Monday, January 31, 2011

අපි තවත් බලා හිඳිමුද ?

ක් කෝටි දශ ලක්ෂයකට ආසන්න ශ්‍රී ලාංකේය ජනගහණයෙන් සිංහල භාෂාව කථා කරන්නේ 2/3 කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවාද ? බිලියන 6.6 කට වැඩි ලෝක ජනගහණයත් සමග සසඳා බැලීමේදී අපටම පමණක් අනන්‍ය වූ මේ සිංහල බස භාවිතා කරන්නේ ලෝක ජනගහණයෙන් සියයට දශම  ගණනක් වැනි සුළු ප්‍රතිශතයක් පමණි. සිංහලය නිළ වශයෙන් මෙන්ම සාමාන්‍ය භාවිතාවේදී ද පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණී. අන්තර්ජාලය ‍ගතහොත් සිංහල භාෂාවෙන් සන්නිවේදන කරණය සඳහා තිබුණු මූලිකම බාධකය වූයේ සිංහල භාෂා ක්‍රමය, අක්ෂර විධි හා ෆොන්ට පිළිබඳව පිළිගත් සම්මතයක් නොතිබීමයි.
අප අතර සම්මතයක් නොමැති වීම නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුල පිළිගත් සමාගම් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීය. නමුත් වර්තමානය වන විට සිංහල යුනිකේත සම්මතය සකසා ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සිංහල භාෂා ප්‍රවර්ධනය සඳහා එමගින් දැවැන්ත මෙහෙයක් සිදුවී තිබේ. වර්තමානය වන විට සිංහල යුනිකේත යොදා ගනිමින් තනන ලද වෙබ් පිටු දහස් ගණනක් පසුගිය වසර 2-3 ක කාලය තුළ අන්තර්ජාලයට එකතු වී තිබේ.


            අපේ මව් බස වන සිංහලය පාළි, සංස්කෘත ආදී ප්‍රාචීන ආර්ය භාෂාවකින් බිඳී ආවකැයි සැලකේ. එය ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් බසක් බව විද්වත් මතයයි. ඒ අනුව බැලීමේදී සිංහල භාෂාවට සිංහල ජාතිය මෙන්ම දීර්ඝ ඉතිහාසයක් තිබේ. අද අපි භාවිතා කරන ව්‍යවහාරික සිංහල බස ඉන්දියානු ආර්යකරණය නිසා නවීකරණයට ලක්වූවකි. නමුත් ඉන්දු ආර්යයන් ලංකාවට පැමිණීමට පෙර සිට (මහින්දාගමනයට පෙර) අප මුතුන් මිත්තන් හෙලබස නොහොත් යක්ෂ ගෝත්‍රික භාෂාව භාවිතා කර ඇත. අප අදටත් භාවිතා කරන ඔළුව, කට, බඩ ආදී වචන සංස්කෘත හෝ පාලි හෝ වෙනත් එවැනි භාෂාවක දක්නට නොමැති අතර ඒවා හෙල බසින් පැමිණි ඒවා‍ ලෙස සැලකේ. එමෙන්ම මාල දිවයින් වැසියන් භාවිතා කරන භාෂාව හෙල බසින් සම්භවය ලබා අරාබි මුස්ලිම් සංස්කෘතියෙන් විස්තෘත වූවක් සේ සැලකිය හැකියි. මේ අනුව පෙනී යන්නේ ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ පවා අප දියුණු බසක් භාවිත කර ඇති බවයි. අද ලොව පුරා අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති අන්තර්ජාතික භාෂාව ලෙස සැලකෙන ඉංග්‍රිසිය භාෂාවක් වශයෙන් ගොඩනැගෙන්නට පෙර සිටම අප ජාතිය බසෙන් පොහොසත්ව සිටියෝය.

