Friday, May 13, 2011

බට්ටාගේ විකාරරූපී ඒලියන් සිහිනය #2


රායිට්, ළමයි... බට්ටගේ හීනේ දෙවැනි කොටස කියවන්න ලෑස්තිද ? කලින් කොටසෙදී බට්ටා නිබ්රු කියන ග්‍රහලෝකෙට හීනෙන් ගියානේ.  ඊට පස්සේ එහේ හිටපු නිබ්රු සෙට් එකක් එක්ක බට්ටා ආපහු යානාවකින් එනවා. දැන් බලමු එතන ඉඳන් මොකද වෙන්නේ කියලා.


මේ නිබ්රු වරුන්ගේ ලෝකෙට ලොකු ප්‍රශ්ණයක් වෙලා. එයාලගෙ ලෝකෙ වායුගෝලය දූෂණය වේගෙන එන්නේ. ඉතින් වායු ගෝලයේ තත්ත්වය අයහපත් වෙන්න කලින් අවශ්‍ය පිලියම් යොදන්න තමයි මේ යන්නේ. තව ටික දුරක් යද්දි තමයි බට්ටට තේරුනේ කොහෙද යන්නේ කියලා. ආ...හා... අර තියෙන්නේ නිල් කැටේ වගේ බැබලි බැබලි අපේ ලෝකෙ... අපේ පෘථිවිය !!! දැන් මේ කට්ටිය සෑහෙන ලඟට ඇවිත්. හැබැයි... පොඩි අවුලක් තියෙනවා... හත් දෙයියනේ කෝ පෘථිවිය වටේ යන හඳ ???

            ආ... ඒ ගැන බයවෙන්න එපා. ඒක අපේ පස්සෙන් එනවා. එයා මෙහේට එන්න ඔයාගේ කාලයෙන් නම් තව අවුරුදු ලක්ෂයක් විතර යාවි...

            බට්ටා කාගෙන්වත් ඇහැව්වේ නෑ. හැබැයි උත්තර නම් හම්බවුනා. ඒකත් කනට ඇහිලා නෙවෙයි. හැබැයි උත්තරේ නම් ඇහුනා. මේ යකා හඳ පස්සෙන් එනවා කියන්නේ... හඳ ඇවිදගෙන ද දන්නෑ එන්නෙ ???

            ඈ...!!! හඳ පස්සෙන් එනවා...???

            ඔයා ඔය කියන්නේ අපේ ලූනික් යානය ගැන... එයා ගොඩක් ලොකු නිසා වේගය අඩුයි. එයා හිමින් සැරේ ඇවිත් පෘථිවි කක්ෂයේ ස්ථානගත වේවි. එතකන් අපිට කරන්න වැඩ තියෙනවා...

            හපෝයි... එතකොට හඳ කියන්නේ නිබ්රුලගෙ යානාවක් ද ? එහෙනම් යකෝ... ඇමරිකන් කාරයා හඳට ගිහින් හඳේ කොඩි අනින කල් මුන් මක් කලාද... ?

            ම්ම්...ම්... ඒකට තව අවුරුදු ලක්ෂ ගාණක් කල් තියෙනවා. එතකොට බලා ගන්නකෝ මොකද වෙන්නේ කියලා...

            මේ යකා මොනවා කියනවද මන්දා ! හඳ මෙහෙට එන්න අවුරුදු ලක්ෂයක් යනවලු... ඇමරිකන් කාරයා හඳට යන්න තවත් අවුරුදු ලක්ෂ ගාණක් තියෙනවලු...???

            ඔය කතන්දර අස්සේ මේ යෝධයො ටික පොලොවට land කරලත් ඉවරයි. අප්පච්චියේ...!!! මේ මොකද මේ... මේ නම් පෘථිවිය වෙන්න බෑ. බට්ටට හරි අප්සැට්... යකෝ බට්ටා ගිහින් ආපු ටිකට ලෝක විනාසෙ වත් වෙලා ද ? හැම තැනම අමුතුයි, පාළුයි... පොලොව රතු පාටයි... රළුයි... ඒ මදිවට මහා ලොකු ගල් පර්වත... ගස් වුනත් හරි අමුතුයි. මගෙ අම්මේ...!!! අර මොකාද අර සතා... කෞතුකාගාරෙක වත් දැක්කා මතක නෑ... දැන් නම් බට්ටට හිතෙන්නේ, අවුරුදු ගානක් අනාගතේට ගොහින් වගේ...


            නෑ... ඔයා අවුරුදු ලක්ෂ 04 ක් පස්සට ඇවිත්... මේ ඔයාලගේ වර්ගයාගේ මුල් කාලේ...

