Sunday, November 30, 2014

කථා පොඩිත්තක් - 01


සිකුරාදා ඉස්කෝලේ ඇරිලා පාරට ආවේ සෑහෙන්න ආතල් එකකින්... දවස් දෙකක් නිවාඩු නේ... 162 බණ්ඩාරගම බස් එකේ ඇවිත්, මාකන්දන පන්සල ලඟින් බැහැලා මමයි, ගිහානුයි පාර පැන්නා. ඉස්කෝලේ ඇරුණු ගමන්ම ආපු නිසා පොඩි බඩගින්නකුත් නොතිබුණා නෙවෙයි. දැන් ගිහාන්ලගේ ගෙදරට ගිහින්, ඌත් එක්ක කයියක් දාලා, ගෙදර යද්දී කීය වෙයිද දන්නෑ... ඒ මොක වුනත් මට ඉතින් බඩගින්න නුහුරු එකක් නෙවෙයි නේ. ඇත්තම කිව්වොත් බඩගින්න මතක් කලොත් විතරක් බඩගිනි දැනෙන ගානට මේ වෙද්දී මගේ සිස්ටම් එක හැඩ ගැහිලා තිබුණේ. ඉතින් ගිහාන්ලගේ ගෙදර ගියා කියලා දවල් වේල මිසිං වෙන එකට  මගේ හිතේ අවුලක් තිබුණේ නෑ...


‘‘වරෙන්, මේ පාරේ ගෙවල්...“

ගිහාන් එහෙම කියාගෙන ඇතුළුවුනේ සුදර්ශණ මාවතට. ටිකක් ඉහළට නැග්ම වගේ තිබුණු පාරක් ඒක. මීටර් 50 ක් වත් ගියේ නෑ, ඌ කළු පාට ගේට් එකක් ලඟ නතර වුණා...

 “වරෙන්...“

ගිහාන් ආයෙමත් කථා කලේ උගේ සුන්දර, මනහාර හිනාවත් දාලා... මං ඉතින් නොදන්නා තැන් වලදී කොහොමත් පස්ස ගහනවා කියලා ඌ දන්නවා...

“ඔන්න මචං ගේ... වාඩිවෙයන්... මං එන්නම්...“

ගිහානයා ගෙට ගියා... මම ස්කූල් බෑග් එක තියලා, පෝටිකෝවේ පුටුවක වාඩියක් දැම්මා. ගිහාන්ලගේ අම්මගේ කටේ සද්දේ ගේ ඇතුලෙන් ඇහෙනවා... මොනවා කියනවද කියලා නම් පැහැදිලි නෑ... හැබැයි ඉතින් ගිහානයට බනිනවා වගේ තමා ඇහුණේ නම්. අම්මලගේ, පුතාලගේ වලි මට මොකටද ! මම මගේ මීටරේ වෙන චැනල් එකකට ටියුන් කරගත්තා...

* * * * * * *

ගිහාන්ව මට හම්බවුනේ A/L වලට ආවට පස්සෙයි. නවය වසරේ ඉඳන්ම මගේ බොක්ක වගේ ලඟින්ම හිටිය ගජයා වුනේ දිනිඳු. ඌත් මා එක්කම බයෝ කරන්න ආවා. අලුතෙන් ළමයි එනකල්, අපි දෙන්නත් එක්කම බයෝ ක්ලාස් එකට හිටියේ තව කොල්ලෝ දෙන්නයි. ඒ කසුන් හෙවත් ‘ඔන්නේ‘ සමඟ ගිහාන් විතරමයි. කසුන්ව නම් මම හයේ ඉඳලම දන්නවා. හැබැයි ඉස්සර ඉඳලා ඉස්කෝලේ හිටියා වුනත් ගිහාන්ව නම් මට කලින් සෙට් වුනේම නෑ. 

උසස් පෙළ පන්තියට ආවට පස්සේ අපෙත් ‘ලෙවල්‘ වැඩි වුන නිසා, මටත් ඕනේ කලේ ටිකක් කොල්ලෙක් වෙන්න. මොකද, O/L වලදී හැමෝම මාව බයිට් කලේ පොඩි එකා වගේ කියලයි. ඉතින් ලොකු පන්තියට ඇවිත්, ලොකු එකෙක් වගේ වෙන්න මම තෝරගත්තේ ගිහාන්ව. මොකද හිටිය අනෙක් කොල්ලෝ දෙන්නටම වඩා ඌ ‘අයියා‘ පාට් එකෙන් හිටිය නිසා...

ගිහානුයි, මායි ෆිට් වෙන්න ගියේ ටික කාලයයි. ඌටත් දිනිඳුවයි, කසුන්ටයි වඩා අල්ලලා ගියේ මාව තමයි. ගිහාන් හොඳ ගායකයා... බයෝ ක්ලාස් එකේ ඩෙස් පාටි සංගමයේ ආරම්භය හරහා අපේ යාලුකමත් ගලාගෙන ගියා... A/L මුල් කාලේ ගොඩාක් වෙලාවට අපි හිටියේ නිකම්ම තමා. ඔය වගේ ෆ්‍රී වෙලාවට ගිහාන් සිංදු කියනවා. මම ඩෙස් එකක් හොයාගෙන ඩොල්කි තලනවා. ඒ නැති වෙලාවට අපි දෙන්නා පස්සේ පේලියට වෙලා පුටු දෙකකුත් පද්ද පද්ද, පස්සේ බිත්තියට හේත්තු වෙලා ‘ශාස්ත්‍රීය‘ කයියක් දානවා... මියුසික් ගැන, රටේ තොටේ සීන් ගැන, කෙල්ලෝ ගැන, ලව් සීන් ගැන, ජීවිතේ ගැන ඔය හැම මගුලක්ම අපි දෙන්නා එක්ක කියෝ කියෝ හිටියා.  

අලුතෙන් පන්තියට ළමයි ආවට පස්සේ කාලේ වුනත් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක වෙනසක් වුනේ නෑ... ඇත්තම කිව්වොත් ගිහාන්ගේ පාට්නර්ෂිප් එක නිසා මටත් පොඩි රෙස්පෙක්ට් එකක් ඉබේම ලැබුණා... 11 වසරේ හිටිය පොඩි කොල්ලට ඒකත් මදෑ...!

