Wednesday, February 22, 2012

- අන්තර්ජාලයේ ඡායාරූපකරණ පන්තිය : camerasim -


වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින් වැඩ ගන්න හැටි ඉගෙනගන්න නම් අපිට ඡායාරූපකරණ පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒ වෙනුවෙන් මුදල් හා කාලය වියදම් කරන්න බැරි, ඒත් ඡායාරූපකරණය ගැන උනන්දුවක් තියෙන හැමෝම වෙනුවෙන් ලබාදෙන විශිෂ්ඨ සේවාවක් ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපි යමු අපේ අන්තර්ජාල ඡායාරූපකරණ පන්තියට...


අන්තර්ජාල සේවාවක් වන මෙය හඳුන්වන්නේ CameraSim නමින්. http://camerasim.com/camera-simulator.html යන ලිපිනයෙන් ඔබට මේ වෙත පිවිසිය හැකියි. නොමිලේ ලබා දෙන සේවාවක් නිසා එහි පිවිසි විගසම වැඩ පටන්ගන්න පුළුවන්. මේ වෙබ් පිටුව තනා ඇත්තේ වෘත්තිය SLR කැමරාවක ඇති සැකසුම් ඔබටම අත්හදා බලන්නට හැකි ආකාරයටයි. ඉහළින් කුඩා ගැහැණු ළමයෙක් ක්‍රීඩා පිට්ටනියක සිටින ආකාරයේ දර්ශණයක් කැමරාවට හසුකර ගෙන ඇති අතර මෙහි පහතින් ඇති විවිධ සැකසුම් වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය පරිදි දර්ශනය හසුරුවා ගෙන ඡායාරූපය ලබාගත් පසු කෙසේ ලැබේවි දැයි බලාගන්නට පුළුවන්.


මෙහි දකුණුපස කෙළවරේ ඇති රවුම් බොත්තම (Snap Photo!) මගින් ඡායාරූපය ලබාගන්නට පුළුවන්. ඊට පහතින් ඇති Use a Tripod යන්න සක්‍රීය කිරීමෙන් කැමරාව ආධාරකයක් මත තබා ඇති විටෙක මෙන් පෙනෙන දර්ශණය නොසෙල්වී තබා ගන්නට පුළුවන්. කැමරා තිරය පහලින් කොළ පැහැති ආකාරයෙන් දක්වා ඇති දර්ශක මගින් අදාල අගයන් නැරඹිය හැකි අතර එහි සුචකය මධ්‍යය ලක්ෂයට සමපාත වන ලෙස අනෙකුත් පාලක සීරුමාරු කිරීමෙන් පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමට හැකියි. මෙහි ඇති සැකසුම් පිළිබඳ විස්තරයක් දැන් බලමු.


Lighting (ලයිටිං)
මෙමගින් කැමරා කාචයට ලැබෙන ආලෝක තත්ත්වය සැකසිය හැකියි. ආලෝකය යනු හොඳ ඡායාරූපයක මූලිකම සාධකය වන බැවින් මෙය ඉතා වැදගත් සැකසුමකි. මෙය සීරුමාරු කිරීමෙන් ගෘහස්ථ පරිසරයක ඇති මඳ අඳුරු ආලෝකයේ සිට එළිමහනේ තද හිරුඑළිය දක්වා විවිධ පරාසයන්ට අනුව කැමරාවට නගන දර්ශණයේ ආලෝකය සකසා ගැනීමට පුළුවන. මෙම පාලකය සීරුමාරු කර බැලීමෙන් ඔබටම මෙය අත්හදා බැලිය හැකියි.

