Friday, June 24, 2011

පොඩි එකාට මාස පහයි...! එන්න... ඇවිදින් අත දෙන්න...

මේක දැකලා අහක බලාගෙන යන්න නම් එපා ඕං... ඔයාලගේ උදව් අවශ්‍ය වෙලාවකයි මේ ලියන්නේ. ඉතින් පොඩ්ඩක් මේ පැත්තේ ඇවිත් විනාඩි පහක් කියවලා පොඩි සහයෝගයක් දෙන්න අප්පා.

මාස 5 ක පොඩි එකෙක්... හුර...තල් වයස නේද ? මේ මොන විකාරයක්ද ? ඇයි අප්පා බලන්නකෝ පොඩ්ඩක් කැරකිලා...ඔය ඉන්නේ ලස්සනට නිල් පාටට ඇඳගෙන... චූටි කොලු පැටියා. කොහොමද ? මගේ කොල්ලා ලස්සනට ඉන්නවා නේද ?


අනේ ඉතින්... පොඩ්ඩක් වටේ යැව්වට සමාවෙන්න ඕනෙ ! හිතේ සතුටටත් එක්ක පොඩි පිස්සුවක් කලාට. හරි එහෙනම්... කියන්නම්කෝ වැඩේ. ඔය චතූගේ කථා  කියලා මගේ බ්ලොග් එක පටන් අරගෙන අදට (24) හරියටම මාස 05 යි. තව ම‍ාසෙකින් මාස 06 යි, කියන්නේ අවුරුදු භාගයයි. ඉතින් බ්ලොග් එක ටිකක් අළුත් කරන්නයි කියලා අදහස් කලේ. මගේ බ්ලොගේ මට කොහොම තිබ්බත් හොඳයි නොවැ. බලන, කියවන ඔයාලා තමයි දන්නේ මගේ ලියවිල්ල කොහොමද කියලා...

දැන් ඔය බ්ලොග් අළුත් කරන්න කථා කලාට පහුගිය ජනවාරි මාසේ මැදක් වෙනකල්ම මමත් සිංහල යුනිකෝඩ් ගැනවත්, බ්ලොගින් ගැනවත් කිසිම දෙයක් දැනන් උන්නේ නෑ. කරන තරමක් කලේ මේ මාස 05 දී ඉගෙන ගෙන තමා. එහෙම බැලුවම නම් මේ ඉන්න තැන ගැන නිහතමානීව ආඩම්බරයි අප්පා...! මේක මේ පම්පෝරි පොස්ට් එකක් එහෙම නෙවෙයි ඕං. ඔයාලගේ අදහස් දැනගන්න තමයි මේක ලියන්නේ. මොකද ඉස්සරහ‍ට කරන්න හිතාගෙන වැඩ ටිකක් ඔළුවේ තියෙනවා. ඒ ටික පිළිවෙලකට ගලාගෙන යන්න නම් ඔයාලගේ උදව්ව ඕනේ...

මගේ බ්ලොග් කලාවේ ලොකු ටාගට් නම් නෑ. හොඳ දෙයක්, පවතින දෙයක්, මතක හිටින වෙනස්ම දෙයක් කරන්නයි මට ඕනෙ. ගොඩාක් අය දැන් ඔය වල්පල් බ්ලොග් වලට දෝස්මුරේ දානවනේ. ඊයෙ උදේට කාපුවයි, GF ගේ ගවුමේ මල් වල පාටයි, ළඟදී ගත්ත වාහනේ අළුත්ම වැඩ කෑලි ටිකයි හැම මගුලම බ්ලොග් වල ලියන්නේ මොකටෙයි කියලා සමහරු කේස් දානවා. වල්පල් වුනත් ගන්න දෙයක්, හිතන්න දෙයක් තියේ නම් අවුලක් නෑ කියලයි මට හිතෙන්නේ. සමහර පෝස්ට් තියේ කියවපුවම හිනායනවා... තවත් ඒවා උඩින් හෑල්ල වගේ පෙනුනට යටින් ලොකු පණිවුඩයක් කියලා දෙනවා. තවත් සමහර පෝස්ට් වලින් අත්දැකීම් බෙදා ගන්න ලැබෙනවා. ඔය හැම දේකින්ම ඉතින් අළුතෙන් දෙයක් එකතු කරගන්න නැති තරම් මෙලෝම රහක් නැති පෝස්ට් තියෙන්නේ 10% කටත් අඩුවෙන් තමයි. කියවන දේ තෝර බේර ගන්න ඕනෙ කියවන අයමයි. එක අතකට ඔය කියවන්න හරයක් නැති මල විකාර පෝස්ට් වලට බනින එකත් වැරදියි. ඕවා ලියපු අය ‍කට්ට කාගෙන කොටලා ඒවා පෝස්ට් කරලා ඒකෙන් මොකක් හරි දෙයක් ඇති හින්දනේ. අඩුම ගානේ කවුරු නොබැලුවත් හිතේ තියෙන දේවල් එළියට දැම්මම තමන්ගේ හිත හරි ටිකක් සැහැල්ලු වෙනවනේ.

