Saturday, December 24, 2016

අනාගතයට අප රැගෙන යන නව තාලයේ ප්‍රවාහන උපක්‍රම...

     ප්‍රවාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ. වර්තමානය වන විට එය කලාවකි - විලාසිතාවකි - සමහර විටකදී, උන්මාදයකි. ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප්‍රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති. අනාගතය දෙස නෙත් යොමා, වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප්‍රවාහන උපක්‍රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම...


     ඉලෙක්ට්‍රොනික උපාංගයන් ක්‍රම ක්‍රමයෙන් ක්ෂුද්‍රකරණය වීමත් - ද්‍රව්‍ය ගතික තාක්ෂණයේ දියුණුවත් -  සුපිරිසිදු, පරිසර හිතකාමී හා ආරක්ෂාකාරී ප්‍රවාහන මාධ්‍යයක් කෙරෙහි ලෝකයේ ඇති උනන්දුවත් සමගින්, රාමුවෙන් පිට දකින්නට කැමති විප්ලවවාදී නිර්මාණ කරුවන්ගේ පෙරළිකාර සිතුවිලි ද එකතු වී පසුගිය අවුරුද්දක පමණ කාලයේදී එළි දැක්වුණු ප්‍රවේගකාරී ප්‍රවාහන සංකල්ප කිහිපයක් මෙහි දැක්වේ. මෙයින් සමහර නිර්මාණ සැලසුම් පැහැදිලිවම අනෙක් එ්වාට වඩා ප්‍රායෝගික භාවිතය අතින් ඉදිරියෙන් ඇති බව පෙනෙන්නට තිබේ. තනි පුද්ගල ට්‍රයිකොප්ටරයේ සිට දියගොඩ දෙකෙහිම දුවන අපූරු මෝටර් සයිකලය දක්වා වූ මෙම නව තාලයේ පුද්ගලික ප්‍රවාහන විසඳුම් දෙස බැලීමේදී, අප අනාගතයේදී එක් තැනක සිට තවත් තැනකට ගමන් ගන්නා විධික්‍රම ගැන යම් ඉඟියක් අපට ලබාදේ.


01. Walk Car (වෝක් කාර්) - විදුලියෙන් දුවන පෙරලුම් පුවරුව...


     මෙය ඔබේ ලැප්ටොප් පරිගණකයක තරමේ වූ ඇලුමිණියම් පුවරුවකි. ගමන් මල්ලක බහා ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි තරම් මෙය කුඩා හා සැහැල්ලු වේ. සමතලා බිමක් මත දී මේ වෝක් කාර් පුවරුව පොළොව මත තබා, ඔබට එය මත නැගී ගමන් කළ හැකිවේ. මේ පෙරලුම් පුවරුවට පැයට කිලෝමීටර 10 ක පමණ (10 Km/h) වේගයකින් ගමන් කළ හැකියි. මෙය සාමාන්‍යයෙන් අප ඇවිදින වේගය හා සමාන වේගයක් වුවත්, ප්‍රමාණයෙන් කුඩාවීම හා භාවිතයට පහසුවීම යනාදී ලක්ෂණ දෙස බැලීමේදී මේ වෝක් කාර් පුවරුව වටිනා ප්‍රවාහන සංකල්පයක් බව පෙනීයයි. මෙහි නැවත ආරෝපණය කළ හැකි බැටරියක් හා විදුලි මෝටර වලින් බලය ලබා ගනිමින් ක්‍රියාත්මක වන කුඩා රෝද හතරක් අඩංගු වේ. ජපාන සමාගමක් වන කොකෝවා මෝටර්ස් හි නිර්මාණයක් වන මෙම Walk Car පුවරුව, පොඩි දෙයකින් ලොකු වැඩක් කර පෙන්වන අපූර්වතම නිර්මාණ සංකල්පයක් බව පෙනීයයි...

