Sunday, August 25, 2013

- පරිගණක මවුසයේ නිර්මාතෘ ඩග්ලස් එංගල්බර්ට් ලොවෙන් සමුගනී -

මෙම ලිපිය කියවන ඔබේ අත මේ මොහොතේත් රැඳී ඇත්තේ මීට වසර 40 කට පෙර ඔහු විසින් නිපදවන ලද ඒ අපූරු නිර්මාණය මතයි. ඔබේ අත්ලට යටින් ඇති පරිගණක මවුසයේ නිර්මාතෘවරයා ඔහුයි. ලෝකය වෙනස් කළ තාක්ෂණික සංකල්ප රැසක් ලොවට ඉදිරිපත් කලේ ඔහුයි. ඩග්ලස් එංගල්බර්ට් නම් වූ මේ අසහාය පරිගණක පුරෝගාමියා වසර 88 ක් වූ සිය ජීවන කාලය නිමා කොට පසුගිය ජූලි 02 වැනි දා සදහටම සිය දෑස් පියා ගත් වග පාඨක ඔබට දැන්විය යුතුව තිබේ.


ඩග්ලස් එංගල්බර්ට් යනු හුදෙක් මවුසයේ නිර්මාතෘ පමණක් නොවේ. ඊ-මේල් පණිවුඩකරණය, ලිපි සැකසුම් මෘදුකාංග හෙවත් word processing programs හා අන්තර්ජාලය යන සංකල්ප වල මූලික අදහස ද ඔහුගේය. මේ පුරෝගාමී පරිගණකවේදියා පසුගිය ජූලි 02 වැනිදා රාත්‍රී නින්දේදීම අවසන් හුස්ම හෙලා ඇති බව ඔහුගේ දියණිය වන ක්‍රිස්ටිනා එංගල්බර්ට් විසින් ලෝකයට දැනුම් දෙන්නට යෙදිණි. එංගල්බර්ට් කාලයක් දිස්සේම අයහපත් සෞඛ්‍යය තත්ත්වයෙන් පසුවුනු අතර ඔහුගේ මරණය ස්වාභාවිකව, වයස්ගත වීම නිසා සිදුවූවකි.

1960 දශකයේ මුල් කාලයේදී එංගල්බර්ට් විසින් පරිගණක මවුසයේ පළමු ආකෘතිය නිපදවන ලදී. කෙසේ වුවත් එයට හිමි පේටන්ට් සහතිකය ලබාගන්නට ඔහුට හැකිවන්නේ තවත් වසර 17 කට පමණ පසුවයි. ඒ හා හේතු වූයේ 60-70 දශකවලදී පිටස්තරව ඈඳූ උපාංගයකින් පරිගණකය පාලනය කිරීම යන්න දුරස්ථ අදහසක් වීමයි. පැහැදිලිවම එංගල්බර්ට් ගේ මවුසය එය නිර්මාණය කළ කාලයට එහා ගිය නිර්මාණයක් වූ අතර 1984 දී ඇපල් සමාගමේ මැකින්ටොෂ් පරිගණකය සමග එක්ව පැමිණෙන තුරු පරිගණක මවුසය ලෝකයේ ජනප්‍රිය වූයේ නැත.


එංගල්බර්ට් ගේ පළමු මවුසය ලී පෙට්ටියක් ඇතුළත ඇටවූ ලෝහ රෝද දෙකක් පමණි. ඒ වන විට එම ලී පෙට්ටිය හා රෝද දෙකෙන් ගත හැකි ප්‍රයෝජන ගැන ලෝකයා දැන නොසිටි නිසා ඔහුගේ සංකල්පය පරිගණක ලෝකයේ ජනප්‍රිය නොවීය. ඒ නිසාම පේටන්ට් හිමිකම ලැබෙන විට මවුසය නිර්මාණයේ බුද්ධිමය හිමිකමෙන් වත්කමක් උපයා ගැනීමට එංගල්බර්ට් ට හැකි වූයේ නැත. එසේ හැකි වූවා නම් මෙතෙක් ලොව පුරා විකිණී ඇති බිලියන ගණනක් වන මවුස් වලින් එංගල්බර්ට් හට විශාල ආදායමක් උපයාගත හැකිව තිබිණි.


1925 ජනවාරි 30 වැනි දින උපත ලද එංගල්බර්ට්, ඔරිගන් ප්‍රාන්තයේ, පෝර්ට්ලන්ඩ් ප්‍රදේශය ආසන්න කුඩා ගොවිපලක සිය කුඩා කාලය ගත කලේය. කුඩා කළ සිට ඔහුගේ අපේක්ෂා අතර වූයේ මනුෂ්‍ය බුද්ධිය වැඩි වර්ධනය කරවිය හැකි උපක්‍රම පිළිබවයි.