ඉතින් මම මේ කිය කිය ආවේ වෙන දෙයක් නේ. දැන් මෙහෙමයි... මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මෙන්න මෙහෙම කරනවා කියලා නිශ්චිත අරමුණකින් නෙවෙයි. ඒත් දැන් මම දන්නවා කෙ‍ාහොමද යන්න ඕනෙ කියලා. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ එකම බ්ලොග් එකක් ඇතුලේ ඉඳන් එක අරමුණකට අදාලව පෝස්ට් කරන්න අමාරු එකයි. මට මේකේ දාන්න පුළුවන් විශේෂ අත්දැකීම් ටිකක් තියෙනවා. මම මහ ලොකු කෙරුමෙක් නොවුනත් මගේ කථා අහපු අය නම් කියන්නේ ඒක මාරයි කියලා. ඉතින් මොකක් හරි කියවන්න දෙයක් රසවත්ව ලියවෙයි කියලා හිතාගෙන තමයි චතූ‍ෙග් කථා කියලා ‍මම මේක පටන් ගත්තේ. දැන් වැඩේ කියන්නේ මෙතන හැම ජාතියෙන්ම අච්චාරු, මැල්ලුම් වෙලා.

රසබර අත්දැකීම් පිරුනු රස කථා ගොඩකට කොම්පියුටර්, Technical ලිපි ලියවෙන කොට ගැලපෙන්නේ නෑ වගේ කියලා මට හිතෙනවා. ඒ නිසා මම කල්පනා කලා ඔය තාක්ෂණික ලිපි වලින් විතරක් වෙනම බ්ලොග් එකක් රන් කරන්න. මට නිතරම Technical ජාතියේ ලිපි කරන්න ලැබෙන නිසා සහ ඉස්සරහටත් කරගෙන යන්න පුළුවන් කියලා බය නැතුව හිතන්න පුළුවන් නිසා බ්ලොග් එකක් වෙනම දුවන එක අවුලක් වෙන එකක් නෑ. අපි ඉතින් මොන පිස්සු කලත් ඉන්න ටිකේ ලෝකෙටත් මොනව හරි කරන්න එපෑ. මම try එක දෙන්නේ මම දන්න දෙයින් තව කාට හරි මොනවා හරි දෙයක් දෙන්න තමයි. ඒ බෙදලා දෙන දෙයින් තව කවුරු හරි වැඩක් ගන්නව නම්, කියවලා දැනගෙන ඉගෙන ගන්නව නම් ඒක තමයි මගේ සතුට. ඒ අහිංසක අව්‍යාජ සතුට වෙන මොන ක්‍රමේකින් වත් ලබාගන්න බෑ, දැනුම බෙදල දීලා ඒ එළියෙන් තව කෙනෙක් බැබලෙනවා දකින තරම් !!!