            හත් දෙයියනේ !!! අවුරුදු ලක්ෂ 04 ක් අතීතයේ... මේ වෙන කොට අපේ මහ මුත්තා බිහිවෙන්න තියා බිහිවෙන්න හිතලාවත් නැතුව ඇති. දැන් බට්ටට හීනෙන්ම හිතෙනවා මේ දකින්නේ හීනයක්ද කියලා...

            මේ අතරේ අපේ නිබ්රු ය‍ාළුවෝ ටික වැඩ පටන් අරන්. බට්ටට වැටහුන විදියට, තේරුම් ගිය විදියට නම් මේ ‍ගොල්ලො base එක ගහලා තියෙන්නේ බට්ටා දන්න කියන අරාබි කරයේ. මහා යන්තර ගොඩකුත් හයි කරගෙන මේ ගොල්ලෝ මුහුද මැද්දේ වැඩ. බට්ටා දැනගත්ත විදියට මේ නිබ්රු කට්ටිය මුහුදු වතුරට මොකක්ද මන්දා ජිල්මාට් එකක් දාලා රත්තරන් හදනවා. තව තවත් මොන මොනවද ගන්නවලු. අනේ මන්දා... බට්ටා නම් ඕවා දන්නෙත් නෑ. බරටම වැඩ...

            මේ කාලෙදි මුළු පෘථිවියටම මනුෂ්‍යයෙක්ට කියලා හිටියේ බට්ටා විතරයි. නිබ්රුවරු නම් හරි පුදුම ජාතියක්. අපේ ලෝකෙ අවුරුද්දක් කියන්නේ ඒ ගොල්ලන්ට නම් එක මොහොතක් විතරයි. එයාලගෙ අවුරුද්දක් අපේ අවුරුදු වලින් 3600 ක්. සාමාන්‍ය වශයෙන් එක නිබ්රුවෙක් අපේ කාලයෙන් නම් අවුරුදු හය ලක්ෂයක් ජීවත් වෙනවලු... එහෙම බැලුවාම ඉතින් අපේ ලෝකෙ අවුරුද්දක් ගත කරනවා කියන්නේ එයාලට නම් පැයක වගේ කාලයක්...!

            නිබ්රුවන් මොළයෙන් / තාක්ෂණයෙන් කෙතරම් දියුණු වුනත් එයාලට පාලනය කරන්න බැරි එක දෙයකුත් තිබුණා. අවුරුදු දාස් ගාණක් ඔය විදියට රත්තරන් එකතු කලත් අවශ්‍ය තරම් වේගයෙන් ඒ කාර්යය කරන්න නිබ්රුවන්ට පිරිස මදි වුනා. එයාලගේ ප්‍රජනනය සිදු වුනේ ලිංගික ක්‍රියාවලියකින් නෙවෙයි - ක්ලෝනීකරණයෙන්. එයාලගේ වර්ගයා ‍බෝ වුනා වුනත් ඒ ඉතාමත් හිමින්. නිබ්රු ලෝකෙට එයාලගේ වර්ධන වේගය ඇති වුනාට කෙටි අවුරුද්දක් තිබෙන පෘථිවියට නම් ඒක ගැලපුනේ නෑ. කොහොම හරි පෘථිවි කාලයෙන්  අවුරුදු ලක්ෂයක්ම ගත වුනත්, කොච්චර දියුණු තාක්ෂණයක් එක්ක හොඳම යන්ත්‍ර සුත්‍ර පාවිච්චි කලත් එයාලට අපේක්ෂිත ඉලක්ක වලට යන්න බැරිවුනා. මේ ගොල්ලෝ කරගෙන යන වැඩේට මේ විදියට පිරිස බෝ කරගන්න අමාරුයි කියලා නිබ්රුවරු තේරුම් ගත්තා.

            දැන් ඉතින් ඔය කියන්නේ බට්ටගේ හීනෙන් හොඳම හරිය විතරයි. අනන් මනන් වල් පල් කෑලි, ඇඩ්වර්ටිස්මන්ට් එහෙම ඔයාලට වැඩක් නැති නිසා edit කරලා දැම්මා. ඉතින් අපි බට්ටගේ හීනෙ fast forward යවමු. වුවමනා තැන්වල නතර කරලා මම seen එක කියන්නම්.