උසස් පෙල පන්ති වලට අලුතෙන් ළමයි ආවා. අපේ බයෝ ක්ලාස් එකටත් හිටිය ගාණටම හරියන්න වගේ අලුතෙන් ළමයි ආවා. ඔය අස්සේ පොඩි එකෙක් වුනු මටත්, කොල්ලෙක් වෙන්න තව මාර්ගයක් පෑදුණා...

* * * * * * *

“අපෝ... අපිට ඇවිල්ලා තියෙන කෙල්ලෝ ටික නම් මෙලෝ රහක් නෑ ඩෝ... බලපන්කෝ... හරි හමන් කෑල්ලක් නෑනේ බං සෙට් කරගන්නවත්...“

ගිහාන් ඇඬියාව දාන්නේ අලුතෙන් ආපු ළමයි සෙට් එකේ ඉන්න කෙල්ලෝ ටික දිහා බලාගෙන. අලුත් සෙට් එක ඔක්කොම ක්ලාස් එකෙන් එලියේ, කොරිඩෝව වගේ තියෙන කොට තාප්පෙට එහායින් ඉඳන් ඇතුලේ ඉන්න අපි දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා... යකෝ, අපි සත්තු වත්තේ කූඩු වල දාපු රිලව් වගේ පේනවද දන්නෑ...!

“නැද්ද කවුරුත් උඹට සෙට් වෙන එකක්...“  ගිහාන් අහන්නේ මගෙන්...

මම මුකුත් කියන්න ගියේ නෑ. ඇවිත් ඉන්න එවුන්ට නොදැනෙන්න, හීන් සීරුවේ ස්කෑනර් ඔන් කරගෙන සර්ච් එකක් දැම්මා... හිටිහැටියේ... ඔව්... හිටිහැටියේම මගේ ඇස් නතර වුනේ එයා ගාව...!!!

සුදුයි, කෙට්ටුයි... අහිංසක පාටයි... තැන්පත් ළමයෙක් වගේ... ඒ මූණ දැක්ක ගමන්ම පපුව ඇතුලෙන් මොනවා හරි ස්විච් එකක් on වුනා වගේ දැනුනා... ඒ on වුනු ස්විච් එක දිගේ ආපු කරන්ට් එක නිසා හාට් එකේ මෙච්චර කල් වැඩ නොකරපු සර්කිට් එකක් ස්ටාට් වුනා වගේ තේරුණා... 

මේ වෙනකල්ම කොල්ලගේ පපුවේ කෙල්ලෙක් ගැන අදහසක් තිබුණේ නෑ... දැන් ඉතින් ලෙවල් එක වැඩි නිසාද කොහෙද ආදර හැඟුම් පහළ වෙන්නත් පටන් අරන්. අලුතෙන් ආපු සුදු කෙට්ටු ගෑණු ළමයා දිහා බලන්නම හිතුනත්, මම බලන්න බය වුනා. ගෑණු පාර්ශවයත් එක්ක ගනුදෙනු මට හරිම නුහුරුයි. අනික මම ගෑණු ළමයෙක් දිහා බලන්න වුනොත් බලන්නෙත් තත්පර  5 යි. ඔය තත්ත්වේ තියාගෙන කොහොමද කෙල්ලෙක් සෙට් කරගන්නේ...?

අනේ ඉතින්, අර ළමයි ටික පන්තියට ඇවිත් සතියක් විතරම ගෙවිලා ගියා. හිත යටින් අදහස තිබුණට තවම මගේ හිතේ කැමැත්ත ගැන ගිහාන්වත් දන්නේ නෑ. හැබැයි ඌ වගේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්ගෙන් මේ ගැන උපදෙස් ගන්න මට තිබුනේ ලොකු වුවමනාවක්... ඒත් කොහොමද මේ ගැන ගිහාන් එක්ක කථා කරන්නේ...?

අන්තිමටම, මට මගේ අවස්ථාව ආවා. 

“චතූ... අද අපේ ගෙදර යමු ද ? උඹත් එක්ක ලොකු සීන් එකක් කියන්න තියෙනවා...“

ගිහාන් කිව්වේ ඉන්ටර්වල් එකෙන් පස්සේ තිබුණු ෆ්‍රී පීරියඩ් එහෙකදීයි. 

‘තවත් අජරාමර පාසැල් ප්‍රේම වෘතාන්තයක් කියන්න වෙන්නැති...‘ මට හිතුනා. ඇයි ඉතින් මම හැමදාම වගේ කරන්නේ ඌගේ ශෝකාන්ත ලව් ගැන අහගෙන ඉන්න එකනේ... වෙනසකටත් එක්ක ගිහාන්ලගේ ගෙදර යන්න මම තීරණය කරගෙන ඉවරයි. අනික ඉතින්, ඌ යමුයි කිව්වම බෑ කියන්න පුළුවන් ද ? ඌව තරහ කර ගත්තොත් මේ අවස්ථාවේදී මට මාරම පාඩුයි... ඇත්තම කිව්වොත්, මම අනාථයි...

* * * * * * *

‘‘මොනවද බං කියන්න තියෙනවා කිව්වේ...?“  මම ගිහාන්ගෙන් ඇහුවේ ඌ ගෙට ගිහින්, ඇඳුමකුත් මාරු කරගෙන ඇවිත්, මගේ ලඟ පුටුවක වාඩි ගත්තට පස්සේ.

‘‘කෙල්ලෙක් ගැන තමයි...“  ඌ කිව්වේ හිමිහිට, හඬ බාල කරලා... මොනව වුනත් ගිහානයා අම්මට ගූ බයයි ද කොහෙද ! 

“කවුද බං ඒ...“  මම ඇහුවේ ගිහාන්ගේ හිත ගිය ස්ත්‍රී පරාණය කවුද කියලා දැනගන්න.

