Wednesday, January 7, 2015

ඡන්දේ දුන්නේ කාටද ඕයි...!!!

ජනවාරි මස 09 වැනිදා රාත්‍රියයි. නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ. උදෑසනම ඡන්ද ප්‍රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත්, සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි. ගියත් කරන්නට වැඩක් නම් තිබු‍ණේ නැත. සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය. සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත්, අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි.


බස්වල නම් එන්නට අමාරු බව එහි නිතර යන්නෝ දන්නාහ. නමුත් අද නම් කෙසේ වත් බසයක යා හැකි තත්ත්වයක් නම් නැත. ඡන්දයෙන් දින්න උන් ද, පැරදුන උන් ද පාරවල් වල රජ කරති. දිනූ එවුන් රතිඥ්ඥා සංදර්ශණ සඳහා පොදු මහා මාර්ගය භාවිතා කරමින් වහසි බස් කියද්දී, පැරදුන උන් නම් කට ගොන්නක් බී ගෙන පාර පුරා වැනි වැනි චණ්ඩිකම් පාමින්, කට කයිවාරු ගසමින් ඉබගාතේ ගියහ. ඉතින් මෙසේ  පයින් යෑමත් අසීරුව පවතින තත්ත්වයක දී, වාහනයක - විශේෂයෙන්ම බසයක් වැනි තඩි වාහනයකින් නම් කෙසේවත් පාරක යෑම නම් අන්තිම අමාරුය.

ඒ තදබදය නම් තව ඉවසා ගත හැකිය. ඉවසන්නට අමාරුම දෙය වූයේ බසය තුල ගමන් ගන්නා මගීන්ගේ කට කැඩිච්ච කථායි. තැනක දෙන්නෙක් තදබල වාග් සංග්‍රාමයක නියැලෙති. මඳ වේලාවකින් එයට වටේ ඉන්නා එවුන්ද එකතු වී ගුටි කෙලියකින් මිස නිමා නොවන තරමට උග්‍ර තත්ත්වයකට උණුසුම් වෙයි. කොන්දොස්තරගේ හා මා මෙන්ම නිදහසේ කනක් ඇසී යන්නට කැමති උන් දෙතුන් දෙනෙක්ගේ බලපෑමෙන් යාන්තම් එය සමනය වෙයි. ඒත් ඒ විනාඩි කීපයකට පමණි. නැවතත් වෙනත් තැනකින් ඇවිලෙන ගින්න සුළු මොහොතකින් බසය පුරා ඇවිලෙයි...!

කොහොමින් හෝ පැය ගාණකට පසුව හන්දියෙන් බැස ගත්තේ සිතින් දෙවියන්ට පිං දෙමිනි. යාන්තම් බසයෙන් බැහැගන්නට පුළුවන් වුනත්, තවත් කිලෝමීටර තුන හතරක්ම ගෙදරට අදින්නට ඇති බව සිහියට නැගෙද්දී නම් මුවට නැගෙන්නට වූ කෙඳිරිය ඉවසා දරා ගත්තේ බොහෝම අසීරුවෙනි. තුන් රෝද රථයක් සෙවූ මා දෙනෙතට, එය කෙසේ වුවත් හන්දියේ අයිනක ගාල් කර තිබුණු නිල් පැහැති පොලිස් රිය දැකීම නම් ඒ තරම් සතුටක් ගෙන දුන් කාරණාවක් නොවීය...

‘‘මහත්තයා කොහොටද යන්නේ...?“

උන් හිටි ගමන් පාරට පැන්න පොලිස් නිළධාරීන් දෙපලක් මා වට කරගෙන විමසන්නට වූවෝය.

‘‘මම... මේ... වැඩට ගිහින් එන ගමන්...“

‘‘එහෙමද... ගෙවල් කොහෙද ?“

නැවතත් පැනයකි... මේ මොන කරුමයක්ද ! ඉක්මනින් කෙසේ හෝ ගෙදර යන්නට තුන්සක රියක් සොයා ගත යුතුය. ඒකත් මේ වෙලාවේ හැටියට කලුනික තරම්ම දුර්ලභ වී ඇතුවා නිසැකය. මේ පොලිස් කාරයන් දෙදෙනාගේ ප්‍රශ්ණාවලියට මුහුණ දීමට වඩා මට දැන් හිතේ ඇත්තේ ගෙදරට ගාටා ගන්නා ආකාරය ගැනයි.

