Sunday, June 12, 2011

සිංහලෙන් සොයන්න... SSE (Sinhala Search Engine)


සිංහලෙන් හොයන්න තරම් දෙයක් අන්තර්ජාලයේ නෑ කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනාත්මකව බලන කොට ලංකාවේ අපේ සිංහල බ්ලොග් අඩවි / වෙබ් අඩවි ප්‍රමාණාත්මකව අඩු වුනත් අපේ සිංහල පරිශීලකයන් ප්‍රමාණයත් එක්ක බලනකොට නම් දැවැන්ත සිංහල අන්තර්ගතයක් දැන් අන්තර්ජාලය තුල විසිරිලා තියෙනවා. මේ දැවැන්ත සිංහල තොරතුරු සම්භාරයෙන් වැඩක් ගන්න නම්, මේ තොරතුරු පිළිවෙලකට තිබුනා නම් හොඳයි නේද කියලා මට හිතුනා. මම මේ ගැන ලියන්න හිතේ තියාගෙන ඉන්දැද්දී තමයි යසන්ත මල්ලියා ලංකාවේ සින්ඩි ගැන post එකක් දාලා තිබුනේ. ඒකට කෙලින්ම සම්බන්ධයක් නැතත්, යම් විදියක සම්බන්ධයක් තියෙයි කියලා හිතෙනව නම් නොබලපු කෙනෙක් ඉන්නව නම ඒ පැත්තේ ගිහින් ඒ ලිපිය බලලා ආවත් කමක් නෑ...

            ඇත්තටම කියනවා නම් මම ඔය භාරධූර කාර්යය තනියෙන් කර ගහන්න නම් නෙවෙයි මේ හදන්නේ. මට කොහෙත්ම එච්චර හැකියාවක් නම් නෑ. ඒත් ඉතින් අර මාරයා අයියා කියනවා වගේ ‘අපිට බෑ... කියලා බකංනිලාගෙන ඉන්නවට වඩා අඩුගානේ වචනෙකින් හරි දිරිමත් කිරීමක්... අදහස් දැක්වීමක් කරන එක හොඳ නිසා මේ කටයුත්තට කර ගහන්න පුළුවන් කෙනෙක්ට ඇහැ ගැහෙන්න මේ අදහස මෙහෙම ලියලා තියනවා.

            මීට අවුරුදු 5 කට එහාදි නම් වෙබ් / බ්ලොග් අඩවියකට සිංහලෙන් මොනවාහරි දෙයක් දාන්න ඕනෙ වුනොත් දැම්මේ image එකක් විදියට. එතන තිබුනු ප්‍රශ්නේ තමයි image එක load වෙන්න වැඩි කාලයක් ගතවෙනවා. ඒ වගේම වෙබ් අඩවියේ ධාරිතාවත් වැඩිවෙනවා. සමහර අය මේ වෙනුවට විජේසේකර ‍ෆොන්ට් (FM / DL)  try කලා. ඒත් ඉතින් client machine එකේ ඒ ෆොන්ට් නැත්නම් ඒවා install කරගන්න වෙන එක කරදරයක් වුනා. සිංහල සඳහා ජාත්‍යන්තර සම්මතයක් විදියට තමයි සිංහල යුනිකේත (sinhala unicode) එලියට ආවේ. විශේෂයෙන්ම 2007 දී නිකුත් කල Vista OS එකත් එක්ක Iskoola Potha සිංහල යුනිකේත ෆොන්ට් එක දාලා එවපු නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේදී සිංහලය සමග වැඩ කිරීම ඒක ලොකු පහසුවක් වුනා. ඊට පසුව ගතවුනු පහුගිය අවුරුදු  තුන හතර ඇතුළත තමයි සිංහල යුනිකෝඩ් වල නැගිටීම සිද්ධ වෙන්නේ. Microsoft සමාගමෙන් Sinhala Language Pack එකක් හදලා එව්වා. Vista / 7 හා Office පැකේජවලට සිංහල අතුරුමුහුනත් හැදුනා. නිදහස් මෘදුකාංග (open Source) ක්ෂේත්‍රය තුලදී සිංහල ලිනක්ස් හා සිංහල firefox වගේ දේවල් එළි දැක්වුනා. qsFox වගේ යතුරුලියනය පහසු කරවන උපයෝගීතාවයන් වගේම UCSC Unicode Converter, සුබස අක්ෂර වින්‍යාසකය හරහා අද වෙන කොට සිංහල යුනිකේත සහාය ඇති / නැති ඕනෑම පරිගණකයකින් සිංහල කියවිය හැකි ලෙස සකස් කල SETT Deco යුනිකේත විකේතකය දක්වා සිංහල ඩිජිටල්කරණය වෙලා. ආඩම්බරයෙන් කියන්න ඕනේ මේ නිමැවුම් වලින් වැඩි හරියක් අපේම සහෝදරවරුන්ගේ, අපේම මෘදුකාංග ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් නිපදවුනු ඒවා බව...