‘‘අපේ පන්තියේම එකක්...! කියපන් බලන්න පුලුවන් නම්...“ 

මම බලාගෙන හිටියේ ගිහාන්ගේ මනමාල පාට මූණ දිහා... පැණි බේරෙන හිනාව දිහා... ඒ දිහා බලා ඉන්දැද්දි තමා හිතුනේ ගිහානුත් අපේ අයියා වගේමයි කියලා... අයියත් මේ පාටමයි.... ඔය හිනාවමයි... ඒ ඇස් දෙකමයි...! මම ගිහාන්ට ඇදිලා යන්න ඒ සමානකමත් එක හේතුවක් වෙන්නැති...

“චතුවා... කියපන්කෝ...“

එතකොටයි මතක් වුනේ මුගේ කෑල්ල කවුද කියලා හොයන්න ඕනේ කියලා... ම්... බලමු මීටරේට දාලා... පහුගිය ටිකේ මුගේ හැසිරීමයි, ඇස් බැල්මයි වැඩ කලේ නම්.... හරි...!

‘‘සත්සරණි ද...?“  මං ඇහුවා...

“හ්ම්...“ 

ගිහාන් හිනාවෙලා ඇඹරෙන්න ගත්තා... නොදකින් මුගේ මල කෝලං...!

සත්සරණි... නොහොත් ‘සතා‘. හය වසරේදී මගේ පන්තියෙම හිටපු ළමයෙක්... ඉස්සර නම් මළ විකාරයක්... කොල්ලෙක් ලඟින් ගියත් ගල් ගැහිලා රවාගෙන ඉන්නවා. හරියට මෙයා සීතා දේවී වගේ...! ඉතින් කොල්ලන්ගේ වැඩේම ඒකිව අවුස්සන එක... 

A/L වලට සත්සරණි කලේ කෘෂි විද්‍යාව. උන් සෙට් එකත් බයෝ ක්ලාස් එකේමයි හිටියේ. මේ වෙද්දී නම් ඒකිගේ කෝලං ගොඩාක් අඩුයි. ඒත් තාමත් කථාව නම් පූස් පැටියෙක් කෙඳිරි ගානවා වගේ... මට දිරවන්නෙම නැත්තේ කෙල්ලන්ගේ මේ විකාර තමයි...!

ගිහාන් පහුගිය ටිකේ මුල්ල ගහලා සතා එක්ක ටෝක දාගෙන හිටිය හැටි මට මතක් වුනා... ‘හරි එහෙනම්... ඒකත් ජයසිරි මංගලම්...‘

“එළකිරි බං... දැන් ඒකි සෙට් ද...!“  මම ඇහුවේ වැඩිදුර විස්තර දැනගන්න.

“මං තාම මුකුත් අහන්න ගියේ නෑ බං...“  

ගිහාන් ඊට පස්සේ විනාඩි දහයක් විතරම ස්ටෝරිය කියන්න ගත්තා. මටත් දැන් ඕවා අහලම කන් පදම් වෙලා...! මූ මට ඕවා ඔක්කොම කියන්නේ මගෙන් ඇඩ්වයිස් ගන්න. කෙල්ලෝ ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති වුනත්, ජීවිතේටම ගෑණු ළමෙක් එක්ක යාළු වෙලා නැති වුනත් O/L කාලේ ඉඳලම මම ලව් විශාරද වගේ ඇඩ්වයිස් නම් දෙනවා... ඒවා අහන උන්ටත් ඒවා හරි ගිහින් තියෙනවා...

“චතූ... උඹට මුකුත් ලයින් එකක් සෙට් වුනේ නැද්ද බං...“

“පොඩි සීන් එකක් නම් තියෙන..වා....“

“නෑ...! කියපන්කො යකෝ... කවුද බං ඒ...“

මම ටිකක් වෙලා ඇඹරුණා... අම්මපා මේ කෙල්ලෙක් ගැන කා එක්ක හරි කථා කරනවාමයි...

“චතුවා... කවුද බං...“

“අලුතෙන් ආපු එකක්...“

“අලුතෙන්...? ම්ම්...“

අරූ දැන් දත කාගෙන කල්පනා කරනවා...

“අර සුදු, කෙට්ටු ළමයා බං...“  මම කිව්වා...

“මට මීටර් නෑ බං...“

“හරි... මං උඹට සඳුදට පෙන්නන්නම්කෝ...“

තවත් පැය භාගයක් විතර ලව් සීන්ම කියෝ කියෝ ඉඳලා මම ගෙදර ආවා... අම්මපා, ගිහානයට සීන් එක කියාගත්ත එක නම් හරිම සැනසිල්ලක්. හිතට හරිම සැහැල්ලුවක් දැනුනේ... දැන් ඉතින් උගෙනුත් බොක්කෙන්ම සප් එකක් ලැබෙනවා කියලා මට ෂුවර්...

සුදු කෙට්ටු ගෑණු දරුවා ගැන මතක් කර කර මම ගෙදර ආවා... ඒ, සඳුදාට ගිහාන්ට ඩයල් එක පෙන්නලා වැඩේ පටන් ගන්න නොඉවසිල්ලෙන්...

ගෙදර ගිහිල්ලත් වෙන සිහියක් තිබුණේ නෑ... නිකං ඉන්න බැරිකමට කොල කෑල්ලක් අරන් මම පොඩි පද වැලක් ඇමුණුවා...

දඟකාර යෞවන වයසේ...
පිපි රෝස කුසුමක් විලසේ...
මල් මන්දහාසය නුඹගේ...
මා සිත... චංචල් කලේ...

* * * * * * *

“ආ.... මෙයාද උඹ කියපු ළමයා... හොඳයි... හොඳයි...“

“ඇයි බං... අවුල් ද ?“

“නෑ යකෝ... පිස්සුද ? මට කැමති එක නෙවෙයි නේ හරියන්නේ... උඹට හිත ගිය එක නේ කෙරෙන්න ඕනේ...“

“ගිහාන්, අපි තාම එයාගේ නමවත් දන්නෑනේ බං...“

“ම්ම්..... හිටපන්කෝ... මොකක් හරි ගේමක් ගහමු...“

සඳුදා ඉස්කෝලේ වැඩ පටන් ගන්නත් කලින් මම වැඩ පටන් අරන් තිබුණේ. ඒ කොයි හැටි වෙතත් තාම අර ළමයගේ නම දන්නෙවත් නෑනේ... මම ඔය ගැන කල්පනා කර කර හිටියා... මගේ කල්පනාව බිඳුනේ ගිහාන් නම් ලකුණු කරන්න ගත්තාමයි...