‘‘මම මේ අහවල් ගමේ... පන්සල කිට්ටුව ඉන්නේ...“

“හ්ම්... සෑහෙන දුරක් යන්න එපෑයැ. දැන් මහත්තයා පයින් ද යන්නේ...“

"ඇයි අහන්නේ, පොලිස් ජීප් එකේ ගෙදරට දාන්නද" කියලා අහන්නට කටට ආවත් මම එය පිට නොකරන්නට ප්‍රවේශම් වීමි.

“නෑ... මේ... ත්‍රීවිල් එකක් වත් අල්ලගන්න බැලුවේ...“

“ත්‍රී...විල් නම් අද අල්ලන්න වෙන්නෑ... ඇයි දන්නැද්ද ? අද පහේ ඉඳලා කර්ෆිව්...!“

මල මගුලකි...! ඇඳිරි නීතිය දමනු ඇතැයි මට සිහියට ආවේ නැත. දැන් ඉතින් ත්‍රීවිල් අල්ලා හමාරය... අදින්නට වෙන්නේ කකුල් දෙකේ පිහිටෙනි. සියලු දෙවි දේවතාවුන් සිහිකර මම ගමනට වැඩ අල්ලන්නට සිතට දිරි ගතිමි.

“මහත්තයා යන්නද ? කල්පනාවෙන් යන්න... මගදී නතරවෙන්න එපා... කලබල වලට පැටලෙන්නත් එපා... පරිස්සමෙන්...! ටිකක් කලබල !!!“

පොලිස් නිලධාරියෙක් එසේ කියද්දී මම එතැනින් ඇතුළු පාරට පය දමා ගෙදර අදින ගමනට ඇරඹුම තැබුවෙමි.

සිතුවිලි වැලකින් භරිත වූ හදවතින් පාර දිගේ ඇදෙන මට මඳකට අවට ලෝකය අමතක වන්නට ඇත. යලිත් බාහිර සංවේදනා මොලයට දැනෙද්දී මම වෙල් යාය මැදින් පාර ඇදෙනා ඉසව්වේ ඉන්නා බව මට වැටහෙන්නට විය. ඈතින් වෙල් යාය කෙලවරකට වන්නට පිරිසක් ඉන්නා බවක් පෙනෙයි. කුමක් වුවත් කම් නැතැයි සිතා මම සිතට එඩි ගෙන ඉදිරියටම පිය මැන්නෙමි. මා වරදක් කර නැත. මම සාමාන්‍ය, නීතිගරුක පුරවැසියෙක්මි. බිය වන්නේ කුමටද ?

වෙල් යාය කෙලවර වූ බෝක්කුව අවට හත් අට දෙනෙක් සිටිනා බව පෙනේ. මා ඔවුන්ට ලං වෙත්ම ඔවුන්ගේ අවධානය මා වෙතට යොමු වෙනු මට පෙනුනි.

“ආ මහත්තයා... ජයග්‍රහණය සමරන්න පාටියකට වත් ගියාද, ආ...! මෙහෙට එමු පොඩ්ඩක් ආස්සරේ කරන්න...“

දෙතුන් මුවකින්ම හඬ නැගෙද්දි මම මඳකට නතර වීමි. බය වෙන්නට හේතුවක් මට දැනුනේ හෝ පෙනුනේ නැත.

“මේ... අපි ඔහේව මෙතන රස්තියාදු කරන්නේ නෑ... අපිට දැනගන්න ඕනේ මෙච්චරයි... තමුසේ ඡන්දේ දුන්නේ මහින්දට ද, මෛත්‍රී මහත්තයට ද ???“

එකෙක් මගේ ලඟටම ඇවිත් ඇඟිල්ලක් උල් කරමින් විමසා සිටී. කට අරින අරින වාරයක් පාසා මටත් වෙරි වන තරමට මත්පැන් ගඳක් මට දැනෙන්නට විය.

ඒ උන්දෑගේ ප්‍රශ්ණයට දෙන්නට ඕනෑ උත්තරය මට හිත හිතා ඉන්නට ඕනෑ වුනේ නැත.