Distance (ඩිස්ටන්ස්)
මෙමගින් සිදුවන්නේ ඡායාරූපයට නගන වස්තුව හා කැමරාව (ඡායාරූප ශිල්පියා) අතර දුර ප්‍රමාණය අඩු වැඩි වීමයි. මෙය Zoom කිරීම ලෙස වරදවා වටහා නොගත යුතුයි. මෙම දුර සීරුමාරු කිරීමෙන් මෙහි දර්ශණය ලෙස යොදාගෙන ඇති කුඩා ගැහැණු ලමයා කුඩා හෝ විශාල වීම සිදුවේ. ඔබ මෙහි දුර ප්‍රමාණය අඩු කරමින් කැමරාව වස්තුව අසලටම ගෙන ගිය හොත් පසුතලයේ ඇති ක්‍රීඩාපිටියට වඩා වේගයෙන් ඉදිරිපස වස්තුව (කුඩා ගැහැණූ ළමයා) විශාලවන බව පෙනී යනු ඇත. වස්තුවත් කාචයත් අතර ඇති දුර වෙනස් කිරීම නිසා සිදුවන මේ සංසිද්ධිය පැරලැක්ස් ආචරණය ලෙස හැඳින්වේ. පසුතලයට වඩා ඡායාරූපයට නගන වස්තුව ඉස්මතු කොට දැක්වීමට මෙය උපයෝගී කරගත හැකියි.

Focal Length (ෆෝකල් ලෙන්ත්)
කාචයේ නාභි දුර සකසන්නේ මෙමගිනි. කැමරාවක් භාවිතයේදී Zoom ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි. ඉහත දැක්වූ අවස්ථාවට වඩා මෙහිදී සිදුවන දෙය වෙනස් වන්නේ කැමරාවත් වස්තුවත් නිශ්චලව පවතිද්දී කාචය පමණක් සීරුමාරු කර විශාලනය සිදු කල හැකි වීමයි. මෙහිදී වස්තුවත් පසුතලයත් යන දෙකම එකම පරිමාණයට විශාලනය වේ. Zoom Out කිරීමෙන් විශාල පරාසයක් ඡායාරූපයට හසුකර ගත හැකි අතර, Zoom In කිරීමෙන් වස්තුව පමණක් ඡායාරූපගත කළ හැකියි. ඔබ මෙහිදී මතක තබා ගත යුත්තේ Zoom කිරීමත්, වස්තුව වෙතට හෝ ඉන් ඉවතට ඇවිදයාමෙන් දුර වෙනස් කිරීමත් යන ක්‍රම දෙකෙන්ම දර්ශණය ලොකු කුඩා කළ හැකි වුවත් ලැඛෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් බවයි.

Mode (මෝඩ්)
මෙම කොටසෙහි සැකසුම් විධි තුන මගින් ඔබට අවශ්‍ය ආකාරයට කැමරාවේ අනාවරක (exposure) සැකසුම් සාදාගත හැකියි. දකුණු පස ඇති පාලක අතරින් එකක් සීරුමාරු කරන විට අනෙක් සැකසුම් ඊට අනුව සැකසේ. ඔබ Shutter Priority Mode තෝරා ගත හොත් Shutter Speed වෙනස් කරන විට Aperture හි සැකසුම් ඊට අනුකූලව ඉබේම සැකසේ. Aperture Priority Mode තෝරා ගත හොත් Aperture හි සැකසුම් වෙනස් කරන විට Shutter Speed ඉබේම සැකසේ. Manual ලෙස තේරීම මගින් ඔබට කැමති ආකාරයකට මේ පාලක සීරුමාරු කර සැකසුම් කළ හැකියි. මීට අමතරව වෘත්තීය මට්ටමේ SLR කැමරාවල, "Fully Automatic" mode (ස්වයංක්‍රීය සැකසුම) ලෙස තවත් ආකාරයක් පවතී.


Aperture (ඇපචර්)



ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කැමරා විවරය විවෘත වීමේදී එහි ප්‍රමාණය සැකසීම මෙමගින් සිදුවේ. මෙහි අගය අඩු වීමේදී විවරයේ ප්‍රමාණය විශාල වේ. මෙහිදී වැදගත් වන්නේ Aperture හි අගය වැඩි වන විට පසුතලය හා වස්තුව යන සමස්ථ දර්ශණයම හොඳින් නාභිගත වන අතර මේ සඳහා වැඩි ආලෝක තත්ත්වයක් අවශ්‍ය වීමයි. එමෙන්ම අගය අඩු වන විට නාභිගත වීම අඩුවී ඡායාරූපය බොඳ වුනු ස්වභාවයක් ගනියි. එහෙත් එහිදී අඩු ආලෝක තත්ත්වයකදීත් ඡායාරූපගත කළ හැකියි.


