Tuesday, January 22, 2013

- 2012 සහ, දෙක තුන වෙච්චි 2013... Flashback 2012 -

http://moneyexcel.com//images/2012.jpg      අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් උදාවුනා. ඕක ඉතින් කැලැන්ඩරේ කොල ගැලවෙන එකයි, ඉලක්කම් හර‍‍ඹයකුයි ඇර වෙන නම් ඇති දෙයක් නෑ. පෘථිවිය වෙනදා විදියටම කැරකෙනවා. උදේ වෙනවා - රෑ වෙනවා... අළුත් දවසක් එනවා...

    හරි හරි ඉතින්... බණ ඇති... මේකා මේ මාස ගාණකින් බ්ලොග් එක මතක් වෙලා ඇවිත් මෙතන බයිලා ගහනවා, නේද ? ඉතින්, අනං මනං නැතුව ඔන්න හැමෝටම සුභ අළුත් (පිළුණු ?‍)  අවුරුද්දක් වේවා කියලා පතනවා. මේ 2013 ට කොටන පළමු වැනි පෝස්ටුව නේ. ඉතින් අවුරුදු විෂ් එක පමා වුනාට තරහ ගන්ට කාරි නෑ ඕං !!!


    බ්ලොග් අවකාශේ දැන් ඉස්සර වගේ පේන්න නැත්තේ මක්කැයි කියලා දන්නා අඳුනන කීප දෙනෙක්ම මගෙන් විපරම් කොලා... ඇත්ත තමයි ! මාස දෙකකින් විතර මගේ බ්ලොග් එක අළුත් වෙලා නෑ. කළාතුරකින් ඇරෙන්න වෙන බ්ලොග් පැත්තේ ගිහිනුත් නෑ. මේ ‘චතූට‘ මොනවා වුනාද කියලා දන්න අඳුනන අයට හිතුනා නම් පුදුමෙකුත් නෑ. ඇත්තම කියනවා නම්, බ්ලොග් එක ලියන්න පුදුම තරම් වුවමනාවක් තිබුනත්, ඒකට නිවාඩුවක් හොයා ගන්න එක - එක පැයක වෙලාවක් හදාගන්න එක - සෑහෙන අමාරු දෙයක් වුනා. එතකොට දැන් ඒ අමාරුව හොඳ ද ? නෑ, දැන් ඊටත් වඩා අමාරුයි ! ඒත් මේක මෙහෙම වත් කොටා ගත්තේ නැත්තන් වැඩේ කෙරෙන්නෙම නැති වේවි... ඉතින් ඇහැක් විදියට මේ ටික කොටලා දමන්නයි මේ තනන්නේ.

    අනේ ඉතින් ඇහැක් විදියට කොටන්න ගත්තට ඔය ටික කොටලා දවස් ගාණක් ගියාට පස්සේ තමා මේ ආයේ පටන් ගත්තේ. පහුගිය මාසෙක වගේ කාලේ ගෙදර කොම්පීටරයෙන් සෑහෙන්න දුරට ඈත් වෙලා හිටියේ. හේතු කාරණා කියන්නම්, පිළීවෙලකට එමුකෝ...

    පහුගිය (2012) ජනවාරියේදී මම මේ බ්ලොග් එකේ ලිව්වා ලිපියක් 2011 මතක සටහන් ගැන. ඒ කාලේදී නම් බ්ලොග් එක හොඳ තත්ත්වයේ තිබ්බා. ඇත්තටම ඒ කාලේ තමා මගේ බ්ලොග් එකේ පීක් එක. ගිය අවුරුද්ද වෙනකොට පෝස්ට් 57ක් ලියපු මම පහුගිය 2012 පුරාම ලියලා තියෙන්නේ පෝස්ට් 28 ක් විතරයි. ඒවගෙනුත් ඔක්කොම වගේ මම රූ පරිගණක සඟරාවට ලියපුවා. ලියන්න කියලා හිතාගෙන හිටපු ලිපි ඔක්කොම මග නතර වුනා. බොරුකාරයෙක් වෙන්න වුනු එකට දුකයි තමා. ඒත් ඉතින් බ්ලොග් එක ලියන්නේ විවේකයක් හම්බුනාම. හම්බුවෙන විවේකයෙදි අනෙක් වැඩ කලාම බ්ලොග් ලියන්නේ කොහොමද ?

    මේ අවුරුද්දේ මුල අපි හිටියේ නෝනිලගේ ගෙදර. මේ පාර පළමුවැනිදා උදාවෙද්දි මමයි, නෝනියි රෑ 12 පහුවෙනකල් ඉඳලා කිරි ඉතිරෙව්වා. බුදුන්ට පහන පත්තු කරලා ගේ පුරාම දුම් ඇල්ලුවා. ඇත්තටම කිව්වොත් 2012 අවුරුද්ද ෆිට් එකේ පටන් ගත්තා කිව්වොත් හරි... 2011 දෙසැම්බරයේ තිබ්බ අපේ කිරි දානෙ ෆොටෝ ගන්න ගෙනාපු පොඩි ඩිජිටල් කැමරාව මේ අවුරුද්ද පුරාම අපේ මතක සැමරුම් තියාගන්න උදව් වුනා.



