Saturday, October 8, 2011

Music Band එකේ මුල් දවස්... - බෑන්ඩ් කථා #2


බෑන්ඩ් කියන්නේ මොනවද කියලා වත් දන්නේ නැතුව අටව ගත්ත අපේ ටකරන් බෑන්ඩ් එක ගැන ගිය සතියේ කිව්වනේ... බැලුවේ නැද්ද ඒක ? එහෙනම් මෙහෙන් ගිහින් ඉක්මනට බලලා ආයෙත් එන්නකෝ. අද කියන්නේ ඒ කථාවේම ඉතුරු ටික... ඒ කියන්නේ අපේ 3 Piece බෑන්ඩ් එකේ ඉදිරිය හා සිදුවුන රසබර සිද්ධි ගැන තමයි. හොඳයි ළමා...යි ! බහිමු නේද ස්ටෝරියට !!!


මුලින්ම කියන්න ඕනේ මේ දෙවැනි කොටස දාන්න සති දෙකක් විතර ගතවුනා. ඒ ප්‍රමාදයට සමාවෙන්න ඕනෙ...! මොකද දැන් ගොඩක් දේවල් පැටලිලා... මතක තිබුනට පැහැදිලි මදි. අවුරුදු 10-12 ක් පරණ මතක නොවැ. ඉතින් ඒ කාලේ ඉඳන් උන්නු අයත් එක්ක කථා කරලා පරණ මතක අවුස්සලා තමයි සිද්ධි පෙල ගහගත්තේ. අනික මේක කොටනවා කියන්නෙත් එපා කරපු වැඩක්. ඔෆිසියෙත් දවස තිස්සෙම ලිපි දෙක තුනක් හදලා, කොටලා ආය ගෙදර ඇවිල්ලත් කොටන එක...!!! ටික ටික කොටලා තමා මේ ඉවර කලේ. ඉතින් ප්‍රමාදයට සමාව භජනය කරනවා. එහෙනම් මෙන්න කථාව...

අපේ බෑන්ඩ් එක ආරම්භක කාලේ අපිට තිබුණු ලොකුම අවුල වුනේ මුදල්... අපි තුන් දෙනාම ඒ වෙනකොට O/L වයසේ.... ආදායමක් කියලා තිබු‍ණේ pocket money වලින් ඉතුරු කරගත්තු කීයක් හරි තමයි... ඒකත් ඉතින් ඔය වයර් කෑල්ලක් ගන්න, නැත්නම් ඇණ ටිකක් ගන්න වියදම් වුනාම ඉවරයි. අපිට හොඳ තත්ත්වයේ Drum Sticks ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. ඒ ස්ටික් ඒ දවස්වල රුපියල් 300 ක්. අපි play කලේ අපිව හදාගත්ත ස්ටික් වලින්. ඒකට පාවිච්චි කලේ කෝපි කෝටු... කෙලින් තියෙන කෝපි ගහක් කපලා, පොත්ත ඇරලා, නිර්මාණ ශිල්පයේ වැඩ පෙන්නලා ඕක හොඳට අතට අහුවෙන විදියට මට්ටමට හදාගන්න ඕනේ. ඔය වගේ අඩුපාඩු මැද්දේ වුනත් කොහොම හරි අපි ඔය ටකරන් බෑන්ඩ් එක Run කරගෙන ටික ටික ඉස්සරහට ආවා.

ඔය බෑන්ඩ් වැඩේට මුලින් සෙට් වුනේ මමයි, ජීවනුයි, සංජයයි තමා. පස්සේ පස්සේ තව තව කට්ටිය එකතු වුනා. මුලින්ම අපේ තුන් කල්ලියට සහය දෙන්න ආවේ සංජයගේ පොඩි අයියා - දෙනුවන්. අපි ආදරේට කිව්වේ දෙලා කියලා. දෙලා පස්සේ කාලේ මාත් එක්ක ගොඩාක් ෆිට් වුනා. ඒ වගේම ඉදිරියට මගේ ජීවිතේ වැදගත්, අමතක නොවන චරිතයක් වෙනවා. ඉදිරියට ඒ ගැනත් කියන්නම්. දෙලා අපිට වඩා අවුරුදු 3 ක් විතර වැඩිමල් වුනත් පොඩි එකා වගේ අපේ සෙට් එකේම තමා හිටියේ...

