Friday, November 16, 2012

- ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP -


      පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා  පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board),  අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.



පරිගණකය හා මිනිසා අතර අන්තර් සම්බන්ධය භෞතික මානයෙන් ඔබ්බට රැගෙන යන මෙය LEAP ලෙස නම් කර තිබේ. තවමත් ආරම්භක අවස්ථාවේ පවතින LEAP Motion නම් ඇමෙරිකානු සමාගමක් විසින් මේ නව තාක්ෂණය ඉදිරිපත් කර තිබේ. මෙහිදී භාවිතා වන උපාංගය LEAP ලෙසින් හඳුන්වන, අඟල් 3 ක් පමණ දිගැති, චලනයට සංවේදී උපකරණයකි. මෙය USB කේබලයක මගින් පරිගණකය හා සම්බන්ධ වේ. මෙම LEAP උපාංගයේ ඇති විශේෂීතාවය වනුයේ පරිගණකය හා ගනුදෙනු කිරීමට මෙම උපාංගය ස්පර්ශ කිරීම හෝ යම් නිශ්චිත ස්ථානයක් වෙත යොමු කිරීම අනවශ්‍ය වීමයි. පරිගණකය හැසිරවීමට ඔබ කළ යුත්තේ ඔබේ දෑත්, ඇඟිලි සෙලවීම පමණි.


ඔබ Minority Report සිනමා පටය නරඹා ඇත්නම් ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අති විශාල පරිගණක තිර ඉදිරියේ දෑතින් යම් යම් විධාන දෙමින් පරිගණක පද්ධතිය හසුරුවනු දකින්නට ඇත. LEAP හි ආවරණ ප්‍රදේශය Minority Report තරම් විශාල නොවූවත් ක්‍රියාකාරීත්වය එයට සමාන වේ. මෙහි චලන සංවේදී උපාංග ලෙස Infrared LED කීපයක් සහ මෙගා පික්සල 1.3 ක (1.3 MP) කැමරා සංවේදකයක් අඩංගු කර තිබේ. මෙමගින් ඝන අඩි 8 ක ප්‍රදේශයක් පුරා (සාමාන්‍ය ශීතකරණයක් තරම්) ත්‍රිමාන අවකාශයක සිදුවන චලනයන් ග්‍රහණය කරගනී. පරිශීලකයාගේ දෑත් සහ ඇඟිලි හසුරුවන රටාවන්ට අනුකූල සුවිශේෂී ඇල්ගොරිදම රටාවන් රැසක් හඳුනාගැනීමට LEAP මෘදුකාංගයට හැකියාව ඇත. සරලව පැවසුවහොත්, LEAP උපාංගය ඉදිරියේ හිස් අවකාශය මත, පෑනක් මගින් ඔබේ අත්සන "ලිවීමෙන්" ඉතා නිවැරදිව ඔබේ ඩිජිටල් අත්සන තිරය මතට ලබා දීමට මෙයට හැකිය. පරිශීලකයාගේ දෑතේ ත්‍රිමාන අවකාශී සිතියමක් මැවීමට එයට හැකිවන අතර දැන් මෙම දත්ත ආධාරයෙන් චලනයන් හඳුනා ගැනීමට එය සමත්වේ.


චලන සංවේදී උපාංග ලෙස මෑත කාලයේ තරමකට හෝ මතුවී ආවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ කයිනෙක්ට් (Kinect) උපාංගයයි. කෙසේ වුවත් එය ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩි පරාසයක මෙහෙයුම් ප්‍රමාණයක් හැසිරවීමට එයට නොහැකි විය. තවමත් පරිගණකයක් පාලනයට තරම් දියුණුවක් එය ලබා නොමැති අතර XBox පද්ධති හා වෙනත් පරිගණක ක්‍රීඩාවන් හැසිරවීම සඳහා එය බහුලව භාවිතා කෙරේ. LEAP  හි චලන සංවේදීතාවය Kinect මෙන් 200 ගුණයක් ඉහළ අතර මිලිමීටරයකින් සියයෙන් එකක් දක්වා වූ අති සියුම් චලනයන් පවා එයට හසුකරගත හැකියි. කයිනෙක්ට් මෙන් නොව LEAP උපාංගය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තරම් කුඩා නිසා පහසුවෙන් හැසිරවිය හැකියි. තවමත් මුල් අදියරේ පවතින තාක්ෂණයක් වුවත් LEAP හි ඇති අතිසියුම් නිවරද්‍යභාවය විස්මය දනවන සුළුයි. LEAP හි අනාගත සංස්කරණ වලදී මෙහි සංවේදී උපාංග තවත් කුඩා කර ස්මාට් දුරකථන, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක පද්ධති තුලම LEAP පද්ධතිය ඇතුලත් වන ආකාරයෙන් තැනීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.


