Tuesday, March 6, 2012

- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -


      වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවා හරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තා එහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක් ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...


1. ලොව බරම වට්ටක්කා ගෙඩිය


ගිනස් වාර්තා පොතේ සටහන් වන පරිදි ලොව බරම වට්ටක්කා ගෙඩිය ලෙස වාර්තාවන්නේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයෙන් හමුවූ දැවැන්ත වට්ටක්කා ගෙඩියයි. මේ වාර්තාව සටහන් වී ඇත්තේ 2010 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදායි. මේ යෝධ වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්‍රෑම් 821 කටත් වඩා වැඩියි. (රාත්තල් 1810 ක් හා අවුන්ස 8 යි) මේ ගැන ලොවට හෙලි කර ඇත්තේ ක්‍රිස් ස්ටීවන්ස් නැමැත්තෙක් විසින්. මේ වාර්තාගත වට්ටක්කා ගෙඩිය මීට පෙර වාර්තා වී තිබූ වට්ටක්කා ගෙඩියට වඩා කිලෝග්‍රෑම් 38.5 ක් බර වැඩි බවයි සඳහන් වන්නේ.


2. වැඩිම ටී-ෂර්ට් ප්‍රමාණයක් එකවර ඇඟලා සිටීම


මේ වාර්තාව තරමක් අමුතු එකක් වුවත් අපූරු වාර්තාවක් බව කිව යුතුයි. මේ අපූරු වාර්තාවට හිමිකම් කියන්නේ ක්රූනොස්ලාව් බුඩිසේලික් නම් ක්‍රොඒෂියානුවෙක්. වෙනස් ප්‍රමාණවලින් යුත් ටී-ෂර්ට්ස් 245 ක් ඇඟලා සිටීමෙන් ඔහු මේ වාර්තාව තබා තිබෙනවා. දිනය ලෙස සටහන් වෙන්නේ 2010 මැයි 21 වැනිදායි. කිලෝග්‍රෑම් 68 ක් බර මේ ටී-ෂර්ට් 245 ඇඟලා ගැනීමට ඔහුට ගතවී ඇත්තේ පැය දෙකකටත් අඩු කාලයක්. බුඩිසේලික් පවසා තිඛෙන්නේ 120 වැනි ටී-ෂර්ට් එක ඇඟලා ගනිද්දී තමාට අපහසුතාවයක් දැනෙන්නට පටන්ගත් බවයි. මේ ටී-ෂර්ට් වල අධික බර නිසා තම ගෙල සිරකරන්නාක් මෙන් දැනුනු බවත්, වාර්තාව තැබීමෙන් පසුවත් තම ගෙල වේදනා ගෙන දුන් බවත් ඔහු පවසා තිබුණා. මේ වාර්තාව මීට පෙර තබා තිබුනේ ටී-ෂර්ට් 238 ක් ඇඟලීමෙන්.


3. ජීවතුන් අතර සිටින දීර්ඝතම පවුල් පරම්පරාව


සාමාන්‍ය පවුලකට අයත් වෙන්නේ පරම්පරා 3 ක් පමණයි. ඒ දරුවන්, දෙමව්පියන්, දෙමව්පියන්ගේ මව්පියන් ආදී වශයෙන්. සමහර විටෙක මෙය පරම්පරා හතරක් වන්නටත් පුළුවන්. නමුත් සෑම පරම්පරාවක්ම අවුරුදු විස්සෙන් විස්සට තවත් පරම්පරාවක් බිහි කලහොත් ඒ පවුලේ ජීවත්වන පරම්පරා ගණන වැඩි වන බව ප්‍රායෝගික සත්‍යයක්. මේ ආකාරයට පරම්පරා වැඩිම ගණනක් ජීවත් වන පවුල ලෙස ගිනස් පොතේ සඳහන් වන්නේ පරම්පරා හයක් එකට ජීවත් වන මේ එංගලන්ත පවුලයි. හැරී ලෝ නම් ළදරුවා මේ පවුලට එකතුවූයේ හයවැනි පරම්පරාව සටහන් කරමින්. ඔහුගේ මව වන්නේ 19 හැවිරිදි ජෙසිකා ලෝ. ඇගේ මව, එනම් බිළිඳාගේ මිත්තනිය වන ලීසා රොජර්ස්ගේ වයස අවුරුදු 36 යි. ලීසාගේ මව වන වෙන්ඩිගේ වයස අවුරුදු 54 ක් වන අතර ඇගේ මව වන පැමෙලා ජැක්සන්ගේ වයස අවුරුදු 74 කි.  මේ පවුලේ ඉහළම පරම්පරාව නියෝජනය කරන ලොකු අත්තම්මා වන පැමෙලාගේ මව, ග්ලැඩිස් ස්වීටිං ගේ වයස අවුරුදු 91 ක් වෙනවා.