කොහොම වුනත් පටන් අරන් අවුරුද්දකින් දෙකකින් වගේ ජීවන් අපේ බෑන්ඩ් එකෙන් හැලෙනවා. දැන් නම් මට සිද්ධිය මතක නෑ. ජීවන්ගෙත්, සංජයගෙත් O/L විභාගය නිසා 98 අන්තිම කාලේදී අපි practice නතර කළා. එතකොට මම 10 වසරේ. කොහොමින් හරි ජීවන්ගේ ගෙදරිනුත්      අපේ බෑන්ඩ් කෙරිල්ලට වැඩි මනාපයක් තිබුනේ නෑ. අපේ බෑන්ඩ් ගෑන්සියට ඒ වෙනකොට හත් අට දෙනෙක්ම set වෙලා හිටියා. අම්මලාගේ දෘෂ්ඨිකෝනෙන් බැලුවාම එතන හිටපු සමහරු ආශ්‍රය කරන්න සුදුසු නැහැ කියලා අම්මලාට හිතෙන්න ඇති.

ඔය විදිහට බෑන්ඩ් එකට සෙට් වුණු කට්ටියත් කියන්නම්කෝ... ගයාන් හෙවත් ඩ්‍රැගා, සනත් හෙවත් සනා, අසංක අයියා (අසා), ඉන්දික (වෙලේ කඩේ බක්කා) හා කලු මල්ලී (උගේ නම අදටත් මතක නෑ කලු මල්ලීම තමා) ඔය වගේ සෙට් එකක්ම හිටියා. ඔතනින් මුල් තුන්දෙනා පස්සේ කාලෙක අපේ බෑන්ඩ් එකේ ගායකයන් වුණා. ආ...! මේකත් කියන්න ඕනේ... අපේ මේ බෑන්ඩ් කලාවේ මුලින්ම ගායකයෝ හිටියේ නෑ. වැඩේ යන්නේ මෙහෙ‍මයි... සංජයයි, ජීවනුයි beat එක ගහගෙන යනවා. මම organ එකෙන් ඔක්කොම Part ටිකත් Play කරලා, සින්දුවේ melody line එකත් ඒකෙන්ම Play කරනවා. මුළු සින්දුවේම මෙලඩි එක කවර් කරන්නේ මම. මුල් කාලේ ඉඳන්ම main part පිලිවෙලට Practice කළ නිසාම පස්සේ කාලෙක Professional player කෙනෙක් විදියට Play කරද්දී මට ඒක ලොකු හයියක් වුණා.

පස්සේ බෑන්ඩ් එක ඉස්සරහට යද්දී අසංක අයියා අපේ බෑන්ඩ් එකට සෙට් වුනා sing කරන්න. මිනිහා හරිම emotional විදියට ඇස් දෙකත් පියාගෙන තමයි සිංදුව කියන්නේ. ගොඩක්ම කිව්වේ චන්දන ලියනාරච්චිගෙයි, විජය බණ්ඩාර වැලිතුඩුවගෙයි සින්දු... ඒ කාලේ අසංක අයියා හිටියේ පොල්ගස්ඕවිට - වෙළකුඹුර කියන හරියේ. වැලිතුඩුව සර් හිටියෙත් ඒ කිට්ටුවම තමා. අසංක අයියට බොක්ස් ගිටාර් එකත් යන්තන් වනා ගන්න පුළුවන් කමක් තිබුණා. ඔය ඔක්කොමත් එක්ක එයා අපේ බෑන්ඩ් එකට සෙට් වුනාට පස්සේ අපේ බෑන්ඩ් එක ටිකක් up වුනා. ඒකෙන් මගේ playing වලටත් පොඩි දියුණුවක් ලැබුණා. කලින් මම කිව්වනේ අපි play කරපු විදිය. මුළු මෙලඩි එකම මම නොවැ ඇද්දේ. අසා sing කරන්න ආවට පස්සේ මමත් main part ගහලා, vocal Parts වලදී ඒකට මෙලඩි ගහන්නැතුව counter parts, Harmonies play කරන්න පුරුදු වුනා. ඒ වැඩේ එකපාර නුපුරුදු නිසා සිංදු අහ අහ පුරුදු වෙන්නත් වුනා. ඒ කාලේ CD තිබුණා වුනත් CD recording භාවිතයට ඇවිත් තිබුණේ නෑ. ඉතින් අපි සිංදුවක් ගහගත්තේ කැසට් පීස් වලට තමා. මම හිතන්නේ ඒ විදියට කැසට් පාවිච්චි කරපු අන්තිම සෙට් එක අපි වෙන්නැති. මොකද 2001-2002 වගේ කාලේ වෙනකොට කැසට් අභාවයට ගිහින් CD භාවිතය ජනප්‍රිය වීගෙන ආපු කාලේ නිසා. කොහොම වුනත් අපරාදේ කියන්න බෑ අපේ සංජයත් අතින් වියදම් කරගෙන ප්‍රැක්ටිස් කරන්න ඕනේ සිංදු ටික කැසට් වලට රෙකෝඩ් කරන් ආවා. ඕවා play කර කර අහන්න උන්ගේ තඩි සෙටප් එකත් ප්‍රැක්ටිස් කාමරේට දාගත්තා. ටිකක් යන කොට මගේ පොඩ් ඕගන් කටුවේ Output එකත් ඒ සෙටප් එකටම plug වුනා. පස්සේ ප්‍රාථමික තත්ත්වයේ මයික් එකකුත් ඕකටම එකතු වුනා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක ඔය සෙටප් එක තමයි මගේ ශබ්ද කළමණාකරන මුල්පොත වුනේ. Sound balance, Eq, mixing වගේ පාඩම් වල ‘අයන්න‘ ඉගෙන ගත්තේ ඒකෙන් තමා...