මම තවම බ්ලොග්කරණයට ඇවිත් මාස 5 යි. ජනවාරි ඉඳලා මේ ටිකට මම ඉගෙනගත්ත දේවල්වලින් මම තේරුම්ගත්ත දේ තමයි, මම මේ ක්ෂේත්‍රයට බැස්සේ හොඳම කාලෙදි බව. මොකද මේ යන්නේ බ්ලොගින් වල Peak එක. මාත් එක්කම, මටත් පස්සේ බ්ලොග්කරණයට ගොඩාක් දෙනෙක් එකතුවෙලා ඉන්නවා. ඒ නවකයන්ගෙන් ගොඩක් දෙනා මේ වෙන කොට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන ඉවරයි. සිංහල යුනිකෝඩ් දැන් පුළුල් ලෙස පැතිරිලා අවසන් වගේම සිංහලෙන් කියවන්න දෙයක් තියෙනවා කියන එකත් දැන් හැම දෙනාම වගේ දන්න දෙයක්. 2011 අවුරුද්ද අපේ බ්ලොග් ලෝකේ ලොකු පිබිදීමක් තියෙන අවුරුද්දක් කිව්වොත් හරි. මේ කරුණු කාරණා ඔක්කොමත් එක්ක සලකලා බලනකොට අන්තර්ජාලය තුල සිංහල භාෂාවෙන් ඇති තොරතුරු ප්‍රමාණය ඉතාමත් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවතීම සුභදායී කාරණයක්. තව ඉස්සරහට මේ වේගය තවත් වැඩිවේවි. නමුත් ඊට කලින් මේ දැවැන්ත සිංහල තොරතුරු සමූහය පිළිවෙලකට සකස් කර ගත්තොත් හොඳයි නේද ?


            අන්තර්ජාලය කියන්නේ අපේ පරම්පරාවට නම් කෝකටත් තෛලය. පින්තූරයක් හොයාගන්න, project එකකට කරුණු එකතු කර ගන්න, කියවන්න ආස පොතක ඊ-කොපියක් හොයාගන්න, අපි ආසම සිංදුවක් / වීඩියෝවක් බාගන්න, යාළුවොත් එක්ක සෙට් වෙන්න වගේම ඉගෙන ගන්නත් - හම්බ කරන්නත් එකී මෙකී නොකී හැම දේටමත් අපිට ඉතින් ඉන්‍ටර්නෙට් පිහිට තමා... ඇත්තටම බැලුවොත් අන්තර්ජාලය කියන්නේ නොසි‍ඳෙන දැනුම් උල්පතක්. හැබැයි ඉතින් අවාසනාවකට ඔය online පුස්තකාලයේ වැඩිහරියක්ම ඉංග්‍රීසි තමයි. වැදගත් දෙයක් හොයාගන්න ඕනෙ වුනාම ඉතින් ඉංග්‍රීසි නොදන්නා කම හරස් වෙනවා. අපි යාන්තම් ඉංග්‍රීසි ඩිංගක් දන්න නිසා කොහොම හරි ෂේප් කරගන්න පුළුවන්. ඒ වුනත් අපිට ඉංග්‍රීසි පුළුවන් නිසා අපේ වැඩේ කරගෙන, එහෙම කරන්න බැරි අනෙක් අය ගැන නොසලකා හැරීම ආත්මාර්ථකාමී කමක් නේද ? හැම මනුෂ්‍යයෙක්ටම තමන්ගේ මව් භාෂාවෙන් වැඩ කරන්න අයිතියක් තියෙනවා. අන්තර්ජාලය කියන්නේ අපේ පරම්පරාවට... වැඩියෙන්ම අපෙන් පස්සේ පරම්පරාවට අත්‍යාවශ්‍ය ජීවන සාධකයක්. එතකොට අන්තර්ජාලය තුල තමන්ගේ මව්බස වන සිංහලයෙන් වැඩ කරගන්න අපේ සිංහලයන්ට අයිතියක් තියෙන්න ඕනෙ නේද... !!!

            දැන් අපි බැලුවොත් අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය ගැන ප්‍රශ්ණයක් නෑ. අනිවාර්යයෙන්ම අනාගතය සුභදායකයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හදිස්සි වුවමනාවකට අන්තර්ජාලයට ගොඩවෙලා සිංහලෙන් සෙවුමක් දාන‍කොට අපට අවශ්‍ය තොරතුරු හොයාගන්න තියෙන අමාරුකම තමයි. ඔයාලා දන්න විදියට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන සෙවුම් යන්ත්‍රය තමයි Google. ඒ ගොල්ලෝ එයාලගේ වෙබ් සුචිය (web index) හදන්නේ ඉංග්‍රීසි අන්තර්ගතයක් සහිත වෙබ් පිටු වලින්. අපි බලමු..., සිංහලේ ඉතිහාසය කියලා ‍page එකක් තියෙනවා අපේ ඉතිහාසය ගැන. ඒත් ඔයාලා දන්නවා ඇති HTML file එකකට සිංහල title දාන්නේ නෑ. Title එකේ ඉංග්‍රීසි අකුරක් වත් නැත්නම් ඒ වෙනුවට දිනය හරි වෙනත් අංකිත කේතයක් වගේ උපක්‍රමයක් හරි තමයි යෙදෙන්නේ. එතකොට සිංහලෙන් ඉතිහාසය කියලා Google search කලොත් අර සිංහලේ ඉතිහාසය.html” කියන page එක miss වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. පැහැදිලි නේද මොකද වෙන්නේ කියලා ! මේ නිසා Google වලින් සෙවුමක් දැම්මට නිවැරදිව සිංහල තොරතුරු ලබාගන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපි මේකට මොකද කරන්නේ... ?