‘‘මම ඡන්දේ දුන්නේ මහින්ද මහත්තයට...“

“ආ මෙන්න ඉන්නවා පොරක්... සලකපල්ලා මේකට හොඳට...!!!“

වටහා ගන්නට හැකි ලෙසින් ඇසුනේ එපමණකි... එයින් පසුව රොත්ත පිටින් එකතු වී කටට එන එන හොඳම වචනවලින් සංග්‍රහ කරමින් මට තඩි බාන්නට වූ බැවින් එයින් පසු උන් මොනවා කිව්වා දැයි මට නිනව්වක් නොවීය. ගුටි පිට ගුටි කමින් වුවත් මම එක් දෙයක් ප්‍රත්‍යක්ශ කර ගතිමි. මුන් මට තඩි බාන්නේ මා මහින්දට ඡන්දය දුන් නිසාය. උන්ගේ පැත්තේ මෛත්‍රීට මා ඡන්දය නොදුන් නිසාය... දැන් බලන් ගියාම මහින්ද මහත්තයා දින්න නිසා ගුටි කන්නට වී ඇත්තේ මටය...! අඳෝමැයි...!!!

මා බිම වැටෙන තෙක්ම උන් ඇති තරම් මට නෙළූහ. අන්තිමේදී උන්ගේ ලොකු එකා මා කෙලින් හිඳුවා කිව් වදන් මට දිවි ඇති තාක් අමතක නොවනු ඇත.

“උඹලා වගේ උන් හින්දා තමයි යකෝ මේ රට හදන්න බැරි... මිනිස්සු ලක්ෂ ගාණක් වෙනසක් කරන්න ඡන්දේ දෙද්දී තොපිට බැරිවුනා ඒකට සපෝට් එක දෙන්න. දුන්නා ගිහින් උඩ දාගෙන මහින්දයට... පල !!! දුවපිය හු......“

යාන්තම් යන්නට අවසර ලැබිණි. පණ බේරාගත් එකට දෙවියන්ට පිං දෙමින් මම වැනි වැනි එතැනින් විගහට අහකට ඇදෙන්නට වීමි. දහ දොලොස් පොලක්ම තුවාල වී ලේ ගලනු දැනේ... කම් නැත... ඒවා සුව වෙනු ඇත. මම ගැහෙන හිත සමනය කර ගනිමින් හිත හදාගෙන ගෙදර යන ගමන නැවත පටන් ගත්තෙමි.

වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. ඊලඟ වංගුවේ තවත් කාණ්ඩයක් රැස් කන හැටි මට ඈතට පෙනෙන්නට විය. ටිකකට කලින් කාපු කෑම සිහියට නැගී ගත සලිත වූ නමුත්, මෙවරත් මම සිතට එඩි ගෙන ඉදිරියටම ඇදුනෙමි. මෛත්‍රී අනුගාමිකයෝ දැන් පරාජයෙන් වියරු වැටී ඇත්තාහ. අනිවාර්යයෙන්ම ඔය ඉදිරියෙන් ඉන්නා උන් ද මා නවතා ගනු ඇත. කම් නැත... දැන් කියන්නට ඕනා කිමෙක් දැයි මම ගුටි කෑමෙන්ම වටහා ගෙන උන්නෙමි...

අනේ ! එතැන වුන් අයවලුන් නම් මා ඉතා සාදරයෙන් පිලිගත් බව කිව මනාය. බැලු බැල්මට නම් බීගත් බවක් නම් පෙනෙන්නේත් නැත. තත්ත්වය ටිකක් හොඳ වේ යැයි හිත කී බැවින් මමත් පැලුනු තොල එහෙට මෙහෙට කර හිනා කටක් පාමින් ඒ නඩයට සමීප වූවෙමි.

“ආ මේ අපේ ..................... මහත්තයනේ...! කොහෙද මේ... රාජකාරියට ගිහින් එන ගමන් ද ? නැත්නම් පාටියකට වත් සෙට් වුනා ද ? අද ඉතින් හොඳ දවසක්නේ නේද ?“

මා හඳුනාගත් එකෙක් ඉතා සුහදව මා හා කථාවට ආවේය. මමත් ඔළුව වැනුවා විනා වැඩි විස්තරයක් දෙන්නට නොගියෙමි.