අපේ පන්ති භාර කෙමිස්ට්‍රී මිස්ට බබෙක් ලැබෙන්න හිටිය නිසා හිටපු ගමන් නිවාඩු වැටෙනවා... ඉතින් බොහෝ දුරට උදේ වරුව මුලු ක්ලාස් එකම පිස්සු මඩුවක් වගේ තමා... එක එකා, එක එක වැඩ...! 

ගිහානයා ගුරු මේසේ පැත්තක ඉඳන්, හේත්තුව දාගෙන, රෙජිස්ටර් එක - ඒ කිව්වේ නාම ලේඛණයත් පෙරලගෙන ඉන්නවා... ඒකේ ගෑණු ළමයින්ගේ නම් ටික මූ හයියෙන් කියවන්නේ ටීචර් නම් ලකුණු කරන්නා වාගේ...!

“දිනූෂා පතිරණ...“

ඔන්න කෙල්ලෙක් අත උස්සනවා...

“ඉෂංකා....“

ගිහාන් ආයෙමත් කෑගහනවා... අලුතෙන් ආපු, තළේලලු කොට කෙල්ලෙක් බයෙන් වගේ නැගිටිනවා... එයා තමා මගේ හිත ගත් ගෑණු දරුවගේ යාලුවා...

“චරිතා...“

හරි...!!! එයා නැගිට්ටා...! ඒ කියන්නේ ඒ ළමයගේ නම චරිතා... 

ච..රි..තා... එයාටම හරියන නම...!

ගිහාන් නම් ලකුණු කිරිල්ල අහවර කරලා ආපහු ඇවිත් මගේ ලඟින් වාඩි වුණා... උගේ මූණේ හොර හිනාවක් මට පේනවා. අම්මපා බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා. මට නම් පන්තිය ඉස්සරහ ඔය වගේ වැඩක් කරන්න කොහොමටවත් ගටක් නෑ... ඒ අතින් ගිහාන් නම් මට  දෙයියෙක් වගේ...!

* * * * * * *

A/L පන්තියේ වැඩත් එක්ක දවස් ගෙවුණා... ඒ අතරෙදි චරිතා පස්සෙන්ම වගේ මගේ ඇස් ඇදුනා... ගිහාන්ගේ උපදෙස් පරිදි වැඩ කලා වුනත් තාමත් එයා නම් මං ගැන කිසිම ඉන්ට්‍රෙස්ට් එකක් නෑ වගේ... මම එයාට ට්‍රයි කියලා අඟවන්න කියලා තමයි ගිහාන් නම් කිව්වේ... ඒත් ඉතින් ‘මේ... මං ඔයාට කැමතියි...‘ කියලා ගිහින් කනට කරලා කියන්නයෑ... හපෝයි...! එහෙම දෙයක් මතක් වෙනකොටත් ඇස් දෙක බොඳවෙලා, දාඩිය දානවා වගේ දැනෙනවා...!

කෙල්ල හොඳට උනන්දුවෙන් ඉගෙන ගන්න කෙල්ලෙක්... වැඩ වුනත් පිළිවෙලට කරනවා... කවදාවත් ක්ලාස් එක ඇතුලෙදි හෝ පිටදී මට නම් එයා කනට ඇහෙන්න කථා කරනවා ඇහිලා නෑ... ඇත්තටම චරිතා හරිම නිවුනු ගතිගුණ තිබුණු ළමයෙක්... ඒ ගැන හිතද්දී මං කරන්න යන්නේ හරි වැඩක් ද කියලත් මට නොහිතුණා නෙවෙයි... ඒත් කොලුකම ඊට වඩා ලොකුයි නේ...

ඔය අස්සේ ගිහාන්ගෙයි, සතාගෙයි සම්බන්දේ නම් කෙරීගෙන ගියා... දෙන්නා එක්ක මුල්ලට වෙලා මුකුළු කරන එකමයි වැඩේ...! එව්වට ඉතින් ක්ලාස් එකේ අනෙක් එවුන් බයිට් කරන්න ගියෙත් නෑ... එච්චරටම අසහනයක් තියෙන සෙට් එකක් අපේ ක්ලාස් එකේ නොහිටිය එකත් වාසනාවක්... ගිහාන් මගේ වැඩේට සප් එක දෙන එක නතර කලෙත් නෑ... මම එච්චර මේ වැඩේට ෆෝවඩ් නෑ කියලා ඌට තේරිලාද කොහෙද ඌ අලුත්ම ගේමකට අත ගැහුවා...

චරිතාගේ හොඳම යාළුවා වුනේ ඉෂංකා... ගිහාන්ගේ අලුත්ම මිෂන් එක තමයි ඉෂංකාට කටුව ගහන එක. ඌට නම් කෙල්ලෙක් එක්ක කථා කරලා, අවශ්‍ය පොයින්ට් එකට එන එක අතිශය සරල කාරණාවක්... ඒත් මට නම්, ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ...

‘සිතින් විතරක් පෙම් කරන්නම්... දුරින් ඉඳ ඔබ දෙස බලන්නම්‘ කියලා මගේ කුළුඳුල් ප්‍රේමය තාමත් හිත ඇතුලේ තියෙද්දීම කාලය ගෙවිලා ගියා. ඔය අතරෙදි තමයි අතිශය වික්‍රමාන්විත හා  උද්වේගකර වූ ක්‍රියාන්විතයකට ගිහාන් මාවත් ඇදගෙන ගියේ...

* * * * * * *

“වරෙන් වරෙන්... ඉක්මනට යකෝ... බස් එක මිස් වුනොත් ඉතින් ආයෙත් දවසක් කට්ට කන්න වෙනවා...“

ගිහානුයි, මායි මේ යන්නේ චරිතා පස්සේ... ඉස්කෝලේ ඇරුණට පස්සේ දෙන්නත් එක්ක හොරෙන්ම පසුපස පැන්නීමේ මෙහෙයුම දියත් කරා... කලින් ඉඳලම රෙජිස්ටරේ පිහිටෙන් අපි එයාගේ ගෙවල් කොහෙද කියලා හොයාගෙනයි තිබුණේ... ඉතින් ඒක නිසා මෙයා දැන් කොයි බස් එකේද යන්නේ කියලා නම් අපි දන්නවා...

