Tuesday, January 31, 2012

- අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩකාරයෝ...!!!] -


      පහුගිය සතියේ මගේ බ්ලොග් ජීවිතයට අවුරුද්දක් ගෙවුනා කියලා දන්නවානේ... මේ ලිපිය පළ කරන්නේ ඒ වෙනුවෙන්ම නොවුනත් ඊට අදාල කාරණයක් නිසායි. මේ බ්ලොග් අවකාශයේ විසිරිලා ඉන්න නොයෙකුත් විදියේ පරිශීලකයන් හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු... බතල හිටවලා අලත් ගලවපු වැඩකාරයෙක් අපි අතර ඉන්නවා කියලා ඔයාලා දන්නවද ?


මේ පහත පළ කරන ලිපිය පහුගිය සැප්තැම්බර් මාසයේ රූ පරිගණක සඟරාව වෙනුවෙන් මවිසින් සම්පාදනය කරන ලද්දක්... සුදුසුම මොහොතේ පළ කරන්න තබා ගෙන සිටි නිසයි මෙපමණ කලක් මේ ලිපිය මේ බ්ලොග් අඩවියේ පළ නොවුනේ. ඔහු අපට දුන් දේ වෙනුවෙන් යම් තරමක හෝ යුතුකමක් මා අතින් ඉටු විණි යැයි මට යම් තරමකට හෝ සතුටු වෙන්නට පුළුවන්... ළබැඳි සොයුර ! මේ අකුරු පෙළ ඔබ වෙනුවෙන්...!!!


පෘථීවිය මත භාවිතා කරන සිය ගණනක් වූ භාෂා අතුරින් සිංහල භාෂාවට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. ඒ ලොව පැරණිම භාෂා මූලයකින් එය පැවතෙන නිසායි. ඕනෑම අදහසක් ප්‍රකාශ කල හැකි, සුනම්‍ය, සුමට හා කනට ප්‍රිය භාෂාවක් වන සිංහල භාෂාව නිළ වශයෙන් භාවිතා වන්නේ ශ්‍රී ලංකාව තුළ පමණි. වර්තමානය වන විට නම් ශ්‍රී ලංකා භූමි සීමාවෙන් එපිට ලොව පුරා සෑම තැනකම පාහේ අපට සිංහල බස දැකගත හැකියි. ඒ විශ්ව ව්‍යාප්ත වූ අන්තර්ජාලය හරහායි. මුද්‍රිත සාහිත්‍ය යුගය නිමා කරමින් සයිබර් සාහිත්‍ය යුගයට පිවිස සිටින මේ මොහොතේ අනාගත ඩිජිටල් ලෝකය තුළ සිංහල භාෂාවට හිමි ස්ථානය සාදා දීම සහා අපේ තාක්ෂණවේදීන් හා නිර්මාණකරුවන් නිරන්තර උත්සාහයක යෙදෙන බව නොරහසකි.

අන්තර්ජාලය ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට හා තවත් ව්‍යාප්ත කිරීමට නම් සිංහල අකුරු රටා (Fonts) ඇතුළු වෙනත් ආදාන / ප්‍රතිදාන උපක්‍රම වැඩි දියුණු කල යුතුයි. පරිගණක ආශ්‍රිත මුද්‍රණ හා ග්‍රැෆික් නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ නම් කාලයක පටන්ම නොයෙකුත් හැඩැති අක්ෂර රටා නිර්මාණය කර තිබුණු නමුත් අන්තර්ජාලය තුලදී නම් සිංහල භාවිතය මෑතක් වන තුරුම පැවතුනේ ඉතාම ප්‍රාථමික මට්ටමකයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගම හා එක්ව සිංහල භාෂා භාවිතය වැඩි දියුණු කිරීමට ICTA ආයතනය පියවර ගත් අතර වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය සඳහා සිංහල යුනිකේත සම්මතයක් නිපදවීමට 2005 වර්ෂයේදී හැකියාව ලැබිණි. එතැන් සිට මේ දක්වා ප්‍රධාන පෙළේ මෙහෙයුම් පද්ධති සියල්ලකම මෙන්ම ප්‍රධාන වෙබ් බ්‍රවුසර සෑම එකකම සිංහල යුනිකේත සහාය ක්‍රියාත්මක වේ.