පහුගිය මාස 05 ට මගේ අතින් ලියවිලා තියෙන්නේ පෝස්ට් 25 ටත් අඩුවෙන්. මට ඒ ගැන දුකක් නැත්තේ කරලා තියෙන ටික මම හොඳට කරපු නිසා. Quantity එකට වඩා වටින්නේ Quality එක තමයි. Quality එක තියා‍ෙගනම Quantity එක වැඩි කරන එක තමයි නියම අභියෝගය. හැබැයි මම කැමති හිමින් ගමනක් යන්න. ඉක්මන් කොටයි කියලා අහලා ඇතිනේ. ඉතින් මේ වෙනකල් ලියපු පෝස්ට් විසි ගානට මට ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බලලා මට අවංකව තෘප්තිමත් වෙන්න පුළුවන්. හිට්ස් 10000 කට කිට්ටුයි... Followers ලා 50 කටත් වැඩියි... කමෙන්ට්ස් 250 ක් විතර... මේ ඉලක්කම් ලොකු ඒවා නෙවෙයි කියලා මම දන්නවා. බ්ලොග් ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් මට වඩා ඉහලින් ඉන්නේ. එත් ඉතින් මෙහෙමත් දෙයක් තියෙනවනේ. මොන field එකකදී වුනත් මුදුනෙම ඉන්න එක ටිකක් විතර අවාසිදායක දෙයක්. මොකද මනුසතා හැම දිස්සෙම වැඩ කරන්නේ සංසන්දනාත්මකවනේ. අරයගේ වැඩේ මට වඩා හොඳයි, මම එයාට වඩා හොඳට කරන්න ඕනේ... ඔහොම තමයි අපේ කල්පනාව. හැබැයි ඉතින් මුදුනාට ඊට වඩා යන්න ඉහලක් නෑ. පහු කරන්න කෙනෙක් නෑ. ඉතින් අළුත් ක්‍රම සහ විධි, ඉගෙන ගැනිලි නෑ, එකතැනමයි. ඇයි තව ඉතින් මුදුන රැක ගැනීමේ සටනකුත් තියෙනවනේ. එතකොට බැලුවොත් මැද්දේ ඉන්න එකාට මුදුනේ ඉන්න අයගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මැද්දෙ එකාට පුළුවන් උඩ ඉන්න එකා උඩට ගියේ කොහොමද කියලා ඉගෙන ගන්න. අනික තමයි, මමත් කොහොම හරි මුදුනට යන්න ඕනෙ කියලා push එකක් ලැබෙන එක. එතකොට යටටම යන එකත් හරිම දුක්බරයි. එක්කෝ තමන් වැඩක් නෑ, නැත්නම් තමන්ට වැඩක් කරන්න බෑ කියන එක තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. උඩත් යටත් දෙකටම නැතුව මැද්දට වෙලා ඉන්න එක ගැන මට සතුටුයි. කොහොමත් මට මුදුනා වෙන්න උණ නම් නෑ. බලන ඔයාලා මං ලියන ඒවා කියවනවා නම්... කියවන අයගෙන් හොඳ බ්ලොග් එකක් කියලා අහගන්න ලැබෙනව නම් ඒක තමයි මගේ target එක.

දැන් මේක බලන ඔයාල හැමෝගෙන්ම මට උදව්වක් ඕනේ. මගේ බ්ලොග් එ‍කේ සය මාසික සැමරුමට තව මාසයයි තියෙන්නේ. ඒ වෙනකොට බ්ලොග් එක වෙනසක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මගේ බ්ලොග් එකේ හැඩරුව වගේම අන්තර්ගතයත් වෙනස් වෙන්න ඕනෙද ? වෙනස් වෙනවා නම් කොයි විදියටද කියලා ලියලා යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. බ්ලොග් එක load වෙන්න පරක්කු ද ? අනංමනං කෑලි වැඩි ද ? කියවන්න කරදරයි ද ? අඩුපාඩු මොනවද ? කියලා ලියලා යන්න. ඒ වගේම වෙනමම Technical බ්ලොග් එකක් කරන්න යන එකට කැමතිද ? ඒ නිසාම චතූගේ කථා කථා වලින්ම පිරෙනවට ඔයාලා කැමතිද ?