- - - - - - - - - - - - - - - - 

2. ලෝකයේ සැහැල්ලුතම විදුලි ලිස්සුම් පුවරුව


     ගෙවී ගිය 2016 වර්ෂයේ දී විදුලියෙන් ක්‍රියාත්මක වන ලිස්සුම් පුවරු හෙවත් ස්කේට් බෝඩ්ස් (Skate Boards) බොහෝ ගණනක් එළි දැක්විණි. එහිදී විවිධ නිෂ්පාදකයන් විසින් වෙනස් වෙනස් ආකාරයේ ගුණාංග / විශේෂාංග කෙරෙහි අවධානය යොමු කර තිබෙනු දකින්නට හැකිවිය. මෙහිදී බල ගැන්වූ ලිස්සුම් පුවරුවක ලක්ෂණ සලකා බැලීමේදී එහි විදුලි ජවය (power), ඕනෑම මතුපිටක ධාවනය කළ හැකිවීම සහ ධාවනය කල හැකි දුර ප්‍රමාණය ආදී සාධක වැදගත් කොට සැලකිය හැකියි. එ් සියල්ලම සමගින් වඩාත් වැදගත් ලක්ෂණය විය යුත්තේ එහි බරයි - නැතහොත් එහි සැහැල්ලු භාවයයි. සාමාන්‍ය, සාම්ප්‍රදායික ලිස්සුම් පුවරු තරමටම සැහැල්ලු වූ බල ගැන්වූ ලිස්සුම් පුවරුවක් තවමත් නිෂ්පාදන මට්ටමේ නැතිමුත්, ස්ටාරි (stary) යනු දැනට ඇති සැහැල්ලුතම විදුලි ලිස්සුම් පුවරුවයි. මෙම ස්ටාරි ලිස්සුම් පුවරුව නැවත ආරෝපණය කළ හැකි (rechargeble) ආකාරයේ එකකි. මෙය එක් වරක් ආරෝපණය කල පසු කිලෝමීටර 16 ක පමණ දුරක් ධාවනය කල හැකිවේ. මෙය දැනට නිපදවා තිබෙන සැහැල්ලුතම බල ගැන්වූ ලිස්සුම් පුවරුව වන අතර එහි බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 3.9 ක් පමණි. මෙම ස්ටාරි විදුලි ලිස්සුම් පුවරුව පැයට කිලෝමීටර 30 ක් දක්වා වූ වේගයකින් ධාවනය කල හැකිය...

- - - - - - - - - - - - - - - - 

3. බැටරි මාරු කරමින් දුවන ගොගෝරෝ (Gogoro) ස්මාට් ස්කූටරය
 

     මේ තවත් අපූරු ප්‍රවාහන සංකල්පයකී. මෝටර් ස්කූටර් යනු කවුරුත් කැමති ප්‍රවාහන මාධ්‍යයකි. මෙම Gogoro ස්මාට් ස්කූටරය එම සංකල්පය වැඩි දියුණු කරමින් නව ලොවට ගැලපෙන ලෙස නිර්මාණය කෙරී ඇත. නොයෙකුත් වර්ගයේ සංවේදකයන් (Sensors) 30 ක් පමණ මෙහි අඩංගු වන අතර ස්මාට් දුරකථන සදහා වන මෘදුකාංගයකින්ද  (App) මෙම ස්මාට් ස්කූටරය සන්නද්ධව ඇත. මෙම App එක මගින් Throttle Control හා  Regenerative Braking වැනි විවිධ විශේෂාංගයන් පරිශීලකයාට කැමති ලෙසකට Customize කිරිමේ පහසුකම ලබා දේ. සැබැවින්ම මේ ස්කූටරය ඉතාමත් නුවණැති ලෙස සැලසුම් කළ එකකි. මෙය විදුලියෙන් ධාවනය කල හැකි ස්කූටරයක් වුවත් විදුලි පේනුවට (Wall Socket) අමුණා නිවසේදී හෝ පිටතදී Charge කළ නොහැකියි. Gogoro ස්කූටරයට බලය සැපයෙන්නේ බැටරි කට්ටලයක් මගිනි. නගරය පුරා තැන් තැන්වල උපායශීලී ලෙසින් පිහිටුවා ඇති බැටරි මාරු කරන මධ්‍යස්ථාන ජාලයක් ඇති අතර මෙම ස්මාට් ස්කූටරය පදවන්නා කළ යුත්තේ තමා නගරය පුරා සැරිසරද්දි හමුවන බැටරි මාරු කරන ස්ථාන වලින් ආරෝපනය වු බැටරි ලබාගෙන ස්කූටරයට ඇදා ගැනිමයි. පසුගිය 2015 ජනවාරියේ CES උලෙළේ දී එළිදැක්වු මේ සුපිරි ස්කූටරය මේ වන විට පර්යේෂණ මට්ටමෙන් ඔබ්බට ගොස් තිබේ. තායිවානයේ මෙය අත්හදා බැලෙමින් පවතින අතර යුරෝපය වෙතද මේ අත්හදා බැලීමේ පියවර ව්‍යාප්ත කර තිබේ. එම අත්හදා බැලීම් වලින් අනතුරුව තවත් වැඩි දියුණු වී ලඟදිම ගෝගෝරෝ ස්මාට් ස්කුටරය වෙළඳ පොළට පැමිණෙනු ඇත.