මෙම නව පද්ධතිය මිනිසා හා පරිගණකය අතර පැවති භෞතික සීමාවන් බිඳ දමමින් වඩාත් නිදහස් හා ස්වාභාවික ආකාරයෙන් පරිගණකය හා සම්බන්ධ වීමේ නව මානයක් උදාකරන බව LEAP  Motion සමාගමේ නිර්මාතෘ ඩේවිඩ් හෝල්ස් පවසා සිටී. "එය මවුසයකට වඩා නිවරද්‍යතාවයකින් යුක්තයි, යතුරු පුවරුවකත් වඩා විශ්වාස දායකයි, ස්පර්ශ-සංවේදී තිරයකටත් වඩා සංවේදීතාවයෙන් යුතුයි... වඩාත් වැදගත් කරුණ වන්නේ ඉහළ - පහළ, වම - දකුණ, ඉදිරිය - පසුපස යන ඕනෑම දිශාවකට, ත්‍රිමාන අවකාශය තුල ඔබට නිදහසේ වැඩ කළ හැකි වීමයි..."



LEAP උපාංගයෙන් ඔබේ පරිගණකය හැසිරවීම ඉතා පහසුයි. USB සබඳතාවය හරහා LEAP උපාංගය පරිගණකයට සම්බන්ධ කර  Leap Motion මෘදුකාංගය ධාවනය කළ පසු LEAP උපාංගය මත ඔබේ අත එක්වරක් වැනීම මගින් එය සක්‍රීය වේ. වෙනත් කිසිදු පුහුණු කිරීමක් හෝ ඉගෙනීමක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ සිතට එන ඕනෑම විධානයක් ඔබට හුරු පුරුදු හස්ත සංඥාවක් මගින් දැන් ක්‍රියාත්මක කරවිය හැකියි. එපමණක් නොව, ඔබට ඔබේ දෑතේ ඇඟිලි වලට අමතරව පෑනක් හෝ පැන්සලක් වැනි දෙයක් පවා භාවිතා කළ හැකියි. LEAP හි අධි-සංවේදීතාව හා නිවැරදි බවත්, LEAP මෘදුකාංග 'මොළයේ' බුද්ධිමත් භාවයත් නිසා විද්‍යා ප්‍රබන්ධ ගණයේ අත්දැකීමක් ඔබේ දෑස් ඉදිරිපිට මැවීමට LEAP උපාංගයට හැකියාව ලැබී තිබේ. ඔබට අවශ්‍ය ආකාරයේ විධානයන් LEAP මෘදුකාංගය වෙත program කිරීමටද හැකියාව ලබාදී ඇත. මෙමගින් ඔබටම ආවේනික වූ චලන විධානයක් පහසුවෙන් භාවිතා කළ හැකියි. LEAP උපාංගයක් කීපයක් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් ඔබේ සංවේදී ප්‍රදේශය වැඩි කරගන්නටත් පුළුවන්.

LEAP Morion සමාගම විසින් මේ වන විටත් LEAP උපාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයන් ලොව පුරා වෙසෙන මෘදුකාංග සංවර්ධකයින් හට ලබාදී තිබේ. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ LEAP උපාංගයේ විවිධ භාවිතාවයන් ඉස්මතු කරගැනීමටයි. මෙහිදී LEAP උපාංගය භාවිතයෙන් සිදුකළ හැකි විවිධ වැඩකටයුතු රාශියක් පිළිබඳ අදහස් මතුවී තිබේ. ත්‍රිමාන නිර්මාණ කරුවන්හට මවුසයෙන් වැඩ කරනවාට වඩා දස ගුණයක වේගයෙන් ත්‍රිමාන ආකෘති (3D Modeling)  නිර්මාණය කරගත හැකියි. වින්ඩෝස් 7 / 8 පද්ධති හා Mac OS පාදක පරිගණක පද්ධති හැසිරවීම සඳහා වෙනත් කිසිදු වෙහෙසකින් තොරව LEAP යොදා ගැනීමට පුළුවන. පෙර සඳහන් කළ ආකාරයට ඩිජිටල් අයදුම්පතක් සඳහා ඔබේ අත්සන යෙදීමට ඔබ කළ යුත්තේ අවකාශය තුළ පෑනෙන් අත්සන් කිරීම පමණි. එසේම කිසිදු සැකයකින් තොරව පරිගණක ක්‍රීඩා ලෝලීන්ට තමන්ට රිසි අයුරින් ක්‍රීඩා කිරීමේ පහසුකම LEAP මගින් ලැබෙනු ඇත.


