනන් උන්නා... ඉතින් ඔන්න ඒක ඇවිත්... අවුරුද්දකට දෙකකට උඩදි මේක වුනා
නම් පාර කියලා බලන්නැතුව මම අඬාවි...! ඇහැට කඳුලු බින්දු දෙක තුනක් ආවා තමා... ඒවා
එහෙමම පිහිද ගත්තා මිසක් මම ඇඬුවේ නෑ. මජර වැඩක් කරලා නෙවයිනේ ගෙදරින් එලෙව්වේ...
බෑන්ඩ් ගහලනේ... තාත්තා කලාව කරනවා නම් ඇයි පුතාට බැරි ???
අපේ කොල්ලෝ ටිකටත් හොඳටම බැනලා එලවලා. උන් ටිකත්
දැන් මගේ පස්සෙන් එනවා... මම සිතුවිල්ලෙන් බරවුනු හිතින් පාර දිහා බලාගෙන හිමි
හිමිහිට ඇදෙනවා. මේ යන්නේ ජීවන්ලගේ ගෙදරට. අපේ සෙට් එක කලින්ම එහේ පාක් කරලා.
කට්ටිය මාවත් ඇදන් එහෙට ආවා... උන් ටික කථාව... සමහරු තාත්තට බනිනවා... මම
සිතුවිලි සයුරේ...
දෙලත් ඔතනට සෙට් වෙලා තිබුණා. අපිට වඩා වැඩිමල්
නිසාත්, ඩීසන්ට් කොල්ලෙක් නිසාත් මම කොහොමත් දෙලාට කැමතියි. ඌ මට කථා කරලා හිත
හැදුවා. කරන්න ඕන මොනවද කියලත් කිව්වා. මගේ කකුල වගේ එකහමාරක් ලොකු උගේ සෙරෙප්පු
දෙක මට දුන්නා දාගෙන පලයන් කියලා... මම ගෙදරින් එළියට බැස්සේ සෙරප්පු දෙකත්
නැතුව...!!!
එදා ඒ කරපු වැරැද්දට මට ගෙදරින් යන්න වුනා. ආයෙත්
මම ඒ ගෙදරට ගියේ නෑ. කරන්න තිබුණු විදියට මම ජීවන් එක්ක උගේ මොටර් සයිකල් එකේ
ආච්චිලගේ ගෙදර ඇවිත් අයියටයි, ආච්චිටයි, මාමලටයි විස්තරේ කිව්වා...! අයියත් කිව්වේ
“උඹ ආයෙත් යන්න එපා... මෙහෙ
ඉඳපන්...” කියලා. දැන් ඉතින් මොනවා කරන්නද
? ආ... ඩ්‍රැගාගේ පාටි එක...! ආච්චිලගේ ගෙදර කට්ටිය කියලා මම ජීවන් එක්ක ආපහු ගමට
ආවා. අපේ උන් ටික බඩු ටික ජීවන්ලගේ ගෙදරට ඇදලා... මගේ ස්ව-නිර්මාණ කීබෝඩ් ස්ටෑන්ඩ්
එක අපේ පියතුමා පොළොවේ ගහලා. මේ මොහොතේ මං ලඟ ඉතුරු වෙලා තිබුනේ ඇඳන් ඉඳපු වස්තරේ
විතරයි. සෙරෙප්පු දෙකත් දෙලාගේ යකෝ...!
පාටි එක කැන්සල් වෙලා ! මට කිව්වේ එහෙමයි. දැන්
කල්පනා කරද්දි හිතෙනවා පාටි එක තියෙන්නත් ඇති. ඩ්‍රැගා අපේ දෙතුන් දෙනෙක් එක්ක
ගිහිල්ලා පොඩ්ඩක් තලලා එන්නත් ඇති. මගේ හිත හදන්න වැඩේ කැන්සල් කිව්වට. කොච්චර
අලකලංචි වුනත් වැඩේ නැති එක ගැන පොඩි කණගාටුවකුත් ආවා...! කොල්ලෝ ටිකත් එක්ක
කයියක් දාලා ජීවන් එක්ක ආයෙත් ආච්චි අම්මලගේ ගෙදර ආවා. මට මේ ගෙදරත් නුපුරුදු තැනක්
නෙවේ. ඒත් ඉතින් පොඩි කාලේ ඉඳලා උන්න ගේ දමලා ඇවිත්... හෙටින් පස්සේ මට ගෙයක්
නෑ...!
