Monday, November 24, 2014

මේ දවස් වල මොකද වෙන්නේ...!!!

   
තින්, කොහොමද...? ආ.....! ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ... ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ. ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා. ඒත්, ලියන්න වුනේ නෑ... අනේ මන්දා. සමහරු තරහත් ඇති... දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු...



ලියන්න පුරුදුවෙලා හිටි අතකට නොලියා ඉන්න එක වගේම - ලිය ලියා ඉඳලා, නවත්තලා, ආයෙත් ලියන එකත් එක වගේ අමාරු වැඩක්. මටත් ඒ අමාරුව එහෙමම දැනෙනවා. ලියන්න ඕනේ කියලා හිතුවට ලියවෙන්නේ නෑ වගේ...

මේ බ්ලොග් එක ඇතුලේ ටෙක්නිකල් පෝස්ට් නම් ඕන තරම් ඔයාලා කියවලා ඇති. ඒත්, ඉස්සරහට නම් එහෙම දේවල් පළ වෙන්නේ නැති වෙයි. ඒ කිව්වේ බ්ලොග් එකේ පළවුනු ලිපි ටිකවත් නැති වෙයි කියලා නම් නෙවේ - බ්ලොග් එක ටිකක් වෙනස් වෙයි කියලා...

මම ආයෙමත් ලියනවා... හැබැයි, වෙනස් විදියකට...

ඔක්කෝටම කලින් කියන්නම ඕනේ... මේ ලියලා තියෙන ඒවා බලන්න, කියවන්න අප්පිරියයි වගේ නම්, හොඳ ළමයි වගේ මේ මැද ටික අතෑරලා, පෝස්ට් එකේ අන්තිම ඡේද දෙකවත් කියවලා යන්න...
හරි... මට ලියන්න පුළුවන් ද ? මං හිතනවා පුලුවන් කියලා... මං දන්නෑ බලන අයට, කියවන අයටත් එහෙමම දැනෙනවද කියලා... ඒත් මං හිතන්නේ හිතට හරියි කියලා හිතෙන දේ කරන්න ඕනේ කියලා... ඉතින් මම ලියනවා...

හරි ඉතින්... ලියනවාම කියමුකෝ... මොනවද මං ලියන්නේ... මොනවා හරි ලියනවා... හිතට එන හැම දේම ලියනවා... එතකොට කියවන්න වෙන්නේ වල්පල් ද ? අනේ මන්දා...!
බයිලා ඇති... අපි යමු...


* * * * *


ජීවිතේ මහ පුදුමාකාරයි...! ඔය ටික කියපු පළමුවැනියා මම නෙවෙයි... ඒ වගේම අන්තිමයත් මම වෙන්නෑ කියලා ෂුවර්... පුදුමයි කියන්නේ ඇයි ? පුදුම නිසා... අපි හිතන් ඉන්නේ මොනවද - ඒ හැමදේම, ඒ විදියටම වෙන්නේ නම් නෑ... ඉතින් දැන් හිතන්න එපා මේකාට ජීවිතේ කලකිරිලා පිස්සුවෙන් දොඩවනවා කියලා... ඇත්තටම කියන්නේ, ජීවිතේ පුදුමාකාරයි...!!!

දන්නවද...? අපේ ජීවිතේම එක්තරා ස්ක්‍රිප්ට් එකක්... ඔව්, වෙන කවුරු හරි කෙනෙක් ලියපු (ලියපු එකා කවුද මන්දා ?) තිර පිටපතක්... අපි ඒකට හරියන්න රඟනවා. කවදාවත් එහෙම හිතිලා නැද්ද... අනේ මන්දා... කාලෙත් එක්ක අපිත් සෑහෙන්න වෙනස් වෙනවා. අත්දැකීම් එක්ක ජීවිතේ දිහා වෙනස් විදියට, ගැඹුරු විදියට දකින්න පුලුවන් වෙනවා. මටත් ඒක පොදුයි. ඉතින් මේ කියන ඒවා මීට කලින් කිව්වේ නැතිය - මේකා දැන් හොඳටම වෙනස් ය කියලා කියන්න නම් ඔට්ටු නෑ... මොකද, පරක්කු වෙලා හරි අපි කාටත් ඔය ටික තේරුම් යන නිසා.