Shutter Speed (ෂටර් ස්පීඩ්)



කැමරාවේ අභ්‍යන්තරයට ආලෝකය ලබාදෙන කාච විවරයේ වේගය පාලනය කරන්නේ මේ මගිනි. මේ ද්වාර වේගය වැඩි වන තරමට පින්තූරය ස්ථීර බවක් පෙන්වන අතර ඒ සඳහා හොඳ ආලෝකයක් අවශ්‍යයි. ආලෝකය අඩු අවස්ථාවන්හිදී අඩු ද්වාර වේගයක් ගැලපෙන මුත් සෙලවෙන වස්තූන් පෙන්වන්නේ බොඳ වුනු ආකාරයෙනි.


ISO (අයි.එස්.ඕ.)



ඡායාරූපය ගන්නා අවස්ථාවේදී ඇති ආලෝකයට අනුව දළ සේයාපටයේ ආලෝක සංවේදීතාවය මෙමගින් සැකසිය හැකියි. මෙය වැඩි අගයකට සැකසීමෙන් අඳුරු ආලෝක තත්ත්වයකදී වුවත් වැඩි Shutter Speed එකක් සහිතව ඡායාරූප ලබාගත හැකි වුවත් දූවිලි වැනි ආලෝක කනිකාවන් (Grain) ඇති කරයි. ISO අඩු අගයක් දුන් විට පැහැදිලි රූපයක් ලැඛෙන අතර ඒ සඳහා හොඳ ආලෝක තත්ත්වයක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ISO සැකසුම් අඩු අගයකට සකසනු ලබයි.


camerasim හි දැක්වෙන අගයයන්හි Shutter Speed ඇත්තේ 1/125 sec ආකාරයෙනි. මෙම සැකසුම් යටතේ ඡායාරූපයක් ගෙන බැලූවහොත් ලැබෙන ඡායාරූපයේ දැරිය අත ඇති කැරකැවෙන රූංපෙත්ත බොඳවී ඇති ආකාරයක් පෙනෙනු ඇත. මෙම අගය 1/20 sec දක්වා අඩුකල හොත් මුළු රූංපෙත්තම බොඳවී නොපෙනී ගොස් ඇති අයුරු පෙනේවි. නමුත් Shutter Speed අගය 1/500 sec ක් පමණ වැඩි කළ විට රූංපෙත්ත නොසෙල්වී ඡායාරූප ගතවී ඇති ආකාරය දක්නට ලැබේ. මේ අගයයන් වෙනස් කර camerasim මගින් උත්සාහ කර බලන්න.

චලනය වන වස්තූන් බොඳ වී ඇත...

චලනය වන වස්තූන් ද තියුණු ලෙස හසුකර ගනී...


ඔබ Shutter Speed හි අගය අඩුම ප්‍රමාණයකට සැකසුවහොත් Aperture හි අගය එහි උපරිම ප්‍රමාණයට (F/36) වැඩි වේ. Shutter Speed අගය 1/13 sec ට වඩා අඩුවූ විට ඡායාරූපයේ අනාවරණය වැඩි වීම නිසා ඡායාරූපය නොපැහැදිලි වේ. මෙය Overexposed ලෙස හැඳින්වේ. එමෙන්ම ISO අගය 100 කට සකසා Shutter Speed අගය 1/1250 sec වලට වඩා වැඩි කළ විට ඡායාරූපය අඳුරු පැහැ වේ. මෙය Underexposed ලෙස හැඳින්වේ.

