Saturday, October 1, 2011

Google Power - ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්


Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්‍රයන් කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී යන කරුණක්. හොඳම උදාහරණය පසුගිය මාසයේ සිදුවූ මොටෝරෝලා ජංගම දුරකතන සමාගමේ ගනුදෙනුව. මේ ලිපියෙන් ඉදිරිපත් කරන ව්‍යාපෘතියත් ඊට කදිම උදාහරණයක්. මෙතෙක් කලක් පරිගණක ක්ෂේත්‍රෙයේ කිසිවෙක් අතනොගැසූ දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙය සමබන්ධව ඇත්තේ බලශක්ති ක්ෂේත්‍රය වෙතයි. මේ Google සමාගමේ සූර්ය කුළුණු බලශක්ති ව්‍යාපෘතිය ගැනයි...

බලශක්තිය යනු වර්තමාන සමාජයේ තීරණාත්මක සාධකයකි. කාර්මික විප්ලවයත් සමග වැඩී වර්ධනය වූ මිනිසාගේ බලශක්ති පාරිභෝජන රටාව වර්තමානයේ දී ප්‍රශ්ණකාරී තත්ත්වයකට මුහුණ පාමින් සිටී. එක් අතකින් ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන ඛනිජ ඉන්ධන නිසා පෘථීවි පාරිසරික සමතුලිතතාව දැවැන්ත ලෙස බි වැටෙමින් තිඛෙන අතරම ඛනිජ ඉන්ධන නිධි අවසන් වෙමින් පැවතීම තුල අනාගත ලෝකය බලශක්ති අර්බුදයකට මුහුණ පෑමේ අනතුරක් ද පවතී. මේ ගැටළු සහා හොම විසඳුම ලෙස විද්‍යාඥයින් යෝජනා කර සිටින්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වන සූර්ය, ජල, සුලං, උදම් ආදී ශක්තීන් වෙත යොමු විය යුතු බවයි. ලොව පුරා තැනින් තැන මෙවැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන කුඩා පරිමානයේ බලාගාරයන් ඇතත් ලෝක බලශක්ති ඉල්ලූම සපුරා ලීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මෙවැනි තාක්ෂණයන් තවමත් මූලික අදියරේ පැවතීමත්, පර්යේෂණ සහා විශාල ප්‍රාග්ධනයත් අවශ්‍ය වීමත් නිසා මේ ආකාරයේ දැවැන්ත ව්‍යාපෘතීන් සීමාසහිත වී තිබේ.

Model rendering of ISEGS, the world's largest solar power tower being built in California

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් මෙන්ම ලෝකයේ විශාලතම සමාගම් අතරින් එකක් වන ලෝ ප්‍රසිද්ධ ගූගල් (Google) සමාගම දැන් මේ පුනර්ජනනීය බලශක්තීන් වෙත සිය අවධානය යොමු කර තිබේ. ඔවුන්ගේ නවතම ව්‍යාපෘතිය වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 168 ක ආයෝජනය කර ඇති සූර්ය බලශක්ති කුලූණු බලාගාරයයි. මේ මාදිලියේ ලොව ඇති ලොකුම ව්‍යාපෘතිය වන මෙමගින් මෙගාවොට් 400 ක පමණ බල ධාරිතාවයක් නිපදවිය හැකියි. ගිණිකොන දිග කැල්ෆෝනියාවේ මොහාවි කාන්තාරය තුල අක්කර 3600 ක භූමි භාගයක ඉදිවන මේ බලාගාර ව්‍යාපෘතිය වර්ෂ 2013 දී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

මේ සහා යොදාගන්නා තාක්ෂණ ක්‍රමෝපාය හඳුන්වන්නේ Ivanpah Solar Electric Generating System (ISEGS)  යන නමිනි. මෙහිදී සිදුවන්නේ භූමිය මැද ඇති උස් කුළුනක මුදුනේ ඇති ග්‍රාහකය වෙතට එම කුළුණ වටා වෘත්තාකාර ලෙස පෙල ගැස්වූ තල දර්පන (heliostats) මගින් සූර්ය කිරණ යොමු කිරීමයි. ගූගල් සමාගමේ සූර්ය බලශක්ති කුලූණු ව්‍යාපෘතිය සහා මෙවැනි heliostats 173,000 ක් පමණ යොදා ගෙන තිබේ. මෙම heliostats වලට සූර්යයාගේ චලිතය අනුව අවශ්‍ය ආකාරයට සිය ආනතිය වෙනස් කිරීමට හැකි ලෙස මෝටර් පාලක යොදා තිබේ. ස්ථතික ලෙස සුර්ය කිරණයන් කුළුන මුදුනේ ඇති ග්‍රාහකය වෙත යොමු කරවීම සහා මේ heliostats හැසිරවීමට පරිගණකයක් මගින් පාලනය වන විශේෂ මෘදුකාංගයන් යොදාගනී.


ISEGS  තාක්ෂණය සහිත මෙම සූර්ය බලශක්ති කුළුනු සහා විශාල වපසරියක පැතිරුනු heliostats සමූහයක් භාවිතා වේ. මේවා මගින් නාභිගත වන සූර්ය තාප කිරණ මගින් අධි-පීඩන වාෂ්ප උත්පාදනය කෙරේ. සෙල්සියස් අංශක 550 ක (550 ° C) ක‍- පමණ උෂ්ණත්වයක් මෙමගින් ජනනය වන අතර එමගින් උපදවන වාෂ්පයෙන් ටර්බයිනය භ්‍රමණය කරවා විදුලි උත්පාදක යන්ත්‍රය වෙත චාලක බලය සැපයේ. ISEGS  හි වියලි-සිසිලන තාක්ෂණය මගින් මෙහි ජල පරිභෝජනය 90% කින් අවම කරන අතර මෙය අනෙකුත් මෙවැනි බලාගාරයන් හා සැසඳීමේදී පැහැදිලි වෙනසකි. මේ නව සූර්ය බලශක්ති කුළුණු බලාගාරයෙන් උපදවන බලශක්තිය නිසා ඇමරිකා එක්සත් ජනපදය තුල නිපදවෙන වානිජමය සූර්ය-තාප විදුලි බල ප්‍රමාණය දෙගුණ වනු ඇත.