නගර සභා පිට්ටනිය ගාවින් යන ඉස්කෝලේ ඉස්සරහ පාරෙන් ඇවිත් චරිතා කොළඹ පාරට ආවා. අපිත් ඒ පස්සේ... එයා හිමිහිට පල්ලෙහාට ඇවිදගෙන යනවා... ගිහින් රතු කැකුළු බත් කඩේ ගාව බස් හෝල්ට් එකේ නතර වුණා. මෙතන නවත්තන්නේ 255 ගල්කිස්ස - කොට්ටාව බස්...

මමයි, ගිහානුයි දෙන්නත් එක්කම ගිහින් අහල පහලකට සෙට් වුනා... මගේ පපුව ගැහෙනවා පිටටත් ඇහෙනවද මන්දා... වෙලාවට බස් සද්දේ නිසා ඇහෙන්නැතුව ඇති...! ජීවිතේටම කරපු වැඩක්ද අම්මපා මේ කරන්නේ... කෙල්ලෙක් පස්සෙන් යන එක... අද ගුටි නොකා ගෙදර ආවොත් ඇති...!!!

තිබුණු බස් එක ගිහින්, ටික වෙලාවකට පස්සේ තව 255 බස් එකක් ආවා. චරිතා ඒකට නැග්ගා... අපි දෙන්නත් පස්සෙන් නැග්ගා... චරිතා බස් එක මැද්ද හරියේ හිටගෙන ඉන්නවා... 

“යමං යමං... මෙතන ඉඳලා වැඩක් නෑ හරකෝ... ලඟට යමන්...“

ගිහානයා කන ගාව කෑගහනවා... ඉතින්, මමත් ගැහෙන හිතිට ගට අරගෙන ටිකක් ලං වුණා... බෑග් එකත් ගලවලා බස් එකේ රැක් එකට දැම්මා... මම චරිතාගේ මුහුණ දිහා බැලුවේ හොරෙන් වගේ... ඒත්, ඒකිට නම් අපි බස් එකේ ඉන්නවද කියලාවත් ගානක් නෑ... ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නවා...

ගිහානුයි, මායි දෙන්නා එක්ක ටික්ක සද්දේ වැඩි කරලා අනම්මනම් කයියක් දාගෙන තමා බස් එකේ ආවේ... ඔය කථා කරපු ඒවායින් භාගයක් විතරම අර ගෑණු දරුවට වහෙන් ඔරෝ කියපුවා තමා... ඒත් ඒ දරුවා නෑහුණ ගානට පාඩුවේ යනවා... 

අනේ ඉතින්, අපි දෙන්නත් රට හරක් දෙන්නා වගේ කට්ට කාගෙන බස් එකේ තදවෙලා එයා බහින තැනටම ආවා... මමත් ඉතින් හොරෙන් හොරෙන් වුනත් ඒ මූණ දිහාම තමා බලාගෙන ආවේ... බහින තැන ලං වෙලාද කොහෙද චරිතා බෑග් එක අරගෙන කරේ දාගත්තා... ඉන්නේ රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේ කියලා දැනගත්තට, එයා බහින්නේ මොන හෝල්ට් එකෙන් ද කියලා අපි දන්නෑ... මම නම් 255 ක ආවෙත් අදමයි...!

කෙල්ල බහින කොට තමයි මගේ මූණ දිහා බැලුවේ... ඒ බලලත් දැක්කේ නෑ වගේ බස් එකෙන් බැස්සා... බැහැලා එයා යනකල්ම මමත් බලන් හිටියා... අන්තිමේදී බස් එක අපි දෙන්නා එක්කම ඇද්දුවා... එයා ඈතට ගිහින් බොඳවෙලා ගියා...

“දැන් ඉතින් බැහැගමු ඊගාව හෝල්ට් එකෙන්...! නොදකින් තෝ නම්... වචනයක් වත් කථා කලේ නෑනේ හරක් පැටියා...!“

ඌ නම් කියයි. මම එපෑ කථා කරන්න. මගේ අම්මෝ !!! බස් එක මැද්දේ කෙල්ලෙක්ගෙන් බැනුම් අහනකොට කොහොමද සනීපේ... මතක් වෙන කොටත් ඇඟ සලිත වෙනවා...!

ඉතින්, අපි දෙන්නා ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැලා අනෙක් පැත්තට යන 255 ක නැගලා ආයෙත් පිළියන්දලට ඇවිත් ගෙවල් වලට ආවා... අතේ තිබුණු තුට්ටුව බස් වලට වියදම් කරගත්තට මොකද, හිත යටින් පොඩි කිතියක් වගේත් නොදැනුනා නෙවෙයි...!

* * * * * * *

“චතුවා, උඹ අරකිගෙන් අද අහන්නම ඕනේ... හරි ද...?“

“පිස්සුද බං... මට නම් බෑ...! ඒකි මාව ගණන් ගන්නෙවත් නෑ...“

“උඹට ඔහොම නං කෙල්ලෙක් දාගන්න වෙන්නෑ බං... ඕක මහ ලොකු සීන් එකක් නැ බං... කෙලින්ම අහපන්...“

අට වසරේ ඉඳලා ලව් කරලා, කෙල්ලෝ දහයක් විතර පස්සෙන් ගිහින්, මේ වෙද්දි සැරින් සැරේට ගෑණු ලමයි තුන හතරක් එක්කම යාලුවෙලා හිටිය ඌට නම් ඕක මහ ලොකු දෙයක් වෙන්නැතුව ඇති... ඒත් දෙයියනේ මට...! කෙල්ලෙක්ගේ මූණ දිහා කෙලින් බලන් කථා කරන්න බය මට...!