මගේ 28 වැනි උපන්දිනයේ කේක් රාජයා...
විශේෂ ස්තුතිය - නෝනිට !


    මේ පාර පෙබරවාරියේ මගේ උපන්දිනය වෙනදා වගේ සැමරුවේ නෑ. ඇත්තටම මම උපන් දිනය මහ ලොකුවට ඔළුවට අරගෙන තිබුණේ නෑ. බොරුවට එක දවසක් වෙනුවෙන් අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්න බැරි නිසා මම මුකුත් ගෙනාවේ වත් නෑ. ඒ වුනත් ගෙදර අය සෙට් වෙලා කේක් ගෙනල්ලා‍, කිරිබත් උයලා තිබුණා. නෝනි කේක් එක එයාම අයිසින් කරලා හදලා තිබුණා. අන්තිමට ගෙදර අයගේ හිත සතුටු කරන්න වැඩට නොගිහින් ගෙදර නැවතුනා. හවස මම මල්ලිත් එක්ක ගිහින් කැස්බෑවේ "සීගිරි" එකෙන් චයිනීස් ගෙනාවා. කට්ටිය එක්ක කාලා සතුටින් විසිර ගියා... නෑ... නෑ... ගෙදරම තමා හිටියේ !!!

    අප්‍රේල් මාසෙත් ආවා... මම කාලයක් බලන් හිටපු එක දෙයක් යන්තම් මේ මාසේ මුල ඉෂ්ඨ කර ගත්තා. ලංකාබෙල් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තා. ඒකෙ කතන්දරේ මෙතනින් කියවන්නකෝ. අන්තිමට මාස ගාණක බිල් එකතු වෙලා කනෙක්ෂන් එක Disconnet කලා. ඉලක්කම් පහේ ගාණක් එකතුවෙලා තිබ්බා. අන්තිමට හම්බවෙන්න තිබුණු සීට්ටුවකට පටලවලා සල්ලි ටිකක් අරගෙන ඒක ගෙවලා ඉවරකලා... ඊට පස්සේ පරණ පුරුදු ඩොංගලයම තමා. හැබැයි ඉතින් 2012 අන්තිම මාස හයේදීම ගෙදරදී අන්තර්ජාලය පරිහරණය කරන එක සෑහෙන්න අඩුවුනා.

    හලාවත පුංචියි, බාප්පයි, කෙල්ලො දෙන්නයි අපි කියලම අවුරුද්දට අපේ ගෙදර ගෙන්න ගත්තා. අන්තිමට ඒක හිසරදයක් සල්ලි දීලා ගත්තා වගේ වුනා. බාප්පා ඩොල්කියත් අරන් ආවේ. මගේ ගිටාර් එකත් අරගෙන කට්ටිය එක්ක අවුරුදු දවසේ සාජ්ජයක් දැම්මා. අවුරුදු ලබන්න තියෙද්දී බාප්පයි, අම්මයි පොඩි වලියක් ගියා. අපි ගෙදර අවුරුදු චාරිත්‍ර අකුරටම කරනවා. වලිය ගියේ පුංචිලට බඩගිනියි කියලා නැකතට කන්න තියෙන කිරිබත් කලින් කාපු නිසා. අන්තිමට 2012 අළුත් අවුරුද්ද ලැබුවේ හිත නොහොඳ කරගෙන. ඊට පස්සේ පුංචිලත් එක්ක තිබුණු ආස්සරේ සම්පූර්ණයෙන්ම නැවතුනා.

    අවුරුද්දට මායි නෝනියි නෑ ගමන් එහෙමත් ගියා. හැමෝම කිව්වේ අළුත් අවුරුද්දේ වත් දෙක, තුන කරගන්න ලැබේවා කියලයි. ඒ වෙනකොටත් දෙක තුන වෙලා කියලා ඒ ගොල්ලෝ තියා අපි වත් දන්නේ නෑ ඕං !

    අපේ අක්කලා, නංගිලා සෙට් එකම එක්ක අපි දෙන්නත් පානදුර ලොකු අම්මලගේ ගෙදර ගියා. ලොකු අම්මලගේ ගෙදර කිව්වට මුලින්ම ගියේ beach එකට. කට්ටිය එක්ක හිතේ හැටියට නෑවා. බීච් එකේ වොලිබෝල් ගැහුවා. හවස් වෙද්දී ධාරාණිපාතෙන් වහින්න ගත්තා. අනෙක් උන් ටික 7-8 ක් විතර හොරණ අයියගේ ත්‍රීවිල් එකේ පටවලා ලොකු අම්මලගේ ගෙදර යැව්වා. මමයි නෝනියි තෙමි තෙමී බත් වෙලා බයික් එකේම එහේ ගියා. ලොකු අම්මලගේ ගෙදර සෙට් එකත් එක්කම කැට ගහලා, රෑටත් කාලා එහෙම, රෑ 10 ට විතර වැස්සේම නෝනියි, මමයි තෙමි තෙමි බයික් එකේ ගෙදර ආවා.