            අතීතය එසේ වුවත් වර්තමානය වන විට තත්ත්වය වෙනස් වී පවතී. කණගාටුවෙන් වුවත් පැවසීමට සිදුව ඇත්තේ සිංහල භාෂාව භාවිතයෙන් ඉවත් වීමේ අවධානමක පවතින බවයි. අතීත බුද්ධ කාලයේ විරාජමානව පැවති පාළි, සංස්කෘත ආදී භාෂාවන් මෙන්ම සිංහල බසද මල බසක් බවට පත්වෙන්නට ඉඩ හළ යුතුද ? අප දැන් සිටම ක්‍රියාත්මක නොවුනහොත් අපෙන් පසු තවත් පරම්පරා කිහිපයක ඇවෑමෙන් සිංහලය ලොවෙන් තුරන් වනු ඇත. අප පමණක් භාවිත කරන, අපටම ආවේනික වූ අපේ මව් බස එසේ වලපල්ලට යා නොදී රැක ගැනීම සිංහලය වහරන ඔබ මා ඇතුළු සියළු සිංහලයන්ගේම යුතුකමකි. ජනසංඛ්‍යාලේඛන වලට අනුව සිංහල ජාතිය වර්ධන වේගය අතින් පසුබෑමකට ලක්ව තිබේ. ඒ අනුව පවතින තත්ත්වය යටතේ තවත් අවුරුදු 100 කින් හෝ 200 කින් සිංහල ජාතිය අවශේෂ ජන වර්ගයක් බවට පත්වනු ඇත. ඉතින්... අප කුමක් කළ යුතුද...?

සිංහල භාෂාව ලෝක ජනගහනය හා සසඳ බැලීමේදී සුළු භාෂාවකි. සිංහලය භාවිතයෙන් ඉවත්ව යෑම ලෝක ප්‍රජාවට කිසිම බලපෑමක් ඇති කරවන්නක් නොවේ. එසේ නම්  සිංහලය රැක ගැනීම උදෙස‍ා ක්‍රියාකාරී විය යුත්තේ සිංහලෙන් සිතන පතන, වැඩකරන, ඉගෙනගන්න අපි අපි නොවේද... අප රැඳී සිටින ක්ෂේත්‍රය තුළ, එනම් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ සළකා බැලුවහොත් මේ භාරදූර වගකීම හොඳින්ම ඉටු කළ හැක්කේ අපටයි.  අනාගත ලෝකයේ පොත්පත් ආදී මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් ඉවත්ව යන ප්‍රවනතාවය තුළ සිංහල භාෂාවේ ප්‍රගමනය උදෙසා මුද්‍රිත මාධ්‍ය වලට කළ හැකි දෙයක් නොමැත. අනාගතය රැඳී ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මතයි. එ‍ෙස් නම් සිංහලය අනාගතයට රැගෙන යාම සඳහා කළ හැක්කේ වැඩි වැඩියෙන් සිංහල මාධ්‍යය තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ප්‍රචලිත කරවීමයි.

අන්තර්ජාලය යනු දැනුම් ගබඩාවකි. ඉංග්‍රීසි භාෂා දැනුම හා පරිගණක නිපුණතාවය ඇති පුද්ගලයෙක්ට අන්තර්ජාලය භාවිතා කර තමන්ගේ දැනුම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි. නමුත් අවාසනාවකට මෙන් අන්තර්ජාල අන්තර්ගතයෙන් සියයට අනූවක් පමණම ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. අප රට තුළ ඉංග්‍රීසි භාෂාව හොඳින් භාවිතා කළ හැක්කේ සියයට 10 ක පමණ පිරිසකට පමණි. ලාංකික වැසියන්ගෙන් හතරෙන් එකකටම පරිගණක සාක්ෂරතාවය ඇතිමුත් සක්‍රීය ලෙස ඉංග්‍රීසි බස භාවිත කිරීමේ නිපුණතාවය අඩු මට්ටමක පවතී. අප ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතු බව සැබෑ නමුත් ඉංග්‍රීසි භාවිතයේ නොහැකියාව නිසාම අන්තර්ජාලය වැනි දැනුම් උල්පතක ප්‍රයෝජනය බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසකට අහිමිවීම අවාසනාවට කරුණකි. අප ඉංග්‍රීසියෙන් සන්නද්ධ වන විට ලෝකය අප පසු කර බොහෝ දුර යනු ඇත.