බලාපොරොත්තු...! ලස්සන වචනයක්... ඒක ඇහුවත් නිකන් හරිම cute ගතියක් එනවා, නේද ? ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු. ඒත් ඒක එහෙමද ? බලාපොරොත්තුවත් නැතිව ජීවත් වෙන්න බැරිද ? ඒ කියන්නේ උපන්නට වැනෙනවා වගේ ඔහේ ජීවත් වෙන එක නෙවෙයි. මට හිතෙන්නේ බලාපොරොත්තුවක් කියන්නෙත් එක්තරා ආශාවක්, තෘෂ්ණාවක්... බලාපොරොත්තු උඩ ජීවත් වෙන එක හරිම භයානකයි. මොකද, එක බලාපොරොත්තුවක් බිඳුනොත්, ජීවිතේ ස්ක්‍රිප්ට් එකත් සෑහෙන්න වෙනස් වෙන නිසා...


* * * * *


අවුරුදු 20 දී මවාගත්තු ලෝකය, අවුරුදු 30 දී සැබෑ කරගන්නවා නම් එයා ඇත්තටම වාසනාවන්තයි. අපිට කියන්න පුළුවන් එයා වීරියවන්තයි, ධෛර්යයවන්තයි, ඥානවන්තයි, උත්සාහවන්තයි කියලත්. ඒත්, වාසනාව කියන්නේ මොකක්ද ? අපේ බලාපොරොත්තුවක් ඉටුවුනොත් අපි වාසනාවන්තයි. හැබැයි නොවුනොත් ? එතකොට අපි අවාසනාවන්ත ද ? කවුද දන්නේ... ඔව්වා ඔක්කොම අර කිව්ව ස්ක්‍රිප්ට් එක තමයි.

මේ අවුරුදු 30 ක ජීවිතේදී දැන් මට හිතෙනවා මම දන්නවා, තේරෙනවා කියලා... මම පරිණතයි කියලා. ඇයි ඒ ? ආපස්සට හැරිලා බලද්දී මගේම ගොන්කම් මටම තේරෙන නිසා... ඒ මගේම ගොන්කම් වලට මටම හිනාවෙන්න පුලුවන් නිසා. ඒත් මම පරිනත ද ? නෑ... අවුරුදු 60 දී මම මේ පෝස්ට් එක බලද්දී හිතෙයි ‘අවුරුදු 30 දී හිතන් ඉඳලා තියෙන්නේ ඔක්කොම දන්නවා...' කියලයි. ඒ වුනත් මට හිතෙනවා මටත් දැන් යන්තමට හරි ස්ක්‍රිප්ට් එක කියවගන්න පුලුවන් කියලා... මට බාල පරම්පරාවක එකෙක්ට දෙයක් කියලා දෙන්න තරම් මට තේරුමක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම සියල්ල දත් ද ? අනේ නෑ... මම දන්නවා... හැබැයි, තව ගොඩාක් දැන ගන්නත් තියෙනවා...

ඉතින්, ඇයි මේ අමුතු විදියට ලියන්නේ...

මුකුත් නෑ, නිකන්... හිතුනා - ලිව්වා...


* * * * *


ජීවිතේ කොන්වලින් අල්ලගන්නැතුව මැද්දෙන් අල්ලගත්තම ලේසියි. ඒ කිව්වේ මැද මාවතේ ඉන්න එකට. ලැබුනයි කියලා ඔළුව උදුම්ම ගන්නවත්, නොලැබුණා කියලා ඔළුව හංගාගන්නවත් ඕනේ නෑ. හැමදාම එක විදියට ඔළුව කෙලින් තියාගෙන ඉන්නයි ඕනේ... 'අනේ මට නෑනේ...' කියලා දුක්වෙවී හිටියොත් ජීවිතේ අපරාදේ නේද... නොලැබුනු දේට, නොලැබෙන දේට පසුතැවිලි වෙලා වැඩක් නෑ... මුකුත්ම නැති වුනත් කමක් නෑ... කිසිම දෙයක්, කිසිම කෙනෙක් නැතිව ගියත් කමක් නෑ... සමහර විට, ඔයාට ඕනෙම දේ - ඔයා ආසම දේ - ඔයා බලාපොරොත්තු පොදි බැද ගෙන හිටිය දේම ඔයාට සදහටම නැතිවෙයි... කමක් නෑ... තමන්ට තමන් නැති කරගන්න එපා... එහෙම වුනොත් ජීවිතේ තිත්ත වෙයි...

මම වැඩියෙන්ම ආදරේ මට... මොකද මගේ ඇතුලේ ඉන්න 'මම' නිසා තමයි මම මේ තරමින් ජීවත් වෙන්නේ... මම කවදාවත් මට වැටෙන්න දෙන්නේ නෑ. මට පැතූ දේ ලැබුනේ නෑ කියලා මං දුක් නොවුනා නෙවෙයි. අවුරුදු 16-17 කාලේ ඉඳලා මම පතාපු ලෝකයක් තිබුණා... හැබැයි ඒක සැබෑ ලෝකේදී එහෙමම මැවුනේ නෑ. එහෙම හීන ලෝක හදන එක හොඳයි - හැබැයි හීනෙන් ඇහැරුනාම පොලොවේ පය ගහලා ඉන්න පුලුවන් නම් විතරයි. එහෙම බැරි වුනොත් වෙන්නේ හැමදාම පාවී පාවී ඉන්න තමයි...