(මේ තොරතුරු ගැන වැඩිදුර හෙව්වත් මට හොයාගන්න ලැබුනේ නෑ. පින්තූරයත් සමග විස්තර ගැලපේද කියලා සැක සහිතයි. නිශ්චිත තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න.)


4. දිගම කන් ඇති සුනඛයා


ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වෙසෙන බ්ලඩ්හවුන්ඩ් වර්ගයට අයත් මේ සුනඛයාගේ දකුණු කන අඟල් 13.75 ක්ද, වම් කන අඟල් 13.5 ක්ද වෙනවා. ටිගර්නම් මේ සුනඛයාගේ හිමිකරු වන්නේ ක්‍රිස්ටිනා සහ බ්‍රයන් ෆ්ලෙස්නර් යුවලයි. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කී ජෙෆ්‍රිස් නම් සුනඛයාගේ කන් අඟල් 11.5 ක් දිගට පැවතිනි. එම සුනඛයාගේ සීයා වන සුනඛයාද දිගු කන් සඳහා වූ වාර්තාවට හිමිකම් කී අතර උගේ මරණයෙන් පසු ජෙෆ්‍රිස්ට එම කිරුල හිමිවූ නමුත් දැන් ඒ වාර්තාව හිමිවන්නේ ඉහත දැක්වූ ටිගර්ටයි.


5. ලොකුම අං ඇති ගවයා


ලෝකේ ලොකුම අං දෙක හිමි ගවයා වන ලර්ච්තමයි මේ. මේ එක් අඟක වට ප්‍රමාණය අඟල් 37.5 ක් වෙනවා. අප්‍රිකානු වතුසි වර්ගයට අයත් මේ අසාමාන්‍ය ගොන් වස්සා උපත ලබා ඇත්තේ 1995 ඔක්තෝම්බර් 11 වැනිදා මිසුරි හිදීයි. නමුත් අවාසනාවකට මේ ගවයා පසුගිය වසරේ මරණයට පත්වුනා. අපූර්වතම සිදුවීම වන්නේ ලර්ච් ගේ මරණයට හේතු වූ පිලිකාව වර්ධනය වී තිඛෙන්නේත් මේ අරුම පුදුම අං තුලම වීමයි.


6. එක් අවස්ථාවකදී සිදුකල වැඩිම සිරුර විද ගැනීම් ගණන


ඇමරිකාවේ ක්‍රිස් එලියට් සහ ටයිසන් ටර්ක් විසින් 2010 මැයි වලදී මේ වාර්තාව තබා තිබේ. ඒ පැය හයයි විනාඩි 15 ක් තුල 3100 වතාවක් සිරුර විදගැනීමෙනි. පෙර තිබූ වාර්තාව වූයේ බ්‍රිතාන්‍ය යුගලයක් විසින් පැය 7 යි විනාඩි 55 ක් තුල 1035 වතාවක් සිරුර විදගනිමින් තබා තිබූ වාර්තාවයි. 