“ඉතින් මහත්තයා... මේ සැරේ මහින්ද මහත්තයට ද ඡන්දේ දුන්නේ...???“

තීරණාත්මක ප්‍රශ්ණය එල්ල විය. හිතන්නට දෙයක් නැත. උගත් පාඩම් ක්‍රියාවට නැංවීමට මොහොත එළඹ ඇත.

“මම නම් ඡන්දේ දුන්නේ මෛත්‍රී මහත්තයට...! බොරු නෙවෙයි මං මේ ඇත්තමයි කියන්නේ...!“

මම වැඩිපුරත් එක්ක එකතු කලේ මුන් මං කිව් දේ නොසලකා යලිත් මට තඩි බාවි යැයි බිය නිසාමයි.

“ඒයි මචංලා... මෙන්න මෛත්‍රීට දීපු එකෙක්... දේශද්‍රෝහියෙක්... ගහපියව් පරයට...!!!“

කනට ඇසුනු වචන ටික මොලයට යන පරක්කුවට වැඩේ සිද්ධ වී හමාරය... කෙටියෙන්ම කියනවා නම්, මම එතැනින් ද බඩ කට පුරා සංග්‍රහ ලැබුවෙමි... අපරාදේ කියන්නට නම් බැරිය. එතැන හිටි උන් මහින්ද මහත්තයාගේ අනුගාමිකයෝ වුවත් මට උපරිම මෛත්‍රියකින් සැලකූ බව නම් සඳහන් නොකරම බැරිය...!

කෙහෙල්මල් ඡන්දයක් නිසා දෙපාරක්ම නොසෑහෙන්න ගුටි කා මම ඉතා අසීරුවෙන් දෙපා වාරු කරගනිමින් නැවතත් ඉදිරියට ඇදෙන්නෙමි. පළමු වර නම් එතැන හිට එකෙක් මා කෙලින් කොට 'දුවපිය' කියා ඉතා ආදරණීය විලාසයෙන් මට යන්නට ඇරිය නමුත්, මෙතැනදී නම් එවැනි සත්කාරයක් ලැබෙන පාටක් නැත. ඒ නිසා බැරි අමාරුවෙන් කෙලින් වී මා එතැනින් බේරී ගෙන, පාර දිගේ ඉදිරියට ටිකක් දුර දුවා යාන්තම් ඒ සංග්‍රහයෙන් ගැලවුනෙමි.

දැන් නම් මට පාන් කියන්නවත් පණක් නැත. බඩ කට පුරා ගුටිම කෑ නමුත්, කුසගින්නට ගුටි කෑම නොගැලපෙන හෙයින් දැන් බඩ පනුවන්ගේ ගණන් බලන්නට ද සිදුව තිබේ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මෙනෙහි කරමින්, සියල්ලම ඉවසා දරා ගෙන මම වැනි වැනි පාර දිගේ ඇදුනෙමි...

ඊලඟ හන්දියට ලං වෙන විට මා තරමක් බලාපොරොත්තු සහගත වූවෙමි. එකක් නම් මට තුන්සක රියක් සොයාගත හැකි වේ යැයි ඇතිවූ ඇබිත්තන් බලාපොරොත්තුවයි. රෑ කඩයක් වත් ඇර තිබුනොත් යන ගමන් බඩට දා ගන්නට මොනවා හෝ රැගෙන යා හැකි වනු ඇත. ඒ සියලු බලාපොරොත්තු වලින් ජවය ගෙන මම හන්දියට ඇදුනෙමි...

අහෝ ඛේදයකි...!!! අද නම් දෛවය මා සමග බුදු ඔරොප්පුවෙන් බව පෙනේ... හන්දියේ තුන්සක රිය ද නැත... එකදු කඩයක් හෝ විවෘතව නැත... නමුත්, මා දකින්නට නොපැතූ දෙයක් මා බලාපොරොත්තුවෙන් මෙන් බලා හිඳිනු මට දැන් පෙනෙයි...!

හන්දියේ රැස් කමින් විස්සක - විසිපහක පමණ පිරිසක් සිටිති. දැන් ඉතින් මේ නඩයෙන් ද ගැලවී ගත යුතුය...!