            එසේ නම් පැහැදිලි ලෙසම අන්තර්ජාලය තුළ සිංහල භාවිතය වැඩි කළ යුතුව තිබේ. ඒ සඳහා අපට කළ හැක්කේ කුමක්ද? බොහෝ දේ කළ හැකිව පවතින අතරම බොහෝ දේ කිරීමටත් ඉතිරිව තිබේ. තමන් යෙදී සිටින වෘත්තිය / ක්ෂේත්‍රය අනුව මේ සඳහා දායක විය හැකියි. සිංහල යුනිකේත භාවිතයෙන් ඉතාමත් පහසුවෙන්, එමෙන්ම කිසිදු මුදලක් වැය නොකරම ඔබටත් මේ සඳහා යම් දෙයක් කළ හැකිව පවතී. ඔබටත් ඔබගේම බ්ලොග් අඩවියක් තුළින් මේ කාර්යය සිදු කිරීමට හැකියාව පවතින අතර අවශ්‍ය වන සියළුම සහයෝගය ලබාදීමට අන්තර්ජාලය තුළ එකමුතුව ඇති සියළුම සිංහල බ්ලොග්කරුවන් සෑම විටකම සූදාණම්. දැනටමත් windows Vista/7, Office 2007/2010 වැනි නවතම මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වලත් අනෙකුත් ප්‍රමුඛ FOSS මෘදුකාංග තුලත් පෙරනිමියෙන්ම සිංහල යුනිකේත සහය ලබා දී ඇති අතර සිංහල අතුරුමුහුණත් ද සකසා තිබේ. සිංහල විකියද සකසමින් පවතින අතර ඒ සඳහා ඔබගේ සහාය අත්‍යවශ්‍යව පවතී. එම වෑයම සාර්ථක වූ විට සිංහල විශ්වකෝෂයක් භාවිත කිරීමට සියළුම ශ්‍රී ලාංකිකයින්ට නොමිල‍යේම අවස්ථාව උදාවේ. එමෙන්ම අන්තර්ජාලය තුළ සිංහල භාවිතය ඉහළ යෑම තුළ Google Translate වැනි පරිවර්තක සේවා සිංහලෙන් ලබාගැනීමේ හැකියාවක් පවතී. එමෙන්ම අන්තර්ජාලය තුළ මෙන්ම අනෙකුත් තොරතුරු තාක්ෂණ උපයෝගිතා තුළත් අපේ මව් බස භාෂාවක් ලෙස අන්තර්ගත කිරීමට එසේ සිංහලය භාවිතය වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. අප අපේ උරුමය ලොවෙන් ලබා ගැනීමට නම් ඒ සඳහා අපේ උනන්දුව හා කැපවීම ලොවට පෙන්විය යුතුයි. එවිට එවිට මයික්‍රොසොෆ්ට් හෝ වෙනත් ඕනෑම සමාගමකට එම ප්‍රවණතාවය නොතකා සිටීමට නොහැකි වනු ඇත. ලෝකය ඒ දෙසට තල්ලු කිරීමට නම් අප දැන්ම ක්‍රියකාරී විය යුතුයි.


ඉතින්... අප තවත් බලා හිඳිමුද...?

            උපන් බිමට, ජාතියට ගරු කරන්නා සේම තමන්ගේ මව් බසටත් ගෞරවයක් ඇති ඔබටත් අද සිටම මේ කාර්යයට දායක විය හැකියි.



එන්න... සයිබර් අවකාශයේ සිංහල වපුරන්න... 




14 comments:

  1. ඇත්තටම මාර වටිනා ලිපියක් සහෝ. ලස්සනට බස හසුරුවලා පැහැදිලිව ලියලා තියෙනවා. මේ විදියට හිතන ඔබ වැනි කෙනෙක් අපේ මේ සිංහල බ්ලොග්කරුවන් අතරට එකතුවීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි!

    අපි අපේ යුතුකම දිගටම ඉටු කරමු, වචනයෙන් වගේම ක්‍රියාවෙනුත්.
    ඔබට ජය!!!

