මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි. ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ.