LEAP උපාංගය නිර්මාණය කිරීමේ අදහස එහි නිර්මාණකරුවන් වන ඩේවිඩ් හෝල්ස් සහ මයිකල් බක්වඩ් හට පැමිණ ඇත්තේ ත්‍රිමාන මොඩලයන් නිර්මාණය කිරීම සඳහා පරිගණකය භාවිතා කිරීමේදී යතුරු පුවරුවත්, මවුසයත් භාවිතයෙන් එය කිරීමට ඇති අපහසුතාවය තේරුම් යෑම නිසායි. පරිගණක තිරය මත අතත්‍ය (virtual) මැටි ගොඩක් ඇතැයි සැලකුව හොත්, අප සාමාන්‍ය ලෝකයේ එම මැටි පිඬ හැඩගස්වා අපට අවශ්‍ය රූපය නිර්මාණය කරන ලෙසටම පරිගණක තිරය තුල ඇති මැටි පිඬ ද හැඩගැස්වීමට හැකි විය යුතු යැයි ඔවුන් කල්පනා කලහ. මෙසේ ස්වභාවික හස්ත චලනයන් භාවිතයෙන් ත්‍රිමාණ රූ මැවීම සඳහා නිපදවුනු චලන තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් LEAP උපාංගය නිර්මාණය කර තිබේ.

LEAP හි අනාගතය සිතාගත නොහැකි තරම් චමත්කාරජනක වනු ඇත. අනාගත LEAP උපාංගයන් වඩාත් කුඩා වනු ඇති අතරම, වඩාත් පුළුල් පරාසයක ක්‍රියාත්මක වනු ඇත. එවිට කාමරය මැද ක්‍රිකට් පිත්ත වනමින් පරිගණකයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ද, හිස් අවකාශයේ පැන්සල මෙහෙයවමින් චිත්‍ර අඳින කලාකරුවන් ද, හස්ත සංඥා මගින් පරිගණකයෙන් චැට් කරන ආබාධිතයන් ද අමුතු දසුනක් නොවනු ඇත.

LEAP උපාංගය ඩොලර් 70 කට මිළ කර ඇති අතර, 2013 වසරේ මුල් භාගයේදී මෙය වෙළඳපොලට නිකුත් කිරීමට LEAP Motion සමාගම බලාපොරොත්තු වේ.



මෙම වීඩියෝව නැරඹීමෙන් LEAP හි ක්‍රියාකාරීත්වය වඩාත් හො‍ඳින් 
වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත...





14 comments:

  1. ඔබගේ තාක්ෂණික තොරතුරු අගෙයි

    ReplyDelete
  2. // LEAP හි අනාගතය සිතාගත නොහැකි තරම් චමත්කාරජනක වනු ඇත. අනාගත LEAP උපාංගයන් වඩාත් කුඩා වනු ඇති අතරම, වඩාත් පුළුල් පරාසයක ක්‍රියාත්මක වනු ඇත. එවිට කාමරය මැද ක්‍රිකට් පිත්ත වනමින් පරිගණකයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ද, හිස් අවකාශයේ පැන්සල මෙහෙයවමින් චිත්‍ර අඳින කලාකරුවන් ද, හස්ත සංඥා මගින් පරිගණකයෙන් චැට් කරන ආබාධිතයන් ද අමුතු දසුනක් නොවනු ඇත. //

    මේටික කියෙව්වමනම් ඇඟ හීතල වෙලා ගියා බන්.. අනාගතේ මේ ලෝකෙට ඉතුරු වෙන්නෙ තම තමන්ගෙ ලෝක වල තනි වුන උන්මතකයො පිරිසක් විතරයි. දැනටමත් තනියම කතා කරමින් අත පය විසි කරමින් පාරේ යන මිනිසුන්ගෙන්, ෆෝන් එක දිහාම බලාගන පාරේ යන, ආහාර ගන්න මිනිසුන්ගෙන් මේ ලෝකෙ පිරිලා. 80 දශකයට කලින් මිය ගිය පුද්ගලයෙක් වැරදිලා හරි ආයේ මේ ලෝකෙට එන්න අවස්තාවක් ලැබුනොත්, ඌට හිතෙයි මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදිලා කියලා.

    තාක්ශණයේ දියුණුව හොඳයි.. ඒත් මේ යන යෑම කොහෙන් කෙලවර වෙයිද කියලයි බය.