මේ වෙද්දි ඉෂංකායි - ඒ කිව්වේ චරිතාගේ යාලුවයි - ගිහානයයි අතර හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබුණා... ඉෂංකා මාව දැක්කම චරිතාව පටලවලා විහිළු කරන තරමටම අපි හොඳ යාලුවෝ වුණා... හැබැයි, ඒකි චරිතා ඉස්සරහදී නම් මගේ නම වත් කියන්නේ නෑ... මොකද, ඉෂංකා කියපු විදියට චරිතා කැමති නෑලු එයාගේ නමට කොල්ලෙක් පටලවලා විහිළු කරනවට...

ගිහානුයි, ඉෂංකයි අද උදේ ඉඳන්ම බර සාකච්ඡාවක්... මුන් දෙන්නා මගේ රෙදි ගලවලා තමයි නතර වෙන්නේ... අම්මපා මේ ගිහානයට කිව්වට තේරෙන්නෑ නේ... චරිතා මට කැමති නැත්නම් මොකටද තවත් පස්සෙන් ගිහින් ඒකිට ඇණයක් වෙන්නේ... මේ හරකට ඕවා කිව්වට තේරුම් ගන්නෙම නෑ. ගිහාන් කියන්නේ චරිතා මට කැමතිද නැද්ද කියලා ඒකිගේ කටෙන්ම අහ ගන්න ඕනේ කියලයි...

“චතුවා... ඉන්ටවල් එකට එළියට යන්න එපා... පන්තියේ හිටපන්... හරි...“

ගිහාන් කිව්වේ බෙල් එක ගහපු ගමන් වගේ... මමත් ඉතින් ඩෙස් එකේම හිටියා... අද නම් මොනවා හරි ගිනි විජ්ජුම්බරයක් වෙන එක ෂුවර්...! මගේ ඔළුවත් එක්කම කැක්කුම් අරන් තිබුණේ... හිතට මාරම අප්සෙට්... කරගන්න දෙයක් නැති කමටම මම ඩෙස් එකේ ඔළුව ගහගත්තා.

“මේ...“

මම ඔළුව උස්සලා බැලුවේ ඒ සද්දෙට... හත් දෙයියනේ... මගේ ඩෙස් එක ලඟ දකුණු පැත්තෙන් හිටන් හිටියේ එයා...! ඔව්... චරිතා...! මගේ ඩෙස් එක ලඟට ඇවිත් මටම කථා කරනවා... දෙවි සාමිනේ !!! මා රැකදේවා...!

මං ඔළුව උස්සලා හැරිලා චරිතා දිහා බැලුවා... එයා බලන් ඉන්නේ මගේ මූණ දිහා නෙවෙයි, මගේ ඩෙස් එක දිහා... ඒකිත් මං දිහා කෙලින් බලන්න තරම් හිතක් නෑ වගේ...!

“ඔයා මට කථා කලාද...?“

අනේ... එයා කථා කරන්නේ මට... මමත් ඒ මූණ දිහාම බලා හිටියා... මෙච්චර කාලයකට ඕනේ කරලා තිබුණේ මේක තමයි... චරිතා එක්ක කථා කරන්න තමයි... මමත් අහක බලාගත්තේ නෑ... ගැහෙන හිතින් වුනත්, මං එයා එක්ක කථා කලා...

“ඔව්... මේ... මේ... ගිහාන් හරි, ඉෂංකා හරි ඔයාට මොකක් හරි කිව්වද ?“

අහන්න ඕනේ දේ කටට එන්නේ නෑ... යාන්තම්, අමාරුවට වගේ තමයි ඔය වචන ටිකත් ගැට ගහගත්තේ... මුළු ක්ලාස් රූම් එකම බොඳවෙලා ගිහින්, වටේටම කළුවර වෙලා වගේ... ඇත්තටම ඒ විනාඩි කීපයේදී මගේ ඇස් දෙකට අහුවුනේ අපි දෙන්නා හිටපු ඒ අඩි ගාණ විතරයි...! අනෙක් හැම දේම වගේ අමතක වෙලා තිබුණේ...

“කිව්වා...!“ 

 චරිතා උත්තර දුන්නේ තනි වචනයෙන්... දැන් මගේ වාරේ... මොනවද දෙයියනේ මං කියන්නේ...!

“ඉතින් ඔයා මොකද කියන්නේ...“

“මං ඕවට කැමති නැහැ... මට ඉගෙන ගන්න ඕනේ...!!!“ 

එහෙම කියලා එයා ගියා... මට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා... මට වෙන කිසිම දෙයක් ඇහෙන්නැතුව ගියා... කිසිම දෙයක් පේන්නැතුව ගියා... ඇස් දෙකට හීනියට වගේ තෙත් වෙනවා මට දැනෙනවා... 

අයියෝ දෙයියනේ... මට මේ මොකක්ද වුනේ... හිතේ තිබුණ හැම දෙයක්ම බිඳිලා ගියා...! හුලං ගිය බැලුම් බෝලයක් වගේ මම ඩෙස් එක උඩට කඩන් වැටුණා... ආයෙත් ඔළුව උස්සන්න තරම් ෆිට් එකක් මට තිබුණේ නෑ.....!

* * * * * * *

ඉන්ටවල් එක ඉවරවෙලා අපේ ක්ලාස් එකේ ළමයි සෙට් එකම ආයෙත් ආවා... පන්තියේ තිබුණු නිස්කලංක ගතිය නැතිවෙලා ගියා... මගේ වෙලාවට ඊගාව පීරියඩ් එකත් ෆ්‍රී...! ඉතින් නිදහසේ ඩෙස් එකට ඔළුව තියාගෙන, හිතේ දුක තුනී වෙනකල් සික් ගහගෙන ඉන්න පුළුවන්...

“ඔව්වා ගන්න ගන්න එපා චතුවා... කෙල්ලෝ ඔහොම තමයි...“

ගිහානයා ලඟට ඇවිත් මොන මොනවද මන්දා කියෝනවා ඇහෙනවා වුනත් මම ඒවට කන් දෙන තරම් සිහියක හිටියේ නෑ... ඇත්තම කිව්වොත් මට දැන් ඔළුව උස්සන්න ලැජ්ජයි... මේ සීන් එක වෙද්දී අනෙක් කිසි දේක සිහියක් නොතිබ්බා වුනත්, ඕක තව කී දෙනෙක් බලන් හිටියද දන්නෑ... එහෙම නම් ඉතින් විලි ලැජ්ජාවයි... වහ කන්න තමා වෙන්නේ... කොහොම හරි මම පැය භාගයක් විතර යනකල්ම වගේ ඔළුව හංගගෙන හිටියේ ඇහේ තිබුණු තෙත ගතිය ගිහානුත්, අනෙක් උනුත් දකියි කියලා...!