මම හන්දියේ වුන් පිරිස ගැන නොතකා මගේ පාඩුවේ බිම බලාගෙන එතැනින් පියමං කලෙමි. මඳ දුරක් ඇදුනු පසු කාගෙන් වත් හිරිහැරයක් නොවුනු තැන මා යාන්තම් සැනසුම් සුසුමක් හෙලන්නට සැරසුණා පමණි. අනතුරු ඇඟවීමේ සංඥාව එකෙනෙහිම නාද දෙන්නට විය...

“ඕයි... ඕයි... කොහෙද ඔය යන්නේ... මෙහේ එනවා... මෙහේ එනවා...“

එකෙක් විත් බොහෝ ආදරයෙන් මා අතින් අල්ලා ගෙන නැවතත් මා පිරිස මැදට හෙලන ලදී... මට ඌ ගැන පහළ වූ සත්ත්ව කරුණාව ඒකාට දැනුනා නම්...!!!

“බීල ද කොහොද කුදාර් වෙන්න...! බලපන්කෝ මුගේ හැටි...“  

තව එකෙක් කියන්නේ මගේ ඉරුණූ, තැලුණු, මඩ වැකුණු ඇඳුම් දෙස බලමිනි... මා ඡන්ද ප්‍රතිඵලයේ සතුටට හෝ දුකට හොඳට බීගෙන වැනි වැනි එන එකෙක් මෙන් මුන්ට පෙනෙන්නට ඇත...! කොහොමටත් අද මම දෙපැත්තේම අයගෙන් හොඳට කා වැනි වැනි අමාරුවෙන් ආ වග නම් ඇත්තය...

“ඒයි අඩෝ...! තෝ කාටද ඡන්දේ දුන්නේ...???“

මහා මරුමුස් හඬකින් එකෙකු විමසනු ඇසෙයි. මම ඔහේ බලාගත් අත බලාගෙන උන්නෙමි... බේබදු චරිතයක් රඟ දැක්වුව හොත් මට ගැලවීමක් ලැබෙනු ඇතැයි හිත කී බැවින් මම එලෙසින් හැසිරෙන්නට වීමි. කොහොමටත් දැන් අර නැගූ පැනයට දෙන්නට මට පිළිතුරක් ද නැත... මා ඡන්දය දුන්නේ මහින්දට කීවත්, මෛත්‍රීට කිව්වත් කන්නට වන කෑම නොවරදවාම කන්නට ලැබෙන බව මම ප්‍රත්‍යක්ෂ කොට සිටිමි. මුන් කාගේ ආධාරකයෝ දැයි දැනගත හොත් නම් සම්‍යක් ප්‍රයෝගයක් පා ගැලවෙන්නට හැකි වනු ඇත.

“ඔ...ඔයා කාටද ඡන්දේ දුන්නේ කියන්නකෝ ඉතින්... මම ඊට පස්සේ කියන්නම්...“

මම එසේ ඇදබෑවේ නියම බේබද්දෙකුගේ වාග් විලාසය අකුරටම නිරූපනය කරමිනි.

“ඡන්දේ දුන්නේ කාටද ඕයි...!“

තඩියාට මල පැන ඇති සෙයකි. දැන් ඉතින් කටට එන බොරුවක් අත හැරිය යුතුය.

“ඡන්දේ දුන්නේ නේද...? ඇත්තම කියන්න මම නම් මේ පාර කාටවත් ඡන්දේ දුන්නේ නෑ...“

මා එසේ කිව්වේ කාට දුන්නා කිව්වත් කන්නට වන නිසාවෙනි... කෙසේ වුවත් සිදුවූයේ මා අපේක්ෂා කළ දෙයක් නොවේ...

“අඩෝ...! මේ බලපන්... මේ පරයා කියන්නේ මූ කාටවත් ඡන්දේ දුන්නේ නෑ කියලා...“

“ඈඃ...! යකෝ... තෝ මහින්ද මහත්තයට ඡන්දේ දුන්නැද්ද...???“ 

නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳ වුන් එකෙක් මහ හඬින් විමසයි... මම chennai express හි ෂාරුක් කලා මෙන් ඔලුව වැනුවෙමි...