7. සබන් බුබුලක් තුල රැඳවූ වැඩිම පිරිස


කැලිෆෝනියාවේ සාන්ත ඇනා හි පිහිටි ඩිස්කවරි සයන්ස් සෙන්ටර් හි පැවැත්වූ සංදර්ශණයක් පිණිස මේ සිද්ධිය පවත්වා ඇති අතර එය පසුව ලෝක වාර්තාවක් බවට පත්ව තිබේ. ෆැන් යැං හා ඩෙනි යැං මේ බුබුළු සෑදීමේ ප්‍රවීනයන් පවයි පැවසෙන්නේ. 2011 වසරේ අප්‍රේල් මස 4 වැනි දින සටහන් වූ මේ වාර්තාවට අනුව දිගු සබන් බුබුලක් තුල පුද්ගලයින් 118 ක් රඳවා තබා තිබුණා.


8. පිහිනුම් වරල් පැළඳ දිවූ වේගවත්ම සැතපුම


පිහිණුම් වරල් පළඳින්නේ ජලයේදී පිහිනීමට ආධාර කර ගැනීමට වුවත් පිහිණුම් වරල් පයේ පැළඳ, ගොඩබිම මත සැතපුමක් දුර දුවා, වේගවත්ම ධාවනය සටහන් කරමින්, අපූර්වතම ලෝක වාර්තාවකට හිමිකම් කියන්නට අශ්රිටා ෆර්මන් නම් ඇමෙරිකානුවා සමත් වුනා. ඔහු ගිනස් වාර්තා පොතට නම් අමුත්තෙක් නොවෙයි. 1979 වසරේ සිට මේ දක්වා ඔහු ගිනස් වාර්තා 340 ක් තබා ඇති අතර එයින් 113 ක්ම තවමත් ඔහුගේ නම ඉදිරියෙන් නොබිඳී පවතී. පිහිණුම් වරල් පැළඳ සැතපුමක් දුවා ඔහු වේගවත්ම වාර්තාව තබා ඇත්තේ විනාඩි 7 යි තත්පර 56 ක කාලයක් වාර්තා කරමින්. ෆර්මන් මේ වාර්තාව පිහිටුව්වේ පසුගිය 2010 වසරේ ඔස්ටි්‍රයාවේ වියානා නගරයේදීයි. ඒ වගේම ඔහුගේ නම ඉදිරියෙන් තවත් අපූරුතම ගිනස් වාර්තාවක් සටහන් වෙනවා. ඒ දැනට වැඩිම ගිනස් වාර්තා ප්‍රමාණයක් හිමි පුද්ගලයා වශයෙනුයි.


9. සතර පයින් දිවූ වේගවත්ම මීටර 100


සාමාන්‍යයෙන් වේගවත්ම මීටර 100 වාර්තාව සඳහා දුවන්නේ දෙපයින්. නමුත් මේ වාර්තාව සටහන් වන්නේ අත-පය සතරම භාවිතා කරමින් දුවන ලද ධාවනයක් සඳහා. මේ ආකාරයට සතර පයින් මීටර 100 දුවා වේගවත්ම කාලය වාර්තා කර ඇත්තේ කෙනිචි ඉටෝ නම් ජපාන ජාතික තරුණයා විසින්. සතර පයින් මීටර 100 දිවීම සඳහා ඔහු ගත කර ඇත්තේ තත්පර 18.58 ක් පමණයි. ජපන් ජාතිකයන් සුපිරි බලයලෙස හඳුන්වන අපූරු හැකියාවකින් යුත් මේ තරුණයා ඉහත වාර්තාව තබා ඇත්තේ 2008 වසරේ ටෝකියෝ නුවරදීයි.


10. ඇස් කෙවෙනි වලින් අදින ලද වැඩිම බර


බර අදින්නේ දෑත් වලින් වුවත් මේ පුද්ගලයා නම් බර අදින්නේ ඇස් කෙවෙනි මත රැඳවූ කොක්කක් මගින්. මෙවැනි සංදර්ශණාත්මක ත්‍රාසජනක අවස්ථා නිරූපණය සඳහා නමක් දිනා ඇති ඔහු ස්පේස් කව්බෝයි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චේනි හල්ට්ග්‍රීන් නැමැත්තායි. ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන චේනි මෙවැනි ත්‍රාසජනක වීදි සංදර්ශණ සඳහා දෙවරක්ම ශූරතාවයක්ද දිනූවෙකි. ඔහු මේ වාර්තාව තබා ඇත්තේ ඇස් කෙවෙනි වලින් කිලෝග්‍රෑම් 411.65 ක් බර ඇදීමෙන්.