    මැයි මාසේ අපිට කොහොමත් පින්බර මාසයක්...! නෝනිටයි මටයි මේ අවුරුද්දේ මැයි මාසේ ජීවිතේට අමතක නොවන සුභ මාසයක් වුනා. මැයි 7 වැනිදා අපේ ටුන්ටි පැටියා අපි ලඟට ඇවිත් කියලා report එක අතට හම්බුවුනු වෙලාව නම් මට අමතක නොවෙන මොහොතක් !!! එදා අපේ ගෙදරම මඟුල් ගෙදර වගේ තමයි !!!

    මැයි 15 වැනිදා නෝනියි මමයි හා හා පුරා කියලා ක්ලීනික් ගියා. ඒකත් ජීවිතේ අමතක නොවන අත්දැකීමක්. ඊට පස්සේ අවුරුද්ද ඉවර වෙනකල්ම මාසෙට දෙපාරක් නිවාඩු දාලා ක්ලිනික් දුවන එක තමයි රාජකාරිය වුනේ.

    ජුනි මාසෙත් ආවා. මේ මාසේ නෝනිටයි මටයි දෙන්නටම වැදගත් මාසයක්. නෝනිගේ උපන් දිනේ ජුනි 06. මේ පාර නම් මුකුත් ගත්තේ නෑ. ඒ වුනත් අපිත් එක්ක ටුන්ටි බබත් උපන් දිනේ සමරන්න ඉන්නවා කියලා ඒ සතුටටත් එක්ක (නෝනිගෙත් favourite නිසා) චොකලට් කේක් ගෙනත් කෑවා. ජුනි මාසේම 30 වැනිදා අපේ විවාහ සංවත්සරය. කසාද බැඳලා අවුරුදු 03 යි. වැඩ ගොඩ අස්සේ මේ පාර ඇනිවසරියට පෝස්ට් එකක් වත් දාන්න බැරුව ගියා. කොහොම වුනත් ගිය අවුරුද්දේ සැමරුම් සටහන් ලියද්දී සහ සංවත්සර සටහන් ලියද්දී කියපු විදියට තුන්වෙනි සංවත්සරේට අපි තුන් වැනියෙක් ගෙනාවා...

    ජූලි මාසෙදි අපි අපේ පැටියා ගැන හිතලා Specialist කෙනෙක් channel කලා. ඒකට යන්න උපදෙස් දීලා අපිව එතැනට යොමු කරවපු සමිලා නංගිට ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

    දැන් හරියටම දවස් මතක නැතත්, මෙච්චර කල් තනියම අපේ සඟරාවේ වැඩ ටික ඇදන් ගිය මට අළුත් සගයෙක් එකතු වුනෙත් ජුනි-ජූලි කාලෙදි... රසිකත් අපේ සඟරාව එක්ක වැඩ කරන්න එකතු වුනා. එතැනින් පස්සේ අපේ සඟරාවේ වැඩ තවත් හොඳට කරගෙන යන්න පුළුවන් වුනා. අපේ සඟරාවේ ප්‍රමාණය විශාල කරලා print කරන්න ගත්තෙත් මේ කාලෙදිම තමා...

    අපේ බබාගේ වැඩ කටයුතු ටික කරගන්න සල්ලි ටිකක් ගැන හිත හිත ඉන්න වෙලාවේ තමා අගෝස්තුවේදි හදිසියේම අතට සල්ලි ටිකක් ආවේ. බබාට ඕනේ කරන ඔක්කොම රෙදි ටික සැප්තැම්බර් වෙනකොට අපි හදලා තියාගත්තා. බබාගේ බඩු දාන්න baby cupboard එකක් ගත්තා. එයාගේ නැපීස් හා වෙනත් රෙදි මුලින්ම හේදුවෙත් මම තමා !!!

    පවුලට එකතු වෙන අළුත් සාමාජිකයා වෙනුවෙන් අපේ කාමරේට ෆුල් රෙපෙයාර් එකකුත් දුන්නා. හුණු ගාලා, තීන්ත ගාලා, පොඩි සිවිලිමකුත් ගහගත්තා. බිමට කාපට් එකකුත් දැම්මා. කාමරෙත් අස් කරලා පිළිවෙලක් කලා. මගේ අළුත් කොම්පීටර් මේසෙත් මුලින්ම පාවිච්චියට ගත්තේ අද තමා. කාමරේ වැඩ කටයුතු වෙනුවෙන් මම පෝය දවසකත් වැඩ කරලා එක ලඟ දවස් දෙකක් නිවාඩු ගත්තා. අපේ බොස් ට ඒ කාරණේ පොඩ්ඩක් අවුල් වෙලා මම බොස් එක්ක පොඩි කේස් එකකුත් ඇද ගත්තා. ඇත්තම කිව්වොත් මම අයින් වෙනවාමයි කියලා හිතාගත්තා. නමුත් මොකක්ද මන්දා වෙලාවකට ඒක වුනේ නෑ. ඒ කොහොම වුනත් ඒ කේස් එකෙන් පස්සේ බොස්ගෙයි මගෙයි සම්බන්ධකම තවත් වැඩි වුනා කිව්වොත් හරි. අපේ සඟරාවේ වැඩ ටිකත් මේ කාලෙදී හොඳ උනන්දුවෙන් කෙරුණා. රූ පරිගණක සඟරාවට අමතරව ලංකාවේ පළවෙනි වතාවට "දුරකථන" කියලා අළුත් සඟරාවකුත් අපි මේ කාලෙදි පටන් ගත්තා. එක සඟරාව වෙනුවට සඟරා දෙකක වගකීම් පැවරුනත්, අර මුලින් කී කේස් එකෙන් පස්සේ මම මගේ ජොබ් එකට මාර විදියට ඇලුණා... ඉතින් දැන්, මේ වෙන කොට වැඩ දෙකම නැගලා යනවා කියලා තමා කියන්න තියෙන්නේ !!!