http://www.siyabas.lk/images/new_siyabas_top_banner_logo.gif

මේ ආකාරයෙන් වර්තමානය වන විට යුනිකේත සම්මතයට අනුකූලව පරිගණකය තුළ සිංහල භාෂා සහාය ක්‍රියාත්මක වන නමුත්, ශ්‍රී ලංකාවේ තවමත් අති බහුතර පරිගණක සංඛ්‍යාවක දිවෙන Windows XP මෙහෙයුම් පද්ධතිය සඳහා නිවැරදිව සිංහල පෙළ දිස්වීමට හා යතුරුකරණයට විශේෂ උපයෝගිතා මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට සිදුවේ. සිංහල යුනිකෝඩ් අක්ෂර සහිත වෙබ් අඩවියක් අපේ පරිගණකයක් තුළ නිවැරදිව දර්ශනය වීමට නම් මෙම මෘදුකාංගය නිවැරදිව පිහිටුවා ගත යුතුයි. පරිගණක තාක්ෂණය ගැන එතරම් දැනුමක් නොමැති පරිශීලකයින් මේ පියවර අනුගමනය කිරීම සඳහා එතරම් උනන්දුවක් නොදැක්වීම හේතු කොට ගෙන අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය ග්‍රහණය කර ගැනීමට සැලකිය යුතු පිරිසකට අවස්ථාව අහිමි වේ.

අන්තර්ජාල පරිශීලකයාගේ මෙහෙයුම් පද්ධතියෙන් (Windows/ Mac/ Linux) හෝ වෙබ් බ්‍රව්සරයෙන් (Chrome/ Firefox / Internet Explorer) ස්වායත්තව ඕනෑම පරිගණකයකින් සිංහල යුනිකෝඩ් අක්ෂර නැරඹිය හැකි SETTdeco යුනිකේත විකේතකය (Unicode Decoder) නිර්මාණය වන්නේ ඉහත ගැටළුවට පිළියමක් වශයෙනි. වෙබ් අඩවියක අන්තර්ගත කළ හැකි විජෙට්ටුවක් (කේත කොටසක්) හරහා ලැඛෙන වෙබ් සේවාවක් (web service) ලෙස නිර්මාණය කර ඇති මෙය, සිංහල යුනිකෝඩ් භාවිතා කරන ඕනෑම වෙබ් අඩවියකට හෝ වෙබ් අන්තර්ගතයකට යෙදිය හැකියි. මෙම විකේතකය සහිත අඩවියකට යම් පාඨකයෙක් පිවිසෙන විටම පාඨකයාගේ පරිගණකයේ සිංහල යුනිකේත සහාය ඇති-නැති බව SETTdeco මගින් පරීක්ෂා කරනු ලබයි. සිංහල යුනිකේත සහාය ඇත්නම් මෙමඟින් කිසිඳු බලපෑමක් සිදුනොවන අතර, සිංහල යුනිකේත සහාය නොමැති නම් SETTdeco මගින් සිංහල අන්තර්ගතය නිසි ලෙස දර්ශණය වන ලෙස සකසා පාඨකයා හට ඉදිරිපත් කරයි. ඊට අමතරව පරිශීලකයාගේ පරිගණකයේ සිංහල යුනිකේත සහාය නොමැති බව දැනුම් දී එය ස්ථාපනය කරගැනීමටද මඟ පෙන්වයි. මෙහිදී සිංහල අන්තර්ගතය කියවීම සඳහා පාඨකයා විසින් කිසිදු අමතර වෙහෙසක් දැරිය යුතු නැත.