“උඹ මෛත්‍රී මහත්තයටවත් දුන්නේ නැද්ද...?“ 

එවර පාට පාට ෂර්ට් එකක් ඇඳගෙන 'මෛත්‍රී පාලනයක්' යැයි පපුවේ ගසාගෙන වුන් එකෙක් මොර දෙන්නට විය... මම එයටත් ඔලුවෙන් පිළිතුරු දුන්නෙමි...

“යකෝ මූ මාර බැල්ලිගේ පුතෙක් නේ... මහින්ද මහත්තයා අච්චර කෝටි ගානක් වියදම් කෙරුවා ඡන්දෙට. මේ බල්ලන්ට බෑනේ යකෝ ගිහින් ඡන්දෙ දෙන එකවත් කරලා එන්න...“

“ඒකනේ සොමි අයියා... අපේ මෛත්‍රී ලොක්කත් කෝටි ගානක් වියදම් කලා නේ ඡන්ද වැඩ වලට... මුන්ට යකෝ උදේට ඡන්ද පොලට යන්න තියෙන අමාරුව... කාලකන්නි...!!!“

පෙනෙන විදියට මෙතන දෙපාර්ශවයේම උදවිය ඉන්නා හැඩකි. ඡන්දේ දැම්මේ නැතැයි මුන් මට පලු යන කල්ම බැන්න ද, පිල් දෙකම එකට එක්වී, සාමයෙන් සහයෝගයෙන් එක හන්දියේ වල බැහැගෙන ඉන්නා කාරණාවට නම් මගේ චිත්ත සන්තානයේ පොඩි ජොලියක් හට ගත් බවත් නොකියාම බැරිය. උදෙන්ම ගොස් මං තුමා ඡන්දය දුන් බවක් මුන්දලා දැන ගත යුතු නැත. දැන ගත්තොත් එය මේ හන්දියම කුපිත කරවන ජනවාර්ගික අර්බුදයක් බවට පත්වෙනු ඇතැයි මම බිය වූයෙමි.

“මොකද තෝ ඡන්දෙ දුන්නැත්තේ...???“

නැවතත් තඩියා මගේ ඇඟට ගොඩ වෙන්න තනයි.

“නෑ... මේ... ඡන්දෙ දෙන්න කෙනෙක් තෝරගන්න බැරි වුනා... ඒ..කයි...!“

මම මහ මෝඩ තාලෙට කියා දැම්මෙමි.

වටවී වුන් පිරිස එකිනෙකා දිහා බලාගන්නවා මම දුටිමි... ඊලඟ නිමේශයේදී මින් පෙර දෙවතාවකදීම ලැබුනු හුරු පුරුදු සංග්‍රහය මගේ සර්වාංගය පුරාම ලැබෙන්නට විය.

“ඡන්දෙට විස්සක් විතර ඉල්ලුවා යකෝ... තොට බැරි වුනාද එකෙක් තෝර ගන්න ඡන්දේ දෙන්න... ඈ බල්ලෝ...? තොට මොකද වෙන්නේ නිකමට වගේ මහින්ද මහත්තයට කතිරේ ගැහුවා නම්...“

එකෙක් මට හොඳට නෙලා, බඩට ද පයින් එකක් දෙමින් ඇසීය...

“ඒකනේ බං කියන්නේ... මූ නම් වල් කාලකන්නියෙක්... මහින්ද මහත්තයට බැරි නම්, මෛත්‍රී මහත්තයට හරි ඡන්දයක් දෙන්න තිබුණ නේ... නොදකින් තෝ...“

එහෙව් කී එකා දුන් පා පහරින් මා විසිවී ගොස් කානුවටම වැටිනි... වැටුනු තැනින් නැගිටගත නොහී මම වුන් සෙයින්ම නිසොල්මනේ උන්නෙමි. ටික වෙලාවකින් අවට වූ පිරිස ඈත් ව යනු මට ඇසිනි...

මේක නම් පුදුම ලෝකයකි. ඡන්දය දැම්මත් වැරදිය... අරයාට දුන්නත් වැරදිය... මෙයාට දුන්නත් වැරදිය... මොකාට වත් නොදී හිටියත් වැරදිය... ලංකාවේ ඡන්ද දායකයෙක් වූ පාපය නිසා අද මම මේ කරුමය විඳින්නෙමි...!!! හිතේ වූ දුකටම මම මගේ හිස කානු ගැට්ටේ ගසාගෙන ගසාගෙන ගියෙමි...