මැද මාවත - මධ්‍යම ප්‍රතිපදාව... ඒක තමයි පාර... ඇත්තටම කිව්වොත් පොඩිම කාලේ ඉඳන්, යාන්තම් තේරෙන කාලේ ඉඳන්ම මගේ ජීවිතේ හිස්තැන් ගොඩායි... ඒ කිව්වේ නොලැබීම්...! සාමාන්‍යතා ගොඩාක් අතරින් එක් අසාමාන්‍යතාවයක් කැපිලා පේනවා. ඒ වගේ අසාමාන්‍ය නොලැබීම් මටත් තිබුණා. තාමත් තියෙනවා.

නොලැබීම් නම් දරාගන්න පුලුවන්... අමාරුම දේ තමයි වැටෙන එක... හරියටම කිව්වොත් වට්ටන එක. නැගිටින්න ට්‍රයි කරද්දී, ෆුල් ගේම ගහද්දී, බොක්කෙන්ම කට්ට කද්දී කකුලෙන් ඇදලා ආයෙත් වට්ටන එක...!
මමත් නැගිටින්න ගොඩාක් ට්‍රයි කරනවා... ඒත්, අඩියක් නැග්ගොත් දෙකක් පස්සට අදිනවා... කවුද අදින්නේ කියලා මං දන්නෑ... මං හිතන්නේ ඒකත් ස්ක්‍රිප්ට් එකේ ලියැවිලා තියෙන විදිය වෙන්නැති. මම නැගිටින්න ඕනේ මට ඕනා වෙලාවට, මට ඕනා විදියට නෙවෙයි - ස්ක්‍රිප්ට් එකට ඕනා විදියට වෙන්නැති...!

මට නැගිටින්න පුලුවන්... ඒ හයිය මට තියෙනවා... ඒත් මම දන්නෑ මොකක්ද වැරැද්ද කියලා... ට්‍රයි කලාට නැගිටින්නම බෑ.... එකක් වරදිද්දී තව එකක් ප්ලෑන් ගහනවා... ඒත් මම තාමත් වැටිලා. හිතන්නකෝ මෙහෙම... පහනක් තියනවා... ඒකට පොල්තෙලුත් දාලා තියෙනවා... තිරේකුත් තියෙනවා... ඉතින්, ඕක පත්තු කරන්න විතරනේ තියෙන්නේ... පත්තු නොවෙන්න හේතුවක් නෑනේ... ඒ වුනත් හිතන්නකෝ ඔය පහනට පත්තු වෙන්න පුලුවන්කම තිබ්බට ගින්දර නැතුව පත්තු කරන්න බෑනේ... පහන පත්තු කරන්න යනකොට ගිනිකූර පත්තු වෙන්නෑ... යාන්තම් කට්ටක් කාලා ඒක පත්තු කරගත්තොත් තිරේ ඇවිලෙන්නෑ... තිරේ අවුලුවා ගත්තොත් ඒක වැඩිවෙලා තියෙන්නෑ - කොහේවත් නැති හුලඟක් ඇවිත් ඒ දැල්ල නිවිලා යනවා. ඉතින්, ආයෙමත් මුල ඉඳන් කට්ට කාලා පහන පත්තු කරගන්න ඕනේ...

මමත් අවුරුදු 30 ක ඉඳන් තෙල් එකතු කර කර පහන පත්තු කරන්න බලාගෙන ඉන්නවා... ඒත්, තාම දැල්ල අවුලුවා ගන්න නම් බැරිවුණා... ඉතින් මොනවා කරන්නද ? ස්ක්‍රිප්ට් එකේ තියෙන දවසකට ඒක පත්තු වෙන්නැතෑ... ඒ වෙනකල් මම ඒ වැඩේට උදව් වෙන අනෙක් දේවල් එකතු කරගන්නවා... පොල්තෙල් බැරිවුනොත් භූමිතෙල් දාලා හරි --- හෝව් හෝව්... පොල්තෙල් පහන් වලට භූමිතෙල් දාන්නේ නෑ ළමයෝ... භූමිතෙල් දාන්නේ කුප්පි වලට...! බයවෙන්න එපා... මං මැටි පහන් වලට භූමිතෙල් වක් කරන්නේ නෑ...!!!