මේ වටිනා විජෙට්ටුව නිර්මාණය කර ඇත්තේ මොරටුව සරසවියේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂකයෙකු වන ධනික පෙරේරා විසිනි. පෞද්ගලික බ්ලොග් අඩවි සහ වාණිජ්‍යමය නොවන (Non-Commercial) වෙබ් අඩවි සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි මෙම විජෙට්ටුව http://settdeco.bhasha.lk/si/index.html යන ලිපිනයෙන් ලබාගත හැකි අතර අවශ්‍ය උපදෙස් සියල්ල එහි ඇතුළත් කර ඇත. අන්තර්ජාලය තුළ සිංහල භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන සියල්ලන්ටම, විශේෂයෙන්ම සිංහල බ්ලොග් රචකයින් හට මෙම SETTdeco යුනිකේත විකේතකය නිසා සිය නිර්මාණ අති බහුතර සිංහල පාඨක පිරිසක් අතරට ගෙන යාමට අවස්ථාව සැලසී ඇත.

මෙහි නිර්මාතෘ ධනික පෙරේරා විසින් මීට පෙරද සිංහල භාෂා නිර්මාණ කීපයක් සිදුකර ඇත. ඒ අතරින් 2011 වර්ෂයේ මුල් භාගයේදී ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා නිර්මාණය SETT Browser නම් සිංහල / දෙමළ ජංගම වෙබ් බ්‍රව්සරය සඳහා පසුගියදා ඉන්දියාවේදී mBillionth ජංගම දුරකථන යෙදුම්පිළිබඳ දකුණු ආසියානු සම්මානයද හිමිකරගන්නා ලදී (Winner of mBillionth South Asian Mobile Awards 2011)' ඔහු එම සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානයට පාත්‍ර වූ ලාබාලතම හා එකම ඒක-පුද්ගල නිර්මාණකරුවාද විය.


සිංහලෙන් ජීව විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනය සඳහා ඔහු විසින් 2007 වර්ෂයේදී නිර්මාණය කළ මානවයානම් පරිගණක වැඩසටහන සඳහාද එම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවති යොවුන් පරිගණක විද්‍යාඥයා 2007 (Young Computer Scientist 2007) තරඟාවලියේ රිදී සම්මානය හිමිකරගන්නා ලදී. පසුකාලීනව 2010 වර්ෂයේදී එම නිර්මාණය ඔහු විසින් සිංහල ජීව-විද්‍යාත්මක විකි අඩවියක් (http://manavaya.schoolnet.lk) ලෙසද එළි දක්වන ලද අතර එය ඔහුගේ නිර්මාණ අතරින් සුවිශේෂි වේ.

එමෙන්ම SMS, Chat, Web ආදී සියළුම සන්නිවේදන ආකාරයන්ගෙන් සේවාව ලබාගත හැකි සිංහල-ඉංග්‍රීසි බහුවිධි ශබ්දකෝෂයක් ද, ඔහු විසින් මෑතකදී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාෂා සේවා සහ විසඳුම් සැපයුම් ආයතනය වන භාෂා(http://www.bhasha.lk) යටතේ දැන් එළි දක්වා තිබේ.


අනාගතයේදී දේශීය භාෂා සේවාවන් සහ විසඳුම් ලාංකීය ප්‍රජාවට ලබාදීම සඳහා සිය සේවා දායකත්වය සැපයීමට මේ විස්මිත නිර්මාණකරුවා බලාපොරොත්තුවෙන් පසුවේ. තමා උපන් රටට, සිංහල භාෂාවට සිය යුතුකම ඉටු කිරීම උදෙසා නුවණ මෙහෙයවන මෙවන් නිර්මාණකරුවන් අපේ ජාතික සම්පත් ලෙස සැලකිය හැකියි. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස අනාගතයේ දී රටට දායාද වන ධනික පෙරේරා තරුණ නිර්මාණකරුවාගෙන් සිංහල භාෂාවේ අනාගත ප්‍රගමනයට තව තවත් හරවත් නිර්මාණ බිහිවනු ඇතැයි යන්න අපේ ප්‍රාර්ථනයයි.

_____________________________________________________

ධනික සහෝ ගැන වැඩි විස්තර :

ධනිකගේ සිතුවිලි (පෞද්ගලික බ්ලොගය) : http://dhanikauom.blogspot.com
භාෂා නිළ වෙබ් අඩවිය : http://www.bhasha.lk
ඊ-මේල් ලිපිනය : dhanika@bhasha.lk

පසුවදන :
ධනික සහෝ ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති... ඒත් මෑතකදී ක්ෂේත්‍රයට ආපු හැමෝටමත් දැනගන්න එක්කයි මේ ලිපිය මේ විදියට පල කලේ...

මේ ලිපිය ලියලා ඉවරවෙලා ධනික සහෝට යැව්වා අඩුපාඩු තියේ නම් කියන්න කියලා... වෙබ් සබැඳි (Links) කීපයක් වෙනස් කරපු එක ඇරෙන්න වෙන මොනවත් වෙනස් කරලා තිබුනේ නෑ.

සහෝ ලියපු එක මම වෙනස් කරන්න ඕනේ නෑනේ. මගේ වචන වලින්ම මම මං ගැන කියා ගන්නවට වඩා සහෝට පේන විදියට ලියලා තියෙන එක තමා හොඳ...

තමා වෙනුවෙන් වැඩිපුර වචනයක්වත් ධනික සහෝ අතින් ඔය ලිපියට එකතුවෙලා නෑ. කොච්චර වැඩකාරයෙක් වුනත්, උදව්වක් ඉල්ලපු වෙලාවට... නැත්නම් මේල් එකක්, චැට් එකක් දාපු වෙලාවට උදව් කරන්න, කථා කරන්න පැකිලෙන්නේ නැති චරිතයක්... ඒ නිහතමානීකම සහ මනුස්සකමට තමයි මම ගරු කරන්නේ.

ලිපිය ලියලා සඟරාවෙත් පළවුනා... සැප්තැම්බර් කියන්නෙ සාහිත්‍ය මාසය... අපේ සඟරාව වෙනුවෙනුත් අලෙවි ප්‍රදර්ශණ කුටියක් BMICH හි පැවැත්වුනා. ධනික සහෝත් ප්‍රදර්ශණය බලන්න ඇවිත් ඉන්නවා අහම්බෙන් මගේ ඇහැ ගැටුනේ. අපේ කුටිය පහුවුනාට පස්සෙයි දුටුවේ. ලිපිය පළවුනු සඟරාව ධනික සහෝගේ අතටම දෙන්න වුවමනාව තිබුනත් එදා ඒ අවස්ථාව මග හැරුනා. පසුව තැපැල් කරලා එවන්න කියලා ධනික සහෝ කිව්වත් ප්‍රදර්ශණය අතර තුර අදාල මාසයේ සියළු සඟරා අවසන් වෙලා...! අවසානයේදී ධනික සහෝට දෙන්න වුනේ සඟරාවේ CD තැටිය වෙනුවෙන් ඒ ලිපිය යොදා සැකසූ .swf ගොනුව පමණයි... ඔයාලාටත් කැමති නම් ඒ ගොනුව මෙතනින් බාගන්න පුළුවන්.

ධනික සහෝ තාම ගමන පටන් ගත්තා විතරයි. තව ගොඩාක් දුර යන්න තියෙනවා. ඒ දුර යන්න ඔයාලා හැමෝගෙම සහාය ධනික සහෝට ලැබෙන්න ඕනේ...!

මට බ්ලොග් ලෝකෙට පාර පෙන්වූ සොයුර ! 
මේ ඔබට පිදෙන ගුරු පඬුරයි...!!!





28 comments:

  1. එල එල ඇත්තටම නියම වැඩ්ඩෙක්.ජාතිය වෙනුවෙන් තව තවත් මෙවැනි දේවල් කිරීමට ඔබට අදහස් පහල වේවායි පතමි.

    ReplyDelete
  2. නියම දක්ෂයෙක්. ඉදිරි ගමනට සුභ පැතුම්. ඒ වගේම මේ වටිනා සටහනටත් බොහොම ස්තුතියි. අගය කළ යුත්තේ, කතා කළ යුත්තේ මෙවැන්නන් ගැන තමයි.

    ReplyDelete
  3. ධනික.. ඔබ සැබවින්ම රටට සම්පතක්.. ඔබගේ හැකියාවෙන් තව තවත් සුපිරි නිපැයුම් ඉදිරියේදී එළි දැක්වීමට යෝධ බල, යෝධ ශක්තිය පතමි !!

    ඔබට සදා ජය !!

    ReplyDelete
  4. රියල් වැඩකරුවෙක් තමා , බොක්කෙන්ම සුභ පැතුම් ධනික සහෝට

    ReplyDelete
  5. ධනික නිසා තමයි මං බ්ලොග්ස් කියවන්න පටන්ගත්තේ. ඒ 2009දි. ඒ කාලෙදිම දැනගත්තා මොහු වැඩකාරයෙක් බව. ( ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts).
    ඔබට ජය මිත්‍රයා.. ඉදිරියටම යමු.

    ReplyDelete
  6. හැබෑවටම දක්ෂයෙක්.. හදවතින්ම සුභ පටනවා ඉදිරි ගමනට..

    ReplyDelete
  7. නියමයි ..ධනික ඔබට ස්තුතියි . අපට ආඩම්බරයි ඔබ ගැන

    චතුරංග
    බ්ලොග් කලාවේ ඉදිරි ගමනට ඔබටත් සුබ පැතුම් හද පත්ලෙන්ම

    ReplyDelete
  8. හොඳ වැඩක් සුබ පැතුම්

    ReplyDelete
  9. ධනික සහෝ ගැන ආඩම්බරයි...සුබ අනාගතයක් කියා පතනවා...

    ReplyDelete
  10. අපේ රටට ඕන මේ වගේ මිනිස්සු තමයි...නැත්නම් සිංහල භාෂාව අන්තර්ජාලයේ අනාථ වෙනවා.

    ජයෙන් ...ජය....!! ඔබ දෙදෙනාටම...

    ReplyDelete
  11. උණුසුම් සුබ පැතුම් ධනික සහෝදරයා....!!

    ReplyDelete
  12. බොහොම ස්තූතියි සහෝ රූ පරිගණක සඟරාවට මං ගැන මෙවැනි ලිපියක් ලිව්වට! තමන්ගෙම වයස් සීමාවෙ තමන් එක්කම එකට ඉන්න වෙනත් කෙනෙක් ගැන මෙමැනි ලිපියක් ලියන්නට තරම් නිහතමානී වුනු ඔබත් සැබෑවටම අගය කළ යුතු පුද්ගලයෙක් ‍සහෝ. මොකද අද සමාජයේ බොහෝ අය වෙනත් කෙනෙකුගේ හොඳක් අන් අය සමඟ බෙදාගැනීමට තරම් නිහතමානී නෑ.

    පසුවදන කියවද්දි නම් දෑසුත් තෙත් වුනා. එදා ඔබ මට වැරදි බලන්න එවපු ලිපිය මං පම්පෝරි ගහලා මට ඕන විදියට වෙනස් කළා නම්, අද මම ඔබේ ඔය පසුවදන කියවලා ලබපු අප්‍රමාණ සතුට කවදාවත්ම ලබන්න බැරි වෙයි සහෝ. ඔබ‍ට ස්තූතියි එදත් අදත් ඔබේ වචනෙන්ම මං ගැන ලිව්වට!

    ප්‍රතිචාර වලින් මට සුභපතමු හැමෝන්ටමත් බොහොමත්ම ස්තූතියි! ඔයාලා හැමෝගෙම ප්‍රතිචාර මට ලොකුම ලොකු ශක්තියක්! :)

    ReplyDelete
  13. සුබ පැතුම් ධනික සහෝදරයා....!!!!!! සුබ අනාගතයක්..!!!!!

    ReplyDelete
  14. සුබ පැතුම් ධනික සහෝදරයා....!!!!!! සුබ අනාගතයක්..!!!!!

    ReplyDelete
  15. සුබ පැතුම් ධනික සහෝදරයා

    ReplyDelete
  16. එළ එළ නියම වැඩකාරයෙක්....ආඩම්බරයි සහෝ.....

    ReplyDelete
  17. ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මගේ සුභ පැතුම් සහෝදරයා.....

    ReplyDelete
  18. රටකට වෙනින් යත හැක අන් රට දියත
    ඔවුනට වෙනත් පිරිසක් වෙනතක සිටිත
    අප හට අපම මිස වෙන කිසිවෙකුත් නැත
    මෙම රට හැර යතොත් ඒ පරලොවම වෙත

    හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
    ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?

    අමාවතුර කළ බස යුතු රුවිනි
    කව්සිළුමිණ කළ බස ගුණ ගිහිනි
    ජාතක පොත කළ බස නොම පැරණී
    සැලළිහිණය කළ බස ඔබ රමණී

    හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
    ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?

    මුළු ලොව කැටි කර හඬවන වෙණ තත
    නව විදුනැණ වුව වගුරන තුඩ පත
    හෙල බස හෙල බස ඔබ මගෙ හදවත
    මට මගෙ උරුමය පෙන්වන කැඩපත

    මම කැමතිම ගීයක්!!! මේ.... ඔබට සුබ පැතුම්

    ReplyDelete
  19. මම ධනිකට පුද්ගලිකව චැට් කර සුභ පැතුවා .......ඒත් ඉතින් මේක ලියන්න මහන්සි උන දෑතටත් දිරියක් දෙන්න ඕනනේ .... තමන්ව තමන්ගේ ගොඩනැග්ම මතක් කරන්න පුලුවන් දුරට මතක තබා ගැනීමත් එම ගමනට සහය වන්නන්ට කෘතවේදී වීමත් සැබෑ ලාංකිකයන්ගේ ආකල්පයක්

    ReplyDelete
  20. ධනික සොහොයුරා හට ස්තුති කරමින් ප්‍රතිචාර දැක්වූ සැමටම ස්තුතියි...!!!

    මේ ලිපිය යුතුකමක් විදියට පළ කල එකක් නිසාත්, පෞද්ගලිකව මට කමෙන්ට් බලාපොරොත්තුවෙන් ලියා පළ කරපු එකක් නොවන නිසාත් වෙන වෙනම පිලිතුරු නොදුන්නාට තරහා වෙන්න එපා...!!! ධනික සහෝ හැමෝටම ස්තුති කරලා තියෙනවනේ... මගෙනුත් හැමෝටම ගොඩාක් ස්තුතියි !!!

    ReplyDelete
  21. සැබෑ ම දක්ෂයෙක් තමයි, මමත් SETT එක දාගෙන හිටියට කවුද කළේ කියලා දැනගෙන හිටියෙ නෑනේ...

    ReplyDelete
  22. මගේ ආචාරයත් මෙසේ ඔහුට පුදමි

    ReplyDelete
  23. ධනික සහෝදරයාට මගේ හිස නමා ආචාරය .......
    මේ වගේ ලිපියක් දැම්මට උඹටත් බොහොම ස්තුතියි චතූ .......

    ReplyDelete
  24. ඇත්තටම ආඩම්මබරයි! එක කොල්ලෙක්! බොක්කෙන්ම එන අවංක හැගීමක් තියෙන්නේ! නියමයි!මගෙත් හිස නමා ආචාරය ධනික අයියට!!

    ReplyDelete
  25. ධනික දැන අහල තිබුනට වැඩි විස්තරයක් දැනගත්තෙ මේ ලිපියෙන්. සුභපැතුම් ධනික. ඒවගේම ධනික ගැන ලියාපු උඹටත් ස්තූතියි චතුරංග

    ReplyDelete
  26. මරු මරු ලංකාවට ආදර්ශයක්

    ReplyDelete
  27. නියමයි!
    සුභපැතුම් මගෙනුත්

    ReplyDelete
  28. ජයෙන් ජයම වේවා.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...