ඩග්... ඩග්... ඩග්...

“ඔය ඇඳ හොඳ තේක්ක... ලෑලි හයියයි බය වෙන්න එපා...“

ලාවට වගේ රාවයක් නගනු ඇසේ...

“පිස්සුද මනුස්සයෝ... ඔලුව නම් පැලුනත් මොකෝ... ඔය ඇඳ පත්ත පුපුරයි... කවුද දන්නේ තේක්ක කිව්වට මොන ලී ද කියලා... මොන යකෙක් වැහිලද මන්දා ඇඳ පත්ත කඩන්න හදන්නේ...“

උරහිසෙන් අල්ලා සොලවනු දැනී මම හිස ඔසවා බැලීමි... මා ප්‍රිය බිරිඳ රාස්ස වෙස් ගෙන මා දෙස රවා හිඳින සුකොමල දසුන මා දෙනෙතට අසුවිය. හන්දියේ සිට එකවරම ගෙදර ආවේ කෙසේ දැයි මම පුදුමයෙන්  උඩ බිම බලන්නට ගතිමි. මා අපේ සිරියහන් ගබඩාවේ යහනාව මත හිඳිනා වගත්, හීනෙන් බයවී, ඇඳ පත්ත බදාගෙන ඔලුවෙන් තඩි බා, ලීයේ හයිය බලා ඇති බවත් අවබෝධ වත්ම මගේ විලිබිය නැග එන්නට වූයෙන්, මල පැන බේරෙමින් ඇති බිරින්දෑගේ වත කමල දෙසවත් නොබලා මම හෙමින් සීරුවේ සුලුදිය පහ කරන්නට එලි බසින්නට ඇඳෙන් බැස ආවෙමි... අඳෝමැයි...!!!


- නිර්මාණාත්මක රචනයක් පමණි - 

-------------------------------------------

2015 අලුත් අවුරුද්දේ පලමුවැනි ලිපිය මේ... මෙච්චර කාලෙකට ලියලම නැති විදියට පෝස්ට් එකක් කරන්න හිතුනා. ඒක තමයි මේ... මගේ පුද්ගලික අදහස වත්, වෙනත් මතවාදයක් වත් මම මෙතනින් එලියට දෙන්න හදන්නේ නෑ... හුදෙක් රස වින්දනය සඳහා පමණයි... නිර්මාණයට අදාලව විතරක් අදහස් පළ කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි... දේශපාලන අදහස් වලට මේ බ්ලොග් එක විවෘත කරන්න මගේ කිසිම අදහසක් නෑ... 

ඉතින්... ගිහිල්ලා එන්නම්... 2015 නව වසර මගේ බ්ලොග් පාඨකයින්ට වගේම, සෑම සියලු දෙනාටම යහපත් පැතුම් ඉටුකර ගන්න ශක්තිය, ධෛර්යය ලැබෙන සුභ නව වසරක්ම වේවායි කියලා මම නවතින්නම්... ජයවේවා...!!!





8 comments:

  1. උඹට වෙලා තියනේන‍ේ අර කුකුල් ක‍ොටු කාරයට වෙච්ච දේනෙ. හෙහ් හෙහ්

    Well done bro. Superb !!

    ReplyDelete
    Replies
    1. කවුද බං කියන්නේ මේක මට වුනු දෙයක් කියලා...! :O

      කුකුල් කොටු කාරයට මොකද වුනේ බං...? දන්නැති නිසා අහන්නේ... ඇවිත් ගියාට ස්තුතියි සෙන්නා... ජය !

      Delete
  2. ඒකත් හැබෑව නේද ? හීනයක්නෙ... හෙහ් හෙහ්...

    ඔන්න එකමත් එක කලෙක කුකුල්ලු ඇති කරණ පොරක් හිටිය.. මිනිහා බිසිනොස් එක ගජ රාමෙට කරගෙන යනවා. දවසක් ආපි කට්ටියක්.... ඇවිල්ල ප්‍රශ්ණ පත්තරයක්ම අහලා මෙහෙමත් අහපි..