            මේකට දැනට තියෙන විසඳුමක් තමයි සස්රුත සිංහල සෙවුම් යන්ත්‍රය. (මේක කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න. මොකද මගේ blog stat වලට අනුව සස්රුත වලිනුත් සැලකිය යුතු පිරිසක් මගේ බ්ලොග් එකට එන නිසා...) ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ සස්රුත සෙවුම් යන්ත්‍රය වැඩි දෙනෙක් අතර ප්‍රචලිත නොවීම. ඒ කියන්නේ භාවිතාව අඩුයි. අපේ සිංහල තොරතුරු සමුදායට හොඳ සුචිකරණයක් (index) අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එහෙම නොවුනොත් අවශ්‍ය තොරතුරක් හොයාගන්න අපහසු වෙනවා. එතකොට අපේ බ්ලොග් ලියන සහෝදර සහෝදරියන් මහන්සිවෙලා කොටල කොටලා පෝස්ට් කරන ලිපි වලින් වැඩක් නෑ නොවැ. ඒ මහන්සියත් අපරාදේ. තමන් මහන්සියෙන් පෝස්ට් කරන ලිපිය වැඩි දෙනෙක් අතරට යනවට අපි හැමෝම කැමතියිනේ. එතකොට තමයි අපිට හැඟීමක් වෙන්නේ අපි ලියන දේවල් අනෙක් අයට වැදගත් කියලා. සින්ඩිවලින් හොඳ සේවයක් වෙන එක ඇත්ත. ඒත් ප්‍රශ්නේ එන්නේ ලියපු දෙයක් ආයෙත් පස්සේ සෙවුමක් දාලා හොයනකොට තමයි. මම කියන්නේ බොරු නම් ඔයාලගේ පෝස්ට් එකක් ගැන Google search එකක් දාලම බලන්නකෝ...

            අපිට බැරිද මේ දැවැන්ත සිංහල තොරතුරු ගොඩ පිලිවෙලක් කර ගන්න. හොයන කෙනාට අවශ්‍යම දේ ලැබෙන පරිදි සුචිගත කරගන්න. අපේ සිංහල බ්ලොග් / වෙබ් ඔක්කොම ගත්තත් මම හිතන්නේ නෑ 5000 කට වැඩි වෙයි කියලා. අපිට මේ 5000 පිළිවෙලකට index කරන්න ක්‍රමයක් හදාගන්න බැරිද ? වල්පල් හොයන එකාට වල්පල්ම හොයාගන්නත්, ඉස්කෝලේ project එකකට ඉතිහාසය අවුස්සන මල්ලියෙකුට / නංගියෙකුට ඒ ඉතිහාස තොරතුරු පාදල දෙන්නත් ක්‍රමවත් පිලිවෙලක් තියේ නම් වැඩේ පිළිවෙලයි. අපිට බැරිවෙයිද අපේම සිංහල සෙවුම් යන්ත්‍රයක් (Sinhala Search Engine) හදන්න. සස්රුත එකම තව හොඳින් develop කරලා ගන්න පුළුවන් නම් ඒත් කමක් නෑ. අළුතින් එකක් හැදුවත්, තියෙන එකක් modify කලත් මේ සිංහල සෙවුම් යන්ත්‍රය සිංහල භාවිතා කරන පරිශීලක සමූහය අතරේ පුළුල්ව පැතිරුනු එකක් වෙන්න ඕනෙ. අපි අපේ බ්ලොග් වල සින්ඩිවල බැනර් දාගෙන ඉන්නවා වගේ අපිට පුළුවන් මේ සිංහල සෙවුම් යන්ත්‍රයෙත් බැනර් එකක් දාගන්න. මේක ප්‍රසිද්ධ කරන්න නම් වැඩි වෙහෙසක් ගන්න ඕනෙ වෙන එකක් නෑ. පහුගිය මාස තුන හතරේ ඉලංදාරියා ගැනත්, ඒ සහෝගෙ අවාසනාවන්ත රෝගී තත්ත්වය ගැනත්, ඒ වගේම කණගාටුදායක මරණය ගැනත් නොදැන වුන් කෙනෙක් මේ බ්ලොග් අවකාශෙ හිටිය නම් ඒ මේ අවුරුද්දටම අන්තර්ජාලේ පලාතේ පය නොගහපු කෙනෙක් තමයි. බ්ලොග් කරුවන්ගේ එකමුතු කමෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නපු හොඳම උදාරණයක් තමයි ඒ. සින්ඩි වලින් අපේ බ්ලොග් පාඨකයා අතරට ගෙන යන හින්දා ඒකට සහයෝගයක් විදියට අපි සිංහල බ්ලොග් කියවනය, ලාංකීය සිතුවිලි, හත්මාළුව, කොත්තු හා අනෙකුත් සින්ඩිවල බැනර් අපේ බ්ලොග් වල ප්‍රදර්ශණය කරනවා. එතකො‍ට ධනික සහෝගෙ SETT deco එකෙන් අපේ බ්ලොග් වලට කරන උදව්වට ප්‍රතිඋපකාරයක් විදියට SETT deco එකත් අපේ බ්ලොග් හරහා promote වෙනවා. ඒ විදියටම අපේ අළුත් SSE එකත් අපිට promote කරන්න පුළුවන්. අපි අන්තර්ජාලය තුල හොඳ සිංහල index එකක් හදාගත්තත් වැඩක් නෑ ඒකෙ භාවිතාව පුළුල් නොවුනොත්. අද සස්රුත එකට වෙලා තියෙන්නේ ඒකයි. අන්තර්ජාතිකව Google search වගේ ලාංකිකව SSE වෙන්න ඕනෙ. සමහර විටෙක අනාගතයේදී Google search එකත් සිංහල අන්තර්ගතයන්ට සහයෝගය ලබාදේවි. ඒත් එතෙක් අපි අකුලගෙන බලන් ඉන්නවාද !!!