* * * * * * *

A/L අවුරුදු දෙකත් ගෙවිලා ගියා... අපිත් වයසට ගියා... තව ටිකක් ලොකු උන් වුනා... ඒ වුනත් වෙනස් නොවුනු එක දේකුත් තිබුණා... ඒ, චරිතා...!

එදා ‘මං ඕවට කැමති නැහැ... මට ඉගෙන ගන්න ඕනේ...‘ කියලා ගියාට පස්සේ ඒකි මා එක්ක එකම එක වචනයක් වත් කථා කලේ නෑ... විහිළුවටවත්, වැරදිලාවත් මගේ මූණවත් බැලුවේ නෑ... මමත් ඒ සීන් එකෙන් පස්සේ මාසයක් විතර යනකල් ඒකි දිහා බලාගෙන දුක් මූඩ් ගහගෙන හිටියත් පස්සේ දැක්කත් නොදැක්කා වාගේ ඉන්න පුරුදු වුනා... 

A/L විභාගේ අන්තිම දවසෙදි අපේ බයෝ ක්ලාස් එකේ සෙට් එකම එකට හම්බවුණා... ආයේ ඉතින් කවදා හම්බවෙයිද කවුද දන්නේ... හැමෝටම දුකයි... මොනවා වුනත් අපි කොල්ලෝ, කෙල්ලෝ කියලා නැතුව ෆුල් ෆිට් එකේ හිටියා... ඉතින් දැන් වෙන්වෙලා යන මොහොතේ කවුරුත් වගේ හිටියේ ඩිම් වෙලා වගේ...!

අපි හැමෝම එකිනෙකාට සුභ පතා ගනිමින් හිටියේ... ඒ අස්සේ autograph සයින් කලා... මමත් කොල්ලෝ ඔක්කොටෝම කථා කරලා, බදාගෙන පිටට තට්ටු කරලා නිළ වශයෙන් සමුගැනීම සටහන් කලා... කෙල්ලෝ සෙට් එකෙත් අපිත් එක්ක ෆිට් එකේම හිටපු එවුන් අත් අල්ලාගෙනම සමුගැනීම දුන්නා... එච්චර ෆිට් එකක නොහිටිය උන් පවා ලඟට ඇවිත් නම කියලා කථා කරලා ‘චතූ යන්නම්... ආයෙත් හම්බෙමු...‘ කියලයි ගියේ... 

ඒත්... නොවෙනස් වුනු දෙයකුත් තිබුණා... ඒ, චරිතා...!

මම එයාගේ එහා පැත්තේ හිටිය ඉෂංකාට විශ් කරද්දිත් චරිතා නොදැක්ක ගානට හිටියා... මට එයාටත් කථා කරන්න හිතුනත් මමත් සද්ද නැතුව අනෙක් පැත්ත හැරුණා... ඒ ගැන චරිතාට දුක හිතෙන්නත් ඇති... කවුද දන්නේ...! බෑග් එකත් කරේ දාගෙන මම පාසැල් මාවත දිගේ පිය මැන්නේ බර කරගත් හිසින්... ඉස්කෝලේ ජීවිතේ වගේම, මගේ කුළුඳුල් ආදර මතකයත් අද මං දාලා යනවා... 

ඉතින්... ආයුබෝවන්...!!!





16 comments:

  1. නියමයි.
    හිමිකාරිය එනකල් ඕව ඔය වගේ තමයි. අඩුම ගානෙ ෆස්ට් ටයිම් වැඩකට සෙට් උන එකත් මදෑයි.

    ඔය AL පංතියෙ නං ලකුණු කිරිල්ලනං ටීචර්ල හිටියත් නැතත් අපේ පන්තියෙ කළේ අපිම තමයි.

    ReplyDelete
    Replies
    1. //හිමිකාරිය එනකල් ඕව ඔය වගේ තමයි.//
      ඒක නම් එහෙම තමයි බං. හිමිකාරිය එනකල් ඔය ටික දහ දොලොස් වතාවක්ම වුන එකයි හිතට දුක...!

      බොහොම ස්තුතියි මචං ඇවිත් ගියාට...!

      Delete
  2. නියමයි.....ආයේ වෙන මොනා කියන්නද? 255 කිව්වම හුස්ම හිර වෙනවා වගේ දැනුනා...කැම්පස් ඉද්දි කටුබැද්ද හන්දියට ගියේ ඕකේ තමා. හප්පෝ ඒ චුට්ට යන්නත් විඳපු දුකක්...

    ReplyDelete
    Replies
    1. එ් කියන්නේ සයුරිත් අහල පහලම කෙනෙක් නේ... !

      තාමත් 255 එහෙමද දන්නෑ... මොකද හුඟ කාලෙකින් බස් එකේ ගියේ නෑ...
      බොහොම සතුටුයි ප්‍රතිචාරයට... ජයවේවා...!!!!

      Delete
  3. කතාව නියමයි................ අැයි දිගට ම ලියන්නැත්තේ....... වෙලා ව තියෙන වෙලාවට ලියමු .........අපි ඉන්නවා කියවන්න.............. අදයි මේ පැත්තට අාවේ..........බ්ලොගය නියමයි

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි කුරුටු !!! 
      //අැයි දිගට ම ලියන්නැත්තේ....... වෙලා ව තියෙන වෙලාවට ලියමු .........අපි ඉන්නවා කියවන්න//

      ලියනවා, ලියනවා... දැන් නම් ලියන්නම තමා ඉන්නේ... ස්තුතියි මේ පැත්තේ ආවට...ජය!!!

      Delete
  4. හප්පේ.. චතුවා කාලෙකින් අමුතුම ක්‍රමේකට වැඩ අල්ලලා තියෙන්නෙ..