ඉදිරිය ගැන කියනවා නම්... මාස 6 වෙනුවෙන් පොඩි පොඩි graphical වෙනස්කම් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. දරුණු වැඩ කෑලි නෙමේ. මේක තවත් හොඳට පිලිවෙලක් කරලා, ලස්සනට හදන්න ඕනෙ. බ්ලොග් එකට වෙනම pages දෙක තුනක් ඉදිරියේදී එකතු වෙයි. ඉස්සරහට මේක dynamic blog එකක් කරන්නයි හිතන් ඉන්නේ. ඒ වගේම රස කථා සීරීස් එකක් රෙඩි කරගෙන යනවා. ළඟදීම දෙන්නම්. තව ටිකක් බර වැඩක් කරන් යනවා. ආතර් සී. ක්ලාක් මහත්මයාගේ ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් සිංහලට හරවනවා. ඒක නම් හෙමින් හෙමින් තමයි යන්නේ. පුළුවන් ඉක්මනට කොටස් විදිහට පළ කරන්නම්. තවත් තියෙන ලොකුම දෙයක් තමයි අළුතින් අන්තර්ජාලයට එකතු වෙන අයව සිංහල බ්ලොග් වලට, බ්ලොගින් වලට ඇදගන්න එක ගැන මොනවා හරි දෙයක් කරන එක. ඇත්තටම ගත්තොත් සිංහල යුනිකෝඩ් කියන්නේ මොනවද ? ඒක වැඩ කරන්නේ කොහොමද ? කියලා දැනගන්න සිංහලෙන් ලියපු ලිපියක් හොයාගන්න නෑ නේද (දන්න කෙනෙක් ඉඳි නම් කියලා යන්න හො‍ඳේ...) මටත් මුලදීම ඕක ප්‍රශ්ණයක් වුනා. අපේ ධනික සහෝ ගෙන් තමයි ඔය අවුල ලිහාගත්තේ. මම මෙහෙම කියන්නේ ඔය කාරණාව ගැන අළුතින් ෆීල්ඩ් එකට ආපු සහෝදරවරු දෙතුන් දෙනෙක්ම අහපු නිසා. සිංහල යුනිකෝඩ් ගැන හා සිංහල බ්ලොගින් ගැන දැනගන්න ක්‍රමයක් හදන්න, අඩුම ගානේ පෝස්ට් එකක් වත් කරන්න තියේ නම් හොඳයි.

ඔය ෆීල්ඩ් එකට අළුතින් ආපු අය ගැන කියපු නිසා මේක නොකියම බෑ. මගේ බ්ලොග් එක බලලා, මට කථා කරලා බ්ලොග් එකක් පටන් ගත්තු දමිත් මල්ලිගේ මගේ හද ගැස්ම කියන අළුත් බ්ලොග් එක ගැනත් මතක් කරන්නම ඕනෙ. ඒ බ්ලොග් එක දැක්කම තව කෙනෙක්ට උදව්වක් කලා නේද කියලා ලොකු සතුටක් වින්දා. ඔයාලත් මෙතනින් ගිහින් දමිත් සහෝගේ හද ගැහෙන හැටි අහලා එන්න. ආඃ... කියන්න දෙයක් නෑනෙ. කොල්ලගේ හිත ෆිට් වෙන්න කොමෙන්ට් එකක්, ෆලෝ එකක් දාලා එන්න ඕනේ... හොඳද... උදව්වක් දෙන එක අපේ යුතුකමනේ... නැද්ද...

අනික් කාරණේ තමයි... යසන්ත මල්ලි කරන සිතුවිලි පවුර කියන ගෲප් බ්ලොග් එක. යසන්ත මල්ලි හොඳ කික් එකකින් වැඩේ කරගෙන යනවා. ඇවිත් තාම මාස 02 ක් වගේ වුනාට කොල්ලා හොඳ දෙයක් කරයි කියලා විශ්වාසය තියන්න පුළුවන්. ඉතින් මමත් සිතුවිලි පවුරේ කුරු‍‍ටු ගාන්න එකතු වුනා. එතෙන්ට 100 දෙනෙකුට එකතු වෙන්න පුළුවන්. තාමත් ගියේ නැත්නම් පුළුවන් වෙලාවක ඒ පැත්තෙත් ගිහින් එන්නකෝ. මෙන්න පාර...

තවත් කියන්න ඕනේ... බින්දි අක්කගේ නෙළුම් විලෙන් කැලතිලා ආපු කවි රසයට ඉඩක් හදලා දුන්න කවි මුතු මල් බ්ලොග් එක ගැන. මෙතන කවියෙන්ම තමා වැඩේ යන්නේ. ගොඩක් වෙලාවට පෝස්ට් එකට වඩා රසවත් කමෙන්ට් වල තියෙන කවි ටික. ගිහිල්ලා කවියකින්ම උදව්වක් දීලා එන්නකෝ...

ඔව්... ඉතින්... මගේ ගැන ආයෙමත් කියනවා නම්... ඔයාලගේ අදහස්, ‍උදහස්, යොජනා, චෝදනා, ගල්මුල්, මල් වඩම් අනංමනං මල විකාර එලෝ කෝටියම හින්ද තමයි මේ අකුරක් ගානේ ලියවෙන්නේ. මාස පහේ බබ‍ා පෙන්නල සද්දේ දාන්න නෙවෙයි, ඉදිරිය ගැන අදහසක් ගන්නයි මෙහෙම ලිව්වේ. ඉතින් හොන්.....ඳ ළමයි වගේ උදව් කරලා යනව නම් ගොඩක් පිං. හිතෙන දේවල් පහලින් ලියලා යන්නකෝ. මාස පහේ පොඩි එකානේ... try කරලා නැගිටින්නනේ හදන්නේ... අත දෙනවා නේද ඔක්කොමලා...!