    සැප්තැම්බර් - ඔක්තෝම්බර් කාලෙදී තමා ඇ‍ඹිලිපිටියේ හිටපු UD ආපහු කොලඹ පදිංචියට ආවේ. ඊට පස්සේ ධනූ, මම සහ UD ආයෙත්  ඉස්සර වගේ නිතර සෙට් වුනා. අපේ මියුසික් කටයුතුත් කෙරීගෙන ගියා. අළුතෙන් melody දෙකකුත් හැදුනා. ඒවා record නොවෙච්චි එක වෙනම කාරණාවක්. කොහොම වුනත් ඔය කාරණාව නිසා මගේ යටපත් වෙළා තිබුණු digital Music උණ ආයෙත් මතුවෙලා ආවා.

ධනූ සහ UD

    ආඃ !!! කියන්න බැරි වුනානේ. කසාද බැන්දට පස්සේ බෑන්ඩ් ජීවිතේ අත හැරියත් මේ අවුරුද්දේදි ආයෙත් ප්‍රසංග වේදිකාවකට නගින්න ලැබුණා. ඒ මාස දෙකකට විතර සංගීත කණ්ඩායමක් එක්ක එකතු වෙලා play කරපු නිසා. ප්‍රසංග තුනකට විතර සහභාගි වුනා. නිවාඩු තියෙන ඉරිදා දවසම කාලා ඒකේ practice ගිහින් අන්තිමේදී ලැබුනු දෙයක් නෑ. අගෝස්තුවේදි විතර බෑන්ඩ් එකෙන් ආයෙත් අයින් වුනා.

    ඔක්තෝම්බර් මාසේ අන්තිමදී විතර පවුලේ කට්ටිය සහ ලඟම හිතවත් පවුල් දෙකක් එක්ක අපි කට්ටියම පොඩි ට්‍රිප් එකක් ගියා. අඳුනන වෑන් එකක් කථා කරගෙන කළුතර වැඳලා, අළුත්ගම කන්දේ විහාරෙට ගියා. බබා වෙනුවෙන් බාරෙකුත් වුනා. එන ගමන් පානදුර බීච් ගියා. දවාලට එතැන ඉඳන් කෑවා. නානවා කීවට කවුරුත් ආවේ නෑ නාන්න. මම විතරක් ෂෝටට බැහැගෙන වතුරට බැස්සා. පැයක් විතර වතුරේ නටලා ආපහු ගෙදර ආවා. අවුරුදු දවස් වල නෝනියි මායි වතුරේ නටපු හැටි මතක් වුනා. එතකොටත් ටුන්ටි පැට්ටා බඩේ ! අපි දන්නවැයි ඔය වගක් !!!

අපේ ට්‍රිප් එක අතරමග දුටු මාදැලක්...

    නොවැම්බර්, දෙසැම්බර් මාස දෙක සෑහෙන්න හිතේ බයෙන් ගෙවුනු මාස දෙකක් ! අපේ ටුන්ටි පැට්ටාව එළියට ගන්න සීසර් කරන්න වෙයි කියලා ඩොක්ටර් කියලා තිබ්බේ... දින ලං වෙන්න, ලං වෙන්න අම්මා ගැනයි, බබා ගැනයි හිතේ බය වැඩි වෙවී තිබ්බේ. කොහොම වුනත් අවසානයේදී සියල්ල හොඳින් සිදුවුනා. ටුන්ටි බබා හම්බවෙන්න දින දීලා තිබ්බේ දෙසැම්බර් 24... කොහොම වුනත් දෙසැම්බරයේ 17 වැනිදා උදේ වරුවේ අපේ දූ පැටියා මේ ලෝකෙට ආවා. එදා තමයි කසාද බැන්දට පස්සේ උදාවුනු හොඳම දවස...!!!

    ගිය අවුරුද්දේ මට කියලා විශේෂ දෙයක් එකතු කරගත්තේ නැති වුවත් අපි වෙනුවෙන්, අපේ පුංචි පවුල වෙනුවෙන් වැඩ කොටසක් කරගත්තා. අපේ දූ වෙනුවෙන් රිපෝට් එකේ ඉඳන්, ක්ලීනික් යනකල්... රෙදි කෑල්ලේ ඉඳන් කබඩ් එක වෙනකල් කාටවත් ණය නොවී මගේ පුංචි පඩියෙන් ෂේප් කරගත්තා. අපේ චූටි දුවා ලෝකෙට එන්නත් කලින් ණය කාරයෙක් නොකර ඉන්න පුළුවන් වුනු ගැන නම් ගොඩක් සතුටුයි. ඉදිරිය ගැන හිතලා අපි තුන්දෙනාටම බැංකු ගිණුම් තුනක් දාපු එකත් ලොකු ඉතිරියක්. සමස්ථයක් විදියට ගත්තොත් මගේ උපන්ගෙයි කම්මැලිකම (!) ගිය අවුරුද්දේ - විශේෂයෙන්ම ටුන්ටි දූ අපි ගාවට ආවට පස්සේ - බොහෝ දුරට අඩුවෙලා ගිය එක ගැන නම් මටත් වඩා අපේ නෝනිට සතුටු ඇති..