අපි තුන්දෙනා අසංක අයියත් එක්ක එකතු වෙලා ඔය විදියට වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ කාලෙක තමා අපේ බෑන්ඩ් එකේ තවත් සංධිස්ථානයක් විදියට ගයාන් අපේ බෑන්ඩ් එකට සෙට් වෙන්නේ. ගමේ අළුතින් පදිංචියට ආපු යාළුවෝ ඩබලක් වුනු ගයානුත්, සනතුත් අපේ බෑන්ඩ් එකට එකතුවුනා. ඇයි ඉතින් අපි තඩිබාන සද්දේ ඇහුනාම සංගීත රස දන්න උදවිය එක්රොක් වෙනවා නොවැ...:P ඉතින් ගයාන් හෙවත් ඩ්‍රැගා අපේ බෑන්ඩ් එකට එකතු වුනා. ගයාන්ට ඩ්‍රැගා කියන්නත් හේතු වුනු පොඩි කථාවක් තියෙනවා. ගයාන් ඒ දවස්වල ටිකක් rock ඩයල් එක. ඔය ජාතියේ බුවාලගේ ඒ කාලේ ස්ටයිල් එක තමයි. කළු T-shirt එක හා ඔළුවේ බඳින Scalp එක.  එතකොට Bob Marley scalp ඇවිත් නෑ. තිබුණේ බතික් කරපු scalp. හරි....හරි..... දැන් මූට නම වැටුනේ මේකයි. මේකා හැමදාම ඇන්දේ Dragon කියලා චයිනීස් ස්ටයිල් එකට ගහලා මකරෙක් හිටිය කළු body-fit T-shirt එකක්. මුල් දවස් වල උගේ නම දන්නැති නිසා ඩ්‍රැගන් කියලා පස්සේ ඒක ආදරේට, ලේසියට පහසුවට ඩ්‍රැගා වුණා. ඩ්‍රැගා මගේ වයසේමයි. මිනිහට මාර හැකියාවක් තිබුණා ගැහැණු කටහඩින් සිංදු කියන්න. ඉතින් බෑන්ඩ් එක ඇතුලේදී ගායිකාවන්ගේ සිංදු දෙක තුනක් ඌටත් ලැබුණා sing කරන්න. ඩ්‍රැගාටත් මාරම music උනක් තිබුණේ... මිනිහා නිකන් ඉන්න වේලාවට Octapad එක ගහන්න පුරුදු වුණා. ජීවන් ගහන එක බලන් ඉඳලා ඌ එමම ගහනවා. ජීවන් ප්‍රැක්ටිස් ආපු නැති දවසට pad කරන්නේ ඌ තමයි. කොහොම හරි ජීවන් බෑන්ඩ් එකෙන් හැලුණා. Sing කරන්න ආපු ඩ්‍රැගා බෑන්ඩ් එකේ ස්ථිර පෑඩ් වාදකයා වුණා. පස්සේ කාලේ මිනිහා ඉඳලා හිටලා Female Voice එකක් දෙකක් කලත් නියම කටහඩින් හොඳට sing කරන්නත් පුරුදු වුණා.   