1968 දී පැවැත්වුනු සැන් ප්‍රැන්සිස්කෝ පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් විසින් ඉදිරිපත් කරන ලද මහජන ප්‍රදර්ශණය ඉතා විශේෂ එකකි. එහිදී ඔහු පළමු වරට මවුසය හා පරිගණක ජාලකරණය ගැන ප්‍රසිද්ධියට පත් කරන ලද අතර පරිගණක ලෝකය එයින් කැළඹීමට පත්විය. ඔහුගේ ඉදිරිපත් කිරීම අවසානයේදී සම්මේලනයේ රැස්ව සිටි පිරිස සිය අසුන් වලින් නැගිට එංගල්බර්ට් හට දිගු අත්පොලසන් ප්‍රසාදයක් ලබාදුන්නේ මේ අසහාය නිර්මාණකරුවාට කරන ගෞරවයක් වශයෙනි.


ඉහත කී පරිගණක සම්මේලනයේදී ඩග්ලස් එංගල්බර්ට් ඉදිරිපත් කරන ලද කථාවේදී එක් වැදගත් කොටසක් ඔබට ගෙනහැර දැක්විය යුතුව ඇත. මම දන්නේ නෑ ඇයි අපි ඒකට මවුසය කියන්නේ කියලා... මම සමහරුන්ගෙන් ඒ නම පිළිබව සමාව ඉල්ලා තිබෙන අවස්ථා ද එමටයි. මුලදීම ඒකට නම වැටුනේ ඔය විදියට තමයි. අපි කාටවත් ඒක වෙනස් කරන්න වුවමනාවක් තිබුනෙත් නෑ... යැයි ඔහු එහිදී පවසා තිබිණි.

ඩග්ලස් එංගල්බර්ට්  ගේ වෙනත් නිපැයුම් හා සංකල්ප අතර hypertext හෙවත් එක් වදනකින් වෙනත් ගොනුවකට පිවිසීමේ සංකල්පය, වීඩියෝ සාකච්ඡා පැවැත්වීමේ සංකල්පය යනාදිය ද වේ. එසේම තමාගේම පර්යේෂණායතනය වන Augmentation Research Center මගින් සිදුකරන ලද පර්යේෂණ මගින් ARPANet හෙවත් ලොව පළමු පරිගණක ජාලය හා අන්තර්ජාලයේ මුල් පියවර බිහි කිරීමට ද ඔහු සිය දායකත්වය ලබාදී තිබේ. 1990 දී එංගල්බර්ට් විසින් Bootstrap ආයතනය ආරම්භ කරන ලද්දේ සංකීර්ණ ගැටළු විසඳීම සහා දැනුම් සහයෝගීතාවයක් ඇති කරලීම සහායි.

කෙතරම් උසස් නිර්මාණකරුවෙක් වූවත්, පරිගණක වංශ කථාවේ යෝධ පුරුකක් වුවත් මේ අපූරු මිනිසා ඉතා නිහතමානී චරිතයක් විය. වර්ෂ 2000 දී එවකට ඇමෙරිකානු ජනාධිපති වූ බිල් ක්ලින්ටන් විසින් ඩග්ලස් එංගල්බර්ට් හට තාක්ෂණය පිළිබඳව වූ ජාතික පදක්කම පිරිනමන ලදී. ඒ පුද්ගල පරිගණක තාක්ෂණය සහා මුල් අඩිතාලම දැමීම අගය කරනු සහායි. එසේම ඊට පෙර 1997 දී Lemelson-MIT නම් ඩොලර් 500,000 ක මුදල් ත්‍යාගයක් ද ඔහුට හිමිවිය. මේ සියළු ගරු බුහුමන් ලැබුණත්, ඩග්ලස් එංගල්බර්ට් තමාට ලැබුණු ගෞරවයන් තනියම බදා නොගෙන ඒවායේ ගෞරවය සිය සගයන්ට ද ලබා දෙන්නට තරම් නිහතමානී වූයේය.

එංගල්බර්ට් ගේ  දියණිය විසින් රචිත ඔහුගේ චරිතාපදාන කෘතියේදී එංගල්බර්ට්  මෙසේ පවසා තිබේ. මම බොහෝ සංකල්පයන් මුලින්ම ලොවට ඉදිරිපත් කළ බව ඇත්තයි. නමුත් ඒවායින් බොහෝමයක්ම මා සමග වැඩ කළ කාර්ය මණ්ඩලයේ සගයන්ගේ නව අදහස් ඇසුරෙන් උපන් ඒවායි. සමහර විටෙක මා ඉදිරිපත් කළ නව සංකල්පයක් ඔවුන් විසින් මා හට විස්තර කරන තුරුම මට වටහා ගත නොහැකිවුණු අවස්ථා ද තිබිණි. ඉතින් ඇත්තෙන්ම මට ලැබෙන ගෞරවයෙන් කොටසක් නිතැතින්ම ඔවුන්ටත් හිමි විය යුතුයි...