අවුරුද්ද මුලදී හිතන් හිටපු ඒවගෙන් ගොඩක් කරගන්න ලැබුණා. හැබැයි කෙටිකාලීන බලාපොරොත්තු විතරයි. දීර්ඝකාලීන බලාපොරොත්තු වලින් දෙකක් තාමත් එහෙමමයි. එයින් එකක් නම් 2012 දී සැබෑ වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒක තමා මේ අවුරුද්දේ ලොකුම බලාපොරොත්තුව. ඒ කියන්නේ දෙක තුන කරගෙන මගේ පවුල සම්පූර්ණ කරගන්න එක...!!!

    2012 අවුරුද්දේ මගේ පවුල සම්පූර්ණ කරගෙන අපේ කියලා චූටි පැටියෙක් හදාගන්න පුළුවන් වුනු එක තමා ගිය අවුරුද්දේ ලොකුම ජයග්‍රහණය. වෙන මොනවා නැතත් මට ඒ ඇති... ඔන්න, "දෙක තුන කරගන්න කාලේ හරි..."‍, "අයියෝ, තාම ළමයෙක් හදාගත්තේ නැද්ද ?" කියලා අහපු අයට, ඔන්න මම උත්තර දුන්නා... ගිය අවුරුද්දේ පෝස්ට් වලින් දීපු පොරොන්දු ඔන්න මම ඉෂ්ඨ කලා‍, හරිය !!!

අප්පච්චියි, ටුන්ටි බබයි...

    ගිය අවුරුද්දේ priorities වෙනස් කරන්න වුනු නිසා මගේ කොම්පීටරේට සහ බයික් එකට නම් කුඩම්මාගේ සැලකිලි තමා අත්වුනේ. බයික් එක පිළිවෙලකට හදාගෙන, කොම්පීටරේ ලෙඩ ටික හදාගන්න එක තමා 2013 දී කරගන්න ඕනේ. වෘත්තීය ජීවිතේ පැත්තෙන් ගත්තොත් 2012 වඩා 2013 හැම අතින්ම හොඳ වේවි ! දැන් මාත් එක්ක වැඩට තව දෙන්නෙක් ඉන්නවා. අපේ සඟරා දෙකම පිළිවෙලකට කෙරීගෙන යනවා. ඉස්සරහට දැනට වඩා හොඳ වේවි කියලා විශ්වාසයක් තියෙනවා...

    හ්ම්... අවසානයට මේ වල්පල් ‍ඔයාලට කියන මගේ බ්ලොග් එක ගැන කිව්වොත් ! අහෝ දුකකි. ගිය අවුරුද්දේ පෝස්ට් දැමිල්ල සෑහෙන පහළ බැහැලා. දැන් ඉතින් පෙරටත් වඩා වගකීම් වැඩි වීම හා විවේකය අඩුවීම නිසා 2013 දී පෝස්ට් වැඩිවේවි කියලා නම් ලොකු බලාපොරොත්තුවක් වෙන්න බෑ. කෙසේ වෙතත්, මාසෙකට පෝස්ට් දෙකක් වත් දාන්න උත්සාහ කරන්නම්...!

    ඔන්න එහෙනම්, අන්තිමටම මම කියන්නම් මගේ මේ පෝස්ට් එකේ මාතෘකාවට අදාල තේරුම. දෙකහමාරේ 2012 කියන්නේ අපේ පවුල 2 ත් නැතුව, 3 ත් නැතුව 2 1/2 වෙලා තිබ්බ නිසා. අනික ඉතින් 2012 කියන සංඛ්‍යාව ගත්තොත් බලන්න ඕක අස්සෙන් 2 1/2 ක් පේන්නේ නැද්ද කියලා...

    දෙක තුන වූ 2013 ගැන නම් ඉතින් අළුතෙන් පැහැදිලි කරන්න වුවමනා නැතිවෙයි. මගේ ජීවිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි මගේම කියලා පවුලක් හදා ගන්න එක. ඒකෙන් භාගයක් නෝනිත් එක්ක පවුල් කන්න ගත්ත දවසේ ඉටු වුනා. ඉතුරු භාගෙත් සම්පූර්ණ කරගෙන අපේ ටුන්ටි දුවා අපි ලඟට ආවා. දැන් ඉතින් පවුල් කෑමේ බලාපොරොත්තුවත් හරි. දැන් ඉතින් මගේ කියලා ගේ පොඩ්ඩක් හදාගන්න ඕනේ... මියුසික් පිස්සුව නිසා මට උන් හිටි තැන් නැති වුනා කියලා මගේ බෑන්ඩ් කථා සීරිස් එක කියෝපු කට්ටිය දන්නවා ඇතිනේ...!