    කොහොම වෙතත් මේ විස්තරය අපිට හොයලා කියපු උඹට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සෙන්නා සහෝ... ලෝකේ හැමදෙයකම දියුණුව කියන්නේ මිනිහා කියන සතා තව තවත් කම්මැලි වෙන්න පාරවල් හොයන එක නේද ? පයින් යන්න කම්මැලි කමට වාහන හැදුවා... මොලේ වෙහෙසන්න කම්මැලි නිසා කොම්පියුටර් හැදුවා... සමහර විට කිසිම වැඩක් කරන්න කම්මැලි නිසා අනාගතේ මිනිස්සු අර matrix වල වගේ එකම තැනක ඉඳන් හිතෙන් විතරක් ජීවත් වේවි...!

      තමන්ගේ ලෝකේ තනිවෙන එක නම් ඉතින් අහන්න දෙයක් නෑ. FB පේනවනේ... කොහොම වුනත් පුටුවේ වාඩිවෙලා කීබෝඩ් එක ඔබ ඔබ ක්‍රිකට් ගහනවට වැඩිය ඇඟ හොල්ලලා පිත්ත වනලා තිරේ ඉස්සරහා සෙල්ලම් කරන එක ගොඩක් සෞඛ්‍යයට හොඳයි නේද ?

      //80 දශකයට කලින් මිය ගිය පුද්ගලයෙක් වැරදිලා හරි ආයේ මේ ලෝකෙට එන්න අවස්තාවක් ලැබුනොත්, ඌට හිතෙයි මේ ලෝකෙ ඉන්න මිනිස්සුන්ට පිස්සු හැදිලා කියලා...//

      එහෙම වුනොත් ඒ මිනිහා හිතයි වැරදි ග්‍රහලෝකෙකට ඇවිත් කියලා... :P

      //තාක්ශණයේ දියුණුව හොඳයි.. ඒත් මේ යන යෑම කොහෙන් කෙලවර වෙයිද කියලයි බය.//

      අනිවාර්යයෙන් විනාශයකින්ම තමා...!

      ස්තුතියි සහෝ කම්මැලි නැතිව ටයිප් කරලා අදහස කියලා ගිය එකට... ජය වේවා !!!

      Delete
    2. ඇත්තටම මම මේකේ ප්‍රසන්ටේෂන් එකක් බැලුවා ටික දවසකට ඉස්සර. එදා සෙන්නට හිතුන එකමයි මටත් හිතුනේ. මට නිකන් දැනුනේ අමුතු බයක් වගේ එකක්. අපි හැමෝම වර්චුවල් ලෝකෙක හිර වේවි කියලා හිතුනා.

      හැබැයි ඉතින් මේ නවීන සොයා ගැනීම් අවිවාදයෙන්ම අනර්ඝ බව පිළිගන්න ඕන.

      Delete
  3. අහ්හ් ඇති යන්තම්...උබ ආයෙත් ආවනෙ...එල එල... නියමයි..!!!
    අඩේ මේකෙ තාක්ශනය දියුනු එකක් නිසා මම හිතුවෙ පට්ටෙට ගනන් ඇති කියල..එ උනාට බන් ගානත් ශේප්...

    ReplyDelete
    Replies
    1. //අහ්හ් ඇති යන්තම්...උබ ආයෙත් ආවනෙ...//

      හ්ම්... හ්ම්... ආව නම් තමා, කොච්චර කාලයකටද කියලා තමයි සැක... :P

      //මම හිතුවෙ පට්ටෙට ගනන් ඇති කියල//

      ඩොලර් 70 යි නේ... වැඩේ නැගලම ගියොත් මවුස් කැලේ...!

      ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට... ජයවේවා !!!

      Delete
    2. // හ්ම්... හ්ම්... ආව නම් තමා, කොච්චර කාලයකටද කියලා තමයි සැක... :P //

      මොකද සහෝ අනියමාර්තයෙන් ?

      Delete
    3. @ සෙන්නා :
      නෑ ඉතින්, ලියන්න කියලා හිටියට කෙරෙන්නේ නෑ සහෝ... හරියටම කියන්නම් අවුරුද්ද අන්තිමට වගේ... :)

      Delete
  4. අම්මේ ඇත්තමයි, සෙන්නා එක්ක මමත් එකඟයි. චතූගේ ලිපිය නම් නියමයි. අනේ මන්ද ලෝකෙ දියුණුව කොහෙන් නවතීද...
    ඔබ හරි හොදකින්නම් වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයාටත් බොහොම ස්තුතියි අදහස් වලට ! ජය !!!

      Delete
  5. කමෙන්ට් එකක් උඩින් දැම්මට කියන්න බැරි උනානේ..බොහොම ස්තුතියි චතුරංග මේ වගේ අලුතෙන් එන ගජමැටික්ස් හඳුන්වලා දෙනවට.

    ReplyDelete
  6. ඇවිත් යන්නම් අද සිට
    හෙටත් එන්නම් මතුවට

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...