- - - - - - - - - - - - - - - - 

4. තනිවම හැකිලෙන INU ඉලෙක්ට්‍රික් ස්කූටරය.


     විදුලියෙන්  ක්‍රියාකරන තවත් රෝද දෙකේ වාහන සංකල්පයක් වන මෙය ඉතාමත් සිත් ගන්නා සුලු නිපැයුමකි. මෙම ස්කූටරය තමා විසින්ම ස්වයංක්‍රීයව හැකිලෙන අතර අප කල යුත්තේ එයට හැකිලීමට අපගේ ස්මාට් දුරකථනය හරහා බොත්තමක් එබීම පමණි. මේ ආකාරයෙන් හැකිළුනු විට මෙම INU ස්කුටරය පහසුවෙන් ඕනැම තැනක රැගෙන යා හැකිය. ගෝල්ෆ් බෑග්  එකක් තරම් වූ ප්‍රමාණයට මෙය හැකිලෙන අතර ඒ සඳහා ගත වන්නේ තත්පර 4.5 ක් වැනි ඉතා සුළු කාලයක් වීම විශේෂත්වයකී. පසුගිය ඔක්තෝම්බරයේදී ෆ්‍රෑන්ක්ෆර්ට් මෝටර් දැක්මේදී මෙය ප්‍රදර්ශණාත්මකව ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණු අතර මේ වන විට තව දුරටත් අත්හදා බැලීම් කෙරෙමින් පවතී. මෙය එක් වරක් ආරෝපණය කළ පසු  කිලෝ මීටර 40ක දුරක් ධාවනය කළ හැකි අතර  පැයට කිලෝ මීටර 25ක උපරිම වේගයක් ඇත. මන බඳනා නිමාව හා පහසුවෙන් හකුලවා තැනින් තැනට ගෙන යා හැකිවීම INU ඉලෙක්ට්‍රික් ස්කූටරය වෙත විශේෂ අවධානයක් දිනා දෙන සාධක වේ.

- - - - - - - - - - - - - - - - 

5. සියළුම වික්‍රමයින් එකට කැටිකළ Klepper Backyak


     ඔබ විනෝදයෙන් හා ත්‍රාසජනක වික්‍රමයන්ගෙන් සපිරි එළිමහනේ ක්ෂේත්‍ර චාරිකාවක් ගත කරන්නේ යැයි සිතන්න. ඔබ වික්‍රමයේ යෙදෙන්නේ ගඟක, මුහුදක, හිම කන්දක හෝ වෙනත් ඕනෑම තැනක වුනත්, ඔබට සරිලන ත්‍රාසජනක 'ඇඩ්වෙන්චර්' අත්දැකීමක් ලබා දෙන්නට මේ ක්ලීපර් බැක්යැක් කට්ටලය සමත්ය. මෙය ඔබේ උරහිස මත එල්ලාගෙන පහසුවෙන් ඕනෑම තැනකට ගෙන යා හැකි ලෙසින් නිර්මාණය කෙරී ඇත. මෙය අවශ්‍ය තැනට ගෙන ගොස් දිග හැර ගත හැකි අතර කුඩා බෝට්ටුවක්, රුවල් ඔරුවක්, හිම යානාවක් හෝ දියමත පාවෙන හිරු වැස්මක් (Sun Deck) ලෙසින් වුවත් මේ ක්ලීපර් බැක්යැක් කට්ටලය පහසුවෙන්ම සකසා ගත හැකිය. සියල්ලටම එකක් ලෙසින් සැකසූ මෙය සංචාරයේ යෙදෙන අය හට නම් කදිම ප්‍රවාහන විසඳුමක් ලෙසින් දක්වන්නට පුළුවන්...