ජීවිතේ පෙරලෙන්නේ කියලා නෙවේ. අපි හිතන විදියටවත්
නෙවෙයි. දෛවය පුදුමාකාරයි. මධ්‍යම පාන්තිකයෙක් හැටියට ජීවත් වුනු මම එයින් පස්සේ
අහිකුණ්ඨකයෙක් වුනා. අවුරුද්දෙන් දෙකෙන් ගෙවල් මාරු කර කර තැනින් තැනට යන්න වුනා. ඇත්තටම
කිව්වොත් මුළු ජීවිතේම වෙනස් වුනා...!
කථාව හොඳටම දිග වැඩි වුනා නේද ? බෑන්ඩ් කථා
කිව්වට මේ කොටසේ නම් බෑන්ඩ් ගැන නෙවෙයි තියෙන්නේ මගේම කථාව... කොහොම වුනත් මගේ
බෑන්ඩ් ජීවිතේ හරියට පටන් ගන්නේ මීට පස්සේ...! ඉතින්, ඉස්සරහට අපි ඒ ගැනත් අහමු...
අදට සමුගන්නම්... ජයවේවා...!!!
සංවේදී හිතට දැනෙන කතාවක් .......
ReplyDeleteදැන් ඉතිං ඔය ගානට ඉන්නවා මදෑ, වෙලා තියන දේවල්වල හැටියට .....
අපරාදෙ කියන්න බෑ මාගලකට වඩා චුට්ටක් විතර කෙටියි කතාව...ඒත් ඉතින් කියවන්නත් එපායෑ..." ජීවිතේ පෙරලෙන්නේ කියලා නෙවේ. අපි හිතන විදියටවත් නෙවෙයි "
ReplyDeleteසහතික ඇත්ත....දවසින් දවස කරදර මැද්දේ හරි සතුට මැද්දේ හරි අපි ජීවිතේට එකතු කර ගන්නෙ පාඩම්...බලාපොරොත්තු උන දෙයක් ඉටු නොවීම දුකක් තමා...ඒත් ඒකෙන් තවත් ගැම්මක් ආවා නේද චතුවො...
@ කල්හාර සහෝ :
ReplyDeleteආහ්... හා... අද මොකද වේලපහ ?
සංවේදී ද ? අනේ මන්දා ! මොක වුනත් ඒක උඹට දැනෙන්නේ උඹත් මගේ බෝට්ටුවෙම නිසා වෙන්නැති. හ්ම්, මෙහෙම ඉන්නවා කිව්වම මටම පුදුමයි අප්පා...
ස්තුතියි පළමු ප්‍රතිචාරයට !
දිල් :
මාගලක් ද ? හපොයි... කියාගෙන ගියා මිසක් එච්චර හිතුවෙත් නෑ. ඔය වගේ සිද්ධි ෂෝට් නෝට් ගහන්නා වගේ කෙටියෙන් ලියන්න බෑනේ දිලෝ !
ඔය සිද්ධියෙන් තමා අද වෙනකලුත් මම ගැම්ම අරන් ඉන්නේ. නැතිවුන හැම දේම මම කවදාහරි මගේම මහන්සියෙන් ලඟට ගන්නවා. එදා වැරදුනා තමා...! ඒත් දිලෝ ජීවිතේ හැමදාම වරදින්නෑ. වැරැද්දෙන් පාඩම් ඉගෙනගත්තු එකාට ආයේ වරදින්නෑ...!
සහෝදරීටත් බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාරයක් දුන්නට...ජයවේවා !!!
අද මම ටිකක් පරක්කුද මන්දා.. කථාව කියවලා ටිකක් වෙලා ඩිම් වෙලා වගේ කල්පනා කලා මොකක්ද මේ අය්යාට උනේ කියලා... ඇත්තටම කලින් පොස්ට් එකේ අය්යා මගේ කමෙන්ට් එකට දුන්නු උත්තරේ හරියටම තේරුනේ දනුයි අය්යේ,, ඒත් මම හිතනවා දැන් පසු තෑවෙන්න දෙයක් හිතේ නැතුව ඇති.. ගොඩාක් දුක් විදලා ලබා ගන්න දේවල් ජිවිතේට ගොඩාක් වටිනවානේ... කථාව දිග උනා කියලා ඔය හිතුවට එක හුස්මට කියවගෙන ගියා. හැමදාම වගේ අදත් කියනවා පරක්කු කරන්න එපා ඉතිරි කොටස්
ReplyDelete@ දේවා :
ReplyDeleteඋඹගෙන් නම් බේරිල්ලක් නෑ වගේ... :P හොඳා හොඳා පුළුවන් ඉක්මනින් ඉතුරු කොටස් දානවා මලේ. ඉස්සරහට කියවගෙන යද්දී මීටත් වඩා හොඳ අත්දැකීම් ගැන කියවන්න ලැබේවි. බලමුකෝ ඒවත් ඉස්සරහට නේද ?