අන්තිමට මේ ටිකත් කියන්නම ඕනේ. වාර්තා තියන්නයි කියලා නොදන්න මඟුල් කරන්න ගිහින් බෙල්ල, අත-පය කඩා ගත්තොත්... මම නම් නෑ හොඳේ...






20 comments:

  1. ඔක්කොම පට්ට සේරම අළුතින් අහපු දේවල් ඒත් වැඩේ කියන්නේ ඇස්කෙවෙනි සීන් එක.....ඒක මාරයිනේ පුදුමයි...නියමයි අයියේ

    ReplyDelete
  2. වැඩිම ටි ෂර්ට් ඇදපු පොර නම් දැන් ඉන්නේ ලංකාවේ

    ReplyDelete
  3. අමුතු වාර්තානෙ තියෙන්නෙ, ඕව කොරන්න ගිහිං බෙල්ල කඩා ගත්ත එවුනුත් සෑහෙන්න ඇති.

    ReplyDelete
  4. @ ගැමියා :
    ප්‍රතිචාරයට ස්තුතියි ගැමි මල්ලි, අමුතුම ජාතියේ ටිකක් නිසා තමයි පළ කරන්න හිතුනේ. ස්තුතිය ඇවිත් ගියාට !

    @ නිෂාන් :
    ඈඃ !!! එහෙමද ? තව විස්තර කිව්වා නම් හොඳයි  ! ඒක නම් මං දැනන් හිටියේ නෑ. ස්තුතියි අදහස් වලට !

    @ කිරිපුතා :
    අනේ මන්දා, හැමෝටම වාර්තා තියන්නත් බෑ නොවැ...! ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  5. කිරිපුතා,
    ලංකාවෙත් කීදෙනෙක් හිටියද?


    අලුත් විස්තරයක්..ලංකාවෙ ගිනස් නියෝජිතයෙක් නෑ කියන්නෙ ඇත්තද? කලින් තියපු වාර්තා පුස්සක් වෙලා කියලත් ආරංචියි..

    ReplyDelete
  6. මිනිස්සුන්ට හිතෙන අමුතු දේවල්.... පින්තූරෙත් එක්ක දුන්නු විස්තරය හරි වටිනවා..

    ReplyDelete
  7. අහ්හ් අම්මෝ අර විදගෙන තියෙන කෙනා දැක්කම බයත් හිතෙනවා අප්පොච්චියේ

    ReplyDelete
  8. අනේ වාර්තා ඕන්නෑ බං. මේ ඉන්න විදිය හොඳයි. හොඳ පෝස්ටුවක් වෙනිදා වගේම.

    ReplyDelete
  9. වෙනද වගේම වැදගත් ලිපියක් චතු ගෙන්. අන්තිමට දීපු උපදෙස නම් බොහොම වටිනවා. :)) මට මතකයි අපේ රාවනා ඇල්ලෙන් පහලට බහින්න ගිහින් මිය ගිය පුද්ගලයෙක් ගැන.

    ReplyDelete
  10. @ හරී :
    හ්ම් ! ලංකාවේ නියෝජිතයා ඒ වාර්තා යවලා නෑලු. ඒ උත්තමයට ඒවා වාර්තා කරන්න සුදුසුකමුත් නෑලු. ගිනස් නියෝජිතයෙක් විදියට එතුමාව පිළි අරගෙනත් නෑලු... අනේ මන්දා, එහෙම ලු !!!!

    ස්තුතියි ඇවිත් ගියාට !

    @ සෙන්නා :
    අමුතු දේවල් හිතුනු නිසා තමා සහෝ මිනිහා කියන සතා දියුණු වුනේ. වෙනසක් කරන්න ඕනේ කියලා හිතුන මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ... ස්තුතියි ප්‍රතිචාරයට !!!