- - - - - - - - - - - - - - - - 

6. දිය ගොඩ සැම තැන දුවන අපුරු මෝටර් සයිකලය - Biski


     මෝටර් සයිකලයක් ධාවනය වන්නේ ගොඩබිම මත බව අප හොදින් දන්නා කරුණක්. නමුත් මේ Biski නම් අපුරු මෝටර් සයිකලයට නම් දිය ගොඩ දෙකෙහිම එක සේ ධාවනය කළ හැකියි. මෙය අශ්ව බල 55ක මෝටර් එන්ජිමක් හා කුඩා ජෙට් ස්කි යන්ත්‍රයක් එක ඈඳා නිර්මාණය කළ අපුරු වාහනයකී. ඇලන් ගිබ්ස් විසින් නිර්මාණය කළ Biski මෝටර් සයිකලය පැදීම ඇත්තෙන්ම ඉතා විනෝද ජනක අත්දැකීමක් බව නොකියාම බැරිය. ගොඩබිම මත මෝටර් සයිකලයක් ලෙස ධාවනය කරද්දී පැයට කිලෝ මීටර 130 ක් දක්වා වූ වේගයක් මෙයට ලබා ගත හැකි අතර වෙරළ කරා ධාවනය කරද්දි ජෙට් ස්කි මාදිලිය වෙත තත්පර 5 ක් ඇතුලත මාරු විය හැකියි. ජලය මත ස්කී මාදිලියෙන් ධාවනය කිරිමේදී Biski හට පැයට කිලෝ මීටර 60 ක වේගයකින් යාත්‍රා කළ හැකියි. දිය ගොඩ වෙනසක් නැතුව සෑම තැනම සැරි සරන්නට Biski කදිම ගමන් සගයෙක් වේවි.

- - - - - - - - - - - - - - - - 

7.  JB-9 ජෙට් පැක් එක සමගින් නිදහසේ පියාඹන්න...


     නොයෙකුත් පරිගණක ක්‍රීඩා සහ අනාගතරූපී විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල දැක්වෙන ලෙසින් පිටෙහි පැළඳගෙන නිදහසේ අහසේ සැරිසැරිය හැකි පුද්ගලික ජෙට් පැක් එකක සිහිනය යාන්තමින් හෝ සැබෑ කිරීමට මෙම JB-9 ජෙට් පැක් එක සමත් වී ඇත. මෙහි නිර්මාතෘ වන ඩේවිඩ් මේමන් විසින් මෙය සාර්ථකව ප්‍රදර්ශණය කර ඇති අතර එහිදී ඔහු විසින් JB-9 ජෙට් පැක් එක පැළඳ ලෝ පසිඳු ලිබර්ටි ප්‍රතිමාව වටා පියාසර කර පෙන්වා තිබේ.

     එක් විනාඩියකදී මෙම ජෙට් පැක් එක ඉන්ධන ලීටර් 3.8 ක් පමණ දහනය කරවයි. ජෙට් පැක් එකෙහි සම්පූර්ණ පියාසර කාලය යාන්තම් විනාඩි 10 ක් ඉක්මවයි. මේ වන විටත් මෙහි නිර්මාතෘ ඩේවිඩ් මේමන් හට JB-9 ජෙට් පැක් එකෙහි සංවර්ධන හා පර්යේෂණ කටයුතු සඳහා මිලියන ගණනින් මුදල් ලැබී ඇති බව ඔහු සඳහන් කරයි. එ් අනුව ඉදිරි කාලයේදී මෙය මුදල් ගෙවා ලබාගත හැකි මෙවලමක් ලෙසින් වානිජ වෙළඳපොලට පැමිණෙනු ඇත...

- - - - - - - - - - - - - - - - 

8. පියාඹන බයිසිකලය හෙවත් ට්‍රයිකොප්ටරය


     JB-9 ජෙට්පැක් එක මෙන්ම මේ අපූරු ප්‍රවාහන මෙවලම ද අහසේ ගමන් කරන එකකි. හංගේරියානු පර්යේෂකයින් පිරිසක් විසින් වැඩි දියුණු කරනු ලබන මෙය Flike Tricopter (ෆ්ලයික්  ට්‍රයිකොප්ටර්) නමින් හැඳින්වේ. මේ මගින් හෙලිකොප්ටරයක හැකියාවන් බයිසිකලයක් ආකාරයෙන් ලබා දී තිබේ. කෙටියෙන් කිවහොත් මෙය පියාඹා යා හැකි  බයිසිකලයකි.

