Monday, June 23, 2014

- Elon Musk නැමැති නූතන අනාගතවේදියාගේ නවතම පියවර -

ඊලොන් මස්ක් (Elon Musk)යනු කවුරුන් දැයි ඇමෙරිකානු පුරවැසියන් නම් හොඳින් දනිති. ඔහු මහා ව්‍යාපාරිකයෙකි, උපාධිධාරී ඉංජිනේරුවෙකි, නව නිර්මාණකරුවෙකි, අනාගත වේදියෙකි. මේ සියල්ලම එක්ව ගත් කල ඔහු ලෝකයේ වර්තමාන මුහුණත වෙනස් කරන යුග පුරුෂයෙක් ලෙසද සමහරුන් විසින් හඳුන්වන්නට යෙදෙයි. ඒ ඔහු විසින් දියත් කරන්නට යෙදී ඇති විප්ලවකාරී, සුපිරි ව්‍යාපෘති නිසාවෙනි.



 ඊලොන් මස්ක් මනුෂ්‍යයෙක් දැයි සිතෙන්නේ ඔහු අතගසා ඇති වැඩ කන්දරාව ගැන බැලීමේදීයි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට(ISS)භාණ්ඩ ප්‍රවාහනය කරනා SpaceX (ස්පේස්-එක්ස්) නම් අභ්‍යවකාශ සමාගම ඔහුගේය. එහි මෙහෙයුම් නැති විටදී ඔහු සුපිරි විද්‍යුත් කාර් නිපදවන ටෙස්ලා (Tesla) සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස ඛනිජ ඉන්ධනයෙන් තොර, පරිසර දූෂණයෙන් තොර විදුලි බලයෙන් දුවන කාර් රථයක් ලොවට පුද දෙන්නට සිය කාලය, ශ්‍රමය වැය කරයි. එසේම ලොව පුරා ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික මුදල් ආකාරය වූ PayPal හි සම නිර්මාතෘ වරයෙක් වන ඔහු, එය අද පවතින තත්ත්වයට පැමිණෙන බව කල්තියා හැඳින, එය වැඩිදියුණු කල පුද්ගලයායි. වේගවත් ගමනාගමන සේවාවක් සඳහා ඉදිරිපත් කළ Hyperloop සංකල්පය ද ඔහුගේය. දැන් ඔහුගේ අලූත්ම ව්‍යායාමය වී ඇත්තේ පිරිසිදු බලශක්තිය කෙරෙහියි. එ් සඳහා ඔහු ලෝකයේ විශාලතම සූර්ය කෝෂ සංකීර්ණය නිව්යෝක් හි පිහිටුවීමට සැරසෙයි.


SpaceX, Tesla යන සමාගම් මෙන්ම, සූර්ය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන SolarCity සමාගම ද ඊලොන් මස්ක් ගේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් වේ. පසුගියදා වාර්තා වූයේ SolarCity සමාගම විසින් Silevo නම් සමාගම මිලදී ගන්නට සැරසෙන බවයි. Silevo සමාගම යනු සූර්ය පැනල නිෂ්පාදනය කිරීම සහ ඊට අදාල තාක්ෂණය පිළිබඳ විශේෂීතාවයක් දිනා ඇති සමාගමකි. ඔවුන්ගේ නවතම සූර්ය කෝෂ තාක්ෂණය මගින් වැඩිම සූර්ය ශක්ති උත්පාදනයක් පෙන්වා ඇති අතර එ් නිෂ්පාදන වියදම අඩුම අගයක පවත්වා ගනිමින් වීම ද විශේෂත්වයකි.
 Silevo වැනි සුපිරි තාක්ෂණික සමාගමක් ඊලොක් මස්ක් යටතට පත්වීම වැදගත් හේතුවක් වන්නේ, ඔහු මේ වන විටත් නිව්යෝක් බලාධිකාරිය සමගින් සුවිසල් සූර්ය කෝෂ සංකීර්ණයක් ඉදි කිරීමට සාකච්ඡා කරමින් සිටින නිසායි. මේ ගැන මස්ක් ගේ මුවින් ම පවසා ඇති පරිදි : "ගිගාවොට් 1 ක් ඉක්මවා යන ධාරිතාවයක් මීලඟ වසර දෙක ඇතුළත ලබා ගැනීමට අපි ඉලක්ක කරනවා... මෙය ලෝකයේ මෙතෙක් පිහිටවූ විශාලතම සූර්ය කෝෂ නිෂ්පාදනාගාරය වනු ඇති. එසේම ඉදිරි කාලයේදී තවත් විශාල නිෂ්පාදන ධාරිතාවයන් ලබාගත හැකි සුවිසල් නිෂ්පාදනාගාර බිහි කිරීමට අපට හැකිවේවි... "