            ඇත්තටම ගත්තොත් සිංහලෙන් හොඳ ලිපි ලියවෙනවා. හැමදාම සින්ඩියක් කියවනවා නම් හොඳ තොරතුරු ටිකක් දැනගන්න පුළුවන්. දවස ගානේ එකතු වෙන මේ තොරතුරු ගොඩ මග හැරෙන අයට පස්සේ ආයෙත් වුවමනා වේලාවක හොයාගන්න විදියක් තමයි තියෙන්න ඕනෙ. අපි අන්තර්ජාලෙ සැරිසරන්න පටන් ගන්නේ Google home page එකෙන්. ඒ වෙනුවට අපි SSE එක අපේ home page එක කරගන්න ඕනෙ. මේ SSE එක අනිවාර්යයෙන්ම සිංහල යුනිකෝඩ් අන්තර්ගතයට පූර්ණ සහාය දක්වන්න ඕනෙ. ඒ වගේම අඩුම ගානේ සතියකට වරක් වත් අළුත් තොරතුරු එක්ක යාවත්කාලීන වෙන්න ඕනෙ. නැත්නම් සින්ඩිවල වගේ RSS feed භාවිතා කරන්නත් පුළුවන්. මම යෝජනා කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. SBR + සස්රුතතේරෙනවනේ. හැමදාම කියවන අයට අළුත්ම දේවල් දෙන්නත්, හදිසියකට ගොඩවෙන අයට වුවමනා තොරතුරු සැනෙකින් ඉදිරිපත් කරන්නටත් මේ යාන්ත්‍රනයට‍‍ හැකියාවක් තියෙන්න ඕනෙ. මෙතනදී තොරතුරු සෙවීම පහසු වෙන්න නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ සිංහල වෙබ් අන්තර්ගතයම යම්කිසි වර්ගීකරණයකට ලක් කරන්න වෙනවා. මෙතනදී අපට පුළුවන් අපේ බ්ලොග් වල තියෙන ලේබල් පාවිච්චි කරන්න. ඒකෙදි SSE site එකට Account එකක් හරහා ‍log වෙන්න හදන්න ඕනෙ. එතකොට ඕනෙම බ්ලොග්කරුවෙක්ට පුළුවන් තමන්ගේ Account එක හරහා log වෙලා තමන්ගේ අඩවිය තුල තියෙන, තමන්ට ආවේනික විදියට හදාගත්ත ලේබල්ස් SSE එකේ ඇති category වලට ඇතුළත් කරන්න. මේ category සඳහා පරිගණක, තොරතුරු තාක්ෂණ, වෙබ්, සන්නිවේදන, විද්‍යා, තාක්ෂණික, ප්‍රබන්ධ, කළාත්මක, ප්‍රවෘත්ති, පුද්ගලික ආදී ලෙස වර්ගීකරණය කිරීමක් කළ යුතුයි.

            උදාහරණයක් බලමු... මගේ බ්ලොග් අඩවියේ රසකථා කියන ලේබල් එකේ තියෙන්නේ මට සිද්ධ වුනු රසබර සිද්ධි / අත්දැකීම් ගැන ලියැවුනු ලිපි. එතකොට මම රසකථා කියන මගේ ලේබල් එක SSE එකේ පුද්ගලික කියන category එකට link කරන්න ඕනෙ. මම මගේ site එක SSE එකට add කළාම SSE එකෙන් මගේ බ්ලොග් එකේ ඇති ලේබල්ස් ඔක්කොම විමසා බලනවා. ඊට පස්සේ මගෙන් අහනවා SSE category වලට මගේ ලේබල්ස් සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. එහෙම එකතු කරගත්තට පස්සේ, මම අළුතින් ලේබල් එකක් මගේ බ්ලොග් එකට එකතු කලොත් SSE එකට ඒක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනෙ. මම හිතන්නේ බ්ලොග් එකට අළුතින් ලේබල් එකක් එකතු කරන එක අඳුනගන්න අමාරු වෙන එකක් නෑ. එහෙම අළුත් ලේබල් එකක් අපේ බ්ලොග් එකට දැම්මාම SSE එක ඒක අඳුනගෙන අපිට පණිවුඩයක් එවනවා අළුත් ලේබල් එක SSE category වලට link කරන්න කියලා. එතකොට ඒ ප්‍රශ්නෙත් හරි...