    ReplyDelete
  2. @ ධනික -

    බොහොම ස්තුතියි ධනික සහෝ. මේ ලියවෙන්නේ ලියවෙන්න ඕනෙ දේවල්. අන්තර්ජාලය තුල සිංහලෙන් වැඩක් කරන්න බෑ කියලා මම බලාපොරොත්තුවක් නැතුව ඉන්නකොට අහම්බෙන් මම ඔයාගේ සිංහල බ්‍රවුසර් එක ගැන ලිපිය දැක්කේ. අද මම බ්ලොග් එකක් ලියන්නේ ඒ අහඹුව නිසා...

    අනිවා අපි අපේ යුතුකම ඉටුකරමු. හැකිතරම් හොදට...එදිනට අපිටත් සතුටුවෙන්න‍ට හැකි වේවි.
    එතෙක් කැපවෙමු - අරමුණ වෙනුවෙන්...

    Exam ගොඩදාගන්න. ජය වේවා...

    ReplyDelete
  3. හොඳ අදහසක් සහ වටින ලිපියක්.
    පුංචියට හරි අපිට හැකි දේ කරන එක තමා වැදගත්.
    ගොඩක් අය කරන්නෙ වැරදි කිය කිය ඉන්න එක විතරයි. ක්‍රියාත්මක වෙන එක ඊට වඩා වැදගත් !!

    ReplyDelete
  4. @ ස්වප්නා

    හරියටම හරි සහෝදරී... ඔයාලා වගේ හොඳ වැඩක් කරන බ්ලොග් කරුවන් තමයි අන්තර්ජාලයට එකතුවෙන්න ඕනෙ. අරමුණක් ඇතුව වැඩ කරන කොට ඉලක්කෙට යන්න ලේසියි. අපි හැමෝම එකතු වෙලා අපෙන් පස්සෙ පරම්පරාවටවත් ඒ ඉලක්කය සපුරා දෙමු. අද මේ 63 වන නිදහස් සමරු දිනයේ අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙමු. මගේ කථා බලලා ප්‍රතිචාරයක් තියපු එකට බොහොම ස්තුතියි. ජයවේවා...

    ReplyDelete
  5. සන්තෝශයි.... සුභවාදී වෙනසක් කරන්න ඕන කියන ඇම්ම, ඔබටත් තියෙන එකට...
    ජාතිවාදියකු වේ යැයි බියේ... ජාතිආලයකු නොවී සිටීම...

    ReplyDelete
  6. @ Gayan Anuradh Liyanage :
    බොහොම ස්තුතියි සහෝ... ඔයාගේ ලිපිය දැකලා මටත් මාර සතුටක් ආවා. අනිවා අපි try කලොත් වෙනසක් කරන්න පුළුවන් වේවි. එහෙම දවසක් එනකල් අපි දිගටම ලියමු... ජයවේවා... නැවත හමුවෙමු.

    ReplyDelete
  7. godak watina post ekaka ayya

    ReplyDelete
  8. @ මෝල්ඩර් ෆයිල්ස් : Thank you සහෝ... මේකෙ වටිනාකම වැඩි වෙන්නේ එක් කෙනෙක් හරි මේ කරුණු තේරුම් ගන්නවා නම් ඒක මට ලොතු දෙයක්... ප්‍රතිචාරයට ස්තුතියි...

    ReplyDelete
  9. ඔන්න චතුරංග මාත් ඔයාගෙ බ්ලොග් එක බලන්ඩ ආවා... ඇත්තටම ගොඩක් වටින අදහසක් ගොඩක් ලස්සනට ලියලා තියෙනවා...
    එන්ඩ වෙලාවක මගෙ බ්ලොග් එකත් බලනඩ :D
    sandagira.blogspot.com

    ReplyDelete
  10. @ තරිඳු :
    බොහොම ස්තුතියි සහෝ, මගේ බ්ලොග් එකට ඇවිත් ප්‍රතිචාරයක් දුන්නට. ඔයාගේ බ්ලොග් එකක් හොඳයි. ආයෙත් මෙහේ එන්න. ජයවේවා...

    ReplyDelete
  11. අති විශිෂ්ඨ ලිපියක්. විශේෂයෙන් සිංහල භාෂාවේ ඉතිහාසය ගැන කල විස්තීර්ණය ඉතා වදගත්.

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...