* * * * *


හ්ම්...! ඉතින්, මොකද වෙන්නේ... මං නම් දැන් මගේ පුංචි ෂොප් එකේ තනියම... වැහි කළුවර දිහා බලාගෙන, පොද වැස්සක සිරි සිරිය අහගෙන මේ අකුරු ටික කොටනවා. මේ දවස් වල ජීවිතේ හරි වෙනස් වෙලා... හිතුවේ නැති විදියට, හිතුවේ නැති මොහොතක, මීට මාස තුනකට විතර කලින් මමත් පුංචි ව්‍යාපාරිකයෙක් වුනා. ටෙක්ස්ටයිල් ෂොප් එකක් කරනවා පොඩියට... ඒ කිව්වේ මේ, නිමි ඇඳුම් අලෙවි සැලක්...! :) ඒ අස්සෙන් පරිගණක සේවා සැපයීමත් කරගෙන යනවා... උදේ 9 ඉඳලා රෑ 9 වෙනකල් මේ බිත්ති හතර අස්සේ හිරවෙලා ඉඳලා දැන් ටිකක් වෙහෙසයි වගේ... ඒක නිසා ආයෙමත් ලියන්න හිතුණා. ඇත්තම කිව්වොත් දැන් මාසෙක වෙලේ ඉඳන්ම මම ලියනවා... මොනවද කියලද අහන්නේ ? මම ලියනවා නව කතාවක්... ඔව් ! ඇඩ්වෙන්චරස් ලව් ස්ටෝරි එකක්... තාම ඉවර නෑ... පිටු 190 ක් විතර ලියලා, ටයිප්සෙට් කරලා තියෙනවා... ඉතිරිය තාම ලියාගෙන යනවා... ඔව්...! ඉවර කරලා, ප්‍රින්ට් කරලා, කොහොම හරි - කොහෝ.....ම හරි පබ්ලිෂ් කරනවා...!!!

ෂොප් එකේ රාජකාරිත් එක්ක එක දිගට ලියන එක අමාරු වුනත්, ලියන්න නම් වෙලාව තියෙනවා ඇති තරම්... ඒක නිසා අවාරෙට පොල් වැටෙනවා වගේ පෝස්ට් එකක් වැටෙයි...! මගේ වැඩ එහෙමනේ... කිව්වොත් කරන්නෑ... හිතුවොත් කරන්න වෙන්නෑ... ඒක නෙවෙයි... ඔය අස්සෙම මේ දවස් වල සිංදු ඇප් එකකුත් ඩිවලොප් කරමින් පවතිනවා... වැඩි විස්තර ඒක ඉවර කරලම කියන්නම්... ආ... තව සිංදු දෙකක් හදාගෙන යනවා හිමිහිට වගේ... අපි සෙට් එක එයින් එකකට විෂුවල් කරන්න හිතේ තියන් ඉන්නේ... ඒවා ඒ විදියටම කෙරුනොත්, මියුසික් වීඩියෝ එකකුත් ඔයාලට අහන්නට, දකින්නට ලැබෙයි...!

2014 ත් ඉවර වීගෙන යන්නේ... ලබන්නේ 2015 ට. ඒක මට නම් කඩයිම් වර්ෂයක්... මොකද කියලා එතකොට කියන්නම්... ඉතින් එහෙනම්, ආයෙත් මොනවා හරි ලියන කල්... ජයවේවා...!!!






8 comments:

  1. සෑහෙන කාලෙකට පස්සේ හරි ලියන්න ආපුම එකත් වටිනවා.
    ඇත්ත.. ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. දුකයි සතුටයි අතරේ හිරවුනු දෙයක් විදිහටයි මම ජීවිතය දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු ඇවිත් ගියාට... උඹලා තාමත් කියවන එකත් සෑහෙන වටිනවා...

      Delete
  2. ජීවිතේ ගැන සෑහෙන්න දේවල් කතා කරන්න පුළුවන් ඕනනම්.. ආයෙම ලියන්න ආව එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. නිකන් හිතුනට ලිව්වා බං... තාමත් කියවන එක ගැනත් පට්ටම සතුටුයි... ජයවේවා !!!

      Delete
  3. ලස්සන පොන්ට් එකක් මට දියංකෝ. ඕක

    ReplyDelete
    Replies
    1. මගේ නෙවෙයි යාලු... මේක ගූගල් මාමලගේ නිල සිංහල ෆොන්ට් එක.

      Delete
  4. හරිම සුන්දර ඇත්තක්...
    මිනිස්සු තේරුම් ගත යුතු ඒත් තේරුම් ගන්නෙම නැති ගොඩාක් දේවල් තියෙනවා..
    Good one Ayya..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ...!!! ජයවේවා

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...