    එහෙනම් ඉතින්, මගේ කියවිල්ල මෙතනින් අවසානයි ! මෙච්චර වෙලා මගේ 2012 මතක සටහන් පල්හෑල්ල අසා සිටි, බලා සිටි, කියවමින් සිටි ඔබ සැමට බොහොම ස්තුතියි !!! අනිවාර්යයෙන් තවත් දවස් කීපයකින් තවත් වැදගත් පෝස්ටුවකින් හමුවෙන තුරු ඔබට ජය !!!




32 comments:

  1. චූටි දුවව සාදරයෙන් පිළිගනිමින් වාසනාවන්ත, පින්බර අනාගතයක් පතනවා..ජීවිතේ තබන තබන අඩිය ජයග්‍රාහී වේවා කියලා පතනවා..

    උබටත් එහෙනම් සුබ පැතුම් තාත්තෙක් වුනාට.. නෝනිටත් අම්මෙක් වුනාට සුබ පැතුවා කියහන්..

    දැන් ඉස්සර වගේ බෑ කියලා මම නොකිව්වට උඹ ඒක තේරුම් අරන් ඉන්නෙ කියලා තේරුනා මේ ලිපිය කියවපුවම..

    එහෙනම් චූටි පවුලට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. 2013 අවුරුද්දට පළමු reply එක එහෙනම් ඔන්න සෙන්නා සහෝට ! ගොඩාක් ස්තුතියි මහ රෑ (දැන් ඔහෙට 10 ද ?) ඇහැරගෙන බ්ලොගේ බැලුවට !!!

      සුභ පැතුම් සතුටින් භාරගන්නවා !

      //දැන් ඉස්සර වගේ බෑ කියලා මම නොකිව්වට උඹ ඒක තේරුම් අරන් ඉන්නෙ කියලා තේරුනා මේ ලිපිය කියවපුවම..//
      ඒක නම් එහෙම තමයි... මොනවා කලත් family 1st !!! ආයෙමත් ස්තුතියි අයියණ්ඩි !!! උඹටත් ජයෙන් ජය වේවා !!!

      Delete
  2. හරිම සතුටුයි චතුරංග...අපේ හදපිරි සුබපැතුම්. පොඩ්ඩාගේ අත විතරනේ දාලා තියෙන්නේ :) මටත් මතකයි ඔයා 3 වෙනි සංවත්සරේට 3 වෙනියෙක් ගේනවා කියලා කිව්වා තමා. දැන් ඉතින් වගකීම් වැඩියි නේ. ඒත් ඉඳල හිටලවත් පෝස්ට් එකක් දාන්න. තුන් දෙනාටම සුබ පැතුම් ඔන්න ආපහු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සයුරි ! පොඩ්ඩාගේ මූණ දාන්න විදියක් නෑ තව... කැත හින්දා නෙවෙයි මාස 3 ක් නැති නිසා !

      //මටත් මතකයි ඔයා 3 වෙනි සංවත්සරේට 3 වෙනියෙක් ගේනවා කියලා කිව්වා තමා.//
      අපි එහෙම තමා. පොරොන්දු වුනොත් ඉෂ්ඨ කරනවාමයි !!!

      හැකි සෑම වෙලාවකම පෝස්ට් එකක් දාන්න උත්සාහ කරන්නම්. පහන් යාය පැත්තේ නිතර නාවට තරහ ගන්ට කාරි නෑ ඕං !

      ආයමත් ගොඩක් ස්තුතියි ඉස්සර වගේම මේ පැත්තේ ගොඩවැදිලා යන එකට. අපි දැන් ඉඳ හිටලනේ මේ පැත්තේ ගොඩ වෙන්නේ. කොහොම වුනත් සයුරිටත් මහත්තයටත් 2013 දී තුන් වැනියෙක් ගේන්න සිත් පහළ වී වාසනාව උදා වේවා කියලා ඔන්න අපේ පුංචි පවුලෙන් ප්‍රාර්ථනාවක් කරන්නම් !!! ජයෙන් ජය !!!

      Delete
  3. වැඩේ කියන්නෙ මමත් අදමනෙ හා හා පුරා කියල ලියන්න පටන් ගතෙ.
    අදම චතූ අයියත් ලියන්න පටං අරං. :)

    තාත්තෙක් උන එකට හදවතින්ම සුභපැතුම්. චූටි දුවට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
    Replies
    1. මං බැලුවා හා හා පුරා කියලා අද ද ලියලා තියෙන්නේ කියලා. බැලින්නම් පළපුරුදු බ්ලොග් කාරයෙක්නේ !!!

      සුභ පැතුම් වලට බොහොම ස්තුතියි සහෝ !!! හැනි වේලාවට ඔය පැත්තෙත් එන්න බලන්නම් ! ජයෙන් ජය !!!

      Delete
  4. මමත් ඔන්න හදවතින්ම සුභ පතනවා ඔය දෙන්නටයි පුංචි දූ පැටියටයි... ඇහුවට කමක් නැද්ද මන්දා... කෙලි පැටියගෙ නම මොකක්ද...?
    අර රස්සාවෙන් අයින් වෙන්න හිතිලත් ඒක වෙනස් උනේ දූ පැටියගෙ වාසනාවටම වෙන්නැති... නැත්නම් ඔයාට මීට වැඩිය වෙනස් කෑල්ලකුත් මේ කතාවට එකතු කරන්න වෙන්න ඉඩ තිබ්බා....