    "තමා මේ කුකුල්ලුන්ට මොනවද කන්න දෙන්නෙ ? "

    "සර් මම මුන්ට දෙන්නෙ ඉස්තර්ම්ම ජාතියෙ කුකුල් කෑම. දවසට තුන් සැරයයි. එතකොට අර බේත් මේ බේත් ... ඉහලම මිළ ගනන්වළ ඒවා.. ඒකයි මගෙ කුකුල්ලුන්ගෙ තත්ත්වය හොඳ සහ උන්ගේ ගාන වැඩි..

    "ආ එහෙමද ? අපි ඇවිත් ආදයම් බදු එකෙන්.. තමා අපිට වන්චා කරලා තියෙන්නෙ.. කුකුල්ලුන්ට මෙහෙම සළකන්න තමාට හොඳ ආදායමක් තියෙන්න ඕනා.. වන්චා කළාට දඩය මෙච්චරයි.. "

    කාලා වරෙන්කො...

    ඔහොම කාලයක් ගියා.. ආයෙත් ආවා කට්ටියක්...

    "තමා මේ කුකුළ්ලුන්ට මොනවද කන්න දෙන්නෙ ? "

    ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා වෙච්චි මෙහෙම කියපි..

    "අනේ මම එහෙමට කියලා දෙයක් මුන්ට කන්න දෙන්නෙ නෑ.. එහෙම දෙන්න මට ආදායමකුත් නෑ ඒ තරම්.. ඔයා වී ටිකක් ඉඳලා හිටලා දෙනවා.. එච්චරයි.."

    "ආ එහෙමද ? අපි ඇවිල්ල සත්ත්ව අහින්සා සන්ගමයෙන්.. තමා සත්තුන්ව හිරකරගෙන උන්ට හරියට නොසළකා උන්ව හින්සනයට පත් කරළා තියනවා.. දඩය මෙච්චරයි.. "

    ආයෙත් කාලා වරෙල්ලකො...

    ඔහොම කාලයක් ගියා.. ආයෙත් කටියක් ආවා..

    "තමා මේ කුකුල්ලුන්ට මොනවද කන්න දෙන්නෙ ? "

    දෙපාරක්ම කෙළවගෙන හිටිය එකා වෙච්චි..

    " අනේ මහත්තයෝ.. මම මුන්ට උදේට රුපියල රුපියල දෙනවා.. උන් ඒකෙන් මොනා කනවද කියලනම් මම දන්නෙ නෑ... "

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මියේ... පට්ට කථාව බං...!!! මම බුකියේ මගේ යාලුවන්ට share කරනවා...

      Delete
  3. අයියටත් 2015 සියලු පැතුම් සඵල වන යහපත් වසරක් වේවා !!!
    ඇත්තටම දැන් ඔහොම වේලාවකදී දෙන්න ඕනේ හොදම පිළිතුර මොකක්ද?

    "ඒ බලහන්කෝ බං ගෙදර උන්දා කරලා තියෙන වැඩේ.... ග්‍රාම සේවක මහත්තය ගෙනත් දීලා මෙන්න මේක පුරවල දෙන්න කියලා චන්ද නාමලේකනේට නම ඇතුලත් කරන ෆෝරම් එක.අපේ උන්දා පස්සේ පුරවන්නම් කියලා තියලා.ග්‍රාම සේවක මහත්තයා ඇවිත් අහපව් ඉල්ලද්දී පොඩි උන් විතරයි ගෙදර ඉදලා තියෙන්නේ.ෆෝරම් එක පුරවලා නෑනේ බං.ග්‍රාමයට මල පැනලා පොඩි එවුන් එක්ක අපිට දෙහි කපලා ෆෝරමේ අරන් ගිහින් බං.ග්‍රාමයා හින්දා මේ සැරේ චන්දෙත් නෑ බං."

    ReplyDelete
    Replies
    1. උඹටත් 2015 සුභ නව වසරක් වේවා මලේ...

      අර කියලා තියෙන කථාව මොකක්ද බං... උඹට වෙච්චි දෙයක් ද ?

      Delete
    2. ඔන්න ඔහොම කීවා නම් අවුලක් වෙන් නෑනේ.මට එහෙම දෙයක් උනේ නෑ බං.

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...