Overexposed 

Underexposed 
තවත් වැදගත් සැකසුමක් ලෙස Aperture හඳුන්වා දිය හැකියි. බොහෝ ඡායාරූප ශිල්පීන් තම ඡායාරූපයන් හි ඉලක්කගත වස්තුව ඉස්මතු කොට පෙන්වීම සඳහා පසුතලය බොඳ කර ඡායාරූප ගත කිරීමට පෙළඹේ. Aperture හි අගය තරමක් අඩු කිරීමෙන් (මෙහිදී Shutter Speed අගය වැඩිවේ) මේ ආකාරයට ඡායාරූප ලබාගත හැකියි.


camerasim හි ඇති විවිධ සැකසුම් කැමති පරිදි වෙනස් කරමින් නොයෙකුත් තත්ත්ව යටතේ ඡායාරූපයට සිදුවන වෙනස්කම් ඔබට මෙහිදී නිරීක්ෂණය කළ හැකියි. නියම පරිසර තත්ත්වයන් හිදී සැබෑ කැමරාවක් භාවිතයෙන් ඡායාරූපගත කිරීමේදී ඔබට මෙම දැනුම බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.



අන්තර්ජාලය ඇසුරින් සකස් කලේ - චතුරංග පෙරේරා
රූ පරිගණක සඟරාව - 2011 නොවැම්බර් කලාපය
මෙහි ඇතුළත් කර ඇති සියළුම ඡායාරූප CameraSim අඩිවියෙන් ලබාගත් ඒවා වන අතර එහි අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.





28 comments:

  1. නියමයිනේ..

    කොහෙන්ද මේක හොයා ගත්තේ..? මටනම් ඡායාරූපකරණය ගැන එතරම් දැනීමක් නැහැ. ඒ ගැන උනන්දු වෙන කෙනෙකුට හරිම වටින ලිපියක්..

    ස්තූතියි.

    ReplyDelete
  2. බොහොම වැදගත් පෝස්ට් එකක්.ගොඩක් දේවල් දැනගත්තා.මේ විස්තර ඕන තරම් අන්තර්ජාලයෙ තියනවා තමයි. ඒත් ඔබ බොහොම හොඳින් පැහැදිලිව සරලව ලියල තියන නිසා කැමැත්තෙන් කියෙව්වා..ආයෙ ආයෙත් කියවන්න පුළුවන්. බොහොමත්ම ස්තූතියි.

    නිතරම කොමෙන්ට් නොකලට මම මේ බ්ලොග් එක හැමදාම කියවනවා.

    ReplyDelete
  3. @ සෙන්නා :
    මේක මම අපේ සඟරාවට කරපු ලිපියක් සහෝ... ගොඩක් ස්තුතියි ඇවිත් ගියාට...!

    @ ලකී :
    අදහස් වලට ගොඩක් ස්තුතියි ලකී අයියේ... නිතර නොදැක්කට මෙහේ එන බව මම දන්නවා... ස්තුතියි... ජයවේවා !!!

    ReplyDelete
  4. වටිනා කියන පෝස්ටුවක් නෙව...

    ReplyDelete
  5. මමත් හරි ආසාවෙන් ඉන්නේ photography ඉගෙනගන්න

    ReplyDelete
  6. @ මාරයා අයියා :
    අයියා මේ පැත්තේ ආපු පළවෙනි පාර නේ !!! ආයුබෝන් කිව්වා ඒ නම්... බොහොම ස්තුතියි ඇවිත් ගියාට...! ජය !!!

    @ පන්ඩු :
    එහෙනම් මේ ලිපිය ඔයාට උදව්වක් වෙන්නැති කියලා හිතනවා... ස්තුතියි සහෝ ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  7. බොහෝම ස්තුතියි.බොහෝම වැදගත්. විනෝදාංශය විදිහට ඡායාරූපකරණය කරන මට මේ විස්තර ගොඩක් ප්‍රයෝජනවත් වුනා... :)

    ReplyDelete
  8. වටින විස්තරයක්.....