    ReplyDelete
    Replies
    1. ජොබ් එකේ කේස් එකනම් එහෙම වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. කොහොමත් කෙලි පැටියා අම්මිටයි, අප්පච්චිටයි වඩා වාසනාවන්තයි !!!

      කෙලි පැටියගේ නමත් එක්කම වැඩි විස්තර වෙනමම පෝස්ට් එකකින්... එතකල් සුභ පැතුම් පිළිගන්නා ගමන් බොහොම ස්තුතියි කිව්වා ! ජය !!!

      Delete
  5. ow ow digital music gna katha karanna ape gewal patthe enawa kiwwa a kale :D.

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් මියුසික් ගැන උණ තියෙනවා විතරයි බං ! බේතක් ගන්න වෙලාවක් නෑනේ... !!!

      Delete
  6. මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැක්කම හිතුනේ කාලෙකින් නේද කියල . එතකොටයි මේකා ලිපියක් ලියලා කියා දැක්කේ .
    කියන්න වචන නැහැ . වචන මදි සුබ පතන්න . හරිම සතුටුයි. සමහර හොඳ මිනිස්සු අඳුන ගන්න ඇසින් දකින්න ඕනෑම නැහැ . අන්න ඒ වගේ සහෝදරයෙක් කියල හිතුන ළමයෙක් ඔයා මල්ලි .

    මන් මෙතන ආසම අර පින්තුරේට . ලොකු අතක් උඩින් සියුමැලි බිලිඳු අතක් ..වචන දාහකින් වත් කියන්න බැරි ආදර කතාවක් ඒ පින්තුරේ තියෙනවා .

    ඉතින් අලුත් අම්මටයි තාත්තටයි පුංචි දුටයි මගේ හද පිරි සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. //එතකොටයි මේකා ලිපියක් ලියලා කියා දැක්කේ //
      හිහ් හී !!! මම ලිව්වේ නෑ කියලා අක්කට මාට්ටු ද එහෙනම් ?

      //අන්න ඒ වගේ සහෝදරයෙක් කියල හිතුන ළමයෙක් ඔයා මල්ලි//
      මගේ බ්ලොගේ මුල් කාලෙදි ලිව්ව රාවණා ගේ පෝස්ට් එකේ ඉඳන් අක්කා චතූගේ කථා එක්ක ඉන්නවා ! ඒ සහෝදර කමට ගොඩාක් පිං අක්කේ !!!

      //ලොකු අතක් උඩින් සියුමැලි බිලිඳු අතක් ..වචන දාහකින් වත් කියන්න බැරි ආදර කතාවක් ඒ පින්තුරේ තියෙනවා //

      කෙල්ලගේ මූණ දාන්න ආසයි ලෝකෙටම පේන්න මෙන්න මගේ වස්තුව කියලා... ඒත් ඉතින් සීමා මායිම් තියෙනවා නොවැ... මුකුත්ම නොදා බැරි හින්දයි ඕකවත් දැම්මේ... කොහොමටත් චුට්ටන්ගේ අත් අල්ලගෙන ඉන්න මං කැමතියි. එයාලා අපේ ඇඟිල්ල තද කරලා අල්ලගන්න එකට තමයි මම ආස !!!

      බින්දි අක්කටත් ගොඩක්ම ස්තුතියි මේ මල්ලිගේ බ්ලොගේ පැත්තේ ඇවිත් සුභ පතලා ගිය එකට... නිතර නිතර නෙළුම් විල පැත්තේ නොඑන එකට සමාව දෙන සේක් වා. මල් වල රස අඩුවක් නෙවෙයි. දන්නවනේ ඉතින් තත්ත්වේ !!!

      ජයෙන් ජය !!!

      Delete
    2. ගෙදර අයගේ පින්තුර නොදැන තරමට හොඳයි. මුණු පොතෙන් පුළුවන්නේ හිතවත්ම අයට පෙන්වන්න ඕනෑම නම් . අපි දන්නේ නැහැනේ මේ බ්ලොග් ලෝකේ කොයි කොයි විදිහේ අය ඉන්නවද කියල

      Delete
    3. එකඟයි අක්කේ ! මට නම් මූණු පොතටත් වඩා G+ ෂුවර් !!!

      Delete
  7. සුබ පැතුම් හැම දේටම ..................

    ReplyDelete
  8. කාලෙකින් පෝස්ට් එකක් දැක්කේ.
    සුබ පැතුම් ! ඒ වගේම සියළු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා !

    ReplyDelete
  9. කාලෙකට පස්සේ චතුරංග ලියන්න පටන් අරං. ඔන්න කැදැල්ලේ සියලු දෙනාටම හද පිරි සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දයානන්ද අයියේ !!! පුළුවන් විදියට ලියන්න තමයි උත්සාහය ! අස්වැන්න බලන්න නාවට තරහා නැතිව ඇති නේ ??? ජය !!!

      Delete
  10. වැඩ ගොඩක ඉන්න බව ඉතින් කෙටි පණිවිඩ හරහා දැනගන්න ලැබුනත් එක හේතුවක් ගැන නම් තරහක් එනවා.... මේ තරම් හැපී නිවුස් එක කිවේ නැනේ,....