            රායිට්... මෙන්න හොඳ seen එකක්. නිබ්රුවන් ට අවශ්‍ය පිරිස හොයාගන්න එයාලා අපූරු විසඳුමක් හොයා ගන්නවා. මෙච්චර කල් පාඩුවේ ‍ගෙඩියක් කාලා කැලේට වෙලා හිටපු වානරයන් ගේ ජාන අරගෙන නිබ්රුවන්ගේ ජාන එක්ක දෙමුහුම් කරලා ඒ ගොල්ලෝ අළුත්ම ජීවී විශේෂයක් පෘථිවිය මත ඇති කරනවා. ඒ තමයි අපේ මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භය. මේ වානර-මිනිසුන් නිබ්රුවන්ගේ මග පෙන්වීම යට‍ෙත් සීඝ්‍ර දියුණුවක් ලබා ගන්නවා. නිබ්රුවන් ගේ කාලයෙන් අවුරුදු 20 කින් වගේ, ඒ කියන්නේ අපේ කාලයෙන් නම් අවුරුදු 70,000 කට පස්සේ නිබ්රුවන් ඔවුන්ට අවශ්‍ය ශ්‍රම පිරිස සොයාගන්නවා.
            

        හරි... දැන් ඉතින් බට්ටගේ fast forwarding movie එකට නමක් දුන්නොත් අපිට කියන්න වෙන්නේ මිනිසාගේ පරිණාමය කියලා තමයි. බට්ටගේ ඇස් ඉස්සරහම කාලය හරිම වේගයෙන් ගතවෙලා යනවා. අයිස් යුගය පසු කරමින් මනුෂ්‍ය වර්ගයා ලොව පුරා විහිදී යනවා. ගල් යුගයෙන් එ‍ඬෙර යුගයට, එතනින් කෘෂි යුගය දක්වා දියුණු වෙනවා. මනුෂ්‍ය ගහනය සීඝ්‍රයෙන් ලොව පුරාම පැතිරෙනවා. ශිෂ්ඨාචාර ඇතිවෙනවා, ඇද වැටෙනවා. තවත් තැනකින් ආයෙමත් මතු වෙනවා. ඒ හැම වෙලාවක දීම නිබ්රුවරු මනුෂ්‍ය වර්ගයාගේ පිහිටට ඉදිරිපත් වෙනවා.

            මේ වෙනකොටත් නිබ්රුවන් ගේ ලූනික් යානය පෘථිවිය වටා කක්ෂ ගත වෙලා ඉවරයි. පෘථිවියේ මනුෂ්‍යයන්ට සඳ වෙන්නේ මේ යානය තමයි. මෙහෙම කාලය ඉස්සරහට යනකොට නිබ්රුවරුන්ට පෘථිවියේ වාසය අත් හරින්න වෙනවා. මේ වෙද්දී එයාලගේ mission එකත් ඉවරයි. පෘථිවි‍යේ වර්තමාන කාලයට අවුරුදු 6000 කට විතර කලින් එයාලා මේ පොලොවේ වාසය අත් හැරලා හ‍ඳේ යනවා. ඒ කිව්වේ ලූනික් යානයට පදිංචියට යනවා. 

            මේ කාලයේදී තමයි නයිල් ශිෂ්ඨාචාරය, බැබිලෝනියානු ශිෂ්ඨාචාරය බිහිවෙන්නේ. ඔය පිරමිඩ වගේ ලොකු ලොකු වැඩ කෑලි දාන්නත් හෙල්ප් එක දුන්නේ නිබ්රුවරු තමයි. ඒ ගොල්ලන්ගේ යන්ත්‍ර-සුත්‍ර, තාක්ෂණය හින්දා තමයි අපේ කට්ටිය මේ තරම් දියුණු වුනේ. එතකොට ඔය දේව සංකල්පය ආවෙත් නිබ්රුවරු නිසා. ඉස්සර අපේ අත්තලා - මුත්තලා දෙවියෝ කියලා වැඳුම් පිදුම් කලේ මනුෂ්‍ය වර්ගයාට වඩා දියුණු නිබ්රුවරුන්ට තමයි.

            ටිකෙන් ටික මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධිය දියුණු වෙන කොට නිබ්රුවන්ට පෘථිවියේ ඉන්න බැරි නිසා ඒ අය හඳට ගියා. ගොඩක් දෙනා ආපහු නිබ්රු වලට ගියා. කීප දෙනෙක් තමයි හඳේ නැවතුනේ. ඒ කියන්නේ ඒ ගොල්ලන්ගෙම ලූනික් යානාවේ. නිබ්රුලා දැනගෙන හිටියා ළඟදීම කවදා හරි දවසක අපේ සෙට් එක හඳට පය ගහනවා කියලා.  ඒ ගොල්ලො එහේ හිටියට මෙහේ වෙන හැම දේ ගැනම ඇහැ ගහගෙන හිටියේ. ඒ වගේම විශේෂ දේ තමයි ඇමරිකන් කාරයෝ හඳට ගොඩ වෙච්ච වෙලාවේ නිබ්රුලා ඒ ගොල්ලන්ට පොඩි warning එකක් දුන්නා ආයෙත් මේ පැත්ත පලාතේ එන්න එපා කියලා. කෝ... කට්ටිය ඒක ඇහැව්වයෑ... තවත් දෙතුන් පාරක් හ‍ඳේ රවුම් ගැහුවා. ඒ මදිවට තව moon base ගහන්නත් ප්ලෑන් කලා නොවැ... අන්තිමට ඔය ඔක්කොම අකුල ගන්න සිද්ධ වුනා. ඒ ලූනික් යානාව සෙල්ලමට ගන්නවට නිබ්රුවරු කැමති වුනේ නැති නිසා. ඇමරිකන් හාදයන්ට ඕක තේරුම් කරන්න ඇපලෝ සීරිස් එකෙන් යානාවක් විනාශ කරන්නත් නිබ්රුවන් ට සිද්ධ වුනා. පෘථිවි වාසීන් තමන්ගේ යානයට ඇඟිලි ගහන්න එන එකට නිබ්රුවරු අකමැති වුනේ හේතුවක් ඇතිවයි. නිබ්රුවරු මනුෂ්‍යයාට නැගිටින්න උදව් කලත් එයාලා කැමති වුනේ මනුෂ්‍යයා තමන්ගේම දෙපයින් ඇවිදිනවා දකින්න. ඒ නිසා මනුෂ්‍යයා තමන්ගෙන් ඈත් කරලා තියා ගන්න ඒ ගොල්ලෝ මහන්සි ගත්තා. කොහොම හරි ඇමරිකන් කාරයාට ලොකු ජරාවක් දීලා නිබ්රුලා වැ‍ඩේ ෂේප් කර ගත්තා. ලෝක බලවතා වෙන්න අවශ්‍ය තාක්ෂණික දැනුම පොඩ්ඩක් ඇමරිකාවට දෙන ගමන් පෘථිවියෙන් හඳට එක නවත්තගන්න එක ඇමරිකාවට භාර කලා. ඇමරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් කිහිපදෙනෙක් නිබ්රුලා එක්ක ලූනික් යානයේ ඉඳන් පර්යේෂණ වලට සහභාගි වෙනවා. ඔහොම තමයි වුනේ. ඔය හැම එකක්ම බට්ටා ඇස් දෙකෙන්ම දැක්කා. හැබැයි හීනෙන්.....

අනේ සමාවෙන්න ඕනේ... මේක පතරංග ජාතකේ වගේ හරිම පත හෑල්ලක් . ඉතින් තව කොටසක් ඉතුරු වෙනවා. ඒකත් ඉක්මනටම දාලා මේක ඉවර කරලා දානවා. බට්ටගෙන් හරි කරදරේ මේක දාලා ඉවරයක් කරන්න කියලා. ඒත් ඉතින් මේක දිග වැඩි නිසයි කොටස් 3 ක‍ට කඩන්න වුනේ. ඉතින් තරහ නැතුව ඊලඟ කොටසත් බලලා ඔක්කොම කියවලා ඉවර කරන්න. එහෙනම්... අන්තිම කොටසින් හමුවෙමු.....




9 comments:

  1. බ්ට්ටා දැකපු හිනේ නම් හරිම අපුරු හිනයක් නොවැ.... හරියට ඇත්ත වගේ

    ReplyDelete
  2. @ ano:
    ඇත්ත වගේ තමයි. හ්ම්...ම්ම්... තව ඉවර නෑ අන්තිම කොටසත් බලන්නකෝ.

    ReplyDelete
  3. පරන කතාවක් අලුත් විදියකට..පරන කතා කීපයක් කිව්වත් හරි නෙහ්??
    ලිවිමේ කලාවනම් මරු..
    කතාවත් මරු තමා...අනිත් කොටසත් ලියන්න ඉක්මනට

    ReplyDelete
  4. @ මදුශාන් :
    // පරන කතා කීපයක් කිව්වත් හරි //
    මේක remix version එකක්. හික්z...

    ප්‍රතිචාරයට ස්තුතියි මල්ලියෝ... අවසානයත් බලන්න එන්න. ජයවේවා...

    ReplyDelete
  5. අනිවා අනිවා..විද්‍යා ප්‍රබන්ද කිව්වොත් ඕනි එකක් මට..:P :P

    ReplyDelete
  6. @ මදුශාන් :
    අහ්... මං වගේම තමයි එහෙනම්... ළගදිම Sci-Fi එකක් translate කරලා දාන්න අදහසක් තියෙනවා. එන්නකෝ එහෙනම් මේ පැත්තේ.

    ReplyDelete
  7. ඔව් ඔව් මම මේක ෆලෝ කරලානෙ තියෙන්නෙ Sci-fi එකක් වැටුනොත් මම ඇති

    ReplyDelete
  8. නියමයි... ජය..!!

    ReplyDelete
  9. @ හිම කුමාරි :
    ස්තුතියි... ඔබටත් ජය !!!

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...