99-2000 වගේ කාලෙදී අපේ බෑන්ඩ් එක ටිකක් තැනකට එනවා. මම, ජීවන් හා සංජය හිටියේ උඩහ පහළ ගම් දෙක එකතුවෙන බෝඩරේ. ඒ නිසා උඩහ පහළ ගම් දෙකේම මේ වෙන කොට අපේ බෑන්ඩ් එක ටිකක් ජනප්‍රිය වෙලා තිබුණා. ඔය කාලේ සංජය රුපියල් 300 ක් විතර වියදම් කරලා හොඳ තත්ත්වයේ drum set එකක් ගත්තා. හෙ හෙං... ඒකත් අර කලින් ජාතියේම x-ray කොල handmade තමයි. හැබැයි සුදුපාට ප්ලාස්ටික් ෂීට් එකක් ගහලා තිබුනේ. ඒවගේම හොඳ පිත්තල hi-hat එකක් හා pedal එකකුත්, පිත්තල Cymbal එකකුත් තිබුණා. Bass Drum එකට පාවිච්චි කලේ තේ කොළ පෙට්ටියක්. ඒකේ foot pedal එක වෑල්ඩිං වැඩපොළකින් custom කරලා හදාගත්ත එකක්. මේ වෙද්දී අපිට සොභාත් අයියගේ පෑඩ් එක තියාගන්නම දීලා තිබුණා. මොකද, එයාලා දැන් බෑන්ඩ් කෙරුවාවෙන් ඈත් වෙලා වගේ නිසා. මම නම් ඉතින් තාම සුපුරුදු ඕගන් කොටේම තමා...! ඒත් Sound Output පැත්ත ටිකක් දියුණු වෙලා Amp එකක්, බෆල් දෙකක් හා මයික් එකක් අපිට තිබුණා...

දැන් ඉතින් ඔයාලා බලයි “යකෝ මුන් ටික ටකරන් තල තලා හිටිය විතරද ? ටිකක් ප්‍රසිද්ධියේ එළියට බැහැලා play කලේ නැද්ද ?“ කියලා. ඔතනදී කියන්න ඕනේ, කොහොමත් අපේ ප්‍රැක්ටිස් එක ඉතින් Open Show එකක් වගේ තමයි. සංජයලගේ ගෙදර අපි ප්‍රැක්ටිස් කරන පුංචි කාමරේ අපේ music බඩු ටික පිරිලා... ඉතින් කාමරේ ඉඩ නැති නිසා දොර ගාවයි, ජනෙල් පඩි උඩයි, එතනින් එහා වත්තේ ගල් උඩයි හැමතැනම අහල පහල කොල්ලෝ පිරිලා... හැම ප්‍රැක්ටිස් එකකදීම 10 ක් විතර ඉස්සරහ තමයි play කරන්නේ. මම අර කලින් කිව්වේ... ප්‍රාදේශීය සභාවේ හිටපු අපේ මාමා... එයාට අපි කිව්වේ බන්දු මාමා කියලා... හරිම හොඳ මනුස්සයා ඈං... සිංහල අවුරුදු දවස් වලට එයා ගානේ ගමේ එයාගේ සෙට් එකටම පාටියක් දෙනවා. බීම නෑ...! කෑම විතරයි... එදාට ඉතින් සෙට් එකම හොඳ ෆන් එකක් ගන්නවා. අපේ බෑන්ඩ් එකටත් ඉතින් අවස්ථාවක් ලැබුනා ඔය සාජ්ජෙකට සංගීතෙ සපයන්න. අවුරුද්ද නම් මතක විදියට 1999 වෙන්න ඕනෙ. ඒ අවුරුද්දේ අප්‍රේල් මාසෙ අවුරුදු පාටිය සංගීතවත් කරන්න බන්දු මාමා අපිට භාරකලා. බන්දු මාමලගේ ගෙදර ඉස්සරහ කාමරේ ලොකුවට හදලා තිබුණා... එයාගේ කාර්යාල වැඩ වලටත් එක්කම. ඔතන තමයි වැඩේ කෙරුනේ. අපි අපේ ටකරං කෑලි ටික කලින්ම ගිහින් එතන අටවගත්තා. දවාලියෙන්ම පොඩි rehearsal පාරකුත් ගියා. හැබැයි ඉතින් ටිකක් විතර shock එකකුත් තිබුණා. වැඩේ පටන්ගත්තේ රෑ 8.00 ට විතර. 12 ට කිට්ටු වෙනකල්ම වගේ සෙල්ලම් කලා. අපි ඒ කාලේ පොඩිවුන් නිසා හරිම අමාරුවෙන් තමා 11 පහුවෙන කල් ගෙදරින් පිට ඉන්න චාන්ස් එකක් ලැබෙන්නේ. මොකද මමත් ඒ අවුරුද්දෙම තමා O/L . සංජය, ජීවන් දෙන්නත් ආයේ O/L ලියනවා. ඒක නිසා නයිටක් ගහනවා කියන එක කේස් වැඩක්. බන්දු මාමගේ වැඩක් නිසා අවුලක් නෑ. වැඩේ ගාණට ඉවර කලා. අපි කට්ටිය play කරනවා, අනෙක් කොල්ලෝ සෙට් එකම සිංදු කියනවා. අපේ අයියත් හිටිය නිසා අපිට ෆිට් එකක් තිබුණා. මොකද එතන හිටපු කට්ටියගෙන් අපි තුන්දෙනා විතරයි පොඩි උන්ට හිටියේ. ඉතින් ඒ වගේ සෙට් එකක් මැද වැඩ්ඩෝ (?) වෙච්ච එක අපේ සෙට් එකට ලොකු මොරාල් එකක් වුනා...
 