    මොනවා කරන්නද ඉතින් අපිටත් ඉතින් ඔන්න හැපි.... අය්යාගේ නොනිත් ටුනටු බබත් එක්ක මේ 2013 හිතන පතන විදිහට හැම වැඩක්ම කරගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා අයියේ.....

    ReplyDelete
    Replies
    1. කිව්වේ නැති එක ගැන තරහ ගන්න එපා මලේ... හැපී නිව්ස් එකපාර කිව්වම අගේ නෑලුනේ !!! :)

      මල්ලිටත් ගොඩක් ස්තුතියි සුභ පැතුවාට !!! ජයෙන් ජය !!!

      Delete
  11. සුභ පැතුම් මචං.

    අපි ඉතින් උඹ ගැන විස්තර කොහොම දැනගන්නද ඉතිං පොස්ට් නොලිවුවත් කොමෙන්ට් එකක්වත් දැක්කේ නැහැ. එහෙනම් හැම දෙයක්ම හොඳින් සිද්ද වේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් අසා !!! බ්ලොග් ලිවිල්ල විතරක් නෙවෙයි, කියවිල්ලත් පහුගිය ටිකේ මග ඇරුණා... උඹලා එක්ක තරහකට නෙවෙයි... ගොඩාක් ස්තුතියි ඇවිත් ගියාට ! ජයවේවා !!!

      Delete
  12. me post eka enakam maga balagena hitiye aiye,danne dakke meka..

    Tunti babatai,aiyatai,akkitai theruwan saranin,hada radi siyalu prarthana ishta sidda wela sarthaka jiwithayak hamadamath labewa kyla mulu hadawathinma pathanawa..

    Lagapathaka hitiyanam patiyawa blanna aniwa enawa.oya patte awot aniwa ennam..
    Ubawa blandat aasai aiye...

    Oya kypu widiyatanam tawamat mage bloge wenuwen loku dyk krnda bri una.sorry weyan aiye..

    Wada wadi bn..ekai..

    Me bloge nam liyahn digatama mnawa unath...

    Aniwa heta anidda nomaloth,oyawa blanna marenda kalin enawama thamai...

    Me para gate ekata aiyata enda widiyak nathuwa athi ne,chuttage wadat tyna nisa...

    Puluwn kamak tiyenawanam enda blanda...

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ හමුවුනු සහෝදරයින් අතරේ උඹ එදා ඉඳන්ම මල්ලියෙක් වුනා... ඒ බැඳීම් ඉතින් නොදැක්කාය කියලා අඩුවෙන්නෑ...

      දමිත් මල්ලි, උඹටත් ගොඩක් ස්තුතියි සහෝදරයෙක් වගේ ලඟින් ඉන්නවට ! අපි හැමෝම ලඟඳිම හම්බ වේවි ! මේක පුංචි රටක් නේ...

      ජයෙන් ජයම වේවා මල්ලියෝ...

      Delete
  13. හොද ලිපියක් චතුරංග අයියේ

    ReplyDelete
  14. ඔන්න ඉතින් අමාරුවෙන් හරි මේ පැත්තට ගොඩ උනා..උබ පෝස්ට් එකක් දැම්ම කියල දැනගත්තම රිප්ලයි නොකර බෑනෙ. චතුවෝ... උබව අපිට සෙට් වෙන කොට හිටිය විදියයි අද ඉන්න විදියයි බලනකොට අපේ සෙට් එකටම බොහොම සතුටුයි. දෙයියන්ගෙ පිහිටෙන් සෑහෙන්න හොඳ තැනකට උබ ඇවිල්ල තියනව. දැන් ඉතින් අපි උනත් උබව තමයි ආදර්ශයට ගන්නෙ..;) හෙහ් හෙහ්...
    හරි ඉතින් ඔන්න උබ අපිව මාමල කරපු එක ගැන බොහොම සන්තෝසයි..හැබැයි අර නම මෙතන ප්‍රසිද්දියෙ දාන්න එපා හොදේ.. :D ඉතින් උබේ චූටි දූටත්, ගෙදර උන්දැටත්, උබටත් මේ ලැබුවා වූ 2013 කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියල ප්‍රාර්තනා කරනවා..!! තවද අපගේ අනුදැනුමකින් තොරව අපගේ ඡායාරූපය පලකිරීම දැඩි සේ හෙලා දකිනව... මම ගියා..ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. අසනීප තත්ත්වය උඩ හරි ඇවිත් ගොඩ වෙලා වචනයක් දොඩලා ගිය එක ගැන බොහොම සතුටුයි මචං !!! මං දිහා බලං සතුටු වුනාට නං කාරි නෑ, හැබැයි ගොයියෝ මාව ආදර්සෙට අරන් උඹලා මොනවා කර ගත්තත් මම නම් වග කියන්නේ නෑ ඕං !!!

      2013 අවුරුද්ද උඹටත් සුභ අවුරුද්දක් වේවා... අසනීප සුව වේවා !!! අර මොකක්ද බොල අන්තිමට දොඩා ඇත්තේ... හෙලා දැක්කය කිව්වා... මං නම් එහෙම එකෙක් දැක්කේ නෑ !!! තරහ අවසර ආයුබෝවන්න ! ජයවේවා මචං !!!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...