අදත්... හෙටත්... ඉදිරියටත්, ඉන්ටර්නෙට් තිබෙන තුරාවටම... Google අයියා මගේ බ්ලොග් එක host කරන තුරාවටම... keyboard එක‍ට කොටන්න මගේ ඇඟිලි පණ තියෙන තුරාවටම මේ බ්ලොග් කෙරුවාව නවත්තන්න නම් තුන් හිතේ වත් අදහසක් නොමැත. මක් නිසාද යත්, මගේ මේ පොඩි එකාට මගේ නෝනිට මෙන්ම මා ඉත සිතින් පෙම් කරන බැවිනි.

එන්න... ලෝකය දිහා බලාගෙන හෙට දවසේ නැගිටින්න වෙර දරන මගේ පොඩි එකාට හයියක් වෙන්න... හැමදාමත් මගේ කථා අහන්න චතූගේ කථා ළඟින් ඉන්න. අදහස් පළ කරපු / නොකරපු, බලලා ගියපු හැමෝටම ගොඩාක් ස්තුතියි. හොඳ දෙයක් සමග ඉදිරියට යමු. සිංහල ඩිජිටල් විප්ලවයට අදහස් ගොඩගසමු...!!!




22 comments:

  1. සුබ පැතුම් . මගේ පොඩි එකත් තවම මාස 2 ක් වත් නැහැ . මගේ අදහස ඔය ඕන දෙයක් මේකෙම ලියන්න අනු මාතෘකා වලට කඩන්න පුළුවන්නේ. බ්ලොග් ගොඩක් තිබ්බම මග ඇරෙන්න පුළුවන්

    ReplyDelete
  2. මගෙන් සුබ පැතුම් !

    හිත කියන්නෙ අමුතු දෙයක්නෙ...මට දැනෙන දේ තව කෙනෙක්ට දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑනෙ. ඉතින් හිතේ තියෙන දේ ලියන එක තම අනිත් අයට ඒ ගැන කියන්න තියෙන හොඳම විදිය...

    ඉතින් ලියමු. ඔය අළුත් දේවල් එක්ක...අළුත් අදහස්.... ඔබට ජය !

    ReplyDelete
  3. අලුත් අදහස් එක්ක අලුත් වෙමු. සුභ පැතුම්.

    ReplyDelete
  4. ලියන්න ලියන්න. පුළුවන් හැටියට අපිත් සටහනක් තියලා යන්නම්..


    වෙලාවක් තියන හැටියට කවි මුතුමල් පැත්තෙත් ගිහිල්ලා සළකුණක් තියලා එන්න..

    ReplyDelete
  5. මම මේ බ්ලොග් එකට සෙට් උනේ ගල් ගහගෙන බව උඹට මතක ඇතිනේ ? .. ඊට පස්සෙ නම් එහෙම සීන් උනේ නැනේ . කොහොම උනත් මෙන්න මගෙ යෝජනා

    01) උඹෙ බ්ලොග් එකේ පෙනුම මට නම් හොඳයි , ලෝඩ් වෙන්නත් යන වෙලාව හොඳයි , ඇක්ටිව් ටොරන්ට් එක්ක බ්ලොග් බලන මටත් ඉක්මනට ලෝඩ් වෙනව කියන්නෙ ඉතින් සුපර්

    02) උඹෙ අනෙන්‍යතාව තියෙන්නෙ මෙත්න නිසා මම නම් හිතන්නෙ ටෙක්නිකල් දේවලුත් මෙතනම ලිව්වොත් හොඳයි කියල . උඹ මොනව හරි පාඩම් මාලාවක් වගෙ දෙයක් කරන්න යනව නම් (ජාවා , පොටොශොප් ... වගේ වෙනම එකකට යන්න වෙයි


    මගෙන් සුභ පැතුම් , මම දීපු යෝජනා පොඩ්ඩක් හරි ප්‍රයෝජ්නවත් වේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  6. 01.බ්ලොගේ හොදයි.(ඔක්කෝටම වැඩිය ඇස් කඩාගෙන බලන්න ඕන නෑ).ටක් ගාලා ලෝඩ් වෙනවා.
    02.මාස පහට ඔහොම නං අවුරුද්දක් විතර යනකොට "ගල්,පොල්" එහෙම ගහන්න ගනීද දන්නෑ :D

    ReplyDelete
  7. පුංචි එකාට සුභ පැතුම්. මගෙ බ්ලොග් එකත් ඔච්චර විතර පොඩ්ඩෙක් තමයි.
    බින්දි කියනවා වගේ හැම එකක්ම අනු කොටස් විදිහට මෙතනම තියෙනවනම් හොඳයි නේද?