            දැන් SSE එකේ ඇති category වලින් තමන් කැමති මාතෘකාවකට අදාලව සෙවුමක් දාන්න පුළුවන්. අපේ බ්ලොග් වල ලේබල් කරලා තියෙන ඒවා SSE category වලට link කරලා තියෙන නිසා පුද්ගලික කියන category එක යටතේ search කලාම මගේ රසකථා ඔක්කොම ඒකට අදාල වෙනවා. මේ ක්‍රමවේදයේදී RSS feed වලින් update වෙන අළුත්ම pages සින්ඩියකින් වගේ බලාගන්න පුළුවන්. අවශ්‍ය නම් එක් වර්ගකට අදාල බ්ලොග් පෝස්ට් category වලින් බලාගන්න පුළුවන්. සෙවුමක් දානකොට ඒක වඩාත් හොඳින්, කාර්යක්ෂමව කරගන්න අපිට පුළුවන් search box එකත් එක්කම category තෝරගන්න තවත් box එකක් ඇතුළත් කරන්න. ඒකෙන් අවශ්‍ය වර්ගය ‍තෝරලා search කළාම සෙවුම ඉක්මන්, ඒ වගේම නිරවුල්... RSS වලින් අපි publish කරන පෝස්ට් එක අයිති ලේබල් එක හොයාගන්න පුළුවන් මම හිතන විදියට. එහෙම බැරිවුනොත් වෙන මොකක් හරි ක්‍රමයක් ඇතිනේ. ක්‍රමයක් නැත්නම් ඉතින් try කරලා හරි හොයාගන්න වෙනවා. මොකද ඉතින් පේ වැඩ අපිම කරගන්න ඕනේ - අපිට ඕනේ විදියටම ...

            මම ඔය කිව්වේ බ්ලොග් වලට අදාල ක්‍රමය. මොකද එකම බ්ලොග් එකක් ඇතුලේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් විදියේ මාතෘකාවන්ට අදාල පෝස්ට් පළ වෙනවා. එතකොට site එක ගැන විතරක් බලලා category කරන්න බෑ. නමුත් organizational site එකකට ඒ ප්‍රශ්නේ නෑ. උදාහරණයක් කිව්වොත් ජාතික කෞතුකාගාරය සතු වෙබ් අඩවිය ආයතනික නැත්නම් ඉතිහාසය වගේ fix category එකකට දාන්න පුළුවන්. ඒ වගේ site වල බොහෝ දුරට ලේබල්ස් නැති නිසා ඒ සඳහා අපිට page එකේ ඇති HTML mata tags භාවිතා කරන්න පුළුවන්.

            රයිට්... මම හිතන්නේ මම මෙච්චර වෙලා කියන්න try කලේ මොකක්ද කියලා ඔයාලට තේරෙන්න ඇති... මම නම් හිතන්නෑ මේක කරන්න බැරි දෙයක් කියලා. මේක අමාරු වැඩක් වෙයි. ඒත් අපේ මේ බ්ලොග් අවකාශෙ තුලම ඉන්නවා ලෝකෙම හොල්ලපු SE ලා. qsFox, සුබස, සිංහල ලිනක්ස් වගේ වැඩ අපේම සහෝදරවරුන්ගේ... ඉතින් ධනික සොහොයුරා SETT deco එක හදලා යුනිකෝඩ් අවුල් ඔක්කොම නැතිකලා වගේ අපේ අනෙක් වැඩකාරයෝ ටික එකතුවෙලා මේ වැඩේ යථාර්ථයක් කරාවි කියලා මම විශ්වාස කරනවා. ඔව්... අපිට පුළුවන් !!!

