Friday, August 30, 2013

- අනාගතයේ වීදුරුව : Gorilla Glass 4 -

පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම් වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ Corning සමාගමයි.


මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේදී පැවැත්වුනු ජංගම උපාංග තාක්ෂණ සමුළුවේදී අදහස් දැක්වූ Corning සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන ආචාර්ය ජෙෆ්රි එවන්සන් පවසා සිටියේ ජංගම උපාංග සඳහා ගෝරිල්ලා ග්ලාස් හි ඇති වැදගත්කමයි. එසේම අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදනය වෙත බැල්මක් හෙලන්නටත් ඔහු මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව මීලඟ Gorilla Glass නිෂ්පාදනය යටතේ එළි දකින ආරක්ෂණ වීදුරුවේ නවතම ගති ලක්ෂණ එළි දක්වනු ලැබිණි.


Gorilla Glass ආරක්ෂණ වීදුරුව ඉතා ශක්තිමත් වන අතර සීරුම් වලට ඔරොත්තු දෙන දැඩි භාවයත්, දිගු කාලයක් තත්ත්වය නොවෙනස්ව පැවතීමත් යන කාරණා නිසා දැනටමත් හොඳ නමක් දිනා සිටී. ඒ ගුණාංගයන් තවත් වැඩි දියුණු කරනා ගමන්ම, අළුතෙන් විශේෂාංග කීපයක් හඳුන්වා දෙන්නට දැන් ගෝරිල්ලා ග්ලාස් නිපදවන Corning සමාගම අපේක්ෂාවෙන් පසුවේ. ඒ අනුව අනාගත නිෂ්පාදනය වන Gorilla Glass 4 සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංග ඇති, එළිමහනේ පවා හිරු එළියට දිලිසීමක් නොමැතිව, විනිවිද පෙනෙන ආකාරයේ ගුණාංග ඇති වීදුරුවක් නිපදවීම Corning සමාගමේ අරමුණයි.


මෙහි ඉහත දක්වා ඇති රූපය දෙස බලන්න. ඔබට සිතෙනු ඇත්තේ එහි ඇති වීදුරු තහඩුව මැදින් රවුමක් කපා ඉවත් කොට ඇති ආකාරයටයි. නමුත් සත්‍යය එය නොවේ. ඒ මුළු වීදුරු තහඩුවම කිසිදු විවරයක් නැති එකම සමතල පෘෂ්ඨයකි. එසේනම් මැදින් ඇති වෙනස කුමක්ද Corning සමාගම පවසන්නේ ඒ ඔවුන්ගේ නවතම ප්‍රති-පරාවර්තක වීදුරු තාක්ෂණය බවයි. සාමාන්‍යයෙන් එළිමහනේදී  වීදුරුවක පෘෂ්ඨය මතින් එහා මෙහා බැලීම අපහසු වන්නේ එහි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටී පරාවර්තනය වීමෙන් වීදුරුව යම් තරමකින් දර්පණයක් බවට පත්වීමත්, නිසා වීදුරුවට පහතින් ඇති දේ විනිවිද දැකීමේ හැකියාව අඩු වී යෑමත් නිසායි. නමුත් රූපයේ පෙනෙන ආකාරයේ මැජික්වීදුරුවක් ඔබේ ස්මාට් දුරකථනයේ තිරය වසා ඇති නම්, කිසිදු අපහසුවකින් තොරව, තද අව්වේ දී වුවත් ඔබට දුරකථන තිරය මත ඇති දේ ඉතා හොඳින් බලා ගැනීමට හැකි වනු ඇත.

අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදන සඳහා අඩංගු වන තවත් අපූරු ගුණාංගයක් වන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන ආලේපයක් මෙම වීදුරුව මත ආලේප කර තිබීමයි. ඇත්තෙන්ම ගතහොත් ඔබේ දුරකථන තිරය බැක්ටීරියා ආකරයකි. ඔබ වැඩිදුර නොසිතුවාට ඔබ නිතරම භාවිතා කරන දුරකථනය නිසා ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් කීදෙනෙක් ඔබේ ශරීරයේ ගැවසෙන්නට ඇති ද ? මේ පිළිබඳව සලකා බැලූ Corning සමාගම දැන් ගෝරිල්ලා ග්ලාස් වීදුරු මත ක්ෂුද්‍ර ජීවීන් වැඩීම නතර කරන ආලේපයකින් සිය වීදුරු නිපදවිමට සැලසුම් කර තිබේ. පහත රූපය මගින් පෙනෙන ආකාරයට සාමාන්‍ය වීදුරුවකට වඩා බැක්ටීරියා ප්‍රතිරෝධී වීදුරුව මත ඇති බැක්ටීරියා ප්‍රමාණය 10,000,000 වාරයක් අඩුය.


Corning සමාගම පවසන්නේ මේ ලක්ෂණ රැගත් නවතම ගෝරිල්ලා ග්ලාස් තිර ආරක්ෂක වීදුරු ආවරණ ලොව පුරා ඇති ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වල තිරය සරසන ආකාරය තවත් වසර දෙකකින් පමණ අපට දැකගන්නට ලැඛෙනු ඇති බවයි.  එවිට මේ මැජික් වීදුරුවේ අරුමය ඔබ අප සැවොටම දැක බලාගත හැකි වනු ඇත...





7 comments:

  1. :) ස්තූතියි මචං

    ReplyDelete
  2. අවුරුදු දෙකකින් අපිත් මේ බෝරින් ඒවා අයින් කරල ගෝරින් ඒවා දාමු. ජය වේවා ස්තුතියි මිත්‍රයා තොරතුරට

    ReplyDelete
  3. කියවන්න අමාරුයි. සමහර අකුරු වෙනුවට කොටු වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් හරි! කියවන්න පුළුවන්. ස්තුතියි.

      Delete
  4. නියමයි හොඳ දැනුවත් කිරීමක්

    ReplyDelete
  5. koi tharam wenasakda kiyala rupayenma penawa..niyamai

    ReplyDelete
  6. ගොඩක් ස්තුතියි දනුවත් කලාට අපිවත්.........

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...