    ReplyDelete
  8. අයියේ මගෙත් අදහස නම් ඔයා technical artical ටිකත් මේ බ්ලොග් එකේම පොස්ට් කරන්න....
    ඔයාගේ බ්ලොග් එක නියමයි නැගල යනවා .ගොඩක් හොදයි.වෙනසක් කරන එකත් හොදයි.එතකොට තවත් හොදට බ්ලොග් එකට ප්‍රතිචාර ලැබෙයි කියල මට හිතෙනවා...
    මම ඉතින් පොඩි එකගේත් පොඩි එකනේ....මම තවම අකුර දෙක තුන ගැට ගගහ බහ තෝරන්න try කරන වයසේ.....මටත් ඉතින් මගේ පුංචි මොලෙන් ඔයාගේ පොස්ට් එකට පුංචි අදහසක් දෙන්න හිතුන.......
    මේ පොස්ට් එකේ මගේ පුංචිම පුංචි එකා ගැනත් මතක් කළාට ගොඩක් ස්තුතියි....ඔයා නොහිටින්න මේ පොඩි එකාගෙත් පොඩි එකා තවමත් අඩනවා......
    වෙලාවට ඔයාව හම්බ උනේ නැත්නම් මේ පොඩි එකා කවද නලව ගන්න පුළුවන් වෙයිද දන්නේ නැ.......
    ඔයාගේ පිහිටෙන් දැන් මගේ පුංචි එකා ටිකෙන් ටික වචන ගලපනවා.....
    ඔයාගේ බ්ලොග් එක තවත් ගොඩක් වැජබේවා කියල මම පතනවා ...............

    ReplyDelete
  9. සුභ පැතුම් මචං මටනං බොගේ බ්ලොගේ එහෙමම කියලා අවුපාඩුවක් පේන්න නෑ බලමුකෝ නිවාඩුපාඩුවේ ආපහු ඇවිත්...

    ReplyDelete
  10. මටත් කියන්න තියෙන්නේ බ්ලොගේ පට් පට් ගාලා ලෝඩ් වෙනවා .. බුවා කීව 2වැනි දේ හිතට ගනු ! එච්චරයි

    මම ඉතින් ඔයා ලියන කියන දෙයක් හිතට වැදුනොත් අදහසක් දීලා යන්නම් නිතරම .

    ReplyDelete
  11. @ ALL :
    අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තුතියි ! වෙන වෙනම පසුව ස්තුති කරන්නමි...

    ReplyDelete
  12. මේක මට කලින් ගොඩාක් දෙනාත් කියලා තියනවා.. ඇත්තටම බ්ලොග් එක කියන්නේ එක ලියන කෙනාගේ ජිවිතෙන් එක කොටසක්..

    ඒ ජිවිතේ කොටස් දෙක තුනකට කඩනවට වඩා හැම දේම මේකෙම ලියන එක තමයි ගොඩාක් හොද?? මොනවා උනත් කියවන්නේ තමන් කැමති ලිපි විතරනේ අය්යේ.. ඒ හින්දා මම නම් හිතන්නේ ටෙක්නිකල් කියලා වෙනම එකක් කරනවට වඩා මේකෙම හැමදේම ලියන එක හොදයි..

    මමත් ඔය කාරනය ගැන පොඩි මත විමසුමකුත් මේ දවස් වල කරගෙන යනවා...

    එකෙන් කියවෙන්නෙත් හැමදේම එකේම හොදයි කියලා නම් තමයි...

    කලින් බ්ලොග් ලියලා තිබුනට මෙහෙම ‍ෆිට් සෙට් එකක් එක්ක ආසාවෙන් බ්ලොග් ලියන්න පටන් අරන් තාම මාස 2ක් විතර...