හප්පේ මෙච්චර දුරදිග ගියාද සීන් එක .මම මුලින් හිතුවේ නෑ මෙච්චර දෙයක්.....ඉතින් ඉතින් මොකද උනේ ඊට පස්සේ.....
ReplyDeleteම්හ් කියෙව්වා .. මේ කොටස අනික එව්වට වඩා ගොඩාක් වෙනස්.. කලාව කියන්නේ පේන ටරං ලස්සන තැනක් නොවෙයි කියල තාත්තා දන්නවා ඇති මචන්... ඊගාව එකත ඉක්මනට දාන්න..
ReplyDeleteජය..
පුදුම තාත්තෙක් . කලාකාරයෙක් වෙලත් ඔහොම හැසිරෙනවද . දෙමාපියෝ පිටුපාද්දී ලෝකයේ දරුවෝ අතරමන් වෙනවා නේද . ඔහොම ඉන්න එක ගැන ආඩම්බරයි මල්ලියේ . මට නම් කඳුලුත් ආව .
ReplyDelete@ ඔබ නොදුටු ලොවක් :
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ දිගටම මේ කථා පෙළ එක්ක ඉන්නවාට... ඔයාලගේ දිරිගැන්වීම නිසාම තමා මේ වගේ මාගල් කොටලා දාන්න හිතට ෆිට් එකක් එන්නේ. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට... දිගටම එකතුවෙලා ඉන්නකෝ... තවම කථාව ඉවර නෑ...
@ ගයාන් :
මේ කොටස වෙනස් තමා සහෝ... ඒ මේ කොටස මගේ ජීවිතේ එක්ක තදින්ම බැඳිලා තියෙන නිසා. අද කථාව ෆුල් සීරියස් නේ...!
කලාව පේන තරන් සුන්දර නෑ කියලා මම දන්නේ කලාවට එන්නත් කලින්. තාත්තා එහෙම හිතලා මෙහෙම කලාද මන් දන්නෑ. ඒත් මේ ඒකට ක්‍රමය නෙවෙයි නේද ? කොහොම වෙතත් ප්‍රතිචාරයට ස්තුතියි සහෝ... ඊලඟ එකත් පුලූ....වන් තරම් ඉක්මනින් දානවා... ජයවේවා !
@ බින්දි අක්කා :
අක්කගේ කමෙන්ට් එක බලලා මටත් මොනවද වුනා...! තාත්තා වැරදි තමා, ඒත් මං දැන් එයාට වෛර කරන්නෙවත්, එයා ගැන තරහක් වත් නෑ. ඉස්සර එහෙම හිතුවා තමා. දැන් ඉතින් අපිත් වැඩිහිටි මිනිස්සුනේ. ලෝකේ කළු හෝ සුදු මිනිස්සු නෑ. අපි හැමෝම අළු...!
ප්‍රතිචාරයට ස්තුතියි අක්කේ... ඉස්සරහට එන කොටස් වලින් අක්කට තව අඬන්න වේවිද මන්දා ? එහෙම වුනොත් ඉතින් මේ මල්ලිට බනින්න නම් එපා ! ජය වේවා !!!
:(
ReplyDeleteඅප්පේ මල කෙලියයි........
ReplyDeleteගෙදරත් දාල යන්න වෙලානෙ.....
ස්ටොරිය ෆුල් ආතල් කොලුවෝ....
එලම තමා......
අපෙ තාත්තගෙන් කන පැලෙන්න කාපුවගේ රහත් මතක් උනා ස්ටොරිය කිය වද්දී....
ReplyDeleteබලන් යද්දී මොන කතාවටත් වඩා ලස්සනයිනෙ ජිවිත කතාව....