ප්‍රකාශයෙන්ම ඔහු කෙතරම් නිරහංකාර, මනුෂ්‍ය ගතිගුණ වලින් හෙබියෙක් දැයි වටහාගත හැකි වනු ඇත. බොහෝ විට සිදුවන්නේ පරිගණක සමග වැඩ කරන පණ්ඩිතයන්සියල්ලෝමත් යන්ත්‍ර බවට පත්වී මිනිස් ගති නැතිව යෑමයි. ඒ අර්ථයෙන් බැලීමේදී ඩග්ලස් එංගල්බර්ට්  ඉතා ආදර්ශවත් පාඩමක් අපට ලබාදෙයි. අනාගත පරිගණක ලෝකයට තව තවත් නවමු අදහස් හා නිපැයුම් තිළිණ කරන්නට යලිත් වරක් ලොවට පහළ වේවායි පතමින් මේ පුරෝගාමී පරිගණක ඉංජිනේරු විශ්මකර්මයා හට ඔබේත්, මගේත් ආචාරය පුද කර සිටිමු...




13 comments:

  1. උඹ බොහොම කාලෙකින්. දැකීම සතුටක්.

    කාලෙකින් වුනත් ඇවිත් තියෙන්නෙ වටිනා විස්තරයක් එක්ක. මමනම් මෙතුමා ගැන ඇහුවමයි ඔය. ඒත් අපි එදිනෙදා පහසුව ලබන නිර්මාණයක නිර්මාතෘ ඔහු කියලා හිතෙද්දි නිකන්ම ඔහුට හිස නැවෙනවා.

    ඔහුට මොක් සුව ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. //ඒත් අපි එදිනෙදා පහසුව ලබන නිර්මාණයක නිර්මාතෘ ඔහු කියලා හිතෙද්දි නිකන්ම ඔහුට හිස නැවෙනවා//

      ඒ ගැන හිතලා තමයි බං මේ ලිපිය දැම්මේ... මොනවා වුනත් ග්‍රේට් මනුස්සයෙක් ! හුඟ කාලෙකින් තමයි ආවේ... මටම දුකයි ඒ ගැන... හ්ම් !!! ස්තුතියි සෙන්නා ප්‍රතිචාරයට... ජයවේවා !!!

      Delete
  2. ITHA WATINA LIPIYAK, AI ME SAMAHARA MAHA BLOGGERLA SATHA 50 TOPICS LIYANNE.

    ReplyDelete
    Replies
    1. //AI ME SAMAHARA MAHA BLOGGERLA SATHA 50 TOPICS LIYANNE//

      ඒ ගැන නම් මමත් දන්නෑ... හැම ජාතියෙම ලිපි තියෙන්නත් ඕනෙ නෙ. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි ඇනෝ...

      Delete
  3. හොඳ ලිපියක්. ඔය මීය කොච්චර බදාගෙන හිටියත් ඕක හදපු මනුස්සය ගැන තොරතුරු දන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් දැනගත්තනේ... ස්තුතියි ඇවිත් ගියාට සහෝ !!!

      Delete
  4. හරිම නිහතමානි මනුස්සයෙක් පාටයි..

    අද මේ තරම් පරිගණකය පහසු දෙයක් වෙලා තියෙන්නෙ ඔහු නිසා..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි බිල් ගේට්ස් ගැන දන්න තරම් වත් මේ මනුස්සයා ගැන දන්නැති එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ... අවුරුදු 50 ක් ගත වෙලත් අපි තාම පාවිච්චි කරන්නේ එංගල්බර්ට් මහත්තයා හදපු මවුසය...

      ස්තුතියි සහෝ අදහසක් කියලා ගියාට ! ජය !!!

      Delete
  5. ඔහුට පේටන්ට් ලැබුණට පස්සෙත් එයින් ආදායමක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි?

    චතුරන්ග කාලෙකින් ආපු එක ගැන බොහොම සතුටුයි. දැන් ඉතින් පොඩ්ඩියෙකුත් ඉන්න නිසා කොහොමත් වැඩ වැඩි ඇති.

    ReplyDelete
    Replies
    1. එංගල්බර්ට් ට පේටන්ට් හම්බවෙලා තියෙන්නේ අවුරුදු ගානකට පස්සේ... පේටන්ට් එකක බලය තියෙන්නේ අවුරුදු 14-15 ක් නේද ! නව නිර්මාණයක අගේ බැස්සට පස්සේ පේටන්ට් අරන් මොකටද ?

      //පොඩ්ඩියෙකුත් ඉන්න නිසා කොහොමත් වැඩ වැඩි ඇති.//
      ඒ ගැන මොකට කියනවද ! දැන් මාස 08 ක්, දඟ ගොඩක් තමා... බ්ලොග් එක පාළුවට යන නිසා මොනා හරි ලියනවා සයුරි... වැඩ ඔක්කොම කරගන්න ඕනෙනේ. ස්තුතියි ඇවිත් ගියාට, ජයවේවා !!!

      Delete
  6. මමනම් මෙයා ගැන අහලවත් තිබ්බෙ නෑ, අදමයි දැන ගත්තෙත්, ඔව්, මේ කෙනා නැත්තන් ඉතින් අද අපිට පිස්සුනෙ ඈ, වැදගත් පට්ට පෝස්ට් එකක්, ජය ජය

    http://BseTup.blogspot.com

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...