    @ වර්ණා :
    හා හා... දරුවෝ... බය ගන්න කාරි නෑ. ඒක ඒ අයගේ ජීවිකාව නොවැ !!!

    @ සයුරි :
    ඇයි මේ ඊයේ පෙරේදා පණ පිටින් පිච්චුනු කෙනා...! අද්හදා බැලීම් කරන්න ඕනේ... වාර්තා තියන්න ඕනේ. හැබැයි ඒ ඔක්කොටොම වඩා ජීවිතේ වටිනවා ! එක නිසා ඔක්කොටොම කලින් ජීවිත ආරක්ෂාව ගැන හිතන්න ඕනේ...!

    බොහොම ස්තුතියි සයුරි !!! ජයවේවා !!!

    ReplyDelete
  11. apa nodnna dewal gena ,denuwath kalata obta thank's

    ReplyDelete
  12. සාමන්‍යයෙන් අහන දකින වාර්තාවලට වඩා සෑහෙන වෙනස් සෙට් එකක්..ඒකැ හින්දමඩ කොහෙද මාරම ගතියක් තියෙනවා.. වැඩේ ටික නම් ආයි සුපිරියි..!!

    ReplyDelete
  13. පෝස්ටුව හොදයි... එත් ඒ ගැන නෙමෙයි මේ අහන්නේ..
    අර ගිනස් නිරීක්ෂකයෙක් ලංකාවේ හිටියෙ නැත්තම් අනුරාධපුර සොයිසා කොන්ක්‍රීට් අතින් ගහලා කැඩුව එකට සහතිකෙයි. සල්ලියි දුන්නේ කොහොමද ගිනස් කමිටුවෙන්.. මාර වැඩේනේ ඒක.. දන්නවනම් දැනුවත් කරනවද ?

    ReplyDelete
  14. අනේ අපරාදේ අපේ හාදයෙකුත් ටෙස්ටින් එකක් කරන්න ගිහිල්ලා වැඩේ වරද්ද ගත්තනේ....

    ReplyDelete
  15. මේ වගේ වාර්තා තියද්දි නිසි පුහුනුකරුවෙකුගෙ උපදෙස් අනිවාර්යෙන් ලබාගන්න ඕනෙ. මම මේ පහුගිය දවසක පත්තරේ දැක්ක පොලව යට පැය 7ක් වැලලිලා වාර්තාවක් තියන්න ගිය ලංකාවෙ පුද්ගලයෙක් පුහුණුවීම් වලදි මිය ගිහින්....

    ReplyDelete
  16. මේවා දැක්ක ම මටත් හිතෙනවා ඔය මොනවා හරි කරලා කමක් නෑ වාර්තාවක් තියන්න....
    අතපය,බෙල්ල කඩා ගැන නැතුව...
    මොනවද දැන් මම වාර්තාවක් තියන්න කරන්නේ?????????????
    එල පොස්ට් එක.....

    ReplyDelete
  17. මෑතකදි වෙච්චි සිදුවීමත් එක්ක වෙන්නැති වාර්තා ගැන හොයන්න ආසාවක් ඇතිවෙන්න ඇත්තෙ....මේවා නම් අමුතුයි තමා....
    මොනවා උනත් සමහර ඒවා නම් හරිම අවදානම් කියල පේනවා.... මැරිලා උනත් කමක් නෑ ගිනස් පොතට නම ගිහින් කියල හිතෙනව ඇති....

    ReplyDelete
  18. ඔව් මේ වාර්තා බලද්දිත් ඇඟ හිරිවටෙනවා. ගොඩාක් වටිනා පොස්ට් එකක්.

    ReplyDelete
  19. පිස්සු කියලත් හිතෙනවා . ඒත් ඉතින් ලෝකේ වෙනස් කල හැමෝටම වගේ පොඩි පහේ පිස්සුවක් තිබුනනේ . හැමෝම අපි වගේ වුනොත් ලෝකේ වෙනසක් නැති වෙයි

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...