    ReplyDelete
  9. බොහොම වටින ලිපියක් ....විශේෂත්වය අද මගේ දූල දෙන්නට මේ විෂය ගැන ටිකක් උනන්දු කරවන්න හිතාගෙන පොඩි පොඩි උපකරණ ටිකකුත් අරන් දුන්නා .ඔබේ මේ පෝස්ට් එක මගින් මේ වෙබ් අඩවියට ගිහින් ඔවුන් යමක් උගනීවී කියල හිතෙනවා ...බොහොම පිං මේ වගේ වැදගත් කරුණ සටහනක් තැබුවාට...

    ReplyDelete
  10. හරිම වටිනවා මේක..මට නම් වෙලාවකට මේ අගයයන් සහ නම් පැටලෙනවා...මේ සිමියුලේෂන් වැඩේ නම් ගොඩක් ප්‍රයෝජනවත්..

    ReplyDelete
  11. terum genimata pahasu widihata liya tibenawa

    ReplyDelete
  12. මමත් මේ දවස් වල කැමරා ඉගෙන ගනිමින් ඉන්නේ.. ඒනිසා වටින පෝස්ට් එකක්...

    ReplyDelete
  13. නියම පෝස්ට් එක නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා.....හරිම රසවත් ලිපියක්....
    ජයම වේවා!!!!!!

    ReplyDelete
  14. මමත් ඔය සිමියුලේටර් එකට එක පාරක් ගියා. ඒත් ඒ‍කෙන් වෙන දේවල් තේරුනේ නෑ. මේ පැහැදිලි කිරීම වැදගත්.

    ReplyDelete
  15. @ තීර්ථ යාත්‍රිකයා :
    ගොඩාක් සතුටුයි සහෝ ප්‍රතිචාරයට ! මම දැනගත්ත දෙයක් තව කාට හරි ප්‍රයෝජනයක් වුනා නම් ඒක කොච්චර සතුටක් ද ? ස්තුතියි ඇවිත් ගියාට... ජය !!!

    @ නොදුටු :
    බොහොම ස්තුතියි සහෝ...!

    @ මහේෂ් අයියා :
    ගොඩාක් සතුටුයි අයියා මේ පැත්තේ ඇවිත් අදහසක් තියපු එක ගැන. දුවලා දෙන්නටත් මේ පෝස්ට් එකෙන් දෙයක් ඉගෙන ගන්න ලැබුනා නම් සතුටුයි. ඒ දෙන්නා දැන් හැම එකම ෆෝටෝ ගහාවිද දන්නෑ... අයියට ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයක් තියලා ගියාට... ජයවේවා !!!

    @ සයුරි :
    මටත් මෙලෝ දෙයක් නොතේරුණ කාලේ ඔය පැටලෙන ලෙඩේ තිබුණා. නම් ඔක්කොම එක වගේ පේන්නේ. පස්සේ උනන්දුවෙන් කරන කොට තමා වැඩේ අහුවුනේ... ඔව් සයුරි, සිමියුලේටර් එක නොතිබ්බා නම් මේවා තේරුම් ගන්න ලේසිත් නෑ. ඒක හදපු අයට (ලංකාවේ නොවුනත්) බොහොම පිං... ස්තුතියි ප්‍රතිචාරයට !!!

    @ ඇනෝ :
    ගොඩාක් ස්තුතියි සහෝ අදහස් වලට... ජය !!!

    @ දිනේෂ් :
    හ හා.... එහෙනම් මෙන්න තවත් අනාගත ඡායාරූපවේදියෙක් !!! උදව්වක් වුනා නම් සතුටුයි සහෝ... එහෙනම් හොඳ ෆොටෝ ටිකක් ගහලා අපිටත් එවන්නකෝ... ජය !!!

    @ දමිත් මල්ලි :
    ඔයාටත් ගොඩාක් ස්තුතියි මල්ලියෝ...!!!