වෙන වෙනම පිහිටි කුළුණු 3 කින් යුත් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර කිහිපයකින් යුතුව 2013 වර්ෂයේදී නිම කිරීමට අපේක්ෂිතයි. මෙම කුළුනු බලාගාර තුන මගින් උපදවන බලශක්තිය කැල්ෆෝනියාව තුල නිවාස 140,000 ක් සහා බලය සැපයීමට ප්‍රමාණවත් වේ. ගූගල් සමාගම පවසන්නේ ඔවුන් පවිත්‍ර බලශක්ති ක්ෂේත්‍රය සහා ඇමරිකන් ඩොලර් මිලියන 250 කටත් වඩා ආයෝජනය කර ඇති නමුත් ඇමරිකන් ඩොලර් මිලියන 168 ක් වන මෙම සූර්ය බලශක්ති කුළුණු ව්‍යාපෘතිය (ISEGS) ඔවුන්ගේ ලොකුම ආයෝජනය වන බවයි. මෙවැනි අති දැවැන්ත ව්‍යාපෘතියකට අත ගැසීමෙන් පෙනෙන්නේ ගූගල් සමාගම නව තාක්ෂණය කෙරේ දක්වා ඇති විශ්වාසය වන බවත්, එමගින් අනෙකුත් දැවැන්ත සමාගම් ද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් කෙරේ පෙළඹවීමක් සිදුවන බවත් විශ්ලේෂකයින්ගේ මතයයි. නිල්ල පිරුණු අනාගතයක් උදෙසා ගූගල් සමාගමේ මේ වෑයම මුළු ලොවටම ආදර්ශයක් සපයනු නියතයි.




අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 ජූලි කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප Google Image Search ඔස්සේ ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





10 comments:

  1. ඔන්න ඔහොම ලොකු උදවිය පොඩ්ඩක් වැඩේට බැස්සනම් අනිත් අය ඉබේම බහියි.

    ReplyDelete
  2. නියම ලිපියක් ස්තුතිය

    ReplyDelete
  3. තමනුත් හම්බ කරගෙන ලෝකයටත් මොකක් හරි කරන්න පුලුවන් නම් ඒක තමා සැබෑ දියුනුව!ජය වේවා ගූගල්!

    ReplyDelete
  4. ගූගල්ල ඉතාමත් වැදගත් පියවරක් අරන් තියෙන්නෙ...මොහාවි කාන්තාරයේ නේද Area 51 තියෙන්නෙ :) දැන් සමහර මෝල්ඩර්ල කියයි ඔය හදල තියෙන්නෙ පිට සක්වල ජීවීන්ට සූර්ය කිරණ ප්‍රහාර කරන්න කියල :D

    ReplyDelete
  5. @ hare :
    ඔව් සහෝ... ඒ අතින් ගූගල් ලා හොඳ ඉදිරි පියවරක් අරන් තියෙන්නේ. දැන් ලෝකයේ ග්‍රීන් පවර් ගැන ලොකු කථාවක් යනවා. ඒක තවත් ඉදිරියට ගෙනියන්න ගූගල් සමාගම හොඳ ආරම්භයක් අරන් තියෙනවා... ස්තුතියි ප්‍රතිචාරයට !

    @ නදුන් :
    ඔයාටත් ස්තුතියි සහෝ ප්‍රතිචාරයක් දුන්නට !!!

    @ සබිත් :
    ඔව් සහෝ... ඔයාගේ කීම හරියටම හරි. තමන්ට ලැබෙන දේට ලෝකෙටත් මොනවා හරි දෙනවා නම් ඒ නිෂ්පාදනය හෝ සේවාව හරිම ශක්තිමත්...! ගූගල් ඒ අතින් ඉදිරියෙන් ! ප්‍රතිචාරයට ස්තුතියි !

    @ නිමේෂ් :
    ඔව් සහෝ... area 51 තියෙන්නේ මොහාවි කාන්තාරයේ තමා... හැබෑට අර කිව්වා වගේ කියන මෝල්ඩර් ලත් ඇති තමා... :D

    ReplyDelete
  6. හොඳ විස්තරයක්. මල්ලි මේ තොරතුරු ගැන නිතර අවදියෙන් ඉන්න බව පේනවා .

    ReplyDelete
  7. මෝල්ඩර් ස්කලීවත් කාරෙකේ දාගෙන යයි ඕක බලන්න ම් ගිහින් කණ්නාඩි දෙකතුනකුත් කුඩු කරල හමුදාවටත් අහුවෙලා , ස්මෝකින් මැන් නිසා බේරෙයි ...හි හි

    නොදන්නා දෙයක් ගැන දැනුවත් කලාට ස්තුතියි

    ReplyDelete
  8. thanks for the information
    & thanks for the google

    ReplyDelete
  9. එල මචං පට්ට ලිපිය...ඊලගට ඕක හදන්නෙ ලංකාවෙ :P

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...