 සූර්ය ශක්තිය පමණක් භාවිතා කරමින් මිනිස් විදුලි බල අවශ්‍යතාවයෙන් අති බහුතරයක් පියවා ගැනීම කෙරෙහි ඊලොන් මස්ක් වඩාත් උනන්දුවක් දක්වයි. ඔහුගේ විප්ලවකාරී අදහස් කෙරෙහි බොහෝ දෙනා සරදම් සහගතව බැලූවත්, එ් අදහස් වැරදි බව ඔහුගේ පෙර ව්‍යාපෘති මගින් නැවත නැවතත් ඔප්පු කොට පෙන්වා තිබේ. අභ්‍යවකාශ ප්‍රවාහනයට එක්වූ පළමු පෞද්ගලික සමාගම ලෙසින්ද, තනිකරම විදුලි බලයෙන් ධාවනය කළ හැකි අනාගතවේදී ප්‍රවාහන ක්‍රමයක් වැඩි දියුණු කරමින් ද ඔහු විසින් පෙන්වා ඇති එ් අභිප්‍රායයන්, නව, පිරිසිදු බල ශක්ති ප්‍රභවයක් කෙරෙහි ද එ් ආකාරයෙන්ම සාර්ථක වේවායි යන්න අපේ පැතුමයි. ඒ, ඔහුගේ වෙනත් සොයාගැනීම් මෙන්ම මේ නව ව්‍යාපෘතියෙන් ද, අපේ ලෝක මාතාවට බොහෝ සෙත සැලසෙන නිසාවෙනි...





9 comments:

  1. අහඹු ලෙස මුන ගැහුනු මේ බ්ලොගය, නඩත්තු කරන ඔබට ඔබට තූති.ඔබ ලියන රටාව කියවන්නට උනන්දු කරවනවා.

    ReplyDelete
  2. අද ලෝකයට අවැසි මෙවැනි මිනිසුන් තමා. ඔහු ගැන දැනුවත් කළාට උඹට පින්..

    කාලෙකින් දකින්න ලැබීම බොහොම සතුටටට කාරණයක්.. බ්ලොග් ලෝකයේ තිබියම යුතු මෙවැනි වටිනා අඩවි යාවත්කාලීන් නොවීම කණගාටුවට කරුනක්..

    ReplyDelete
    Replies
    1. //ඔහු ගැන දැනුවත් කළාට උඹට පින්//
      tech පෝස්ට් එකකට උඹ හොඳක් කිව්වාමද මන්දා ???

      //යාවත්කාලීන් නොවීම කණගාටුවට කරුනක්//
      කනට ගැහුවා වගේ ඔහොම කියන්නෙපා සෙන්නා සහෝ... :(

      තාමත් මේ බ්ලොග් එක කියවනවට උඹටත් බොහොම පින් !

      Delete
    2. මේ බ්ලොග් කියවන්නැතුව වෙන මොනා කියවන්නද බන්ස් ? මොකෝ පහු ගිය ටිකේ අදෘශමාන වෙලා හිටියේ ?

      Delete
  3. s.sameera= niyama lipiyak digatama mewage lipi danna aniwa balanawa

    ReplyDelete
  4. එකම නොනැසෙන බලශක්ති ප්‍රභවය සූර්යයා. ඉතින් මෙවැනි කාර්යයකට අතගහන්නේ මොළයක් වගේම හදවතකුත් ඇති මිනිසෙක් තමා. මේ ඛනිජ තෙල් ළිං ටික හිඳිලා ගියපු දවසට මොනවා කරන්නද කියලා ඔය සරදම් කරන කිසිම කෙනෙක් හිතන්නේ නැතුව ඇති.

    ReplyDelete
  5. අහ්..... ඊලොන් කොලුවා...... මුගේ කම්පනි එකේ හදපු ටෙස්ල කාර් එක නං සුප්ප...

    දැනුවත් කිරිමී ගැන සන්තෝසයි....ජය වේවා...

    ReplyDelete
  6. Me vage pudgalayan gena danuvath karana ekath godak hodai jaya veva!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...