      
      කට්ටියක් ඉදිරිපිට මුලින්ම play කලේ එදා තමයි. ඊට පස්සේ අවුරුද්දෙත් අපි ඔය සාජ්ජෙට සහභාගි වුනා. ගිය පාර එක කාමරේ ඇතුලේ වුනාට මේ අවුරුද්දේ සාජ්ජෙ තිබුනේ එළිමහනේ... අපේ ගෙදරට අල්ලපු පැත්ත බන්දු මාමලගේ ඉඩමක්. ඒක මැද්දේ තිබුණු බෙලි ගහ යට තමා මේ පාර ප්‍රසංගය...! අපි ඒ කාලේ කොච්චරට දුප්පත්ද කියන්න මම මගේ ඕගන් එක තියා ගත්තෙත් Ironing stand එකක් උඩ...!!! ඔය විදියට පහසුකම් අඩු වුනත් අපි උනන්දුවෙන් ප්‍රැක්ටිස් කලා. මම O/L ලියනකොට සංජය, ජීවන් දෙන්නත් දෙවැනි පාර ලියනවා. අපි තුන්දෙනා එක්කම බෙල්ලන්විල පන්සල් ගිහින් විභාගේ වෙනුවෙන් බෝධි පූජාවක් තියලා ආවා මට මතකයි. ඔය කාලේ ගොඩක් දෙනා අපිට බැන්නත් එක්ක. බෑන්ඩ් තල තල ඉන්නවා මිසක් ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නෑ කියලා...! අපේ තාත්තගෙත්, නෑදෑයින්ගෙත්, අහල පහළ උදවියගෙත් කටවල් වැහෙන result එකක් මම ගත්තා. විභාග ප්‍රතිඵල එන්න කලින් ඩැඩා ඇහුහම මම ඩැඩාට කියලා තිබුනේ මට ලොකු ඕගන් එකක් ඕනේ කියලා. ඉතින් result ඇවිත් මාසයක් දෙකක් යනකොට මට මගේ තෑග්ග හම්බවුනා...! ඊට අවුරුද්දකට පස්සේ මගේ මුළු ජීවිතේම කණපිට හැරෙන්නත් හේතු වුනේ ඔය ලොකු ඕගන් එකම තමා...

 ඉතින්... ටිකක් හති අරින්න මෙතනින් නතර වෙමු නේද ? ගියපාර තරම් පරක්කු නොකර තුන්වැනි කොටසත් හැකි ඉක්මනින් දානවා. ඊළඟට A/L කාලේ බෑන්ඩ් අත්දැකීම් එක්ක අපේ බෑන්ඩ් එක අළුත් වුනු හැටිත්, බෑන්ඩ් නිසාම මගේ ජීවිතේ එක් හැරවුම් ලක්ෂ්‍යය් නිර්මාණය වුනු හැටිත් අහන්න පුළුවන්. එකතුවෙලා ඉන්න බෑන්ඩ් කථා සමගින්...
ප.ලි. - තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අප්‍රමාණ මෙහෙවරක් කරමින්, අද මා මෙය යතුරුලියනය කරන පුද්ගල පරිගණකය හඳුන්වා දෙමින්... ඉන් පසුව ඇපල් සමාගම තුළින් ලෝකය වෙනස් කළ නිර්මාණ සංකල්ප ලොවට දායාද කරමින්... තාක්ෂණයේ හැඩය වෙනස් කරන්නට දායක වුනු... ස්ටීව් ජොබ්ස් නම් අපේ කාලයේ විශ්වකර්මයාට උපහාරය වේවා...!!! බෞද්ධයෙක් විදියට නිවන් සුව පතන්න ඕනේ තමයි. ඒත් ලෝකෙට තවත් අළුත් අදහස් ගේන්න ආයෙත් එක වතාවක් හෝ ඉපදේවා !!!