     එක තැන නැවතී අහසේ රැඳී සිටීමට වුවමනා නම් මේ ට්‍රයිකොප්ටරයට විනාඩි 15-20 ක් ඒ ආකාරයෙන් සිටිය හැකිය‍. අහස් ගත ධාවනයකදී මෙය විනාඩි 30-40 ක් පමණ වන ධාවන කාලයක් ලබා දෙයි. 2015 මැයි මාසයේ මිනිස් ධාවකයෙකු සමග කරන ලද අත්හදා බැලීම් වලදී මෙම ට්‍රයිකොප්ටරය තැන රැඳී සිටීම (Hover), නොයෙක් දිශාවන්ට හරවා ධාවනය කිරිම හා සුළං පහරට  ඔරොත්තු දීම යනාදී විවිධ විශේෂාංගයන් සාර්ථකව සමත් වී තිබේ. කෙසේ වෙතත් නිෂ්පාදනයන් ලෙසින් වෙළඳ පොළට පැමිණීමට මෙයට තවත් කාලයක් ගතවනුු ඇත. කෙසේ වෙතත් මේ පර්යේෂණ කණ්ඩායම ඉතා උනන්දුවෙන් මෙම ට්‍රයිකොප්ටරය දියුණු කිරීමේ කටයුතු වල යෙදී සිටී. ඒ අනුව නුදුරු අනාගතයේදී අපට ට්‍රයිකොප්ටරයට නැගී අහසෙන් ගමන් යෑමේ අවස්ථාව හිමිවනු ඇත.


මෙතනින් කොතනටද ?

     මේ ප්‍රවාහන සංකල්ප සියල්ලම ඉතා සිත් ගන්නා සුළු ඒවා බව කිව යුතු නොවේ. හුදෙක් මේසය මත ඇති නිර්මාණ සැලසුමක් පමණක් නොවී යථාර්තයක් ලෙසින් ලොවට එළි දකින්නට මේ නිර්මාණයන් සමත්ව තිබීම සැබැවින්ම මේවායේ නිර්මාණ කරුවන් හට මෙන්ම අප සැමටම ආඩම්බරයට කරුණකි. සමහර ප්‍රවාහන මාදිලීන් දැනටමත් වෙළඳපොලට නිකුත් කර ඇති අතර තවත් සමහර එ්වා ලඟදීම වෙළඳපොලින් ලබා ගත හැකිවනු ඇත. ජෙට් පැක් වැනි කිහිපයක් පමණක් තවමත් සංවර්ධන අවධියේ පවතී. අනාගත ලෝකයේ ප්‍රවාහන අවශ්‍යතා තීරණය කරනු ලබන මෙවැනි සංකල්ප ඉදිරියේදී තව තවත් සංවර්ධනය වී පැමිණෙනු ඇත.





4 comments:

  1. යකෝ චතුවෝ උඹ......ආයෙත් !! දකින්නත් ආසයි.... කොහොමද ජීවිතේ ?

    අවශ්‍ය විටෙක අඩිඅ දහයක පමණ උඩකින් පියඹා යා හැකි, අවශ්‍ය විටෙක රෝද මතින් තල්ලු වී යාහැකි සපත්තු යුගලයක් මගේ හිතේ නිතර වැඩ කරණ අනාගත ප්‍රවාහන මාධ්‍යයි... මට නිතර හිතෙනවා මිනිස්සුන්ට මෙහෙම ගමන් කරන්න පුළුවන්නම් මේ රථ වාහන තදබදය බිංදුවට බස්ස ගනන් පුළුවන් වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් ආවා බං ! මේවා පාලුවට යන්න දෙන්න බෑනේ...

      //අවශ්‍ය විටෙක අඩිඅ දහයක පමණ උඩකින් පියඹා යා හැකි, අවශ්‍ය විටෙක රෝද මතින් තල්ලු වී යාහැකි සපත්තු යුගලයක් මගේ හිතේ නිතර වැඩ කරණ අනාගත ප්‍රවාහන මාධ්‍යයි... //

      ඕක හැදෙන්න නම් තව කාලයක් යාවි... හැබැයි මිනිස්සු අහස්ගත වන එකට නම් මගේ වැඩි කැමැත්තක් නෑ ඕං...

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...