    ලිපි 60 ලියලා හිට් 28000 ක් විතර අරන් තියන එක ගැන මටත් ආඩම්බ්බරයි.. ඔයා ගොඩාක් හොදට බ්ලොග් එක කරනවා අය්යේ....
    ජය

    ReplyDelete
  13. මම නම් බ්ලොග් ලියන එකට අලුත්. ඒ උනාට කාලයක් තිස්සේම බ්ලොග් කියවනවා.එහෙම කියවන කොට තමයි හිතුනේ බ්ලොග් එකක් ලියන්න ඕන කියන අදහස.කොහොම උනත් මගේ අදහස නම් ටෙක්නිකල් දේවලුත් මෙතනම ලියන්න කියන්න එකයි.මගේ සුබ පැතුම් ඔයාගේ බ්ලොග් දිවියට.. :)

    ReplyDelete
  14. සුභ පැතුම් මචන් ඔහොම කරගෙන යමුකෝ.. මමත් මේකට අලුත්.. උඹේ ඒකෙ කියන්න තරම් වැරද්දක් මට නම් නෑ

    ReplyDelete
  15. මාත් හිතනව හැමෝම කිව්ව වගේ මේ බ්ලොග් එකේම සේරම ලියන එක හොදයි කියල. හැබැයි තෝරගන්න පුලඉ්වන් වෙන්න පේජ් වලඉට වෙන්න කරන්න පුලුවන් නම් ‍හොදයි.ආ...තවත් එකක් @ (තවත් තියෙන ලොකුම දෙයක් තමයි අළුතින් අන්තර්ජාලයට එකතු වෙන අයව සිංහල බ්ලොග් වලට, බ්ලොගින් වලට ඇදගන්න එක ගැන මොනවා හරි දෙයක් කරන එක.) මේ වැ‍ඩේට නම් මාත් ඉහලඉින්ම සපෝට්.මගෙ මේ කෙහෙලඉ්මලඉ් කීබෝඩ් ‍එක ලෙඩ දෙන්න අරන්.එක හින්ද දැනට නවතින්නම්.

    ReplyDelete
  16. වරදක් නැහැ මලයා බ්ලොග් එක හොඳයි, ලියන්න හැම පැත්තෙන්ම, කියවන කෙනාට කම්මැලි හිතෙන්නෙ නැති වෙන්න .........

    ReplyDelete
  17. සුභ පැතුම් මලයා.. සරළව වටිනා දෙයක් දෙන්න. මිනිස්සුන්ට ආසාවෙන් කියවන්න.

    ReplyDelete
  18. නියමයි...මේ බ්ලොගේ ටෙක් කතා වලින් පුරවන්නේ නැතුව වෙන බ්ලොගයක් ඒකට දාන එක නම් හොදා..
    ලමය පොඩි උනාට ඉතින් වැඩ නියමයිනේ..නේහ්...

    ReplyDelete
  19. Blog තියෙන්නේ අපිට ‍ඕනේම දෙයක් ලියන්න කියවන අය ඒවා හරිද වැරදිද කියලා තීරණය කරනවා. ඇත්තටම අපේ ජිවතේ අත්දැකිම් අපිට බෙදා ගන්න පුලුවන් අපේ ‍බ්ලොග් වලින් ...
    ඇත්තටම මේ බ්ලොග් එක ගොඩක් හොදයි දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  20. ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.ලාංකිකයෙක් වශයෙන් රටට ලෝකයට හරවත් යමක් යහපත් යමක් කිරීමට දරණ උත්සහය විශිෂ්ටයි.මගේ යෝජනාවනම් මේ බ්ලෝග් එකේම හැම දේම තිබෙන එක පාඨකයාගේ රසයට හේතුවක් වේවි.විවිධත්වය නිසා රසයත් වැඩියිනේ.මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් ඒක දියුණු කරගන්නත් ඔබේ අදහස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.මට නම් තාක්‍ෂණික දේවල් ගැන එතරම්ම දැනුමක් නැහැ.මේ වෙනකම් හරි ගමන් කරන්න බලොග් සහෝදරවරුන් කිහිප දෙනෙක්ම
    උදව් කරලා ති‍යෙනවා .ඔබේ සහයෝගයත් ලබා දෙයි කියලා හිතනවා.ඔබට ජය

    ReplyDelete
  21. ගොඩක් ආස හිතුනා.. අදමයි ඔයාගේ බ්ලොග් එකට අවේ.. ගොඩක් වෙනස් වගේ..

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...