    ච - ච ( චකබ්ලාස් චක්‍රවර්ති :D ) හරියන්න තියෙන්න නැතුව ඇති...

    අර පින්තූරෙ ඉන්නෙ උඹද ?

    ReplyDelete
    Replies
    1. //කාලෙකින් අමුතුම ක්‍රමේකට වැඩ අල්ලලා//
      හ්ම්... මේ දවස්වල ලියන්නෙක් වෙන්න ට්‍රයි කරනවා...

      //ච - ච ( චකබ්ලාස් චක්‍රවර්ති :D ) හරියන්න තියෙන්න නැතුව ඇති//
      එහෙම වෙන්නැති බං... :D

      //අර පින්තූරෙ ඉන්නෙ උඹද ?//
      එහෙයි... එහෙයි...!!!

      මේ පැත්තට ආවට ඔන්න ස්තුතියි කිව්වා... ජයවේවා...!


      Delete
  5. මාත් කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ. ලිපියේ අකුරු වල අවුලක් ද මල්ලි. මට විතරක් පෙනෙන විදිහද . අයි පෑඩ් එකෙන් කියවන්නේ. කමෙන්ට් වල එහෙම නැහැ .

    ReplyDelete
    Replies
    1. ආ බින්දි.. කොහොමද.. ?? කාලෙකින් නේද ?

      නෙළුම් විල පල් වෙලා වගේ දැන්නම්... මොනා හරි ලියමු ඉක්මනට....

      Delete
    2. @ බින්දි අක්කා
      අක්කා වෙන බ්‍රව්සර් එකකින් ට්‍රයි කරලා බලන්න... මම මේ CSS වැඩ කෑල්ලක් දාලා ගූගල් මාමගේ සිංහල ෆොන්ට් එක දාගත්තා... ඒක වෙන්නැති.... අනෙක් අයට නම් එහෙම අවුලක් නෑ වගේ...

      සෑහෙන කාලෙකින් නේන්නම් දැක්කේ... සෙන්නා කියන්නා වාගේ නෙලුම් විල සුද්ධ කරන්න වේවි... මූණුපොතේ දැක්කට අක්කා බ්ලොග් පැත්තේ එනවා අඩුයි වගේ...

      ස්තුතියි ඇවිත් ගියාට. ජය...!!!

      Delete
  6. චතුවා, උඹට ඔහොම හරි හිත හදාගන්න ඇහැකියි උඹ හිතේ තියාගෙන ඉන්නේ නැතුව අහපු එක ගැන. ඒකට අපි........හිතේ තියාගෙන ඉඳලා තාමත් දුක් වෙනවා. උඹ සීන් එක දන්නවනේ.....මේකට Reply කළාට කමක් නෑ. හැබැයි නම් ගම් එහෙම නං මේකේ කතා කරන්න එපා පුතෝ හරිය.........

    ReplyDelete
  7. චතුවෝ, උඹට තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මචං අපේ පන්තියේ හිටපු එක කොල්ලෙක්වත් (උඹත්, මාත් ඇතුළුව) චරිතා වගේ ගෑණු ළමයෙක්ගෙන් අහන්න තරම් සුදුසු තත්වෙක හිටියෙ නෑ. ඒක උඹට වඩා ගොඩාක් හොඳට මං දැනගෙන හිටියා. අපි 10-11 ඉන්න කාලෙ උඹ ඇඟෙන් පොඩි වුණාට උඹේ බුද්ධිය ගැන අපි හැමෝටම ලොකු ගෞරවයක් තිබුණා. (මට නං ඒක අදටත් තියෙනවා) ඒ වුණාට 12 වසරට ආවට පස්සේ උඹට අයියා කෙනෙක් වෙන්න ඕනකම නොතිබුණා නං උඹ අද ඔය කතාව ඔයිට වඩා ගොඩාක් වෙනස් විදියට ලියන්න තිබුණා. ඔය අයියා කෙනෙක් වෙන්න තිබුණ උණ හින්දා උඹ සමහර වෙලාවට ඕනෙ නැති අවදානමක් අරන් තිබුණා. උඹ දවස් දෙක තුනකට මාක් එක්ක තරහා වුණ (ඇත්තටම නෙමෙයි කියලා මං දන්නවා. මොකද උඹටයි මටයි මොන හේතුවක් හින්දාවත් තරහා වෙන්න බෑ) කළුතර ගමන එයින් එකක්. කොහොම වුණත් මට මතක විදියට උඹට ඔය සීන් එකෙන් පස්සේ අයියා කෙනෙක් වෙන්න එච්චර දැඟලුවෙ නෑ. උඹ අයියා කෙනෙක් වෙන්න ගිහාන් එක්ක ගමන ආරම්භ කළේ නිශ්චලතාවයෙන් නෙමෙයි. ඌ උඹට ලොකු ආරම්භක ප්‍රවේගයක් දුන්නා. උඹේ ත්වරණයත් ඕනෑවට වඩා වැඩි වුණා කියලා මං හිතනවා. ඒක හින්දා උඹට ඝර්ෂණ බල ගැන තිබුණේ අඩු තක්සේරුවක්. Neutral එකේ යන්න ඕන තැන්වල උඹ සෑහෙන්න රේස් නොකළා නං තිබිච්චි තෙල් ටික උඹේ ඔය කියන ගමන යන්න ඇති වෙන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් උඹ යන්න පටන් ගත්තු දිශානතිය දිගේ උඹ දිගටම ගියානං ඒ වෙනකං අවුරුදු 6 ක් අපේ ඉස්කෝලේ උඹ තියාගෙන හිටපු නම damage වෙන්න හොඳටම ඉඩ තිබුණා මචං. උඹට මතක ඇතිනෙ විරාජෙයත් කැපිලා පේන්න දවසක් ගිහානයත් එක්ක ඉස්කෝලෙ වෙලාවෙදි ගමනක් ගිහිල්ලා මාට්ටු වෙලා වෙන්න ගිය සීන් එක.

    ReplyDelete
  8. මෙ කතාව කෙල්ල කැමතියි කියලා ඉවර උනානම් හොඳයි ...........

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...