    @ Praසන්ன :
    මටත් මුලින්ම තේරුනේ නෑ බං අයියේ... කොහොම වුනත් වැඩේ සුපිරි නිසා ට්‍රයි කරලා ඉගෙන ගෙන තමා මේ ආටිකල් එක හැදුවේ... තව කෙනෙක් ඉගෙන ගන්නැතෑ... තැන්කූ කමෙන්ට් එකට...!!!

    ReplyDelete
  16. ශා....නියමනෙ..ට්‍රයි එකක් දාලා බලන්න ඕනෙ..

    ReplyDelete
  17. ලින්කුව නම් එල.....මම පොඩ්ඩක් එකතු කරන්නම් මල්ලි....

    ඇත්තටම කිව්වොත් ද්වාර වේගය හා කාච විවරය දෙකෙන්ම කරන්නේ කැමරාවට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම...
    කාච විවරයේ විශාලනය මගින් කැමරාවට ඇතුළුවන සෘජු ආලෝක ප්‍රමාණය පාලනය කරනවා...ද්වාර වේගය මගින් අදාල ආලෝක ප්‍රමාණයට කොපමණ වේලාවක් තුල සේයා පටලය අනාවරණය වී තියෙන්න ඕනෙද කියලා පාලනය කරනවා...සාමාන්‍යයෙන් ලොකු ද්වාර වේගයකට යද්දී කාච විවරය අඩු අගයකට ගේන්න ඕනේ(ඒ කියන්නේ ආලෝක ප්‍රමාණය වැඩි කරන්න ඕනේ.)අඩු වේග වලට යද්දී යද්දී කාච විවරය අදාල ආලෝක තත්ව අනුව ස්ථාවර කරන්න ඕනේ...ඔතනදී ISO අගය වැදගත්...ඒකෙන් තමා පටලයේ ආලෝක සංවේදීතාව පාලයන කරන්නේ....ඇත්තටම කිව්වොත් ඒක අත්දැකීමෙන් කරන්න ඕ‍න දෙයක්....මොන සිමියුලේටර් තිබ්බත් ඇහැ නැත්තම් වැඩක් නෑ....
    මම ඡායාරූපකරණයට එළඹෙන කාලේ ඔය සිමියුලේටර් මොකුත් නෑ......Trial & Error.... ඒක ඉතා හොඳ අත්දැකීමක්....අනික එව්වා කරේ DSLR වලින් නෙමේ Film SLR වලින්..... :)

    නියම ලිපියක් චතූ....ඩිජිටල් ලෝකේ ඡායාරූපකරණය කියන්නේ ටොයිස් වැඩක් වෙලා තියෙන්නේ අද වෙද්දී.....

    ReplyDelete
  18. මටත් ඔබේ මෙම ලිපිය උපරිම ප්‍රයොජනවත් වුනා.
    බොහොම ස්තූතියි දැනුම බෙදා ගන්නවට.

    ReplyDelete
  19. මටත් ගොඩක් වැදගත් දෙයක්.. ගොඩක් ස්තූතියි චතු....

    ReplyDelete
  20. නාකියා : මටත් ඔබේ මෙම ලිපිය උපරිම ප්‍රයොජනවත් වුනා.
    බොහොම ස්තූතියි දැනුම බෙදා ගන්නවට.

    @ නාකියා : කමෙන්ට් එක මේල් එකට විතරයි ආවේ. ඒකයි මෙහෙම දාන්න වුනේ. ගොඩාක් ස්තුතියි සහෝ...!
    -------------------------------------------------
    නිසුපා :- ශා....නියමනෙ..ට්‍රයි එකක් දාලා බලන්න ඕනෙ..

    @ නිසූපා : ඔයාටත් අර නාකියාට වෙච්ච වැඩේම තමා වෙලා තියෙන්නේ. කොහොම වුනත් ප්‍රතිචාරයට ස්තුතියි...!
    -------------------------------------------------

    @ මකුළු අයියා :
    ගොඩාක් ස්තුතියි අයියේ දීර්ඝ කමෙන්ටුවට ! අයියා photography ගැන හොඳට දන්න බව පේනවා. ඒ වගේ කෙනෙක් කමෙන්ට් කරන එකත් හයියක්. වැරැද්දක් තිබුනත් හදා ගන්න පුළුවන්නේ.

