Saturday, January 26, 2013

- දෙවසරක් සපුරන "චතූගේ කථා" වෙතින් පිදෙන බ්ලොග් ආචාරය -

දිනය - 2011 ජනවාරි 24 වැනි දින
නිමිත්ත - සිංහල බ්ලොග්කරණයට පිවිසීම
නිර්මාතෘ - චතුරංග පෙරේරා
බ්ලොගයේ නම - චතූගේ කථා

    ඉතින් යාළුවනේ... චතූගේ කථා එක්ක අවුරුදු දෙකකුත් ගතවුනා. ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්න ඕනේ 24 වැනිදා වුනත්, දවස් දෙකක් ප්‍රමාද වෙලා හරි මේ සටහන ලියවෙන්නේ මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සහෘද ඔයාලා වෙනුවෙන්මයි.

    නොදැනිම අවුරුදු දෙකක් ගෙවුනා... පළමු අවුරුද්ද කෙසේ වෙතත් දෙවැනි අවුරුද්ද නම් යනවා දන්නෙම නෑ. පහුගිය පළමු සංවත්සරයේදී ලියපු සටහන නම් ගොඩක් ආඩම්බරයෙන් ලියන්න තරම් කරුණු තිබුණා. දෙවැනි අවුරුද්දේ නම් ඇත්තටම කිව්වොත් කොරපු දෙයක් නෑ. බ්ලොග් එක නමට තිබ්බා විතරයි. හිතේ තියෙන දේවලින් කාලක් වත් ලියන්න වුනේ නෑ. අනේ කවුරු හරි ඔය වැඩකාරයෙක් හිතෙන දේ ටයිප් වෙන්න මොකක් හරි ගැජට් එකක් හදනවා නම් පිං සිද්ධ වෙයි. එහෙම ආරංචියක් දන්න එකෙක් ඉන්නවා නම් මටත් ඊයක් එවාපල්ලා !!!

      2011 අවුරුද්දේ ජනවාරි 24 වැනිදා පටන්ගත්තු මගේ බ්ලොග් රචනාව ආරම්භයේදී නම් මේ වගේ තැනකට ඒවි කියලා මට අදහසක් තිබුනේ නෑ. ඇත්තටම මම බ්ලොග් රචනය පටන් ගත්තේ අළුත් අත්දැකීමක් නිසා. 2011 වෙනකල්ම සිංහලෙන් අන්තර්ජාල කටයුතු කරන්න පුළුවන් බවක් මම දැනං උන්නේ නෑ. ඇත්තටම කිව්වොත් බ්ලොග් කියන්නේ මොනවද ? සිංහල යුනිකෝඩ් කියන්නේ මොනවද ? කියලාවත් මට අදහසක් තිබුනේ නෑ. ඔයාලට මතක නම් ගිය අවුරුද්ද ආරම්භයේදී සිදුවුනු ජල ගැලීම් තත්ත්වය... අධික වර්ෂාව නිසා සිදුවූ හානි ගැන සිංහලෙන් ලියවුනු ඊ-මේල් පණිවුඩයක් මගේ ගිණුමට ලැබී තිබුණා. එතනින් ඇතිවුනු සිංහල අකුරු ගැන කුතුහලය මත මම සිංහල යුනිකෝඩ් ගැන සෙවුමක් දැම්මා. ඒ තවත් විස්තර හොයාගන්න. ඔන්න එතනදී තමයි, ධනික සොයුරාගේ SETT ඇන්ඩ්‍රොයිඩ් සිංහල බ්‍රවුසරය ගැන තිබුණු ලිපිය මම Google සෙවුම් ලැයිස්තුවේ දැක්කේ...

ඒ සබැඳිය දිගේ මම ආවා “ධනිකගේ සිතුවිලි” කියන බ්ලොග් එකට. ඒ තමයි මගේ පළමු සිංහල බ්ලොග් අත්දැකීම. ඊට කලින් මම සිංහල යුනිකේතයෙන් ලියැවුනු අන්තර්ජාල සටහනක් කියවලා තිබුනේ නෑ. SETT බ්‍රවුසරය ගැන තිබුණු ලිපියට පසු ඒ බ්ලොගයේ තිබුණු ගොඩක් ලිපි මම කියෙව්වා. එතැනින් ඇතිවුනු උනන්දුව හා කුතුහලය තමයි මගේම සිංහල බ්ලොග් අඩවියක් දක්වා මාව අරගෙන ආවේ...

ධනික සොයුරාගේ බ්ලොග් අඩවිය නිසා සිංහල ගැන ඇතිවුනු ආසාව නිසාම මම ධනික සහෝ එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වුනා. ඊ-මේල් හා Google Chat හරහා ධනික සහෝ එක්ක අදහස් හුවමාරු වුනා. මම නොදන්නා, අසා නොතිබුනු, නොවැටහුනු බොහෝ දේවල් ඒ කථා බස් වලින් මම ඉගෙන ගත්තා. සිංහල යුනිකෝඩ් හා බ්ලොග්කරණය ගැන පැහැදිලි කරලා දීලා, ඒ සඳහා වන ලිපි වෙත සබැඳියන් ලබාදීලා ධනික සහෝ තමයි මෙතනට එන්න පාර පෙන්නුවේ. බ්ලොග් එකක් කරමු කියලා ඔළුවට දැම්මෙත් ධනික සහෝම තමා... ඉතින්, ඒ හැම උදව්වක්ම වෙනුවෙන් සිංහල සයිබර් අවකාශයේ හැමෝම දන්නා හඳුනන චරිතයක් වන ධනික කෞෂල‍්‍ය පෙරේරා සොහොයුරාට මගේ ආචාරය...!!!

ඒ පෙන්නපු පාර දිගේ මම සෑහෙන්න දුරක් ආවා. මුල් මාසයෙදි බ්ලොග් ටෙම්ප්ලේට්, Java Script ඉඳන් කමෙන්ට්, ඩිසයින් වෙනකල් ඔක්කොම මම ඉගෙනගත්තා. ගොඩක්ම ඉතින් trial & error ක්‍රමයට තමා ! ඒ සඳහාම අන්තර්ජාලයේ සැරිසරපු පැය ගණන නිමක් නෑ. මාසයක් වෙනකොට යම් තරමකට ස්ථාවර බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නට මට පුළුවන් වුනා. සින්ඩියක් විදියට මුලින්ම මගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගත්තේ ලාංකීය සිතුවිලි සින්ඩිකේටරයට... ආරම්භ කරලා මාසයකට පස්සේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සින්ඩිකේටරයට මාව ඇතුළත් කරගෙන තිබුණා. එතන ඉඳලා වඩාත් වැඩි පිරිසක් බ්ලොග් එකට ඇදෙන්න වුනා. සිංහල බ්ලොග් කියවනය, ලාංකීය සිතුවිලි වගේම හත්මාළුව, කොත්තු ඇතුළු අනෙකුත් සියළුම සින්ඩිකේටර් වලට මගේ බ්ලොග් අඩවිය ඇතුළත් කරගෙන ලබාදුන් සහයෝගයට (විශේෂයෙන්ම ඒ හැම දෙයක්ම ලාභ බලාපොරොත්තුවෙන් තොරව සිදුකළ නිසා...) ඒ අඩවි පවත්වා ගෙන යන, ඒ සඳහා වෙහෙස මහන්සි වෙන සියළුම සහෝදරවරුන්ට ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා...!

    ඔන්න ඔහොම තමා මම පළමු සංවත්සරයේදී ලියලා තිබ්බේ. මේ දෙවැනි අවුරුද්දේ නම් මට ලොකු දෙයක් කරන්න වුනේ නෑ. ඇයි කියලා දන්නවා ඇතිනේ. දන්නේ නැද්ද ? දැන්ම යන්න මෙතනින්, ගිහින් බලලා එන්න... මේ අවුරුද්දේ ලියපු පෝස්ට් වලින් ගොඩක් දෙනෙක් බැලුවේ "ඩිජිටල් කැමරාවක් මිළදී ගැනීමේදී දැනගත යුතු කරුණු" කියන ලිපියයි. ඒකට අමතරව මම තව අළුත් කථා මාලාවක්  පටන් ගත්තා. කුමාරතුංග මුනිදාසයන්ගේ ‘ශික්ෂාවතාරය සහ ශික්ෂා මාර්ගය‘ පොතෙන් උපුටා ගත් සිංහල ජනකථා කීපයක් පළ කළා. ඒකත් එහෙමම නැවතුනා ආයුබෝං !!! ඊට අමතරව පළ කරපු හැම ලිපියක්ම වගේ මම "රූ පරිගණක" සඟරාව වෙනුවෙන් ලියපු ලිපි වලින් තෝරාගත්තු ඒවා.

    මෙන්න ඉතින් බ්ලොගේ විශ්ලේශණය... සම්පූර්ණපෝස්ට් 87 යි... ඒ කියන්නේ යාන්තම් ගිය අවුරුද්දටම 28 යි. හිට්ස් 125,000 ක් වෙනවා... එතකොට ෆලෝවර්ලා 274 යි... සම්පූර්ණ කමෙන්ට්ස් (මගේත් ඇතුළුව) 1500 ක් විතර වෙනවා... මෙව්වා ඉතින් බ්ලොග් එක කියවන්න එන අයට වැදගත් නෑනේ. මේ statics දීලා තියෙන්නේ බ්ලොග් කර්තෘට බලන්න මිසක් ඒක කියවන්න එන එවුන්ට බලන්න නෙවෙයිනේ. අනුන් ලියන බ්ලොග් එකකට ඇවිත් කියවන කෙනාට ඒ බ්ලොග් එකට කී දෙනෙක් ආවද,  පෝස්ට් කීයද ? කමෙන්ට්ස් කීයද කියන එක වැදගත් නෑ නේද ? බලන්න එන අයට ඕනේ කියවන්න හොඳ දෙයක්... මට ඔය දේ ඔළුවට දැම්මේ මං නිසාම බ්ලොග් එකක් පටන් ගත්තු "මගේ හද ගැස්ම" ලියන දමිත් මල්ලි. ඉතින් ඔන්න මමත් දැන් කාලෙකට කලින්ම හිට්ස් කවුන්ටරේ ගලවලා දැම්මා... මොකටද නිකන් ලොකුකම පෙන්නන්නේ !!!

බ්ලොගයේ වැඩිම දෙනෙක් බලපු පෝස්ට් 10...

    තමන්ගේ සහෝදරයෙක් වගේ ලෙන්ගතුකමින් එකතු වුනු බොහෝ දෙනෙක් මම මේ බ්ලොග් කෙරුවාවෙන් අඳුන ගන්න ලැබුණා. සමහරු ජංගම දුරකථනයට SMS එවලා, මූණු පොතේ මුණ ගැහිලා, ඊයක් විදලා එහෙමත් මම ගැන විපරම් කොරලා තිබුණා. බ්ලොග් අවකාශය අමතක කරන්න බැරි - බ්ලොග් එක අත හරින්න බැරි ඒ සම්බන්ධ කම් නිසා... හැමදාම ඇවිත් මගේ බ්ලොග් එක බලන පිරිසක් ඉන්න නිසා... මාස ගාණකින් මුකුත් පළ නොවුනත්, හැමදාකම වගේ 100 ක් විතර ඇවිත් මොනවා හරි බලලා යන නිසා... ඉතින් පුලු පුළුවන් හැටියට ලිපියක් පළ කරන්න තමයි උත්සාහය... කියවන්න දෙයක් නෑ කියලා අමනාපෙන් හැරී ගිය හැමදෙනා වෙනුවෙන් ඇත්තටම සමාව ඉල්ලා සිටිනවා...!!!

    බ්ලොග් ලෝකෙට පාර පෙන්නපු ධනික සොහොයුරාගේ ඉඳන් මේ සිංහල සයිබර් අවකාශයේ මගේ බ්ලොග් සටහනේ අකුරු අතරින් මුණ ගැසුණු වර්චුවල් මිතුරු මිතුරියන් හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා... හෙමිහිට හරි අවුරුදු 3, 4 පහු කරන්, පුළුවන් තරම් දුරකට චතූගේ කථා ඔයාලාට අහන්න ලැබේවි...

දයාබර සහෘද ඔබ සැමටම ගොඩාක් ස්තුතියි !!!

-----------------------------------------------------------------------

    දැන් එහෙනම්, මෙන්න මම කියපු බ්ලොග් ආචාරය... මොකක් ද කිව්වේ ? තේරුණේ නෑ කිව්වා !!! හරි, හරි... කියන්නම්, කියන්නම්...

    බ්ලොග් එකේ ඇනිවසරි එක වෙනුවෙන් වැදගත් දෙයක් කරන්න කියලා හිතුනා. ඉතින් ඒ නිසා සිංහල බ්ලොග් අවකාශයේ තෙම්පරාදු වෙච්චි ප්‍රවීන බ්ලොග් රචකයින්ටත්, ඊයේ පෙරේදා මේ පැත්තේ ඇවිත් වැඩ පටන්ගත්තු ආධුනික උදවියටත් ඔය කොයි කාටත් දැන ගන්න එක්ක මම පොඩි ප්‍රචාරාත්මක වැඩ සටහනක් දියත් කරන්නයි මේ හදන්නේ...

    බ්ලොග් අවකාශයේ එක එක ජාතියේ බ්ලොග් තියෙනවා. ප්‍රවෘත්ති, සමාජ හා දේශපාලනික, කලාත්මක, පෞද්ගලික, අධ්‍යාපනික සහ සඟරාමය වශයෙන් ඒවා වර්ග කරන්න පුළුවන්. ගොඩක් දෙනා තමන්ගේ බ්ලොග් එක පාවිච්චි කරන්නේ දිනපොතක් විදියට... එදිනෙදා වුණු දේවල් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඒ අතරේ තමන්ගේ දැනුම අනෙක් අයට නොමසුරුව බෙදලා දෙන බ්ලොග් අඩවි මේ අවකාශයේ හරිම විරලයි. තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරලා හිතේ තෘප්තියට විතරක් සිංහල බ්ලොග් පාඨකයන් වෙනුවෙන් දැනුම බෙදා දෙන ඒ උදාර බ්ලොග් රචකයන් වෙනුවෙන් මගෙන් පිදෙන පුංචි උපහාරයක් තමා මේ...

    හරි එහෙනම් ළමයිනේ... මම මේ කියන්න යන්නේ මේ අවුරුදු දෙක පුරාවට මට මේ සිංහල බ්ලොග් අවකාශයේ සැරි සරද්දී හමුවුනු වටිනා කියන තොරතුරු අඩංගු වුනු, අධ්‍යාපනික වටිනාකමක් ඇති, බලන්නම වටින බ්ලොග් කීපයක තොරතුරු. මේ ලිස්ට් එකේ තම තමන්ගේ බ්ලොග් නැතැයි කියලා හිත අමනාප කොර ගන්න එපා... මට හොඳ ඒවායි මම මේ ලියන්නේ... ඔයාලා දන්න හොඳ බ්ලොග් තියේ නම් කමෙන්ට් කරලා යන්න... එහෙනම් යමු අපේ උත්තමාචාර ලැයිස්තුවට !!!

සත් සමුදුර

    දිනේෂ් දීපාල් සහෝදරයා ලියන මේ සඟරාමය බ්ලොග් අඩවිය තමයි මට මුලින්ම මේ ජාතියේ බ්ලොග් එකකට මුණ ගැහුණේ. දිනේෂ් සහෝ යම් තරමකට මගේ සමකාලීනයෙක් වුනත් මගේ පරමාදර්ශයක් වුනා කිව්වත් හරි ! ඉතිහාසමය තොරතුරු වගේම බ්ලොග්කරණයට අදාල තාක්ෂණික කාරණාත් මෙහි අඩංගුයි. දිනේෂ් සහෝගේ සමහර ලිපි සෑහෙන තොරතුරු එකතු කරලා, ගොඩාක් මහන්සි වෙලා සකස් කරපු ඒවා. "2012 දී සිදුවන්නේ කුමක්ද" යන තේමාවෙන් ලියවුනු ලිපි මාලාව, "විසිවන සියවසේ මමි" ලිපි මාලාව මෙන්ම "Tunguska හි සිදු වූ අභිරහස් ජනක පිපිරීම" යන ලිපි මම කැමතිම ඒවායි. ඊට අමතරව තවත් වැදගත් හා රසවත් ඓතිහාසික මෙන්ම අභිරහස් ලිපි රාශියක් සත් සමුදුරේ ඇතුලත් වෙනවා... පරණ අයනම් ගොඩක් දන්නවත් ඇති. ඒත් මහන්සියේ තරමට ඇගයීමක් නැති බ්ලොග් අඩවියක් කියලා කණගාටුවෙන් වුනත් කියන්නම ඕනේ... ගිහිල්ලම බලන්නකෝ මම කියන්නේ බොරුද කියලා...


මල් කැකුළු

     මේ බ්ලොග් අඩවිය නම් පාසැල් යන වයසේ දරුවන් වෙනුවෙන් සැකසූවක් වුනත්, වයස් බේදයකින් තොරව සෑම කෙනෙක්ටම කියවන්නට දේ මෙහි අඩංගුයි. "අපට අවශ්‍ය වූයේ ලොව පුරා සිටින සිංහල කියවන ඔබට, ලොව නන්දෙසින් අසන්නට ලැබෙන නව සොයා ගැනීම්, නව නිපැයුම්, නව නිර්මාණ, ආදිය පිළිබඳව සිංහලෙන් එසැණ කියවීමට සැලැස්වීමටයි" ඒ මල් කැකුළු කතෘ තුමන්ගේ වචනයි. අවාසනාවකට මට දැන් එතුමාගේ නම මතක නෑ. අපේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වන එතුමාගේ නම මතක කෙනෙක් පළ කරන්න. මේ මල් කැකුළු බ්ලොග් අඩවිය නිතරම අළුත්ම තොරතුරු වලින් යාවත්කාලීන වෙනවා. විද්‍යා, තාක්ෂණික මෙන්ම සමාජයීය ලිපි ද, උපමා කථා, ජන කථා වගේ පොඩි අයගේ ආකර්ශණය දිනා ගන්නා ලිපි ද රාශියක් මෙහි අඩංගුයි...

විද්‍යා ගවේෂණ

විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නවතම සොයා ගැනීම් මෙන්ම, පැරණි අභිරහස් ලිපි ද මේ බ්ලොග් අඩවියේ අඩංගුයි. ඉතා සංකීර්ණ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිංහල භාෂාවෙන් සරලව ඉදිරිපත් කරන්නට මෙහි කතෘ තුමා හොඳින් සමත්වෙලා තියෙන බව කියන්නම ඕනේ. "Populer Science" වගේ ජනප්‍රිය විද්‍යා සඟරා ආශ්‍රයෙන් එතුමා මෙහි ලිපි සකසා තිබෙන බව සඳහන් වී තිබෙනු මට මතකයි. විද්‍යාත්මක දේවල් වලට ආසා කරන අයට නම් සිංහල බ්ලොග් අවකාශය තුළ මම දුටුව හොඳම බ්ලොග් අඩවිය මේක තමයි...


---------------------------------

    පළවන තොරතුරු වල තියෙන පුළුල් හා සාරවත් බව නිසාම මම නම් නිතරම වගේ මේ බ්ලොග් අඩවි තුනම පස්සේ පන්නනවා... මොකද, බඩ පිරෙන්නම කියවන්න දේවල් තියෙන නිසා. කියෙව්වට පස්සේ ඔළුව කැරකෙන තරමටම දැනෙන නිසා...

    බ්ලොග් අවකාශයේ තවත් බ්ලොග් අඩවි කීපයක් මම මෙතැනට සඳහන් නොකලොත් ඒක අඩුපාඩුවක්... මගේ ප්‍රියතම අඩවි තුන ගැන පොඩි විස්තරයක් එක්ක දැම්මේ නොකරම බැරි නිසා. ඒත් මේ කියන ඒවාටත් විස්තරයක් දාන්න බැරි එක ගැන කණගාටුයි. ඒ වුනත් මේ ටිකත් නොදා යන්න හිතට හරි මදි...

සෙන්නා ලියන කුරුන්ද
සිංහල බ්ලොග් අවකාශයේ දිගම බ්ලොග් ලිපිය වුණු ටයිටැනික් නැව ගැන ලියැවුණු පරිපූර්ණ බ්ලොග් ලිපිය සමගම තවත් ඓතිහාසික සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවියක් ලෙස සෙන්නා සහෝගේ කුරුන්ද නම් කරන්න පුළුවන්.

මහ වෙදනා ලියන වෙද ගෙදර‍
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා හෙළ ඔසු ගැන කියවෙන මේ බ්ලොග් අඩවියත් බොහෝ දැනුමක් ලබාදෙන සාරගර්භ තොරතුරු අඩංගු බ්ලොග් අඩවියක්. පැරණි දැනුම යට යන්නට නොදී බෙදා දෙන්නට වෙදනා දරන උත්සාහය මේ බ්ලොග් අඩවිය බලන කොට පැහැදිලියි.

සයුරි ලියන පහන් යාය
ගොඩක් දුරට පෞද්ගලික බ්ලොගයක් වගේ පෙනුනත්, පහන් යායේ වැදගත්ම දේ තමයි ඒකේ පළවන"රාජාවලිය". සිංහලේ රජ පරපුර ඇරඹුණු තැන් පටන් රාජාවලිය කොටසින් කොටස මෙතනින් කියවන්න පුළුවන්.

මහේෂ් මහත්මයා ලියන සොඳුරු සුව අසපුව
මේ අඩවිය වෙන් වන්නේ වෛද්‍ය ගැටළු සහ සෞඛ්‍යමය කාරණාවන් ගැන ඔබ දැනුවත් කරන්නයි. වෘත්තියෙන් හෙද නිළධාරියෙක් වන මෙතුමා ඉතා සරලව පළ කරන මේ ලිපි මගින් සෞඛ්‍ය කාරණා ගැන මෙන්ම ලෙඩ රෝග ගැනත් හොඳ දැනුවත් භාවයක් ලබා ගන්නට පුළුවන්.


Update : 2013-01-27
සමන් මහත්මයා ලියන සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත 
වෘත්තියෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය උගන්වන පාසැල් ගුරුවරයෙකු වන සමන් මහත්මයාගේ මේ බ්ලොග් අඩවිය තොරතුරු තාක්ෂණ විෂයය ඉගෙන ගන්නා පැසැල් දරුවන් වෙනුවෙන්ම වෙන් කෙරුණු අඩවියක්. ඒ විෂයයට අදාල විවිධ තොරතුරු සහ ලිපි එක්තැන් කරමින් පාසැල් දරුවන්ට අවශ්‍ය බාහිර දැනුම ලබාදීම මේ බ්ලොගයේ අරමුණ බව එහි සඳහන් කළ තිබෙනවා...

 ---------------------------------



    තවත් මේ වගේ වටිනා සිංහල අධ්‍යාපනික වෙබ් / බ්ලොග් අඩවි ගැන ඔයාලත් දන්නවා නම් කමෙන්ට් එකකින් සඳහන් කරලා යන්න. මහන්සියෙන් තොරතුරු හොයාගෙන අනුන් වෙනුවෙන් පළ කරන මේ වගේ බ්ලොග් රචකයින්ට ඇත්තටම ලැබෙන්න ඕනේ අගය කිරීම ලැබිලා නෑ කියලයි මට හිතෙන්නේ. ඔයාලටත් පුළුවන් නම් මේ බ්ලොග් අඩවි පැත්තේ ගිහින් කමෙන්ට් එකක් හරි තියලා මේ උදවියට ශක්තියක් දීලා එන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... දෙවන සංවත්සරය වෙනුවෙන් වටිනා දෙයක් කලා කියලා මටත් එතකොට සතුටු වෙන්න පුළුවනි...

     එහෙනම්, මම ගියා... හැම දෙනාටම ආයෙමත් ගොඩක් ස්තුතියි මගේ බ්ලොග් එකත් එක්ක ඉන්නවට ! බ්ලොග් අවකාශයේ හැම දෙනාටම ජයෙන් ජයම වේවා !!!

 




44 comments:

  1. හපොයි දෙයියනේ.. උබ තාම ඔය කියවෙන විට ලියවෙන සොෆ්ට්වෙයාර් එක ගැන දන්නෙ නැද්ද.. මමනම් ඔක්කොම දැන් ඒකෙන් තමා ලියන්නෙ.. මෙන්න ලින්ක් එක.. :-)

    සංවත්සරයට සුබ පැතුම්.. !! මාවත් මතක් කළාට තුති...

    දිගටම ලියමු !

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ අදත් සෙන්නා සහෝ කලින්ම ඇවිත්. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට !

      අනේ බාං ! කෙහෙල් කොටුවේ බුද්ධියාගේ සොෆ්ට්වෙයාර් එක මමත් පාවිච්චි කලා. ඒත් ඒක මහ කරදරයක් බං ! මට ඕනේ කියවනකොට ලියවෙන එකක් නෙවෙයි. හිතනකොටම ලියවෙන එකක් !!! උඹ බලාගෙන සහෝ ඕකෙන් ලියන්නේ, වෙන වෙන සද්දත් ලියවෙනවයි කියලා මට ආරංචියි !!!

      සුභ පැතුම් වලට ස්තුතියි... යලට මහට හරි දිගටම ලියනවා... ජය !!!

      Delete
    2. මමත් මේ චතුරංගට පල් එකක් දාන්න කියලයි ආවේ..අපි ඔක්කොමලා දන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල චතුරංග දන්නැද්ද කියලා..හික්ස්..

      පාවිච්චි කරලා බලන්න චතුරංග..අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

      Delete
    3. අපි නොදන්න මොණරතැන්න ! අපි අහුවෙයි ඕවට !!!

      Delete
  2. සුබ පැතුම් මෙන්ම ස්තුතියි ඔබට ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මහේෂ් මහත්මයා ! ඔබේ බ්ලොග් සේවාව තවත් ශක්තිමත්ව කරගෙන යන්නට ලැබේවා ! ජයෙන් ජය !!!

      Delete
  3. මගෙනුත් සුභ පැතුම් අයියා.අර සෙන්නා අක්කා කියල තියෙන එකෙන් ලියන්න එපා.ඒකෙන් හරියටම ලියවෙන්නෙ නැහැ.මට හිතෙන්නෙ සෙන්නත් ඒකෙන් ලියන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. //සෙන්නා අක්කා // ???

      මළ කෙළියයි මල්ලියෝ... වෙලාවට සෙන්නා මේක දැකලා නෑ තාම. නැත්නම් උන්දෑ ඔටු දේසේ ඉඳන් දැම්මම එනවා මලයව හොයාගෙන...:P

      අපෝ, බුද්ධියගේ සොෆ්ට්වෙයාර් එකෙන් වැඩියත් එක්ක ලියවෙනවා. සෙන්නත් ඒකලුනේ පාවිච්චිය. දැක්කේ නැද්ද උන්දැගේ ටයිටැනික් ලිපියේ දිග.!!!

      බොහොම ස්තුතියි ඇවිත් ගියාට මල්ලියෝ...!

      Delete
    2. හැහ් හැහ්.... හොඳටම :D බන්ස්ලා... මේ බ්ලොග් කෙරුවාවක් කොරන්න ගිහින් අන්තිමට ලිංගෙත් මාරු වෙලා.. හැක හැක...

      Delete
    3. හික් හික්...නමේවත් මොකක්හරි අප්සැට් එකක්ද දන්නේ නෑ..

      Delete
  4. සුභ පැතුම් චතුරංග.... මමත් ළඟදි හොඳ ඩිජිටල් කැමරාවක් ගත්තෙ ඔයාගෙ ලිපිය කියවලා ඒකෙ තියෙන විස්තර ලියාගෙන ගිහින්... එතකම් ඒක ගැන වැඩි අවබෝධයක් තිබ්බෙ නෑ... බොහොම ස්තුතියි... මේ අවුරුදු දෙකේදි ලියැවුනා වගේ වැදගත් ලිපි ඉස්සරහට වැඩි වැඩියෙන් ලියැවේවා කියල පතනවා... මේ ලිපියෙන් නොදැන හිටි බ්ලොග් කිහිපයක් ගැනත් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. //මමත් ළඟදි හොඳ ඩිජිටල් කැමරාවක් ගත්තෙ ඔයාගෙ ලිපිය කියවලා ඒකෙ තියෙන විස්තර ලියාගෙන ගිහින්...//

      අහන්නත් සතුටුයි අක්කේ...! ජයවේවා !!!

      //මේ අවුරුදු දෙකේදි ලියැවුනා වගේ වැදගත් ලිපි ඉස්සරහට වැඩි වැඩියෙන් ලියැවේවා කියල පතනවා//
      හිතට දුක ඒක තමා... බලමු හැකි විදියට ලියන්නම් !!!

      //මේ ලිපියෙන් නොදැන හිටි බ්ලොග් කිහිපයක් ගැනත් දැනගත්තා...//
      ඒ ගැන නම් ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අක්කටත් ප්‍රතිචාරයක් තියලා ගියාට !!!

      Delete
  5. Replies
    1. මුල ඉඳන්ම මේ පැත්තේ ආපු මගේ පරණම පාඨකයෙක් තමා බුවා ! ගොඩක් සතුටුයි, අවුරුදු දෙකක් ගියාට පස්සේ තාමත් ඒ විදියටම මේ පැත්තේ එන එකට !!! ජයෙන් ජය !!!

      Delete
  6. උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සමන් අයියේ... ඔයාගේ බ්ලොග් එක ගැන මට ලියන්න අමතක වුනා, සමාවෙන්න...!

      Delete
  7. කවදත් මගේ සුබ පැතුම් මල්ලි ඔබට ලැබෙනවා මල්ලි.

    මන් ඉතින් ඔය තාක්ෂනික අංශය ගැන එච්චර ඇල්මක් නැත්තේ ගෙදර මනුස්සය ඕවට ඕනවට වැඩිය ඇලිලා නිසා වෙන්න ඇති. එක ගෙදරකට එක්කෙනක් මදැයි. ඒ මදිවට පොඩි උනුත් ඒවගේ .
    ඒ වුනාට ඔය අනික් ඒවා ඕන එකක් කියවනවා . ඒ හින්දා ඔය ගැජමැටික් ගැන ලියන එව්වට මගේ කමෙන්ට් නැහැයි කියල අමනාප වෙන්න නම් එපා .

    මේ අවුරුද්දේ වැඩියෙන් ලිය වේවා කියල පතනවා

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාගේ රුචිය වෙනස් නොවැ අක්කා ! කමෙන්ට් නැතිවුනා කියලා මට හිතේ දුකක් නෑ. මම කමෙන්ට් බලාගෙන නොලියන නිසා... මට කමෙන්ට් ගලන විදියට ලියන්නත් පුළුවන්... එහෙම ලියන්න දේවලුත් මට තියෙනවා... ඒත් හැමෝම එහෙම ලියන්න ගියොත් කියවන්නත් කම්මැලියි නේ !!!

      මම ටෙක්නිකල් ලියන්නේ මම ඒවට කැමති නිසායි. සමහරු ඒවාට කැමති නැති බව මම දන්නවා අක්කේ... බ්ලොග් එක පාළුවට යන නිසා සඟරාවට ලියන ලිපි මෙතන පළ කලාට මගේ කිසිම ආසාවක් නෑ මේක ටෙක් බ්ලොගයක් කරන්න... මොනා කරන්නද ? සතියට දවස් 8 ක් කරලා, තව දවසක් නිවාඩු ලැබුනොත්...!!!

      අක්කටත් හැමදාම වගේ බොහොම ස්තුතියි !!! ජයෙන් ජය අක්කේ !!!

      Delete
  8. එළ එළ ඔහොම යං

    ReplyDelete
  9. දිගු ගමනකට සුබ පැතුම්.

    ReplyDelete
  10. සුභ පැතුම් චතුරංග..ඊළඟ අවුරුද්දෙත් අපිත් එක්ක ගොඩක් දේවල් බෙදාගන්න කාලය හැකියාව හා ඕනෑකම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රූ... ඕනෑකම නම් තියෙනවා... හැකියාවත් නෑ කියන්න බෑ නොවැ... කාලය තමයි ???

      ඊලඟ සංවත්සරේටත් සුභ පතන්න මෙහෙමම ඒවි කියලා විශ්වාස කරනවා... ජයෙන් ජය !!!

      Delete
  11. මම ඉතාමත් ගරු කරන පුද්ගලිකවත් මට උදව් වී ඇති අයෙක් චතූ ඔබ. මම වැඩිය මේ කොම්පියුටර් තාක්ෂණය දන්නේ නැහැ. මගේ අපහසු අවස්ථා කීපයකදිම මට දුන් උපදෙස් මම අදටත් මතක් කරනවා.

    ඔබට ජය සොයුර!!!!!

    ReplyDelete
    Replies
    1. මගේ පුංචි උපදෙස ලොකුවට සලකන ඔබතුමාගේ නිහතමානී කමට මගේ ආචාරය !!!

      තමන්ගේ ලොකුකම ලොකුවට ඔළුවට ගත් ලොකු චරිත වලට ඔබතුමා හොඳ ආදර්ශයක්... මගේ පුංචි බ්ලොග් එකට ගොඩ වැදිලා සුභ පැතුම් එකතු කළාට ගොඩක් ස්තුතියි...

      මහවෙදනා ගේ වෙදගෙදර සදා දිනේවා !!! ජයෙන් ජය !!!

      Delete
  12. සුභ පැතුම් ආයෙත් දිගටම ලියන්න.කලින් සැරේ වගේ නවත්වන්න එපා....

    ReplyDelete
    Replies
    1. අනේ අසා... කැමැත්තෙන් නැවැත්තුවා නෙවේ බං !!! ලියන්න නම් මම සෑහෙන්න ආසයි... ඔහේ ලියන්න කැමැත්තක් නැති නිසා ලියන්න ටිකක් වෙලා ගතවෙනවා... ඉතින් ගත කරන්න වෙලාවක් නැති කොට ලියන එකත් ඇණ හිටිනවා... ප්‍රමාදයට සමාවෙයන් !!!

      ඇවිත් සුභ පතලා ගියාට ගොඩක් ස්තුතියි අසා... ජය !!!

      Delete
  13. සංවත්සරයට සුබ පැතුම්.. !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි !!! ජයවේවා !!!

      Delete
  14. සුභ පැතුම් චතුරංග.. හැම වෙලේම කමෙන්ට් නොකලත් අපිත් මේක කියවනවා.. දිගටම ලියමු.. ජය..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් සහෝටත්, මදාරා සහෝදරීටත් දෙන්නටම ගොඩස් ස්තුතියි...

      //හැම වෙලේම කමෙන්ට් නොකලත් අපිත් මේක කියවනවා//
      කියවන්න තමයි ඕනේ... කමෙන්ට් නොකලා කියලා අහිතක් නෑ !!! ජය !!!

      Delete
  15. සුබ පැතුම් !
    තව තවත් චතූගේ කතා ලියන්න වරම් ලැබේවා කියලා පතනවා

    ReplyDelete
    Replies
    1. එදා ඉඳන්ම මේ පැත්තේ යන එන කෙනෙක් හැටියට මධූ සහෝට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ සංවත්සර සුභ පැතුම් වලට !!!

      චතූගේ කථා ලියන ලියන තරමටම එව්වා බලන්නත් එන්න ලැබේවා !!! :P

      Delete
  16. අදමයි මේ පැත්තට ගොඩ උනේ. නිවාඩු පාඩුවේ කියවන්නම් ලිපිටික. පෙනුමේ හැටියටනම් මම ආසාකරන බ්ලොග් අඩවි ගන්නේට වැටෙන බ්ලොගක් වගේ ඔන්න අද ඉඳල මමත් මේ පැත්තේ ඉන්නවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. චතූගේ කථා වලට ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා කෝරලේ මහත්තයාවත් !!!

      //පෙනුමේ හැටියටනම් මම ආසාකරන බ්ලොග් අඩවි ගන්නේට වැටෙන බ්ලොගක් වගේ//
      පෙනුමේ හැටියට බලන්න එපා කෝරලේ උන්නැහැ... කියෝලම බැලුව නම් තමා හොඳ !!! හෙහ් හෙහ්.... බොහොම ස්තුතියි ප්‍රතිචාරයක් තියලා එකතු වුන එකට... ජයෙන් ජය !!!

      Delete
  17. Hits counter eke case eka nam aththa thamai aiye.eka nikan wadakata ati deyak nemei wage..

    Mage bloge nam hits counter eka tiyenawa,welawaka ekat ain karala danna one.nikam pacha pennanna one nane.

    Mama nam eka diha balanneth nathi tharam.

    Blogayak kiyewwath welawakata liyala tiyana post eka misak,bloge namawath,liyana kenawath mata mathaka na..

    Pora wenda blog liyanna one nane.thaman danna dein,widina dein thawath pirisakata yamak laba dimai apen wiya yuththe..

    E de hodinma eththu ganwapu blog 2k thamai,aiyage me blogayai,Dhanika aiyage blogayi..

    Nihadawa idn loku sewayak karana oyala wage thawath kihipa palakma me blog athare innawa..

    Hama lipiyakinma bohoma arthanwitha paniwidayak rasayak denna aiyata haki wela tiyenawa..

    Anthrjalayen maa hadunagath miniskama hadunana watina pudgalayek aiya..

    E muna gahima badiyawa gana apamana sathutak danenawa..

    Aiyage bloge thawa thawath diyunu wewa..
    Harawath,wadagath lipi liyannata shaktiya labewa..

    Jiwitha gamana sarwapprakarayenma sarthaka wewa !!!

    Jayama wewa aiyee !!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම, මම දන්නවා මලයා උඹ මේක කොටන්නේ Phone එකෙන් කියලා... අමාරුවෙන් මේක කොටලා දිග කමෙන්ට් එකක් දැම්මට උඹට ගොඩක් ස්තුතියි... මෙච්චර කට්ටක් කන්න තරම් උඹට මේ බැඳීම වැදගත් වුනු එක ගැන සෑහෙන්න සතුටුයි මලයෝ... ඒ සහෝදරකමට මෙන්න උත්තමාචාරය !!!

      //Pora wenda blog liyanna one nane.thaman danna dein,widina dein thawath pirisakata yamak laba dimai apen wiya yuththe..// සම්පූර්ණ ඇත්ත... !!!

      ලියලා තියෙන හැම වචනයක් ගානේම උඹට ස්තුතියි මලයෝ... බ්ලොග් කෙරුවාව නිසා ලැබෙන මේ වගේ කමෙන්ට් මට මහමෙරක් වගේ වටිනවා...! සෑහෙන්න සතුටුයි කොල්ලෝ... මලයටක් බ්ලොග් එක හොඳින් කරගෙන‍, අනාගත කටයුතු සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම පතනවා... ජයෙන් ජය මල්ලි !!!

      Delete
  18. සුබ පැතුම් ඔබට..!

    ReplyDelete
  19. මගේ ලිස්ට් එකේ තියෙනවා ඔයා කියලා තියෙන ඒවා හැර,හොදයි කියල හිතෙන තවත් අඩවි කිහිපයක්....

    පිවිසුම http://pivisuma.blogspot.com, නරබමු ශ්‍රි ලංකා http://narabamusrilanka.blogspot.com, නුර්ති හා වේදිකා නාට්‍ය ගීත ඇතුලත් http://noorthi.blogspot.com,හෙළ යුගය http://helayugaya.blogspot.com ආ ... අනික චතුගේ කථා කියන බ්ලොග් එක!

    ඉදිරියේදී ගිණිය නොහැකි තරම්,ලිපි ලියවේවා කියලා පතනවා !.... :)

    ReplyDelete
    Replies
    1. හෙළ යුගය මට මිස් වුනේ කොහොමද මන්දා ? මමත් නිතර යන එන තැනක්...!!! ස්තුතියි නෙළුම් ඒ ගැන වගේම අනෙත් බ්ලොග් ගැනත් මතක් කළාට...!!!

      //ආ ... අනික චතුගේ කථා කියන බ්ලොග් එක!//
      ඒකත් හොඳ එකක් ද ??? :P ඒ වුනාට වැඩේ කැතයි, යන කෙනෙක්ට යන්න ඒකේ ලින්ක් එක ඔයා දාලා නෑනේ ???

      //ඉදිරියේදී ගිණිය නොහැකි තරම්,ලිපි ලියවේවා කියලා පතනවා !.... :) //
      මාසෙකට දෙක තුනක් තමා... පතපු විදියට ලියන්න නම් පුළුවන්, ෆුල් ටයිම් බ්ලොගින් කරනවා නම්... මොනා කරන්නද දවසට පැය 24 නොවැ !!! බයවෙන්න එපා, නොලියා ඉන්නේ නෑ... ගොඩාරියක් ස්තුතියි ප්‍රතිචාරයට සහෝදරී... ජයෙන් ජය !!!

      Delete
  20. එන්න පරක්කු උනාට සමාවෙන්න චතුරංග. මේ පෝස්ට් එක බ්‍රවුසරේ ඇරගෙන දැන් දවස් ගානක්. අද තමයි කියවන්න ලැබුනේ. ඔන්න එහෙනම් මගෙනුත් උණුසුම් සුබ පැතුම්. එන අවුරුද්දේ කොහොම කොහොම හරි පෝස්ට් ටිකක් ලියන්න බලන්න. මොකද අර නෙලුම් කිව්වා වගේ චතු ගේ කතා කියන බ්ලොගයත් ගොඩක් වැදගත් බ්ලොගයක් නිසා :)

    අපිවත් මතක් කරාට බොහොම ස්තුතියි..

    ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. අයියෝ, පරක්කු වුනාට මොකෝ... සුභ පැතුම් පිළුණු වෙන එකක් යෑ...

      //මේ පෝස්ට් එක බ්‍රවුසරේ ඇරගෙන දැන් දවස් ගානක්. අද තමයි කියවන්න ලැබුනේ.//
      ඒ කියන්නේ සයුරි බ්‍රවුසරේ ඇරගෙන දවස් ගණන් යනකල් බ්ලොග් කියවනවා කියන එකද ? නැත්නම් ???

      //එන අවුරුද්දේ කොහොම කොහොම හරි පෝස්ට් ටිකක් ලියන්න බලන්න.//
      ඇත්තම කියන්න සයුරි, මම ලියන්න නම් හැමවෙලේම ‘බලනවා‘... ඒ බැලුවට ලියවෙන්නේ නැකි එකනේ වැඩේ...:)

      //චතු ගේ කතා කියන බ්ලොගයත් ගොඩක් වැදගත් බ්ලොගයක් නිසා//
      මම විහින් මාවම පාච්චල් කර ගන්නේ නෑ. නමුත් මට වඩා හොඳ බ්ලොග් ගොඩක් තියෙනවා නේ... ඒ වගේ මට හොඳ බ්ලොග් කීපයක් තමා මම ඔය පළ කරලා තියෙන්නේ...!

      කොහොමින් වුනත්, එදා ඉඳන්ම චතූගේ කථා එක්ක ඉන්න යාවජීව සාමාජිකාවක් හැටියට සයුරිටත් මගේ නොවක් ස්තුතිය !!! කරන හොඳවැඩ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා... ජයෙන් ජය !!!

      Delete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...