8 comments:

  1. සුන්දර මතකයන් අමතක කරන්න බෑ කවදාවත්ම...දිගටම ලියන්න ....

    ReplyDelete
  2. බෑන්ඩ් කෙරුවාව නේ.අපිත් කොලා,හෙන කට්ටකුත් කෑවා.සෝ දෙක තුනකුත් කොලා.දැන්නම් කට්ටිය හැලිලා එක එක වැඩ,එහෙනම් ඉතුරු ටිකත් ලියන්නකෝ!

    ReplyDelete
  3. ගොඩාක් ආසාවෙන් කියවනවා සහෝ.. සමහර දේවල් කලින් කිවා වගේම මගේ ජිවිතේටත් ටිකක් විතර සම්බන්දයි... මෙච්චර පරක්කු කරන්න නම් එපා 3 කොටසට

    ReplyDelete
  4. @ ඔබ නොදු‍ටු ලොවක් :
    බොහොම ස්තුතියි සහෝ... පරණ මතක වැදගත් වෙන්නේ අතීතය මතින් අනාගතය සිත්තම් වී ඇති අයට විතරයි. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට...!

    @ නදීර :
    හං හා... තවත් බෑන්ඩ් ගොයියෙක්... එපා වෙනවා තමා අප්පා, ඔය සහෝට ෂෝ 2-3 ක් කරලා ඔහොම හිතෙනවා නම් අවුරුදු 6 ක් ඇක්ටිව් බෑන්ඩ් කරපු මට ??? හිතාගන්නකෝ...! ඉස්සරහට කියවන්නත් පුළුවන් වේවි. දිගටම කියවන්න එකතුවෙන්නකෝ... ජයවේවා !!!

    @ දේවා :
    ගොඩක් ස්තුතියි මලේ... අනේ තරහ ගන්න එපාලා... පරක්කු නොකර 3 කොටස දානවා... ස්තුතියි එකතු වෙලා ඉන්නවට... ජය !!!

    ReplyDelete
  5. බුදු අම්මෝ....චතුවො මේක මාගලක් වගේ දිගයිනෙ..පොඩ්ඩක් ඉන්න හති අරිනකල්... :)

    අපූරු මතකයක්..අපරාදේ කියන්න බෑ..ඒ කියන්නෙ කොල්ලා මියුසික් ගැන යමක් කමක් දන්නවා...

    ReplyDelete
  6. ඔන්න මන් හොඳටම පරක්කුයි. හරිම රසවත් . කොච්චර වැඩ තිබ්බත් අනික් එකත් කියවලමයි නැගිටින්නේ මෙතනින්

    ReplyDelete
  7. අද තමයි කියෙව්වෙ... උබ මාර ගමනක් ඇවිල්ල තියෙන්නෙ බන්....

    ReplyDelete
  8. ස්ටෝරිය නම් පට්ටම තමා......
    මේක කියවද්දි මට ටිකක් දුකත් හිතෙනව
    මගෙත් පුංචි සිහිනයක් තියනව මගෙ වටේ ඉන්න මියුසික් වලට වහ වැටිලා ඉන්න මගෙ යාලුවෝ සෙට් එකත් එක්ක මොනවා හරි මියුසික් පැත්තෙන් වැඩක් කොරන්න....
    කෝ ඉතින් අපේ ගෙවල් වලින් ඕවට ඉඩක් නෑනේ.....
    ඉගෙන ගෙන ඉවර කරල ඉන්නලු අනිත් දේවල් කරන්න.....
    එහෙම ඉදල කොරන්න ගියොත් නාකි වෙලා තියේවි.....
    කෝ කිව්වට අහන එකක් යෑ.....


    මරුම තමා මගෙ සිහිනෙත් මේ වගේ සැබෑ වෙනවා නම්.........

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...