            මෙතනදි තම තමන්ගේ site වල තොරතුරු නිවැරදිව SSE එකට සම්බන්ධ කරගැනීමේ වගකීම තම තමන් විසින් දරන්න වෙනවා. මොකද ලේබල්ස් නිවැරදිව link නොවුනොත් කිසිසේත්ම අදාල නැති සෙවුම් ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. SSE admin විදියට අඩුම ගානේ 10 ක් වත් ඉන්න වෙනවා. මොකද SSE එකට add කරන site පොදු භාවිතයට සුදුසු තත්ත්වයක පැවතිය යුතු නිසා. SSE කියන්නේ Google වගේ අන්තර්ජාලය තුල සිංහල පොදු සලකුණ. මෙතනදී සලකා බැලිය යුතු ප්‍රධානම සාධකය වෙන්නේ web traffic එක. මොකද මේ සංකල්පය සාර්ථක වෙනවා කියන්නේ ලංකාව තුල වැඩියෙන්ම ඉල්ලුම තියෙන site එක බවට SSE පත්වීම. එතකොට ඒ ඉල්ලුමට සරිලන විදියට භෞතික සම්පත් උපරිම විදියට තියෙන්න ඕනෙ. මේකට Dedicated Sever එකක් අනිවාර්යය වේවි. මේ යටිතල පහසුකම් සඳහා නම් යම් පිරිවැයක් දරන්න වෙනවා. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය මත පදනම්ව අනුග්‍රාහක පිරිසක් එකතු කරගෙන අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්නත් පුළුවන්. මෙතනදි ප්‍රායෝගික අපහසුතා තියෙනවා තමයි. ඒත් අපි හැමෝම සෙට් වුනොත් බැරිකමකුත් නෑ. අපි හැමෝම පහුගිය කාලෙදී ඉලංදාරියා වෙනුවෙන් එකතුවෙලා සහෝදරකම පෙන්නුවා වගේ මේ වගේ කාරණයකදිත් එකතුවෙලා අත්වැල් බැඳගෙන අපේ එකමුතු කමෙන් ඉස්සරහට යන්න උත්සාහයක් ගන්න ඕනේ. මොකද මේ ක්ෂේත්‍රය දියුණු වෙනවා කියන්නේ අපිටත් වඩා අපිට පස්සේ මෙතෙනට එන්න ඉන්න මල්ලිලා / නංගිලාට - ඊළඟ පරම්පරාවට ලොකු තල්ලුවක් ඒක. SSE එක යථාර්ථයක් වුනොත්, එදාට අපිට සතුටු වෙන්න පුළුවන් සිංහලයේ ඩිජිටල් විප්ලවය වෙනුවෙන් අපේ යුතුකමත් අපි ඉෂ්ඨ කලා නේද කියලා... !

            SSE කියන්නේ සංකල්පයක් විතරයි. ඒක යථාර්ථයක් වේවිද කියන්න මට බෑ. ඒත් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මේ නැගිටීම ඇතුලේ ඒ ශක්තිය මට දැනෙනවා. මේ සඳහා ඔයාලට හිතෙන ඕනෙම දෙයක් කියලා යන්න. අඩුපාඩු, දුර්වලතා, යෝජනා හා කියන්න තියෙන ඕනෙ දෙයක් කියලා යන්න. මේක කියවලා නිකන් ඉන්න එපා. හිතන්න... පුළුවන් නම් මේක තවත් අළුත් කරන්න. මේක කරන්න පුළුවන් කියලා හිතෙන අය වැඩේට බහිනව නම් මගෙන් වෙන්න ඕනේ ඕනෙම සහයෝගයක් මම දෙන්න ලෑස්තියි. අපේ අනෙක් හැමෝමත් එහෙමයි කියලා මම දන්නවා...

එහෙනම්... සිංහලෙන් හොයන්න සැරසෙමු... SSE යථාර්ථයක් කරමු...!!!
හෙළයට ජයවේවා !!!





26 comments:

  1. ඇත්තටම හොද අදහසක් මටත් මය මුලින් කිව්ව වැඩේ අනන්තවත් වෙලා තියෙනව.කොහෙන් හරි අහුලගෙන කියවපු එකක් ආයෙ හොයාගන්න පැයක් දෙකක් මහන්සි වෙන්න වෙනව.google වල සිංහලෙන් search කලොත් පෙන්නන්නෙ ලිපියක් නැත්නම් දෙකක් විතරයි..වැඩේ වැඩිය අමාරු වෙන එකක් නෑ සින්ඩි ටිකත් මේ වැඩේට එකතු උනානම්...කරන්න පුලුවන් සපෝර්ට් එකක් අනිව දෙනව.

    http://photoshopapethaleta.blogspot.com/

    ReplyDelete
  2. හප්පට සිරි.. මට නම් ඇඩුනෝ.. මරු.. මරු නෙමේ සුපිරිම සුපිරි.. අපි හැමොම ඕකට එකගයි අයියා.. නියමම අදහස.. වචන නෑ විස්තර කරන්න.. ගොඩාක් සතු‍ටුයි.. SSE එක ඇත්ත උන දවසට ඔය සතුට සියගුණයක් වැඩි වෙලා මට දැනෙයි.. අපේ උපරිම සහයෝගය දෙනවා

    ReplyDelete
  3. @ සවීර : බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට. මම ඔයාගේ බ්ලොග් එකට ‍follow එකකුත් දාලා ආවා ඔන්න. ඔය වැඩේ දිගටම කරගෙන යන්න. ජයවේවා ...
    ඇත්තටම සහෝ... කට්ටියම එකතු වුනොත් නම් කරගන්න බැරිවෙන්නේ නෑ. එදාට ඉතින් SSE එකේ interface design කරන්න එන්න වෙයි හොඳේ...!

    @ චතූ :
    එළ මලේ... උඹේ කමෙන්ට් එක බලලා මට ඇඬුනා! උඹට ඔහොම සතුටුයි නම් මට කොහොම සතුටුද කියලා හිතා ගත්තැකි නේද ?
    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි මල්ලියෝ... බ්ලොග් එක හොඳට කරගෙන යන්න... ජයවේවා !

    ReplyDelete
  4. හොඳ දැනුවත් කිරීමක් ......

    ReplyDelete
  5. බොද ම්දුම් ඉවරයි දෑන් ගිනි අව් සහ ගිනි කෙලි වලට කාලයයි අද සිටන් නපුරු අතිතය අමතකකොට දමා මාරක කාතා සහිතව මාගෙ සොහොයුරාගෙ බොලොග් එකට සහය දිමටත් මින් පසු පිස්සුව්කාර නාකි කාතා අවසනන් කිරිමටත් බලාපොරොත්තු වෙම් එමෙන්ම මා තව ට්ක කාලයකින් පසුව සිංහල බොලොග් සිංන්ඩ්යට එකතු කිරිමටත් සිතෙන ඩෙයක් ලියා යන්න........... කලින් බොද මිදුම්

    ReplyDelete
  6. @ කල්හාර :
    බොහොම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...

    ReplyDelete
  7. වැඩේ කරන්න බල බලා ඉඳලා බෑ අද අදම පටන්ගන්න ඹ්නා.ඹය ගැන හරි හැටි දැනුමක් නැතත් දෙන්න පුලුවන් උපරිමයෙන්ම සහයෝගය දෙන්නම්.බබාවත් ලැයිස්තුවේ 1ටම දාගන්න.ඹ්න දෙයක් තියෙනවනම් දන්වන්න.හැකි ඉක්මනින් උපරිමයෙන්ම වැඩේ ගොඩදාගෙන සිංහල කියන සිංහල ලියන සිංහලෙන් හිතන සිංහලෙන් දකින සැබෑ සිංහල හදවත් ඇති සිංඩි ලියන කියවන ලංකාවෙ තරුණ කෙල්ලො කොල්ලන්ගෙ අනාගත අභිමානය ලෝකය තුල වැජඹෙන ශක්තිමත් පවුරක් ලෙසට ගොඩ නගන්නට අපේ ශක්තිය ලොවට ආලෝකයක් කරන්නට සුලු මොහොතකට හෝ ආත්මාර්ථකාමී නොවී සැමදෙනාම සුබ වැඩකට අත්වැල් බැඳ ගන්නට එක් වෙමු...
    බබා එකෙන්ම ඉන්නවා.
    හැකි ඉක්මනින් ප්‍රතිචාර කරන්න....
    ස්තූතියි...
    ************

    ReplyDelete
  8. @ බබා : නම බබා වුනාට වැඩ නම් !!! සහයෝගයට ස්තුතියි සහෝ... ඔයාලා වගේ දෙතුන් දෙනෙක් හින්දා තමයි මම මේ බ්ලොග් එක ලියන්නේ. නැත්නම් ගොඩක් දෙනෙක් බලලා යනවා විතරයි. සහයෝගයක් නෑ. ඒක නිසා ප්‍රතිචාරයක් දුන්නට බොහොම ස්තුතියි.

    අනිවා... වැඩේ ගොඩදාගන්නම ඕනේ. ඒත් ඉතින් තනියෙන් බෑ. කට්ටියම එකතු වෙන්න ඕනෙ. ඒකට ඉතින් හැමෝම අතර හොඳ කතිකාවතක් ගොඩ නැගෙන්න ඕනෙ. අපි බලමු ඉස්සරහට... සුභදායි බලාපොරොත්තු තබා ගමු. ඔය උනන්දුව ඔහොමම තියාගන්න. වචනෙකින් හරි සිංහල ගොඩ දාන එක අපේ යුතුකම... ජයවේවා...

    ReplyDelete
  9. HTTP//:BABAGEWEDA.BLOGSPOT.COM

    ReplyDelete
  10. හොද අදහසක් .. ජයවේවා !

    ReplyDelete
  11. හොද වැඩක් ඉතින් මම නම් ඉතින් develop පැත්ත ගැන නම් ඉතින් දන්නේ නැ. නමුත් ඉතින් ප්‍රසිද්ධ කරන වැඩේට හරි උදව්වක් දෙන්න පුළුවන්.

    ReplyDelete
  12. @ sameerausa: ස්තුතියි ප්‍රතිචාරයට...

    @ gayan asanka : නියමයි සහෝ... වචනෙකින් හරි උදව් තමයි ඕනෙ. මමත් මේ කිව්වට මටත් තියෙන්නේ අදහසක් විතරයි. වැඩේ කෙරෙන්න නම් මේ ගැන දැනුවත් අය එකතු වෙන්නම ඕනෙ. SSE එක හැදුනු දවසට අපි හැමෝටම බැරියෑ ප්‍රසිද්ධ කරන්න ලොවෙත් නැති වෙන්න... ප්‍රතිචාරයට බොහොම ස්තුතියි සහෝ...

    ReplyDelete
  13. නියමයි.එකතු වෙලා කරන්නකො.මට නම් එච්චර තේරුමක් නෑ.ඔන්න ආපු පළවෙනි දවසෙම Follower එකට සෙට් වුනා.ජයෙන් ජය!

    ReplyDelete
  14. අදහස නම් එළකිරි
    වැඩේ පටන් ගත්තෝතින් කට්ටිය එකතු වෙයි.
    සුබ පතනවා :)

    ReplyDelete
  15. ලිපියත් වටිනවා, අදහසත් වටිනවා. ඉතාම හොඳ වැඩක් කරන්න පුළුවන් නම්. අනිවා කරන්න පුළුවන්. අපිටත් පුළුවන් සහයක් දෙන්න අපිත් ඉහළින්ම කැමතියි.
    මේ අදහස ඵල දරන්නත්, සාර්ථක බ්ලොග් දිවියකටත් සුභ පතනවා.

    ReplyDelete
  16. @ Thushara : බොහොම ස්තුතියි සහෝ... ප්‍රතිචාරයක් හරි දුන්න එක තමයි වටින්නේ. Follow එකට තෑන්කූ වේවා !!!

    @ දුමින්ද : ඔව් සහෝ... අනිවා... මට වුවමනා කලේ මේ ගැන දැනුවත් කිරීමක් කරන්න. මට බැරි වුනත් කවුරු හරි SSE හදයිනේ. ඒකෙන් වැඩ ගන්නේ මම හා ඒ හදපු කෙනා විතරක් නෙවෙයි. මුළු ලංකාවෙම සිංහල භාවිතා කරන හැම කෙනාටම ඒක වැදගත්. බොහොම ස්තුතිය ප්‍රතිචාරයට...

    @ Madhawa : ඔයාව අදයි මේ පැත්තේ දැක්කේ. මගේ අප්පච්චියේ ! ඔච්චර ඔයා කොහොමද බ්ලොග් ගානක් රන් කරන්නේ ? මේ පැත්තේ ඇවිත් ගියාට ස්තුතියි.

    අපිට නම් ඉතින් අදහස් විතරයි දෙන්න පුළුවන්. HTML / JavaScript පොඩ්ඩක් අල්ලන් ඉන්න අපිට ඔච්චර ලොකු වැඩ කරන්න හයියක් නෑ. කවුරු හරි කරනව නම් බලන් ඉන්නෙත් නෑ. අනිවා... මේකට කට්ටියම එකතු වෙලා වැඩේ ඇත්ත කරමු. ජයවේවා !!!

    ReplyDelete
  17. වැදගත් ලිපියක්......මම ඔය ගැන ලියපු ලිපියෙදිත් සමහර අය කියලා තිබ්බෙ සිංහල සෙවුම් යන්ත්‍රයක් තිබ්බනම් හොඳයි කියලා...මම නම් ඒ ලිපියෙ දාලා තිබ්බේ පැලැස්තර් විසඳුමක්...ඔයා ඒ ගැන ගොඩක් දුරට හිතලා තියෙනවා... අපි කොහොමහරි ඕක හදමු.....

    ReplyDelete
  18. @ හරී : ඔයාගේ ලිපිය ගොඩාක් කලින් කියෙව්වා. මම මේක ලිව්වට පස්සේ ආයෙත් ඔයාගේ බ්ලොග් එකට ආවම ඔයාගේ ලිපියත්, මගේ කමෙන්ට් එකත් දෙකම දැකලා සතුටක් ආවා. සමහර විට මට මේක ලියන්න මුලින්ම ඔළුවට වැටෙන්නැත්තේ එතනින් වෙන්නැති. කවුරු කිව්වත්, කවුරු හැදුවත් අපිටනේ... නේද සහෝ... සහයෝගයට ස්තුතියි...

    ReplyDelete
  19. අර රාවණ ලිපි ටික දැක්ක ගමන් හිතුනා රටට බසට හිතැති බව . ගොඩක් හොඳ වැඩක් . ලොකු පරිගණක දැනුමක් නැතත් දිනෙන් දින ඉගෙනගනිමින් ඉන්න මගෙනුත් අවශ්‍ය දෙයක් සිදු වනවාමයි.

    ReplyDelete
  20. මටත් අපේ පාසල් පුුස්තකලයෙන් ලමයින්ට අවශ්‍යදේ සිංහලෙන් දෙන්න පුලුවන් ඔයාලට මෙය කරන්න පුලුවන්මයි.ඒ තරමි දක්ෂ අය ඉන්නව.

    ReplyDelete
  21. මරු අයිඩියා එක. ඕන හෙල්ප් එකකට රෙඩි. මන් තාම සොෆ්ට්වෙයා ඩිවෙලොපින්ග්. වෙබ් ගැනනන් වැඩිය දන්නෙ නෑ. සොයන්නාට සම්බ වේ. අපි වැඩේට සෙට් වෙමු

    ReplyDelete
  22. එළම කිරි... අපි සෙට් වෙමු මේකට, මමත් මේ පැත්තට උනන්දුව දක්වන කෙනෙක්.. මම මේක ගැන පොඩ්ඩක් කල්පනා කොරල බලන්න ඕනෙ, හොඳ අදහසක් දුන්නෙ. අනිවා කරමු... ජය ශ්‍රී...!!!!

    ReplyDelete
  23. Aniwa saho karamu oka mage dream eka me dawas wala mama MySQL and PHP study karanawa ape clz eke sir ge support ekath dennam kiuwa aniwa oka karamu puluwan help ekak dennam mamath

    ReplyDelete
  24. හොඳ වැඩක් .. library and information scince කරන කෙනෙක් විදියට මාත් කැමති එ වගේ අලුත් අදහසට..

    ReplyDelete
  25. හොඳ වැඩක් .. library and information scince කරන කෙනෙක් විදියට මාත් කැමති එ වගේ අලුත් අදහසට..

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...