    මමත් හැමවෙලේම විශ්වාස කරන්නේ නිර්මාණශීලීත්වය තමයි ඕනෙම නිර්මාණයක වැදගත්ම දේ. ඡායාරූප ශිල්පියෙකුට හොඳ ඇහැක් අනිවා තියෙන්න ඕනේ. අපිට ඉතින් ඇහැ හදන්න බැහැ නොවැ. ඒක නිසයි SDR එකක් වැඩ කරන හැටි සරලව කිව්වේ. වැරැද්දක් වෙලා නම් සමාවෙන්න ඕනේ. මමත් මහ ලොකු දෙයක් දන්නේ නෑ.

    //ඩිජිටල් ලෝකේ ඡායාරූපකරණය කියන්නේ ටොයිස් වැඩක් වෙලා තියෙන්නේ අද වෙද්දී//
    අයියලා මුල් කාලේ කාපු කට්ටේ හැටියට එහෙම හිතන එක සාධාරණයි. ඒත් එහෙම කියන්න එපා අයියේ. මට නම් තාමත් හොඳ ෆොටෝ එකක් ගන්න එක මැජික් වගේ...!!!

    ස්තුතියි අදහස් වලට... ඔයාගේ අදහස් මට හයියක්... ජයවේවා!!!

    @ ප්‍රසාද් : ගොඩාක් ස්තුතියි සහෝටත්...!

    ReplyDelete
  21. මේක නියම පෝස්ට් එකක් බන්.

    ReplyDelete
  22. ලස්සන තැනක් දකින්න අනුන්ගේ පින්තුර රස විඳින්න ඝරිම ආසයි . ඒත් පින්තුර ගැනීම මට පිහිටලා නැහැ වගේ . මල්ලිගේ මේ විස්තර උවමනා විටක කියවන්නට සිතා ගත්ත

    ReplyDelete
  23. අනේ මරුනේ . ගොඩාක් වටිනවා,

    ReplyDelete
  24. පෝස්ට් එක නියමයි! දැන් තියෙනේ අත් හදා බලන්නයි! :)

    ReplyDelete
  25. බොහෝම අගේ ඇති ලිපියක්...අතිශයින් ම ඉහළින් අගය කරමි..!

    ReplyDelete
  26. @ ධනූ + නිලා :
    තැන්කූ තැන්කූ !!!

    @ බින්දි අක්කා : ඇයි අක්කා එහෙම කියන්නේ. පින්තූරයක් ගන්න කලබලේ බෑ තමා. හොඳ ඇහැකුයි, ඉවසීමයි තියේ නම් ෆෝන් කැම් එකෙනුත් හොඳ පින්තූරයක් ගන්න පුළුවන්... ස්තුතියි අක්කේ ප්‍රතිචාරයට...!!!

    @ වර්ණා :
    බොහොම් ස්තුතියි වර්ණා !!!

    @ නෙළුම් :
    හොඳයි හොඳයි... අත්හදා බලලම ප්‍රතිඵල කියන්නකෝ... ස්තුතියි ප්‍රතිචාරයට !

    @ Indranatha Thenuwara :
    ඔබතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබුණු එකට ගොඩාක් සතුටුයි. ස්තුතියි !!!

    ReplyDelete
  27. අයියත් මාර ගැජමැටික් නේ හොයා ගන්නේ.:) හැබැයි ඉතින් ඕක පුරුදු වුනාට කවදාවත් ඔය වගේ කැමරාවක් නම් අල්ලන්නවත් වෙන එකක් නෑ.:D

    ReplyDelete

මෙච්චර වෙලා කියවපු එකේ ඔය හිතට එන මොනවා හරි ලියලා යන්න. සිංහලෙන් බැරි නම් සිංglish වලින් හරි English වලින් හරි කමක් නෑ. මොනවා හරි කොටලා යන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා...